“බබාලාගේ” වැඩ කරන්න එපා මංගල නාමල්ට කියයි
උද්ඝෝෂණයෙන් පසුව උදය ජනපති හමුවක්
ජනබල විරෝධය දා දිවා ආහාරයට මහින්දටත් බත් පාර්සලයක්
උද්ඝෝෂණ භූමිය පවිත්‍ර කරන්න මහින්ද සහ ගෝඨාගෙන් නාමල්ට උපදෙස්
ජනපති ක්‍රමය අවසන් කරන සංශෝධනය ජ.වි.පෙන් මැතිසබයට
පාර්ලිමේන්තුවේදි රවි ජනපති මුණ ගැසෙයි
නිදහසින් පසු වැඩිම කාලයක් මෙරට පාලනය කළ එ.ජා.පයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර මෙම මාසයේදී යෙදී තිබේ. ශ්‍රී.ල.නි.පයේ සංවත්සරයට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67 වැනි ජන්ම දිනයද යෙදී තිබිණි. මෙවර ජන්ම දිනය සඳහා ජනාධිපතිවරයා පැමිණියේ නේපාලයේ පැවති ‘බිම්ස්ටෙකෙ’ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී එහි සභාපතිත්වයද ශ්‍රී ලංකාවට හිමිකර ගනිමිනි. එය ඔහුට උපන් දින තෑග්ගක් විය. ඉන්දීය සාගර කලාපයේ මෙන්ම ඉන් බැහැර ප්‍රබල රටවල් ගණනාවක ප්‍රධානීහු මෙයට එක්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව මෙහි පැවති සුවිශේෂීතම හමුව බවට පත්විය. මෛත්‍රී ජනාධිපතිවරයා මුණගැසුණු මෝදි මහතා මුලින්ම කීවේ තමන් කල් තබාම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජන්ම දිනයට සුබ පතන වගයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමීප මිතුරන් බවත්, ශ්‍රී ලංකාව මෛත්‍රීපාල ජනාධිපතිවරයා යටතේ වේගවත් සංවර්ධනයක් උදාකරගනිමින් සිටින බවත් ඉන්දීය නායකයා කීය. ඉන්දීය නායකයාගෙන් පසුව කලාපයේ සෙසු රාජ්‍ය නායකයන්ද මුණගැසුණු සිරිසේන මහතා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථානද වැඳ පුදාගෙන යළි මෙරටට පැමිණියේ පසුගිය ඉරිදා රාත්‍රියේය. එදින ඔහු පිළිගන්නට මැතිඇමැතිවරු ගණනාවක්ම ගුවන් තොටුපොළට ගොස් සිටියහ.
ජනාධිපතිවරයාගේ ජන්ම දිනය යෙදී තිබුණේ සඳුදාය. ඔහු එදින පවුලේ සාමාජිකයන් සමඟ ආගමික වතාවත්වල යෙදුණි. කැලණිය රජමහා විහාරයටද පැමිණියේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා කතරගම බලා පිටත් වූයේද ආගමික කටයුතු උදෙසාය.
ඒ අතර එ.ජා.ප.ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධවත් ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහාත් සැලසුම් සකසමින් සිටී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් විසින් පළාත් සභා මැතිවරණ සීමානිර්ණය ගැන මේ දිනවල වාර්තාවක් සකසමින් සිටී. කතානායකවරයා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාද ලබන ජනවාරි වන විට පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුය යන ස්ථාවරය දරන නිසා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බලා ඉක්මනින් ඒ ගැන තීන්දුවක් ගැනීමට නියමිතය.
එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය සඳුදා සවස රුස්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලින්ම සභාවට කරුණු දැක්වීය. එසේම මේ තාක් සමෘද්ධි ප්‍රතිලාභ අහිමිව සිටි ගම්බද ජනතාවට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම ගැන යෝජනාවක් පසුපෙළ මන්ත්‍රීන් ඉදිරිපත් කළෝය. ඊට ද අනුමැතිය හිමිවිය. ඉන් පසු කතාබහ කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් මේ සතියේ සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය ගැනයි. මෙහිදී මන්ත්‍රීන් බහුතරයකගේ අදහස වූයේ මෙය රජය විසින් ගණන් නොගත යුතු බවත් ඒ අයට අවශ්‍ය ආකාරයට උද්ඝෝෂණය කරගෙන යාමට ඉඩදිය යුතු බවත්ය. එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ “එදා පාර්ලිමේන්තු රැස්වීම වෙනදා වගේම පැවැත්වෙනවා... ඒ නිසා පාර්ලිමේන්තුවට හැමෝම සහභාගිවෙන්න ඕන... අණ පනත් ගණනාවක් එදා සම්මත කරගන්න නියමිතයි. ඔය විපක්ෂයෙ කවුරුවත් එදාට සභාවට එන එකක් නැහැ. ඒ නිසා අපි එයාලගෙ වෙලාවත් අරගෙන උද්ඝෝෂණයේ වාසිය අපේ පැත්තට හරවාගෙන ඔය අණ පනත් සම්මත කරගනිමු...” නීතිය හා සාමය බාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ අවස්ථාවේදී කීවේ ඒකාබද්ධය බස්රථ විශාල ගණනක් ගැන කතා කළාට තමන් වෙත ලැබී තිබෙන බුද්ධි අංශ වාර්තා අනුව ඒ වනවිටත් මුදල් ගෙවා වෙන්කරගෙන තිබුණේ බස්රථ 1700ක් පමණක් බවය. ඒ බස්වලිනුත් වැඩිපුර ගණනක් එන්නේ ගම්පහ සහ කොළඹින් යැයි ඇමැතිවරයා පහදා දුන්නේය. කෙසේ හෝ අවශ්‍ය රාජ්‍ය ආයතනවලට උපරිම ආරක්ෂාව සපයන්නටත් එසේ නොකර රජයේ අනවශ්‍ය ප්‍රතිවිරෝධයක් දක්වන්න ගියහොත් ඒකාබද්ධය බලවත් වන බවත් මේ ගැන කරුණු දැක්වූ මැති ඇමැතින් ගණනාවක්ම පෙන්වා දුන්හ.
රජය මෙම උද්ඝෝෂණයට කලබල විය යුතු නැති බවට තීන්දුවක් ගත්තද අඟහරුවාදා දහවල් වනවිට රජය තරමක් කලබල වී සිටින බව පෙනුණි. උද්ඝෝෂකයන්ට හිරිහැර කරන බව කියමින් ඒකාබද්ධ විපක්ෂය මැතිසබයේ සභාගැබ මැදට පැමිණ ගාලගෝට්ටියක් කර සභා රැස්වීම කරගෙන යාමට ඉඩදුන්නේ නැත. ඒ අවස්ථාව වනවිටත් කොළඹ අවට පොලිස් ස්ථාන ගණනාවකින් උසාවි තුනකට අයැදුම්පත් ඉදිරිපත් කොට තිබුණේ ඒ ප්‍රදේශවල උද්ඝෝෂණයට වාරණ නියෝග ඉල්ලමිනි. වැලිකඩ, කුරුඳුවත්ත හා තලංගම පොලීසිවලින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස අයැදුම්පත් ඉදිරිපත් කළද අධිකරණය විසින් ප්‍රකාශ කළේ ජනතාවගේ උද්ඝෝෂණ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික මානව හිමිකම් නිසා උද්ඝෝෂණ වාරණය කළ නොහැකි බවය. රාජ්‍ය දේපොලට හානි කිරීමක් හෝ වෙනත් නීති රීති උල්ලංඝනයක් යමෙක් කරන්නේ නම් එවිට පවත්නා සාමාන්‍ය නීතිය යටතේ පියවර ගත හැකි බව පොලීසිවලින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් අදාළ උසාවිවල මහේස්ත්‍රාත්වරු පැවසූහ.
මේ ගැන නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍යයට මෙන්ම පාර්ලිමේන්තුවටද කරුණු දක්වමින් කීවේ පොලීසිය කිසිදු අවස්ථාවක උද්ඝෝෂණ නැවැත්වීමට උසාවි නියෝග ඉල්ලා නොසිටි වගයි. පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ උද්ඝෝෂණයේදී රාජ්‍ය දේපොලට හානි කිරීමක් හෝ වෙනත් නීති කඩවීමක් සිදුකරන්නේ නම් එහිදී පියවර ගැනීමට අවසරයක් පමණක් යැයිද මද්දුමබණ්ඩාර මහතා කීය. තමන් හදන්නේ උද්ඝෝෂකයන්ට උදව් කරන්නට බවද අමාත්‍යවරයා කීය. ඒ වනවිට කොළඹ හා තදාසන්න පෙදෙස්වලට පිටතින් පොලිස් භටයන් 5,000ක් පමණ රජය විසින් කැඳවා තිබිණි. ජල ප්‍රහාරක යන්ත්‍ර, කඳුළු ගෑස් ආදිය පමණක් නොව හදිසි ගින්නක් මැඩපවත්වන්නට පවා පොලීසිය සූදානමින් පසුවිය. කලාතුරකින් දක්නට ලැබෙන පරිදි පොලිස්පති පූජිත ජයසුන්දරද වාර ගණනාවක් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් තමන් මේ උද්ඝෝෂණයේදී අවශ්‍ය බලය යෙදවිය යුතු තැන්වලදී අවශ්‍ය බලය යොදවන්නේ යැයි කීය.
