♦ ජනපති තිරුපති ගිය හෙළිකොප්ටරයට ඉහළින් අමුතු යානයක්
♦ පින්ලන්ත ආයෝජන ලංකාවට ගේන්න අගමැති සාකච්ඡාවක
♦ දැන් මට හිරේ යන එක හොඳට පුරුදුයි. නාමල් මහින්දට පවසයි
♦ නඩුවට ආ හිටපු අගවිනිසුරු නීතිඥ අසුනක් එපා කියයි
♦ ලිට්‍රෝ ලොක්කගෙ වංචාව පිටුපස සිටින බලවතා ගැන ජ.වි.පෙන් ප්‍රශ්නයක්
මේ මාසයේ සිදුවන නොයෙක් ග්‍රහ මාරු නිසා දේශපාලනඥයෝ කැළඹී සිටිති. ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ ද තත්ත්වය එසේය. පසුගියදා හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට ගියේ තිරුපති වන්දනාව පිණිසය. මහා විෂ්ණු පූජාවලින් එතුමාට අවශ්‍ය කරන සෙත් ශාන්ති සලසා ගැනීම ගමනේ අරමුණ වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව මුලින් තිරුපති බලා ගිය ගමනකදි උදෑසන පූජාව සිදුකිරීමට මහා දේවාලය විවෘත කිරීමට තැත්කළ විට දේවාලයේ යතුර කැඩීයාම නිසා නිශ්චිත කාලයක් තුළ තවත් විශේෂ පූජාවක් තැබිය යුතු බවට ලැබී තිබූ ජ්‍යොතිෂ උපදෙසද මෙවර තිරුපති ගමනට විශේෂ හේතුවක් බව ඉන්දිය මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.
කෙසේ හෝ ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය මෙම චාරිකාවට එක්වූහ. කොළඹින් තිරුපති ගුවන් තොටුපොළටත් එතැන් සිට ඉන්දිය රජයේ විශේෂ ආරක්ෂිත හෙළිකොප්ටරයකිනුත් ජනපතිවරයා තිරුපති කෝවිලට ළඟාවිය. ඔහු වෙනුවෙන් ආරක්ෂක අංශ දැඩි රැකවරණයක් සපයා තිබිණි. එහෙත් ජනාධිපතිවරයා තිරුපති කෝවිල වෙත ගමන් ගත් ප්‍රභූන් ප්‍රවාහනය කරන හෙළිකොප්ටර යානය තිරුපති හෙළිකොප්ටර අංගනයට පහත් කරද්දී ඊට ඉහළින් ගුවනේ කැරකෙමින් තිබූ ඉතා කුඩා යානයක් නිසා ඉන්දිය ප්‍රභූ ආරක්ෂක අංශ දැඩි ලෙස කලබල වූහ. වහාම විශේෂ ගුවන් හමුදා නිරීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා ජනපතිවරයා ගමන්ගත් හෙළිකොප්ටරය ගොඩබාන විට අහසේ තිබූ විශේෂ යානය කුමක්දැයි දැඩි සෝදිසියක් සිදු කළේය. පසුව දැනගන්නට ලැබුණේ එය තිරුපති දේවාලයටම අයත් ඩ්‍රෝන කැමරා සවිකළ කුඩා ගුවන් යානයක් බවයි. එහි උදෑසන පූජාව ගුවනේ සිට රූගත කිරීම මෙම යානය මගින් සිදුකළ බව වාර්තා විය. උදෑසන පූජාව තැබූ ජනාධිපතිවරයා ඉන්දිය රජය වෙනුවෙන් එහි පැමිණි නිලධරයන් සමඟද සුහද කතාබහක නිරත වී එදිනම ශ්‍රී ලංකාව බලා පිටත්විය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ ජර්මනියේ පෞද්ගලික සංචාරයක නිමවා පින්ලන්තයට පැමිණියේය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ද වූහ. අගමැතිවරයා සමඟ පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය අධ්‍යයනටත් එරටින් ශ්‍රී ලංකාවට ආයෝජන වැඩිපුර ලබාගැනීමටත් අගමැතිවරයා සැලසුම් කර තිබිණි. යුරෝපයේ තිබෙන විධිමත් විෂය මාලාවක් රහිත වඩාත් විවෘත හා පුළුල් අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක් ලෙස පින්ලන්තය සැළැකේ. පින්ලන්තයේ හෙල්සින්කි නගරයට ගිය අග්‍රාමාත්‍යවරයා එරට අග්‍රාමාත්‍ය සුහාසි පිලර් මහතා සහ එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා වට ගණනාවකට එක්විය.
අගමැති වික්‍රමසිංහ මහතා මුලින්ම පින්ලන්තයේ ප්‍රධාන පෙළේ ආයෝජන සමාගම් ප්‍රධානීන් ගණනාවක් හමුවී මෙරටට ආයෝජන ලබාගැනීම ගැන සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවට පින්ලන්ත ආයෝජකයන් වැඩි වැඩියෙන් කැඳවා ගැනීම සඳහා සබඳතා වර්ධනය කළ යුතු බව මෙහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේය. සංවර්ධිත රටක් ලෙස එරටින් ශ්‍රී ලංකාවට බෙහෙවින් උදව් ලබාගන්න කී බැවින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ආයෝජනයක් කැඳවා ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම ගැන අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකළ බව දැනගන්නට තිබේ.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික මානවහිමිකම් පෙත්සමේ ආරම්භක විභාගය පසුගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේදි පැවැත්විණි. හිටපු අගවිනිසුරුවරයා සහ තවත් පාර්ශව ගණනාවක් පළාත් සභා ඡන්ද සංශෝධන පනතට එක්කළ සංශෝධන නිසා ඡන්දය කල්යෑමෙන් මානවහිමිකම් ඉදිරිපත් කර තිබිණි. මෙදින සලකාබැලුණේ සරත් සිල්වා මහතාගේ පෙත්සම පමණි. එය නිෂ්ප්‍රභ කරන ලෙස දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතා ද හරස් පෙත්සමක් ඉදිරිපත් කළේය. හිටපු අගවිනිසුරුවරයා නීතිඥයන්ට පසුපෙළ අසුනක හිඳගෙන සිටිනු දුටු වත්මන් අගවිනිසුරුවරයා ඉදිරිපස නීතිඥයන්ගේ මේසයේ අසුන් ගන්නැයි ඉල්ලීමක් කළද සරත් එන්. සිල්වා මහතා කීවේ තමන් මෙම නඩුවට පෙනී සිටින්නේ නීතිඥයෙක් ලෙස නොව සාමාන්‍ය පුරවැසියකු ලෙසින් බවයි. එනිසා පසුපස අසුන හොඳ බව හිටපු අගවිනිසුරුවරයා කීය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා සහ තවත් නීතිඥ පිරිසක්ද දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ පිරිසක්ද පෙනී සිටියහ. සරත් එන්. සිල්වා මහතා සමඟ ද සෑහෙන නීතිඥ පිරිසක් පැමිණ සිටියෝය. මෙම නඩුවේ කරුණු දැක්වීමේදී දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් හිටපු අගවිනිසුරුවරයා “සිටිසන් සිල්වා” ලෙස හඳුන්වමින් උසාවිය හමුවේ කරුණු දක්වන්නට යද්දී විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ හිටපු අගවිනිසුරුවරයා සම්බන්ධව එලෙස කතා නොකරන ලෙසය. කෙසේ හෝ නඩුවේ මූලික විරෝධතා ගණනාවක් ගැන විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නැවත එහි විභාගය ලබන 19 දාට කැඳවීමට තීන්දු කළේය. මෙම පෙත්සම විභාග කරන්නේද නැත්ද යන්න එදිනට තීන්දු කරන බව දැනගන්නට ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ගතකරන්නේ ජපානයේය. ඔහු පසුගිය දින කිහිපයේ ආගමික උත්සව ගණනාවකට සහභාගි වූ අතර පසුව එරට ප්‍රධාන පෙළේ රෝහලකදී විශේෂ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට සහභාගි වූ බව දැනගන්නට තිබේ.
වෛද්‍ය පරීක්ෂණ හමාරවූ පසු මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ වෙසෙන මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික සංවිධාන ගණනාවක් හමුවිය. ඔවුන් සියල්ලෝම රාජපක්ෂ මහතා නවාතැන් ගෙන සිටි හෝටලයේදී එතුමා මුණගැසුණාහ. අලුත් ව්‍යවස්ථාව ගැන මෙන්ම බැඳුම්කර ගනුදෙනුව ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන සාකච්ඡාවලදී කතාබහ විය.
සතියේ වඩාත් ආන්දෝලනාත්මක සිදුවීම් දෙක වූයේ ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ආණ්ඩුව පත්කර සිටි සභාපති ශලීල මුණසිංහ මහතා ජාත්‍යන්තර බැංකු වංචාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමේ සිද්ධියයි. දෙවැන්න මහබැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම මේ ගැන නම කියැවුණ රජයේ එ.ජා.ප.ය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන දෙදෙනා කොමිසම හමුවට කැඳවීමයි.
මෙම අමාත්‍යවරුන් දෙදෙනා එ.ජා.ප.යේ සභාපති සහ ලේකම් තනතුරු දරන්නන් වීමද විශේෂයකි. ජාත්‍යන්තර බැංකු වංචාවකට සැකපිට අත්අඩංගුවට ගත් ශලීල මුණසිංහ එම තනතුරට පත්කළේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ නිර්දේශයෙනි. මේ වනවිට අදාළ විෂය භාරව ඇත්තේ අමාත්‍ය කබීර් හෂීම්ටය. මේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අවසන් වූ පසු කබීර්ගේ හිතවත් එ.ජා.ප. අමාත්‍යවරු රුපියල් තිස්එක්කෝටියක් අයථා ලෙස ලබා ගැනීම ගැන චෝදනා ලැබූ සභාපති ශලීල ගැන ගන්නා පියවර කුමක්දැයි ප්‍රශ්න කළෝය. එවිට කබීර් පවසා සිටියේ “මම මීට කළින් ඔය පුද්ගලයාව සභාපති තනතුරින් අයින් කරන්න හැදුවා ඒක ආණ්ඩුව ඇතුළේ හිටපු සමහරු ඒකට විරුද්ධ වුණා. ඒ නිසයි මට මිනිහව අයින් කරන්න බැරි වුණේ. නමුත් දැන් වහාම තීන්දුවක් ගන්න වෙනවා.”කබීර් සිය ඇමැති සගයන්ට කීය. ඒ අතර ශලීල මුණසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස එ.ජා.ප.යේ ප්‍රබලයෙක් බලපෑම් කළ බවටද විවිධ ආරංචි පැතිර ගියේය. මෙසේ අත්අඩංගුවට පත් ලිට්රෝ ගෑස් සභාපතිවරයා දේශපාලන පක්ෂයකද හිමිකරැවෙකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී තරග කරන්නට හංසයා ලකුණ සහ පක්ෂය ලබාදී තිබුණේ ශලීල මුණසිංහ බව වාර්තා විය.
එසේම බැඳුම්කර කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කැඳවීම් ලද අමාත්‍ය කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම මේ ගැන විදේශ ගතව සිටින අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් කර තිබිණි. මෙම අමාත්‍යවරුන් දෙදෙනා බැඳුම්කර කොමිසමට කැඳවීම ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රින් ගණනාවක් එ.ජා.ප. ඇමැතින් මෙම කොමිසමට කැඳවීම ගැන ප්‍රශ්න කර තිබිණි. කෙසේහෝ ඇමැති මලික් හා කබීර් කොමිසමට කැඳවීම කොමිසමේ කොමසාරිස්වරුන්ගේ තීරණයක් වූ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂි ලැයිස්තුවේ ඔවුන්ගේ නම් සඳහන් නොවූ බවත් කියැවිණි. මෙම අමාත්‍යවරුන් කොමිසමට පැමිණි විට ඔවුන්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් ප්‍රශ්න කළේ නැත. ප්‍රශ්න කළේ කොමිසමේ විනිසුරුවරුන් පමණි. ඇමැතින් දෙදෙනාගෙන්ම ප්‍රශ්න කළේ විනාඩි 30ක් පමණ බවද පසුව වාර්තා විය. මෙහිදී බැඳුම්කර විකුණා රටේ සංවර්ධන කටයුතු සඳහා මුදල් සොයාගන්නා ආකාරය තීන්දු කිරීමට තැබූ විශේෂ රැස්වීමක් ගැනත් එහිදී ගත් තීන්දු ගැනත් ප්‍රශ්න කැරිණි.
