2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සජබ – එජාප සාකච්ඡා මැද අමුතු අතුරු කතා

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 1048

බැඳගත් බෙරය ගැසීමට වඩා බැන්දූ බෙරය වයනු අසා සිටීම පහසු නැත. තාල වරදින විට පද මාරුවන විට වයන්නාගේ පමණක් නොව ගුරුන්නාන්සේලාගේද අමුඩ ලේන්සුවලට එල්ල වන්නේ බරපතළ තර්ජනයකි. මෑතක පටන් මෙරට දේශපාලනයේද එවන් තත්වයක් උද්ගත වී ඇති බවක් අපට හැඟී ගියේය. වයන්නන් කවුරුන් වුවත් ඔවුහු කඩිනමින් තාලය සොයාගත යුත්තෝය.

මාසයක දෙකක පමණ සිට ක්‍රියාත්මක වන සජබ - එජාප සාකච්ඡා පිළිබඳව පසුගිය සතියේ විශේෂ අවධානයක් යොමු වූයේය. ඊට හේතු වූයේ ඉදීගෙන එන පැණි වරකයට, හෙණ ගෙඩියක් පහත් වන ලකුණු දැකගත හැකිවීමයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය සතියේ පැවති සාකච්ඡාවක් සඳහා පැමිණි අනවසර අමුත්තකු හේතුවෙන් යම් නෝක්කාඩුවක් ඇති වී ඇති බවයි.

පැතිර යන කතා අනුව මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාට අයත් නිවෙසකදීය. මෙය සාකච්ඡා මාලාවේ තවත් අදියරක් වී ඇති අතර, මේ සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, කබීර් හෂීම් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. එජාපය නියෝජනය කරමින්  තලතා අතුකෝරළ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සමඟ හරීන් ප්‍රනාන්දු ද සහභාගී වී ඇතැයි කියැවෙයි.
මෙහිදී අමුත්තා බවට පත්වී සිටියේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුය. පැතිර යන කතාවලට අනුව ඔහුගේ පැමිණීම පිළිබඳ නෝක්කාඩු වී ඇත්තේ සජබ පසුපෙළ කණ්ඩායම් සහ පක්ෂයට සම්බන්ධ තරුණ කොටස්ය.

“මේ වගේ අය කොහොමද සාකච්ඡාවලට එන්නෙ? එයා පහුගිය කාලෙ නායකතුමාට කතා කරපු විදිහ දැක්කද? මේ වගේ මිනිස්සු එවනවා නම් මෙහෙම සාකච්ඡා ඉදිරියට ගෙනියන්න බැහැ.”‍
මේ ආදී අදහස් මෙම කණ්ඩායම් වෙතින් ඵල්ල වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මාධ්‍ය විමසීමකට පිළිතුරු ලබාදෙමින්, සාකච්ඡා සම්බන්ධ පවතින විරෝධතා පිළිබඳ හෙළිදරව් කළේය.
“සාමාන්‍ය පවුලක වුණත් විවිධ අදහස් තියෙන අය ඉන්නවා. රටේ බහුතරයක් පාක්ෂිකයෝ අපෙන් ඉල්ලා සිටියේ එකතු වෙලා යන්න කියලා. ඉතින් පක්ෂ දෙකේම මේකට යම් යම් විරෝධතා තියෙන කට්ටිය ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක් දේශපාලනයේදී. අපේ පක්ෂයේ කිසිදු අපේක්ෂකයකුට සාමාජිකයකුට අසාධාරණයක් වෙන්න දෙන්නෙ නැහැ. පක්ෂ දෙකක් සාකච්ඡා කරද්දි ඕක දවසෙන් දෙකෙන් බේරගන්න බැහැනෙ.”‍

මෙම කඳවුරු දෙකෙහි සාකච්ඡා සම්බන්ධව විරෝධතා දක්වන පිරිස් අතර රවී කරුණානායක, සුජීව සේනසිංහ, ප්‍රසාද් සිරිවර්ධන, චරිත් අබේසිංහ යන නම් කියැවෙන්නට පටන්ගෙන තිබේ. ඉදිරියේදී විරෝධතාද සංවිධානය විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායමේ විරෝධයක් නොපවතින බව පක්ෂවල ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කර සිටිති.

පසුගිය සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 77 වැනි නිදහස් දින සැමරුම පවත්වන ලදී. තරමක් චාම් ලෙස සංවිධානය කර තිබූ මෙවර නිදහස් දින සමරුවේදී, වෙනදා දැකගත හැකි සංදර්ශනාත්මක අයිතම කිහිපයක් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනු දැකගත හැකි විය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දින සමරුව අමතමින් මෙවර නිදහස් දිනයේ සුවිශේෂී බව සඳහන් කර සිටියේය.
“මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දින වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන.

උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රාජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ.”‍
ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස සහ ජීවත්වීමේ නිදහස සඳහා සියල්ලන්ම එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සිය නිදහස් දින කතාවේදී අවධාරණය කර සිටියේය.

මේ අතර නිදහස් දින උළෙලට සහභාගි වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රටකජු කමින් නිදහස් සමරුව බලා සිටීම හේතුවෙන් තවත් දේශපාලන කසුකුසුවක් නිර්මාණය වී තිබුණි. සමාජ මාධ්‍යයේද මේ හා සම්බන්ධ විහිළුසහගත ප්‍රකාශ සංසරණය වන්නට විය.

පසුගිය සතියේ වැඩි අවධානයක් දිනාගත් සුවිශේෂීම දේශපාලන සිදුවීම බවට පත්වූයේ, අරගල සමයේ හානි වූ දේශපාලනඥයන්ගේ නිවාස සඳහා ආණ්ඩුව විසින් ගෙවනු ලැබූ වන්දි පිළිබඳ හෙළිදරව්වයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී මෙම හෙළිදරව්ව සිදු කළේය.

“අපි ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා, වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා. මෙන්න බලන්න ඒ දේපල හානිය පාවිච්චි කරලා බලය අතේ තියෙන අය, හැන්ද අතේ තියෙන අය කොහොමද මේ වන්දි අරගෙන තියෙන්නෙ කියලා. මම නම කියවන්නම්.”‍ යනුවෙන් සඳහන් කරමින් 43 දෙනකුගේ තොරතුරු අමාත්‍යවරයා හෙළිදරව් කළේය.

“මේ හතළිස් තුන්දෙනා විතරක් අරගෙන තියෙනවා, එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතරදහස් හත්සිය තිස් හතක්.”

පසුගිය සතියේ තවත් සුවිශේෂී දේශපාලන ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් බවට පත්වූයේ, සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව පිළිබඳ සිදුවීමයි. එම නඩුවේ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් තිදෙනකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා ලිපියක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණි.
මෙම ලිපිය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගත් අතර බොහෝ දෙනෙක් මේ හා සම්බන්ධව ප්‍රශ්න කරන්නට වූහ.

“මේ ආණ්ඩුව කොහොමද මෙහෙම දෙයක් කළේ? කවුද මේක පිටිපස්සේ ඉන්නෙ?”
මේ ආදී වශයෙන් නැගුණු සහ ප්‍රශ්න කිරීම්වලින් ආණ්ඩුව බරපතළ ලෙස අපහසුතාවට පත් වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
“මොකක්ද මෙතැන සිද්ධවෙලා තියෙන්නෙ? කරුණාකරලා අපිට කියන්න.”‍

ආදී ප්‍රශ්න කිරීම් ආණ්ඩුවේ ඉහළ තැන්වලට ඍජුවම ඉදිරිපත් කිරීමට පක්ෂයට සම්බන්ධ ඇතැම්, වෘත්තිකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් කටයුතු කොට තිබුණි.
ඒ අනුව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා තමා වෙත කැඳවීය. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එදින නීතිපතිවරයා පස්වරු 1.45 ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති අතර, මේ අවස්ථාවට සහභාගී වීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද පැමිණ තිබේ. පැය 2 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පස්වරු 4 ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් ඇතැයි දැන ගැනීමට ලැබේ.

මේ අතර බොහෝ දෙනකු අවධානයෙන් බලා සිටි පත්වීම් කිහිපයක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට දේශපාලන කරළියේ තොරතුරු පැතිර යන්නට විය. ඒ අනුව කියැවුණේ ශ්‍රී ලංකා රජය විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවා සඳහා නව තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් කිහිප දෙනකු පත් කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අනුව වාර්තා වන පරිදි ඉන්දියාවේ නව මහ කොමසාරිස්වරිය ලෙස මහීෂිණී කොළොන්නේ මහත්මිය පත් කර ඇති අතර, ඇය මීට පෙර එරට නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරය දැරීය. විශ්‍රාමික එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ධුරයට පත් කර ඇති අතර, හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේ.

එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරී නිමල් සේනාධීර මහතා තෝරාගෙන ඇත. ඊට අමතරව මහාචාර්ය අරුෂා කුරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙසද, මහාචාර්ය නිර්මලා රත්නායක ජපානයේ තානාපති ලෙස පත් කර ඇති බවද වාර්තා වේ. තවද, පාකිස්ථානයේ මහ කොමසාරිස් ධුරය සඳහා මෑතකදී විශ්‍රාම ගිය නාවික හමුදාපතිවරයකු පත් කිරීමට සැලසුම් කර ඇතැයි පසුගිය සතියේ මාධ්‍ය වාර්තා හෙළිදරව් කොට තිබුණි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් සුවිශේෂී නිල විදෙස් සංචාරයක් සඳහා සූදානම් වෙමින් සිටියේය. 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම වෙනුවෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයට එක්වීමට නියමිතය. සංචාරය පෙබරවාරි 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවනු ඇති අතර, රාජ්‍ය නායකයන් සහ සමුළුවට සහභාගි වන රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීමට අනුර කුමාර දිසානායක මහතා සූදානමින් සිටින බව දැන ගැනීමට ලැබේ.

මේ අතර පසුගිය සතියේද නැවතත් රාජපක්ෂ පවුල වෙත විශාල අවධානයක් ලැබෙන්නට විය. ඊට පළමු හේතුව බවට පත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60කට අඩු කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඔහු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දීමයි. ඒ අනුව එය මාර්තු 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබුණි.

මේ හා සම්බන්ධ අධිකරණ මාධ්‍ය වාර්තා අනුව පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බව අධිකරණය වෙත දැනුම් දී ඇත. එහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බවකි. මෙහිදී ඉදිරිපත් වූ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමට කරුණු තහවුරු කිරීමට එළ⁣ඹෙන මාර්තු 19 වැනිදා නැවත කැඳවීමට නියෝග කොට තිබේ.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙස පිළිබඳ සංවාදය දිගින් දිගටම දේශපාලන කරළියේ පුවත් මවන්නට විය. නිල නිවෙසින් ඉවත්ව යාමට නම් ඒ සඳහා ලිපියක් නිකුත් කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇති

පසුබිමක ආණ්ඩුව යම් අර්බුදයක පැටලී ඇති බව පොහොට්ටුවේ ආරංචි මාර්ග කියා සිටියේය.
“එහෙම ලිපියක් නිකුත් කරන්න මෙයාලට පදනමක් නෑ, නීත්‍යානුකුල හැකියාවක් නෑ.”‍

මෙවන් ආරංචි පැතිර යන අතරේ අදාළ නිල නිවෙසින් ඉවත් කිරීම සම්බන්ධව ලිපියක් නිකුත් නොකරන බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරන බවත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් පවසා සිටියහ.
නිල නිවාසය භාරදීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජනය සම්බන්ධයෙන් වූ වගකීම රජයක් ලෙස පවතින ආණ්ඩුව භාරගත යුතු බවද පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පසුගිය සතියේ සඳහන් කොට තිබුණි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ නිල නිවෙස භාරදුන්නේ නිල වශයෙන්. එතුමා එය භාරගත්තෙත් නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවෙසක් ඔබතුමන්ලාට අවශ්‍ය නම්, නිල වශයෙන් දැනුම්දීමක් කරන්න. එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නෙ නැහැ. එතුමා වහාම ඉවත් වෙලා යනවා. නමුත් මේ හදන්නෙ ළිඳ ළඟ සංගමය වගේ තැන් තැන්වල කියව කියවා එතුමාව ලැජ්ජාවට පත් කරලා මහින්ද රාජපක්ෂ මහතා එතැනින් එළියට බස්සන්න නම් අපි ඒ වැරැද්ද කරන්න දෙන්නෙ නැහැ.”‍

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන් අතර සාකච්ඡාවක් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණි. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කටයුතු කළයුතු ආකාරය සහ පාර්ලිමේන්තු කමිටුවලදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පසුගිය සති කිහිපය තුළ විපක්ෂය පොදු එකමුතුවක් හරහා ආණ්ඩුවට අභියෝග කළ යුතු බවට වූ අදහස හේතුවෙන් විපක්ෂයේ කණ්ඩායම් වෙන් වෙන්ව හා සාමූහිකව සාකච්ඡා කරමින් සිටියේය. ඒ අනුව වාර්තා වන පරිදි පසුගිය ජනවාරි 29 වැනිදා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් හමුවී මේ හා සම්බන්ධ සුවිශේෂී සාකච්ඡාවක් පවත්වා තිබේ.

පසුගිය සතියේ පැවති සාකච්ඡාවද එම සාකච්ඡාවේ දිගුවකි. මෙම අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූපයක්ද සමාජ මාධ්‍යයේ ඉහළ අවධානයක් දිනාගනු දැකගත හැකි විය. ඒ අනුව මෙම අවස්ථාව සඳහා ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්ව සිටින අයුරු දැකගත හැකි විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධවද විටින් විට පුවත් නිර්මාණය වීම පසුගිය සති කිහිපය තුළදී දැකගත හැකි සුවිශේෂී තත්වයක් විය. හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ප්‍රහාරය සම්බන්ධව යම් යම් තොරතුරු විටින් විට හෙළිදරව් කිරීම හේතුවෙන්, යම් කැළඹීමක් නිර්මාණය වී ඇති බව පෙනී ගියේය.

ඒ අනුව කොළඹ අගරදගුරු පදවිය තවත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මේ හා සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදු කළේය. කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙහිදී කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව විසින් කරන ලද හෙළිදරව්වට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන නිමවන තුරු උදය ගම්මන්පිල මහතා ඉවසීමෙන් බලා සිටිය යුතු බවයි.

“ගම්මන්පිල මහත්තයට අපි කියන්නෙ එයා දේශපාලනඥයෙක්නෙ. දේශපාලනය කරගෙන ඉන්න. එහෙම නැතුව කරගෙන යන විමර්ශනවල එයා විශේෂඥයෙක් නෙවෙයිනෙ. අනිත් කාරණය තමයි දැන් මේ වින්දිතයන්ට නැති මහා ලොකු කැක්කුමක්, ඇම්මක් හැදිලා තියෙනවා. මීට ඉස්සෙල්ලත් ඒක අපි දැක්කා ගම්මන්පිල මහත්මයාගේ ප්‍රකාශවලින්. ඔහුට ලොකු කැක්කුමක් හැදිලා තියෙනවා.”‍

උදය ගම්මන්පිල මහතා උපකල්පන සිදු කරමින් සිටින බවත්, ගම්මන්පිල මහතා දේශපාලකයකු මිස විමර්ශකයකු නොවන බවත් සඳහන් කළ සිරිල් ගාමිණී පියතුමා ඔහු කළ යුත්තේ දේශපාලනය කරමින් සිටීම බවද වැඩිදුරටත් කියා සිටියේය.

• චමිඳු නිසල් ද සිල්වා