2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

නාමයෝජනා දුන් වෙලාවේ තිරය පිටුපස රස කතා වැලක්

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 491

ආරම්භක සංඥාව නිකුත් විය. තරගකරුවන් 39 දෙනෙක් එකම කිරුළක් වෙනුවෙන් තරගය නිල වශයෙන්ම ඇරඹූවෝය. මේ ඉතිහාසයේ වැඩිම තරගකරුවන් පිරිසක් තරගය සඳහා එක්වූ අවස්ථාව විය. වෙනදාට කැපීපෙනෙන තරගකරුවන් දෙදෙනකු මෙම තරගයේ ප්‍රම්‍ුඛ වුවද මෙවර තත්ත්වය ඉඳුරාම වෙනස් බව පෙනී ගියේය. සටනට බට අය අතර කැපීපෙනෙන චරිත රැසක්ම වූහ.

ගෙවී ගිය සතියේ දේශපාලන සිදුවීම් රැසකින් සමන්විත තීරණාත්මක සතියක් විය. මෙතෙක් දේශපාලන තීන්දු ගැනීම අතපසු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් කිහිප දෙනෙක් ද සිය තීන්දු ප්‍රකාශයට පත් කළෝය. මේ තීන්දු බොහොමයක් පිටුපස හෙළිදරව් නොවුණු කතා පැවතුණු බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස හැරදා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වූයේ සංදර්ශනාත්මක ගිවිසුම්ගත වීමක් ද සමඟිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න අතර, රාජිතගේ තීරණය, සම්මුතියක් අත්සන් තැබීම සිදුවූයේ කොළඹ ගංගාරාම සීමා මාලකයේදීය. මෙහිදී ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට හේතු කාරණා ද රාජිත සේනාරත්න පැහැදිලි කළේය.

“මට සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒ පක්ෂ නායකයන් එක්කවත් ප්‍රශ්නයක් නෑ. ඒ මැතිනිය එක්කවත් කිසි ප්‍රශ්නයක් නෑ. එතුමගේ හොඳම යාළුවා ලක්ෂ්මන් ෆොන්සේකා මගෙත් යාළුවා.”

සජිත් ප්‍රේමදාස මහතා සහ තමා පැය දෙකක් තනිව කාමරයක සාකච්ඡා කළ බවත්, සිය අදහස් සියල්ල ඔහුට කී බවත් රාජිත සේනාරත්න මෙහිදී අනාවරණය කළේය.

“ඇමැතිතුමා මාව දාලා යන්න එපා. මම ආයාචනය කරනවා මාත් එක්ක ඉන්න”

“එහෙම කියන්න එපා.. මගේ පපුව තද වෙනවා”

එවැනි සංවාදයක් ද තමා සහ සජිත් ප්‍රේමදාස අතර ඇතිවූ බවත්, එහෙත් මේ මොහොතේ පක්ෂයක් ගැන සිතා තීරණ ගැනීමට නොහැකි බැවින් දැනට පවතින වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා ජනපතිට සහයෝගය ලබාදීමට තීරණය කළ බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ අතර රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවීම ඉදිරි පාර්ලිමේන්තු සභාග ආණ්ඩු නිර්මාණය වීමේදී සියල්ල කිව යුතු තත්ත්වයක් බව දේශපාලන විචාරකයෝ සඳහන් කළහ. එසේම සෞඛ්‍ය අමාත්‍ය ධුරය පිළිබඳ ඔහුගේ බලාපොරොත්තුව ගැන ද කතාබහක් නිර්මාණය විය.

“නයා මරන්නෙත් නැතුව පොල්ල කඩන්නෙත් නැතුව රාජිත ගහන ගේම් එක හොඳට බලාගෙන ඉන්න ඕනෑ”

පොහොට්ටුව හැරදා ජනපතිට සහාය ලබාදෙන පාර්ශ්ව තුළ ද මෙම ආගමනය පිළිබඳ සැක සංකා මතුව තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර රාජිත සේනාරත්න නික්ම යාමෙන් හිස් වූ බේරුවල සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරයට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ටී.ම්. ඩිල්ෂාන් මහතා පත්කිරීමට සමගි ජන බලවේගයේ කටයුතු කරමින් සිටියේය.

මීළඟට පාඨලී චම්පික රණවකගේ තීන්දුවත් දේශපාලන කරළියේ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය. සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණ පසුව ස්වාධීන මන්ත්‍රීවරයකු වූ පාඨලී චම්පික නැවත සජිත් සමඟ එක්වීමට හේතුව බොහෝ දෙනෙක් විමසා සිටියහ.

එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන පක්ෂයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගිය කාලසීමාවේ දී බොහෝ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වේ.
ඒ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර ගැනීම ද සිදුවූයේය.

“ජාතික ජන බලවේගයට බලයට එන්න දෙන්න හොඳ නෑ. අපි එකතු වෙන්න ඕනෑ”

මෙවන් අදහසක් රැගෙන ඔහු විවිධ පාර්ශ්ව වෙත එළැඹ සාකච්ඡා මෙහෙයවා ඇතැයි කියැවේ. අවසානයේ දේශපාලන වටපිටාව පිළිබඳ දීර්ඝව විමසා ඔහු අවසන් තීරණයට එළඹුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව සාකච්ඡා වට කිහිපයක් අවසානයේ වෙනම උත්සව සභාවක දී සමගි ජන බලවේගය සමඟ එක්වීමට පාඨලී චම්පික රණවක තීරණය කළේය.

“අද සජිත් ප්‍රේමදාස මහතා සමඟ දේශය වෙනුවෙන් ගත් පියවර ලේසි පහසු එකක් නොවන බව අපි දන්නවා. ඒත් අපි එකක් දන්නවා. මේ සටන අපි ජයග්‍රහණය කරනවා. ඒ වගේම මේ රට ආරක්ෂා කරගෙන අනාගත දරුවන් වෙනුවෙන් කැප වෙනවා.”
මෙහිදී සමගි ජන බලවේගය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ මෙහි නිලධාරීන් ද එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නිලධාරීහු ද ගිවිසුම් වෙත එළඹියහ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය මන්ත්‍රීවරයකු නැවත පක්ෂයට පැමිණීමට කතාබහක් නිර්මාණය කළ සිදුවීමක් විය. ඒ අනුව ජනපති වෙත ගිය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට යළි තීරණ කිරීම කැපීපෙනෙන සිදුවීමක් විය.

“ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට පක්ෂය පාවා දීලා යන්න පුළුවන්කමක් නෑ. ගමේ ජනතාව කියන්නේ අපි ඉන්න පක්ෂයේම ඉන්න කියලා. පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවා කියලා හරියටම තිබුණේ නැති නිසා ජනාධිපතිතුමාට සහාය දෙනවා කියලා හිටියා. නමුත් පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාපු නිසා අපි අනිවාර්යයෙන්ම පක්ෂයත් එක්ක කටයුතු කරන්න බැඳිලා ඉන්නවා.”

මේ අනුව පසුගිය සමයේ ජනපති සමඟ එක්වූ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පොහොට්ටුවෙන් ජ්‍යෙෂ්ඨයකු අපේක්ෂකයකු ලෙස පත් කරන්නට යැයි දැඩිව කියා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට පොහොට්ටුවේ ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨයකු ලෙස පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ද එම තත්ත්වය පිළිගෙන ඇති අතර, ඔවුන් නැවත සිය කණ්ඩායමේ පිරිස් වෙත පක්ෂය සමඟ එකතු වන ලෙස ආරාධනා කරමින් සිටින බව කියැවේ.

ඉකුත් සතියේ දේශපාලන වාර්තා අතර තරමක් මවිත කරන සුළු පුවතක් වූයේ පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් පැවැති බවට වූ කතාවයි. පොහොට්ටුවේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ මෙම සාකච්ඡාවේ තොරතුරු වාර්තා විය.

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තීරණය වූ සැණින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හමුවීමට තමා කැමැත්තෙන් පසුවන බව නාමල් රාජපක්ෂ විසින් පවසා ඇතැයි කියැවේ.
“අලුත් තරුණ අපේක්ෂකයකු විදිහට අපිත් කැමතියි, ඔහු සමඟ හමුවෙලා සාකච්ඡා කරන්න.”

එම පාර්ශ්වයෙන් එවන් සාධනීය ප්‍රතිචාරයක් ලැබීමත් සමඟම නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එම්.ඒ. සුමන්තිරන් හමුවීමට ගොස් තිබේ. මේ අනුව නාමල් සුමන්තිරන් හමුවේ දී නාමල් ගෙන ඇත්තේ අභියෝගාත්මක තීන්දුවක් බවත් එයට තමා සුබ පැතුම් එකතු කරන බවත් සුමන්තිරන් පැවසූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

“අපි ඔබතුමාට සුබ පතනවා. ඔබතුමා තරුණයෙක් විදියට අභියෝගාත්මක තීරණයක් අරගෙන තියෙනවා. අපිට අවශ්‍යයි උතුරේ ප්‍රශ්න පිළිබඳ ඔබතුමාගේ අදහස දැනගන්න”

“අපි උතුරෙදි එකයි දකුණ දි එකයි දෙකක් කියන්නේ නෑ. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය විදිහට අපි සම්පූර්ණ බලය බෙදීමකට එකඟ නෑ. ඒත් යම් යම් සීමා යටතේ බලතල බෙදී යන්න ඕනෑ කියලා අපි හිතනවා.”

මේ අතර නාමල් රාජපක්ෂ උතුරේ දේශපාලනඥයන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ද ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“ඔබතුමා යාපනයට එන අවස්ථාවක දී කියන්න, මම පැයක විතර කාලයක් අරගෙන දෙන්නම් උතුරේ දේශපාලනඥයන්ට ඔබතුමාගේ අදහස කියන්න”

පසුගිය සතියේ පොහොට්ටුවෙන් වෙන් වූ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සමඟ එක්වීම කැපී පෙනුණි. ඒ අනුව ලංසා පාර්ශ්වය, අමරවීර - නිමල් සිරිපාල පාර්ශ්වය සහ ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ පොහොට්ටුවෙන් කැඩී ආ පාර්ශ්වය එකම වේදිකාවක් මතට ගොඩ වූහ. ඔවුන් සන්ධානගත වූයේ පොදුජන එක්සත් පෙරමුණ නමින් පැරණි පුටුව ලකුණ ද පෙරටු කොට ගනිමිනි.

මෙම නව සන්ධානයේ නායකත්වය හිමිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා වෙතයි. ලේකම් ධුරය ලසන්ත අලගියවන්න වෙතත්, භාණ්ඩාගාරික ධුරය චාමර සම්පත් වෙතත් හිමිවිය. ආර්ථික සංවිධායකවරුන් ලෙස දුමින්ද දිසානායක, නලින් ප්‍රනාන්දු සහ පියල් නිශාන්ත අය පත් කොට තිබුණි.

මෙම දේශපාලන සංදර්ශන සැණකෙළි අතරේ සතියේ තීරණාත්මක දිනය වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා (15) ය. එදින ඇප තැන්පත් කළ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කළේය. මෙම අවස්ථාව හා සබැඳි දේශපාලන සිදුවීම් සහ රස කතා රැසක් අප වෙත වාර්තා විය.

නාමයෝජනා බාරදීමේ වැඩ කටයුතු සඳහා ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ නැකැත් බලා තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද කල් ඇතිවම සාගල රත්නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනකු සමඟ නාමයෝජනාව බාරදීම සඳහා රාජගිරියේ මැතිවරණ කොමිසම වෙත පැමිණියේය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු ද පෙරටු කොටගෙන නාමයෝජනා බාරදීමට පැමිණියේ නැකැත් විමසා බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ ද සිය කණ්ඩායමේ පිරිසක් සමඟ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උදෑසනම හමුවී බුලත් දුම්කොළ දී වැඳ අවසර ගෙන කිරිබත් අනුභව කර නාමයෝජනා බාරදීමට පැමිණියේය. මෙම ගමන පිටත් වීමට නාමල් සමඟ පැමිණි පිරිසට ඔහුව බලාගන්නා ලෙස මහින්ද රාජපක්ෂ කී බවද පොහොට්ටුවේ ආරංචි මාර්ග කියා සිටියේය.

කෙසේ වෙතත් නාමයෝජනා බාරදීමට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණියේ තරමක් පමා වීය. ඔහු දෙතුන් දෙනකු සමඟ නිහඬවම පැමිණ පසුපස අසුන් ගන්නා අයුරු දැකගත හැකි විය. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ව්‍යාපාරික දිලිත් ජයවීර ඇතුළු අපේක්ෂකයන් රැසක් ද මෙහි පැමිණ සිටියහ.

මෙහි පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවට සිටින බොහෝ දෙනකු හමුවේ සිනාසෙමින් සුහද කතාවන්ට මුල පුරන්නට විය. නාමල් අසලට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට ද සුබ පතා තිබේ. සුබ පැතුමකින් නොනැවතී ඔහු ප්‍රතිවාදීන් හා ආ ගිය විත්ති පිළිබඳව මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ද කතා කර ඇතැයි කියැවේ.

“සාගර දැන් අපි පොලිස්පති පත් කිරීමට මොකද කරන්නේ? ඒකට ඉක්මනින්ම තීරණයක් ගන්න වෙනවා”

පොහොට්ටුවේ ලේකම් සාගර දුටු විට වෙනත්ම කතාවක් පවසමින් ඔහු සමඟ ද දොඩමළු වීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

“මම කමිටුවේ සාමාජිකයෙක් විතරයිනෙ ජනාධිපතිතුමා. ඔබතුමා නිර්දේශ කරල එවන්න. අපි බලමු”

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමා වී පැමිණි අනුර කුමාර දිසානායක වෙත පිටුපසින් ගොස් ඔහුට ද අත දී මිනිත්තු කිහිපයක් ඔහු සමඟ ද කතා කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි. අනුර පමා වී පැමිණි නිසා ජනාධිපතිවරයා ඔහුව දැකීමට සොයා ගිය බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායකගෙන් ද ඉදිරි ජනාධිපතිවරණ කටයුතු පිළිබඳ විමසා ඇතැයි කියැවේ. මෙම සංවාදය මාධ්‍යවේදීන්ගේ පවා අවධානය දිනාගෙන තිබේ.

කෙසේ වෙතත් මෙහි පැමිණ සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වට කොටගෙන ආරක්ෂකයන් පිරිසක් මෙන් ඔහුගේ සමීපතමයන් රැඳී සිටින අයුරු දැකගත හැකි විය. යම් අපේක්ෂකයකු මුහුණට මුහුණ හමුවීම වළක්වා ගැනීමට මෙලෙස ඔවුන් ප්‍රේමදාස මහතා වටා වළල්ලක් සාදාගෙන සිටි බවට මෙම සිදුවීම දුටුවන් කතාවක් ද හදා තිබුණි.

මේ අතර ජනාධිපතිවරයා පසෙකින් සිටි විපක්ෂ නායකවරයාට ද අතට අත දීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකි විය. එහෙත් පූර්ණ අතට අත දීමකින් වැළකී විපක්ෂ නායකවරයා ජනපතිට ආචාර කොට සුබ පතන ආකාරය දැකගත හැකි විය. මෙම අතට අතදීම් සහ අදාළ සිදුවීම් දුටුවෝ ජප කළ තෙල් වර්ග අතේ ගාගත් ජනපති අපේක්ෂකයන් පිළිබඳ මතකය අවදි කළෝය.

මේ අතර නාමල් රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක එකිනෙකාට අතට අත දෙමින් සුබ පතා ගන්නා අවස්ථාවේ වීඩියෝවක් ද එදිනම සමාජ මාධ්‍යයේ අවධානය දිනා ගත්තේය. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ වෙත සජිත් ප්‍රේමදාස මහතා පවා සුබ පැතුම් එක් කළ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

අනතුරුව නාමයෝජනා බාරගැනීම ආරම්භ විය. මෙහිදී ඇප තැන්පත් කළ පිරිස අතරින් 39 දෙනෙක් නාමයෝජනා බාර දුන්හ. සජිත් ප්‍රේමදාස මහතා පමණක් කොමිසමට පිටුපසින් පැමිණ නාමයෝජනා බාරදෙන ආකාරය දැකගත හැකි විය. මින් පෙර මෙලෙස සුබ වෙලාවන් බලා නාමයෝජනා බාර දී තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පමණි. සියලු දෙනා නාමයෝජනා බාරදීමෙන් අනතුරුව, විරෝධතා පළ කිරීමට කොමිසම කාලය ලබා දුන්නේය. එහිදී විරෝධතා තුනක් ඉදිරිපත් වූ නමුත් එම විරෝධතා ත්‍රිත්වයම කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙක් ලැයිස්තුගත වූහ. හදවත ලකුණින් ජනාධිපතිවරණයට පැමිණෙන බව ආරංචි මාර්ග සඳහන් කළ ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලැබී තිබුණේ ගෑස් සිලින්ඩරය ලකුණයි. ඊට අමතරව මාලිමාව, දුරකථනය සහ පොහොට්ටුව ද මෙවර ජනාධිපතිවරණ ලකුණු අතරට අන්තර්ගත විය.

පසුගිය සතියේ නාම යෝජනා භාරදුන් අපේක්ෂකයෝ සිය ප්‍රචාරක කටයුතුද ආරම්භ කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂ අනුරාධපුර අටමස්ථානයේ ආධ්‍යාත්මික චාරිකාවක් සංවිධානය කළ අතර සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා ආශිර්වාදය ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව විය. 

" සර්ව ආගමික ස්ථාන හරහා යන ආධ්‍යාත්මික චාරිකාවක් තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ "

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සඳහන් කළ පරිදි, මෙරට ප්‍රධාන පෙළේ සියලුම ආගමික සිද්ධස්ථාන හරහා නාමල් රාජපක්ෂ අධ්‍යාත්මික චාරිකාවක නිරත වීමට සූදානමින් පසුවන බව දැනගැනීමට ලැබුණි.
මේ අතර  අනුරාධපුර ගමනට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ. අනතුරුව අනුරාධපුරයෙන්ම සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට නාමල් රාජපක්ෂ කටයුතු කළේය. මෙම අවස්ථාවට පාක්ෂිකයන් සැලකිය යුතු පිරිසක් එක්ව සිටීහ. සිය මංගල රැලියද අනුරාධපුරේදීම පැවැත්වීමට නාමල් රාජපක්ෂ සූදානමින් පසුවූයේය

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපතිවරණය වෙනුවෙන් සිය "සන්ධානය" ශක්තිමත් කර ගැනීමට කටයුතු කරනු දැක ගත හැකි විය. ඒ අනුව බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී දේශපාලන පක්ෂ සහ සන්ධාන 34ක් සමඟ එකතුව සම්මුතියකට ලැබීමට ජනපති රනිල් වික්‍රමසිංහ  කටයුතු කළේය. “පුළුවන් ශ්‍රී ලංකා” ලෙස නමකට තිබූ මෙම  සම්මුතිය අත්සන් තබනු ලැබුවේ දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් පමණක් නොව රටේ සහ ජනතාවගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට ජනාධිපතිවරයා සමඟ එක් වූ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන පිරිස් එක්ව සිටිනු දැක ගත හැකි විය.

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී සැලකිය යුතු ජන සහභාගීත්වයක් සමඟ සිය මංගල රැලිය පවත්වනු ලැබීය. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ද දිස්ත්‍රික්ක තුනක් පදනම් කරගෙන සිකුරාදා රැලි තුනක් සංවිධානය කිරීමට කටයුතු කර තිබුණි. ජනපති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී සිය මංගල රැළිය පැවැත්වීමට කටයුතු කළේය. නාමල් රාජපක්ෂ සිය මංගල රැලිය අනුරාධපුරේදී එළඹෙන 21 වනදා පවත්වන බව වාර්තා විය. මේ අනුව සතිය අවසන් වන විට දේශපාලන තැටිය රත්වීමට පටන්ගෙන තිබුණි.

• චමිඳු නිසල් ද සිල්වා