සතියේ අමාත්‍ය මණ්ඩල හමුව මෙවර පැවැත්වුණේ අඟහරුවාදා පෙරවරුවේය. ජනාධිපතිවරයා මුලසුනගත් රැස්වීම උණුසුම් වූයේ මහනුවර කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ගැන ඇමැති මණ්ඩල හමුවේදි ශ්‍රී.ල.නි.ප. හා එ.ජා.ප.යේ ඇමැතිවරුන් අතර හටගත් ප්‍රබල මතගැටුමක් නිසාය. ආරම්භයේදීම මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා කියා සිටියේ මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ අවශ්‍යතාව පවතින්නේ කොළඹ සිට කුරුණෑගල දක්වා පමණක් බවය. කුරුණෑගල (පොතුහැර) සිට මාර්ගයෙන් එතරම් ප්‍රයෝජනයක් නොවන බවට චම්පික තර්ක කළේ හේතු කාරණා 4ක් ඉදිරිපත් කරමිනි. එහෙත් බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවාවන් හා ඉදිකිරීම් ගණනාවක් කපා දමා මේ ඉදිකිරීම සිදුකිරීම රටේ භෞතික සැලැසුමට ද විරැද්ධ බව ඇමැති රණවක සඳහන් කළේය. එහෙත් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ඊට එකඟ නොවූයේ මෙය නුවර ජනතාවට දුන් ඡන්ද පොරොන්දුවක් බව කියමිනි. සජිත් ප්‍රේමදාස හා රාජිත සේනාරත්නද ඔහුට සපෝට් කරද්දී දයාසිරි ජයසේකරද මේ අධිවේගී මාර්ගයය කුරුණෑගලින් හමාර කර ධාවන පථ මංතීරු 4ක පාරක් ලෙස ගලගෙදර හරහා ගෙනයෑම සුදුසු යැයි කීය. මේ ගැන කේන්ති ගත් ඇමැති කිරිඇල්ල ආණ්ඩුව පරද්දන්න වැඩකළ තමන්ගේ මැතිවරණ කොට්ඨාසය පරාද දයාසිරිලා රජය කරන හැමදේටම විරුද්ධ බව චෝදනා මුඛයෙන් කීය. අපි විතරද පරාද ඔයාලටත් තනියම ආණ්ඩුවක් පිහිටුවන්න ජනවරමක් ලැබුණේ නැහැ. අපි ආව නිසයි ආණ්ඩුව හැදුණේ. දයාසිරි පිළිතුරු ලෙස තදින් කීය.
මහින්ද අමරවීර හා සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරුන් ද එම වාග් සටනට පැටලෙද්දී කිරිඇල්ල ඇමැතිවරයා අමරවීර ඇමැතිවරයාට “ඔයාලගෙ ආණ්ඩුව කාලෙ සේරම දේවල් හම්බන්තොටට ගෙනිච්ච බවට” චෝදනාවක් නැගීය. එවිට අමරවීර ඇමැතිවරයා සඳහන් කළේ අපි මේ ආණ්ඩුවෙ ඉන්නවනම් ආණ්ඩුවෙ වැරදි පෙන්වා දෙන්න අවසරයක් තියෙන්න ඕන. එහෙම නැතුව ආණ්ඩුවෙ ඉන්නෙ මොකටද සරත් අමුණුගම අමාත්‍යවරයා ද නුවරට අධිවේගය අවශ්‍ය බව කීය. එහෙත් ඔහු චම්පික ගෙන ආ තර්ක බොහෝමයක් තමා පිළිගන්නා නමුත් නුවර වැසියකු ලෙස මහනුවරට අධිවේගයක් ඉදිකිරීමට විරුද්ධ විය නොහැකියයි කීය.
එවිට දයාසිරිලා අධික පොලියට ණය අරගෙන ටෙන්ඩරයේත් වැරදි සිදුකර ඇතැයි කියමින් නැවතත් විවාදයට එළඹෙන විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පොතුහැර - මහනුවර මාර්ග කොටස ගැන අගමැතිවරයා පැමිණි විට ඔහු සමඟ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගතයුතු බවය.
රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදිකරන ලද මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ ඉන්දියාවට පැවරීමට එරෙහිව සිදුකළ උද්ඝෝෂණයක් සම්බන්ධව (නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත) පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක හා ප්‍රසන්න රණවීර යන මහත්වරුද උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ, අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රීවරුද හම්බන්තොට පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම මන්ත්‍රීන් පිරිස එකී මහජන උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ තිරුපති දේවාලය වන්දනා කරන්නට ගිය දිනයේදීය. ජනාධිපතිවරණයට ඉන්දියාවේදී විශේෂ රැකවරණ හා සැපපහසුකම් සලසද්දී හම්බන්තොට ඉන්දීය රජයේ කොන්සල් කාර්යාලය ඉදිරිපිට විපක්ෂය කළ උද්ඝෝෂණය නිසා ජනාධිපතිවරයා එරටදී කිසියම් අපහසුතාවකට පත්වූ බව ඇතැම් ඉන්දීය විචාරකයන් පවසා තිබිණි. කෙසේ හෝ උද්ඝෝෂකයන් නැවැත්වීම සඳහා උසාවි නියෝග පවා ලබා තිබියදී උද්ඝෝෂණය සිදුවිය. මේ නිසා දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ආරක්ෂක අංශවෙත නියෝග ලැබිණි.
මෙම උද්ඝෝෂණයේදී තරුණයකුට අමානුෂික පහරදුන් සහකාර පොලිස් අධිකාරීවරයකු ගැන මාධ්‍යයේ බොහෝ තොරතුරැ ප්‍රචාරය වුවත් පොලීසියේ ප්‍රධානින් එම පහරදීම සිදුකළ නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පමණක් මෙම සටහන ලියනවිට සිදුකර තිබිණි.
පසුගිය අඟහරුවාදා මේ ගැන කටඋත්තරයක් ලබාදීමට නාමල් රාජපක්ෂ හම්බන්තොට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබිණි. එහෙත් එදින උදෑසන කොළඹ මහාධිකරණයේ පැවැති නඩුවක් නිසා නාමල්ට උදෑසන පොලීසියට පැමිණීමට නොහැකිබව දැන්වීය. අනතුරුව හැන්දෑවේ ඔහුට පොලීසියට එන්නැයි කීය. ඒ වනවිට හම්බන්තොට පොලීසිය අවට දැඩි ආරක්ෂාවක් යොදාතිබිණි. රාත්‍රි 7.30ට පමණ නාමල් සෙසු මන්ත්‍රී පිරිසක් නීතිඥවරුන් වන ප්‍රේමනාත් දොළවත්ත හා සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් සමඟ පොලීසියට පැමිණියහ. පොලීසියේදී ප්‍රකාශ සටහන් කළේ රාජ්‍ය දේපොළට අලාභහානි සිදුකිරීම (පොලිස් රථවාහනවලට ගල්ගැස්සවීම) උසාවි නියෝග කඩකිරීම ආදී චෝදනා ගණනාවක් මත ඔහු අත්අඩංගුවට ගන්නා බවය.
ඒ මොහොතේ ජපානයේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ බව දැන්වීමෙන් පසුව රාජපක්ෂ මහතා නාමල් අත්අඩංගුවට ගන්නට සුළු මොහොතකට කළින් නාමල්ගේ ජංගම දුරකතනයට කතා කළේය. “ඔයා අත්අඩංගුවට ගන්නද යන්නෙ? මහින්ද නාමල්ගෙන් විමසීය. “ඔව් තාත්තෙ ප්‍රශ්නයක් නැහැ... අපි වරදක් කරලා නැහැනේ. රිමාන්ඩ් එක මට දැන් හොඳට පුරුදුයි. එතන මිනිස්සුත් හොඳයි... මම යන්නම්. තාත්තා වැඩටික ඉවර කරගෙන හෙමින් එන්න. නාමල් මහින්ද රාජපක්ෂ මහතාට කීය. “ඔව් ඔයා මන්ත්‍රී වුණ දවසෙම මම කිව්ව හිරේ යන්නත් පුරුදු වෙන්න කියලා.” කියමින් මහින්ද පවසන විට නාමල් කීවේ “මට මතකයි දැන් මෙයාලා අපට මාංචු දාන්නයි යන්නෙ. මම යන්නම් ප්‍රශ්නයක් නැහැ තාත්තෙ.” කියායි. අනතුරුව දුරකතනය විසන්ධි කළේය. රාත්‍රි 10.00ට පමණ රිමාන්ඩ් කිරීමේ මහේස්ත්‍රාත් නියෝග ලබාගත් පොලීසිය නාමල්ලා බන්ධනාගාර බස් රථයකින් තංගල්ල සිරගෙදරට ගෙන ගියහ. ඒ යන අතරමග සෙනඟ රැස්ව සිටි අතර ස්ථාන දෙකක පමණ ටයර් පුළුස්සා මහා මාර්ගය අවහිර කර තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග ශුද්ධ කොට බන්ධනාගාර රථවලට ගමන් පහසුව සැලැසීය.
ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල සිදුකරන්නේ උද්ඝෝෂණ සම්මන්ත්‍රණ හා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්ය. පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන පසුගියදා ජ.වි.පෙ. උතුරේද ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේය. ඒ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා කීවේ පළාත් පාලන ඡන්දය රටේම එකවිට පැවැත්විය යුතුය කියායි. එවිට ජනතාවට වත්මන් ආණ්ඩුවේ තරම දැනගත හැකි යැයි සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ කිසිම අවස්ථාවක ඡන්ද කල්දැමීමට උදව් නොකරන බව කී හෙතෙම දැන් තිබෙන තත්ත්වයේ හැටියට ජනවාරියේ ඡන්දය පැවැත්විය හැකි තත්ත්වයක් පවතින වග සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා මුදල් විශුද්ධි කරණ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන මෙහිදී අනුරගෙන් ජනමාධ්‍ය විමසීමක් කර තිබිණි. එවිට ජ.වි.පෙ. නායකයා කීවේ මේ සභාපති හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ සමීපතමයෙක් බවය. ඔහු මේ තනතුරට පත් කරන්නට යෝජනා කළේ කව්දැයි සොයාබැලිය යුතු යැයි කීය. මේ සිද්ධිය පසුබිමේ ලිට්‍රෝ ගෑස් සභාපතිවරයාට ප්‍රබල දේශපාලනඥයෙක් කතාකළ හඬපට පරීක්ෂා කළයුතු බව කී හෙතෙම මෙම මහා බැංකු වංචාව පසුපස සිටින්නන්ද වහාම නීතිය හමුවට ගෙන ආ යුතුයැයි පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වූ ජාතික නිදහස් පෙරමුණ පසුගියදා නව ව්‍යවස්ථා යෝජනා ගැන කතා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසිණි. එහි නායක විමල් වීරවංශ හා සෙසු මන්ත්‍රීහු ද මෙම හමුවට එක්ව සිටියෝය. ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් පෙන්වා දෙමින් විමල් වීරවංශ මහතා කීවේ මෙම යෝජනා ක්‍රියාත්මක කළහොත් රට බෙඳුම්වාදය කරා තල්ලු වන බවයි. සමහරුන් මෙහි යොදා ඇති වචන වගන්ති ගණන් නොගෙන සම්මත කළ යුතු යැයි කියන්නේ බෙදුම්වාදයට උඩගෙඩි දීමේ අරමුණින් යැයි ද ඔහු කීය.
විමල්ලාගේ විග්‍රහයට සවන් දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවමත් සාකච්ඡාවට බඳුන් වන්නේ ව්‍යවස්ථා යෝජනා පමණක් බවය. මෙයින් බොහොමයක් එ.ජා.පයේ අදහස් බව කී ජනාධිපතිවරයා ඇතැම් ඒ අදහස් සමඟ ශ්‍රී.ල.නි.පය එකඟ නැතැයි ද කීය. ඉදිරියේ දී මේ ගැන සාකච්ඡා කොට රටට වඩාත් හොඳ ව්‍යවස්ථාවක් සැකසීමට තමන් කැපවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා සති අන්තයේ යාපනයේ චාරිකාවක යෙදීමට සැලැසුම් කර තිබේ. මෙම චාරිකාව සම්බන්ධව යාපනයේ සමහර දෙමළ සංවිධාන එතරම් සතුටක් ප්‍රකාශ කර තිබුණේ නැත. වත්මන් රජය බලයට පත්වීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු නොවීම ගැන යාපනයේ සිවිල් සංවිධාන හා සමහර රැඩිකල් දේශපාලන පක්ෂ තුළ විරෝධයක් පැන නැග ඇති බව දැනගන්නට තිබේ.
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර