මේ සතිය ආරම්භ වූයේ ද අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ පුවත් මවමිනි. අමාත්‍ය රාජපක්ෂ මහතා අධිකරණ ඇමැති ධූරයෙන් ඉවත් විය යුතු බව පසුගිය බ්‍රහස්පතින්දා එ.ජා.ප. කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දු කළේ ඒකමතිකවය. එහෙත් ඉන් දිනකට පසු විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් ඇමැති තනතුරෙන් ඉවත් වීමට තරම් වරදක් කර නොමැති නිසා ඉවත් නොවන බවය. හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන එම්.බී.යූ. බස්නායක මහතාගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයේදී දේශපාලනඥයන් සහ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ මේ බව කී අමාත්‍යවරයා තමන් සත්‍ය කතාකරන්නට කිසිදු අවස්ථාවක බිය නොවන්නේ යැයි ද කීය. අනතුරුව ත්‍රී’මලය හා මහනුවර පැවති ආගමික උත්සව ගණනාවකින් පසු මල්වතු හා අස්ගිරි මහානාහිමිවරැන් මුණගැසීමට ගිය අමාත්‍යවරයා එහිදී කීවේත් හේතුවක් නැතිව ඉල්ලා අස් නොවන බවය. තමන් ඇමැතිකමෙන් යන බවක් මෙයට පෙර කිසිම අවස්ථාවක කියා නැතැයිද ඔහු පැවැසීය. ඇමැති තනතුර ගැන තීන්දුව ගැනීමේදී අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට යැයිද ඔහු කීය.
ඒ අතරතුර එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් අමාත්‍යවරයාගේ මෙම තීන්දුව නිසා කැළැඹී සිටියෝය. දොස්තර රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රන්ජන් රාමනායක ආදී මැති ඇමැතිවරුන් දිගින් දිගටම අමාත්‍ය රාජපක්ෂගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ විජේදාස අමාත්‍යවරයාට ලැජ්ජා බය තිබේ නම් අස්වී ගෙදර යායුතු වගය. විජේදාස රාජපක්ෂ යනු ඔරුව පෙරලුණු පැත්තකින් වුවත් ඔරු පදින පුද්ගලයකු යැයි කී ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ ගැන දැඩි තීන්දුවක් ගත යුතු යැයි ද කීය. අජිත් පී. පෙරේරා මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් පිරිසක් හමුවේ සඳුදා දහවල් අරලියගහ මැඳුරේදි කීවේ කෙසේ හෝ විජේදාස ඇමැතිවරයා ඉවත් කරන බවයි.
මැතිවරණයක් නැතුව ආණ්ඩු බලය නොගන්නා බව මහින්ද පවසයි
මෙම උණුසුම් කතා පැතිරෙද්දී ලැබුණ තවත් ආරංචියකින් කියැවුණෙත් ඇමැති විජේදාස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පෞද්ගලිකව මුණගැසී තමන් වෙනුවෙන් කරැණු දැක්වූ බවයි. හම්බන්තොට වරාය චීනයට පැවරීමට ඇමැති මණ්ඩලය ගත් තීන්දුවට තමන් එකඟ නොවුෙණ් ජනාධිපතිවරණයේදී ජනතාව හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා වැදගත් රාජ්‍ය දේපලපෞද්ගලිකරණය නොකරන බවට දුන් ප්‍රතිඥාව අනුව යැයි ජනාධිපතිවරයාට පැවසූ බවද සඳහන් විය. ජනතාවට දුන් ප්‍රතිඥාව කැබිනට් තීන්දුවට වඩා වැදගත්ය යන්න තම පිළිගැනීම බවද ඔහු සඳහන් කර තිබිණි. එහෙත් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කරැණු දැක්වීම හමුවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැක්වූ ප්‍රතිචාරය පැහැදිලි නැත. මේ කතා අතරතුර එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීහු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අධිකරණ අමාත්‍ය පදවියට පත් කළ යුතු යැයි රජයට යෝජනා කළහ. ජයම්පති එම පදවිය භාර ගන්නට කැමැත්ත දුන් බව කියැවිණි. එ.ජා.ප.යේ පාර්ලිමේන්තු කණ්ඩායම සඳුදා සවස අරලියගහ මන්දිරයේදී රැස්වූයේ සියල්ල උණුසුම්ව පැවැති මෙම තත්ත්වය තව තවත් දියුණු තියුණු වෙද්දීය. එහෙත් මෙම රැස්වීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැමිණ සිටියේ නැත.