උද්ඝෝෂණයට පෙර වඩාත් මාධ්‍යයේ පුවත් මැවූ ප්‍රකාශ ගණනක් කළේ කවදත් ආන්දෝලනාත්මක කතා කියන ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාය. ඔහුගේ සමස්ත ප්‍රකාශය මගින් කාරණා ගණනාවක් අවධාරණය කළේය. ජනතාවට පෙළපාලි යන්නට උද්ඝෝෂණ කරන්නට තිබෙන අයිතිය වෙනුවෙන් තමන් දිවිහිමියෙන් කැපවන බව කී අමාත්‍ය මංගල මෙම උද්ඝෝෂණය ඒකාබද්ධයේ රස්තියාදුවක් ලෙස හැඳින්වීය. උද්ඝෝෂණය සංවිධානය කරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දැඩිලෙස විවේචනය කළ මංගල අමාත්‍යවරයා පැවසුවේ “ආණ්ඩුව ලවා නිකරුණේ ගස්සවාගන්නට නාමල් බබාලා ලෑස්තිවෙනවා නම් ඒක හරියන්නෙ නැහැ නාමල් බබෝ” කියාය. දැනටත් උසාවියේ ඇපපිට සිටින නාමල්ලා මේ කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමේ උද්ඝෝෂණයක් යැයි කී මංගල, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හැඳින්වූයේ ජීවිතේට පතක් පොතක් කියවා නැති මෝඩ තරුණයකු ලෙසය. ඒ නිසා රජය උද්ඝෝෂණයට බාධා නොකරන නමුත් ගැහුවොත් ගහන බවත් මංගල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද සෙසු විෂයයන් කතා කරන අතරතුර මෙම උද්ඝෝෂණය ගැන ඇමැතිවරුන් ගණනාවක් දැඩිලෙස අදහස් දක්වා තිබිණි. මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, චම්පික රණවක ආදී අමාත්‍යවරු ඒ අතර වූහ. උද්ඝෝෂණයේදී කොළඹ නගරයේ හානිකර ක්‍රියා සිදුවන්නේ නම් බලය යෙදිය යුතු ආකාරය ගැන මංගල අමාත්‍යවරයා දැඩිලෙස කරුණු දැක්වීය. එහෙත් මෙහි විශේෂත්වය වූයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වය දැරූ ජනාධිපතිවරයා උද්ඝෝෂණය හෝ උද්ඝෝෂකයන් ගැන වචනයක් හෝ නොකියා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.
කෙසේ හෝ ශ්‍රී.ල.නි.පයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් උද්ඝෝෂණය ගැන විවේචනාත්මකව අදහස් පළකර තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා සමඟ මෙතෙක් රැඳීසිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 54 දෙනාට තමන්ගේ දේශපාලන ස්ථාවරය අනුව රජයට විරුද්ධ වී උද්ඝෝෂණ කරන්නට අයිතිය ඇතත් පසුගිය දා පක්ෂයෙන් ඉවත් වූ ඇමැතින් 15 දෙනාට මේ උද්ඝෝෂණය තහනම් බව දුමින්ද කීය. ඔවුන් මෙතෙක් රජය සමඟ සිට දැන් උද්ඝෝෂණ කරන්නේ මනාප ඡන්ද බලාගෙන යැයිද අමාත්‍ය දිසානායක පැවසීය. අමාත්‍ය මහින්ද අමරවීර කීවේ උද්ඝෝෂණය ඒ අයට හොඳ ව්‍යායාමයක් වනු ඇති බවයි. ඒ මගින් ආණ්ඩුවට රිදවන්නට යාම නිෂ්ඵල ක්‍රියාවක් බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
ඒ අතර පොලීසිය උද්ඝෝෂණ සිදුවීමට අදාළව අධිකරණයෙන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම ගැන විමසීමට පොලීසිය බාර නීතිය හා සාමය විෂය බාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස්පතිවරයා කැඳවීය. ඒ අවස්ථාවේ පොලිස්පතිවරයාගෙන් ඇමැති රංජිත් ප්‍රශ්න කළේ තමන්ගේ අනුමැතියකින් තොරව උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝග ලබාගන්නට ක්‍රියා කළේ ඇයිද කියායි. ඒ ගැන ඇමැතිවරයා දැඩි අසතුටින් කතා කරන විට පොලිස්පති පූජිත ජයසුන්දර සඳහන් කළේ තමන් ද මේ ගැන කිසිවක් නොදැන සිටි බවයි. “එහෙම නම් මේක කළේ කවුද?” ඇමැතිවරයා යළිත් ප්‍රශ්න කළේය. “සර් මේක කරලා තිබෙන්නේ අහවලා (බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධරයකුගේ නම සඳහන් කරයි) කාගෙන්වත් අහන්නේ නැතුව ලැබුණු තොරතුරු මත ක්‍රියා කරලා මේ නියෝගය දීලා” යැයි පොලිස්පතිවරයා ඇමැති මද්දුමබණ්ඩාරට කීය. “මේ වැඩ මෙහෙම වෙන්න දෙන්න බැහැ. ඒකෙන් අපි ඔක්කොම අපහසුතාවයට පත්වුණා.” ඇමැතිවරයා පැවසීය.
ජලබලය කොළඹට විරෝධතාව පැවති 5 දා දහවල් වනවිට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිලනිවසට රැස්වූහ. දිනේෂ් ගුණවර්ධන, කුමාර් වෙල්ගම, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස් හා මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු නායකයෝ මේ ආකාරයට එක්ව ජනබලය කොළඹට අවසන් සංවිධාන කටයුතු ගැන තීන්දු ගත්හ. කොළඹ නගරය පාළුවට ගොස් පාසල් වසාදමා රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාලවල සේවාවන් දවසෙන් වරුවකට සීමාකර තිබූ බැවින් විරෝධතාකරුවන් ප්‍රධාන ස්ථාන 4කට එක්රැස්කළ යුතු බව එහිදී තීන්දු විය. මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය, ටෙක්නිකල් හන්දිය, මරදාන හා කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශ මෙලෙස ජනතාව රැස්කරවූ තැන්ය. පෞද්ගලික බස්රථවලට පනවා තිබූ වාරණය නොතකා බස්රථ 2500ක පමණ සංඛ්‍යාවක් කොළඹට පැමිණි අතර හාලිඇලදී බසයකට පහරදීමත්, දිවුලපිටියේදී බස්රථවල මාර්ග බලපත්‍ර පරීක්ෂාවට පැය ගණන් රස්තියාදුවත්, අත්තනගල්ල මහා මාර්ගය මැද මංතීරුවක් වසා දමා අගලක් කපා තිබීමත් හැර උද්ඝෝෂකයන්ට ලොකු බාධා තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පක්ෂ නායකයනුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත්, දිනේෂ් ගුණවර්ධන, උදය, විමල්, මෙන්ම තරුණ මන්ත්‍රීන් වෙනුවෙන් නාමල්, ලොහාන්, දිලුම් ඇතුළු පිරිසක් දහවල් කාලය පුරා සොයා බැලුවේ විරෝධතාකරුවන්ගේ ආහාරපාන සැපයුම ආදිය ගැනය. මහින්ද ඒ ගැන කොතරම් උනන්දු වූයේද කිවහොත් එදින විජේරාමයේ සිය නිවසට විරෝධතාකරුවන් සඳහා සැපයූ කෑම පාර්සල් කිහිපයක් ගෙන්වා ගත්තේය. “විරෝධතාවට ආපු අය කන විදියට අපිත් දවල්ට කමු.” යැයි කියූ හෙතෙම එදින දිවා ආහාරයට ගත්තේ විරෝධතාකරුවන් සඳහා සකස් කළ කෑම පාර්සලයකි.
අනතුරුව පක්ෂ නායකයන්ගේ තීන්දුව මත කොළඹ ලේක්හවුස් වටරවුමේදී විරෝධතාවේ අවසන් ජනහමුව තබන්නට තීන්දු කැරිණි. ඒ සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා ද මහින්දගේ නිවසට පැමිණි අතර දහවල් 1.00 වනවිට නාමල් ඇතුළු තරුණ මන්ත්‍රීන් පිටකොටුව බෝගහ අසලට පැමිණ සිටියහ. මෙතෙක් කිසිදු දේශපාලන විරෝධතාවකට හෝ විවෘත වේදිකාවේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවූ හිටපු ආරක්ෂක ලේකම්වරයා පළමුවරට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එදින සවස 3.20ට පමණ මරදාන හරහා පිටකොටුවේ විරෝධතාව පැවැති ස්ථානයට පිටත්ව ගියහ. පාක්ෂිකයන්ගේ උණුසුම් පිළිගැනීම් මැද මහින්ද සහ ගෝඨා පිටකොටුවට පැමිණ ලේක්හවුස් වටරවුම ආසන්නයට මඳ දුරක් ගමන් කළේ පයින් ජනතාව සමඟය. හිල්ටන් හෝටලය අසල සම්බුද්ධාලෝක විහාරයේ ආගමික වතාවත්වලින් පසු පැමිණ සිටි අයට සුළුවෙන් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා කීවේ මේ වැඩ බැරි රජය බලයෙන් පහකර රටට සහ ජනතාවට වැඩකළ හැකි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් බිහිකරන තෙක් සමාජය බලාසිටින බවය. ජාතික ආරක්ෂාව තරකරන, රට විකිණීම නවතන, කුඩු හා පාතාලය මර්දනය කරන, රටට ඍජු කෙළින් පාලනයක් ලබාදීම කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවට පැමිණ සිටින ජනතාව සාක්ෂි දරන්නේයැයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.
පැමිණ සිටි ජනකාය සිව්දෙසින් පෙළපාලිවලින් පැමිණ ලේක්හවුස් වටරවුම ආශ්‍රිතව එක්රොක් වූහ. සවස 6.00 පමණ වනවිට ලේක්හවුස් ආසන්නයේ ජනතාව එක්රොක් වෙද්දී පන්දහසකට අධික පොලිස් බලකායක් විශේෂ ජල ප්‍රහාරක රථ 9ක් අවට රඳවා තිබුණේ සාමය කඩවුවහොත් ඊට ප්‍රතිචාර දක්වන්නටය. මහින්ද රාජපක්ෂ මහතා සංවිධායකයන්ට තරයේම උපදෙස් දී තිබුණේ කිසිදු පොදු දේපොලකට හා රාජ්‍ය දේපොලකට හානියක් සිදුනොකළ යුතුය කියායි. උද්ඝෝෂණය දේශපාලන ක්‍රියාවක් බවත් රාත්‍රී සත්‍යක්‍රියාවකින් හා සංස්කෘතික අංග ප්‍රදර්ශනකින් පසු විරෝධතාව අවසන් කරන්නේ පසුදින අලුයම බවද ප්‍රකාශ විය. අවශ්‍ය නම් කාන්තා පාර්ශ්වයට මධ්‍යම රාත්‍රීයේදී බස්රථ මගින් ගම්බිම් බලා යන්නට ද උපදෙස් දී තිබිණි.
විරෝධතා භූමියේ සත්‍යක්‍රියාව ආරම්භ වූයේ රාත්‍රී 8.30ට පමණය. ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස අමතා කෙටි කතාවක් කළේය. වත්මන් රජය රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යන බව පැවසූ මහින්ද රට විකුණමින් ජනතා අයිතීන් පාගාදමමින් ක්‍රියාකරන ආණ්ඩුවට එරෙහිව දිගටම මෙබඳු මහජන විරෝධතා දක්වන බවද කීය. පාර්ලිමේන්තුවේ 70 දෙනකුගේ සහාය ලබන ඒකාබද්ධ විපක්ෂයට වඩා මන්ත්‍රීන් 16 දෙනෙක් සිටින දෙමළ සන්ධානය රජයට ලොකු වී විපක්ෂ නායක ධූරය ලබාදී ඇතැයි පැවසූ හෙතෙම මෙවැනි විරෝධතා මගින් රජයේ එම ප්‍රජාතාන්ත්‍රික නොවන ක්‍රියාපිළිවෙතට එරෙහිව ජනතාව නැඟී සිටින වගද කීය. මහින්ද ජනතාව අමතා පිටව යාමෙන් පසු හා සත්‍යග්‍රහයෙන් පසුව රැස්ව සිටි පිරිසට සංවිධායකයන් ආහාර සැපයූහ. අනතුරුව මැදියම් රාත්‍රිය වනතෙක් මහාමාර්ගයේ ජනතාව වාඩිලාගෙන විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරනු පෙනිණි. තොවිල් පවිල්, යාග නැටුම්, ඔළුබක්කන් නැටීම්ද එහි පැවති බව වාර්තා විය.
කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂ උද්ඝෝෂණය අවසානයේ අපවිත්‍ර වී තිබූ පරිසරය හා මාර්ග පිරිසුදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාමල් ප්‍රමුඛ සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පිරිස් ශුද්ධ පවිත්‍ර කරන උපකරණ ගෙන්වාගෙන පරිසරය ද ශුද්ධ කරනු දක්නට ලැබිණි.
උද්ඝෝෂණය දා සවස එක්සත් ජාතික පක්ෂය වෙනම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, විදුලිබල රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ආදීහු ඊට එක්වූහ. ඔවුන්ගේ මතය වූයේ ඒකාබද්ධයේ උද්ඝෝෂණය අන්තිම අසාර්ථක බවය. විපක්ෂයට ජනතාව නොමැති නිසා උද්ඝෝෂණයට ලේක්හවුස් වටරවුම තෝරාගත් බවද ඔවුහු කීහ. මෙම උද්ඝෝෂණයෙන් ජනතාවට කරදර සිදුවූ නමුත් රජයට කිසිම කරදරයක් නැතැයි අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙහිදී කීය. අජිත් පී. පෙරේරා මහතා කීවේ මෙය විපක්ෂයේ නොමේරූ දේශපාලන කටයුත්තක් කියායි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උද්ඝෝෂණය දා පාර්ලිමේන්තුට පැමිණ සිටියේ එහි පැවති සම්මාන උත්සවයක් සඳහා සහභාගී වීමටයි. ජනාධිපතිවරයා පැමිණි මොහොතේ සිට ශ්‍රී.ල.නි.පයේ. මෙන්ම එ.ජා.පයේ මන්ත්‍රීන් ගණනාවක්ද ඔහුගේ කුටියට පැමිණ ජනපතිවරයා මුණගැසුණි. හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාද බොහෝ වේලාවක් ජනාධිපතිවරයා රැඳී සිටි කුටිය ඉදිරිපිට නැවතුම් ශාලාවේ රැඳීසිටියේ ජනපතිවරයා හමුවන්නටයි.
කෙසේ හෝ එදින පාර්ලිමේන්තුවේ පැවති සම්මාන උත්සවයෙන් අනතුරුව සභාව ඇමතූ ජනපතිවරයා අලුත් යෝජනාවක් කළේය. එනම් පොදු දේපල හා රාජ්‍ය සම්පත් වංචා කරන්නන්ට ඇතැම් රටවල මෙන් මරණීය දණ්ඩනය දිය යුතු බවය. එසේ නොකර මේ රට හදන්නට බැරි යැයි කී හෙතෙම තමන්ගේ නිල කාලය තුළ එවැන්නක් කරන්නට උත්සාහ කරන බවද පැවසීය. ඒ දිනයේම පාර්ලිමේන්තුවේ තවත් විශේෂ සිදුවීමක් විය. ඒ ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට ගෙන ආ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සභාගත කිරීමයි. ජ.වි.පෙ. මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
“ජන බලය කොළඹට” උද්ඝෝෂණය අවසන් වූ දාට පසු දින උදය වරුවේ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට අහම්බෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණි. ඒ මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ මාමණ්ඩියගේ අභාවය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට මහාචාර්යවරයාගේ නිවසට ගිය ගමනේදීය. උදය දුටු සැණින් ජනාධිපතිතුමා “කොහොමද මන්ත්‍රීතුමා” යැයි සුහදව විමසීය. “අනේ ජනාධිපතිතුමා හොඳටම නිදිමතයි. පහුගිය දවස්වල අපේ උද්ඝෝෂණය නිසා ඇතිවෙන්න නිදි මැරුවා” යනුවෙන් උදය ඊට උත්තර බැන්දේය.
“ඇයි ඔහොම නිදි මරන්නේ? හොඳට නිදාගන්න ඕනෙ. නැත්නම් ලෙඩ වෙයි.”
ජනාධිපති මෛත්‍රී උදයට අවවාදයක් දුන්නේය.
“අනේ ජනාධිපතිතුමා අපිට එහෙම වේලාසනින් නිදාගන්න බැහැ. මිනිස්සු ප්‍රශ්න අරන් එනවා. එයාලා දුක කියන්න එන්නේ විපක්ෂයටනේ. ඉතින් අපි ඒවත් බලන්න එපෑයැ...” කියමින් උදය සිනාසෙද්දී “අපි එහෙනම් පස්සේ හමුවෙමු” යැයි කී ජනාධිපතිවරයා උදයට සමුදී පිටත් විය.
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර