2024 ජුනි 15 වන සෙනසුරාදා

නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි කොන්දේසි?

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 299

මැතිවරණය සඳහා කෙමෙන් කෙමෙන් දින ළං වෙමින් ඇති බව හැඟවෙන දේශපාලන ක්‍රියාන්විත රුසක් ඇරඹුණි. සැලකිය යුතු පිරිසක් සිය දේශපාලන නවාතැන කුමක්ද තීරණය කරගෙන කටයුතු කළෝය. එහෙත් තම කඳවුරු සහාය දක්වන්නේ කා හට ද යන්න එළිපිට කීමට ඒ කිසිවකු සූදානම් වූයේ නැත. ප්‍රධාන දේශපාලන කඳවුරු කිහිපයක් පමණක් සිය අපේක්ෂකයන් කර තබා ඉදිරියට පැමිණෙමින් සිටියේය. එහෙත් ආණ්ඩු පක්ෂය සිය අභිප්‍රාය පිළිබඳ එකඟතාවක් නිර්මාණය කර ගැනීමට තවදුරටත් අසමත්ව සිටියේය. 

පසුගිය සති කිහිපය තුළම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ණය වාරිකය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන කඳවුරු තුළ අභ්‍යන්තර සාකච්ඡා නිර්මාණය වූයේය.
“ණය වාරිකය ලැබෙයිද නැද්ද දන්නේ නැහැ"

“මේ යන විදිහට තුන්වැනි ණය වාරිකය ලැබෙන එකක් නැහැ"
“ජනාධිපතිතුමා කොහොම හරි ඕක ගනියි"

“මේගොල්ලෝ කොන්දේසි සපුරලා නැහැ"

“ණය වාරිකයක් ගන්න එකත් ජනාධිපතිවරණයට වාසියක් වෙන්න පුළුවන්"

මෙවන් කතාබහ රුසක් ඇසෙමින් තිබූ පසුබිමක වොෂින්ටන් නුවර අයි.එම්.එෆ් මූලස්ථානයට රුස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධව ද එකඟතාවකට පැමිණියේය. ඒ අනුව ඉකුත් බදාදා තීරණය කෙරුණේ ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 336 ක් ප්‍රදානය කිරීමටයි. 

“ශ්‍රී ලංකාව ඉන්නේ පිහි දාරයක් උඩ"මෙම ණය අනුමත කළ ද ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අවදානම පිළිබඳව අයි.එම්.එෆ් පළ කොට ඇත්තේ මෙවන් අදහසකි. කෙසේ වෙතත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2900 ක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලින් නව වාරිකයත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙන මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන දහස සම්පූර්ණ කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“මේක ආණ්ඩුවේ ලොකු ජයග්‍රහණයක්. රටේ ස්ථාවරත්වය සඳහා මේ ණය වාරිකය ලැබීම ලොකු බලපෑමක් කරනවා."

ඒ අනුව මෙම ණය මුදල ලැබීම ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් ලෙස ඉදිරියේ දී ආණ්ඩුව ඇතුළු පාර්ශ්ව විසින් ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ මෙම ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම පෙන්නුම් කරන බවයි. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඉදිරි දිනවලදී මෙම ණය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

මේ අතර පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගි වන තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවකට එක්ව සිටියේය. මෙම සාකච්ඡාව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවක් වූ බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ මුවින් තීරණාත්මක දේශපාලන කරුණු කාරණා රුසක් මෙහිදී හෙළිදරව් වී ඇති බවත් කියැවේ.

“ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය"
ජනාධිපතිවරයා මෙවැන්නක් කී බවටද ඇතැම් පාර්ශ්ව වාර්තා කොට තිබේ. 

මීට අමතරව ආරංචි මාර්ග සඳහන් කරන පරිදි විපක්ෂ නායකවරයා සහ අනුර දිසානායක මහතා විවාදයක් පවත්වන බවට තීරණය කිරීමට මාසයක් තිස්සේ වාද කළ බව පැවසූ ජනාධිපතිවරයා අවසානයේ එක් අයකු පමණක් විවාදයට පැමිණ ඇති බවත්, මේ එක් අයකුගෙන්වත් රටේ ආර්ථිකය ගොඩනැගීමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් වී නැති බවත් මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

මීට අමතරව ආණ්ඩුවේ සහ විපක්ෂ කණ්ඩායම්වල බලය කේන්ද්‍රගත වීම සහ පක්ෂ බෙදී යාම පිළිබඳවත් මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති බව කියැවේ. කෙසේ වෙතත් මෙහිදී තරුණ දේශපාලනඥයන් සමඟ ජනාධිපතිවරයා සඳහන් කළ ඇතැම් කරුණු නිසි පරිදි අනාවරණය නොවූ බවක් ද, ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ සංවාද මෙහිදී සිදුවී ඇති බවක් ද ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය සම්බන්ධ අලුත් තත්ත්වයක් ආරංචි මාර්ග ඔස්සේ අපට දැන ගැනීමට ලැබුණි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධුරයට විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පත් කිරීමෙන් පසු, නිමල් සිරිපාල ද සිල්වා සහ අමරවීර ඇතුළු පාර්ශ්වය වෙන් වී පක්ෂ අයිතිය තහවුරු කර ගැනීමට උත්සාහ දරමින් සිටියහ.

ඒ පිළිබඳ නඩු මගට පවා පිරිස පිවිස සිටි අයුරු පසුගිය දිනවල දැකගත හැකි විය. ඒ අනුව වාරණ නියෝගය ඇතුළු තවත් නඩු සහ නෛතික ක්‍රියාමාර්ග රුසක් පිළිබඳ ඉකුත් සමය පුරා පුවත් වාර්තා වූයේය. එහෙත් හදිසියේම ලැබුණු දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ විජයදාස පාර්ශ්වය විසින් පක්ෂය යළිත් සමථ කිරීම සඳහා යෝජනාවක් නිමල් සිරිපාල පාර්ශ්වයට ඉදිරිපත් කොට ඇති බවකි.
“සාකච්ඡාව පිළිබඳ මූලික අදහස් හුවමාරු කර ගැනීම මේ සතියේ පැවැත්වුණා."

අප වෙත ලැබුණු ආරංචියට අනුව ඉදිරි සතියේදී තිරය පිටුපස මෙම සාකච්ඡාව විධිමත් අයුරින් ආරම්භ වනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් පසුගිය සතියේ කොළඹ දිසා අධිකරණය මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීමට පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ කොට තිබුණි. ඔහු එම සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති නිසාවෙන් එම නියෝගය ඉවත් කරන ලෙස නීතිඥයන් සඳහන් කළ පසුබිමක මෙම දීර්ඝ කිරීම සිදුව ඇතැයි කියැවෙයි.

කලින් කලට නිර්මාණය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාබහ මෙවර නිර්මාණය කර ඇත්තේ සමගි ජන බලවේගය විසිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිළිනොච්චියේ පැවති ජන හමුවකදී මේ හා සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කොට තිබුණි. මෙහිදී තමා කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන කෙනකු බැවින් ජාත්‍යන්තර මැයි දිනයේ ප්‍රකාශ කළ ලෙසටම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා විසින් ජනතාවට පොරොන්දු විය.

“අපි අනිවාර්යෙන්ම පොරොන්දු වෙනවා මේ රටේ උත්තරීතර නීතියේ සඳහන් වන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න. එදා මම මේක මැයි දිනයේදීත් ප්‍රකාශ කළා. අදත් කියනවා. ඒත් සමහරුන්ගෙන් මේ ගැන ඇහුවම භූමිතෙල් දාපු ගැරඬියෝ වගේ දගලනවා. බයයි. කොන්දක් නැහැ ඒ අයට. ආත්ම ශක්තියක් නැහැ මේ වගේ කෙළින්ම කියන්න. අපි ඔබේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරනවා සේම ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස සලකා ආරක්ෂා කරනවා."

හම්බන්තොට රුලියෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම සහ ලන්සා කඳවුර එක්වූ සන්ධානය වැල්ලවායේ නව රුලියකට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එළඹෙන විසි නම වැනිදා මෙය පැවැත්වෙනු ඇතැයි කියැවේ. 

ඉකුත් සතියේ මේ පිළිබඳ මූලික රුස්වීමක් පැවති බව සන්ධානයේ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඒ අනුව දැනගන්නට ලැබෙන්නේ මොණරාගල රුලිය සංවිධානය කිරීමේ වගකීම ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාට පැවරී ඇති බවකි.
 “ජගත් කොහොමද රුස්වීමේ වැඩ කටයුතු"

සාකච්ඡාව අතරේදී නිමල් සිරිපාල ද සිල්වා ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ.

“වැඩ ටික කරගෙන යනවා සර් අවුලක් නෑ" පුෂ්පකුමාර කීවේය. 

“මොණරාගල රුස්වීම ගැනත් කට්ටිය බලාගෙන ඉන්නේ"

යනුවෙන් දුමින්ද දිසානායක පවසන විට ඒ පිළිබඳව බිය යුතු නැති බවත් තම පාර්ශ්වය වෙත රුල්ලක් නිර්මාණය වෙමින් ඇති බවත් මහින්ද අමරවීර සඳහන් කොට ඇතැයි කියැවේ. 

නව සන්ධානයේ පිරිස් පවසන පරිදි සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් සිව්දෙනකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ නිමල් ලන්සා ඇතුළු නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඉතාම රහසිගත හමුවක් පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක පවත්වා තිබේ. මෙම හමුව සඳහා පැමිණි සජබ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආරක්ෂකයන් පවා ඒ සඳහා සහභාගි කර නොගෙන සාකච්ඡාව සඳහා පැමිණීමට වග බලාගෙන තිබූ බව නව සන්ධානයේ පිරිස් පවසති. 

“නව සන්ධානය සමඟ ඔවුන් එක්වන්නේ කෙසේද? එසේ පැමිණෙනවා නම් එය සිදුවන්නේ කෙසේද? යන්න මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. බොහෝ දුරට මෙම සජබ මන්ත්‍රීවරුන් සිව්දෙනා වැල්ලවායේ දී නව සන්ධානයේ රුලියට ගොඩවීම සඳහා දැනටමත් සියලු කටයුතු ඉතාමත් රහසිගතව සිදුවෙමින් තිබෙන්නෙ."

පසුගිය සතියේ ලන්සලාට ඇතැයි කියන රුල්ල පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කටයුතු කළේය. ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති යම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවකදී මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන. ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි එදාට වඩා අද ශක්තිමත්."

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් මැතිවරණ කල් දැමීම පිළිබඳ පවසන කතා පිළිබඳව ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය ප්‍රශ්න කළේය.

“ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා. එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කළොත් ඒ එම පක්ෂයේ අවසානයයි."

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නිසි වෙලාවට ප්‍රකාශයට පත් කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කොට තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ ද ජනාධිපතිවරණය සහ මැතිවරණ සඳහා සූදානම් වීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු පසුගිය සතියේ දැකගත හැකි විය. එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික ලේකම් ලෙස හිටපු මුදල් ඇමැතිවරයකු වන රවී කරුණානායක මහතා පත් කිරීම ද එවැනි ක්‍රියාමාර්ගයක් විය. අනාවරණය වූ පරිදි පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්වීම සිදු කර තිබේ.

කරුණානායක මින් පෙර අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය පිළිබඳ අසතුට පළ කළ බව මෙම පත් කිරීමත් සමඟ දේශපාලන කරළියේ බොහෝ දෙනා සිහිපත් කරති.
“දේශපාලනය තේරෙන අය තනතුරුවලට දාන්න ඕනෑ. බහුබූත කතා කිව්වම හෑල්ලු වෙන්නේ අපේ පක්ෂය."

වරක් රවී කරුණානායක එලෙස පවසා ඇතැයි කියැවේ. ඒ අනුව මෙම පත් කිරීම ඉකුත් සමයේ සිදුවූ සිදුවීම්වල ප්‍රතිඵලයක් යැයි දේශපාලන කරළියේ කතා පැතිර යමින් තිබේ.

කෙසේ වෙතත් තනතුර ලැබීමත් සමඟ හිටපු අමාත්‍යවරයකු වන රවී කරුණානායක මහතා පවසා ඇත්තේ තමා පක්ෂයේ බෙදී ගිය සියලු කොටස් එක්කර පක්ෂය ශක්තිමත් කර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන යන බවකි.

මේ අතර ඉකුත් සතියේ පැතිර යමින් පැවති දේශපාලන කතාන්දර අතර කැබිනට් තනතුරු කිහිපයක වෙනසක් පිළිබඳ කතාව ද තරමක විශේෂිත එකක් විය. නිල වශයෙන් තහවුරු කර නොමැතිමුත්, ඉදිරි සති කිහිපය තුළදී අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයි දේශපාලන කරළියේ පැතිර යන කතා අනුව කියැවේ. ජනමාධ්‍ය අධිකරණ ආදී අමාත්‍යාංශ පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුවී ඇති බව පෙනී යයි.

මේ අතර දේශපාලන කරළියේ පැතිර යමින් ඇති තවත් කතාවක් ඉතා ආන්දෝලනාත්මක ස්වරෑපයක් උසුලයි. අන්තර්ජාල වාර්තා අනුව දමිළ මාධ්‍ය පුවත්පතක්ද මේ පිළිබඳ තොරතුරු වාර්තා කොට තිබේ. මෙයින් කියැවෙන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් සැලසුම් සකස් කරමින් සිටින බවකි.

නිල වශයෙන් කිසිදු පාර්ශ්වයක් මුලාශ්‍ර සහිතව තහවුරු කර නොමැතිමුත් මෙම කතාවට අනුව ඉදිරි දින 45 ඇතුළත පොහොට්ටු මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම අරමුණු කරගෙන කොන්දේසි පැනවීමට පොහොට්ටුවේ පිරිසක් සූදානම් වන බව කියැවේ.

ඒ අනුව විදුලිබල මණ්ඩල පනත සම්මත කර ගත්ත ද එය ක්‍රියාත්මක නොකර සිටීම සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසට කොන්දේසි ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පැතිර යමින් පවතින මෙම කතාවට අනුව මෙම කොන්දේසි ජනාධිපතිවරයා වෙතට ඉදිරිපත් වූ පසුව අර්බුදය පැන නගිනු ඇත.

තවදුරටත් විවිධ පාර්ශ්ව සඳහන් කරන පරිදි  කොන්දේසිවලට  ජනපති එකඟ නොවුණහොත් ආර්ථික පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂයේ අසුන් ගනිමින් ඡන්දය පාවිච්චි කිරීමට පොහොට්ටුවේ මෙම කණ්ඩායම සූදානමින් සිටිති. ඒ සමඟම පොහොට්ටුවේ මෙම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව යාමද සිදුවනු ඇත.

පසුගිය සතියේ ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් වාර්තා වූ සුවිශේෂීම සිදුවීම වූයේ එහි නායක අනුර කුමාර දිසානායක මහතා උතුරේ සිදු කරනු ලැබූ සංචාරයයි. දිසානායක මහතා යාපනයේ සිදු කරන ලද සංචාරයේ දී තමිල් අරසුකච්චි පක්ෂ කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවී සාකච්ඡා කොට තිබේ. 

මෙම පිරිසට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු උතුරේ දේශපාලනඥයන් කිහිප දෙනකු සංචාරය අතරතුරේදී ජාතික ජන බලවේග නායකයා විසින් හමුව ඇතැයි කියැවේ. ජනාධිපතිවරණය අභිමුව උතුරේ ඡන්ද පදනම ලබාගැනීම සඳහා විපක්ෂ නායකවරයා සහ ජනාධිපතිවරයා දියත් කර ඇති ව්‍යාපෘතියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම හමුවීම් සංවිධානය වූ බව ඇතැමෙක් සඳහන් කරති.

වාර්තා වූ පරිදි මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දේශපාලනඥයන්ට අමතරව උතුරේ ආගමික නායකයන් ද මෙම සංචාරය තුළදී හමුවීමට කුමාර දිසානායක මහතා කටයුතු කොට තිබේ. ඉන් අනතුරුව අනුර දිසානායක මහතා ලන්ඩනය බලා පිටත් විය. ඒ ලන්ඩනයේ ජා.ජ.න බලවේගය ශාඛාව සංවිධානය කරන දේශපාලන කටයුතු ගණනාවකට සහභාගි වීමටය.

•  චමිඳු නිසල් ද සිල්වා