2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

සජබ – එජාප දීගය කොටඋඩ යැව්වේ කවුද?

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 1175

මහා කුණාටුවකට පසුව උදෑසන මහ සයුර සන්සුන් වන්නේ යම් සේද, එසේම ශ්‍රී ලාංකීය දේශපාලනය ද තරමක සන්සුන් බවක් උසුලමින් සිටියි. මැතිවරණ කුණාටුවෙන් ඉක්බිති මේ දක්නට ලැබෙන සන්සුන් බව සතියක් හමාරක් කෙළවර වන විට නිසැක වශයෙන්ම බිඳී යනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණය 2024 සඳහා අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමඟයි.

බොහෝ දේශපාලනඥයන් සිය තනතුරු තාන්න මාන්න ගිලිහී යාමේ ශෝකයෙන්ද, සිය අනාගත දේශපාලන ජීවිතය පිළිබඳ විචිකිච්ඡාවෙන්ද පසුවෙන බවක් පෙනෙන්නට තිබේ.

“අනිවාර්යයෙන්ම හිටපු අය සීයක්වත් ගෙදර යනවා”

මේ වන විට දේශපාලන කරළියේ නිතර අසන්නට ලැබෙන මෙම තොරතුර හේතුවෙන් බොහෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තැතිගෙන ඇතැයි කියැවේ.

“අවදානමක් තියෙනවා. නිකරුණේ සල්ලි වියදම් කරලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි අතේ කීයක් හරි ඉතුරු කරගෙන පැත්තකට වෙලා ඉන්න එක”

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොහොට්ටුවේ හා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මෙම අදහසින් යුතුව නාමයෝජනා ලබා ගැනීමට උනන්දුව නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇති බවකි.

අවසන් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් තිස් දෙනකුට අධික පිරිසක් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවනු ඇතැයි මේ අනුව ආරංචි මාර්ග සඳහන් කරයි. බන්දුල ගුණවර්ධන, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර ආදී ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ගේ නම් ද මේ වන විට එම ලැයිස්තුවට අන්තර්ගත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සිදුවන්නට ගිය දීගය ද මේ වනවිට අසාර්ථක වී ඇතැයි දැන ගැනීමට ලැබී තිබේ. ඒ සඳහා හේතු වී ඇත්තේ සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ කොන්දේසි බව කියැවේ.
“සමගි ජන බලවේගය මැතිවරණ ගිවිසුමක් සඳහා එළඹෙන්න නම් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතුයි”

මෙම කොන්දේසිය ගිවිසුම් සඳහා එළඹීමේ හැකියාව හීන කළ බව කියැවේ. කෙසේ වෙතත් පසුගිය දා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ පක්ෂ නායකයා ලෙස තවදුරටත් කටයුතු කළ යුතු බව පක්ෂ බල මණ්ඩලය විසින් යෝජනා ස්ථිරත්වයෙන් පිළිගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ අතර ටෙලිෆෝනය ලකුණෙන්ම මෙම මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට සමගි ජනබලවේගය තීරණය කර ඇති බවද දැන ගැනීමට ලැබේ. ඒ පිළිබඳව සමගි ජන සන්ධානයේ නව මහ ලේකම් කබීර් හෂිම් මහතා ද පසුගිය දා තහවුරු කොට තිබුණි.
“අපි ඉදිරිපත් කරපු ප්‍රධානම කොන්දේසියක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් විය යුතුයි, නව කණ්ඩායමක් එක්ක අපි සන්ධාන ගත වෙනවා කියන කාරණාව. නමුත් ඔවුන් දිගටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් එක්ක සන්ධානගත වෙලා හිටියේ. ඔවුන් සමඟ දිගටම කටයුතු කරනවා කියලා තිබුණු නිසා ඔවුන් සමඟ එකතු වෙන්න අපිට ඉඩක් තිබුණේ නැහැ. අපි සන්ධානයක්. අපි තමා බලවත්ම සන්ධානය. අපිට යම් නිර්ණායක තියෙනවා. එතැනින් එහාට අපිට වෙනත් අය සමඟ සන්ධානගත වෙන්න බැහැ.”

සමගි ජන සන්ධානයේ නව සභාපතිවරයා වන ඉම්තියාස් බාකීර් මාකර් මහතා ද පැවති සාකච්ඡා පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබුණි. ඔහු පවසා තිබුණේ එජාපය සිය නායකත්වය රුවන් විජයවර්ධන මහතාට පවරා දෙමින් ගිවිසුම්ගත වීම සඳහා ඉතා ආසන්නව සිටි බවකි. එහෙත් එජාප ජ්‍යෙෂ්ඨයකුගේ මැදිහත්වීමෙන් අවසානයේ එය විනාශ කර දැමූ බව ඔහු පවසා තිබිණි.

මේ අතර පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී බල මණ්ඩලය ද රැස්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළ බව දැන ගැනීමට ලැබෙයි.

රනිල් වික්‍රමසිංහ වහාම එජාප නායකත්වයෙන් ඉවත් වී, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන එජාප නායකත්වයට පත් කළ යුතු බවට සජබ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇති කොන්දේසිය මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්ව ඇතැයි ද වාර්තා වේ.

“ඒගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ. ඒක එකඟතාවලට අදාළ කර ගන්න ඕනෑ කාරණාවක් නෙවෙයි.”

මේ ආකාරයේ විවේචන මෙහිදී මතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සටනේදී තමාට සහාය දුන් පක්ෂ හා සන්ධාන සමඟ එක්ව මහ මැතිවරණයටද ‘සිලින්ඩරය’ යටතේ තරග කිරීමේ අවශ්‍යතාවය එජාප නායකයා මෙහිදී පෙන්වා දී ඇති බවද මාධ්‍ය වාර්තා හෙළිදරව් කරයි.
“අපි අලියා ලකුණෙන් තරග කළොත් හොඳයි. ඒක තමයි මේ වෙලාවේ සිදු කරන්න හොඳම දේ”

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් වෙතින් මෙවන් අදහසක් ද මතු කර ඇතැයි කියැවේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා යම් ජනප්‍රියත්වයක් ඇති කරගෙන ඇති පසුබිමක, අලියා ලකුණෙන් තරග කිරීමෙන් පක්ෂය නැවතත් ප්‍රතිසන්ධාන ගත කොට බලවත්ව නැගී සිටිය හැකි බවට අදහසක් මෙම පිරිස තුළ වන බවද කියැවේ.

මේ අතර පොහොට්ටුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය පළ කරන කණ්ඩායම ද දිගින් දිගටම සාකච්ඡාවල නිරත වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ නිවෙස්වල මෙම සාකච්ඡා සිදුව ඇති බව දැන ගැනීමට ලැබෙයි.

“මේ යන විදිහට ගොඩක් දුරට ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග කරන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපි කුසලානයෙන් හරි පුටුවෙන් හරි තරග කරනවා”

එම පාර්ශ්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එවන් කතාවකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය සතියේදී මෙරටට පැමිණියහ. ඒ අනුව IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වැනි වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පසුගිය සතියේ දී ඇරඹුණි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු සහ ප්‍රතිපත්ති පිළිබඳව පුළුල් එකඟතාවයක් ජනාධිපතිවරයා ඇති කරගෙන තියෙනවා. එහෙත් ඔහු යෝජනා කරලා තියෙන්නේ ජනතාව මත පැටවී ඇති අධික බදු බර හේතුවෙන්, එම අරමුණු ප්‍රතිපත්ති සාක්ෂාත් කරගන්න වෙනත් විකල්ප උපාය මාර්ග භාවිත කළ යුතු බව”

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි බදු බර හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාව එයින් මුදවාලීමට වර්තමාන රජය අනුගමනය කිරීමට සූදානම් වන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් (Dr. Peter Breuer) යන මහත්වරුන් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සහ  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගී වී ඇතැයි වාර්තා වේ.

මේ අතර පසුගිය සතිය වන විට නව ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතනය වෙත සිදු කරනු ලැබූ පත්වීම් පිළිබඳ දේශපාලන කරළියේ විවේචන මතු වෙමින් තිබේ. මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය ක්ෂේත්‍රයේ හිටපු ප්‍රධානීන් නැවත පත්කිරීම පිළිබඳව අමාත්‍ය විජිත හේරත්ගෙන් මාධ්‍ය ප්‍රශ්න කර සිටියේ ඒ අනුවය.

“ඔක්කොම එකපාර වෙනස් කරන්න ගිහිල්ලා රාජ්‍ය යාන්ත්‍රණයම අවුල් කරගන්න අපි කැමති නැහැ. ගොඩක් අය බලාපොරොත්තු වුණේ අපි එහෙම කර ගනියි කියලා. ඒත් අපි එහෙම නැහැ. අපි විධිමත් යාන්ත්‍රණයකට අනුව තමයි වැඩ කරන්නේ.”
මුද්‍රණාලයාධිපතිනිය සම්බන්ධව ඉදිරිපත් වී ඇති විවේචන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. මැතිවරණ සමයේදී ඇය ඉවත් කිරීම සිදු නොකළ යුත්තක් බවත් ඇගේ ධූර කාලය දෙසැම්බරයේදී අවසන් වනු ඇති බවත් මෙහිදී විජිත හේරත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත. ඊට අමතරව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවන සාකච්ඡාවලට වැදගත් බවද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත් අන්තර් කාලය අවසානයේදී රාජ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත්ව ඇති චෝදනාවලට අනුව අවශ්‍ය පරීක්ෂණ සහ පියවර ගනු ඇතැයි ඔහු මෙහිදී පවසා ඇත.

පසුගිය සතියේ දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය මහ මැතිවරණය සඳහා සිය කඳවුර පුළුල් කර ගැනීමේ වැඩසටහනක නියුතු වී සිටින බවද පෙනී ගියේය. ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජයවීරගේ පක්ෂය සමඟ මේ වන විට එකතු වී තිබේ. එසේම හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කොට ඇත. ඊට අමතරව හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පසුගිය සතියේදී පත්කොට තිබුණි.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා රාජිකා වික්‍රමසිංහ ඇතුළු පිරිසක්  ආසන සංවිධායක ධුර ලබා ගනිමින් මව්බිම ජනතා පක්ෂයට එක්ව සිටින බව වාර්තා වී ඇත. ඒ අනුව මෙවර මව්බිම ජනතා පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අවතීර්ණ වනු ඇතැයි ආරංචි මාර්ග තහවුරු කරයි.
පසුගිය සතියේ අසන්නට ලැබුණු තවත් අපූරු දේශපාලන ආරංචියක් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස පිළිබඳ අපේක්ෂාවයි.

“අද ලංකාවට ආපුවාම අනුර ජනාධිපතිතුමාගෙන් පූර්ණ ජනාධිපති සමාව ලැබේවිද මල්ලි”

පසුගිය සතියේ විදෙස් සංචාරයක් අතරතුර රන්ජන් රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත මෙම ප්‍රකාශය මුදාහැර තිබුණි.

අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය දෙවැනිදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇතැයි වාර්තා වේ.

“මට ජනාධිපති සමාව ලැබිලා තිබුණත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද බැරිද කියලා සැකයක්, අවිනිශ්චිතභාවයක් ඇතිවෙලා තිබුණා. මේ පාර ඡන්ද කාඩ් එක මට ඇවිල්ලා තිබුණා. ඒත් මම ලංකාවේ ඡන්දෙ වෙලාවෙදි හිටියේ නැහැ.”
ජනාධිපති ලේකම් කාර්යාලයට රන්ජන් රාමනායක පැමිණ ඇත්තේ ඒ හා සම්බන්ධ ලිපිගොනු කිහිපයක් රැගෙන යාමට බව මේ වන විටත් ඔහු පැහැදිලි කොට තිබේ. මැතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අවශ්‍ය ලියකියැවිලි රැගෙන එන ලෙස දැනුම් දුන් බවත් ඔහු මෙහිදී සඳහන් කොට ඇත. ඊට අමතරව තමා ජාතික ජන බලවේගයට හොරු අල්ලන්න පුළුවන් අය බවට සහතිකයක් ලබාදුන් ආකාරය ද ඉකුත් දා රන්ජන් රාමනායක සිහිපත් කොට තිබේ.

මේ අනුව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඔහුට ජනාධිපති සමාව ලබා දුන්නද මැතිවරණයකට තරග කිරීමට නොහැකි ආකාරයෙන් සීමා කිරීම් කිහිපයක් ලබා දී තිබුණි.

අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් තමන්ට පූර්ණ සමාවක් ලබා දෙනු ඇති බවට ද ඔහු විශ්වාසයෙන් පසුවන බව වාර්තා වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ලබාදුන් විශේෂ නියෝගයක් පිළිබඳව ද නිකුත් දා දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තිබුණි.

මෙම නියෝගය ඇය ලබා දී ඇති බව කියැවෙන්නේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සහ අමාත්‍යාංශ මාධ්‍ය ඒකක නියෝජනය කරනු ලබන නිලධාරීන් වෙතය.

“මින් ඉදිරියට මගේ නම ඉස්සරහින් මැතිනිය, මහත්මිය, මෙනවිය වගේ මුකුත් දාන්න එපා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියලා යෙදුවම ප්‍රමාණවත්”

මාධ්‍ය කණ්ඩායමට උපදෙස් ලබා දෙමින් ඇය සඳහන් කළ දෑ පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර සිටියි.

මේ වන විට අග්‍රාමාත්‍යවරිය සිය අමාත්‍යංශවල විවිධ කණ්ඩායම් කැඳවමින් ඉදිරි කටයුතු සඳහා උපදෙස් ලබා දෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍යවරිය විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියැවේ.

එම අනුබද්ධ ආයතනවල නිලධාරීන් විසින් මේ වන විට ආයතනවල වත්මන් තත්ත්වය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ආයතනවල ඇතිවී ඇති ගැටලු පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර ඇත. රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ සඳහා විධිමත් සැලැස්මක් අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාව වන බවත් අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට මෙහිදී අවධාරණය කොට ඇත.

මේ අතර ජාතික ජනබලවේගය උතුරේ මැතිවරණ ක්‍රියාන්විතය වෙනුවෙන් සුවිශේෂී උපාය මාර්ග වෙත අවතීර්ණ වෙමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමත් එක්ක හමුවෙලා සාකච්ඡාවක් කරලා තියෙනවා”

ඉකුත් සතියේ පැතිර ගිය මෙම ආරංචියත් සමඟ මෙම උපාය මාර්ගය පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඉකුත් ජනාධිපතිවරණයේදී සුළු නමුත් පළමු වරට ජාතික ජන බලවේගය කෙරෙහි උතුරේද යම් ප්‍රසාදයක් පිළිබිඹු වීමත් සමඟ උතුරේ ජන ආකර්ශනය ලබා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමට මේ දිනවල ජාතික ජනබලවේගය වෙහෙසෙමින් සිටියි.

“ශ්‍රීධරන් සමඟ සාකච්ඡා කරලා තියෙනවා උතුරේ ජාතික ජනබලවේගය සමඟ තරග කිරීම පිළිබඳව”

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම සාකච්ඡාව එතරම් සාර්ථක වී නොමැත. එහෙත් තමිල් අරුසුකච්චි ඇතුළු උතුරේ දේශපාලන ප්‍රබලයන් මෙම සාකච්ඡාව පිළිබඳ යම් තැතිගැන්මක් ඇති කරගෙන ඇතැයි කියැවේ.
“අපි කවුරුත් සමඟ සන්ධානගත වෙන්නෙ නෑ. අවශ්‍ය නම් ඒ අය අපිත් එක්ක ඇවිල්ල කතා කරයි”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් වෙතින් ද මීට සමාන ප්‍රකාශයක් ඉකුත් දා පළවීමට හේතු වී ඇත්තේ ඉහත කී සාකච්ඡාව බව දැන ගැනීමට ලැබේ.

කෙසේ වෙතත් උතුරු නැගෙනහිර දෙපළාතේ සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ඉදිරි මහ මැතිවරණයේදී ලබා ගැනීමේ අභිලාෂයෙන් යුතුව ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙස ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට දන්වා ඇතැයි වාර්තා වාර්තා වේ. ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලන නායකයන් පසුගිය සතියේ කොළඹ දී ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසුණු අවස්ථාවේදීය.

දෙමළ දේශපාලන පක්ෂ වෙන් වී කටයුතු නොකළ යුතු බවද හොඳ තීරණයකට පැමිණ එළඹෙන මහ මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවක් විසින් දිනා ගැනීම තමන්ගේ අපේක්ෂාව බවද ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසූ බව සෙල්වම් අඩෙයික්කලනාදන් වව්නියාවේ දී මාධ්‍යයට පැවසීමත් සමඟ මෙම තොරතුරු අනාවරණය වී ඇත.

නව රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා සිකුරාදා  පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඒ මහතා පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව සතුටු වන අතර ශ්‍රී ලංකාවේ නව නායකත්වය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජනපති අනුර කුමාර දිසානායක සහ ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් අතර සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය ප්‍රථම විදේශ නිල සංචාරය සඳහා ඉන්දියාවට ආරාධනා කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා කටයුතු කොට තිබුණි. එම ඉල්ලීම පිළිගෙන මහ මැතිවරණය අවසන් වූ පසුව එම සංචාරයේ නිරත විය හැකි බව අනුර කුමාර දිසානායක මහතා පවසා ඇතැයි කියැවෙයි. ඒ අනුව ඉදිරි නවදිල්ලි සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී දෙරට අතර පවතින සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරනු ඇත.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00