2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ඔත්තුව මෙතෝදිස්ත පල්ලි ගැන: ප්‍රහාරය කොච්චිකඩේට!

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 749

 

  • කොච්චිකඩේ පල්ලියට ගිය මැති ඇමැතින්ට ජනතා විරෝධය
  • ෆීල්ඩ් මාර්ෂල්ගෙන් කන රත්වෙන කතාවක්
  • ඉල්ලා අස්වීම රැගෙන ජනපති හමු වූ ආරක්ෂක ලේකම් කියූ කතාව
  • රනිල් කොච්චිකඩේ හා කටුවපිටිය ජනතාවට සහන සලසයි
  • පොලිස්පති, අගමැති, විපක්ෂ නායක හා කතානායක හමුවී දුක කියයි
  • ආරක්ෂක අණ නොතකා මහින්ද ගිය භයානක ගමන

 

පාස්කු ඉරිදා කළු ඉරිදාවක් කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව සමස්ත ලෝකවාසී ප්‍රජාවම මහත් සංවේගයට පත් විය. ජාති ආගම් වර්ග ඉක්මවා ගිය පොදු මානවීය හැඟීම් උතුරා ගිය සංවේදී මොහොතේ මෙරට දේශපාලන ක්‍රියාදාමයන් සහ දේශපාලනඥයෝ අන්ද මන්ද වී සිටියහ. මාකඳුරේ මධුෂ් ගැන කතා කළ දේශපාලනඥයෝ මෙන්ම ජනමාධ්‍ය ද &තව්හිත් ජමාද්” ගැන කතා කරන්නට වූහ.

එතරම් සරුසාර නොවුණත් සිංහල අවුරුදු නිවාඩුව නිස්කලංක ලෙස ගෙවී යමින් තිබිණි. දේශපාලනඥයෝ දුසිම් ගණනින් විදේශගත වූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති වන්දනාවේ ගොස් සිංගප්පූරැවට සම්ප්‍රාප්ත විය. එරට මවුන්ට් එළිසබෙත් රෝහලේ දී වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් වූ ඔහු මේ දිනවල එරට ප්‍රතිකාර ගන්නා ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ සුවදුක් විමසීමට උන්වහන්සේ වසන කුටියට ද පැමිණ පොඩි හාමුදුරුවන් සමඟ ද, උන්වහන්සේගේ සුවදුක් බලාගන්නා ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් සමඟ ද සාකච්ඡා කර තිබිණි.

ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණීමට නියමිත වූයේ 21 ඉරිදා රාත්‍රී කාලයේය. එහෙත් ඔහුට එදින පෙරවරුවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දුරකතනයෙන් කතා කොට කීවේ මෙරට කිතුනු පල්ලි ගණනාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධවයි. ඒ සම්බන්ධව ගත යුතු පියවර ගැන ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සාකච්ඡා කොට තීන්දු ගණනාවකට එළැඹිණි.

ඒ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙන්තොට නිවාඩු නිකේතනයක නිවාඩුවක් ගත කරමින් සිටියේය. ඔහු බෙන්තොටට පැමිණියේ නුවරඑළියේ අවුරුදු දින කිහිපය ගත කිරීමෙන් අනතුරුවය. විපක්ෂ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු දින කිහිපය ගත කළේ තංගල්ලේ සහ මැදමුලනේ සිය පෞද්ගලික නිවෙස්වලය. අනතුරුව කොළඹට පැමිණ රාජකාරි කටයුතු කිහිපයක් නිමවා නුවරඑළියට ගොස් දින දෙකක් එහි ගත කළේ දේශපාලන කණ්ඩායම් හමුවෙමින් ආගමික වතාවත්වල නිරත වෙමිනි. පසුගිය ඉරිදා සවස ඔහු නැවත කොළඹ බලා එන අතරතුර තමන්ගේ ජංගම දුරකතනයට හිතවතෙක් ලබාදුන් ඇමැතුමකින් කියැවුණේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩියේ බරපතළ සිදුවීමක් හටගෙන ඇති බවයි. කොළඹින් මිලට ගත් 'ස්කූටි^ වර්ගයේ මෝටර් බයිසිකල් දෙකක් ගාල්ලටත් අනතුරුව කාත්තන්කුඩියටත් ගෙන ගොස් එහි විශාල පොල්වත්තක ගාල්කොට මාරක බෝම්බ අත්හදා බැලීමක් කළ බව මහින්දට ලැබුණු ආරංචියේ සඳහන් විය. මෝටර් සයිකලයේ බෝම්බයක් බැඳ දුරස්ථ පාලකයකින් පුපුරුවා හැර ඇතැයි කියන නිසා තත්ත්වය බරපතළ බැවින් මේ ගැන කුමක් හෝ කළ යුතු බව මහින්දට පණිවුඩය දුන් තැනැත්තා කීය. අනතුරුව මහින්ද කළේ වහාම පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු අමතා කතාව සත්‍ය දැයි විමසීමයි. එය කිසියම් සත්‍යතාවක් ඇති ආරංචියක් බවත් ඒ ගැන පොලිස් පරීක්ෂණ අරඹා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විපක්ෂ නායකවරයාට කීය. මෙය බරපතළ දෙයක් නිසා මේ ගැන පරීක්ෂා කර පියවරක් ගන්නා ලෙස ද මහින්ද ඔහුගෙන් ඉල්ලීමක් කළේය.

ඒ ආකාරයට සෙනසුරාදා දවස ගෙවී ගියේය. ඉරිදා උදෑසන වනවිට තත්ත්වය සාමකාමී නිසා කතෝලික බැතිමත්හු පාස්කු දේව මෙහෙයන්ට සහභාගී වෙමින් සිටියහ. ඒ වනවිට හදිසියේ ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරකින් කියැවු‍ණේ කොළඹ ප්‍රධාන මෙතෝදිස්ත දේවස්ථාන දෙක තුනකට තර්ජනයක් ඇති බවය. ඒ සඳහා ආරක්ෂක අංශ යුහුසුළු වෙද්දී පාස්කු ඉරිදා මහා ඛේදවාචකය හට ගැනුණි. කොච්චිකඩෙන් පටන්ගත් ව්‍යසනය ස්ථාන 8කට ව්‍යාප්ත විය. දැන් තිබෙන වාර්තාවල හැටියට මරණ 360කට ආසන්න බව කියැවේ.

යට කී ලෙස මුලින්ම ආරක්ෂක ලේකම් මේ ගැන සිංගප්පූරුවේ සිට ජනතාව දැනුවත් කළ අතර බෙන්තොට සිට අගමැතිවරයා ද දැනුවත් කෙරිණි. අගමැතිවරයා සුළු වේලාවකින් කොළඹට පැමිණෙන බව දැන්වීය. එහෙත් කළ යුතු මූලිකම අවශ්‍ය ආරක්ෂක සංවිධාන කටයුතු ගැන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට උපදෙස් දුන්නේය. කොළඹට අගමැති පැමිණෙන විට මැති ඇමැතිහු ගණනාවක් අරලියගහ මැඳුරට එක්රැස්ව සිටියහ. ඒ අය සමඟ ගත යුතු පියවර සාකච්ඡා කරන අතර අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, ආචාර්ය හර්ෂ ද සිල්වා ආදීහු වහාම කොච්චිකඩේ පල්ලිය අසල ප්‍රහාරය වූ ස්ථානයට පැමිණියහ. ඒ අය ජනතාව අස්වසමින් අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන් යොමු කරවමින් සිටියහ. ජනතාවගේ ආවේගශීලී විරෝධය ද ඔවුන්ට ඉවසා සිටින්නට සිදුවී තිබිණි.

විජේරාම මාවතේ විපක්ෂ නායක නිල නිවෙසේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ඒ මොහොතේ තමන්ගේ ආරක්ෂාව භාර පොලිස් අධිකාරිවරයාටත් හමුදා ප්‍රධානියාටත් දන්වා සිටියේ තමන් කොච්චිකඩේ පල්ලිය භූමියට ගොස් ජනතාවගේ සුවදුක් විමසා බැලිය යුතු බවය. නමුත් පොලිස් අධිකාරිවරයා සහ හමුදා නිලධාරියාගේ උපදෙස වූයේ එසේ පිටත්ව යාම ඉතා අනතුරුදායක බැවින් පසුව යමු කියායි. එහෙත් මහින්ද එය පිළිගත්තේ නැත. ඔහු සිය පක්ෂයේ කතෝලික බැතිමතුන් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලංසා ආදී මන්ත්‍රීන් ගැන විමසා බැලීය. දුරකතනයට ගත් ජොනීට තමන් සමඟ එක්වන්නැයි කීය. ආරක්ෂක අංශවල අවවාද නොතකා ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන ආදී පිරිසක් සමඟ මහින්ද කොච්චිකඩේ පල්ලිය බලා පිටත් විය. ඔහු පල්ලිය තුළට ගොස් පියතුමන්ලා සමඟ කතාබස් කොට අවශ්‍ය පහසුකම් ආදිය ගැන ප්‍රශ්න කළේය. අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් හා හර්ෂ ද මහින්දට මුණගැසුණි. විපතට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබාදීම ආදිය ගැන ද ඇමැතිවරුන්ගෙන් විමසීය.

ටික වේලාවක් එහි රැඳී සිටි ඔහු මීගමුව කටුවපිටිය පල්ලියටත් ප්‍රදේශයේ විපතට පත් ජනතාව මුණගැසීමටත් ගියේය. නිමල් ලංසා මන්ත්‍රීවරයා ද ඒ සමඟ එක්වී සිටියේය. පැයකට ආසන්න කාලයක් එහි ගත කොට ඔහු හලාවත බලා පිටත් වූයේ වෙනත් රාජකාරි කටයුත්තකටය.

එදිනම සවස අගමැති රනිල් වික්‍රමසිංහ ජෝන් අමරතුංග ආදී අමාත්‍යවරු කොච්චිකඩේ පල්ලියට හා මීගමු කටුවපිටිය පල්ලියට පැමිණියහ. ජනතාව මුණගැසී ඔවුනට කනගාටුව පළ කළ අගමැතිවරයා ඒ අයට අවශ්‍ය වන්දි මුදල් රජයෙන් ලබාදෙන බව සඳහන් කර තිබිණි. අනතුරුව කඩිනමින් මියගිය අයට වන්දි ගෙවීමට පියවර ගත යුතු යැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අයි.එස්. ත්‍රස්තවාදීන් &පළිගැනීමේ කඩාවැදීම” නමින් නම්කර තිබූ මේ ප්‍රහාරයෙන් අනතුරුව ඇතැම් දේශපාලනඥයන් කළ ප්‍රකාශ ආන්දෝලනයට ලක් විය. එයින් වඩාත් කතාබහට ලක්වූයේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කී කතාවයි. ඔහු මාධ්‍යයට කීවේ මෙම ප්‍රහාරය ගැන ආරක්ෂක අංශ රජය දැනුවත් කර නැති බවයි. තවත් අමාත්‍යවරුන් ගණනාවක් ද කීවේ මේ ගැන අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාවද දැනුවත් කර නොතිබූ බවය. රාජිත සේනාරත්න මහතා පැවසුවේ අගමැති හෝ ආරක්ෂක රාජ්‍ය ඇමැති රජයේ ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැත කියාය.

මේ කතා අතර හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන්ට මේ පහරදීම ගැන ආරක්ෂක අංශ කිසිවක් නොකී නමුත් සති තුනක් තිස්සේ රෝහල්ගතව සිටින සිය පියා ලෙඩ ඇඳේ සිට පාස්කු ඉරිදා පල්ලි නොයන්නැයි අවවාද කළ බවකි. එදින පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බව පියා කී බවද පැවසූ හරීන් පියාට ඒ තොරතුර ලැබී තිබුණේ ද ආරක්ෂක අංශ මගින් යැයි කීය.

