2017 ජුලි 01 වන සෙනසුරාදා

අස්ගිරිය - සයිටම් - උමාඔය

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 280

මේ දිනවල රටේ ප්‍රබල ලෙස සාකච්ඡා කෙරෙන දේශපාලන ප්‍රශ්නය සයිටම් අර්බුදයයි. පසුගියදා සරසවි සිසුන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලෑමෙන් පසුව ප්‍රශ්නය වඩාත් බරපතළ ලෙස දේශපාලන ක්‍ෂේත්‍රයේ අවධානයට ලක්විය. දේශපාලන නායකයන් පමණක් නොව රටේ පොදු මහ ජනතාවද මෙම අර්බුදය වහා විසඳිය යුතු යැයි රජයට බලකරන්නට පටන්ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර යම් විරසක බවක් ඇතිනිසා වෛද්‍ය සංගමය සමඟ සෘජුවම සාකච්ඡාකොට ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඉදිරිපත් වූයේ ජනාධිපති කාර්යාලයයි. 

පසුගිය සෙනසුරාදා වෛද්‍යවරුන් වැඩවර්ජනය කර සිටියදී වෛද්‍ය සංගමය සහ ජනාධිපති කාර්යාලය අතර සයිටම් ප්‍රශ්නය ගැන සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ අනුව ප්‍රශ්නය විසඳාගැනීමට මූලික පියවර ගණනාවක් යෝජනා විය. එහෙත් තාවකාලිකව සයිටම් ආයතනයට සිසුන් බඳවාගැනීම නතර කළ බව සාකච්ඡාවෙන් පසුව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එසේම උපාධි පිරිනැමීමද නතර කරනබව අදාළ නිවේදනයේ දැක්විණි. අනතුරුව වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ ඇතිකරගත් එකඟතා ගැන වෛද්‍ය සංගම් විධායක කමිටුව රැස්වී තීන්දුවක් ගන්නා බවයි. එම කමිටුව පසුගිය 26 සඳුදා විශේෂ රැස්වීමක් පැවැත්වූයේ මේ ගැන සාකච්ඡා කරන්නටයි.

සඟරුවනට කෙරෙන අවමන් ගැන ජනපතිගේ කම්පාව

රැස්වීමෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කළ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවෙන් පසු රජය මේ ගැන ගනු ලැබූ තීරණ සම්බන්ධව සිය සංගමයට එකඟවිය නොහැකි බව ප්‍රකාශ කළේය. මෙම නිවේදනය මගින් සයිටම් අහෝසි කිරීම වෙනුවට සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද වෛද්‍යවරු සඳහන් කළහ. ඒ ගැන සිය සංගමයේ බලවත් විරෝධය පළකරන බව ප්‍රකාශ කළ වෛද්‍ය සංගමය නැවතත් තමන්ට වැඩවර්ජනයකට යාමට සිදුවන බවට අනතුරැ ඇඟවීය. ඒ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ වෛද්‍යවරැන්ගේ සංගමය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවකට ජනාධිපතිවරයාට කිසිදු වුවමනාවක් හෝ සාකච්ඡාවක් නොපැවති බවය. ස්වකීය සාමාජිකත්වය රැවටීම සඳහා වෛද්‍ය සංගමය බලපෑම් කර සාකච්ඡාවක් ලබාගන්නේයැයි රාජිත අමාත්‍යවරයා කීය.

මේ ආකාරයට සයිටම් ප්‍රශ්නය දිනෙන් දින පැටළුණු නූල් බෝලයක් බවට පත්වෙද්දී වෛද්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය ප්‍රමුඛ වෛද්‍යවරු පිරිසක් පසුගිය අඟහරැවාදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියෝය. ඔවුන් එහි පැමිණියේ දැනට රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ශිෂ්‍යයාගේ සුවදුක් විමසීමටයි. සෑහෙන වේලාවක් ලහිරු සමඟ සාකච්ඡා කළ වෛද්‍යවරුන් ඔහුට සුබපතා පිටත්ව ගිය බව වාර්තාවිය. සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාවැදීමේ සිද්ධිය ගැන සැකපිට තවත් සරසවි සිසුන් 15කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ඒ අතර දැනගන්නට ලැබිණි. මේ සියල්ල මධ්‍යයේ පසුගිය සතිඅන්තයේ පළ වූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ මින් ඉදිරියට උපාධිධරයන්ට රජයේ රැකියා සැපයීමේදී ඔවුන්ගේ ශිෂ්‍ය කාලයේ පොලිස් වාර්තා පරීක්ෂා කරන බවයි. අයහපත් පොලිස් වාර්තා ඇති අයට රාජ්‍ය සේවයේ රැකියා සඳහා වැටබැදීමට මෙම රෙගුලාසිය පනවන්නට යන බවද දැනගන්නට ලැබිණි.

මැතිසබේ නයි ගැන විජමුගෙන් රසකතාවක්

පසුගිය අඟහරුවාදා සයිටම් රෝහල හිමි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සයිටම් බලධරයෝ ජනාධිපති කාර්යාලයට පැමිණ විශේෂ සාකච්ඡාවක නිරතවූහ. එයින්ද ප්‍රශ්නයට විසඳුමක් නොලැබිණි. සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වෛද්‍ය සංගමයත් එහි ප්‍රධානීනුත් දැඩි විවේචනයට ලක්කරමින් මාධ්‍යයට ප්‍රකාශයක් කළේය. මේ සියලු අර්බුද මධ්‍යයේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය අඟහරැවාදා පෙරවරුවේ ආරම්භ වූ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සයිටම් රෝහල රජයට පවරාගෙන කළමනාකරණ මණ්ඩලයක් යටතේ පාලනය කිරීම සඳහාවන යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළේය. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සයිටම් රෝහල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ව්‍යාපාරයක් බවට පත්කළ හැකි බවය. ඊට පෙර වෛද්‍ය පීඨාධිපතිවරැන් - රෝහල් කළමනාකරැවන් හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ සාකච්ඡාකොට තීන්දුවක් ගන්නා හැටියට ජනාධිපතිවරයා කළ යෝජනාව අමත්‍යවරු පිළිගත්හ. 

මේ හැර දැනට මූල්‍ය අර්බුදවලට මුහුණ පා සිටින හයට් හෝටල් ව්‍යාපෘතිය සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉදිරි ක්‍රියාකාරීත්වය ගැනද අමාත්‍ය මණ්ඩලය අවධානය දැක්වීය. හයට් හෝටලය වැනි ව්‍යාපෘති රජය සතුව තබාගන්නේ නැතිව ඒවා පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතුයැයි මෙයට පෙර අමාත්‍ය චම්පික රණවක හා අමාත්‍ය සරත් ෆොන්සේකා යන මහත්වරුන් ආර්ථික කවුන්සිලයට යෝජනා කර තිබුණි. ඒගැනද අමාත්‍යවරු සාකච්ඡා කළහ. දැනට ඉතා අසීරු මූල්‍ය තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් මූල්‍ය ප්‍රතිපාදන අනුමත කිරීමට ද පියවර ගත්තේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝධීන් වහස්සේ අභියසදී පසුගියදා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසම්පදා උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කර තිබුණි. අමරපුර නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ද අමරපුර නිකයාභිවෘද්ධි දායක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ප්‍රභූන් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම පුණ්‍යෝත්සවයේදී සභාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ගෞරවනීය මහා සංඝ රත්නයට විවිධ සමාජ වෙබ් අඩවිවලින් ප්‍රහාර එල්ලකිරීම කිසිසේත්ම අනුමත නොකරන බවය. මෙබදු ප්‍රකාශ මගින් සමාජය අද පත්ව තිබෙන පරිහානිදායක ස්ථානය ගැන සැබෑ තතු හෙළිදරව් වන බවද ජනපතිවරයා පැවසීය. රටේ ඇතිවන ආර්ථික සමාජමය හා දේශපාලන ප්‍රශ්නවලදී මහා සඟරුවනේ අනුශාසනා සහ මගපෙන්වීම රජයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බුදුදහම අන්තවාදයට ගෙනයන්න එපායැයි අගමැති කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපසම්පදා උළෙල අමතමින් කියා සිටියේ තුලනාත්මක දර්ශනයක් වන බුදු දහම අන්තවාදී ආගමක් ලෙස සමාජයේ වැටහීමක් ඇති නොවන්නට ජනතාව ක්‍රියාකළයුතු වගය. විශේෂයෙන්ම කතාකරන වචනවලින් භාවිත කරන යෙදුම්වලින් හෝ තමන් කරන ක්‍රියාවන්ගෙන් සමාජයට ආදර්ශයක් දියයුතු යැයි කී අගමැතිවරයා ඇතැම් ආගම් තුළට අන්තවාදය ඇතුළු වීමෙන් සිදුව ඇති හානිය වටහාගත හැකියැයි ද පෙන්වා දුන්නේය. මුළු ලෝකයම ථෙරවාදි බුදුදහම ගැන උනන්දු වන කාලයක අප ආදර්ශමත් ලෙස ක්‍රියාකොට මේ උත්තරීතර දහමේ අගය ලොවට පසක් කළයුතු යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාකිස්ථාන සංචාරයකට පසු දිවයින පුරා විවිධ දේශපාලන කටයුතු ගණනාවකට සහභාගීවීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය. පාකිස්ථාන ගමනින් පසු ඔහු දින කිහිපයක්ම ගත කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන කටයුතු ගණනාවකට දායක වෙමිනි. කුරුණෑගල නගරශාලාවේ පැවැති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු ලේකම් රංජිත් නවරත්න මහතාගේ ගුණ සමරුවේදී අදහස් දැක්වූ රාජපක්ෂ මහතා වත්මන් රජයේ පාලනය යටතේ රටේ ආර්ථිකය කඩාවැටී විනාශය කරාගමන් කරමින්  තිබෙන්නේ යැයි කීය. කඩාවැටුණු ආර්ථිකයට රජය ආදායම හොයන්නට යන්නේ පෝයදාට තැබෑරුම්වල මත්පැන් විකිණීමෙන් යැයි ද හෙතෙම සඳහන් කළේය. වත්මන් රජය සංහිදියාව ගැන කතා කරමින් සමාජය හොඳටම භේද භින්න කර ඇතැයි කී මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව සරසවියේ සිට කඩපොළ දක්වා සියල්ල අවුලෙන් අවුලට පත්කර ඇතැයි ද පැවසීය. කුරැණෑගල නගරශාලා රැස්වීමෙන් පසු දොඩම්ගස්ලන්ද හා නිකවැරටිය ප්‍රදේශවල විශාල ජනහමු ගණනාවකටද රාජපක්ෂ මහතා එක්විය.

මහින්දගේ ගුවන් ගමනට වීරවිලදී කොක්කක්

අනතුරුව එදින රාත්‍රී කොළඹ පැමිණි රාජපක්ෂ මහතාට පසුදින උදෑසනින්ම හදිසියේ තිස්සමහාරාම බලා පිටත්වගොස් නැවත ඉක්මනින් කොළඹට පැමිණීමට නියමිතව තිබිණි. ඒ නිසා කුඩා ගුවන්යානයකින් වීරවිල ගුවන් හමුදා යාත්‍රාංගණයට ගොස් එතැනින් තිස්සමහාරාමයේ කටයුතු සඳහා පිටත්ව යන්නට සැලසුම් කළේය. ඒ අනුව ගුවනින් මහින්ද රාජපක්ෂ මහතා සහ තවත් කිහිපදෙනෙක් තිස්සමහාරාමයට යන්නට පිටත්වූහ. ගුවන්යානය රත්මලානේ සිට වීරවිල බලා ධාවනය විය. වීරවිල ගුවන් හමුදා තොටුපළට යානය නියමිත ලෙස උදෑසන බස්වනු ලැබීය. එම ස්ථානයට රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය පැමිණෙන බව කල්තබා දන්වා ගුවන් යානය නැවැත්වීම සඳහා වන අංගන ගාස්තුවද ගෙවා තිබිණි. එහෙත් වීරවිල ගුවන් තොටුපොළට හිටපු ජනපතිවරයා පැමිණෙන විට එහි විශේෂ අමුත්තන් සඳහා වන මැදිරිය දොරගුලු දමා ලොක්කර තිබිණි. ආරක්ෂක නිලධාරිහු එය රැකවල් කළහ. ඒගැන රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළ බලධරයන්ගෙන් විමසූ කළ ඔවුන් කීවේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වසාදැමීමේ හේතුව තමන් නොදන්නා බවය. පිටත්වීමට අවශ්‍යනම් ධාවන පථයේ සිට ගමන්කොට ඉදිරි ගේට්ටුවෙන් යා හැකියැයිද ඔවුහු කීහ. ගේට්ටුව අසලට සිය නිලරථය ගෙන්වාගත් රාජපක්ෂ මහතා එහි සිට තිස්සමහාරාම බලා පිටත්වෙමින් කීවේ තමන්ගේ පාලන කාලයේ රුපියල් මිලියන ගණනක් වැයකොට ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා ඉදිකළ මැදිරියේ දොරවල් තමන්ට ද වසා දැමූ බවය. කෙසේහෝ රාජපක්ෂ මහතා තිස්සමහාරාමයේ කටයුතු හමාරකොට නැවත ගුවනින් රත්මලානට පැමිණි මොහොතේ රත්මලාන ගුවන් තොටුපොළේදී ගුවන් හමුදාපතිවරයා මුණගැසුණේය. එවිට තමන්ට මේ ආකාරයට වීරවිල ගුවන් තොටුපොළේදී සැලකූ බව රාජපක්ෂ මහතා ගුවන් හමුදාපතිට කීය. තමන් ඒගැන සොයාබලන්නම් යැයි ගුවන් හමුදාපතිවරයා පිළිතුරු ලෙස කීය.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් හා ජනාධිපතිවරයා අතර හමුවක් පසුගිය අඟහරුවාදා හැන්දෑවේ ජනපති නිල නිවසේදී පැවැත් විණි. එහිදී ජනාධිපතිවරයා පැමිණ සිටි මැති ඇමැතින්ගෙන් විමසා සිටියේ නව ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු විශේෂ කරුණු කවරේද කියායි. එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම පෙන්වා දුන්නේ ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව පුළුල් මට්ටමින් පැවැත්විය යුතු බවය. ඒ සඳහා ශ්‍රී.ල.නි.ප. ය නියෝජනය කරන සියලු මැතිඇමැතිවරුන් ද ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් ද සහභාගී කරගත යුතු බවට යෝජනා විය. ඒ අනුව ඉදිරියේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ඇමැති අකිලගේ තීන්දුවට ඇමැති විජේදාස එකඟ නැතිලු

ජනතා විමුක්ති පෙරමුණ සයිටම් ප්‍රශ්නයේදී පුළුල් දේශපාලන පෙරමුණක සටන් කරමින් සිටී. ඒ හැර කැළිකසළ ගැටලුව මෙන්ම තරුණ විරැකියාව සම්බන්ධ කාරණාවලදීත් වඩා කාර්යක්ෂම ලෙස ජනමතය හැඩගැස්වීමට උනන්දු වෙයි. පසුගියදා දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධරයන්ගේ හමුවක් මාතර සණස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ජ.වි.පෙ. මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූවේ වත්මන් රජය යටතේ දකුණට ප්‍රබල කැබිනට් ඇමැති ධුර තුනහතරක් ලැබී ඇතත් උපාධිධරයන්ට රැකියා ලැබී නැතැයි කියාය. සමහර ඇමතිවරුන් රස්සාවල් දෙන්නේ උසද මිටිද කියා බලමින් බවද ඔහු කීවේය. කෙසේවෙතත් 2012න් පසුව දකුණු පළාතේ උපාධිධරයන් කිසිවකුට රජය රුකියා ලබාදී නැතිබව මන්ත්‍රීවරයා කීය.

දඹුලු විහාරයේ ආදායම් ප්‍රශ්නය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටලුව තවත් දුරදිග යන බව පෙනෙන්ට තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා මේ ගැන ප්‍රකාශ කර ඇත්තේ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රකාශ කරන ආකාරයට දඹුලු විහාරයේ පින්කැටවල ආදායම ආණ්ඩුව ගන්නට යනවාය යන්න සත්‍යයක් නොවන බවය. එහෙත් සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුදබිමක් ලෙස විදේශිකයන්ට විහාරය නැරඹීම සඳහා නිකුත් කරන ටිකට් පත්වල ආදායම එම අරමුදලට ලැබිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉන්පසු අකිල අමාත්‍යවරයාගේ අදහසට පක්ෂව මත දැක්වූයේ ආචාර්ය දඹර අමිල හිමියන් සහ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ය. උන්වහන්සේලා ප්‍රකාශ කළේ මේ ආකාරයට පන්සල් නඩත්තුවට ලැබෙන ආධාර රජයට ගැනීම වරදක් නොවන බවය. විශේෂයෙන්ම එම ආදායම උපයෝගී කරගෙන රට පුරා ඇති දිළිඳු ආදායම් අහිමි විහාරස්ථාන නඩත්තුව සඳහා අමාත්‍ය අකිල විරාජ් මහතා කර තිබෙන යෝජනාව අනුමත කරන බවද උන්වහන්සේලා පවසති. ඒ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මණ්ඩලවල මහතා ද අමත්‍යවරයාගේ අදහස අනුමත කරමින් නිවේදනයක් නිකුත් කළේය.

මෙම ප්‍රකාශ සියල්ල නිකුත්වීමෙන් පසුව අස්ගිරි කාරක සංඝ සභාව නැවත රුස්විය. එහිදී සාකච්ඡා වූයේ ඇමැතිවරයාගේ මෙම තීන්දුවට එරෙහිව සටන් කළ යුතු බවයි. මෙයට පෙර රංගිරි දඹුලු විහාරාධිපති පදවි දැරෑ අස්ගිරි පාර්ශවයේ මහානායක දෙපොළක් වන උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හා ගලගම ශ්‍රී අත්ථදස්සී හිමිනමගේ කාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිදුකර තිබෙන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව සංඝ සභා තීරණ දැනුම් දෙමින් ප්‍රකාශයක් කළ රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ පැවසූහ. ඇමැති අකිලට දඹුලු විහාරස්ථ විහාරාධිපති ලෙස ක්‍රියාකරන්නට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද තමන් මෙම ප්‍රශ්නය ගැන දුරකතනයෙන් දැක්වූ බවත් ජනපතිවරයා තමන්ට ප්‍රතිඥා දුන්නේ මේ ගැන වහාම සොයාබලා දඹුලු විහාරයට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව යැයි කී උන්වහන්සේ ඇමැති අකිල තරයේ විවේචනය කළෝය. ඇමැතිවරයා දඹුලු පන්සල සම්බන්ධව කුමන නීතිය ක්‍රියාත්මක කළත් තමන් වහන්සේලා මහා සංඝ රත්නය ලෙස බෞද්ධ නීතිය ක්‍රියාත්මක කරන වග සඳහන් කළ ආචාර්ය මංගල හිමියෝ තමන් වහන්සේලාට එරෙහිව නඩු පැවරැවොත් ඒ ගැන ක්‍රියකරන්නටද සූදානම් යැයි පැවසූහ.

ඒ අතර අලුතෙන්ම අස්ගිරි මහාවිහාරීය ප්‍රකාශයට සමගාමී ප්‍රකාශයක් නිකුත් කළේ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්නා සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයයි. එමගින් මෙරට බෞද්ධ උරුමය හෑල්ලු කරන්නට ක්‍රියාකරන සියලු දෙනාට එරෙහි දැඩිලෙස අදහස් දන්වා තිබූ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිනිය බෞද්ධයන් ගැන කර තිබූ ඇතැම් ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් විය. උන්වහන්සේලා මෙම ප්‍රකාශය පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ඔහුට ද එය ලබාදුන්හ. 

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ ගැන මහියංගණ රජමහා විහාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කිසිදු දේශපාලනඥයකුට පන්සල්වල කටයුතුවලට මැදිහත් වීමට ඉඩනොදෙන බවයි. පන්සල්වල කටයුතු මහා සංඝරත්නය බලාගනු ඇතිබව කී අමාත්‍යවරයා පූජ්‍යස්ථානවලට දේශපාලන මැදිහත් වීම් අනවශ්‍ය යැයිද කීය.

බෞද්ධ උරුමය සහ අනන්‍යතාව රුකගැනීම ගැන අස්ගිරිය පන්සලේ නිකුත්වූ ප්‍රකාශය තමන් අනුමත කරන බව මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝද වදාළහ. අනතුරුව රාමඤ්ඤ නිකාය කෝට්ටේ පාර්ශ්වය ආදී පාර්ශව ගණනාවක් ද ඊට සමගාමී අදහස් ප්‍රකාශ කළෝය. ඒ අතර අමාත්‍ය අකිල විරාජ් මහතා තමන්ගේ යෝජනාව ඉවත්කර නොගන්නේ නම් ඒ ගැන සාකච්ඡා කිරීමට අස්ගිරි මහා විහාරයේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය කැඳවා මහා සඟ සමුළුවක් පැවැත්වීමට අස්ගිරි කාරක සංඝ සභාව තීරණය කර තිබේ. එම සඟ සමුළුව මෙම මස දෙවැනි සතියේ හෝ තෙවැනි සතියේ පැවැත් වෙන්නේ බෞද්ධ උරුමය සුරක්ෂිත කරගැනීම සඳහා මැදිහත් වීමක් ලෙස යැයි අස්ගිරි විහාරස්ථානය ප්‍රකාශ කරයි.

වර්ජන තර්ජන උද්ඝෝෂණ පිකටින් රට පුරාම පැවැත් වෙන තත්ත්වයක් දක්නට ලැබේ. අලුත්ම උද්ඝෝෂණය මේ සතියේ වාර්තා වූයේ බණ්ඩාරවෙල නගරයේය. බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව ඉදිකෙරෙන උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජලය සිඳී පානීය ජලය නොමැතිවීම බණ්ඩාරවෙල නගරය ගිලාබැසීමේ හා නායයාමේ තර්ජනයකට මුහුණ දීම, නිවාස 700කට වැඩි ප්‍රමාණයක් හානියට පත්වීම ඇතුළු කාරණා ගණනාවක් මුල්කරගෙන පසුගිය බදාදා බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගත් උද්ඝෝෂණය නිසා මුළු බණ්ඩාරවෙල නගරයම අකර්මණ්‍ය විය. ප්‍රදේශයේ ජනතාව මහා මාර්ග වසාදමා මෙම ව්‍යාපෘතියට එරෙහිව දැඩි විරෝධයක් පළකළහ. ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න උද්ඝෝෂණයේ ප්‍රධාන කාර්යයක් ඉටුකළ අතර පළාතේ එ.ජා.ප. මන්ත්‍රී චමිත් විජේසිරි ද උද්ඝෝෂකයන් හමුවට පැමිණියේය. ඔහුට උද්ඝෝෂකයන් විරෝධය පළකළ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ සිකුරාදා මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් ඉවසා සිටින ලෙසයි. යම්හෙයකින් මෙම ප්‍රශ්නය ජනතා අපේක්ෂා ඉටුවන ලෙස විසඳුණේ නැත්නම් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ජනතාව සමඟ සටන් කරන බව මන්ත්‍රීවරයා උද්ඝෝෂකයන්ට ප්‍රතිඥා දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන දෛවඥයා ලෙස බොහෝ කලක් කටයුතු කළ ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් චාම් උත්සවයක් ඔහු පදිංචි මහරගම නිවසේ පැවැත්විණි. හිටපු කතානායක විජමු ලොකු බණ්ඩාර මහතා සහ එම මහත්මිය, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, හිටපු ඇමැති අනාවුද සෙනවිරත්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියෝය. භාව කේන්ද්‍රයක හැඩයට නිර්මාණය කර තිබූ කේක් ගෙඩිය කැපූ අබේගුණවර්ධන මහතා අමුත්තන්ට පිරිනමද්දී වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා එය අලංකාර නිර්මාණයත් යැයි කීය. අනතුරුව වි.ජ.මු. අතාවුද සමඟ එක්ව මැති සබයේ පැරණි රසකතා කියන්නට විය. වත්මන් පාර්ලිමේන්තුවේ තිබෙන ලොකුම ප්‍රශ්නය සර්ප ප්‍රශ්නය යැයි කී වි.ජ.මු මැති සබය තනිකර නයි ගැවසෙන තැනක් යැයි කියා පාර්ලිමේන්තුව නයින්ගෙන් බේරාගත යුතුයැයි කී විට හැමෝටම සිනහ පහළ විය.        

 

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00