2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

එජාප අපේක්ෂකයා නම් කිරීම සුළු පක්ෂ හමුවෙන් පසු

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 192

 දෙස් විදෙස් ආරාධිතයන් මැද නාමල් - ලිමිනි විවාහ වෙති
♦ ජනපතිගේ මත විමසුම අතරමග නැවතුණු හැටි
♦ වියත් මග සමුළුවේදී ගෝඨාගේ අනාගත සැලසුම එළිදකී
♦ ජනපතිවරණය කැඳවීමට මැකෝ කල් බලයි
♦ රූපවාහිනිය පවරා ගැනීම ගැන ඇමැති රුවන්ගෙන් විරෝධයරවුෆ්ගේ මගුල් ගෙදර
♦ රනිල්-මෛත්‍රි මේස දෙකක

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබුණේ මේ මස 10දා සිටයි. ඒ අනුව අවශ්‍ය ඕනෑම මොහොතක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට කොමිසමට අවකාශ සැලසේ. එහෙත් තහවුරු නොකළ ආරංචි මාර්ග කියන්නේ සැප්තැම්බර් මස අවසන් සතිය තෙක් මැතිවරණය ප්‍රකාශයට පත් නොකෙරෙනු ඇති බවය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය හමුවේ කියා සිටියේ ජනපතිවරණය සඳහා අපේක්ෂකයන් 20ක් පමණ ඉදිරිපත් වෙතැයි පෙනී යතත් ඉන් ඇතැමෙක් ඡන්ද සටනට නොඑනු ඇති බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය ආරම්භ වූයේ ඔහු එම තනතුරේ දිවුරුම් දුන් 2015 ජනවාරි 08දා ද නැතිනම් දැනට බලපවත්වන (පසුව සම්මත කළ) 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කතා නායකවරයා අත්සන් කළ 2015 මැයි මස 15දාද යන්න ගැන ශ්‍රීල.නි.ප.ය අදහස් පළකර තිබේ. ශ්‍රීල.නි.ප. මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාට කියා තිබුණේ මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතයක් විමසිය යුතු බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ නීති කටයුතු භාර අතිරේක ලේකම්වරිය වන ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය ලවා නීති විශාරදයන්ගෙන් එයට අදාළ නීතිමය ලිපිය සකස් කරගත්තේ දැනට දින 15කට පමණ පෙරදීය. එය දැනට ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය භාරයේ ඇත.

