2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ආණ්ඩුවට නඩු දාන්න විපක්ෂයේ සූදානමක්

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 300

වෙනදාට මැතිවරණ කාලවලදී සියලු‍ම අපේක්ෂකයන් හැසිරෙන්නේ ජයග්‍රාහකයන් මෙනි. එහෙත් මෙවර මහ මැතිවරණයේදී කල් ඇතුවම පරාජය පිළිගත්තාක් මෙන් ඇතැම් අපේක්ෂකයන් වෙතින් හාවක් හූවක් නොපෙනෙයි. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට ඡන්දදායකයන් තුළ ද උත්සාහයක් නොවන සෙයකි. යම් විටෙක විපක්ෂය දෙසින් ගෝරණාඩුවක් ඇසේ නම් ඒ විපක්ෂයට කවුරුන්ද හොඳම යන්න පිළිබඳවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනිකව සක්‍රිය වීමත් සමඟ ඉකුත් සතිය පුරාවට විවිධ කලබගෑනි වාර්තා විය. රනිල් - හරිනි ගැටුම ඒ අතරින් ප්‍රමුඛ වූයේය. පසුව රනිල් වික්‍රමසිංහ මහතා දිවයින පුරා රැස්වීම්වලට සහභාගි වීමද අරඹා තිබුණි. ඒ අනුව පසුගිය සතියේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ වත්මන් ආණ්ඩුවට එරෙහිව නඩු දෙකක් පැවරීමට නීතිඥයන් ඇතුළු පිරිසක් යෝජනා කළත් තමන් එය වළක්වාලූ බවයි.

“පැරදුණු අපේක්ෂකයෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනතුරු ඇමැති කෙනෙක් ලෙස පත් කරන්නට බැරි බව හෝඩිය පන්තියේ කෙනෙක් වුණත් දන්නවා. ඉතින් මේ අය ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කළත් හොඳ වෙලාවට ඒක නතර වුණා. අගමැතිගේ පත් කිරීම සම්බන්ධවත් ඇතැමුන් අධිකරණයට යන්න සූදානම් වුණත් මම එය නතර කළා. අගමැති ලෙස පත් කළ යුත්තේ මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා.

පළමුවෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් අහන්න තිබුණා. එතුමා බහුතරය නැතැයි කියනවා නම් විපක්ෂ නායකගෙන් අහන්න තිබුණා. 2019 ජනාධිපතිවරණයෙන් පසුව මා ගෝඨාභය රාජපක්ෂ ජනපති හමුවී අගමැති ධුරය තබා ගැනීමට කිසිම බලාපොරොත්තුවක් නැති බව පැවසුවා. නමුත් අප ඉල්ලා අස්වන්නේ බ්‍රහස්පතින්දා බවත් දැනුම් දුන්නා. නමුත් මෙවර එවැනි විමසීමක් සිදුවූයේ නැහැ. සමහර නීතිඥයන් පැමිණ නඩු පවරමු යැයි පැවසුවා. එසේ කළ යුතු නැති බව මම දැනුම් දුන්නා.”‍

රනිල් වික්‍රමසිංහ මහතා නඩු දැමීම වළක්වා තිබුණද ආණ්ඩුවෙන් ඔහුට නඩු වැටී තිබිණි. විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්ව කටයුතු කර තිබුණේ ඒ අනුවය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ආණ්ඩුවටද නොරිස්සුම් බව පෙනී ගියේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කී කතාවත් සමඟිනි.

“පරාජයට පත්වූ රනිල් වික්‍රමසිංහ නැවත වටයකින් බොරු කියමින් විහිළු සපයමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහගෙන් ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්න කියලා ඔහු කියලා තිබුණා. ව්‍යාවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න එයාට කිසිම අයිතියක් නැහැ. ව්‍යවස්ථානුකූලව තිබුණු ඡන්ද කඩාකප්පල් කරපු, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු, අධිකරණය නියෝග පවා නොතකා හරිමින් වැඩ කරපු රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ ඒකාධිපතිවාදය ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ගැන නොවෙයි. පැරදුණාට පස්සෙත් ආණ්ඩුවෙන් කෝකියෝ 16 දෙනකු ඉල්ලා සිටියා නම්, ඒ කාලයේ කොහොම පාවිච්චි කරන්න ඇත්ද?”

මේ අතර වැඩිදුරටත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණේ මැතිවරණය අවසන් වූ සැණින් රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බවකි. ඔහු විවේකයක් ලබා ගැනීමේ අරමුණින් විදෙස්ගත වන බව කීවද යම් ජාත්‍යන්තර ආයතනයක තනතුරක අපේක්ෂාවක් පවතින බව ඇතැම් ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර පසුගිය සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ශ්වයෙන් ද දේශපාලන කරළිය වෙත විවිධාකාර ආරංචි ගලා එන්නට විය.

“අනුර කුමාර දිසානායක සහෝදරයා දැන් ෆෝන් ආන්සර් කරන්නේ නෑ.”‍

ඉකුත් සතියේ මාධ්‍ය වාර්තාවලද දැක්වූ පරිදි මෙවන් චෝදනාවක් ඔහුගේ හිතවතුන් විසින් මතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අමාත්‍යාංශ රැසක වැඩ රාජකාරි සිදු කිරීමට සිදුවී ඇති බැවින් ඔහුට මෙලෙස ඇමතුම් මගහැරී ඇති බවකි.

“වෙලාවක් ලැබුණම ඔක්කොම ඇමතුම් බලලා ඒ අයට පෙරළා ඇමතුම් ගන්න ජනාධිපතිතුමා අමතක කරන්නේ නෑ.”‍

මේ හා සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ මෙවන් තොරතුරු ද දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් ඉකුත් ජනාධිපතිවරණ සමයේ පෞද්ගලිකවම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සම්බන්ධ වූ ඇතැමුන්, මෙම ඇමතුම් අවුල හේතුවෙන් කලකිරීමට පත්ව ඇතැයි දේශපාලන වාර්තා පෙන්වා දෙයි.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතිය පුරා මැතිවරණ රැස්වීම්වලටද සහභාගි වන අයුරු දැකගත හැකි විය. ආණ්ඩුවට ඇත්තේ කෙටි ආයුෂ කාලයක් බව විපක්ෂයේ කණ්ඩායම් පවසන්නට වීමත් සමඟ මැතිවරණ වේදිකාවේදී ඔහු ඊට පිළිතුරු බැඳ තිබුණි.

“ආණ්ඩුවට තියෙන්නෙ මාස 03 යි කියනවා. දැන් වෙන පක්ෂවල ක්‍රියාකාරිත්වයක් තිබෙනවද? අපේ ආණ්ඩුවට තියෙන්නෙ මාස 03 යි නම්, ගන්නෙ කවුද? ගන්න කෙනකුත් නැහැ. ඒ නිසා ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ රට හදලා මිසක් ආපසු හරවන්න බැරි බව මේ සියලු දෙනා තේරුම් ගත යුතුයි. මේ කතා ඔවුන් දුකට කියන කතා. ඔවුන් කවදාවත් හිතුවේ නැහැ, ඔවුන් අතින් මේ විදියට බලය ගිලිහෙයි කියලා. ඔවුන් හැමදාම හිතුවේ ඔවුන්ගේ කණ්ඩායම් අතරේ බලය තියාගන්න පුළුවන් කියලා. ඔවුන් කවදාවත් නොසිතූ දෙයක් සිදු වුණා.”‍

මේ අතර ජනාධිපතිවරයා දැකබලා ගැනීමට බලාපොරොත්තුවෙන් මහ මග රැඳී සිටි පිරිසක් අභිමුව සිය මෝටර් රථය නවතා දරුවන්ට සහ වැඩිහිටියන්ට කතා කර යාමට ජනාධිපතිවරයා කටයුතු තිබීම ද ඉකුත් සතියේ වාර්තා වූ සුවිශේෂී සිදුවීමක් විය. මේ පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වූයේය.

මෙවර මහ මැතිවරණයේ උණුසුම සාපේක්ෂව අඩු වුවත් මැතිවරණ නීති ඉතා තදින් ක්‍රියාත්මක වන බව පෙනී ගියේය. ඉකුත් බ්‍රහස්පතින්දා වන විට පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් 09 දෙනකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා විය. ඊට අමතරව දේශපාලන ආධාරකරුවන් 325 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පොලිසියට පැමිණිලි 313 ක් ලැබී ඇති අතර ඉන් 51 ක් අපරාධමය ගණයට ගැනෙන පැමිණිලි බව වාර්තා වී තිබුණි. ඒ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1,794 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ද පැවසීය.

කෙසේ වෙතත් ඉතිහාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින් අඩු වී ඇතැයි පොලිසිය සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේය.

මේ අතර පසුගිය සතියේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි වැඩියෙන් සමාජ මාධ්‍ය වේදිකා තුළට නිරාවරණය වීම ඉකුත් දෙසතිය පුරා සිදු කරමින් සිටියේය.

ඒ අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති අපේක්ෂකයාගේ ක්‍රියා කලාප සහ ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබුණි.

“අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවෙදි කිව්වෙ, රජයේ සේවකයන් වෙනුවෙන් මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා, බඩු මිල, ඉන්ධන මිල, විදුලි බිල අඩු කරලා පාස්පෝට් පෝලිමට විසඳුම් ලබා දෙනවා කියල. නමුත් ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ. විදුලි බිල සියයට 33 කින් අඩු කරනවා, හොරකම අල්ලස දුෂණය නිසා විදුලි බිල වැඩි වෙනවා කියල කිව්වත් අද විදුලි බිල අඩු නොවන්නෙ මේ දූෂණය නිසාද කියල අපි දැනගන්න කැමතියි. අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා කිව්වා. හැබැයි සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන සහල් ටිකවත් දරාගන්න පුළුවන් මිලකට දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෑත කාලයේ පොල් පෝලිම් ද ඇතිවෙලා.”‍

මේ අනුව පසුගිය සතිය වන විට සමගි ජනබලවේගය ද සිය මැතිවරණ යාන්ත්‍රණය වඩාත් සක්‍රීය කිරීමට උත්සාහ දරන බව පෙනී ගියේය.  

මේ අතර පසුගිය සමයේ සජබ අපේක්ෂකයන් වෙතින් නැගුණු මැසිවිලිවලට ප්‍රතිචාර දක්වන්නට පක්ෂය විසින් කටයුතු කළ බව ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

“පක්ෂ කැම්පේන් එකට කිසිම උදව්වක් නැහැ කියලා ගොඩක් දෙනෙක් කතා කරලා කියලා තිබුණා. ඔන්න ඊට පස්සේ එකවුන්ට් නම්බර් ඉල්ලගත්තා කියලා තමයි ආරංචිය.”‍

ඒ අනුව ඇතැම් ආරංචි සඳහන් කළේ මේ වන විටත් එම ගිණුම්වලට මුදල් බැර කිරීමට පක්ෂය කටයුතු කර ඇති බවකි.

මේ හා සම්බන්ධව දීර්ඝ වශයෙන් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුව ඇතැයි ද ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.

“අපිට බෑ කැම්පේන් එක පස්සට අදින්න. ජනාධිපතිවරණයෙන් පස්සේ දිගින් දිගටම මාලිමාව කැම්පේන් එක එකම විදිහට කරගෙන යනවා. අපිට අපේක්ෂකයන්ට වෙනම සල්ලි දෙන්න.”‍

මේ ආදී අදහස් උදහස් හේතුවෙන් අවසානයේදී මෙම තීරණයට පක්ෂය එළැඹ ඇතැයි දේශපාලන කරළියේ පැතිර යන කතා අනුව පැහැදිලිය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බිම් මට්ටමේ දේශපාලන රැස්වීම් වැඩි වශයෙන් සංවිධානය කිරීමට කටයුතු කරන බව ඉකුත් සතිය පුරා පෙනී ගියේය. පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවයින පුරා ගමන් කරමින් රැස්වීම් රැසකට සහභාගි වන අයුරු දැකගත හැකි විය. ඔහු දිගින් දිගටම කියා සිටියේ ආණ්ඩුවේ යහපත් තීරණවලට සහයෝගය දැක්වීමට තමා ඇතුළු කණ්ඩායම පසුබට නොවන බවකි. එසේම ජාතිකවාදී දේශපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමේ කඳවුර බවට තමන් පත්ව සිටින බවත් ඔහු ජනතාවට සිහිපත් කළේය.

රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ඔහු පවසා තිබුණේ ඒ අනුවයි. එසේම සිය පක්ෂයෙන් ඈත්වුණු පිරිස් දැන් නැවතත් පක්ෂයට පැමිණෙමින් සිටින බවද ඔහු පසුගිය සතියේ පවසා තිබුණි.

“පහුගිය ජනාධිපතිවරණයට පෙර සිදුවීම් එක්ක බැලු‍වාම හිත් අමනාපකම් හින්දා, යම් යම් කාරණා නිසා ජනතාව අපෙන් ඈත් වුණා. සමහරු නායකයෝ නිසා අපෙන් ඈත් වුණා. නායකයෝ වරදාන වරප්‍රසාද නිසා අපෙන් ඈත් වුණා. දිස්ත්‍රික් නායකයාගේ ක්‍රියා කලාපය නිසා ජනතාව ඈත් වුණා. වරදාන වරප්‍රසාද නිසා නායකයෝ ඈත් වුණා. ඈත්වෙච්ච නායකයෝ ගියාවේ කියල ඒ නායකයෝ නිසා හිත් අමනාප වෙච්ච, හිත් බිදිච්ච අපේ පාක්ෂිකයෝ නැවත වතාවක් අපි එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි ඔවුන්ව ආදරයෙන් පක්ෂයට පිළිගන්නවා. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. අපි ගමට වැඩ කරලා තියෙනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනයට අපි වැඩ කරලා තියෙනවා. මම අදත් විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව මේ දරුවන්ගේ අධ්‍යාපනය හදන්න මහන්සි වෙන්න ඕනෑ.”

මේ අතර මෙවර මැතිවරණය මෙතරම් ඇල්මැරුණු ස්වභාවයක් ගැනීමට හේතු කාරණා ද පළමු වරට ප්‍රකාශයට පත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙනි. ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂවල මුදල් තත්ත්වය හොඳ නැති නිසා මැතිවරණ ව්‍යාපාරයක් පවතින බව නොපෙනෙන බව කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාය.

“ජනාධිපතිවරණයෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ හැර සියලු‍ පක්ෂවල මුදල් තත්ත්වය හොඳ නැහැ. ඒ නිසා ලොකුවට පේන්න මැතිවරණ ව්‍යාපාරය යන්නෙ නැහැ. ගෙයින් ගෙට යාම වගේ දේවල් තමයි මේ පාර සිදුවෙන්නෙ.”‍

කෙසේ වෙතත් මේ වන විට මැතිවරණය පිළිබඳ නිරීක්ෂණ සිදු කරන පැෆරල් ඇතුළු පාර්ශ්ව සඳහන් කරන්නේ අටදහසක් පමණ වන අපේක්ෂකයන් අතරින් හත්දහසක් පමණම මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයෙන් මේ වන විටත් ඉවත් වී සිටින බවකි.

“ලොකුවට මුදල් වියදම් කරලා තේරුමක් නෑ. අපේක්ෂකයෙක්ව ඉන්න බවට පෙන්නන්න සෝෂල් මීඩියාවල බූෂ් එකක් ගැහුවම ඇති.”‍

යනුවෙන් ඇතැම් අපේක්ෂකයන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇති බව දැන ගැනීමට ලැබෙයි. තමන්ගේ පෞද්ගලික මුදල් නියත පරාජය හමුවේ නාස්ති කරගත යුතු නැති බව දේශපාලන අත්දැකීම් ඇති බොහෝ අපේක්ෂකයන්ගේ අදහස වී ඇතැයි කියැවේ.
කෙසේ වෙතත් තවදුරටත් අවස්ථාවක් ඇති බව පෙනෙන ඇතැම් අපේක්ෂකයන් අවසන් මොහොතේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් සිටින බවද දැන ගැනීමට ලැබේ.

පසුගිය සතියේ කළුතර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති ගෑස් සිලින්ඩරයේ රැස්වීමක් සඳහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී තිබුණි. එම රැස්වීමට ඇතැම් අපේක්ෂකයන් නොපැමිණීම හේතුවෙන් දේශපාලන කරළියේ ඒ පිළිබඳ යම් කතාබහක් නිර්මාණය වී ඇති බව පෙනී ගියේය.

“ආරංචි විදියට මේ රැස්වීමට රෝහිත අබේගුණවර්ධන, විදුර වික්‍රමනායක වගේ අය ඇවිල්ල නෑ. විදුර නම් ඇවිල්ල නැත්තේ වෙන රැස්වීම් වගයක් නිසාලු‍. ඒත් රෝහිත ආපු නැති එකට හේතුව කියල නෑ. රෝහිතට ටිකට් එක දෙනවට රාජිත විරුද්ධ වුණානෙ.”‍

කළුතර රැස්වීම පිළිබඳ සිලින්ඩරයේ ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබෙන්නේ එවන් කතාවකි.

මෙම රැස්වීම අවසානයේ පැමිණ සිටි අපේක්ෂකයන් සමඟ කතාබහ කිරීමේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් ඇතැමුන්ගේ නොපැමිණීම පිළිබඳ විමසා සිටි බව කියැවෙයි. “අද සමහර අපේක්ෂකයන් ඇවිල්ල නෑ. මොකක්ද දන්නෙ නෑ හේතුව?”

එවැනි කතාබහ කරා කළුතර සිලින්ඩරයේ පවතින ගැටලු‍ව පිළිබඳ සංවාදය නිර්මාණය වී ඇතැයි කියැවේ. කළුතර අපේක්ෂක ලැයිස්තුවට හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකු සහ දේශපාලන ප්‍රබලයන් රැසක් එක්ව සිටින බැවින් සීමිත අවස්ථාව ලැබෙන්නේ කා හටද යන්න විශාල ගැටලු‍වක් වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට විවෘත අභියෝගයක් ඉදිරිපත් කොට තිබුණි.

“මං අභියෝග කරනව පුළුවන් නම් කළුතර දිස්ත්‍රික්කයෙන් ඔය පහුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් තුන් දෙනෙක් පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා.

මේ ඡන්දෙදි ජනතාව ඔය ඇමැතිකම් දරපු අය, මන්ත්‍රීකම් දරපු අය ඔක්කොම ගෙවල්වලට යවනවා.

අපි කළුතර දිස්ත්‍රික්කයෙන් නම් මන්ත්‍රී ධුර 11 න් 8 ක් ගන්නවාමයි.

මම කියන්නේ කවුරු හරි එහෙම කියනවා නම්, ඇවිල්ල අපිත් එක්ක ඔට්ටුවක් අල්ලන්න. අපි ලෑස්තියි.”

මේ අනුව මෙවර මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් ප්‍රතිඵලය තීරණාත්මක එකක් වනු ඇතැයි පැවසේ.

මැතිවරණ සටන අවසානය කරා එළඹෙන විට ආසන කිහිපයක් හෝ දිනා ගැනීමේ අරමුණු සහිතව කටයුතු කරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සහ දිලීත් ජයවීරගේ සර්වජන බලය අතර ද තරගයක් නිර්මාණය වී ඇති බව පෙනී ගියේය.

මෙම මත ගැටුම ඇරඹියේ දිලිත් ජයවීර හොරු ඇල්ලීම පිළිබඳ කළ කතාවක් සමඟයි.

“මම දැක්කා සමාජ මාධ්‍යවල තියෙනව රන්ජන් රාමනායක හොරු අල්ලන්න ඇවිත්, රන්ජන්ව දැන් හොරෙක් අල්ලගෙන කියලා.”‍

පසුව ඊට රන්ජන් රාමනායක ද පිළිතුරු ලබා දී තිබුණි.

“මම හොරෙක් එක්ක එනවනම් මල්ලි ඉස්සෙල්ලාම එකතු වෙන්නෙ දිලිත් එක්කයි.”‍

මේ අනුව ඉකුත් සතියේ මෙම කඳවුරු දෙක අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව මැතිවරණ වේදිකාවලදී ඔවුන් පවසන කතා ඇසුරින් පෙනී ගියේය.

රන්ජන් රාමනායකගේ පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වූ තිලකරත්න ඩිල්ෂාන්ගේ පුරවැසිභාවය ද දිලිත් ජයවීර ඇතුළු සර්වජන බලය විසින් ප්‍රශ්න කර තිබුණි.

තමා ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති බවට කරන ප්‍රකාශ ඔප්පු කරන ලෙස එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂක, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීරට අභියෝග කර සිටියේය.
සිය පුරවැසිභාවය ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් දිලිත් ජයවීරට බැණ වැදුණු තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියේ, දිලිත් ජයවීරට තම ප්‍රකාශය ඔප්පු කිරීමට හැකි නම් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තමා සූදානම් බවයි.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00