2018 මාර්තු 10 වන සෙනසුරාදා

සිව් වරක් නම කැපුණු ෆොනී වෙනුවට පොලීසිය රන්ජිත්ට

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 407

♦ ජනපතිවරණයේ හොඳම ප්‍රතිවාදියා රනිල් බව මහින්ද කියයි  
♦ මුස්ලිම් ආගමික නායකයෝ මහ රෑ මහින්දගේ නිවසට    
♦ නුවරට හමුදා රැකවරණ දෙන්න ඇමැති රුවන් නුවරට  
♦ පොලිස්පතිට ආරක්ෂක මණ්ඩලයේදී දොස්  
♦ මන්ත්‍රී මරික්කාර්ගෙන් ඇස් ඇරෙන කතාවක්  
♦ ජ.වි.පෙන් රජයට දොස්  ජනපති - අගමැති සහ 
♦ හිටපු ජනපතිගෙන් සාමය පතා ආයාචනා

 

 

 

 

 

පළාත් පාලන මැතිවරණයෙන් පසු හටගත් අවුල් වියවුල් තවමත් හමාර නැත. මේ දක්වා නව පළාත් ආයතන ස්ථාපිත කරගැනීමට විවිධ ප්‍රායෝගික බාධා එල්ල වී තිබේ. ඒ අතර විශේෂයෙන්ම එ.ජා.පය අභ්‍යන්තරයේ හටගත් දේශපාලන හැලහැප්පිලි තවමත් නිම වී ඇති බවක් නොපෙනේ. පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ලබන සතියේ පක්ෂ කෘත්‍යාධිකාරියට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. එම යෝජනා ඉදිරිපත් වන තෙක් එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් කල් බලමින් සිටින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙයට අදාළ නිර්දේශ ලබාදීමට රජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැතිවරයා විසින් කමිටුවක් පත් කෙරිණි. එම කමිටු වාර්තාව ගිය සඳුදා රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ කමිටුව විසින් අගමැතිවරයාට බාරදීමට නියමිත වුවත් එය පසුවට කල් ගියේය. ඉදිරි ප්‍රතිසංවිධාන සිදුවන්නේ මෙකී කමිටු නිර්දේශ අනුව බව කියැවේ. මේ කතා පැතිරෙද්දී ගිය සඳුදා සවස එ.ජා.පයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් විය. එහි කිසියම් උණුසුම් බවක් හටගනු ඇතැයි අපේක්ෂා කළ ද අපේක්ෂිත රස්නය රැස්වීමේ තිබුණේ නැත. පක්ෂය මැතිවරණයේ දී ලද පරාජයට හේතු මන්ත්‍රීන් හා ඇමැතින් එක්ව සාකච්ඡා කළෝය.

ඊට අමතරව රට පුරා පැතිර යන සිංහල  - මුස්ලිම් ආරවුල් ගැන බොහෝ වේලාවක් එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කළෝය. එහෙත් පක්ෂයේ ප්‍රතිසංවිධාන ගැන හෝ පක්ෂ නායකත්වය ගැන දැඩි හෝ උණුසුම් මත කිසිවක් එ.ජා.ප කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ වූයේ නැත. එසේම ඉන්පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කළේ තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව එ.ජා.පය විනාශ කරන්නට ක්‍රියා නොකරන බවයි. කලින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බව කී රංගේ අමාත්‍යවරයා දෙරණ රූපවාහිනියේ 3600 වැඩසටහනට එක්වෙමින් කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැත කියායි. නමුත් පක්ෂයට ප්‍රබල ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වගත් පක්ෂ නායකත්වය වෙනස් විය යුතු වගත් ඔහු අවධාරණය කළේය. නිතරම පුත්තලමට කැබිනට් අමාත්‍ය ධූරයක් ඉල්ලා සටන් කළ හෙතෙම දැන් තමන්ට කැබිනට් ඇමැතිකමක් දුන්නත් බාරනොගන්නා බව 3600 වැඩසටහනේ දී වැඩිදුරටත් කීය.

රංගේබණ්ඩාර අමාත්‍යවරයා සමඟ එ.ජා.ප ප්‍රතිසංවිධානය ගැන සැරට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීම සම්බන්ධව එ.ජා.පයට අදහසක් නැතැයි මාධ්‍යයට කීය. එහෙත් ප්‍රතිසංවිධාන අවශ්‍ය බව ඔහුගේ ද මතය විය.

ඒකාබද්ධ විපක්ෂය පසුගිය දින හත අටක කාලයක් තිස්සේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සැලැසුම් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව ගැන මුල සිටම දැරුවේ විවෘත හා වෙනස් මතයකි. පක්ෂ බහුතරය යෝජනා කරන නිසා තමන් මෙයට එකඟ වුවද මැතිවරණයෙන් පසු අර්බුදයට ගොස් ඇති එ.ජා.පය ශුද්ධ පවිත්‍ර කර දීමට තම පක්ෂය මැදිහත් වීම පාඩුසහගත යැයි මහින්ද නිතරම කීය. තම පක්ෂයෙන් 2020 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයාට හමුවිය හැකි හොඳම අපේක්ෂකයා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ යැයි සිය මන්ත්‍රී කණ්ඩායමට කී මහින්ද ඒ හොඳම අපේක්ෂකයාට එරෙහිව යාම අයෝග්‍ය බව තම පෞද්ගලික මතය බව කීය. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානී දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට සමාන මතයක් දැරීය. එහෙත් මන්ත්‍රී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තරයේම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ යුතුම බවයි.

මේ ගැන සාකච්ඡා කරන්නට ගිය සඳුදා සවස සහ අඟහරුවාදා උදෑසන මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ දී රැස්වීම් දෙකක් පැවැත්විණි. එහිදී ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග ගෙන එන බව කී එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් දැන් එයින් කර අරිමින් සිටින වගයි. එපමණක් නොව ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් ද තීන්දුවක් ගත නොහැකිව වැහෙන සුළු ප්‍රතිපත්තියක් ගෙන යන බවට ඔවුහු චෝදනා නැගූහ. එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ ඒකාබද්ධය පමණක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර එය බාරදීම පලදායක නැත කියායි. අඩුම තරමින් එ.ජා.පයෙන් කිහිපදෙනකු සහ ශ්‍රී.ල.නි.පයෙන් කිහිපදෙනකු ඊට අත්සන් කරන්නේ නම් යෝජනාවේ බරසාර ගතිය වැඩි වෙතැයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ඒ අය අත්සන් නොකර ඒකාබද්ධය ලවා කරන්න යන්නේ බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බැවින් අප ඊට හසුවිය යුතු නැතැයි රාජපක්ෂ මහතා කීය.

එහිදී මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ද මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස අනුමත කළ අතර බහුතර මන්ත්‍රීන් පිරිසක් එම මතයට එකඟ වන බව කීහ. එහෙත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් දිගින් දිගටම කීවේ රජයට විරෝධය දක්වන්නට තිබෙන හොඳම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය කියායි. උදය හා විමල් ඒ ගැන දිගින් දිගටම කතා කරන අතරේ මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.පයෙන් ආරංචියක් ලැබිණි. ඒ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගෙනි. තිලංග විශ්වාසභංගය ගැන කතා කරන විට ශ්‍රී.ල.නි.පයෙන් කිසිවකු ඊට අත්සන් කරන්නේ දැයි මහින්ද රාජපක්ෂ මහතා විමසීය. එවිට තිලංග කියා ඇත්තේ තමන් එහි වගකීම බාරගෙන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනකුගේවත් අත්සන් ලබාගන්නට ක්‍රියා කරන බවය.

ශ්‍රී.ල.නි.පයෙන් ඒ ආකාරයේ ප්‍රතිචාරයක් පළවුවද ඒකාබද්ධය සමඟ කතා කළ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෝ එබඳු කිසිවක් නොකීහ. ඔවුන්ගෙන් ඇතැමෙක් ඒකාබද්ධ ප්‍රධානීන් ගිය සතියේ හමු වී තිබිණි. එහිදී අගමැති ධූරය සඳහා විකල්ප නම් පවා යෝජනා කළ බව දැනගන්නට ලැබිණි. එහෙත් හදිසියේම තත්ත්වය වෙනස් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයකු වන රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ගෙන්වා වෙනම සාකච්ඡා කර තිබූ අතර තවත් එවැනිම ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන විමසා තිබිණි. එහෙත් අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊට වඩා දැඩි පියවරකට නොයාමට එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන්ට බලපෑ තවත් කරුණක් තිබුණි. ඒ බව මෙම ජ්‍යෙෂ්ඨයන් ඒකාබද්ධ විපක්ෂයට ද දන්වා තිබූ බව කියැවේ. එ.ජා.පයේ පිරිසක් ද මුල් වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන්නට ක්‍රියා කළහොත් ජනාධිපතිවරයා ඊළඟට අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කරනු ඇත්තේ කවුද යන්න ගැන එ.ජා.පයට සහතිකයක් නොතිබිණි. එ.ජා.ප ජ්‍යෙෂ්ඨයකුගේ නම ඊට යෝජනා කළ ද ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ඉඩ ඇතැයි එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් අතර සැකයක් තිබිණි. එබඳු තත්ත්වයක් හටගතහොත් එ.ජා.පය අදටත් වඩා දුෂ්කර තත්ත්වයට පත්වන බැවින් විශ්වාසභංග යෝජනාව ගැන උනන්දු වූ එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් කකුල පස්සට ගත් බව දැනගන්නට තිබේ. ඒ අනුව ඒකාබද්ධය ගිය අඟහරුවාදා බාරදීමට සැලැසුම් කර තිබූ විශ්වාසභංගය පසුවට කල් දැමූ අතර රට තුළ පවත්නා අසහනකාරී තත්ත්වය හා හදිසි නීතිය සලකා ගිය බදාදා නුගේගොඩ දී පවත්වන්නට සැලසුම් කර තිබූ මහජන රැලිය ද අවලංගු කෙරිණි.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ හටගත් අසහනකාරී සිද්ධිය නිසා රට පුරා හදිසි නීතිය පනවන්නට රජය තීරණය කළේ ගිය අඟහරුවාදාය. සිංහල තරුණයකු හා මුස්ලිම් තරුණයකු මෙම සිදුවීම්වලින් මරණයට පත්ව තිබිණි. ඒ ගැන සිංහල හා මුස්ලිම් දේශපාලනඥයෝ රජයට පැමිණිලි කර වහා පියවර ගන්නැයි ඉල්ලීමක් කළෝය. ඒ සඳහා පසුගිය සඳුදා හවස අරලියගහ මැඳුරට පැමිණි අගනුවර අවට මුස්ලිම් නායකයන් සහ මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ තමන්ට ආරක්ෂා සහිතව රට තුළ ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් සකස් කරන ලෙසය. මෙහිදී ඇතැම් පිරිස් ආවේගශීලීව රජයට දොස් නඟන්නට වූහ. ගිය අඟහරුවාදා උදෑසන අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන වේලාවට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම කලකට පසු කැඳවා තිබිණි. වගකිව යුතු ඇමැතිවරු රැසක්ම ඊට එක්වූහ. ආරක්ෂක අංශ ප්‍රධානීන් ද කැඳවා තිබූ බව කියැවේ. මෙහිදීත් පොලිස්පතිවරයාගේ කාර්යභාරය ගැන විවේචන ඉදිරිපත්ව තිබිණි. අනතුරුව තත්ත්වය පාලනයට දින 10 ක් රට පුරා මහජන ආරක්ෂක පනත (හදිසි නීතිය) ක්‍රියාත්මක කරන්නට රජය තීන්දු කළේය. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දිගන සිද්ධිය ගැන වහා අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද නීතිය හා සාමය රකින්නට තදින් පියවර ගන්නා ලෙස පොලීසියට දැන්වීය. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් මගින් ඉල්ලා සිටියේ සියලු දෙනා බුද්ධිමත්ව හා සන්සුන්ව ක්‍රියා කරන හැටියටයි.

පාර්ලිමේන්තුවේ දී මහනුවර සිද්ධිය ගැන විශේෂ විවාදයක් පැවැත්වුණි. එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මැති ඇමැතිවරුන් සභාව මැදට පැමිණ විරෝධය පළ කරන්නට පටන් ගැනීමත් සමඟය. මෙම විරෝධය සඳහා නොපැමිණි මන්ත්‍රීවරයා එ.ජා.පයේ එස්.එම්. මරික්කාර්ය. ඒ වන විට අමාත්‍ය ෆයිසර් මුස්තාපා කතා කරමින් සිටියේය. ඔහු කීවේ මෙම සිද්ධිය පොලීසියේ නොසැලකිල්ලෙන් සිදුවූවක් බවය. රටේ සෑම ජාතියටම සමාන අයිතීන් තිබිය යුතු යැයි ද හෙතෙම කීය. අමාත්‍ය රිෂාඩ් බදුයුදින් ද සිය කතාවේ දී පොලීසිය ජාතිවාදීන්ට උදව් දෙන බවට චෝදනා නැඟීය. එදා දෙමළ ජනතාවට සිදුවූ දේ මෙවර මුස්ලිම් ජනතාවට සිදුවන්නට ඉඩ නොදිය යුතු යැයි බදුයුදින් අමාත්‍යවරයා කීය.
මෙම විවාදයේ දී ආන්දෝලනාත්මක කතාවක් කළේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාය. මහනුවර කෝලහාලයෙන් අභාවප්‍රාප්ත දෙදෙනාට ඔවුන්ගේ ආගම් අනුව නිවන් සුව හා මොක් සුව පැතූ මරික්කාර් මේ තත්ත්වයට වගකිව යුත්තේ කොන්ද පණ නැති වත්මන් නෝන්ජල් ආණ්ඩුව යැයි සඳහන් කළේය. සංහිඳියාව ගැන කතා කරන රටට නිදහස දිනා දුන් පක්ෂයේ සාමාජිකයකු ලෙස මේ තත්ත්වය ලජ්ජාවක් සහ පිළිකුළක් යැයි මන්ත්‍රීවරයා කීය. අනගාරික ධර්මපාලතුමාගේ මඟපෙන්වීමෙන් හැදූ දකුණේ කීර්තිමත් බෞද්ධ විද්‍යාලයක් වන මාතර රාහුල බෞද්ධ පාසලේ උගත් කෙනෙක් ලෙස තමන් අන්තවාදී නොවන බව කී හෙතෙම පසුගිය ඡන්ද ප්‍රතිඵලයෙන්වත් මේ ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන නැතැයි සඳහන් කළේය. කවුරුන් හෝ වඳපෙති ආහාර සමඟ දෙනවා නම් ඒ ගැන සත්‍ය හෙළි කළ යුතු යැයි පැවසූ ඔහු රටේ ජාතිවාදය අවුලුවන ෆේස් බුක් වීරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ද අවධාරණය කළේය. රටට අවශ්‍ය ජනතාවට අවශ්‍ය වෙනස්කම් නොකර තවදුරටත් කල් මරණ ප්‍රතිපත්තියක් වත්මන් රජය අනුගමනය කරන්නේ නම් 2020 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විපක්ෂයේ වාඩිවන්නට සිදුවන බව මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණයෙන් පැවසීය.

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටු ජ.වි.පෙ නායක අනුර දිසානායක මහතා තෙල්දෙණියේ සිද්ධිය ගැන චෝදනා කළේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටයි. මෙම සිද්ධිය සැලසුම්සහගතව සිදුවූවක් බව ප්‍රකාශ කළ අනුර දිසානායක මහතා මෙවැන්නක් දුරදිග යන්නට ඉඩ තිබෙන බව තේරුම් ගන්නට නොහැකි මන්ද මානසික තත්ත්වයක් රජය තුළ පවතින බවද කීය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ තෙල්දෙණිය සිද්ධිය ගැන සොයා බැලීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කළ යුතු වගයි.

කෙසේ හෝ ගිය අඟහරුවාදා රජයේ මැති ඇමැති පිරිසක් ගුවන් මගින් මහනුවරට ගියේ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය විමසා අවශ්‍ය පියවර ගන්නටයි. අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක ප්‍රමුඛ සිංහල හා මුස්ලිම් දේශපාලනඥයෝ පිරිසක් මෙම ගමනට එක්වූහ. මල්වතු අස්ගිරි අනුනායක හිමිවරු හා මුස්ලිම් ආගමික මවුලවිවරු ද රැස්වීමට පැමිණ සිටියහ. මහනුවර කච්චේරියේ පැවති හමුවේදීත් අමාත්‍යවරුන් මෙම සිද්ධිය පාලනය කරගන්නට නොහැකි වීම ගැන පොලීසියට දොස් නැඟූහ. මේ ගැන ආරක්ෂක බුද්ධි අංශ පවා දැනුවත්ව නොසිටි බවට මෙම මැති ඇමැති පිරිස් චෝදනා කළහ.

සති දෙකකින් පසුව කරනවා යැයි ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන්ගේ කැබිනට් සංශෝධනය මේ සතියේත් සිදුවූයේ නැත. ඒ ගැන සාකච්ඡාවක් ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් හා ජනාධිපතිවරයා අතර පසුගිය සඳුදා සිදුවිය. ජනාධිපතිවරයා එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල ආදීහු මෙම සාකච්ඡාවට එක්වූහ. එහිදී පසුගිය කාලයේ අඩාලව තිබූ ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී.ල.නි.පය අතර කතාබහ සඳහා ප්‍රතිපත්තිමය එකඟත්වයක් ඇති කරගන්නට යෝජනා විය. ඒ සඳහා ක්ෂේත්‍ර ගණනාවක පවතින ප්‍රශ්න හඳුනාගත යුතු යැයි ඇමැතිවරු පෙන්වා දුන්හ.

ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීම (නාමයෝජනා බෙදාගැනීම), ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීම, දෙපක්ෂය එක්ව මැයි දිනය සැමරීම වැනි කාරණා ගැන යම් එකඟත්වයක් ඇතිකර ගැනීමට දෙපක්ෂය කතා කළ යුතු යැයි තීන්දු විය. යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර මේ ගැන යම් එකඟත්වයක් ඇතිකරගත හැකි නම් වැදගත් බව ජනාධිපතිවරයා ද ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ද සඳහන් කළෝය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය සමඟ පසුගිය කාලයේ කරගෙන ගිය කතාබහ ඉදිරියට ගෙන යාම ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට පැවරිණි. මෙම පැවරීම අනුව පසුගිය අඟහරුවාදා සිට නැවතත් ශ්‍රී.ල.නි.ප හා ඒකාබද්ධය අතර සාකච්ඡා ආරම්භ කර තිබේ.

එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමේ ද අනුමැතිය අනුව පසුගියදා නැවතත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම නීතිය හා සාමය ඇමැති පදවියට යෝජනා කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීය. අග්‍රාමාත්‍යවරයාට මෙම ඇමැති පදවිය දිගටම දැරිය නොහැකි බැවින් එම යෝජනාව කළ බව සඳහන්ය. ඒ අදහස සිව්වැනි වරට ජනාධිපතිවරයා වෙත යැවීමෙන් පසු ජනාධිපතිවරයා සිව්වැනි වරටත් එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිසේත්ම ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය බාරදීමට එකඟ නැති බවයි. ශ්‍රී.ල.නි.පය මෙය බාරගන්නට සූදානම් නැති බවත් එ.ජා.පයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකු ඒ සඳහා නම් කරන ලෙසත් ජනාධිපතිවරයා එ.ජා.පයට දැන්වීය. අනතුරුව එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා තවත් ජ්‍යෙෂ්ඨයකු වන රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මුණගැසී නීතිය හා සාමය විෂය බාරගන්නා මෙන් දැන්වීය. මෙයට පෙර ද ඔහුට මෙම විෂය බාරගන්නා ලෙස දැන්වුවද එම ඉල්ලීම මද්දුමබණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කර තිබිණි. මෙවර මලික් එම යෝජනාව කළ පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද රන්ජිත්ට මෙම විෂය බාරගත යුතු බවට බල කළේය. ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා නීතිය හා සාමය ඇමැති පදවියට ද පත් කැරිණි. එහෙත් මෙම පත්කිරීම තමන් පිළිකුළෙන් හෙලාදකින බව ඊට සුළු මොහොතකට පසු ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සඳහන් කළේය.

මහනුවර දී හටගත් අසහනකාරී තත්ත්වය නිසි ලෙස පාලනය නොවී දිගින් දිගටම ඇදීයාම පිළිබඳව හදිසි සාකච්ඡාවක් සඳහා මුස්ලිම් ආගමේ ප්‍රධානීන් වන මවුලව්වරුන් අඟහරුවාදා මහ රෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණහ. ඒ අවස්ථාවේදීම ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මුස්ලිම් නීතිවේදීන් පිරිසක් ද හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට පැමිණියහ. මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් හා පළාත් සභා නියෝජිතයන් ගණනාවක් ද මෙම හමුවට එක්වූහ. එහිදී ජමියතුල්උලමා සංවිධානය නියෝජනය කරන ආගමික නායකයන් කීවේ මේ ගැන ආණ්ඩුවේ නායකයන් ද දැනුවත් කර ඇති අතර බහුතර සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ආයාචනයකට හොඳ ප්‍රතිචාරයක් දක්වතැයි විශ්වාස කරන බැවින් සන්සුන්ව සිටින ලෙස සිංහල සමාජයෙන් ඉල්ලීමක් කරන්නැයි කියාය. මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මහනුවර අර්බුදයේ දී දෙපක්ෂයම ආවේගශීලීව ක්‍රියා කර තිබෙන බැවින් රටේ සහෝදර සිංහල හා මුස්ලිම් ජනතාව සන්සුන් ලෙස සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙස තමන් ජාතියෙන් ආයාචනයක් කරන බව කීය. ඒ අනුව ඒ මොහොතේම මාධ්‍ය ඇමතූ රාජපක්ෂ මහතා රටේ ජනතාවට ආවේගශීලී නොවී සාමකාමීව සිටින්නැයි ආයාචනා කළේය. එසේම දේශපාලන නායකයන් මෙම අර්බුදයෙන් පටු වාසි නොගත යුතු යැයි ද මෙය ජාතික ආපදාවක් ලෙස සලකා මධ්‍යස්ථව ක්‍රියා කළ යුතු යැයි ද සිය ප්‍රකාශය මගින් අවධාරණය කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනපති අගමැති උපදෙසින් හදිසියේම මහනුවර බලා පිටත්ව ගියේ ඒ ප්‍රදේශයේ ආරක්ෂක රැකවල් තර කිරීමට ආරක්ෂක හමුදා සහ පොලීසිය ක්‍රියා කරන ආකාරය ගැන සොයා බැලීමටයි. ඇමැතිවරයා මහනුවරට යන විටත් 1800ක යුද හමුදා ඛණ්ඩයක්, විශාල නාවික හමුදා ඛණ්ඩ ගණනාවක් පොලීසිය සමඟ මහනුවර රැකවල් තර කොට සිටියේය. අමාත්‍ය විජයවර්ධන මහතා සිය හමුදා සේනාධිපතිවරුන් සමඟ මුලින්ම මල්වතු මහ විහාරයට ගොස් මල්වතු මහ නාහිමියන් හමුවිය. ඇමැතිවරයාට උන්වහන්සේ කීවේ දැඩි ලෙස නීතිය ක්‍රියාක්මක කොට හටගෙන තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරන හැටියටයි. අමාත්‍යවරයා එහිදී ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ගත් පියවර විස්තර කළේය. පැයක පමණ කාලයක් පැවති සුහද සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා ප්‍රදේශයේ සංචාරය කරමින් දින කිහිපයක් මහනුවර ආරක්ෂාව පිළිබඳව සොයා බැලීය.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00