මෙම මත විමසුමට අදාළ ලිපිය මේ සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමේ හැකියාව ගැන ජනාධිපතිවරයා ස්වකීය සමීපතමයන් වන නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් සමඟ පසුගිය සඳුදා සාකච්ඡා කළේය. එදින මෙම ලිපිය අගවිනිසුරුවරයා වෙත යොමු කෙරෙනු ඇතැයි කියැවුණත් එය සිදුනොවීය. ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නිල නොවන ආරංචි මාර්ග කියා සිටියේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශ නීති සමුළුවකට සහභාගීවීමට විදේශගතව සිටි බවත් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙම සති අන්තයේ නිසා ඔහු පැමිණෙන තෙක් ලිපිය පමාකළ බවකි. එහෙත් එම තොරතුරුද තහවුරු කර නැත.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ ගැන ගිය සඳුදා තවත් නීති විශාරදයන්ගෙන් හා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රබල චරිත දෙක තුනකින් මත විමසා ඇත. එහිදී දැනගන්නට ලැබුණේ මෙයට වසර 1 ½ට පමණ පෙර ජනාධිපති ධුරයේ නිල කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දින වකවානු සහිතව නිශ්චිත තීන්දුවක් ලබාදී ඇති බැවින් එය වෙනස් කිරීම අපහසු වනු ඇති බවකි. එහෙත් එය පිළි නොගත් ජනාධිපතිවරයාග් ඇතැම් උපදේශකයන් කියා ඇත්තේ “ඒ තීන්දුවේ වරදක් තිබෙනවා. එය ලියා ඇති ආකාරය අපැහැදිලියි. ඒ නිසා නැවත මතය විමසමු” කියාය. එහෙත් ජනාධිපතිවරයා කේන්තියෙන් ඊට ප්‍රතිචාර දක්වා තිබේ. මේ ගැන ඔහු ඉදිරියේදී කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ අනුදැනුමකින් තොරව පසුගිය සඳුදා සිට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම සඳහා වන ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී. ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වාර දෙකකදී දැනට සිටින සභාපතිවරිය ඉවත්කොට නව සභාපතිවරයකු පත් කිරීමට උත්සාහ කළේය. එහෙත් වත්මන් සභාපතිනිය තමන් ජනාධිපතිවරයාගේ නියමය අනුව කටයුතු කරන බව පවසමින් තනතුරින් ඉවත් නොවීම නිසා හටගත් ව්‍යාකූලතාව හේතුවෙන් ජනාධිපතිවරයා යටතේ පවත්නා ආරක්ෂක අමාත්‍යංශයට රූපවාහිනිය පවරාගත් බව දැනගන්නට ඇත. එ.ජා.ප.ය ජනාධිපතිවරයාගේ මෙම තීරණයට තරයේ විරෝධය පළකර තිබේ. රැවන් විජයවර්ධන මහතා විසින් සිය විරෝධය ලිඛිතවම ජනාධිපතිට යවනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංවිධානයෙන් ක්‍රියාත්මක වන ‘වියත් මග’ විද්වත් සංසදයේ තුන්වැනි වාර්ෂික සමුළුව පසුගිය ඉරිදා කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව අනාගතයේ සංවර්ධනය කිරීමේ දර්ශනය, ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ පහදා දීම මෙවර වියත්මගේදී සිදුවිය. තුන්දහසකට අධික ආරාධිතයන් පිරිසක් ඊට එක්ව සිටි අතර දිවයිනේ ප්‍රබල ව්‍යාපාර සමාගම් අධිපතීන් වන හැරී ජයවර්ධන, මෙරිල් ජේ. ප්‍රනාන්දු, සෝලි කැප්ටන්, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, අජිත් ද සොයිසා, අශෝක් පතිරගේ, ඩබ්ලිව්.එච්.කේ. වෑගපිටිය ආදීන්ද අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් ආදී ප්‍රකට ක්‍රිකට් තරුද තවත් දහස් ගණනක් වන නීති විශාරදයන් වෛද්‍ය විශේෂඥයන් රැසක්ද ඊට එක්වූහ. මහින්ද රාජපක්ෂ මහතාද එහි ප්‍රධාන ආරාධිතයකු වූ අතර පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රැසක්ද ඊට එක් වී සිටියහ.

මෙහිදී ආරම්භක දේශනය කළේ මෙරට කීර්තිමත් වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ප්‍රසන්න ගුණසේන මහතාය. ඔහු වියත් මග අරමුණ ඉතා කෙටියෙන් ආටෝපයෙන් තොරව සභාව හමුවේ තැබීය. අනතුරුව තමන්ගේ දර්ශනය ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ පිළිබඳව පුරා පැයක දෙසුම පැවැත්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඉතා සරලව එහෙත් ව්‍යක්ත බසින් ඔහු ශ්‍රී ලාංකික සමාජය වෙත ප්‍රදානය කරන්නට යන්නේ කුමක්ද යන්න ප්‍රකාශ කළේය.

එහෙත් මෙම සමුළුවේදී තවත් අවධානයට ලක්වූ විශේෂ කතාවක් ගැන සඳහන් කළ යුතුය. ඒ වියත්මග ප්‍රධාන සමුළුවට සමගාමීව පැවති කමිටු සාකච්ඡා සඳහා එක්වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සිදුකළ මත ප්‍රකාශනයයි. ඔහු කීවේ රටට දැන් අවශ්‍ය ජනතාවගේ බිය සැක නැතිකරන රට ආරක්ෂා කරන නායකයකු බවයි. එය වචනවලින් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්නකුගේ අවශ්‍යතාව රටට දැන් හොඳටම දැනෙන බව ඔහු සඳහන් කළේය. සමහරුන් මම රට වෙනුවෙන් මැරෙනවා යැයි කියමින් බලය ඉල්ලන බව කී මුරලි මැරිලා ඒ කටයුතු කරන්නේ කෙසේදැයි හාස්‍යයෙන් යුතුව ප්‍රශ්න කළේය. නායකයකු වන තැනැත්තාට තීරණ ගැනීමේ හැකියාවද තිබිය යුතු යැයි පැවසූ හෙතෙම දේශපාලන නායකයකු විය යුත්තේ රටට යමක් කර පෙන්වූ අයකු යැයි අවධාරණයෙන් පැවසීය.

මෙලෙස විද්වත් කථිකාවක් ලෙස පැවති වියත්මග මහ සමුළුවේදී වේදිකා දේශපාලනය හෝ විරුද්ධ පක්ෂවල අර්බුද හෝ ඒවායේ අර්බුද ගැන වචනයක්වත් සඳහන් වූයේ නැත. සමුළුව අවසානයේ ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැමිණ සිටි මන්ත්‍රීවරයකු විමසූ විට ගෝඨාභය ඊට දුන්නේ කදිම උත්තරයකි. “වියත් මග කියන්නේ ක්‍රියාවක් මිස ප්‍රතික්‍රියාවක් නොවෙයි” ගෝඨාගේ පිළිවෙත එම පිළිතුරෙහි කැටිකර දැක්විණි.

මේ සතියේ කාගේත් වැඩිපුර අවධානය යොමුව තිබුණේ එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති විශේෂ හමුව කෙරෙහිය. රනිල් - සජිත් හමුව අඟහරුවාදා රාත්‍රී 9.00ට අරලියගහ මැඳුරේදී පවත්වන බවත් ඊට රනිල් සමඟ දොස්තර රාජිත සේනාරත්න පමණක් එන බවත් සජිත් තනිව පැමිණ ඊට සහභාගි වන ලෙසත් රනිල් දන්වා තිබිණි.

අඟහරුවාදා උදෑසන සිට සජිත් ප්‍රේමදාස මහතා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ නිල කටයුතු ගණනාවකට සහභාගී වෙමිනි. ඒ සඳහා සජිත් ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිල නිවසට ගොස් තිබුණේ උදෑසනමය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් සමඟ සාකච්ඡාවට පැමිණීමට පෙර රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට අදාළ පසුබිම් තොරතුරු සියුම්ව නිරීක්ෂණය කර තිබූ අතර එ.ජා.ප.යේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයා ඒ සඳහා දිරිගන්වා තිබූ බව රනිල්ට දැනගන්නට ලැබී ඇත. රනිල් ඒ ගැන දැඩි කනස්සල්ලෙන් සිටියේය. කෙසේ හෝ රනිල් සහ රාජිත සාකච්ඡාව සඳහා පැමිණ පූර්වයෙන් සූදානම් වෙද්දී රනිල්ට දැනගන්නට ලැබුණේ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ හිතවත් ඇමැතින් ගණනාවක් මංගල සමරවීර අමාත්‍යවරයා සමඟ ඔහුගේ නිල නිවෙසේදී රනිල්ගේ සාකච්ඡාවට පූර්වයෙන් සූදානම් වන වගයි. ඒ සාකච්ඡාවට සජිත්, මංගල, කබීර්, රන්ජිත්, එරාන්, හර්ෂ ඇතුළු පිරිසක් සහභාගී වූ බවද දැනගන්නට ලැබිණි.

කෙසේ හෝ රනිල් සජිත් සාකච්ඡාව අරලියගහ මැඳුරේදී ඇරුඹෙන විට කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරු ද අනාරාධිතව පැමිණ සාකච්ඡාවට එක්වූහ.  රනිල් ඊට සතුටු වූයේ නැත. සජිත් ප්‍රේමදාස මහතා එහිදී තමන් ජනාධිපතිවරණ සටනට තරග කරන්නට සූදානම් යැයි කී අතර මලික් සමරවික්‍රම ඇතුළු ඇමැතිවරැන් කීවේ ජයග්‍රහණය කළ හැක්කේ සජිත්ට බවයි. ජනමතය ඉතා පැහැදිලි යැයි මලික් කීය. එහිදී රනිල් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයත් සෙසු හවුල්කාර පක්ෂත් සජිත්ට සහාය දෙනවාද කියා දැනගන්නා ලෙසයි. තමන්ටත් අවශ්‍ය පක්ෂය ජයග්‍රහණය කරවීම බවද රනිල් කීය. කෙසේ හෝ තිබෙන ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳාගත යුතු යැයිද රනිල් පවසා තිබිණි. මෙහිදී මලික් සමරවික්‍රම මහතා රවි කරුණානායක අමාත්‍යවරයාට චෝදනා නගමින් කියා තිබුණේ එ.ජා.ප.යේ සියලුම ප්‍රශ්න අවුල් කරන්නේ රවි කරුණානායක මහතා බවයි. එවිට රනිල් මලික්ට කියා ඇත්තේ “මම ඔබ පත්කළේ ජාතික ලැයිස්තුවෙන්. ඒත් රවි ආවේ ජනතා ඡන්දෙයන් දිනලයි. එයා පක්ෂයේ උපනායක. ඒ නිසා එයාට පක්ෂයේ ප්‍රශ්න ගැන මත පළකරන්න පුළුවනි” කියායි. එසේම සජිත් රනිල් සාකච්ඡාව සඳහා තමන් ආරාධනා කළේ සජිත්ට පමණක් යැයි කී රනිල් කබීර්, රන්ජිත් සහ මලික් අනාරාධිතව පැමිණීම ගැනද ප්‍රශ්න කළේය. එවිට සජිත් කියා ඇත්තේ ඒ අයගේ පැමිණීම ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.

කෙසේ හෝ රනිල් සජිත් සාකච්ඡා අවසන් වූයේ කිසිම තීන්දුවකින් තොරවය. තවත් වාර ගණනාවක් සාකච්ඡාව සිදුවිය හැකි බවද එහිදී ඉඟි පළවිය. එසේම දෙපක්ෂයේ ප්‍රශ්න විසඳාගන්නට පසුදා රාජිතගේ ගෙදරදී විශේෂ සාකච්ඡාවක් පවත්වා බලන්නැයි රනිල් සජිත්ලාට කීය. ඒ අනුව මංගල සහ මලික් සමඟ මේ සාකච්ඡාවේදී රනිල් අවධාරණයෙන් කියා තිබුණේ මෙයට කලකට පෙර 2020 දක්වා පක්ෂයේ නායකයා ලෙස එ.ජා.ප. කෘත්‍යාධිකාරිය විසින් තමන් පත්කර තිබෙන බව කවුරුත් මතක තබාගත යුතුය කියායි. ගිය බදාදා රාජිතගේ නිවසට ගොස් සෑහෙන වේලාවක් සාකච්ඡා කළේ මේ අර්බුදය විසඳාගන්නා ආකාරයයි.

එ.ජා.ප.යේ විනය පරීක්ෂණවලට භාජනය වී සිටින අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු මේ සතියේ පක්ෂය වෙත තමන්ගේ නිදහසට කරුණු ලිඛිතව ඉදිරිපත් කළෝය. අජිත් පී. පෙරේරා විනය කඩ නොකළ බව කියද්දී සුජීව සේනසිංහ කියා සිටියේ තමන්ට ඇති චෝදනා මොනවාදැයි කියා දැනගන්නට චෝදනා පත්‍රයේ පිටපතක්වත් තමා වෙත එවා නැති බවකි. එසේම වෘත්තීයමය වශයෙන් විධිමත් නොවූ ලිපියක් මගින් තමන්ගෙන් කරුණු විමසීම ගැන ඔහු සිය කනස්සල්ල පළකර තිබේ.

පොහොට්ටුව සහ ශ්‍රීල.නි.ප.ය අතර කෙරෙන සාකච්ඡාව දැන් සිරවී තිබෙන්නේ පක්ෂ ලාංඡනය පිළිබඳ ප්‍රශ්නය නිසායි. එහෙත් දිගටම සාකච්ඡාව පැවැත්වෙයි. දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න ආදී මන්ත්‍රීවරු ශ්‍රී.ල. පොදුජන පෙරමුණ පොහොට්ටුව නමින් තමන්ට සන්ධාන ගතවිය නොහැකි බව දිගින් දිගටම කියා සිටියදී පොහොට්ටුව සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කියන්නේ තම පක්ෂය පොහොට්ටුව ලාංඡනය තුළින් මිස වෙනත් ලාංඡනයක් නොපිළිගන්නා බවකි. ඒ නිසා දැන් දෙපක්ෂය අතර මේ ගැන මත ගැටුමක් හටගෙන තිබියදී දුමින්ද දිසානායක, දහම් සිරිසේන ඇතුළු පිරිසක් මෙම ප්‍රශ්නය නොවිසඳේ නම් විකල්පයක් සඳහා යොමුවිය යුතු බව කියමින් සිටී. ශ්‍රීල.නි.ප.ය තවත් පක්ෂ ගණනාවක් සමග සන්ධානගත වී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ඔවුහු සාකච්ඡාවට බඳුන් කරමින් සිටිති. එහෙත් එම අපේක්ෂකයා කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර් වෙල්ගම නොව එ.ජා.ප.යෙන් පත්ව සිටින මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විය යුතු යැයි මෙම පිරිස කල්පනා කරන බව පෙනේ. ගිය සතියේ දින ගණනාවක් මේ ගැන විජේදාස රාජපක්ෂ මහතා සමඟ මේ අය සාකච්ඡා පවත්වා තිබිණි. විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතා මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කරන බවද අප වෙත වාර්තා වෙයි.

එහෙත් පොහොට්ටුවේ සංවිධායකයන් පවසන්නේ පක්ෂ ලාංඡනය ගැන තීන්දුව ගත යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි. ඔවුන් දෙදෙනා සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බවද වාර්තා වෙයි. ඒ අතර බැසිල් රාජපක්ෂගේ මෙහෙයැවීමෙන් පොහොට්ටුවේ මන්ත්‍රීන් 35 දෙනකු මේ සතියේ උතුරේ යාපනය හා වන්නි දිස්ත්‍රික්කවල සියලු මැතිවරණ කොට්ඨාස වෙත ගොස් ජනතාව දැනුවත් කරමින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සංවිධාන ගොඩනගමින් සිටිති. අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා ආදී පිරිස් මේ සඳහා වන්නියට ගොස් සිටිති. ගම් ගම් ගානේ යමින් ඒ අය වන්නියේ හා යාපනයේ ජනතා ප්‍රශ්න හඳුනා ගැනීමද මේ ගමනේ තවත් විශේෂ අරමුණකි.

පසුගියදා යාපනයේ පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සඳහා උතුරට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් අතර මූලික සාකච්ඡාවක් යාපනයේදී පැවැත්විණි. සජිත් සමඟ කතාවට එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ඩී. සිද්ධාර්ථන්, ඊ. සරවනභවන් යන දෙමළ සන්ධාන ප්‍රධානීහු පැමිණියහ. දෙමළ සන්ධාන නියෝජිතයන් මුලින්ම සජිත්ගෙන් විමසා ඇත්තේ එ.ජා.පක්ෂ නායකත්වය විසින් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කවුරුවත් නම්කර නැති නිසා දැන් උතුරේ ජනතා ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම අවශ්‍ය ද යන්නයි. එවිට සජිත් කියා තිබුණේ තමන් පක්ෂ නායකත්වය සමඟ රණ්ඩුකර අපේක්ෂකත්වය ලබා නොගන්නා බවයි. එහෙත් එ.ජා. පක්ෂයේ තමන් හැර විපක්ෂයට සටනක් දිය හැකි අපේක්ෂකයකු නැතැයි ඔහු වැඩිදුරටත් කියා තිබිණි. ඒ සමඟ සජිත්ගෙන් ප්‍රශ්නයක් විමසූ මන්ත්‍රී සුමන්තිරන් “ඔබතුමා පළාත් සභාවලට වැඩි  බලතල දෙන්න එකඟද?” කියායි. සජිත් ඊට පිළිතුරු ලෙස කියා තිබුණේ “නැහැ... දැන්ම අපට ඒ ගැන තීන්දුවකට ඇවිත් ගිවිසුම්ගත වෙන්න බැහැ. නමුත් මම එක පොරොන්දුවක් දෙන්නම්. මට බලය ලැබුණොත් පළමු මාස හය ඇතුළත උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙනවා. ඒක ස්ථීරයි. මේක සිංහල සමාජය සැක නොකරන විසඳුමක් විය යුතුයි.” සජිත් පැහැදිලි කළේය. “ඒකීය රාජ්‍යයක් තුළත් වෙනම බලය බෙදපු අවස්ථා තිබෙනවා...” යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා කියද්දී සජිත් ඒ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබාදී නැත. එවිට සුමන්තිරන්ලා ඔහුට කියා තිබුණේ “ඔබතුමා රනිල් මහත්මයත් එක්ක කතා කරල කව්ද අපේක්ෂකයා කියල තීන්දුවක් අරන් ඊළඟට අපිත් එක්ක කතා කරන එකයි හොඳ. ඒ විදියට වැඩ කරමු...” යනුවෙනි. සජිත්ද ඊට එකඟත්වය පළ කළේය.

සජිත් පාර්ශ්වය හා රනිල් පාර්ශ්වය වෙනුවෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ කොළඹ නිවසේදී සුළු පක්ෂ නායකයන් සමඟ හමුවක් සිදුවිය. එයට රාජිත, මංගල, මලික් සමඟ සුළු පක්ෂ ගණනාවක නායකයන් එක්ව එ.ජා. පෙරමුණේ අපේක්ෂකයා ගැන සාකච්ඡා කළ බව වාර්තා වෙයි. එහෙත් මෙම හමුවට වතුකර නායක දිගම්බරම් ඇතුළු කිහිප දෙනෙක් පැමිණ නොසිටියහ. අවසානයේ මෙහිදී කිසිදු තීන්දුවක් ගෙන නැත. අවසානයේ ඉදිරි දින කිහිපයේදී රනිල් හා සජිත්ද සමග අරලියගහ මැදුරේදී සාකච්ඡාවක් පවත්වා තීන්දුවක් ගැනීමට එකඟත්වය පළකළ බව පොලිටිකල් රහස් තීරයට වාර්තා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණද ස්වකීය ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු දියත් කර තිබේ. ඔවුන් දැන් කරන්නේ අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය පතා දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් සමුළු සහ සංවිධාන තර කිරීමයි. එම හමු ජනතා සභා ලෙස නම්කර තිබේ. කලාකරුවන් විද්වතුන් හා විවිධ වෘත්තිකයන් මෙම හමු සඳහා කැඳවා ඇති අතර එ.ජා.ප.යේ පවත්නා අපේක්ෂක අර්බුදය හේතුවෙන් මධ්‍යස්ථ ඡන්දදායක ආකර්ෂණය වැඩියෙන් ලබාගැනීම ජ.වි.පෙ. සැලසුම වී තිබෙන බව පෙනේ. මේ සඳහා වන ප්‍රධානම සමුළුවක් පසුගියදා “ජනබලය මත හෙට දින දිනන” යන තේමාවෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිනි වීරසිංහ අතර විවාහය පසුගිය 12දා සිදුවිය. එහි ප්‍රධාන චාරිත්‍රානුකූල උත්සවය කොළඹ ගංගාරාමයේදී පැවැත්විණි. ඒ සඳහා ඇරැයුම් ලැබ සිටියේ ළඟම ඥාතීන් පමණි.

නාමල් - ලිමිනි විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදීය. විවාහයේ සාක්ෂිකරුවන් ලෙස මනාලයාගේ පාර්ශ්වයෙන් නාමල්ගේ යෝගා ගුරු නන්ද සිරිවර්ධන අත්සන් කළ අතර මනාලියගේ  පාර්ශ්වය වෙනුවෙන් ඇයගේ පියා තිලක් වීරසිංහ සාක්ෂියට අත්සන් තැබීය. මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියේ දෙපාර්ශවයේ ඥාතීන් පමණි. අනතුරැව කොළඹදී දිවා භෝජන සංග්‍රහයක් ඥාතීන් උදෙසා පමණක් පැවතුණි. ඉන්පසු නාමල් ලිමිනි යුවල විශේෂ හෙලිකොප්ටර යානයකින් තංගල්ල බලාපිටත්ව ගිය අතර වීරකැටිය කාල්ටන් උද්‍යානයේ පැවති පළමු දින රාත්‍රී සාදය සඳහා ආරාධිතයෝ 2500ක් ඇරයුම් ලබා සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ආරාධිතයෝ අතර වූහ. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්, පවුලේ හිතවතුන්, ඥාතීන්, මාධ්‍යවේදීන්, කලාකරැවන් හා ව්‍යාපාරිකයන් ද ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන්ද ඒ අතර වූහ. අමුත්තන් පැමිණීම නිසා මාතර සිට වීරකැටිය දක්වා මහ මඟ අධික රථ වාහන තදබදයක් ඇතිව තිබූ හෙයින් පැය 1 ½ක් එකම තැන රථ නවත්වාගෙන සිටීමට සිදුව තිබිණි. රාජපක්ෂ පවුලේ සියලුම සහෝදරයන් සාදය සඳහා පැමිණි සිටි පිරිස් සමඟ සුහද කතාබහේ නිරත වෙමින් පිළිගත්හ. ගෝඨාභය රාජපක්ෂ මහතා මේසයෙන් මේසය වෙත යමින් සියලුදෙනා සමඟ කතාබහ කරනු පෙනිණි. රාජපක්ෂලා දැඩි ලෙස විවේචනය කරන කුමාර වෙල්ගම මහතා සහ එම මහත්මිය ද පැමිණ සිටි අතර වෙල්ගම මන්ත්‍රීවරයා වෙත රාජපක්ෂවරුන්ගෙන් උසස් පිළිගැනීමක් ලැබිණි. හම්බන්තොට ෂැංග්‍රිල්ලා හෝටලයෙන් දේශීය ක්‍රමයට හා විදේශීය ක්‍රමයට සැකසූ අහාරපාන සපයා තිබූ අතර පැවතී තදබදය නිසා මධ්‍යම රාත්‍රිය දක්වාම අමුත්තන් පැමිණුනි.

නාමල්ගේ විවාහය නමිත්තෙන් දෙවන දින සාදය පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් වෙනුවෙන් වෙන් කැරිණි. ඒ සඳහා ද තුන්දාහකට අධික පිරිසක් ඇරුයුම් ලබා ඇතැයි කියැවේ. ලබන 17 දා දෙවැනි ගමන වෙනුවෙන් සාදය පැවැත්වෙන්නේ ගල්කිස්ස මහ හෝටලයේදීය. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ද ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන දේව්ගවුඩා මහතා, මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ඇතුළු මන්ත්‍රීන් 10 දෙනෙක් පමණ ද මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන්, කතානායකවරයා, උප ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන්ද පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක මන්ත්‍රීන් හා විපක්ෂ නායකවරු ද එංගලන්තයේ හිටපු විදේශ සංවර්ධන අමාත්‍යවරයා සහ නේස්බි සාමිවරයා ද මෙරට ඉහළම පෙළේ ව්‍යාපාරිකයන් රාශියක් ද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් ද ඇරුයුම් ලබාසිටිති.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ්හකීම් මහතාගේ දියණිය නීතිඥ සේතුන් හකීම් මෙනවියගේ විවාහය සිදුවූයේද නාමල්ගේ විවාහ සිදුවූ දිනයේමය. සේතුන්ගේ අතගත්තේ ප්‍රකට ව්‍යාපාරික පවුලක් වන මරික්කාර් බාවා පවුලේ තරුණ ව්‍යාපාරිකයකු වන රායිඩ් මහතාය. කොළඹ විශාඛා විද්‍යාලයේ හෝඩිය පංතියේ සිට උසස් පෙළ දක්වා උගත් තරුණ සේතුන්ගේ විවාහ උත්සවය නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සජිත් ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරු රැසක් ද පැමිණි සිටියහ. මෙම සාදයේ කාගේත් අවධානයට ලක්වූ විශේෂ සිදුවීම වූයේ අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට එකම මේසයක අසුන් පනවා තිබුණද අගමැතිවරයා ජනාධිපතිවරයාගේ මේසයේ අසුන් නොගෙන එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් සහ දෙමළ සන්ධාන නායකයන් අසුන් ගත් මේසයක අසුන් ගැනීමයි. අමාත්‍ය සජිත් පසුව පැමිණ ජනාධිපතිවරයා සමඟ පිළිසඳරේ යෙදෙනු පෙනිණි. රවුෆ් හකීම් මහතා සහ එම මහත්මිය පැමිණ සිටි අමුත්තන් වෙනුවෙන් ඉතා රසවත් බුරියානි සංග්‍රහයක් පිරිනැමූහ.

එජාපයේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාගැනීම ගැන පවත්නා ගැටලු සහගත තත්ත්වය ගැන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ද සාකච්ඡා වට ගණනාවක් සංවිධානය කර තිබිණි. සාකච්ඡා සාර්ථක බවත් අගමැතිතුමා සුළු පක්ෂ හා සජිත් ඇතුළු පාර්ශව කැඳවා ඔහුට අපේක්ෂකත්වය ලබාදෙනු ඇති බවත් සජිත් හිතවාදිහු කියති. එහෙත් රනිල් පාර්ශවය එම තොරතුරු සනාථ කරන්නේ නැත. ඔවුන් කියන්නේ කෘත්‍යාධිකාරියේ බහුතරය එජාප අපේක්ෂකයා තෝරාගනු ඇති බවයි. නමුත් අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර සිකුරාදා කීවේ සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය සති අන්තයේ බොහෝවිට තීන්දු කිරීමට ඉඩ ඇති බවකි.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00