2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ජනපතිගේ මැතිවරණ කතාව යට සත්තමක්

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 248

බජට් එකෙන් කැළඹී ගිය දේශපාලන ආකාසය වළාකුළු බරිත ගති ස්වභාවයක් ඉසිලීය. ඉඳහිට තැන තැන අකුණු පුපුරා ගිය නමුදු හිතූතරම් ධාරාණිපාත වැස්සක් ඇද නොහැලුණි. ක්‍රිකට් කතාව තරමක් යටගොස් තිබූ අතර නඩුවක් හේතුවෙන් නඩු කෝටියක් දේශපාලන කරළියේ නිර්මාණය විය.

අයවැය සම්බන්ධව පොහොට්ටුව අභ්‍යන්තරයේ යම් මතභේදයක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. මෙවර අයවැය ඉදිරිපත් වන්නටත් මත්තෙන් පොහොට්ටුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර විවිධාකාර ආකාර අදහස් හුවමාරු වෙමින් පැවතුණි.

''අමාත්‍යාංශ වැයශීර්ෂ කිහිපයක් අපි පරද්දනවා...''

මීට මාස කීපයකට පෙර සිටම මෙම කතාව දේශපාලන කරළියේ අසන්නට ලැබුණි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂය සම්මත කළ යුතු බව පොහොට්ටුවේ බහුතරයකගේ අදහස විය. නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙවර අයවැය ඉදිරිපත් වීමත් සමඟම පැහැදිලි මත දෙකක් පොහොට්ටුව තුළ පෙනෙන්නට පටන්ගෙන තිබේ.

''කොහොම නමුත් මේ වෙලාවේ අපි තව එක අවස්ථාවක් දීලා බලමු. අයවැයට විරුද්ධ නොවී ඉමු...''

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වන ජොස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වැනි පිරිසක් මෙම මතයේ එළඹ සිටිති. එහෙත් එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක වැනි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඊට වෙනස් මතයක් ඉදිරිපත් කොට ඇතැයි කියැවේ.

''ආණ්ඩුව කිහිප වතාවක්ම අපිට පොරොන්දු දීලා එකම විදිහට ඒවා ඉෂ්ට නොකර හිටියා. ඒ නිසා මේ අවස්ථාවේ අපි මොනවා හරි කළ යුතුයි. අඩුම තරමේ වැයශීර්ෂ කිහිපයක් හෝ පරාජය කරන්න ඕනෑ...''

කෙසේ වෙතත් මේ හා සම්බන්ධව නිශ්චිත තීරණයකට තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹ නොමැත. යමක් සිදුවේ නම් එය සිදුවන්නට ඇත්තේ අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීමේදීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ සියල්ලේම වැයශීර්ෂ සම්මත කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි. අයවැය කතා තුළදී ජනපති නිල වශයෙන් මැතිවරණ බලාපොරොත්තුවක් ලබාදුන්නේ මෙම සැලසුමේ කොටසක් අනුව බව පැවසේ.

''අයවැය සඳහා ප්‍රමාණවත් විදියට සහයෝගය නොදුන්නොත් පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා සත්තමක් ජනාධිපතිතුමා දැම්මා. තේරුණේ නැද්ද?''

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සඳහන් කළේ එළඹෙන වසරේ මැතිවරණ දෙකක් පැවැත්විය හැකි බවයි. ඉන් එක් මැතිවරණයක් නම් සහතික වශයෙන්ම ජනාධිපතිවරණයය. ඊට පූර්වයෙහි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාවද තමන් සතු බව ජනාධිපතිවරයා නොකියා කියා තිබේ.

මෙවන් වටපිටාවක් හමුවේ පවා  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා අයවැය යෝජනා දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියේය. නාමල්ගේ ක්‍රියා කලාපය දැන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ටද ප්‍රශ්නයක් වී තිබේ.
ඔහු කීවේ මෙවර ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවල හොඳ නරක දෙකම ඇති බවය. එහෙත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ඒවා බවත් ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුළත් කර ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙහි නොමැති බවත් මෙම අයවැය යෝජනා බිම් මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලු ඇති බව පෙනී යන බවත් උක්ත කරුණු කාරණා නිසා තමා අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වළකින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පසුගිය සතිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කලබගෑනියකට මැදිවිය. පක්ෂ නායකවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් ඔහු තදින්ම කිපී සිටි බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. ඔහු මෙම විශේෂ ප්‍රකාශය සිදු කළේ පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ලබාදුන් නඩු තීන්දුව පිළිබඳවයි.

මෙහිදී එල්ල වූ විපක්ෂ විරෝධයට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩු පක්ෂයේ මෛත්‍රී කණ්ඩායමක් ඉදිරිපත් විය. ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිය අසුන්වලින් නැගිට විපක්ෂනායකවරයා අසලට පැමිණියෝය. මෙහිදී සනත් නිශාන්ත හා ප්‍රසන්න රණවීර ආදී චරිත කැපී පෙනුණි. විපක්ෂනායකවරයාගේ අතැති ලේඛනය උදුරා ගැනීමට සහ ඔහුගේ මයික්‍රෆෝනය භාවිතා කිරීමට මෙම පිරිස කටයුතු කළෙන් තත්ත්වය බරපතළ විය.

අවසානයේ මුලසුනට සභාව කල් තැබීමට පවා සිදුවිය. නැවත සභාවාරය ආරම්භ කිරීමෙන් පසු සිය ප්‍රකාශය කියවා අවසන් කළ විපක්ෂනායකවරයා උස් හඬින් මෙසේ කීය.

“මම 27/2 යටතේ ප්‍රශ්නය විමසන අවස්ථාවේ බාධා කරන්න කථානායකතුමා ඉඩ දුන්නා. මගේ මයික් එක ඕෆ් කළා. ස්ක්‍රීන් එක ඕෆ් කළා. හැබැයි මම දැන් මේ හැමෝටම කියන්න කැමතියි මේ එකෙකුටවත් මං බය නෑ. ඕනෑම කෙනෙකුට තනියම වුණත් මුහුණදෙන්න මම සූදානම්. පුළුවන් නම් එනව... පුළුවන් නම් එනවා... මම එකෙකුටවත් බය නෑ. මුන් නරි. මේ හිවල්ලු ටිකක් ඉන්නේ.”

මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසින්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ සිදුකළ ප්‍රකාශය අතරතුර සිදු වූ විනය විරෝධී තත්ත්වය තමන් හෙළා දකින බවද එම විනය විරෝධී සිද්ධියට අදාළව මෙම තීරණය ගත් බවද කථානායකවරයා පසුව සඳහන් කළේය. අනතුරුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට තහනම් කිරීමට කතානායකවරයා කටයුතු කළේය.

කෙසේ  වෙතත් මෙම දඬුවම ප්‍රමාණවත් නැතිබව විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. සනත් නිශාන්ත මහතාද කතානායකවරයාට ලිපියක් ලීවේය. අදාළ ලිපියෙන් ඔහු සඳහන් කර ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළකරන බවයි. එමෙන්ම එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වීඩියෝ ගත කිරීම නතර කරන්නැයි කතානායකවරයා කිහිපවරක්ම දැනුම් දුන්නද විපක්ෂයේ මන්ත්‍රීවරයා ඊට අනුගත නොවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූ බව ඔහු සිය ලිපියේ පෙන්වා දී තිබුණි. එසේම සිද්ධියෙන් පසුව විපක්ෂ නායකවරයා තමා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළ බවද එහි සඳහන් විය.

මෙවන් විපරීත දේශපාලන කලබගෑනි සිදුවෙමින් තිබූ පසුබිමක ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂකයෝද විවිධ කටයුතුවලට මුලපුරමින් සිටියෝය. ඒ අතර පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ඇතැමුන් හඳුන්වන ව්‍යාපාරික ධම්මික පෙරේරා ක්‍රිකට්වලට අත ගැසුවේය. මේ දිනවල විශාල වශයෙන් කතා බහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට සිය ඩී.පී. එඩියුකේෂන් ආයතන භාවිත කිරීමට ඔහු සූදානම් විය.

''2019දී මගේ පොතේ මම ලිව්වා කොළඹ විතරයි හොඳ පුහුණුකරුවන් ඉන්නේ. ඒ අය විශාල ගණනක් අයකරනවා. ක්‍රිකට් ක්‍රීඩාව රටේම හදන්න ඕනෑ නම්, ගම්මැද්ද පුහුණුකරුවන්ට මේ වීඩියෝ තාක්ෂණය ලබාදෙන්න ඕනෑ. අපි දැන් ඒ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.''

ඒ අනුව මේ වනවිට ඩී.පී. එඩියුකේෂන් ආයතනය  පිටපළාත්වල පාසල් ක්‍රීඩකයන් සහ වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් ප්‍රවීණ පුහුණුකරුවන්ගේ දැනුම ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කොට තිබේ. ඉදිරියේදී එම වැඩසටහන ගමේ පාසල් වෙත ගොස් වඩාත් ප්‍රායෝගිකව සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ධම්මික පෙරේරා මහතා පවසයි.

පසුගිය නොවැම්බර් 18 වැනිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුමද කාගේත් අවධානය දිනාගත්තේය. ඒ අනුව අභයාරාමය සුපුරුදු කිරි දානය පැවතියේය. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය කේක් එක කපන මොහොතට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටින අයුරු දැකගත හැකිවිය. මෙම වීඩියෝ පටයට සමාජ මාධ්‍යයෙහි ඉහළ අවධානයක් යොමුවී තිබණි.

පසුගිය සතියේ ආන්දෝලනාත්මක නඩු තීන්දුව සම්බන්ධව තවත් වැදගත් ප්‍රකාශ කිහිපයක් සහ සිද්ධීන් කිහිපයක් වාර්තා විය. මෙරට ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් එල්ලකරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

''මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුණා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැතිකරන්න කතාකරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේහරි අයිතියක් නැතිකරන්න කතාකරන අය අඩුම වශයෙන් රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩකරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා නැතිකරන්න කතාකරන අයට අයිතියක් රුකදෙන එක අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ.''

කෙසේ වෙතත් පසුගිය සතියේ රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය සටනට අවතීරණ වී සිටියේය. ඒ අනුව ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය.

''යුක්තිය වෙනුවෙන් ජනමතය අත්සන් වැඩසටහන'' නමින් මෙය නම් කොට තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ විය.

පසුගිය සතියේ ජාතික ජන බලවේගය මත්ද්‍රව්‍ය සම්බන්ධ කරුණක් හේතුවෙන් ගැටලුවකට මුහුණ පෑවේය. මෙවර අයවැය විවාදය අතරේදී ඔවුහු මෙම සිදුවීම සම්බන්ධව හෙළිදරව්වක් සිදුකළහ. නැගෙනහිර පළාතේ හිටපු ආඥාපති වන අරුණ ජයසේකර මහතා හා ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ඇතැයි සැකසහිතව කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ මෙම ගැටලුව නිර්මාණය වී තිබුණි. අරුණ ජයසේකර මහතා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ව සිටියේය.

හමුදා සේවයේ යෙදී සිටියදී නිලධාරියකුට දේශපාලනය කරන්න නොහැකි වුවත් විශ්‍රාම ගිය පසු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී කටයුතු කිරීමේ අයිතිය කිසිවකුට නැවැත්වීමට නොහැකි බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

''මේජර් ජනරාල් අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිය එද්දී ගුවන්තොටේදී පරීක්ෂාවට ලක් කළා. කුඩු අරගෙන එනවද කියලා හෙව්වා. හේතුව මොකද්ද ජාතික ජන බලවේගය එක්ක දේශපාලනය කිරීම. මේක සාධාරණ නැහැ. මේ වැඩේ කරන්න එපා. යම් දේශපාලන ව්‍යාපාරයකට විතරද මේ රටේ දේශපාලනය කරන්න අයිතිය තියෙන්නේ. අද අපිත් එක්ක වැඩකරන විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කඳවුරුවලටයෑම සීමාකරලා. වෛද්‍ය සැපයුම් ලබාගැනීමත් සීමාකරලා තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ මේ කැත වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරනවා.''

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පසුගිය සතියේ සිදුකොට තිබුණේ යූටියුබ් සංවාදයකට එක්වෙමිනි.

''මම හිතනවා අපේ පක්ෂය ජාතික ජනබලවේගය එක්ක එකතු වුණොත් යන්න යම් ඉදිරි ගමනක් තියෙනවා. ඒගොල්ලන්ගෙ දේශපාලනය වෙනස්. අපේ දේශපාලනය වෙනස්...''

ජාතික ජන බලවේගයේ ආශිර්වාදය ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් එය ඉදිරි ජනාධිපතිවරණයේදී සජබය ලබන ජයග්‍රාහණයක් බව ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය. කෙසේවෙතත් සමගි ජන බලවේගය විපක්ෂයේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔහු එතරම් සතුටක් පළ නොකළේය. හොඳ පිරිසක් පාට පක්ෂවලින් තොරව හැමතැනම සිටින බවත් ඔවුන් පක්ෂය වටා එකතු කරගතයුතු බවත් ඔහු සඳහන් කළේය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00