හරීන්ගේ මේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව ගැන හතර අතින්ම විවේචන එල්ල වන්නට විය. ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මාධ්‍ය හමුවේ කීවේ ප්‍රහාරය සම්බන්ධව කිසිදු තොරතුරක් කල්තබා තමන් දැන නොසිටි වගය. එසේ දැන සිටියේ නම් කාදිනල්තුමා ලවා පාස්කු දේවමෙහෙයන් අවලංගු කරවන්නට තමන් මැදිහත් වන බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ ගැන හරීන්ට තදබල විවේචනය එල්ල කළේ මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ය. උන්වහන්සේ සඳහන් කළේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තමන් දැනගත් තොරතුර තමන්ට සහ රටට කීවා නම් අහිමි වූ මෙම ජීවිත රැකගන්නට ඉඩ තිබූ බවය. ඒ ගැන සිහිපත් වනවිට ඇතිවන්නේ දැඩි වේදනාවක් යැයි කාදිනල්තුමා වැඩිදුරටත් පැවසූහ. මෙය ඉතා කැත වැඩක් යැයි කී උන්වහන්සේ දැඩි සංවේගයට පත්ව සිටිනු පෙනිණි. ශුද්ධෝත්තම පාප් වහන්සේ ද සිය පාස්කු දේවමෙහෙයේ දී මෙම ප්‍රහාරය හෙළා දුටුහ.

අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය අමතමින් ප්‍රහාරය එල්ල වූ පසු විපක්ෂ නායක මහින්ද කොච්චිකඩේ සහ කටුවපිටිය පල්ලිවලට ගොස් ජනතාව මුණගැසීම තරයේ විවේචනය කළේය. මංගල කීවේ ඇතැම් දේශපාලන නායකයන් ලේ සුවඳට ඉව අල්ලමින් මේ ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගන්නට හදන බවය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගෙන් මාධ්‍ය මේ ගැන විමසූ විට මහින්ද කීවේ &ඔවැනි අයට පිළිතුරු දෙන්නට තමන් සූදානම් නැති බවය. මෙයට වඩා කුරිරු යුද්ධයක් තිබූ කාලයේ කැබිතිගොල්ලෑවේ බස්රථ අනතුර වේලාවේත් සරත් ෆොන්සේකා හමුදාපතිට කොටි ප්‍රහාර එල්ල වූ වේලාවේත් තවත් බොහෝ සිද්ධීන්වලදීත් තමන් දුකට සහ විපතට පත්වූවන් බලන්නට ගියා සේම මෙවරත් ජනතාවගේ දුකට පිහිට වන්නට පිළිවන්දැයි බලන්නට අදාළ ස්ථානවලට ගිය බව මෙහිදී ඔහු සිහිපත් කළේය. එම ගමන ගියේ තම ආරක්ෂක අංශවල දැඩි විරෝධය මධ්‍යයේ බවත් මහින්ද පැවසීය.

කෙසේ හෝ ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ ප්‍රධානීන්, විපක්ෂ නායකවරයා සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි. එහෙත් පොලිස්පතිවරයා හැර රජයේ කිසිම ආරක්ෂක ප්‍රධානියකු ඊට පැමිණ සිටියේ නැත. කතානායකවරයා ද ඊට එක් විය. මෙම රැස්වීම සෑහෙන තරම් උණුසුම් වූ අතර සම්පන්දන්, රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු සැමදෙනාම රජයෙන් ඉල්ලා සිටියේ ජාතික ආරක්ෂාව වහා තහවුරු කරන ලෙසයි. එවිට කතානායකවරයා සඳහන් කළේ මෙබඳු ප්‍රහාර සිදුවූ විට ඒ ස්ථානවලට යන එන පිරිස්වලට සහ දේශපාලනඥයන්ට ජනතාව තදින් දෝෂාරෝපණය කරන බවය. ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ &ගියේ මමනේ. මම ගිහිල්ල වාහනේ නවත්වනකොට මුන්ට දැන් තමයි අපිව මතක් වුණේ කියාගෙන මිනිස්සු බැණගෙන ආව.. මිනිස්සු හිතුවෙ මේ ආවෙ ආණ්ඩුවෙ දේශපාලනඥයෙක් කියල... හැබැයි මම වාහනෙන් බැස්ස විතරයි මිනිස්සු ඇවිත් මාව බදාගත්ත... ඒ වගෙයි තත්ත්වය... ආරක්ෂක බුද්ධි අංශවලින් දුන්න වාර්තාව රජය ගණන් ගත්තෙ නැහැ...” මහින්ද වැඩිදුරටත් කීය. එවිට කතානායකවරයා ප්‍රශ්න කළේ &ඒ වාර්තා, කතාව බොරුවක් නේද?” කියාය. එවිට පොලිස්පතිවරයා පැවසුවේ වාර්තාව සත්‍ය බවකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමන්ට නම් එබඳු වාර්තාවක් නොලැබුණු වගය. මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවේ නැවතත් කීවේ බුද්ධි අංශවලට රජය හිරිහැර කිරීම මෙබඳු ප්‍රශ්නවලට ප්‍රබල ලෙස බලපා ඇති වගය. ඇඳිරිනීතිය දිගින් දිගටම පැනවීම ගැන ද මහින්ද සිය විරෝධය පළ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පතිවරයා ක්‍රියා කළ ආකාරය සහ කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් දේශපාලන අංශ ගණනාවකින් විරෝධය එල්ල විය. මේ නිලධාරීන් ඉල්ලා අස්විය යුතු යැයි විජේදාස මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මත පළ කළහ. ඒ අනුව බදාදා සවස පොලිස්පතිවරයා තමන් වෙත කැඳවූ ජනාධිපතිවරයා ඔහුට සිය තනතුරින් ඉවත් වන්නැයි දැන්වීය. එවිට පොලිස්පතිවරයා කීවේ පොලිස්පති නිල නිවෙසින් ඉවත් වූ විට තමන්ට ඉන්නට නිවසක්වත් නැති නැති බවයි. ජනාධිපති මෛත්‍රී ඔහුට විදේශීය තානාපති ධුරයක් ලබාදීමට යෝජනා කළේය. තමන්ට තීන්දුවක් ගන්නට දින දෙක තුනක් අවශ්‍ය බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කීය. ඊට පසුදා ඔහු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් හමුවිය. ඔවුන් බොහෝ දෙනකුගේ අදහස වූයේ පූජිත ජයසුන්දර මහතා තනතුරින් ඉවත් විය යුතු බවය.

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ගිය බදාදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණේය. එවිට ඔහු සඳහන් කළේ මෙම ප්‍රහාරයේ තනි වගකීම තමන් භාර නොගන්නා බවය. මේ ගැන කරුණු කාරණා දැන්විය යුතු ඇතැම් උදවිය තමන්ට පවා මුණගැසීම අසීරු වූ බව කී හෙතෙම කෙසේ වෙතත් එල්ල වී තිබෙන විවේචන නිසා තමන් තනතුරින් ඉවත් වීමට සූදානම් යැයි පැවසීය. දැනටත් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ගේ ලිපිගොනුවේ ඇති බව කී හේමසිරි ප්‍රනාන්දු මහතා තමන් වෙනුවට සුදුසු අනුප්‍රාප්තිකයකු තෝරාගෙන දැන්වූ සැණින් ඉල්ලා අස්වීමට සූදානම් යැයි ද කීය. එහෙත් ජනාධිපතිවරයා කිසිත් නොකියා ඔහුගේ කතාවට සවන් දුන් අතර පසුව ඔහු කැඳවන බව සඳහන් කර තිබිණි. ඒ අතර හිටපු හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් මෙම තනතුර භාරගත හැකිදැයි ජනපති විමසා තිබූ බව කියැවිණි. එහෙත් ඔවුන් ඊට අකැමැත්ත ප්‍රකාශ කළ බවක් ද නිල නොවන වාර්තා සඳහන් කරයි.

කෙසේ හෝ මෙරට ආරක්ෂක තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය පැනවීමට අදාළ විවාදයේ දී ඉතා ප්‍රායෝගික කතාවක් කළේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාය. ඔහු කතාව ආරම්භ කරමින් කීවේ තමන් අද කතා කරන්නේ ආණ්ඩුව පැත්තේ සිට නොව රටේ පැත්තේ සිට බවය. මෙම ප්‍රහාරයේ වගකීමෙන් රජයට ගැලවිය නොහැකි යැයි කී හෙතෙම ආණ්ඩුවේ වගකිවයුත්තන් රොත්ත පිටින්ම ගෙදර යා යුතු යැයි ද කීය. මෙය ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට පමණක් සීමා විය යුතු නැතැයි ද හෙතෙම පැවසීය. ආරක්ෂක මණ්ඩලයට තමන් කැඳවූයේ නැත්නම් ඒ බව කලින් රටට කීමට අගමැතිවරයාටත් යුතුකමක් තිබුණේ යැයි ෆීල්ඩ් මාර්ෂල්වරයා සඳහන් කර තිබිණි. තමන් මේ ගැන පුළුල් අත්දැකීම් ඇති ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා වුවද ආණ්ඩුව තමන්ගෙන් කිසිම වැඩක් ගන්නේ නැතැයි කී ඔහු තමන්ට ගිය ආණ්ඩුවෙන් දුන් ආරක්ෂාව ද මේ රජය අඩුකළ බව කීය. එසේ වුවත් රට වෙනුවෙන් යමක් කළ හැකි නම් එය කරන්නට නොපැකිලෙන්නේ යැයි ෆොන්සේකා මහතා තරයේම කීය.

පවත්නා ආන්දෝලනාත්මක දේශපාලන තත්ත්වය ගැන සර්වපාක්ෂික සහ සර්ව ආගමික සමුළු දෙකක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබිණි. ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා උදෑසන සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් සහ එදිනම සවස ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්ව ආගමික නායක සමුළුවක් පැවැත්විණි.

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබිණි. පක්ෂ නායකයෝ රැසක්ම ඊට සහභාගී වූහ. අගමැති රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, දෙමළ සන්ධාන නායක සම්පන්දන්, රවුෆ් හකීම්, අතාවුල්ලා, රිෂාඩ් බදුයුදීන්, චම්පික රණවක, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, විජිත හේරත් ආදීහු මෙම හමුවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා මුලින්ම සඳහන් කළේ තමන්ට මෙම ප්‍රහාරය ගැන ආරක්ෂක අංශ අනතුරු අගවා නොතිබූ බවය. මෙහිදී ඩියු ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ජනතාව විසින් පත්කරන ලද්දේ නිලධාරින් නොව දේශපානඥයන් බැවින් දේශපාලනඥයන් ඊට වගකිවයුතු බවයි. දැන්වත් නොයෙක් කතා නොකියා ජනතාවගෙන් සමාව ගතයුතු යැයි ඩියු පෙන්වා දුන්නේය. ආර්. සම්පන්දන් මහතා අදහස් දක්වමින් කීවේ මෙම සිද්ධිය ආදර්ශයට ගෙන හෝ උතුරේ ජනයාට දේශපාලන විසඳුමක් දෙන ලෙසයි. රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රස් නායකයා කියා සිටියේ මුස්ලිම් සමාජයේ දෙතුන් සීයක් කරන මෙම කටයුතුවලට සමස්ත මුස්ලිම් ප්‍රජාව විරුද්ධ බවයි. සමස්ත මුස්ලිම්වරු ත්‍රස්තවාදීන් ලෙස නොසලකන්නැයි රවුෆ් කීය. ත්‍රස්ත ක්‍රියා තම ආගමට ද විරුද්ධ බව රවුෆ් පැහැදිලි කළේය. විමල් වීරවංශ උදය ගම්මන්පිල දෙදෙනාම කීවේ මෙහි වගකීම ආණ්ඩුව භාර ගතයුතුය කියායි. අගමැති ජනපති මෙයට වගකිවයුතුයි ඔවුහු කීහ. මෙහිදී උදය ගම්මන්පිල කීවේ ඉන්දීය හිටපු අගමැති වජ්පායි පකිස්ථානය සමඟ යුද වදින තීරණය ගන්නට සැරසෙද්දී ආරක්ෂක මණ්ඩලයට සෝනියා ගාන්ධි මහත්මියටද ආරාධනා කළ බැවින් යුද්ධයත් හමාර කර රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂක මණ්ඩලයට ඇරුයුම් කළ යුතුය කියාය.

විජිත හේරත් ජ.වි.පෙ. නියෝජිතයා කීවේ ත්‍රස්තවාදය වහා මර්දනය කරන ලෙසය. සිය පක්ෂ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහීම් ගාජ්ජියාර් සිටි නිසා සමහරු ජ.වි.පෙ.ට මඩගහන බවත් එය ඉතා අසාධාරණ වගත් විජිත කීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) වෙනුවෙන් කතා කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු සර්ව පාක්ෂික සමුළුවට ලිඛිතවම දස වැදෑරුම් යෝජනා මාලාවක් භාරදුන්නේය. රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ සිට මෙබදු ප්‍රශ්නයක් කළමනාකරණයේදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන අදහස් එහි ඇතුළත් විය.

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා කීවේ මේ සිද්ධිය අල්ලාගෙන තමන්ට පහර නොදෙන ලෙසය. තමන් ඊබ්‍රහීම්ට උදව් කළේ වෙළෙඳ සංගම් සභාපති ලෙස බවත් තමන් ඔහු නඩත්තු නොකළ බවත් රිෂාඩ් කීය. කබීර් හෂීම් සඳහන් කළේ ත්‍රස්ත ක්‍රියා ගැන තොරතුරු ලද පසු ඔවුන් අල්ලාගත් නමුත් ඇතැම් ප්‍රබලයන් මැදිහත්ව ත්‍රස්තවාදීන් නිදහස් කරගත් වගය. මෙහිදී පිළිතුරු දුන් අසාද් සාලි ආණ්ඩුකාරවරයා තමන් ත්‍රස්තවාදීන් නිදහස් නොකරගත් බවත් තමන් ඊට බලපෑම් කළේ නැති වගත් කීය. තමා වරදක් කළේ නම් වහා අත්අඩංගුවට ගන්නැයි ද ඔහු පැවසීය. මෙම රැස්වීමේ සිදුවූ තරමක ආවේගශීලී සිද්ධිය වූයේ නැගෙනහිර පක්ෂ නායකයකු වන අතාවුල්ලා මහතා ඇමෙරිකාව විවේචනය කරමින් කළ කතාවයි. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මෙරට රාජ්‍ය නායකයාට කතා නොකර අගමැති රනිල්ට කතා කළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව ඔහු කියද්දී රනිල් වික්‍රමසිංහ මහතා “මෙතැන අන්තවාදි කතා කියා අවුල් හදන්නට එපා. පිටතට ගියාම නැති ප්‍රශ්න ඇතිවේවි” යැයි කියමින් පිළිතුරු කතාවක් කරන්නට හදද්දී සජිත් ප්‍රේමදාස හා මනෝගනේෂන් අමාත්‍යවරු අගමැතිවරයා අස්වසමින් කතාව හමාර කළෝය.

බ්‍රහස්පතින්දා සවස ජනාධිපතිවරයා සර්ව ආගමික සමුළුවක්ද මෙලෙසම කැඳවා තිබිණි. සිකුරාදා උදෑසන මෙරට මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් පවත්වා ඔවුනටද තත්ත්වය පැහැදිලි කළේය.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර