කාලගුණය නිසාදෝ මෙවර දේශපාලන කරළිය ද අලස බවක් පෙන්නුම් කරයි. වෙනදා මැතිවරණයකදී දක්නට ලැබෙන කලබලකාරීත්වය මෙවර දක්නට නොලැබෙන තරම්ය. වාර්තා වන්නේ බොහෝ විට අභ්‍යන්තර ගැටුම් පිළිබඳ තොරතුරුයි. මනාප සටන වෙනදා තරම් තවමත් සරුවට ආරම්භ වී නොමැත. සිදුවන්නේ කුමක්දැයි අපි අවධානයෙන් බලා සිටිමු.
නාමයෝජනා පිරිනැමීමේදී ඇතිවූ ගැටුම්, ආරෝවන් පිළිබඳ තොරතුරු තවදුරටත් වාර්තා වෙමින් තිබේ. මේ කතාව ඇසෙන්නේ කොළඹ ගෑස් සිලින්ඩරයෙනි. කොළඹට ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වීමට සූදානම් වූ කිත්සිරි රාජපක්ෂ මෙම ගැටලුවට මූලික වී ඇතැයි කියැවේ. කිත්සිරි යනු කොළඹ ආන්දෝලනාත්මක අතීතයකට උරුමකම් කියන චරිතයකි. ඔහුට නාමයෝජනා ලබා නොදිය යුතු බවට තර්ක කරනු ලැබුවේ රවී කරුණානායකයි.
“මෙයාට නාමයෝජනා දෙන්න එපා”
රවී කරුණානායක නාමයෝජනා මණ්ඩලයෙන් ප්‍රසිද්ධියේම ඉල්ලා ඇතැයි කියැවේ. කෙසේ වෙතත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම සමීපතම ජ්‍යෙෂ්ඨයකු කිත්සිරි රාජපක්ෂ ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වී ඇතැයි කියැවෙයි.
“ප්රශ්නය ගොඩක් දුර ඇදිලා ගියා. වාද විවාද ගොඩක් ඇතිවුණා”
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම වාද විවාද අතරේ රවී කරුණානායක පැහැදිලිවම සඳහන් කර ඇත්තේ කිත්සිරි රාජපක්ෂ හට නාමයෝජනා ලබා දෙන්නේ නම් තමා තරගයෙන් ඉවත් වන බවකි. ඒ අනුව මෙම ගැටුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතට ගමන් කර ඇතැයි කියැවේ.
“එයාට නාමයෝජනා දුන්නොත් මම පක්ෂයෙන් ඉල්ලා අස්වෙනවා”
රවීගේ මෙම තීරණය හමුවේ පක්ෂ නායකත්වයට පවා කිත්සිරි රාජපක්ෂ ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොවීය.
ඒ අනුව කිත්සිරි ඉවත් කෙරුණද උද්ගත වූ තත්ත්වය හේතුවෙන් රවී කරුණානායක සන්සුන් නොවූ බව කියැවෙයි. ඔහු සිය ආසන බල මණ්ඩලය කැඳවා “ඕගොල්ලෝ ඔය ජනාධිපති කාර්යාලයට සම්බන්ධ වෙලා ඉඳලා දැන් ඡන්දේ ඉල්ලන
අපේක්ෂකයන්ට ඡන්දෙ දෙන්න එපා” ආදී වශයෙන් ප්‍රකාශයක් කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේ එක එක දිස්ත්‍රික්කවල ඉඳලා පැරදුණාට පස්සේ කොළඹට මෙයාලා ගෙනත් දාලා. දැන් මෙයාලට ඉඩ දෙන්න අපිට බැහැ”
මේ අතර ගෑස් සිලින්ඩරයෙන් හිටපු වෘත්තිය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය හට නාමයෝජනා නොලැබීමට ද මෙවන් වූ ප්‍රබල අපේක්ෂකයකුගේ බලපෑමක් හේතු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස් සිලින්ඩරයට නොදෙවැනි ලෙස සමගි ජන බලවේගයේ අසමගිය ද ඉකුත් සතියේ කැපී පෙනුණි. අවස්ථා කිහිපයකදීම මෙම ගැටලුව ඉස්මතු විය.
එයින් එක් සිදුවීමක් වූයේ, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීමයි.
“මම විශේෂයෙන්ම කියනවා සමගි ජනබලවේගය සමඟ තවදුරටත් කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චි කරන්න එපා කියලා. මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩි ලෙස කලකිරිලා කතා කරන්නේ. මම නාමයෝජනා අත්සන් කරලා පැය 24 ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩ කරපු පුද්ගලයකුට මට හොරෙන් ලබා දීලා.”
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තීරණයක් ගැනීම ද ඉකුත් සතියේ ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඇය සිය තීරණය දන්වමින් පක්ෂය වෙත ලිපියක් යොමු කර තිබුණි. එහෙත් තමා මෙම
තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතාව අපහසුතාවයට පත් කිරීමට නොවන බව පසුව ඇය පැවසුවාය.
“පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තා රැස්වීම් ලංකාව පුරාම අරගෙන ගියා. දැන් මේක මගේ මැතිවරණය. මම කල්පනා කළා වෙනත් කෙනකුට මෙම මැතිවරණයේදී මේ වැඩ කරන්න භාරදුන්නොත් හොඳයි කියන එක. ඒ අනුව තමයි ඒ ලියුම භාරදුන්නේ.”
මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස පවසන අතරේ ඇය කීවේ එක් පුද්ගලයකු තමා වැඩක් නොකළ බවට චෝදනා කළ බවකි.
“එක පුද්ගලයෙක් කිව්වා. ඒක නායකතුමාගේ මතයක් නෙවෙයි. ඒකයි තියෙන ප්රශ්නය. එහෙම දේශපාලනයක් නොකරන කෙනෙක්ගෙන් මම එහෙම දේවල් අහන්න ලෑස්ති නෑ.”
එහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ ජලනි ප්‍රේමදාස මහත්මිය සමඟ යම් අර්බුදයක් තිබේද යන්නය.
“මම පක්ෂය ඇතුළේ දේශපාලනය කරන කාන්තාවක්. ජලනි ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ. තනතුරක් දරන්නේ නෑනේ”
මෙය හිරුණිකාට එරෙහි ජලනිගේ අභියෝගයක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. පක්ෂයේ කාන්තා සංවිධාන අතර අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වී ඇති බවත් ඒවායෙහි කැපී පෙනීම සඳහා, කිහිප දෙනකුම උත්සාහ කිරීම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි.
“අපි ප්‍රේමචන්ද්‍ර මැතිනියගෙන් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ලෙස දිගටම කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇය ඊට එකඟ වී තිබෙනවා. ඒ අතරම ප්‍රේමචන්ද්‍ර මැතිනියට මැතිවරණ ප්රචාරක කටයුතුවලදී එය කළ නොහැකි වුවහොත් එහි කටයුතු අධීක්ෂණය කිරීමට පක්ෂයේ කාන්තා අංශයේ තවත් කාන්තා සාමාජිකාවන් සිටිනවා.”
මේ අතර පසුගිය සතියේ ආන්දෝලනාත්මකම සිදුවීමට මුල පිරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් ආණ්ඩුවට දින 7 ක කාලයක් ලබා දෙන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවත් එම වාර්තා ප්‍රසිද්ධ කළ පසු අනුර පානයෙන් මත්ව සිටින ජනතාවට සිහි එළවාගත හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
“ඇමැතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද, ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා. ගරු ඇමැතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදී කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොළකරු ගැන තිබෙන්නේ.”
මෙම ප්‍රකාශයත් සමඟ නිර්මාණය වූයේ තරමක් බරපතළ තත්ත්වයකි. අමාත්‍ය විජිත හේරත් කැබිනට් මාධ්‍ය හමුවේදී මීට ප්‍රතිචාර දක්වා තිබුණි.
“ගම්මන්පිල මහත්තයම තමයි පාස්කු දඩමීමා කරගෙන ගෝඨාභය බලයට ගෙනාවෙ. එදා ජාතිවාදය අවුස්සලා ගෙනාවෙ. අවුරුදු ගාණක් ඇමැතිකම්වල හිටියා. එහෙම නම් ඔය වාර්තා දෙන්න තිබුණනෙ, දැන් වැළපෙන්නේ. මෙච්චර කල් වාර්තාව හංගගෙන හිටියා නම් බරපතළ වරදක්. ගෝඨාභයගේ ළඟම හිටපු කෙනෙක් නිසා ඒවා අරන් ගියා ද දන්නේ නෑ. පුටින්ටත් වඩා හොඳයි කියල ගෝඨාභය ගෙනාපු, ගෝඨාභය මහතීර් මොහොමඩ් වගේ කිව්ව අයනෙ. හොයල බලමු. ඇත්තටම ඒවා හොයන්න දෙයක් නෑ. ඇත්තටම තියෙනවා නම් හෙටම ගෙනත් දෙන්න. මැතිවරණ කාලේ මෙහෙම විහිළු කරන්න එපා. වාර්තා දෙක හෙටම ගේන්න.”
කෙසේ වෙතත් මෙම ගැටලුව මෙතැනින්ද නිමා නොවුණු අතර නැවතත් උදේ ගම්මන්පිල කියා තිබුණේ මෙවන් කතාවකි.
“ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් ඔවුන් ඊයේ රාත්‍රියේ කතා කළ ආකාරයට අවශ්‍ය නම් මාව අත්අඩංගුවට ගන්න. අවශ්‍ය නම් මට වධ බන්ධන දෙන්න. හැබැයි ඒ මොනවා කළත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැන ගැනීමේ අයිතිය වෙනුවෙන්, සිතීමේ නිදහස් වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටින පුද්ගලයන් විදිහට ලබන සඳුදා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළොත් මේ වාර්තා දෙක අපි විසින් ප්‍රසිද්ධ කරනවා කරනවාමයි.”
මේ අනුව පාස්කු වාර්තා ගැටලුව ඉදිරි සතිය පුරා ද ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකට හේතු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
ජාතික ජනබලවේගය ද පසුගිය සතියේ සිය මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කර තිබුණි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී තරම් ප්‍රබල ප්රචාරක යාන්ත්‍රණයක් මාලිමාව කෙරෙන් නිරීක්ෂණය නොවන බව ඇතැම්හු සඳහන් කළහ.
කෙසේ වෙතත් පසුගිය සතියේදී මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මුළු රටෙන්ම මන්ත්‍රී ධුර එකසිය විසි පහකට වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය විසින් බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් හදන බව තමන් කැට තියා ප්‍රකාශ කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික අනුරාධපුර මන්ත්‍රී ධුර අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මේ අතර ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසා තිබුණේ ආණ්ඩු බිහිවූ පමණින් රටක් හැදෙන්නේ නැති බවයි. සමස්ත පද්ධතියේ කඩා වැටීමට රාජ්‍ය සේවය ද සම්බන්ධ බවත් එහිද නිවැරදි වීම් සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දී තිබුණි.
“අලුත් ආණ්ඩු ආ පමණින්ම එකපාරටම ජනතාව බලාපොරොත්තු වන රට බිහි වෙන්නෙ නැහැ. රට නිවැරදිව ඉදිරියට යන්න ජනතාවයි, රාජ්‍ය සේවයේ යෙදී සිටින අයයි, බලයට ගෙනෙන ආණ්ඩුයි කටයුතු කළ යුතුයි. එවිට තමයි ජනතාව බලාපොරොත්තු වන සංවර්ධිත රටක් ගොඩනගන්න පුළුවන් වෙන්නෙ.”
මේ අතර පොහොට්ටුව ද තමන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කර තිබුණි. බහුතරයක් අපේක්ෂකයන් තරුණ නවක අපේක්ෂකයන් වූ අතර, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැසකට ද නාමයෝජනා ලැබී ඇති බව වාර්තා විය.
“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හැම රැස්වීමකටම සහභාගි වෙන්න යන්නේ නෑ. එතුමා හම්බන්තොට තෝරගත්ත දිස්ත්‍රික් කිහිපයක රැස්වීම්වලට සහභාගී වෙනවා”
දේශපාලන ආරංචි මාර්ග මෙසේ සඳහන් කරන අතරේ දැන ගැනීමට ලැබුණේ පොහොට්ටුව ප්‍රධාන රැස්වීම් කිසිවක් නොපැවැත්වීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව පොහොට්ටුව වතු රැස්වීම් දහස් ගණනක් සහ කුඩා පරිමාණ රැස්වීම් දහස් ගණනක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටී.
මේ වන විට නාමල් රාජපක්ෂ සියලු කටයුතු මෙහෙයවමින්, අධීක්ෂණය කරමින් කටයුතු කරන බව ආරංචි මාර්ග තහවුරු කරයි. ඩිජිටල් මාධ්‍ය හරහා මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කිරීමට ඔවුන් වැඩි බරක් තබා ඇති බව කියැවේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කටයුතු මෙහෙයවීම වෙනුවෙන් තංගල්ල සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබුණි. ඔහු තංගල්ලේ රැඳී සිටින අතරතුර හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසට රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබුණි.
“සර්ව හම්බවෙන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආණ්ඩුවේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා ඉන්නවා”
“මොකක්ද හේතුව”
“සියලුම නිල වාහන භාර දෙන්න කියලා සර් එක්ක කතා කරන්න”
“මම තංගල්ලේ ඉන්නේ, සිකුරාදා වෙනකොට එනව. සෙනසුරාදා වාහන භාර දෙන්න පුළුවන්”
ආරංචි මාර්ග පැවසූ පරිදි සිදුව ඇත්තේ මෙවන් සංවාදයකි. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ නිවැරදි තොරතුරු දැන ගැනීමට ‘දේශය’ අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව සම්බන්ධ කර ගතිමු.
එහිදී දැන ගැනීමට ලැබුණු පරිදි මේ වන විට හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් පිළිබඳ අධ්‍යයනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ තීරණය පැමිණීමටත් පෙරාතුව ආණ්ඩුවේ නිලධාරීන් ක්‍රියාත්මක වීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතින බව එම පාර්ශ්වය සඳහන් කරයි.
“මම මේ ඔක්කොම භාර දෙනවා. එකක්වත් තියා ගන්නේ නෑ. මම යුද්ධයක් අවසන් කරන්න නායකත්වය ලබාදුන් ජනාධිපතිවරයෙක්. වාහන ආරක්ෂාව ඉවත්කොට මගේ ආරක්ෂාව පිළිබඳ බලාගන්න කියලා, ආණ්ඩුවට මම කියනවා”
කෙසේ වෙතත් අදාළ කමිටුවේ තීන්දුව ලැබුණු පසුව නිසි තක්සේරුවක් සහිතව මෙම කටයුතු සිදු කළ යුතුව තිබූ බව මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණි. පසුගිය සතියේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වැනි ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීම තරමක සුවිශේෂී සිදුවීමක් විය. මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන අය එක්ව සිටියහ. පෙර නොදුටු අපූරු අවස්ථාවක් මෙහිදී උදා වූයේ ජනාධිපතිවරුන් තිදෙනා එකම වේදිකාවක දී ඔවුන්ට ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමත් සමඟයි.
මෙහිදී මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ මෙවන් කතාවකි.
“රටේ පාලකයා හොඳ වූ තරමින්ම රටක් හැදෙන්නේ නෑ. දෙවැනියා අගමැති. තුන්වැනියා කැබිනට් මණ්ඩලය. එක දෙක තුනම පිරිසුදු වෙන්න ඕනෑ. දූෂණය වංචාවෙන් තොර වෙන්න ඕනෑ. මම කොහෙත්ම කැමති නෑ, මේ පහුගිය 74 ම මේ රට කාපු, රට පාලනය කරපු කියලා කියනවට. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ දේශපාලනඥයන්ට විතරක් බැන්නට වැඩක් නෑ. දේශපාලනඥයනුත් මුල ඉඳලම හැදෙන්න ඕනෑ. අමාත්‍යාංශ ලේකම් ඉඳලා, ජනාධිපති ලේකම් ඉඳලා, පහළට හැදෙන්න ඕනෑ. රටේ පුරවැසියොත් යහපත් වෙන්න ඕනෑ.”
මෙහිදී පිරිස ඉදිරියේ දී, බිහිවන ජනාධිපතිවරයකුට ලබා දෙන උපදෙස් පිළිබඳව විමසා සිටි අවස්ථාවේ හිටපු ජනාධිපතිවරුන් ලබා දුන්නේ අපූරු පිළිතුරුය.
“මේ රටේ හැම කෙනාටම දොරවල් විවෘත වෙන්න ඕනෑ, උගත්, වැදගත් අයට දේශපාලනයට එන්න. මම දැන් වෙලාව වෙන් කරන්නේ දේශපාලනයට නෙවෙයි. අලුත් නායකයන්ව හදන්න”
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙලෙස පවසන විට දේශපාලනය සිදු කරන විවිධ වෘත්තීය කණ්ඩායම් පිළිබඳවත් කතාබහක් නිර්මාණය විය.
වරලත් ගණකාධිකාරීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මෙවන් කතාවකි.
“මේක හැම වෙලේම පාලනය කරන්නේ නීතිඥයෝ. ඔයගොල්ලෝ වැරදි වෘත්තියේ ඉන්නේ”
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වරලත් ගණකාධිකාරිවරයකුට මෙරට ජනාධිපති වීමට හැකි වේවා යැයි ද ප්‍රාර්ථනා කළේය.
මේ අතර ඇදුණු තවත් අපූරු මාතෘකාවක් වූයේ දින 52 ආණ්ඩුවේ බල පෙරළිය පිළිබඳ කතාවයි. මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනාම එකම වේදිකාවක සිටියදී නැගුණු මේ පැනයට මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන්නේ තවත් අපූරු පිළිතුරකි.
“මට මේවට උත්තර දෙන්න පුළුවන්. රනිල් මහත්තයා මෙච්චර හොඳට කතා කර කර ඉඳලා තරහ වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඕනෑ කෙනකුට පෞද්ගලිකව මාව හම්බවුණොත් මම කියන්නම්. ඒක මගේ තනි තීන්දුවක් නෙවෙයි. හැබැයි එකේ වගකීම මම ගන්න ඕනෑ. රාජ්‍ය නායකයෙක් වුණාම බොහෝ දේවලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”
පසුගිය සතියේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළි නොගන්නා බැවින් පිළිගත හැකි යුක්ති සහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනතාවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාය. මේ අතර සිය අපේක්ෂාව විපක්ෂයේ බලය අත්පත් කර ගැනීම බවද ඔහු සඳහන් කර තිබුණි.
“විපක්ෂයේ සිට විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීම තමා අපේ අරමුණ. මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය ලබා දීම තමා සිදු කරන්න ඕනෑ. නමුත් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. අද ජනතාවට කියපු දේවල් නෙවෙයි, මේ අය කරන්නේ. වෙනසක් කරයි කියලා ජනතාව, තරුණ තරුණියන් විශ්වාස කළා. ජාතික ජනබලවේගය වේදිකාවේ හිටපු අයට තනතුරු දෙන්නේ. දක්ෂයන්ට, සුදුස්සන්ට නෙවෙයි. තරුණ තරුණියෝ බලාපොරොත්තු වුණු වෙනස වෙලා නැහැ.”
පසුගිය සතියේ දැන ගැනීමට ලැබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන තරමක් උණුසුම් අමුතු මුහුණුවරක් ගෙන ඇති බවයි. එක්සත් ජාතික සන්ධානයෙන් ‘අලියා’ සලකුණින් තරග කිරීමට ජීවන් තොණ්ඩමන් තීරණය කර තිබුණි.
ඔහු පසුගිය සතියේ ජනතාව අමතමින් තරමක අමුතු කතාවක් ද කීවේය. ජනාධිපතිවරණයේදී තම දරුවන්ගේ කැමැත්තට අනුව වතුකරයේ ජනතාව ඡන්දය භාවිත කළ බවත්, මහ මැතිවරණයේදී සිය කැමැත්තට අනුව ලංකා කම්කරු කොංග්‍රසය කෙරෙහි විශ්වාසය තබා ‘අලියා’ සලකුණට ඡන්දය භාවිත කරන ලෙසත් ඔහු කියා සිටියේය.
දමිළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් සමගි ජන බලවේගයෙන් නුවරඑළිය සඳහා නායකත්වය ලබා දෙන්නට විය. ඔහු ද පසුගිය දා ජාතික ජනබලවේගය දැඩිව විවේචනය කරනු දැකගත හැකි විය. ජාතික ජන බලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් අතර වෛද්‍යවරුන්, නීතිඥයන්, ගුරුවරුන් සහ වෘත්තිකයන් සිටින බවත්, එම අපේක්ෂකයන් සුදුසු දේශපාලනයට නොව, ඔවුන්ගේ වෘත්තියට පමණක් බවත් ඔහු පැවසීය.
• චමිඳු නිසල් ද සිල්වා