2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ක්‍රීඩා ඇමැතිගේ යෝකර් එක ආණ්ඩුවේ කඩුල්ලේ වදියි

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 254

පාදයක් ඉදිරියට තබා වැරෙන් පහරක් එල්ල කළ නමුත් පන්දුව වැදුණේ පිත්තේ නොව පා ආවරණයේය. පිටියේ විනිසුරු දබර ඇඟිල්ල ඔසවන විටම පිතිකරු රීවීව් අවස්ථාව ඉල්ලා සිටියේය. දැන් තීරණය තෙවැනි විනිසුරු සතුය. තරගය නතර වී ඇත. පුනරූපණ නරඹන දේශපාලන ලොක්කෝ කලහා කරති. ජන්ද විමසති. අපි ප්‍රේක්ෂකාගාරයේ කොණකට වී පුළුල් තිරය දෙස බලා සිටිමු.

සතියේ විශාලතම දේශපාලන පිපුපුරුම නිර්මාණය කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහයි. දීර්ඝ කාලයක් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවති නොනිල සීතල යුද්ධයේ අවසන් ජවනිකා කිහිපය ඉකුත් සතියේ විකාශය වීම ඇරඹුණි. මෙම ගැටුමේ අගමුල පිළිබඳ වූ එකිනෙකට පරස්පර මත ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අමාත්‍යාංශය දෙසින් ඇසුණි.

“අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති විදිහට හිටපු කාලේ තමා මේ ගැටුම ආරම්භ වුණේ."

මෙසේ කීවේ බෝඩ් එකේ ඇත්තෝය. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාර්ශ්වය කීවේ වෙනත් කතාවකි.

“ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහෙයවූයේ දූෂිත පිරිසක්. විගණන වාර්තා අනුව ඒ අයට විරුද්ධව පියවර ගන්න අපි දිගටම කටයුතු කළා."

කවරක් වෙතත් පාලක මණ්ඩලය කීවේ විගණන වාර්තාවේ ඇත්තේ නිර්දේශ පමණක් බවයි. ඒ හරහා කිසිවකු වැරදිකරුවකු කර නොමැති බවද ඔවුහු කීහ.

මෙම ගැටුම උග්‍ර වූයේ පිට පිට ලැබූ ක්‍රිකට් පරාජයන් මතිනි. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා පනත අනුව අතුරු පාලක මණ්ඩලයක් නම් කිරීමට පිඹුරුපත් ඇන්ඳේය. මෙම කටයුත්ත පිටුපස ද රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

ක්‍රිකට් අතුරු කමිටුවේ බලතල දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කළ පසු, සියල්ල සිදු වූයේ රහසේය. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි නීතිඥවරියක් වූ අමාත්‍යවරයාගේ බිරිඳත්, නීතිඥ රඛිත රාජපක්ෂත් පෙරටු කොටගත් නීතිඥයන් පිරිසක් මෙම ගැසට්ටුව නිර්මාණය කිරීමේ කාර්යයේ නියුතුව සිටියහ.

අතුරු පාලක මණ්ඩලය සඳහා වූ කණ්ඩායම තෝරාගැනීම ද මෙම පිරිසේ රහස් සාකච්ඡාවල ප්‍රතිඵලක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ හෝ පසුගිය ඉරිදා අමාත්‍යවරයා සිය යෝකරය යොමු කළේය. එම ගැසට්ටුවෙන් අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු අතුරු පාලක මණ්ඩලය පත් කෙරුණි. ගිනිකෙළි සංදර්ශනය ඇරඹුණේ ඉන් අනතුරුවය.

ජනාධිපතිවරයාම පවසා තිබූ පරිද්දෙන් මෙම තීරණය ක්‍රියාත්මක වන තුරුම ඔහු ද එය නොදැන සිටියේය. මෙම සිදුවීමත් සමඟම දේශපාලනයේ ද තරමක කලබලයක් නිර්මාණය විය. නොහොඳ නෝකාඩු අමනාපකම් සේම කුමන්ත්‍රණ ද අභ්‍යන්තරයේ ගහණ විය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයෝ ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු පාලක මණ්ඩලයට එරෙහිව අධිකරණය වෙත ගියහ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝකරය නිපන්දුවක් බව ඔවුහු කීහ. ඔවුන් නීතිඥ සහාය පැතුවේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙනි. 

මේ අතරවාරයේ අමාත්‍ය රොෂාන් රණසිංහ ජනපති හමුවීමට ද ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ජනපති සමඟ සාකච්ඡා නිමා කොට එන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවී යම් උණුසුම් කතාබහක් ද නිර්මාණ වී ඇතැයි කියැවේ.

ඒ අනුව සඳුදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩලය කටයුතු කළේය. මෙම කැබිනට් හමුව ක්‍රීඩා අමාත්‍යවරයා හේතුවෙන් උණුසුම් මුහුණුවරක් ගත බව කියැවේ.

කෙසේ හෝ අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.

“ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලය ඇතුළේ වෙච්ච සිදුවීම් මට කියන්න බෑ. සාමූහික වගකීම මම ආරක්ෂා කරන්න ඕනෑ. නමුත් ජනාධිපතිතුමා පස්සේ කාර්යාලයට කතා කරලා මම පත් කරපු කමිටුව අයින් කරන්න, එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙමෙයි, ඔබතුමා මාව අස්කරලා කැමැති තීන්දුවක් ගන්න කියලා. කිසිසේත්ම පත් කරපු කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා මම කිව්වා. මේගොල්ලෝ කරලා තියෙන දූෂණ අනුව හොරු ැලක්."

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේ බරපතළ කතාවකි.

අවසානයේ අතුරු පාලක මණ්ඩලයට එරෙහි අතුරු තහනම් නියෝගයක් අධිකරණය විසින් නිකුත් කළේය. තත්ත්වය තවත් ව්‍යාකුල විය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාර්ශ්වය කියා සිටියේ එදින උදෑසන 10.40ට පමණ අතුරු තහනම් නියෝගය නිකුත් කර නමුත්, අමාත්‍යවරයාගේ අතට සිතාසි ලැබී තිබුණේ පෙරවරු 11.10ට පමණ බවය. 

පාර්ලිමේන්තුව උණුසුම් කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රකාශයෙන් පසු, ක්‍රිකට් ගැන විවාදයක් පවත්වා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් ස්ථිර කළ යුතු බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඒ අනුව එදින පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක හමුවක් පැවැත්වුණි. අමාත්‍ය අලි සබ්‍රි ද මෙම රුස්වීමට කැඳවීමට පිරිස තීරණය කළහ. ඒ නීති උපදෙස් වෙනුවෙනි.

“අපිට යෝජනා සම්මත කරන්න ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ක්‍රිකට් බෝඩ් එක කියන්නෙ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපු ආයතනයක්. මේක රාජ්‍ය ආයතනයක් නෙවෙයි. ඒ නිසා අපේ යෝජනා සම්මතයෙන් මේ ආයතනය අහෝසි කරන්න බැහැ."

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව හරහා විශාල බලපෑමක් සිදු කළ හැකි බව ඔහු සඳහන් කළේය. 

“අපිට අවශ්‍ය නම් ක්‍රිකට් ආයතනය මීට වඩා ආණ්ඩුවේ පාලනයට නතු කරන්න, අපි අලුත් පනතක් හදලා, ඒ යටතේ ක්‍රිකට් ආයතනය නැවත පිහිටුවන්න ඕනෑ."

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආදීහු කතාබහ කොට සියලු දෙනාගේ සහයෝගය සහිත මෙම යෝජනාව රුගෙන ඒමට තීරණය කළෝය. විපක්ෂ නායකවරයාගේ යෝජනාවේ ඇතැම් වගන්ති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් සංශෝධනය කිරීමට ද පියවර ගෙන තිබුණි.

පසුගිය සෙනසුරාදා පැවති පොහොට්ටුවේ සංවත්සර සැමරුම් පරිත්‍රාණ ධර්ම දේශනාව ද බොහෝ දේශපාලන සංවාද සපිරි සිදුවීමක් විය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන රාජපක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ පිංකම සඳහා පොහොට්ටුවේ මැති ඇමැතිවරු රුසක් පැමිණ සිටියහ.

පසුගිය කාලයේ පොහොට්ටු කාර්යාලයට නොපැමිණි අමාත්‍ය රොෂාන් රණසිංහ මෙදින පිංකම සඳහා පැමිණ සිටීම තරමක් සුවිශේෂී සිදුවීමක් විය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු පිරිකර තොගයක් රුගෙන මෙලෙස පැමිණි බවයි. මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් මුණගැසී හිත හොඳ වර්ධනය කර ගැනීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර ඇතැයි කියැවේ.

“මම පක්ෂෙත් එක්ක ඉන්නවා. පහුගිය කාලයේ ආවෙ නැත්තෙ තරහා වෙලා නෙවෙයි."

මෙවන් කතා මෙම සංවාදය අතරරේදී කියැවී ඇතැයි පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේ වෙතත් සෙනසුරාදා පරිත්‍රාණ ධර්ම දේශනාව අවසානයේ රාත්‍රියේදී අප පෙර කී ක්‍රිකට් සංදර්ශනය ඇරඹුණි.

මෙම පිංකම දා රූ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දේශපාලන සංවාදවල නිරතව ඇතැයි කියැවේ. ඇතැම් තැනක මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව ද කතාබහ කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

තීරණාත්මක බ්‍රහස්පතින්දා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණි. සියලු දෙනාම පාහේ ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් කතා කළහ. දූෂිත ක්‍රිකට් පාලකයන් එළවා දැමිය යුතු බව බොහෝ දෙනා කියා සිටියහ. මේ අතර අමාත්‍ය රොෂාන් රණසිංහව අගය කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළේය. 

“ආණ්ඩු පක්ෂයේ සිටි කණ්ඩායමත් කාගෙන් කුමන බලපෑමක් ආවත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතලා එකතුවෙන තැනකට ආවා. මේ එකතුවීමේ ආරම්භයයි. මේ එකතුවීම තුළ දැනට ඉන්න දූෂිත ක්‍රිකට් පරිපාලනයට අපි පණිවිඩයක් ලබා දෙනවා. පාර්ලිමේන්තුවේ තිබෙන දේශපාලන බෙදීම් ගැන විශ්වාසය තබා ඔබගේ සුරක්ෂිතභාවය, ආයු කාලය, පැවැත්ම තහවුරු කර ගත්ත යුගය අදින් අවසන්."

තමන් රාජකීය විද්‍යාලයේ මෙන්ම විදෙස්ගතව අධ්‍යාපනය ලබද්දී ක්‍රිකට් ක්‍රීඩා කළ බව කියා සිටි විපක්ෂ නායකවරයා විවාදය අතරේදී ඡායාරූප ද හැන්සාඩ් ගත කිරීමට පියවර ගත්තේය.

‘’මමත් ක්‍රිකට් ගහපු ක්‍රිකටර් කෙනෙක්, සමහරු මට හිනා වෙයි, මම ක්‍රිකට් ගැන මෙච්චර කතා කරන්නේ මේ නිසයි. විපක්ෂ නායක ගහපු ක්‍රිකට් පින්තූරත් එක්කම හැන්සාඩ් එකට යයි.’’

ජාතික ජන බලවේගය වෙනුවෙන් මෙම විවාදයට සම්බන්ධ වූයේ මන්ත්‍රී විජිත හේරත්ය.

“ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙන එකක්. ක්‍රිකට් බෝඩ් එක එක් පැත්තකින් දේශපාලනයට යටවෙලා. අනෙක් පැත්තෙන් මුදලට යටවෙලා. ක්‍රිකට් ක්‍රීඩකයන් කැපවීමෙන් සෙල්ලම් කරනවා. නමුත් බෝඩ් එක අකටයුතුකම් කරනවා. මේක මාෆියාවක්. මේ මාෆියාව ගැන ජනතාව කනගාටුවෙන් සිටිනවා. ක්‍රිකට් පරිපාලනයේ සිටින දූෂිත නිලධාරීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව රටට අහිමි වෙනවා. කෝප් කමිටුවට කැඳවීමක් කළත්, ඔවුන් කෝප් කමිටුවට එන්න බැඳී නැති බවට දැනුම් දුන්නා. අවසානයේදී නීත්‍යානුකූලව ලිඛිතව දැනුම් දීමෙන් පසුව තමයි ඔවුන් කෝප් කමිටුවට පැමිණියේ."

කෙසේ වෙතත් මෙම විවාදය අවසන් වන විට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබේ නොසිටීම විශේෂත්වයක් විය. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා විවේචනයක් ද මතු කළේය.

“ජාතික ජන බලවේගය හැර, ජනතා විමුක්ති පෙරමුණ හැර, අනෙක් පක්ෂ ඔක්කොම ඉන්නවා. එතුමන්ලා මේකට එකඟද, මොකක්ද කියන එක අපි දන්නේ නෑ. රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දි ජනතා විමුක්ති පෙරමුණට විතරක් ක්‍රිකට් එක හොඳ වුණාද කියන එක මට ප්‍රශ්නයක්.”

විවාදය අවසානයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින් දිගින් දිගටම හඬ නැගූහ. මෙහිදී සභාව ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මත වූ බවකි.

යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය නැතැයි කතානායකවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා දිගින් දිගටම ඝෝෂා කළහ. 

සතිය පුරා දිගහැරුණු ක්‍රිකට් කතාවේ එක් පරිච්ඡේදය එලෙස නිමාව දුටුවේය. මෙම අලකලංචිය අතරේ සමගි ජන බලවේගය සිය විපක්ෂ සන්ධානය නිර්මාණය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡා කිහිපයක් මෙහෙයවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

“අපි පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු ලොබියේ, රෙස්ටුරන්ට්වල දිගටම හම්බවුණා. දැන් සාකච්ඡා තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙන්නෙ. ඉතාම ඉක්මනින් සන්ධානයක් එනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ දෙක තුනක හැරෙන්න අනිත් හැම පක්ෂයේම අය කිහිප දෙනා බැගින් අපිත් එක්ක එකතු වෙනවා."

මෙවන් පුවතක් දැනගැනීමට ලැබුණේ සජබ ජ්‍යෙෂ්ඨයකුගෙනි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින් ද තරමක අමුතු ආරංචි ලැබෙන්නට පටන්ගෙන තිබේ. ලැබුණු එම ආරංචියකට අනුව කියැවුණේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවති බවකි.

“පක්ෂ සභාපති ධූරය වගේ තනතුරක් ලැබුණොත් හොඳයි." 

ආරංචි මාර්ග අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ එවන් යෝජනාවකි. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා තවමත් නිල වශයෙන් ආරම්භ වී නැතැයි කියැවේ. 
“පක්ෂ නායකකමයි සභාපතිකමයි වෙන් කරලා දුන්න නම් හරි."

එවන් යෝජනා ද ලැබී තිබෙන නමුත් මේ පිළිබඳ අවසන් තීරණය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ඇතැයි කියැවේ.

තීරණාත්මක බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ද කැඳවා තිබුණි. මෙහිදී ක්‍රිකට් කතාව කරළියට පැමිණ තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ගැසට්ටුව අහෝසි කරන ලෙසට පැවසීම පිළිබඳ ජනපති කරුණු පැහැදිලි කොට ඇතැයි කියැවේ.

“මම ඇමැතිතුමාට ඒ යෝජනාව කළේ ‍මේ පිළිබඳව අධිකරණයට ගියොත් එය නවත්වන්න පුළුවන් වන නිසයි. ඒ වගේම අප මෙය කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කළා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් දැන් අධිකරණයට ගිහින් තිබෙන්නේ. ක්‍රිකට් සඳහා වඩාත්ම සුදුසු වන චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කළ යුතුයි. මේ සඳහා අතුරු කමිටු පත්කිරීම ප්‍රමාණවත් නොවන බව මට පේනවා. මේවා සියල්ල තාවකාලික විසඳුම්. සම්පූර්ණ නීති වෙනස් කිරීම ඊට වඩා සුදුසු වෙනවා."

ක්‍රිකට් වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වුණු විවාදය කාලෝචිත බවත්, පාර්ලිමේන්තුව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව කරන ඇතැම් ප්‍රකාශ ජනතාව අනුමත නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ඉන්දියානු මැදිහත්වීම ක්‍රිකට් කතාවේ දෙවැනි පරිච්ඡේදය සඳහා නිමිත්ත සපයා ඇති බව පෙනී යයි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ද කතාබහක් ඇති විය. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ජෙයි ෂා (Jay Shah) මෙම කතාවේ තීරණාත්මක චරිතයක් නිරූපණය කරයි. ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වන මොහු ක්‍රිකට් කෙරෙහි බලපෑම් සහගත චරිතයකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට යම් බලපෑමක් කර ඇතැයි රොෂාන් රණසිංහ පාර්ශ්වයෙන් කියැවේ. 

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය ජය ගැනීම, මාස කිහිපයකින් එළඹෙන ඉන්දීය මහ මැතිවරණය කෙරෙහි බලපෑම්සහගත බැවින් ජෙයි ෂා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට බලපෑම් සිදු කරමින් සිටින බව කියැවේ. කෙසේ වෙතත් මෙම සංවාදය බරපතළ අතර ක්‍රිකට් අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා දික්ගැසිය හැකිය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00