රැස්වීම ආරම්භයේ සිටම පැවතියේ ඉතාමත් උණුසුම් තත්ත්වයකි. එ.ජා.ප. පක්ෂයේ බොහෝ මැති ඇමැතින් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු යැයි පැවැසූහ. කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුවෙන් පසු විජේදාස අමාත්‍යවරයාට එල්ලවූ චෝදනා ගැන විමර්ශනයට පත්කළ කමිටුවේ වාර්තාව තවමත් තමන්ට ලැබී නැතැයි අගමැතිවරයා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැන්වීය. එහෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ ගැන ගනු ලැබූ තීන්දුව ක්‍රියාත්මක කරන බව අගමැතිවරයා වැඩිදුරටත් කීය. එහිදී මන්ත්‍රීන් ගණනාවක්ම ප්‍රශ්න කළේ විජේදාස අමාත්‍යවරයාට ඉල්ලා අස්වන්නට කියා තිබියදී ඔහු ඉවත් නොවන්නේ ජනාධිපතිවරයාගේ තීන්දුවක් අනුවද යන ප්‍රශ්නයයි. එහෙත් ඒ කතාව පිළිනොගත් අගමැතිවරයා කීවේ තමන් මේ ප්‍රශ්නය පසුදින විසඳන බැවින් ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසයි.
නඩු ප්‍රමාදය ගැන අහන්න අගමැති නීතිපති කැඳවයි
අනතුරුව මේ ගැන තවත් විවිධ ආරංචි පැතිර ගියේය. විජේදාස අමාත්‍යවරයා සහා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟත්වයක් ඇතැයි සමහරු කී අතර තවත් අය කීවේ ඔහු ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී පාර්ශවය සමඟ එක්වනු ඇති වගය. කෙසේ හෝ එ.ජා.ප.යේ මහලේකම් කබීර් හෂීම් මහතාගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමුකළේ ගිය අඟහරැවාදාය. එමඟින් කියැවුණේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා තනතුරින් ඉවත් කිරීම එ.ජා.ප. කෘත්‍යාධිකාරිය තීන්දු කර ඇති නිසා ඔහු ධූරයෙන් ඉවත්කරන ලෙස පක්ෂ නායකත්වයේ අනුදැනුම පරිදි දන්වන බවය. එහෙත් එම ලිපිය ලැබෙන විට ජනාධිපතිවරයා වෙනත් රැස්වීම් ගණනාවකට පිටතට ගොස් සිටියේය. අඟහරුවාදා සන්ධ්‍යාවේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලිකතාව චිත්‍රපටය නැරඹීමට ජනාධිපතිරයා කොළඹ - 7 ආර්කේඩ් උද්‍යානයේ සිනමාහලක් වෙත ගොස් තිබිණි. ඒ නිසා අඟහරුවාදා මේ ගැන තීන්දුවක් ගත නොහැකිවිය. එහෙත් ලැබී තිබුණ තහවුරු නොකළ ආරංචිමාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස දන්වා තිබූ බවය.
මෙම කටයුතු අතරතුර එ.ජා.ප.ය නව අධිකරණ අමාත්‍යවරයකු තෝරාගැනීමට තීන්දු කළේය. කලින් ආචාර්ය ජයම්පතිගේ නම මේ සඳහා යෝජනා වී තිබුණද පසුව ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියගේ නම ඊට යෝජනා විය. අඟහරුවාදා සවස අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයටද කීවේ බදාදා වනවිට මෙරට සිටිනුයේ අධිකරණ අමාත්‍යවරියක බවයි. ඇයට මෙම තනතුර පැවරෙන්නේ දැනට අතුකෝරාළ මහත්මිය දරන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය පදවියට අමතරව බවද කියැවිණි. විජේදාස රාජපක්ෂ මහතා දරන බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැනට කම්කරු රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ජ්‍යෙෂ්ඨයකු වන රවීන්ද්‍ර සමරවීර මහතාට ලබාදීමට තීන්දු කළ බව ප්‍රකාශ විය. එහෙත් කම්කරැ රාජ්‍ය ඇමැති පදවිය හෝ විදේශ රැකියා නව ඇමැති පදවිය පවරන කෙනෙක් ගැන තොරතුරු වාර්තා වී නැත.
ආර්කේඩ් සිනමාහලේදී ජනපති අලි කතාව බලයි
මෙම කටයුතු සිදුවෙද්දී පසුගිය සති අන්තයේ අගමැති එ.ජා.ප.යේ මැති ඇමැතින් සහ සාකච්ඡාවකට නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා කැඳවා තිබූ බව වාර්තා විය. අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමැතින් නීතිපතිගෙන් විමසා තිබුණේ දිගින් දිගටම නඩු පමාවන්නේ ඇයිද කියායි. එවිට නීතිපතිවරයා තමන් මෙතෙක් අධි චෝදනා යටතේ පැවරූ නඩු 18ක් ගැන මෙන්ම පරීක්ෂණ සිදුකරන පැමිණිලි රාශියක් ගැන විස්තර කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පැවති රැස්වීම් හා සාකච්ඡා ගණනාවකදී සඳහන් කර තිබුණේ ආණ්ඩුව තුළ ප්‍රශ්න වැඩි වනවිට රජය රාජපක්ෂලා මර්දනය සඳහා ක්‍රියාකරමින් සිටින බවයි. තම පවුලේ සාමාජිකයන්ට බොරු නඩු පටලවා පීඩාවට පත් කරන්නේ යයි මහින්ද සඳහන් කර තිබිණි.
ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රීපාල අතර කිසියම් සංවාදයක් ගොඩනැගී ඇතැයි තිරය පිටුපස ආරංචි මාර්ග කියයි. දෙපක්ෂය සමගි කරන්නට දේශපාලන කපුවන් ගණනාවක්ම ඉදිරිපත්ව විවිධ යෝජනා ගෙන එමින් ගෙනයමින් සිටින බව සඳහන්ය. මේ සැම දෙනාටම මහින්ද රාජපක්ෂ පාර්ශවය සඳහන් කර ඇත්තේ පක්ෂයේ බහුතර බලය ඇත්තේ තමන්ට බැවින් තමන්ගේ කොන්දේසි සපිරෙන්නේ නම් පමණක් සන්ධාන ගතවීමක් ගැන සාකච්ඡා කළ හැකි බවය. අලුතෙන් දෙපක්ෂය සාදන සන්ධානයක ලේකම් ධූරය මහින්ද පිලට හිමිවිය යුතුය යන්න ඔවුන් ඉදිරිපත් කර තිබෙන ප්‍රධාන කොන්දේසිය බව දැනගන්නට ඇත. මැතිවරණ සඳහා අපේක්ෂකයන් තේරීමේදී තම කණ්ඩායමට බහුතර අපේක්ෂක සංඛ්‍යාවක් ලබා ගැනීම ආදී තවත් කොන්දේසී ගණනාවක් මහින්ද පාර්ශවය මෛත්‍රී කණ්ඩායමට ඉදිරිපත්කර තිබේ. මෙම සංවාදය මෙවර සිදුවන්නේ දෙපක්ෂයේම වුවමනාව අනුවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා සිය මන්ත්‍රී කණ්ඩායමට පසුගියදා කියා සිටියේ මැතිවරණයකින් තොරව ආණ්ඩු හැදීමට තමන්ගේ කිසිම අපේක්ෂාවක් නොමැති වගයි. මේ කතා අතර සන්ධාන මහ ලේකම් මහින්ද අමරවිර මහතා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමද කීවේ ඉදිරි මැතිවරණවලට ශ්‍රී.ල.නි.ප. මුහුණ දෙන්නේ කණ්ඩායම් දෙකක් ලෙස නොව තනි කණ්ඩායමක් ලෙස එකතු වීමෙන් පසුව බවයි.
පණ්ඩුකාභය යුගයෙන් පසු සිදුවූ ලොකුම මගඩිය බැඳුම්කරය බවට විජේදාසගෙන් චෝදනා
මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ නව දේශීය ආදායම් බදු පතට එරෙහිව දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කළේය. මෙතෙක් ජනතාවට ලබා දී තිබූ බදු සහන ඉවත් කෙරෙන නව පනත මඟින් ජනතාව විශාල ලෙස පීඩාවට පත්වන වග ද සඳහන් කැරිණි. මේ ගැන අදහස් දැක්වූ රාජපක්ෂ මහතා පනත සම්මත වුනොත් හාමුදුරුවරුන්ට පිරිනමන දානයටත් බද්දක් වදින්නට ඉඩ ඇතැයි කීය. එපමණක් නොව දළදා පෙරහර වැනි සංස්කෘතික අංගවලටත් බදු නියමවන්නට පුළුවන් යැයි මහින්ද අනතුරු ඇඟවීමක් කළේය.
ඉදිරි පළාත් සභා මැතිවරණ සඳහා සුදුසු අපේක්ෂයන් තෝරාගැනීමට මේ දිනවල එ. ජා. ප.ය හා ශ්‍රී.ල.නි.ප.ය ක්‍රියාකරමින් සිටි. මෙම පක්ෂ දෙක පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය ද වැඩි බරක් යොදවන්නේ උතුරු මැද හා සබරගමුව පළාත් වලටයි. උතුරුමැද සඳහා දැනට යෝජනාවී ඇති මහ ඇමති අපේක්ෂකයන් අතර ශ්‍රී.ල.නි.පයෙන් අමාත්‍ය දුමින්ද දිසානායකගේ සොහොයුරු දමිත් දිසානායක සහ එ.ජා.ප.යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් එස්.එම්. චන්ද්‍රෙස්න යන මහත්වරු සිටින බව දැනගන්නට ඇත. එහෙත් සබරගමුව පළාත් සභාවට මේ දක්වා නාමයෝජනා වී ඇත්තේ එහි මහ ඇමති අපේක්ෂකත්වය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන පවිත්‍රාදේවී වන්නිආරච්චි හිටපු අමාත්‍යවරියගේ නම පමණි. ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී පිල තවමත් විශේෂ මහ ඇමති අපේක්ෂකයෙක් තෝරාගැනීමට ක්‍රියාකර නැති බැවින් වත්මන් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාව ඉදිරි ඡන්දයටත් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. එ.ජා.ප.යද සබරගමුවේ මහ ඇමැති අපේක්ෂකයා ගැන මෙතෙක් අදහසක් ප්‍රකාශ කර නොමැත.
පසුගිය සති කිහිපය පුරා ඇදී ගිය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රශ්නය විසඳුණේ බදාදාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විජේදාස රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කළේය.
පළාත් ඡන්දය කල්දාන්න සුළු පක්ෂත් එකඟලු
ඔහු මේ සතියේ අමාත්‍ය මණ්ඩල හමුවටද පැමිණ නොසිටි නිසා දුරකතනයෙන් ඇමතීමට සිදුවිය. අග්‍රාමාත්‍යවරයාගේ ලිපිය ගැන අමාත්‍ය රාජපක්ෂ දැනුවත් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ අමත්‍යවරයා ඉවත් කිරීමට තමන්ට සිදුවන බවයි. කැමතිනම් ඊට පෙර ඉල්ලා අස්විය හැකි බව ද දැන්වීය. එහෙත් මුල සිටම කී පරිදි තමන් ඉල්ලා අස්වීමට තරම් වරදක් කර නැත යන්න විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ මතය විය. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම්කර නඩු ප්‍රමාද කරන බවට ඇති චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරන අතර තමන්ගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොට වරාය රැකගන්නට කතා කිරීම වරදක් යැයි තමන් කිසිසේත්ම නොසිතන බවද හෙතෙම සඳහන් කළේය. ඔහු කෙසේ කුමක් කීවද රාජපක්ෂ ඉවත් කරන්නට සිදුවන බව ජනාධිපතිවරයා කීවිට ඒ ගැන තමන්ගේ අහිතක් නැතැයි රාජපක්ෂ මහතා පැවසූ බවද සඳහන්ය.
කෙසේ හෝ බදාදා දහවල් ඇමැති රාජපක්ෂ ඉවත් කිරීමේ නිල ලිපිය විශේෂ පණිවුඩකරුවකු අතේ අමාත්‍ය රාජපක්ෂ මහතාට ලැබෙන්නට සැලැස්විය. ඉන්පසු ඔහු අධිකරණ අමාත්‍යංශයටත් බුද්ධ ශාසන අමාත්‍යංශයටත් ගොස් එහි සිටි තමන්ගේ කාර්ය මණ්ඩලවලට ආයුබෝවන් කීය. අනතුරුව මාධ්‍ය ඇමතූ රාජපක්ෂ තමන් ඉවත් කිරීම ගැන විශේෂ ප්‍රකාශයක් කළේය. ජාතික සම්පත් කොල්ලකන විජාතිකයන්ට විකුණන රජයක සිටීම ලැජ්ජා සහගත බව එහිදී රාජපක්ෂ මහතා කීය.
රටේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් හම්බන්තොට වරාය චීනයට පැවරූ වග ද ඔහු පැවසීය. පණ්ඩුකාභය රජ සමයෙන් පසු රටේ සිදුවූ ලොකුම මගඩිය බැඳුම්කර වංචාව යැයි කී හෙතෙම එහි මහ මොළකරුවන් බේරාගන්න තමන් බිලිදුන් බව ද කීය. ජාතික සම්පත් රැකගන්නට කතා කිරීම හා අධිකරණයට ඇඟිලි නොගැසීම තමන් කළ වරද දැයි ප්‍රශ්න කළ රාජපක්ෂ මහතා මේ ආණ්ඩුව නීතිපති අරලියගහ මැඳුරට කැඳවා චණ්ඩි පාට් දැමීයැයි චෝදනා කළේය.
තනතුරින් ඉවත්කළ විජේදාස රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයකදී පොදු අපේක්ෂකයකු වනු ඇති බවට කොළඹ දේශපාලන අංශවල රාවයක් පැතිරිණි. කෙසේ වෙතත් ඔහු තමන්ට අත්වූ ඉරණම ගැන මහා සංඝරත්නයට කරුණු දක්වා තිබිණි. ඒ අතර යහපාලන රජය පිහිටුවීමට පුරෝගාමීවී දැනට නිහඬව සිටින මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් හා විජේදාස රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඉතාමත් පෞද්ගලික මට්ටමින් පවත්වා තිබේ. එහිදී රාජපක්ෂ මහතාට රතන හිමි නව ආරාධනා කර ඇත්තේ රටේ ජාතික ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වන්නට ජාතික බලවේගයක් නිර්මාණය කරන්නට තමන් හා එක්වන ලෙසය. ඒ සඳහා තවත් ජාති හිතෛෂී මන්ත්‍රීන්ගෙන් ද සහය ලැබෙන බව කී රතන හිමියන් මෙරට තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය (කොයිල්) සඳහා උදව් දීමට දැනටමත් ඉදිරිපත්ව ඇතැයි ද සඳහන් කර ඇත. පසුව මේ ගැන රාජපක්ෂ මහතා හා රතන හිමියන්ද තරුණ ව්‍යවසායකයන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ද එක්ව සාකච්ඡාවක් ද පවත්වා ඇත. එහෙත් රාජපක්ෂ මහතා ඊට එක්වන්නේ ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැත. ඔහු තවදුරටත් එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකරන බව පමණක් සඳහන් කර තිබේ. ඒ කතා පැතිරෙද්දි රාවණා බලය හා බොදුබල සේනා සංවිධාන දෙක ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ 2020 ජනාධිපතිවරණයට සිංහල බෞද්ධ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවය. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද එම සංවිධාන ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණ කල්දමා පසුව එක් දිනයකදී මැතිවරණ පැවැත්වීම සඳහා ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය දැන් පළාත් සභාවලට ඉදිරිපත් කර තිබේ. එය දැනටමත් උතුරුමැද පළාතෙන් සම්මත කර ඇත. එහෙත් මධ්‍යම පළාතේදී මේ ගැන අධ්‍යයනයට තවත් කල් අවශ්‍ය බව දන්වමින් සංශෝධනය ලබන මස දක්වා ප්‍රමාද කරන්නට තීන්දු වී ඇත. මුලින් ඡන්ද කල් දැමීමට එරෙහිවූ දෙමළ ජාතික සංවිධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද මේ වනවිට 20 වැනි සංශෝධනය මගින් මැතිවරණය කල් දැමීමට පක්ෂපාතී වී ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් විසින් මැතිවරණය ඉලක්ක කරගෙන සංවිධානය කරන ලද නව වැඩපිළිවෙළ දියත් කිරීමේ අරමුණින් ඡන්ද කල්දමා ගැනීමට දෙමළ ජාතික සංවිධාන නායක සම්පන්දන් තිරය පිටුපස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය මේ සතියේ තීන්දු කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවත කාර්යාලයේදී පැවති පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් හමුවේදී රංජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීන් පෙන්වා දුන්නේ රාජිත විපක්ෂයට පමණක් නොව නීතිපතිට අධිකරණ ක්‍රමයට පවා එල්ල කරන විවේචන සාධාරන නොවන බවයි. එවිට මන්ත්‍රීන් ගණනාවක්ම කියා සිටිෙය් අනුන්ට දොස් නගන රාජිතගේ ක්‍රියාකලාපය හෙළිදරව් කිරීමට විශ්වාසභංගයක් ගෙන එන ෙලසයි. ඒ අනුව විශ්වාසභංගය කෙටුම්පත් කිරීම නීතිඥ උදය ගම්මන්පිට පැවරුණි. ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, රංජිත් සොයිසා, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ඊට තොරතුරු සැපයූහ. අනතුරුව චෝදනා 11 යටතේ කෙටුම්පත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවට පැමිණ සිටි ඒකාබද්ධයේ මන්ත්‍රින් 39 අත්සන් කළෝය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රාජිතට විශ්වාසභංගයක් ගෙන ඒම තමන් දැඩි ලෙස අනුමත කරන අතර ඔහු හෙළිදරව් කළ යුතු වගයි.
බ්‍රහස්පතින්දා සවස මෙසේ අත්සන් කළ විශ්වාසභංගය කතානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේය. ඔහු ඒ ගැන කඩිනම් තීන්දුවක් දෙන බව පැවසීය.
පසුව මෙම යෝජනාව ගැන අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒකබාද්ධ විපක්ෂයේ විශ්වාසභංගවලට තමන් බිය නොවන වගයි. මෙම යෝජනාව තමන්ට විශ්වාසය පලකරන යෝජනාවක් බවට පරිවර්තනය කරගන්න බවද රාජිත මාධ්‍යයට කීය.
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඇමැතිධූරයෙන් ගියදා සවස එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීන් සඳහා ජනාධිපතිවරයා රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමීය. එයට මන්ත්‍රී රවි කරැණානායක පවා පැමිණ සිටිනු පෙනිණ. ආණ්ඩුවේ සිටින ශ්‍රි.ල.නි.ප මන්ත්‍රීන් හා ඇමැතින් කරන ප්‍රකාශ නිසා රජයට ප්‍රශ්න ඇතිවන බව මන්ත්‍රී පිරිසක් පෙන්වාදුන් විට ජනපතිවරයා සිනාසෙමින් කීවේ සමහරු තමන්ද විවේචනය කර ඇති බවය. එහෙත් යම් කරුණක් නිසා තමන් තවදුරටත් ඉවසා සිටින බවද ඔහු සඳහන් කළේය.
ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර