හැම ජාතියේම ඥාතීන් සිටින අප ජාතිවාදීන් නොවේ - මහින්ද
ඉදිරි ඡන්ද සියල්ලම එ.ජා.ප.ය දිනනවා - රනිල්
වාසු ගෝඨාට කැමැත්ත පළකරයි
ආණ්ඩු කරනකොට ජනප්‍රිය නොවන තීන්දුත් ගන්න වෙනවා - රාජිත
ජාතික ආණ්ඩු යෝජනාව ඊළඟ සැසියට කල් දමයි
රටේ ඇමැතිධුර ගණන 25ට සීමාවිය යුතුයි - ජනපති
ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න විසඳාගැනීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එ.ජා.ප.ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ පසුගිය සතියේය. එම යෝජනාව ඉදිරිපත් කළ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ ආණ්ඩුවේ ඉදිරි ගමන ශක්තිමත් ලෙස කළයුතු බැවින් ජාතික ආණ්ඩුව හදන බවය.
මේ ගැන රට තුළ ප්‍රබල විවාදයක් හටගත්තේ දැනටත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පිටත සිටින මන්ත්‍රීවරයකු (ඔහුද රාජ්‍ය අමාත්‍යවරයෙකි) සමඟ මෙලෙස ජාතික ආණ්ඩුවක් සෑදීම අයෝග්‍ය බව කියමිනි. නමුත් එ.ජා.ප.ය කීවේ තමන් මෙකී යෝජනාව මගින් අදහස් කරන්නේ ආණ්ඩුවේ ඇමැති තනතුරු වැඩි කරගැනීම නොවන වගයි. පසුගිය බ්‍රහස්පතින්දා යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබිණි. ඊට පෙරදා එනම් 6 වැනි බදාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මැතිසබයේ පක්ෂ නායක සමුළුවක් කැඳවා තිබුණේ මේ ගැන කතා කරන්නටයි. දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ මෙම යෝජනාවට තරයේම විරෝධය පළකළ අතර දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද ජාතික ආණ්ඩුවේ අරමුණු පිළිගත නොහැකි බැවින් ඊට තම එකඟත්වයක් නැතැයි කීය. එ.ජා.ප.ය සැලසුම් කර තිබුණේ එදිනට යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් ස්ථාවර නියෝග අත්හිටවා එදිනම සවස යෝජනාව විවාද කර නීතියේ හැටියට සරල බහුතරයකින් එය සම්මත කරගන්නටයි. විපක්ෂයේ විරෝධය මැද කතානායක කරු ජයසූරිය මහතා ද කීවේ යෝජනාව ගැන මැති ඇමැතින්ට කල්දී සාමාන්‍ය පිළිවෙළට ගෙන ආවොත් හොඳ බවය. නමුත් එය පිළිනොගත් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙය ආණ්ඩුවේ තීරණය බවත් ස්ථාවර නියෝග අත්හිටුවා ඕනෑම යෝජනාවක් ගෙනඒම මැතිසබා සම්ප්‍රදායට එකඟ බවත් කීය.
ඒ අනුව විපක්ෂයේ විරෝධය මැද යෝජනාව 07 දා විවාද කරන්නට සැරසෙද්දී රජයට සහාය දැක්වූ බොහෝ සිවිල් සංවිධාන ද මෙයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට විය. අවසානයේ බදාදා රාත්‍රියේ එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ 07දා ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට නොගෙන කල්දමන බවයි. මේ යෝජනාව ගැන තවදුරටත් සාකච්ඡා කර පක්ෂ සමඟ එකඟත්වයක් ඇතිකරගෙන නැවත එය මැතිසබයට ගෙන එන බව ඔහු කීය. මෙහි අරමුණ ඇමැතිධුර වැඩි කරගැනීම නොව ශක්තිමත් රජයක් පවත්වා ගැනීමයැයි අකිල වැඩිදුරටත් පැවසීය. ඊළඟ සැසිවාරයේදී ජාතික ආණ්ඩු යෝජනාව ගෙනඑන්නේ යැයි සභා නායකවරයා ද පසුව සඳහන් කර තිබිණි.
එ.ජා.ප.යේ ජාතික ආණ්ඩු යෝජනාව මැතිසබයේ විවාද කිරීමට මුලින් නියම කරගෙන තිබුණේ ගිය 07 වැනි බ්‍රහස්පතින්දාය. ඊට පෙර එනම් සඳුදා නිදහස් දිනයේ පැවති ජාතික නිදහස් උත්සවයේ දී ජාතිය අමතා කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජිත ජාතික ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රකාශයක් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ආණ්ඩු යෝජනාව මැතිසබයට ඉදිරිපත් කළ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් පමණක් නොව කතානායක, විපක්ෂනායක හා අගවිනිසුරු නලීන් පෙරේරා ද මෙම උත්සව සභාවේ සිටියදී අදාළ ප්‍රකාශය සිදුකිරීම විශේෂයකි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ මූලික අදහස වූයේ තමන් ජාතික ආණ්ඩුවකට තරයේ විරුද්ධ බවය. මේ අදහස තමා මුලින්ම දැනගත්තේ තමාට ලැබුණු ආරංචිවලින් බව පැවසූ හෙතෙම ආණ්ඩුවටම සම්බන්ධ එක්තරා දේශපාලන පක්ෂයක එක් මන්ත්‍රීවරයකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරාත්මකදැයි ප්‍රශ්න කළේය. ඇමැතිකම් වැඩිකිරීම හා ඇමැතිධූරවලට ලබාදෙන පහසුකම් වැඩිකිරීමේ අරමුණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සුදුසුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් විමසීය. තනි පක්ෂයක් ආණ්ඩු කරනවානම් ඇමැති ධුර ගණන 25ට සීමාවිය යුතුය යන්න ජනතාවගේ ප්‍රාර්ථනය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්වී 2015 දී පිහිටුවා ගත් ජාතික ආණ්ඩුවද කළයුතු බොහෝදේ නොසලකාහරින ලද්දේයැයි චෝදනාවක්ද නැගීය.
රටක පරමාධිපත්‍යයේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව සමාජයේ පිරිහීම පෙන්නුම් කරන කැඩපතක්යැයි කී ජනපතිවරයා තම රජය භීෂණය ඉවත් කළත් දූෂණය ඉවත් කරගැනීමට නොහැකිවූ වග සඳහන් කළේය. අනතුරුව කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණය ගැන අදහස් ප්‍රකාශ කළ ජනපතිවරයා මෙලෙස වසර 1 ½ ක් පළාත් සභා ඡන්ද කල්දමා තිබීම ප්රජාතන්ත්රවාදයට අභියෝගයක් යැයි කීය.
නිදහස් උළෙලේදී පැමිණ සිටි දේශීය විදේශීය ආරාධිතයන් හමුවේ ජනාධිපතිවරයා මෙලෙස කළ කතාව බෙහෙවින්ම ආන්දෝලනාත්මක විය. ජාතික ආණ්ඩුව සඳහා තමන් තරයේම විරුද්ධ බව ඔහු ප්‍රකාශ කිරීමත් සමඟ ඒ ගැන බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණි. අඟහරුවාදා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මේ ගැන තීරණයක් ගෙන ප්‍රකාශ කරන බව සඳහන් විය.
ඒ අතර තහවුරු නොකළ ආරංචි මාර්ගයකින් කියැවුණේ ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී හිතවාදීන් 09 දෙනෙකු එ.ජා.ප.ය සමඟ ජාතික රජයකට එක්වීමට සූදානම් බවයි. එහෙත් එලෙස ජාතික රජයකට යන්නේ ජනපතිවරයා දැනුවත් කර ඔහුගේ අවසරය ලැබුණොත් පමණක් යැයි ද කියා තිබිණි. තහවුරු නොකළ ආරංචි මාර්ග කීවේ දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ආචාර්ය සරත් අමුණුගම ආදීන් මෙම 9 දෙනාට ඇතුළත් වගය. එහෙත් දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයාත් තවත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් සමඟත් අදහස් හුවමාරුකරගත් ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුව ගැන පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණයක් ගත යුතු යැයි කීය.
පක්ෂයේ මන්ත්‍රීන්ගේ කණ්ඩායමේ රැස්වීම ගිය අඟහරුවාදා උදෑසන පැවැති අතර එහිදී ගනුලැබූ පොදු තීන්දුව වූයේ නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එ.ජා.ප.ය ඉදිරිපත් කර ඇති යෝජනාවට ශ්‍රී.ල.නි.ප.ය. විරුද්ධ විය යුතු වගයි. ඒ අනුව ශ්‍රී.ල.නි.ප.යේ සියලු මන්ත්‍රීන් ජාතික ආණ්ඩු යෝජනාවට එරෙහිව මැති සබයේදී ඡන්ද භාවිතා කළ යුතුයැයි තීන්දුවිය. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කීවේ පක්ෂ තීන්දුවට යමෙක් එරෙහිව ගියහොත් ඔහුට විනය පියවර ගැනෙනු ඇති වගයි. දැනටමත් ආණ්ඩුව තුළ සිටින මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයකු සමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම හැකියාවක් නැතැයි ද දයාසිරි පවසා තිබිණි.
එ.ජා.ප.යෙන් ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කළ අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ද මේ ගැන මාධ්‍යයට කරුණු දැක්විය. ඊට පෙර ඔහු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කර ඇත. කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යයට කීවේ ජාතික ආණ්ඩු ප්රශ්නය සම්බන්ධයෙන් එ.ජා.ප.ය ජනපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි. මේ ගැන ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර ප්රශ්නය විසඳාගන්නට තැත්කරන වගක් ඇමැති කිරිඇල්ල කීය. අගමැතිතුමා ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයයි තීන්දු කර තිබේ. එනිසා තමන්ගේ වගකීම පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම බව ඇමැති කිරිඇල්ල තවදුරටත් කීය.
ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසුවේ ඉදිරියේ එක්සත් ජාතික පෙරමුණ රටේ සියලු ප්රජාතන්ත්රවාදී බලවේග එකතුකරගෙන මැතිවරණවලට මුහුණ දීමට අලුත් සන්ධානයක් හදන බවය. ඒ සඳහා සියලු පක්ෂවලට එක්වන මෙන් ආරාධනා කරන්නේයැයි කී අගමැතිවරයා එ.ජා.ප.ය කිසිම ඡන්දයකට බිය නැති වගත් ඉදිරි ඡන්ද සියල්ල ජයගන්නේ එ.ජා.පෙරමුණ බවත් ප්‍රකාශ කළේය. ඒ නිසා සියලු ප්රගතිශීලී පක්ෂ එක්වී ආණ්ඩුව ඉදිරියට ගෙනයා යුතුයැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය. අගමැතිවරයා මෙම ප්‍රකාශයෙන් ඍජුවම ජාතික ආණ්ඩුවක් ගැන නොකීවද ඔහු එය ව්‍යංගයෙන් ඉදිරිපත් කළේ ජාතික ආණ්ඩු සංකල්පය අනුමත කරන ලෙස කළ ඉල්ලීමකි.
රජයට පසුගිය කාලයේ සහාය පළකළ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනයේදී මාධ්‍යවේදීන් අමතමින් ජාතික ආණ්ඩුව ගැන අදහස් පළකර තිබිණි. ඔහු ප්‍රකාශ කළේ එ.ජා.ප.ය විසින් ප්රජාතන්ත්රවාදයට එකඟ නොවන ලෙස ජාතික රජයක් පිහිටුවන්නට හදන වගයි. එයට දෙමළ ජාතික සන්ධානය මුළුමනින්ම විරුද්ධ යැයි සුමන්තිරන් පැවසූ බව මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි. මෙයට පෙර මෙබඳු යෝජනාවක් පැමිණිවිටද තමන් ඊට එකඟ නොවූ බව මන්ත්‍රීවරයා කීය. මෙවර ජාතික ආණ්ඩුව හදන්නේ ඇමැතිධුර වැඩිකරගන්නට නම් තමන් ඊට කිසිසේත්ම එකඟ නොවන්නේ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. එහෙත් තමන්ගේ පොදු ස්ථාවරය වන්නේ උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙන ආ හැක්කේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සිටීමෙන් පමණක් බවද ඔහු කීය.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා එසේ පවසන්නටත් පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණ ජාතික ආණ්ඩු සංකල්පයට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබිණි. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය මුලදීම තීන්දු කර තිබුණේ යෝජිත ජාතික ආණ්ඩු කතාවට කිසිසේත්ම පක්ෂ නොවිය යුතුය කියායි. එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක්ද මේ ගැන විවිධ අදහස් ප්‍රකාශ කළහ. එහෙත් අවසානයේ පක්ෂයේ පොදු තීරණය අනුව ජාතික ආණ්ඩුවක් සෑදීම සඳහා ඔවුන්ගේ සහය හිමි වනු ඇතැයි අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දමිළ මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවක් පසුගිය අඟහරුවාදා පෙරවරුවේ පැවැත්විණි. පුවත්පත් කතුවරුන්, වෙබ් මාධ්‍යවේදීන් ඇතුළු සෑහෙන මාධ්‍යවේදීන් පිරිසක් මහින්ද සමඟ හමුවට එක්වූහ. මුලින්ම මාධ්‍යකරුවන් සුහදව පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමඟ අදහස් හුවමාරුකරගත්තේ ඉදිරියේ පැවැත්වෙතැයි අපේක්ෂා කරන මැතිවරණ සම්බන්ධවයි. මැතිවරණ කාල සටහනේ හැටියට නම් දැන් තියන්න ඕන පළාත් සභා ඡන්දයයි. ඒත් අගමැතිවරයාගේ අරමුණ මේ පළාත් සභා ඡන්දය කල්දැමීම. එයාල දන්නව මේ අවුල් ආණ්ඩුව ගැන තිබෙන ජනතා ප්‍රතිචාරය මහ මැතිවරණයකට ගියොත් අපේ පක්ෂය තනියම සෑහෙන බහුතර මන්ත්‍රී ආසන ගණනක් ගන්නවා යැයි මහින්ද සඳහන් කළවිට දමිළ මාධ්‍ය ප්‍රධානීන් ගණනාවක් ප්‍රශ්න කළේ උතුරේ ප්‍රශ්නයට ව්‍යාවස්ථා විසඳුමක් දෙන්නේ ද යන කරැණ ගැනය. “ඔව් උතුරු නැගෙනහිර ජනතාවට තියෙන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න ඕන. ඒත් ඒකට ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. ව්‍යවස්ථා සංශෝධනයකට වුණත් එහෙමයි. මේ ආණ්ඩුව කරන්නේ ඔය ව්‍යවස්ථා කතා කිය කියා දෙමළ ජනතාව රවට්ටන එකයි.” කියා කතාව හමාර කරද්දී උතුරේ මාධ්‍යකරුවකු විමසා සිටියේ “උතුරේ ඊළඟට පැවැත්වෙන මැතිවරණයකදී හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් සෑහෙන දේශපාලන බලයක් ලබාගතහොත් ඔහුට සාකච්ඡාවකට ඇරයුම් කරන්නේද කියාය. “ඔව් සාකච්ඡාවකට කාටවුණත් මම අඬගහනවා.” යනුවෙනි. අනතුරුව මහින්ද උතුරේ සංවර්ධනය සඳහා අරමුදල් වෙන්කිරීම සම්බන්ධව අදහස් දැක්වීය. “මගේ ආණ්ඩුව කාලෙ අපේ රටට වැඩියෙන්ම සංවර්ධන ණය ගත්තේ උතුරේ සංවර්ධනයටයි. හැබැයි මේ ආණ්ඩුව උතුරට එහෙම කළේ නැහැ.”
අනතුරුව එක් මාධ්‍යවේදියකු මහින්දගෙන් විමසුවේ ඔබ ඡන්ද ජයග්‍රහණයට උතුරේ ජනයාගේ ඡන්ද ඕනෑ නැතැයි යම්තැනක කීවේද කියාය. එවිට මඳ සිනහවක් නැගූ මහින්ද සඳහන් කළේ “මම ප්රජාතන්ත්රවාදී දේශපාලනඥයෙක්. මට මේ රටේ හැම ජාතියක්ම කුලයක්ම නෑදෑයෝ වෙනවා. ඉතින් කොයි දේශපාලනඥයද ජනතාවගේ ඡන්ද එපා කියන්නේ... මම කා එක්කවත් තරහ නැහැ...”
මෙහිදී ද ජාතික ආණ්ඩුව ගැන දමිළ මාධ්‍ය ප්‍රධානීහු ප්‍රශ්න කළෝය. “මමත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුමත කරනවා මෙහෙම කොහොමද ජාතික ආණ්ඩු හදන්නේ...? යනුවෙන් මහින්ද පැවසීය. මෙම සංවාදය යන අතරතුර තෝසේ, වඩේ, කැවුම්, කිරිබත් ආදී සම්ප්රදායක භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු කමිටුශාලාවකදී පසුගිය අඟහරුවාදා සවස රැස්විය. මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන මාතෘකාව වූයේද ජාතික ආණ්ඩු කතාවයි... අගමැති රනිල් වික්‍රමසිංහ රුස්වීම අරඹමින් අදහස් පළකළේය. “ජාතික ආණ්ඩුවක් හදන්න අපි තීන්දු කළා... මේ කියන ජාතික ආණ්ඩුව ව්‍යවස්ථාව අනුව නිර්මාණය කෙරෙන කවුළුවක් පමණයි. අපි මේ කටයුත්ත කරන්න යන්නෙ ව්‍යාවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුවයි.” එවිට රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කතා කරන්නට විය. එරාන් කීවේ ආණ්ඩුව මේ මගින් රජයේ ඇමැතිකම් වැඩිකරගන්නට උත්සාහ කරනවා යැයි ජනතාව සිතන බවය. “එසේ වුවහොත් ආණ්ඩුවට ලැබෙන මධ්‍යම පාන්තික ජනයාගේ සහය නොලැබේවී... මලික් ඇමැතිතුමා කලින් අවස්ථාවක කිව්වා රජයට බහුතරය හදාගන්න ඇමැතිවරු වැඩිකරගන්න ඕන නම් තමන් ඉවත් වෙන්න සූදානම්ය කියලා. අපි බහුතරය හදන්නත් ඕන... ශ්‍රී.ල.නි.ප. හිතවතුන් ගන්නත් ඕන. ඒ නිසා දැන් ඇමැතිකම්වලින් ඉවත් වී සහාය දෙන්න කැමැති අය ඒ කටයුත්ත කළොත් හොඳයි...” එරාන්ගේ කතාවෙන් පසු රාජිත සේනාරත්න අමාත්‍යවරයා කතාව පටන් ගන්නේ දැඩි ස්ථාවරයෙනි. “අපි මේ ආණ්ඩුව වෙනුවෙන් හුඟාක් හොඳ දේවල් කළා. ඒවයේ ප්‍රතිඵල දැක්කනේ...? ඒත් දැන් ආණ්ඩුව රුකගන්න ජනප්‍රිය නොවන තීන්දුවක් ගන්න වෙනවා.” යැයි ඔහු කීය.
නලීන් බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළකළේ අනතුරුවයි. “අලුත් ඇමැතිවරු පත්කරන්න කලින් දැනටමත් ඉතුරැ වෙලා තියන පුරප්පාඩු ටික පුරවන්න. නැත්නම් ජනතාව හිතයි ඒකත් අලුත් පත්කිරීම්ය කියලා කැබිනට්ම නැතුව ගොස් කැබිනට් ඇමැතිකම් දෙන්න පුළුවන්නේ...” යයි ඔහු පවසන විට අගමැති රනිල් සඳහන් කළේ “සමහරු ඒවා ගන්නත් කැමැති නැහැනේ” කියායි. කැබිනට් නොවන ඇමැතිකම් සමහරුන්ට එපාලු... රනිල් කීය. එවිට නලීන් බණ්ඩාර නැවත සඳහන් කළේ. “සර් ඒක හරියන්නේ නැහැ... දැන් තනතුරු ගන්න අයට ගන්න කියන්න නොගන්න අයට නොගන්න කියන්න” කියාය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්ඩු යෝජනාව ගැන ප්‍රසිද්ධියේ සිය මතය ප්‍රකාශ කළේ මැතිසබයේදීය. ඊට පෙර ජ.වි.පෙ. අභ්‍යන්තර සාකච්ඡා ගණනාවකදී ඔහු මෙම යෝජනාවට එරෙහිව කරුණු දැක්වීය. පසුගිය බදාදා පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසුව ජාතික ආණ්ඩු යෝජනාව ගැන විශේෂ ප්‍රකාශයක් කළ ජ.වි.පෙ. නායකයා එ.ජා.ප.ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිල් හොයමින් ඒ හිල්වලින් රිංගා යෝජනා සම්මත කරගෙන ජාතික ආණ්ඩුවක් සෑදීමට යෝජනා කර තිබෙන බව කී හෙතෙම අලුතෙන් කැබිනට් ඇමැතිධුර 18ක් හා රාජ්‍ය ඇමැතිධුර 5 ඇතුළුව නව තනතුරු 23ක් ඇති කිරීමට මෙම යෝජනාව මගින් ඉඩ සැලසෙන බැවින් එය පරාජය කළ යුතු යැයි සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එ.ජා.නි.ස. සෙසු පක්ෂ නායකයන් අතර හමුවක් බදාදා සවස ජනාධිපති නිලනිවසේදී පැවැත්විණි. පැය දෙකක පමණ කාලයක් දීර්ඝ ලෙස පැවති මෙම කතාබහේදී දෙපක්ෂය එක්වී ඉදිරියේ නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමට අදාළ යෝජනාව පුළුල්ව සාකච්ඡාවට ලක්විය. මහින්ද රාජපක්ෂ, ජී.එල්. පීරිස්, දයාසිරි ජයසේකර, දිනේෂ් ගුණවර්ධන, විමල්, උදය, ඩග්ලස්, වාසු හා අතාවුල්ලා යන නායකයෝ මෙම හමුවට එක්වූහ. නව දේශපාලන සන්ධානය සැකසීම සඳහා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන කමිටුවට ශ්‍රී.ල.නි.ප. නියෝජිතයෝ ද ඇතුළත් කර පුළුල්කිරීමට මෙහිදී තීන්දුකෙරිණි. ඒ අනුව කමිටුවට දයාසිරි, තිලංග සහ අතාවුල්ලා යන මහත්වරුද ඊට පත්කරනු ලැබූහ. උදයගම්මන්පිල එහි කැඳවුම්කරු ලෙස පත්විය.
දේශපාලන ක්ෂේත්රයේ පසුගියදා සිදුවූ විශේෂ සිදුවීමක් වන්නේ මෙතෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරනවාට විරුද්ධ වූ වාසුදේව නානායක්කාර මහතා ද ගෝඨාට සහය පළකිරීමයි. ඒ අනුව ඉදිරි කාලයේදී වාසුද ගෝඨාගේ සටන් පෙරමුණට පිවිසෙනු ඇත. එහෙත් ගෝඨාට දිගින් දිගටම විරෝධය පළකරන කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා තවමත් කියන්නේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේකෂකයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ බවයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කලාතුරකින් අසන්නට ලැබෙන සිදුවීමක් මේ සතියේ වාර්තා විය. ඒ මැතිසබා රැස්වීමට සහභාගී වීමට යමින් සිටි ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතින් 15 දෙනකු පමණ විනාඩි 15කට වැඩි කාලයක් විදුලි සෝපානය කුළ සිරවී සිටීමයි. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, දයාසිරි ජයසේකර, රන්ජිත් අළුවිහාරේ, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, රන්ජිත් සොයිසා, චන්ද්‍රසිරි ගජධීර ආදී මැති ඇමැති පිරිසක් පාර්ලිමේන්තුවේ අංක 6 දරන විදුලි සෝපානයේ එසේ සිරවී සිටියහ. ඔවුන් මෙසේ සිරවී සිටියදී සෝපනාය තුළ බෞද්ධ ගාථා පාඨ කියමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් විනෝදයෙන් ගතකළ බව දැක්වෙන වීඩියෝ කිහිපයක් මාධ්‍යය ඔස්සේ දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මැතිඇමැති පිරිසක් මෙසේ විනාඩි 15 සිරවී සිටීම සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ. ඒ ගැන දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීහු කතානායකවරයාට පැමිණිලි කළෝය. මේ ගැන වහා පරීක්ෂා කර සෝපානය අබලන් නම් අලුත් සෝපානයක් හෝ සවිකරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර