2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

කොහොමද සර්... මෙහෙම හිනාවෙවී බෙල්ල කපන්නේ?

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 301

මල්වෙඩි, රතිඤ්ඤා, බට්ටන් සමඟ චීන පටස් පුපුරා ගියේය. දේශපාලන කරළිය සංදර්ශනයක සිරි ඉසිලූ අතර කෝලම්කාරයන් අතරේ රාක්ෂයන්ද තැන තැන සැඟවී සිටියහ. චැනල් ෆෝ මැරිගෝ රවුමේ ඇතැමුන් වටගැසූ අතර විශ්වාසභංග කතුරු ඔන්චිල්ලාවද නොනැවතී කැරකුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර ඉවත් කිරීමට ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ඉකුත් බදාදාය. එදිනට පසුදා අපූරු සිදුවීමක් සිදුවිය.

මේ කතාව අපට අසන්නට ලැබුණේ පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේය. ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට කාර්යබහුල දිනයකි. එම නිසාම බ්‍රහස්පතින්දාවේ දයාසිරි ජයසේකරද පාර්ලිමේන්තු පැමිණියේය. ආරංචි වූ පරිදි මෙදින පාර්ලිමේන්තු පරිශ්‍රයේ සභා ප්‍රවේශය අද්දර එක්තරා ස්ථානයක දයාසිරි, උපුල් ගලප්පත්ති සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු හමුවූහ.

''බලන්න මට වෙච්ච වැඩේ. ඔව්, මට මේ... ලියුමක් එවලා තියෙනවා....''

පෙර දින සිදුවූ අකරතැබ්බය පිළිබඳ දයාසිරි වටකොට පිරිස කතාබහ කරමින් සිටියේය. ඒ අතර මේ අසලින් ඉදිරියට යමින් සිටියේ දයාසිරි ඉවත් කළ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. දයාසිරි දුටු ඔහු එතැනම නතර විය. අතරමඟ නතර වුණ මන්ත්‍රී දයාසිරිගේ පිටටද තට්ටුවක් දැමූ හිටපු ජනපතිවරයා දයාසිරිගෙන් මෙසේ විමසීය.

''හලෝ... දයා කොහොමද?''

දයාසිරිද සිනහවක් පා උස් හඬින් ඊට පිළිතුරු බැන්දේය.

''මේ සර් එව්ව ලියුම කියව කියවා ඉන්නවා තාම...''

දයාසිරිගෙ පිළිතුරෙන් මෛත්‍රී තරමක් මවිතයට පත්වූ බව පෙනී ගියේය. එහෙත් තවදුරටත් සිනහසුණු මෛත්‍රීහට, ඊළඟට මුහුණදීමට සිදුවූයේ තරමක බරඅවි ප්‍රහාරයකටය.

''කොහොමද සර්... මෙහෙම හිනාවෙවී බෙල්ල කපන්නෙ?''

සිනාවෙන්ම දයාසිරි දමා ගැසුවේ බරපතල පැනයකි. එවර මෛත්‍රීපාල සිරිසේනගේ කියවීම බැරෑරුම් විය.

''දේශපාලනයේදී ඔහොම තීන්දු ගන්න වෙනවා.''

වැඩි කලබලයකින් තොරව මෛත්‍රී  පිළිතුරු ලබාදුන්නේ නිවුණු ස්වරයෙනි.

ඊළඟට මෙම කතාවට මැදිහත් වූයේ හම්බන්තොට මන්ත්‍රී උපුල් ගලප්පත්තිය.

''සර් මේක හරියට, අපේ හෙලිකොප්ටරයට කරපු වැඩේ වගේම එකක්. උත්සව තියලා හෙලිකොප්ටරය පිහිටුවලා, කේක් කාලා පහුවදාම සර් හෙලිකොප්ටරයට ගැහුවා. එදා වගේම තමයි මේ පාරත්. සර්, හිනාවෙලා දයාසිරිගේ බෙල්ල කැපුවා නේද?''
එවර එනපොට හොඳ නැති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට වැටහුණි. පිටට තට්ටුවක් දමා හීන් නූලේ ඔහු එතැනින් පිටව ගියේය.

පසුගිය සඳුදා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද තරමක සුවිශේෂී එකක් විය. එදින ජනාධිපති ලේකම් කාර්යාලයේ සවස පහමාරට මෙම පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ. මේ සම්බන්ධවද දේශපාලන ආරංචි අප වෙත ගලා ආවේය.

පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සතියේ පාර්ලිමේන්තු කටයුතු සැලසුම් වී ඇති ආකාරය පිළිබඳව පළමුව පැහැදිලි කළේය. කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අණපනත් පිළිබඳ ඔහු පැහැදිලි කළේය. අනතුරුව පිරිස අමතා ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාය.

''කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාට එරෙහි විශ්වාසභංගයේදී සියලුම දෙනා සහයෝගය දීලා ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනෑ.''

මෙලෙස කරුණු පැහැදිලි කරමින් ජනපති පැමිණි සියලුම මන්ත්‍රීවරුන්ට විශ්වාසභංගයට අදාළව කරුණු දැක්වීමට අවශ්‍ය ලිපි ගොනුවක් බෙදාදීමට කටයුතු කළේය. ඖෂධ ආනයනය ඇතුළු විවිධ ගැටලු පිළිබඳ පැහැදිලි කිරීම් එම ලිපිගොනුවල අන්තර්ගත වූ බව කියැවුණි. ජනපතිට අනුව ඇත්ත කතාව මෙහි ඇති බවද සඳහන් විය. මෙම කතාව අවසානයේ නැඟී සිටියේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියයි.

''ජනාධිපතිතුමනි, කොළඹ අවටයි රටේ හැමතැනමයි ස්පා දාල තියෙනවා කෙළවරක් නැතුව. අපි මේවා නියාමනය කරන්න ඕනෑ.''

මෙම යෝජනාවට සභාවේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවුණි.

''නෑ... නෑ... ජනාධිපතිතුමා ඕවා කරන්න යන්න එපා මේ වෙලාවේ. මිනිස්සුන්ගේ රස්සාත් නැති වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.''

මිලාන් ජයතිලක, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් මෙලෙස සිය විරෝධය ඉදිරිපත් කළෝය.

''බලන්න ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව අවට මේ ස්පා හයසිය විසිපහක් තියෙනවා.''

ඩයනා නැවතත් කරුණු පැහැදිලි කරන්නට විය. කෙසේවෙතත් ජනාධිපතිවරයා සිනහසෙමින් ඊට ලබාදුන්නේ අපූරු පිළිතුරකි.

''අපේ මන්ත්‍රීවරුන්ටත් යන්න බැරියැයි... ඔබතුමිය මට කියන්නේ මේවා වහලා දාන්න කියලද? මේවා වහල දැම්මොත් දහස් ගණනකට රස්සා නැති වෙනවා. ඒ නිසාම මේ වෙලාවේ අපි නැති ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑ.'' ජනපති සීරුමාරුවට එම ගැටලුව මග හැරියේය.

මීළඟට මතුවූයේ කොළඹ කිඹුලාවල හන්දියේ ආහාර කඩ පේළිය සම්බන්ධ ගැටලුවකි. මෙම කඩ පේළිය මාර්ගයේ ගමන් කරන්නන් හට බාධාවක් බව මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කීහ.

''මේක මෙහෙම කරගෙන ගියොත් ලොකු ප්‍රශ්නයක්. මේක අයින් කරන්න ඕනෑ. ලොරි දාගෙන බස් දාගෙන පළාතේ ඉඩම් කෑලි අල්ලාගෙන. මේක මාෆියාවක් වගේ වෙලා තියෙන්නේ.''

මෙසේ සඳහන් කළේ මධුර විතානගේ මන්ත්‍රීවරයාය. මේ අතර විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද නීත්‍යානුකූලව මෙවැන්නක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවට කරුණු පැහැදිලි කළේය.

''නිත්‍යනුකූලවත් මේක පවත්වාගෙන යන්න බෑ. වෙනත් විකල්පයක් දීල ඉවත් කළොත් හොඳයි.''

බන්දුල ගුණවර්ධන එසේ සඳහන් කරන විට ජනපති කීවේ මෙම කඩ පෙළ එකවර ඉවත් කිරීම සුදුසු නොවන බවකි.

''මේ සම්බන්ධව සොයා බලන්න කණ්ඩායමක් පත් කරලා, ඒ මිනිස්සුන්ට විසඳුමක් දීලා, ආණ්ඩුවටත් කරදරයක් නොවන විදිහට මේ ගැටලුව විසඳන්න.''

ජනපති ජංගම වෙළෙඳාම පිළිබඳවද කතා කළේය.

''මේ මිනිස්සුන්ට රස්සා නැති වෙලාවේ, ජංගම වෙළඳාම අවහිර කරන්න බෑ. තැඹිලි කරත්තයක් වගේ දෙයක් තියාගෙන වෙළඳාම් කරන පොඩි පොඩි වෙළෙන්දෝ නම් ඉවත් කරන්න යන්න එපා.''

මේ අතර මෙම සභාවට තවත් ගැටලුවක් රුගෙන ආවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂයි.

''අපේ මියගිය අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාගේ නෝන මට කතා කළා. ඒ පවුලට අපේ මන්ත්‍රීතුමාගේ නඩුව නිසා හරියට කරදර විඳින්න සිද්ධවෙලා තියෙනවා. නඩුව අහන්නේ නෑ. හැමදාම කල්දාන එකයි කරන්නේ. මේකට මොනව හරි කරන්න.''
මෙම ස්ථානයට මෙම නඩුවට පෙනී සිටින නීතිඥ මනෝජ් ගමගේද පැමිණ සිටියේය. ඔහුටද කරුණු දැක්වීමට අවස්ථාවක් ලැබුණි.

''සී.අයි.ඩී එක ඇවිල්ලා වෙන වෙන දේවල් කියනවා. සී.සී.ටී.වී බලන්න බැහැයි කියනවා. වෙන තැන්වලින් බලන්න ඕන කියනවා. සාක්ෂි පරස්පරයි කියනවා. තොරතුරු හොයාගන්න බැරි වුණයි කියලා කියනවා. මහ දවල් පාරේ මරලා දාපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් අපිට තාම නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙලා.''

නීතිඥවරයා ජනාධිපතිවරයාට සිහිපත් කර දුන්නේය. අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා නැවතත් කීවේ පාකිස්ථානයේ හිටපු ජනාධිපති ඉම්රාන් ඛාන් ශ්‍රී ලාංකිකයෙකු ප්‍රසිද්ධියේ මරා දැමූ අවස්ථාවේදී මාස කිහිපයක් ඇතුළත වරදකරුවන් සොයා දඬුවම් දුන් ආකාරයයි. මෙම නඩුවද එලෙස විසඳිය යුතු බව ඔහු කියා සිටියේය.

අනතුරුව ජනාධිපතිවරයා මීට මැදිහත් විය.

''සභානායකතුමා, කරුණාකරලා මේකට මැදිහත් වෙලා වහාම පියවරක් ගන්න. නීතිපති දෙපාර්තමේන්තුවත් එක්කත් කතා කරන්න. මේක මෙහෙම වෙන්න බෑ. කවුරුහරි මේක ප්‍රමාද කරනවද කියලා සොයා බලන්න. එහෙම කවුරුහරි කරනවා නම් මන්ත්‍රී වරප්‍රසාද යටතේ වරප්‍රසාද කමිටුවට කැඳවලා විමර්ශනයක් කරන්න.''

ගෙවී ගිය සතිය සමගි ජන බලවේගයේද තීරණාත්මක සතියක් විය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දැනුවත් කිරීමට සමගි ජන බලවේගය ද සිය පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කළේය.

“කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පිළිබඳ දැනුවත් කරන්න අපි විශේෂඥයන් පිරිසක් ගේන්න ඕනෑ."

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කණ්ඩායම් රැස්වීම වෙනදාට වඩා වෙනස් අයුරකින් සංවිධානය කිරීමට කටයුතු කළේය. ඒ අනුව සෞඛ්‍ය සේවයට සම්බන්ධ ආචාර්යවරුන්, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු විශේෂඥයන් පිරිසක් මෙවර සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටියහ. ඒ අනුව සමගි ජන බලවේගයේ කණ්ඩායම් හමුව දැනුවත් කිරීමේ වැඩසටහනක් බවට පත්විය.

මේ අතර ඉකුත් බදාදා ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ තවත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් සංවිධානය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණේ හදිසි මුදල් පනත පිළිබඳව සාකච්ඡා කිරීමටයි. මෙම හමුවට ජීල්.එල්. පීරිස් ඇතුළු විපක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ද පැමිණ සිටියහ.

“අපි මේකට විරුද්ධ වෙන්න ඕනෑ. මේ හරහා ජනතාවට විශාල බලපෑමක් සිද්ධ වෙනවා." 

සම්පූර්ණ වැඩසටහන මෙහෙයවමින් දීර්ඝ දැනුවත් කිරීමක් සිදුකිරීමට තනිව කටයුතු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කටයුතු කර තිබුණි.

මේ අතර බ්‍රහස්පතින්දා අයි.එම්.එෆ්. දේශීය නියෝජිතයන් හමුවීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම අවස්ථාවට ද  ජී.එල්. පීරිස් මහතා එක්වූ බව කියැවිණි. හර්ෂ ද සිල්වා හැරෙන්නට සමගි ජන බලවේගයේ සෙසු ආර්ථික විශේෂඥයන් ද මීට සහභාගි වී තිබේ.

සමගි ජන බලවේගය විසින් ගොඩනගන්නට බලාපොරොත්තු වන විපක්ෂයේ පුළුල් සන්ධානය සම්බන්ධව විවිධාකාර වූ සාකච්ඡා ඉකුත් සතියේ ද පැවති බව දැනගැනීමට ලැබුණි. මෙම රැස්වීම් සම්බන්ධව ද පූර්ණ බලතල සජිත් ප්‍රේමදාස විසින් දරන බව සජබ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් යන අයගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් සංවිධානය විය. රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනාගෙන් 35 දෙනකුම මෙම රැස්වීම සඳහා සහභාගි වීමද විශේෂත්වයක් විය.

මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් පළමුව ගැටලු ඉදිරිපත් කළේ ජානක වත්කුඹුරයි.

“සර් අපි මේ කතා කරන්නේ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. සමහර ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරන්නේ නෑ. ඒ වගේම මේ ලේකම්වරු නම් රාජ්‍ය ඇමැතිවරුන් සත පහකට ගණන් ගන්නේ නෑ. අපි කියන කිසි දෙයක් කරල දෙන්නෙත් නෑ. ඒ නිසා මේකට මොකක් හරි වැඩපිළිවෙළක් යොදන්න. අපිට මේ ප්‍රශ්නය විසඳලා දෙන්න."

මේ අතර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ද හඬ අවදි කළේය. 

“ජනාධිපතිතුමා දන්නෙ නෑ. අපිට මේගොල්ලන්ගෙන් කිසි වැඩක් කරගන්න බෑ. ඒකයි ඔබතුමාට මේ දුක කියන්නෙ."

ඡන්ද දායකයන්ගේ ඉල්ලීම් මත පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී තමන්ව නොසලකා හරින බව ඇය කියා සිටියාය.

“මම අනුලා විද්‍යාලයට ළමයෙක් දාගන්න අවුරුද්දක් තිස්සෙ ට්‍රයි කරනවා. මට තාම බැරිවුණා. හැබැයි විපක්ෂයේ අයට ඒවා කරගන්න පුළුවන්. මේවා මෙහෙම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔබතුමා හොයලා බලන්න."

ඇමැතිවරුන්ට වඩා මෙහිදී චෝදනා එල්ල වූයේ අමාත්‍යංශ ලේකම්වරුන්ටය. මේ චෝදනා අතරේ ඇමැතිවරුන්ගෙන් ද තමන්ට බාධා එල්ල වන බව කිහිප දෙනෙක් නැගී සිට කියන්නට වූහ. මෙම පිරිස් අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ නම්ද සඳහන් කරන්නට පටන් ගත්හ.

ජනාධිපතිවරයා  ක්ෂණිකව මෙම කතාබහට මැදිහත් විය.

“කරුණාකරලා මෙතන ඇමැතිවරුන්ගේ නම් කියන්න යන්න එපා. නැති ප්‍රශ්න ඇති වෙනවා. මම හොයල බලන්නම් අමාත්‍යංශ ලේකම්වරු මොනවද ඔයාලට කරලා තියෙන්නෙ කියලා."

මේ අතර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ද නැගී සිට කතා කරන්නට විය.

“ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබතුමාලා දෙන්නම රෝයල් බඩු දෙකක්. ඒ නිසා රෝයල් බඩු ඉස්සරහ ඇමැතිවරුන්ගේ ප්‍රශ්න කතා කරලා ප්‍රශ්න ඇති කරන්න ඕනේ නෑ. මට නම් මගේ ඇමැතිතුමාගෙන් ප්‍රශ්නයක් නෑ. රමේෂ් පතිරණ ඇමැතිතුමා මට ඕනෑ දෙයක් කර ගන්න ඉඩ දීලා තියෙනවා. නමුත් ඉතින් අමාත්‍යංශ ලේකම් එක්ක නම් මටත් ටිකක් වැඩ කරන්න අමාරුයි. මම මේ බැංකොක් යන්න ටුවර්  එකකුත් තියාගෙන මෙතැනට ආවෙ මේ දේවල් ඔබතුමාලට කියන්නම ඕනෑ නිසා."

මෙහි පැමිණ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ද සිය හඬ අවදි කළේය. 

“මට යන්න වාහනයක්වත් නෑ. තියෙන වාහනේ කැඩිලා. ඉතින් මොකටද අපි මෙහෙම දේශපාලනය කරන්නේ. ගමට යන්න වාහනයක් නෑ."

අරුන්දික ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර ආදී රාජ්‍ය අමාත්‍යවරු එහිදී කතා කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කටයුතු පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූහ.

“සර් මොනවා හරි කරන්න. නැත්නම් අපිට මේ තනතුරුවලිනුත් වැඩක් නෑ."

මේ අතර ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපති පත් කිරීම සම්බන්ධව දදෝස්මුරයක් ඉදිරිපත් කළේය. ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල්වල දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධව ගැටලුවක් ද සාකච්ඡාවට බඳුන් විය.

අවසානයේ රාජ්‍ය අමාත්‍යවරුන් වෙතින් ඉදිරිපත් වූයේ එක් පොදු ඉල්ලීමකි.

“ජනාධිපතිතුමනි කරුණාකරලා අපිට විෂයන් කිහිපයක් වෙන් කරලා දෙන්න. අපිට රාජ්‍ය අමාත්‍යංශයට වෙනම ලේකම්වරයෙක් දෙන්න. කැබිනට් අමාත්‍යංශ ලේකම් එක්ක නම් අපිට වැඩ කරන්න බෑ."

පසුගිය සතිය කැළඹී ගිය තවත් සිදුවීමක් වූයේ චැනල් 4 අනාවරණයයි. විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මේ සම්බන්ධව අදහස් දක්වන්නට වූහ. ජාතික ජන බලවේගය මීට තදින් මැදිහත් වී සිටියේය. සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ආරක්ෂක ඇමැති රනිල්ට අවධාරණය කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

“ගෝඨාභය රාජපක්ෂ දැන් ජනාධිපති ධූරයේ නෑ. ඒ නිසා ඔහුට මුක්තිය නෑ. ආරක්ෂක ඇමැතිවරයාට ඕනෑම වෙලාවක දැන් පුළුවන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තිබුණු චෝදනා සියල්ල නැවත විභාගයට ගැනීමේ ක්‍රියාමාර්ග සලසන්න. රනිල් වික්‍රමසිංහගේ වගකීම ඒ නඩු කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් දීමයි. චෝදනා තිබෙන සුරේෂ් සලේ තාමත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා. ඔහු එම තනතුරේ තබාගෙන පරීක්ෂණ කිරීමේ කිසිදු ප්‍රතිඵලයක් නෑ."

කැළඹිලි සහගත සතිය අවසානය විශ්වාසභංගය නිසාවෙන් උණුසුම් වී තිබුණි. මේ අතර ජනාධිපතිවරයා ද විදෙස් සංචාර සඳහා සූදානම් වෙමින් සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමැතීමට ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යාමට සූදානම් වූ අතර ඊට පෙර කියුබාවේ පැවැත්වෙන G74 සමුළුවටද ජනපති සහභාගි වීමට නියමිතව තිබුණි. දින නවයක් පමණ වන මෙම සංචාරය අවසානයේ ජනපති ප්‍රංශය බලා ද ගමන් කිරීමට නියමිත බව වාර්තා විය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00