වතු කම්කරු වැටුප් ගිවිසුමට අගමැති ඉදිරියේ අත්සන්
මහින්දගේ මඟුල් ගෙදර ගිය මැති ඇමැතින්ට රන්ජන් රාමනායකගෙන් දොස්
මැ:කො ඉල්ලා අස්වීම ඡන්ද ප්‍රශ්නයට විසඳුමක් නොවන වග මහින්ද පවසයි
තොණ්ඩමන් එක්ක වැටුප් ගිවිසුම ගැහුවට දිගා, මනෝ, රාධා තරහින්
ගෝඨාභය පොහොට්ටු නියෝජිතයන් එක්ක දේශපාලන කතා අරඹයි
නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිතයා මාලදිවයින් ජනපති
මේ සතිය ආරම්භයේදී ලොකු දේශපාලන බෝම්බයක් පත්තු කළේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාය. දේශප්‍රිය මහතා කීවේ ලබන නොවැම්බර් මස 10දාට පෙර විසුරුවා හරින ලද පළාත් සභාවල මැතිවරණය නොපැවැත්වුවහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. මැතිවරණයක් නිසි කලට නොපැවැත්වීම ඡන්දයකදී කරන දූෂණයක් තරම්ම බලවත් යැයිද ඔහු සඳහන් කළේය. තමන් සභාපති ධුරයෙන් ඉවත් වුවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස සිටින බව කී සභාපතිවරයා ඡන්ද නිසි වෙලාවට පවත්වන්නැයි කියා අධිකරණයට ගොස් ඉල්ලීමක් කරන වග සඳහන් කළේය. ජනාධිපති, අගමැති හා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ නිසි වේලාවට තැබීමට පියවර ගත යුතු යැයිද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට අපේක්ෂා කරති. පිවිතුරු හෙළ උරුමය මන්ත්‍රී උදය ගම්මන්පිල මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් ඊට අදාළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි සඳහන් වෙයි.
ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා උත්සාහයක් දියත් කර ඇත. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණයි. දැනට මෙයට බාධාවක් වී ඇත්තේ ඡන්ද ක්‍රමයයි. අලුත් ඡන්ද ක්‍රමය සම්මත වී ඇතත් ඊට අදාළව සීමා නිර්ණය කටයුතු අවසන් නැත. එබැවින් ඡන්දය ප්‍රමාද වෙයි. ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් මේ ගැන ජනාධිපතිවරයාට පැමිණිලි කරමින් කීවේ එ.ජා.ප.යට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවාසි සහගත නිසා ඔවුන් ඡන්දය සිතාමතාම පමාකරන බැවින් ඊට ජනපති මැදිහත් වන ලෙසය. ඊට අදාළව ජනාධිපතිවරයා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර මෙවර එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. ලබන ජූනි මාසයට පෙර ඡන්දය පැවැත්වීම එහි අරමුණයි. ඒ කැබිනට් පත්‍රිකාව ඇමැතිවරු අනුමත කළහ. කෙසේ හෝ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැරැණි ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමේ හැකියාව ඇති බවට ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන් ගණනාවක්ම ජනාධිපතිවරයාට උපදෙස් ලබා දුන්හ. ඊට ප්‍රතිපාදන සැලසෙන්නේ අර්ථ නිරූපණ පනත නම් වූ නීති අර්ථකථනයට සම්පාදනය කර ඇති පනතක් මගිනි. එහි 07 වැනි වගන්තියේ සඳහන් වන්නේ අලුතෙන් යම් නීතියක් සම්මත කළ පසු එය ක්‍රියාවට නැංවෙන තෙක් පැරුණි නීතිය බලාත්මක බවය. එහෙත් මෙම නීතිය යටතේ ඡන්දය පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් එකවරම ක්‍රියාත්මක නොවී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ගැන මතය විමසීම කළ යුතු බවට ජනාධිපතිවරයා තීන්දු කළේය. ඒ අනුව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා මගින් මෙයට අදාළ මත විමසුම සිදුකිරීමට ජනාධිපතිවරයා මේ සතියේ තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමෙන් පසුව ලැබෙන උපදෙස් පරිදි පළාත් සභා ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධව ජනාධිපතිවරයා අවසන් තීන්දුවක් ගනු ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ හෝ ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාව සම්මත වීමත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ නැවතත් පළාත් සභා මැතිවරණ මාතෘකාව කරළියේ රඟදෙන්නට පටන් ගත්තේය. එහෙත් එ.ජා.ප.ය දැනටමත් කල් පසුව ඇති පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන්නට කිසිසේත්ම සතුටු නැත. ඊට හේතුව ජනමතය ගැන ඔවුන් තුළ තිබෙන තක්සේරුවදැයි කිව නොහැක. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ලොක්කාගේ ප්‍රකාශය ගැන කීවේ ඡන්ද තියන්නට බැහැයි කියා මැතිවරණ ලොක්කා ඉල්ලා අස්වීම ප්‍රශ්නයට විසඳුම නොවන බවය. ඔහුගේ යුතුකම කෙසේ හෝ ඡන්දය පැවැත්වීම මිස ඉල්ලා අස්වීම නොවේයැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. එ.ජා.ප.යේ රාජ්‍ය අමාත්‍යවරයකු වන සුජීව සේනසිංහද මැ:කො ගේ ප්‍රකාශය තදින් විවේචනය කරනු පෙනිණි. ඔහු කීවේ “ඡන්ද කොමසාරිස්ට ඕනෑනම් අස්වන්න කියන්න. එතකොට තවත් කෙනෙක් එතනට ඒවි. ඒත් අපි ඡන්ද තියන්නේ අපට ඕන දවසටයි. ආණ්ඩුව අපේ නිසා ඡන්ද දිනය තීරණය කරන්නේ ආණ්ඩුව” යැයිද සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මේ ආකාරයට තවත් දේශපාලනඥයන් ගණනාවක්ම පළාත් සභා ඡන්දය ගැන ප්‍රකාශ නිකුත් කළෝය. මේ ඡන්දය පවත්වන්නටත් නවත්වන්නටත් කඹ ඇදීමක් සිදුවන බව ඉතා පැහැදිලිය.
හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් ලැබෙන සිරකරු සමා වැඩසටහන යටතේ දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වැරදිකරුව සිරදඬුවම් විඳින ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ප්‍රදානය කරන ලෙස මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ, අමරපුර ඇතුළු ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෝය. එසේම තවත් සිංහල බෞද්ධ සංවිධාන රාශියක්ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා මෙන්ම අම්පාරේ මුස්ලිම් සාම සමුළුවේ නායකයන්ද ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කොට තිබිණි.
එහෙත් ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට එරෙහිව නීතිපතිවරයාටත් අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියටත් විශේෂ ලිපි දෙකක් යොමුකළේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියයි. ඇය නීතිපතිට හා අධිකරණ ඇමැතිට යොමුකළ ලිපිවල සඳහන්ව ඇත්තේ මෙලෙස ඥානසාර හිමිට සමාව ලබාදීමෙන් අදාළ සිද්ධිය සිදුවූ අධිකරණයේ විනිසුරුවරුන්ටත් තමන්ටත් රජයේ නීතිඥවරැන්ටත් අගතියක් සිදුවන බවයි. එසේම තමන්ගේ මෙම ඉල්ලීම ජනාධිපතිවරයාටද යොමුකරන බව එක්නැලිගොඩ මහත්මිය කීවාය. ඇය මෙම ලිපි යොමුකළේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා ලද්දේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීමේ නඩුව හෝමාගම අධිකරණයේ විභාගවෙමින් තිබූ අවස්ථාවේ හටගත් සිද්ධියකදී නිසා බව කියැවේ. කෙසේ හෝ මේ ගැන සඳහන් කළ සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරැන් ප්‍රකාශ කළේ ඥානසාර හිමියන් පෙබරවාරි 04දා නිත්‍ය වශයෙන්ම නිදහස ලබන බවත් ඒ ගැන තමන්ට තොරතුරු ලැබී ඇති බවත්ය. උන්වහන්සේගේ නිදහස ලබන 4දා දහවල් ඒ හිමියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ දානමය පින්කමක් සංවිධානය කර ඇතැයි උන්වහන්සේලා පැවසූහ. ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංගමයද ඥානසාර හිමියන්ට නිදහස දීමට එරෙහිව බදාදා ප්‍රකාශයක් නිකුත් කළේය.
71 වැනි ජාතික නිදහස් දින උත්සවය හෙට දිනයේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. ජාතික දින උළෙලේ ගෞරවනීය ආරාධිත අමුත්තා වන්නේ මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි මහතාය. මෙවර නිදහස් දින උළෙල චාම් ලෙස පවත්වන්නට කටයුතු යොදා තිබේ. ප්‍රධාන ආරාධිතයන් වන මාලදිවයින් ජනපති, ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැති යන ආරාධිතයන්ට පමණක් නිශ්චිත වේලාවක් සහ පැමිණීමේ පෙරගමන් රථ සපයා තිබේ. විපක්ෂනායක, කතානායක, අගවිනිසුරු, ත්‍රිවිධ හමුදාපතිවරු ආදී සෙසු විශේෂ අමුත්තන් සියලු දෙනාම කල්තබා පැමිණ අසුන්ගත යුතුයැයි සංවිධායක කමිටුව දන්වා ඇත.
වතු කම්කරු ජනතාවගේ මූලික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වතුකර ප්‍රජාව, එහි දේශපාලනඥයන් හා වෘත්තීය සමිති නායකයන් පසුගිය කාලයේ ලොකු සටනක් ගෙන ගියහ. උද්ඝෝෂණ, උපවාස, සත්‍යග්‍රහ ද දියත් කළෝය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන තෙක් තමන් කළු ඇඳුමින් සැරසෙන බව කී කම්කරැ නායක මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් හා ඔහුගේ සගයෝ කළු ඇඳුමින් සැරසී සමාජයේ පෙනී සිටියහ. කෙසේ හෝ වතු සටන උග්‍රවෙද්දී අමාත්‍ය නවීන් දිසානායක, නව කම්කරු සබඳතා අමාත්‍ය රවි සමරවීර, වතු හාම්පුතුන් සමඟ සාකච්ඡා කොට විසඳුමක් සඳහා සාමූහික ගිවිසුමකට එළැඹීමට යෝජනා කළහ. ඒ අනුව ප්‍රධාන වෘත්තීය සමිති නායකයන් වන ආරුමුගම් තොණ්ඩමන් හා රජයේ කම්කරු සංගමය නියෝජනය කරන වඩිවේල් සුරේෂ් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස රුපියල් 750/- මූලික වැටුපකට එකඟ වූහ. එහෙත් මෙම වැටුප් සම්බන්ධ එකඟතාවට පෙර කම්කරු කොංග්‍රස නායක තොණ්ඩමන්ලා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී රහසිගත හමුවක් පැවැත්වීය. එයින් පසු කම්කරු කොංග්‍රස නායකයන් බෙහෙවින් සතුටට පත්ව සිටිනු දක්නට ලැබිණි. ඊට හේතුව වතු හාම්පුතුන් ප්‍රකාශ නොකළද ඒ ගැන නොයෙක් දූෂමාන ආරංචි පැතිරිණි.
අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය, කම්කරු කොංග්‍රස නායක තොණ්ඩමන් හා කම්කරු සමිති නායක වඩිවේල් සුරේෂ් ආදීන් හා එක්ව සාමූහික ගිවිසුමක් සාකච්ඡා කළේ රවි සමරවීර අමාත්‍යවරයාය. ඉන් පසු ඊට අත්සන් තැබීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදුකරන්නට ඉල්ලීම් ඉදිරිපත් විය. රනිල් ඊට මුලින් ඒ තරම් එකඟ නොවූවත් රවි සමරවීර හා නවීන් දිසානායක අමාත්‍යවරුන්ගේ ඉල්ලීම අනුව අරලියගහ මැඳුරේදී සාමූහික ගිවිසුමට අත්සන් තබන්නට එකඟත්වය පළකර තිබිණි. ඒ අනුව මැති ඇමැති පිරිසත් තොණ්ඩමන්ලාත් ගිය සඳුදා උදෑසන අරලියගහ මැඳුරට පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හාම්පුතුන් සමඟ ගිවිසුමකට එළැඹිණි. ඒ අනුව වතු කම්කරු දෛනික වැටුප රුපියල් 500/- සිට රුපියල් 700/- දක්වා වැඩි වූ බවත් තේ මිල ගණන් අනුව තව රුපියල් 50/-ක් පඩියට එකතුවන බවත් ලංකා ජාතික වතු කම්කරු සංගම් නායක රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා මාධ්‍යයට කීය.
සැබෑ අර්බුදය හටගත්තේ මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. ආණ්ඩුවට විරුද්ධ ස්ථාවරයක සිටින ආරුමුගම් තොණ්ඩමන්ලා සමඟ සාමූහික ගිවිසුමකට අත්සන් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති රනිල් සහභාගිවීම ගැන රජය සමඟ සිටින දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායකයෝ දැඩි ලෙස විරෝධය පළ කළහ. ඇමැතිවරුන් වන පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් හා රාධා ක්‍රිෂ්ණන් මෙලෙස ඊට විරෝධය පළකළ බව දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය. ඔවුන් කීවේ මෙම වැටුප් වර්ධකය මගින් කම්කරුවන්ට සැබෑ ලෙසම වැඩිවී ඇත්තේ රුපියල් 20/-ක් පමණක් වගයි. අනතුරුව මෙම පක්ෂ නායකයන් අදාළ අර්බුදය ගැන තීන්දුවක් ගන්නට නුගේගොඩ සිය පක්ෂ කාර්යාලයට රැස්වූහ. ඊට පලනි දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණන් යන අමාත්‍යවරුද, මන්ත්‍රීන් වන අරවින්ද් කුමාර්, තිලකරාජ් හා වේළුකුමාර් යන මන්ත්‍රීවරුද එක්වූහ. එහෙත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැමිණියේ නැත. මෙහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් යෝජනා කළේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මේ ආකාරයට තවදුරටත් රැඳී සිටීම තේරුමක් නැති බවයි. ඒ නිසා රජයෙන් ඉවත්ව ස්වාධීන විය යුතුයැයි මන්ත්‍රීවරු බහුතරයක් කීහ. එවිට එම තීන්දුව අගමැතිවරයාට දන්වා ඉවත්වීම වඩාත් හොඳයැයි යෝජනාවක් ඉදිරිපත් විය. එවිට අමාත්‍ය දිගම්බරම් පැවසුවේ ඉවත්වනවානම් අගමැති හමුවීම පලක් නැති බවය. ආණ්ඩුවේ ඇමැතීන් මෙතෙක් රජය සමඟ සිටි, රජය අමාරු අවස්ථාවේ රැකගත් තමන්ලා සමඟ කතා නොකර තොණ්ඩමන් හා සාකච්ඡා කිරීම බලවත් අසාධාරණයක් නිසා ඉවත්වීම ඉතා හොඳම විසඳුම බව හැමෝම පාහේ කීහ. ඉන් අනතුරුව මෙම තත්ත්වය එ.ජා. පෙරමුණේ ඉහළට වාර්තා විය. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව වතුකර ජනතාව වෙනුවෙන් හාම්පුතුන්ට කළ හැකි දේ සීමාසහිත නිසා රජයෙන් වතු ජනතාවට කිසියම් සහන පැකේජයක් ලබාදීමට අගමැතිවරයා තීන්දු කළේය. අයවැයෙන් එම සහන පැකේජය ලැබෙන බවටද ඉඟි කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලාවේදී පෙන්වන ලද ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නැරඹීම සඳහා එහි ගියේය. තවත් මැති ඇමැතින් ගණනාවක්ද එහි ගොස් සිටියහ. ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය සැකසී ඇත්තේ හිටපු ජ.වි.පෙ. නායක රෝහණ විජේවීරගේ දේශපාලන භූමිකාව හා චරිතය විග්‍රහ කරන්නටයි. මැති ඇමැතින් සමඟ චිත්‍රපටය නැරඹූ ජනාධිපතිවරයා එහි නිර්මාණාත්මක බව මෙන්ම රෝහණ විජේවීර ලෙස රඟන කමල් අද්දරආරච්චිගේ රඟපෑම්ද අගය කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල පොහොට්ටුව පක්ෂයේ ජනතා නියෝජිතයන් හා දේශපාලන නියෝජිතයන් මුණගැසෙමින් තමන්ගේ දේශපාලන ගමනේ ප්‍රථම අදියර ආරම්භ කර තිබේ. ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව දැන් බොහෝදුරට නිරාකරණයව ඇති නිසා ඔහුට ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වී ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී ඒ ගැන විවෘත ප්‍රකාශයක් සිදුකිරීමටද ගෝඨා සැරසෙන බව කියැවේ. ඒ අතර පසුගියදා හිටපු ජනාධිපති මහින්දගේ බාල පුත් රෝහිතගේ විවාහයේ දෙවැනි ගමනට අදාළ උත්සව හා ආගමික චාරිත්‍ර ඉටුකිරීමේ උත්සව ගණනාවක් කොළඹ පැවැත්වුණි. බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේ පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් විය. එහිදී ජනපතිවරයා හා හිටපු ජනපති මහින්ද බොහෝ වේලා දේශපාලන කතාබහක නිරතවූ අතර තමන්ගේ සිංගප්පූරු සංචාරයෙන් ලද ප්‍රතිඵල ගැන මෛත්‍රී ජනපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව දැනුම්වත් කළේය.
මෙහි පැවති ආගමික චාරිත්‍රවලදී විශේෂ දේවමෙහෙයක් කළ ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමා සඳහන් කළේ රෝහිත රාජපක්ෂ - ටට්යානා ජයරත්න අතර වූ විවාහය සැබෑ සංහිඳියාවේ විවාහයකට කදිම උදාහරණයක් වගයි. ඉතා හොඳ බෞද්ධ පවුලක් මේ ආකාරයට විවාහයකට බැඳීම සංහිඳියාව ගැන වැඩිපුර කතා කෙරෙන මේ මොහොතේ අගනා කටයුත්තක්යැයි පියතුමෝ පැවසූහ. රෝහිත - ටට්යානා විවාහයට සමගාමී බෞද්ධ ආශිර්වාද පූජා දින තුනක් පුරා පැවැත්වුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීය. අනතුරුව වැල්ලවත්ත මයුරාපති කෝවිලේදී හින්දු චාරිත්‍රානුකූල ආශිර්වාද පූජාවක් සිදුකෙරිණි.
රෝහිතගේ විවාහයට රජයේ මැති ඇමැතින් සහභාගිවීම ගැන එ.ජා.ප.යේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දැඩි විවේචනයක් එල්ල කළේය. ආණ්ඩුව හොරුන් අල්ලන බව කියමින් රාජපක්ෂලාට නඩු දමා තිබියදී ඔවුන් සමඟ මංගල උත්සවවල ප්‍රීතිය භූක්තිවිඳීම වැරදි සහගත බව රන්ජන් රාමනායක කීය. ඔහු ඒ ගැන වාර ගණනාවක්ම දැඩි ලෙස විවේචන එල්ල කළද ආණ්ඩුවේ මැති ඇමැතින් හෝ රාජපක්ෂලා රන්ජන්ගේ ප්‍රකාශය ගණන්ගත් බවක් නොපෙනුණි. මෙම මංගල උත්සවයට ආරාධිතයන් වූ අගමැති රනිල් වික්‍රමසිංහ ඇමැතිවරුන් වන මංගල සමරවීර, රවි කරුණානායක, රන්ජිත් මද්දුමබණ්ඩාර. සාගල රත්නායක, කබීර් හෂීම්, වජිර අබේවර්ධන ඇතුළු එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් එක්වූ අතර ප්‍රධාන ආරාධිතයන්ගෙන් නොපැමිණියේ එ.ජා.ප. නියෝජ්‍ය නායක හා හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස බව සඳහන් වෙයි.
ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල ජනතාව දැනුවත් කිරීමේ ජනහමු හා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වමින් සිටියි. රජය ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ගැන මෙම සම්මන්ත්‍රණවලදී ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක්වෙයි. පසුගියදා කළුතර බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් ඇමතූ පක්ෂයේ කළුතර මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විපක්ෂයේ කාර්යභාරය විවේචනය කළේය. පසුගියදා ආණ්ඩු බලය පැහැරගන්නට කුමන්ත්‍රණ කළ විපක්ෂය දැන් පස්ස බිම ඇනගෙන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගැන බිල්ලෙක් මවන බව සඳහන් කළේය. උසාවිවල රාජපක්ෂලාට එරෙහිව කෙරෙන නඩුවලින් බේරෙන්නට ඒ අය ව්‍යවස්ථා බේගලය පිරැවටයක් කරගෙන රට වටා යන බව මන්ත්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කර තිබිණි. ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ මාධ්‍යකරුවන් අල්ලාගෙන රාජපක්ෂ නඩය ජනතාව රවටමින් සිටින්නේයැයිද හෙතෙම සඳහන් කළේය.
►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර