2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

කුමන්ත්‍රණ චෝදනා ගැන ජනපතිගෙන් වෙනම පරීක්ෂණයක්

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

.ජා.ප.ය කුමන්ත්‍රණ කතාවලට ගෑවීම විහිළුවක් යැයි ඇමැතිවරු කියති
කුමාර වෙල්ගමට ඒකාබද්ධ මන්ත්‍රීන්ගේ විරෝධය
ජනපති මැඳුරට කැඳවූ රහස් පොලිස් ලොක්කාට විශේෂ උපදෙස්
පොලිස්පති ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් රජයෙන් ඉල්ලයි
ප්‍රශ්න ඇතත් ආර්ථිකය හරි පාරේ යන බව ඇමැති මංගල කියයි
රටේ බඩු මිල ගැන ඇමැති සජිත් කළ චෝදනාව ඔහුම ඉල්ලා අස්කර ගනී

මේ සතියේත් කොළඹ ගෙන්දගම් පොළොවේ දේශපාලනය උණුසුම් කළේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ පුවත විසිනි. මෙයට දින 10කට පෙර මුලින්ම අනාවරණය වූ මෙම කුමන්ත්‍රණ කතාව ගැන සිදුකෙරෙන පොලිස් පරීක්ෂණවල මන්දගාමී ස්වභාවයක් දැකගන්නට ලැබීම නිසා දේශපාලන අංශත් ජනමාධ්‍යයත් මේ ගැන දැඩි ලෙස විපරම් කරන්නට වූහ. එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ගේ සමීපතම කාර්ය මණ්ඩලය කැඳවා මේ ගැන තමන්ගේ අධීක්ෂණය යටතේ වෙනම පරීක්ෂණයක් පවත්වන්නට තීන්දු කොට එහි සියලු සම්බන්ධීකරණ කටයුතු අලුතෙන් පත්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු මහතාට පැවරීය. අනතුරුව රහස් පොලිසියේ ප්‍රධානීන් ජනාධිපති මැඳුරට කැඳවා දැඩි ලෙස මේ ගැන කරුණු දැක්වූ ජනාධිපතිවරයා පොලිස්පති පූජිත ජයසුන්දර කැඳවා තනිව සාකච්ඡා කළේය. එහිදී සිදුවූ දේ ගැන තොරතුරු අනාවරණය වී නැතත් ජනාධිපතිවරයා පොලිසියේ ක්‍රියා කලාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළ බව දැනගන්නට ඇත. අවසානයේ මෙම පරීක්ෂණයට අදාළ ඍජු නියෝග රහස් පොලිසියේ අධ්‍යක්ෂ රවි සෙනවිරත්න මහතාට ජනාධිපති කාර්යාලයෙන්ම ලබාදෙන බවද පැවසූ වග සඳහන් වේ.

චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ස්ථාන මාරු කිරීමක් හෝ අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ වැඩ තහනමකට ලක් නොකොට දිගටම සේවයේ තබා ගැනීම ගැන පොලිසියට සෑම පැත්තකින්ම ප්‍රශ්න යොමුවෙද්දී ගිය සඳුදා තාවකාලික පදනමින් නාලක සිල්වා ස්ථාන මාරැ කරන බව නිවේදනය කැරිණි. ඒ සමඟ රහස් පොලිසිය මෙකී චෝදනාව කළ නාමල් කුමාරගෙන් ප්‍රශ්න කොට අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අතර දුරකතන ඇමතුම් ගැන විශේෂඥ දැනුමක් ඇති කෙනෙක් ජනාධිපති කාර්යාලයට කැඳවා මෙම ඇමතුම දුන් තැනැත්තා සහ නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬ සමානදැයි පරීක්ෂා කරන ලෙසද දන්වා තිබිණි. ඒ ගැන විධිමත් රහස්‍ය වාර්තාවක් මේ වනවිටත් ජනාධිපති කාර්යාලයට ලැබී ඇතැයි සඳහන්ය. පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන පොලිස්පතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කැඳවූ බව සඳහන් විය.

කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂය හමුවේ විපක්ෂ කණ්ඩායම්වලට මෙම පුවත කදිම කටගැස්මක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී මේ ගැන අදහස් දක්වමින් කීවේ ජනාධිපතිවරයාට අමතරව දැනට තර්ජනයට ලක්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වහා තර කළයුතු බවයි. මෙබඳු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් 1962 දීත් සිදුවූ බව කී රාජපක්ෂ මහතා එවකට සිටි අගමැතිනිය ඝාතනයට හමුදා සහ පොලිස් ලොක්කන් තැත්කළ අවස්ථාවේ සියලු පරීක්ෂණ ඇරැඹුණේ චූදිත නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව යැයි රාජපක්ෂ මහතා කීය. මේ සිද්ධියේදී එවැනි තත්ත්වයක් දක්නට නොලැබීම ප්‍රශ්නසහගත බවද ඔහු කීය.

අමාත්‍ය දුමින්ද දිසානායක මාධ්‍යයට සඳහන් කළේ මෙම කරුණ ඉතා බරපතළ සිද්ධියක් නිසා වහා විධිමත් විමර්ශනයක් කළයුතු වගයි. හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිගේ හා රටේ ආරක්ෂාව අනතුරේ වැටී ඇති නිසා වහා ඒ ගැන විධිමත් ආරක්ෂක පියවර ගත යුතුය කියායි. පොලීසිය වහාම ජනාධිපතිවරයා යටතට පවරා ගතයුතු යැයිද එස්.බී. දිසානායක මහතා කීය. ඔහු මේ ගැන එ.ජා.ප.යට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සඳහන් කළේ මේ ආකාරයට ශ්‍රී.ල.නි.ප.ය තවදුරටත් රජයේ සිටිය යුතු නැති බවය.

එ.ජා.ප.ය වෙනුවෙන් මේ ගැන අදහස් දැක්වූ අමාත්‍ය පී. හැරිසන් මහතා කීවේ මෙම කුමන්ත්‍රණ කතාවලට එ.ජා.ප.ය ගාවා ගන්නට යාම විහිළුවක් බවයි. එ.ජා.ප.ය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බැවින් මෙම කතා එ.ජා.ප.යට අදාළ වන්නේ නැතැයි ඔහු සඳහන් කළේය. මේ ගැන නායක හිමිවරැන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් අදහස් දක්වද්දී පිවිතුරු හෙළ උරැම නියෝජිතයෝ පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෙම කාරනායේදී පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා පොලිසිය ඇල්මැරුණු ස්වභාවයෙන් කටයුතු කරන්නේ යයි කීහ.

රජයේ අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක සිය පක්ෂ මූලස්ථානයේදී අදහස් දක්වමින් කියා සිටියේ පොලිස් ඔත්තුකරුවකුයැයි කියාගන්නා නාමල් කුමාර කරන චෝදනාව බරපතළ බවය. ඒ ගැන කෙරෙන පොලිස් පරීක්ෂණ දැනටමත් ප්‍රමාද බැව් කියන අමාත්‍ය රණවක මේ ගැන කෙරෙන විමර්ශන වහා අවසන් කර වරදකරැවන් නීතිය හමුවට පැමිණවිය යුතුයැයි කීය. චෝදනාව සත්‍ය නම් නියෝජ්‍ය පොලිස්පති වහා අත්අඩංගුවට ගතයුතු බවත් චෝදනාව බොරු නම් අසත්‍ය ප්‍රකාශ කර රට කැළඹූ නාමල් කුමාර නීතිය හමුවට පැමිණවිය යුතු බවත් රණවක අමාත්‍යවරයා කීය.

රටවල් හැත්තෑවක පමණ මන්ත්‍රීන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය අගැයුම් සමුළුව මෙවර පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා කතානායක කරු ජයසූරිය මහත්වරු ඇතුළු ප්‍රභූන් ගණනාවක්ම ඊට එක්වූහ. උත්සවය සඳහා අමුත්තන් පැමිණියේ විනාඩි 45ක පමණ ප්‍රමාදයකින් පසුවය. උත්සව සභාවේ ජනපති අගමැති හා කතානායකට අසුන් පනවා තිබුණේ එක ළඟය. මෙහි ජනාධිපතිවරයා රැඳී සිටි කාලය තුළ ජනපතිවරයා කතානායක කරු ජයසූරිය මහතා සමඟ කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණි. එහෙත් අගමැතිවරයා සමඟ කතාබහ කරනු දක්නට ලැබුණේ නැත. අගමැතිවරයා සමුළුව ඇමතීමෙන් පසු ජනාධිපතිවරයාට කතාව යෙදී තිබිණි. එහෙත් අගමැතිවරයා සිය කතාව හමාරකොට ජනාධිපතිවරයා කතාව ආරම්භ කරද්දී සභාවෙන් පිටව ගියේය. අනතුරැව ජනාධිපතිවරයා සමුළුව ඇමතීය. ඉන් අනතුරුව සභාවට පැමිණ කතානායකවරයා සමඟ කතාබස් කරමින් විනාඩි කිහිපයක් ගතකොට උත්සව සභාවෙන් පිටව ගියේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය සඳුදා සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී රැස්විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි මුලසුන දැරීය.

අගමැතිවරයා එහිදී මන්ත්‍රීන්ට පෙන්වා දුන්නේ දැනට ගම්පෙරළිය වැඩසටහන සඳහා රජය රුපියල් කෝටි 10ක් පමණ (මිලියන 100ට වඩා) නිදහස් කරන බවය. ඊට සමාන තවත් මුදල් ඉන් අනතුරුව නිදහස් කරන වගද හෙතෙම කීය. ඒ සමඟ තවත් පන් ලක්ෂයකට සමෘද්ධි සහනාධාර ලබාදීම ගැනද අග්‍රාමාත්‍යවරයා යෝජනාවක් ඉදිරිපත් කළේය. ඊට මන්ත්‍රීවරු ප්‍රසාදය පළකළහ. එවිට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් කනස්සල්ලෙන් කීවේ මෙම ආධාරවලින් කොටසක් පොහොට්ටුවේ සාමාජිකයන්ටත් ලැබෙන වගයි. අගමැති රනිල් ඊට පිළිතුරු දෙමින් කියා තිබුණේ පක්ෂ පාට නොසලකා සමෘද්ධිය බෙදාදීම තම පිළිවෙතය කියායි.

ඉන් අනතුරුව මන්ත්‍රීන් ප්‍රශ්න කළේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම නිසා සිදුවන භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කළ යුතු බවයි. මුදල් ඇමැති මංගල ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ඩොලරය රැකගන්නට ගත් නව ආර්ථික පිළිවෙත මෙයට හේතු වූ වගය. අනෙකුත් රටවල මුදල කඩා වැටී තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉන්නේ හොඳ තැනක යැයිද මංගල කීය. මෙහිදී තෙල් මිල සූත්‍රයෙන් ජනතාව පීඩාවට පත්වන්නේ යයි පසුපෙළ මන්ත්‍රීහු පෙන්වා දුන්හ. නමුත් ඒ ගැන පුළුල්ව සාකච්ඡා කළ නොහැකි වූයේ අග්‍රාමාත්‍යවරයා උත්සවයක් සඳහා පිටත්ව ගිය බැවිනි.

අඟහරුවාදා උදෑසන අමාත්‍ය මණ්ඩල හමුව ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. දිගින් දිගටම රටේ ජීවන වියදම ඉහළ යාම ගැන ජනාධිපතිවරයා කැබිනට්ටුව හමුවේ සිය අප්‍රසාදය පළ කරමින් කතා කළේය. එහෙත් එදින අමාත්‍ය මණ්ඩලයේදීද භාණ්ඩ හා සේවා කිහිපයක මිල ගණන් ඉහළ දැමීම ගැන යෝජනා සලකා බලන්නට නියමිත විය. මිල සූත්‍රය ගැන ජනාධිපතිවරයා කතා කළේද අප්‍රසාදයෙනි.

අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ඒ වෙලාවේ ගෑස් මිල ගණන් ඉහළ දමන්නට සිදුවන බව පැවසීය. ජීවන වියදම් කමිටුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.320/-කින් ඉහළ දමන ලෙස ගෑස් සමාගම් ඉල්ලා ඇතත් එය රුපියල් 195/-කින් ඉහළ දමන්නට අවසර දෙන මෙන් හෙතෙම ඉල්ලීමක් කළේය. එවිට අදහස් දැක්වූ අමාත්‍ය සරත් අමුණුගම හා නිමල් සිරිපාල කීවේ පසුගියදා ප්‍රීමා සමාගම පාන් පිටි මිල ඉහළ දැමූ බවයි. ඊට සාපේක්ෂව පාන් හා බනිස්ද මිල ඉහළ ගොස් ඇතැයි කී ඇමැති දෙපොළ ඊට අවසර දුන්නේ කව්දැයි ප්‍රශ්න කළහ. “ඒක ඒ සමාගම කළේ අවසරයක් නැතුවයි” ඇමැති රිෂාඩ් පිළිතුරු ලෙස කීය. එවිට ඇමැතිවරැ ගණනාවක්ම කීවේ එලෙස සමාගම්වලට හිතුවක්කාර ලෙස මිල ඉහළ දමන්නට ඉඩ නොදී වහා ඒවා නතර කළයුතු වගයි.

ජනාධිපතිවරයා ඊළඟට සාකච්ඡාවට මැදිහත් වෙමින් නිතර නිතර අමුද්‍රව්‍ය හා ඉන්ධන මිල ඉහළ යනවිට විවිධ ගාස්තු ඉහළ නංවන්නට රජයට බලපෑම් එන බව කීය. බස් ගාස්තුවේ පිරිවැය සැබැවින්ම වැඩිවන්නේ 4%කින් වුවත් බස් හිමියන් 10% ගාස්තු වැඩි කිරීමක් ඉල්ලන බව පෙන්වා දුන්නේය. යම් යම් දේවල මිල ඉහළ යනවිට භාණ්ඩ මිල වැඩි වුණත් ඒවා අඩු වුණ විට භාණ්ඩ මිල අඩු නොවන බවද ජනාධිපතිවරයා කීය. මේ නිසා වහාම පාරිභෝගික අයිතීන් සුරැකෙන ලෙස පාරිභෝගික ආඥා පනත සංශෝධනයට අමාත්‍ය මංගල කැබිනට් අවසරය පැතීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉන් අනතුරුව නැගී සිටිමින් කියා සිටියේ රටේ ජීවන වියදම ඉතාම ඉහළ තැනක තිබෙන බැවින් යමක් කළ යුතුය කියායි. එහෙත් ඇමැතිවරුන් වන මංගල හා කබීර් හෂීම් එය පිළිගත්තේ නැත. ඔවුන් කීවේ ජීවන වියදම අඩු වී තිබෙන බවයි. හාල් හා පොල් මිල අඩු වී නැත්දැයි කබීර් හා මංගල ප්‍රශ්න කළෝය.

එවිට මංගල ඇමැති කීවේ “සජිත් ඇමැතිතුමා රටේ ජීවන වියදම නම් අඩුයි. ඒත් ඔබ කවදාවත් ජීවන වියදම ගැන කතා කරන්නේ නැහැ. ඔබ කතා කරන්නේ වෙනත් මාතෘකා. ප්‍රශ්නය අන්න ඒකයි... ඒ නිසා ඉස්සරහට ජීවන වියදමට දුන්න සහන ගැනත් කතා කරන්න” යැයි මංගල කියද්දි කබීර් හෂීම් ද මංගලගේ අදහස අනුමත කළේය. මේ කතාවලින් පසු සජිත් අමාත්‍යවරයා තමන් ජීවන වියදම ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව කීය.

අනතුරුව අගමැති රනිල් කීවේ අයවැය නොවැම්බරයේ ගෙන එන බැවින් ඒ කාලය තුළ ආණ්ඩුවේ ඇමැතිවරුන් විදේශ ගතවීම තහනම් කරන බවත්ය. එම කතාබහත් සමඟ අමාත්‍ය මණ්ඩල හමුව අවසන් විය. එහෙත් මේ දිනවල රටේ වැඩි අවධානය දිනූ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට අදාළ කුමන්ත්‍රණ කතාව ගැන කැබිනට්ටුවේදී වචනයක් හෝ කතා නොවීම විශේෂ සිද්ධියක් විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය අඟහරුවාදා රැස් කැරිණි. මුලින්ම මහින්ද රාජපක්ෂ මහතා කීවේ පසුගිය ඉන්දීය සංචාරයේදී ලද අත්දැකීම් ගැනයි. මෝදි අග්‍රාමාත්‍යවරයා සමඟ කළ කතාබහේදීත් වැඩිපුර අවධානය යොමු කළේ පෞද්ගලික තොරතුරු හුවමාරුවට බව රාජපක්ෂ මහතා කීය. දේශපාලනය ගැන අඩුවෙන්ම කතා කළ බවද ඔහු සඳහන් කළේය. ඒ සමඟ පසුපෙළ මන්ත්‍රීවරයකු කීවේ “දැන් මේ එක එක ජ්‍යෙෂ්ඨයෝ ඔබතුමාලා විවේචනය කරන්න පටන් අරන් ති‍යෙනවා. මේක පාලනය නොකළොත් අපි ඇතුළේ බෙදීමක් තියනවා කියලා පෙනේවි. ඒක පක්ෂයේ ඉදිරි ගමනට හොඳ මදි” යැයි කීය. ඊට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ පැවසුවේ ඔය කෑගහන එක්කෙනා කෑගහන්නේ එයාගෙ නමත් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ තියෙන බව මම නොකීව නිසයි. මම එදා කීවේ මගේ සහෝදරයකුට එන්න පුළුවන් කියලයි. එවිට ඩලස් සඳහන් කළේ “ජනාධිපතිතුමනි ජේ. ආර්.ගේ කාලෙත් ඔහොම වුණා. එයා ශ්‍රී ල.නි.ප.ය බිඳෙව්වා. ඒ නිසා අපිත් පරෙස්සම් වෙන්න ඕනෑ” කියාය. ඊට නැවත පිළිතුරු දුන් මහින්ද කීවේ “මෙතන කල්ලි දෙකක් හෝ කල්ලි වාදයක් නැහැ. මේක තනි පුද්ගලයකුගේ වැඩක්” බවය. එවිට කළුතර විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා අපූරු කතාවක් කීවේය. “දැන් ඔය වෙල්ගම මහත්තය තරහ වුණේ එයා ජනාධිපති අපේක්ෂකයෙක්ය කියලා නොකිව්ව නිසානේ... ඔබතුමා එයාගෙ නම කියනවා නම් මගේ නමත් කියන්න. එතකොට කළුතරින්ම ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නයි” යනුවෙන් විදුර කියද්දී සභාවේ සියල්ලන්ම සිනාසෙන්නට වූහ.

එහිදී කරැණු දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කීවේ “වෙල්ගම මන්ත්‍රීතුමා කියන දේවල්වලට මම උත්තර දෙමින් හිටියා. ඔබතුමා තමයි මට කටවහගන්න කිවේ. ඒත් එයා තවම ඒක කරනවා. අපිට දැන්නම් උත්තර නොදී බැහැ.” යනුවෙනි. රංජිත් සොයිසා ද ඒ මොහොතේ කීවේ &ඔන්න සර්... එපා කියන්න එපා. වෙල්ගම මන්ත්‍රීතුමා නැවත මොනව හරි කීවොත් අපි ගහනවා.” කියායි. “සර් එයා ඉස්සර සිල්ලරට මේ කතා කීවේ. දැන් හෝල් සේල් වැඩේ දෙනවා”යැයි නැවතත් මහින්දානන්ද කියද්දී හිටපු ජනාධිපතිවරයා කතාව හමාර කළේය. ඒ සමඟ ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා මතක් කළේ තේ කර්මාන්තය කඩා වැටී ඇති බවයි. තේ කොළ ඇඹරීමේදී සීනි කලවම් කරන ව්‍යාපාරිකයන් කර්මාන්තය වනසා ඇතැයි ලක්ෂ්මන් පෙන්වා දුන්නේය. ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමාර විය. අවසානයේ මහින්ද රාජපක්ෂ කීවේ පක්ෂයේ ජයග්‍රහණය සඳහා සෑම ඡන්දයක්ම ඕනෑ නිසා පක්ෂයට එකතු වන මන්ත්‍රීන් මෙන්ම ඡන්දදායකයන් ද සතුටින් භාරගත යුතු වගයි. මෙම කාරණාවලදී වාද භේද ඇති කර නොගත යුතු යැයි ද මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.

කුමන්ත්‍රණ චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් සමඟ මෙන්ම එ.ජා. පක්ෂයේ මන්ත්‍රීන් සමඟ ද කතා කළේය. පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් අමාත්‍යවරයාට කීවේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පමණක් නොව පොලිස්පති ධූරයට නොගැලපෙන ලෙස හැසිරෙන පොලිස්පතිවරයාගෙන් ද ආණ්ඩුවට හානියක් සිදුවන නිසා වහාම ඔහු ඉවත් කරන ලෙසයි. එහෙත් අමාත්‍යවරයාට එය තනිව කළ නොහැකි බව කී මද්දුම බණ්ඩාර මහතා පළමුකොට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් පියවර ගන්නට කටයුතු කළේය. සිය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න කැඳවා නියෝජ්‍ය පොලිස්පති නාලක වහාම අනිවාර්ය නිවාඩු යවන ලෙස ඉල්ලමින් ජාතික පොලිස් කොමිසමට ලිපියක් ලියන්නැයි ඇමැතිවරයා දුන් උපදෙස් අනුව ලේකම්වරයා ජාතික පොලිස් කොමිසමට ගිය බදාදා ඒ ගැන ලිඛිතව දැන්වීය. එදිනම පොලිස් කොමිසම රැස්කොට තීන්දුවක් ගන්නේ නාලක ද සිල්වා වහා අනිවාර්ය නිවාඩු යවන්නටයි. එම තීන්දුව බදාදා සවස 4.00ට පමණ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක විසින් පොලිස්පතිවරයාට සහ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාරට දැන්වීය.

ඒ සමඟ නාලක සිල්වාගේ සහ පොලිස් ඔත්තුකරු (චෝදනාකරු) නාමල් කුමාර යන අයට රටින් පිටවීමට නොහැකිවන ලෙස විදේශ ගමන් තහනම් කරමින් පාස්පෝට් උසාවියට ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නැයිද අමාත්‍යවරයා පොලිස්පතිට උපදෙස් දී තිබිණි. ඒ සමඟ තමන්ගේ ආරක්ෂාව ඉවත් කළ බවට චෝදනා කළ නාමල් කුමාරට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව සපයන ලෙසද අමාත්‍යවරයා නියම කළේ බදාදාය. කෙසේ හෝ මෙම පරීක්ෂණ කරන අතරතුර ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම අග්‍රාමාත්‍යවරයාගෙන් ද ඉල්ලා සිටින්නේ පොලිස්පති පූජිත විජේසුන්දර නිලයට නොගැලපෙන ලෙස හැසිරෙන බැවින් ඔහු වහා තනතුරින් අනිවාර්ය නිවාඩු යවන හැටියටයි. එය කතානායක කරු ජයසූරිය මහතාටද මන්ත්‍රීවරුන් දන්වා ඇතැයි කියැවේ. එම තීරණය ක්‍රියාත්මක වුවහොත් ඊළඟට පොලීසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරයා වන එස්. එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පති ධූරය සඳහා නම් කෙරෙනු ඇතැයි පොලීසියේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය සාගල රත්නායක අමතා මේ බරපතළ කුමන්ත්‍රණ කතාව ගැන කරුණු විමසීය. එවිට සාගල සඳහන් කළේ තමන් දැන් සිටින්නේ අමෙරිකාවේ බවයි. කුමන්ත්‍රණ චෝදනා ගැන තමා දැනගත්තේ ද මාධ්‍යයෙන් බව සාගල ගෝඨාට කීය.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00