මැදමුලෙන් පිංකමට මැ:කෝ ගෙන් පොල්ලක්!
ජ.වි.පෙ. බිමල් රත්නායකගෙන් එජාපයේ අනාගතය ගැන අනාවැකියක්
සජිත් ගෝඨා දෙදෙනාම නුවර අර්ල්ගේ හෝටල්වල
දෙමළ සන්ධාන සහය සජිත්ට
සජිත්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ කරුණුවලට විග්නේෂ්වරන්ගේ විරෝධය
ඇමෙරිකානු ගිවිසුම රටට අහිතකර නැතැයි චම්පිකගෙන් ප්‍රකාශයක්
සති කිහිපයක් විදේශ ගතව සිටි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය පැමිණියේ නව දේශපාලන ව්‍යාපෘතියකට සූදානමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන පොහොට්ටුවට සහය දීමට ගත් තීන්දුවට විරෝධය පළකළ චන්ද්‍රිකා “අපි ශ්‍රී ලංකා” නම් සංවිධානය හරහා සජිත් ප්‍රේමදාස එ.ජා.ප අපේක්ෂකයා සමඟ සන්ධාන ගත වූයේ ටාජ් සමූද්‍රා හෝටලයේ පැවති චාම් උත්සවයකදීය. එජාප නායක රනිල් මෙන්ම සජිත් ද ඊට සහභාගී වූහ.
එම සන්ධාන ගතවීමෙන් පසුව පසුගිය 5දා තමාගේ හිතවත් ශ්‍රීලනිප පාක්ෂිකයන් සමඟ කොළඹදී සමුළුවක් පවත්වා තමන්ගේ මතය ජනගත කිරීමට චන්ද්‍රිකා ක්රියාකළාය. ඇය සමඟ එක්ව සිටියේ පසුගිය කාලයේ ශ්‍රීලනිප පොහොට්ටු හවුලට එරෙහිව සටන් කළ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්රමුඛ ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා හිතවාදීන් ටික දෙනෙකි. මෙහිදී කුමාර වෙල්ගම හා චන්ද්‍රිකා මැතිනිය කීවේ රාජපක්ෂලාගේ ජයග්‍රහණය ශ්‍රීලනිපයේ අවසානය බවය.
මෙම හමුව පැවැත්වීමට පෙර චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිප නායකයා ලෙස අමතමින් විශේෂ ලිපියක් ලියුවේය. එමගින් ඇය ප්‍රකාශ කළේ ශ්‍රී.ල.නි.ප. පොහොට්ටු සන්ධානය මගින් පක්ෂය පාවාදී ඇති බවත් තමන් එයට තරයේම විරැද්ධ බවත්ය. ඒ අතර ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ චන්ද්‍රිකා මැතිනියගේ තීන්දුව පක්ෂ මධ්‍යම කාරක සභා තීරණයට පටහැනි බවය. එබැවින් ඇයගෙන් නිදහසට කරුණු විමසන වගත් අවසානයේ චන්ද්‍රිකා මැතිනියට එරෙහිව විනය පියවර ගැනීමට සිදුවන බවත් කීය.
චන්ද්‍රිකාගේ නව දේශපාලන මතවාදය ගැන විජේරාම මාවත නිල නිවසේ පැවති පක්ෂ නායකයන් හෝ සුහද හමුවකදී ගිය අඟහරැවදා මුල්වරට මහින්ද රාජපක්ෂ මහතා කරුණු දැක්වීය. “ඒක ගණන් ගත යුත්තක් නොවෙයි. එතුමියගේ පියා අපේ පියාලා එක්ක යූ.ඇන්.පී.යට විරෝධය පළ කරල එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුව.. අපි කාගෙත් මුල් තියෙන්නෙ එතන. එතකොට මෛත්‍රී ජනාධිපතිතුමා එක්ක අපි සන්ධාන ගතවීම වැරදි වෙන්නෙ කොහොමද? එයායි තමන්ගෙ පියාගේ ප්‍රතිපත්තියට පයින් ගහලා තිබෙන්නේ. ඡන්ද පදනමක්වත් නැති එයාට යූ.ඇන්.පීය එක්ක එකතුවෙන්න පුළුවන්. අපි යූ.ඇන්.පී විරෝධී කඳවුර හැටියට එකතුවීම වැරදියි..” මහින්ද තමන්ගේ විග්‍රහය හමාර කරමින් කීය.
දෙමළ පනත සන්ධානයේ ප්‍රධානතම හවුල් කාර පක්ෂය වන මාවෙයි සේනාධිරාජා නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන බව ප්‍රකාශ කළේ ගිය සති අන්තයේය. තීරණය ගන්නට පෙර ඔවුන් උතුරට පැමිණ සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණි. ආර්. සම්පන්දන් හා එම්.ඒ. සුමන්තිරන් මෙන්ම සේනාධිරාජා මන්ත්‍රීවරු එම කතාබහට එක්වූහ. එහිදී සුමන්තිරන් මහතා පෙන්වාදී තිබුණේ තමන්ගේ පක්ෂ තීන්දුව ලබන 10දාට පසුව ප්‍රකාශ කරන්නට සූදානමින් සිටින වගයි. එසේ කරන්නේ දකුණේ ඡන්දවලට එමගින් බලපෑමක් එල්ල වෙතැයි අපේක්ෂා කරන නිසා යැයිද ඔහු රනිල්ට කීය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට එකඟනොවී ඉතා ඉක්මනින් ඔවුන්ගේ පක්ෂයේ මතය රටට කියන්නැයි පැවසීය. ඒ තීරණය අනුව සම්පන්දන්, සුමන්තිරන් සේනාධිරාජා ඇතුළු මැති ඇමැතින් වව්නියාවට රැස්ව සජිත්ට සහය පළකිරීමේ තීන්දුව ප්‍රකාශ කළෝය. එහෙත් එම හමුව පැවති හෝටලය ඉදිරිපිටට පැමිණි යුද්ධයෙන් අතුරුදන් වූ දරුවන්ගේ මව්වරුන් පිරිසක් සම්පන්දන්, සුමන්තිරන් හා සේනාධිරාජාට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් සම්පන්දන්ලා රැගත් වාහන ඒ ස්ථානයෙන් පිටතට යද්දී සෙරෙප්පු ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබිණි.
මෙම හමුවෙන් පසු ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහය සජිත්ට ලබාගන්නට මෙහෙයුමක් දියත් කැරිණි. එයද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද්දකි. ගිය 4දා රනිල් අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් කැඳවීය. ඊට ටෙලෝ නායක සෙල්වම් අඩෛකලනාදන් හා ප්ලොට් නායක ඩී. සිද්ධාර්ථන් යන මහත්වරැ එක්වූහ. මෙහිදී උතුරේ නායකයන් කීවේ පසුගිය ඡන්දයේදීත් පොරොන්දු වූ නව ව්‍යවස්ථාව තවමත් කරගන්නට බැරිවීම නිසා දෙමළ ජනතාව සැකයෙන් පසුවන වගය. එහිදී රනිල් කීවේ ජේ.ආර්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා හිටපු ජනාධිපතිවරුන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව සකස් කළ ලේඛන කරන ලද ප්‍රකාශ පදනම් කරගෙන අලුත් ව්‍යවස්ථාවක් සජිත් රජය යටතේ ගෙනඒමට සූදානම්ය කියායි. මේ ගැනත් උතුරේ ජනතාවට බලපාන තවත් ප්‍රශ්න කිහිපයක් ගැනත් දෙපක්ෂය සාකච්ඡා කළේය. දින දෙක තුනක් තුළ මෙම පක්ෂ දෙක තමන් ජනාධිපති වරණයේදී සහාය දෙන්නේ කාටද යන්න සඳහන් කරන බව කීය. අප වෙත ලැබුණ නවතම වාර්තා අනුව එම පක්ෂ දෙකද සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට නියමිතය.
කෙසේ වෙතත් උතුරේ තවත් පාර්ශ්ව තුනක් (ඩග්ලස් දේවානන්ද හැර) සජිත්ට එරෙහිව මත ප්‍රකාශ කර තිබේ. ඉන් පළමු වැන්නා ජනාධිපති අපේක්ෂක සිවාජිලිංගම්ය. ඔහු මෙතෙක් සභාපතිත්වය දැරූ ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව සජිත්ට හා ගෝඨාට එරෙහිව සටන් වදින බව කීය. එසේම ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂය කියන්නේ කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදිය යුතු බවයි. ඊටත් වඩා ප්‍රබල දේශපාලන බෝම්බය පත්තු කළේ උතුරේ හිටපු මහ ඇමැති දෙමළ මහජන සභාවේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතාය. ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් සමහර අංග උතුරට දෙමළ බසින් එක් ආකාරයකටත් දකුණට සිංහල බසින් තවත් ආකාරයකටත් කියා ඇතැයි ප්රකාශනයක් නිකුත් කරමින් චෝදනා නැගීය. දකුණට ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස හඳුන්වන සජිත් උතුරට මෙරට එක්සත් රටක් යැයි කියා තිබෙන වග පෙන්වා දුන්නේය. ඒකීය හා එක්සත් වචන දෙකම සමාන්තර වචන නම් එක්සත් ජාතික පක්ෂය ද ඒකීය ජාතික පක්ෂ ලෙස නම් නොකරන්නේ මන්දැයි විග්නේෂ්වරන් මහතා ප්‍රශ්න කළේය. මෙය තමන් කිසිසේත්ම නොපිළිගන්නා අනුමත නොකරන තත්ත්වයක් යැයි ඔහු පැවසීය. ඒ සමඟ විග්නේෂ්වරන් හිතවාදීන් ද බොහෝ දුරට දකුණේ නායකයන් වෙනුවෙන් ඡන්දය භාවිත නොකරන්නට ඉඩ ඇතැයි කියැවිණි. මෙයට සතියකට පෙර හිටපු මහ ඇමැතිවරයා කියා තිබුණේ දකුණේ සිංහල නායකයන්ට ඡන්දය දීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.
ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් මේ දිනවල දහවල් කාලයේ ජනරැලි ඇමතීමටත් උදෑසන හා රාත්‍රී කාලයේ විද්වත් වෘත්තිකයන් හා විවිධ සමාජ සංවිධාන මුණගැසීමටත් කාලය වෙන්කර ඇත. වෛද්‍යවරු - ජ්‍යෙතිෂවේදීන් - ටියුෂන් ගුරවරු ආදී විවිධ සමාජ කණ්ඩායම්වලට ගෝඨාභය විස්තර කළේ තමන්ගේ දේශපාලන ප්රතිපත්තියයි. ඒ අතර දිවයිනේ විද්වත් වෘත්තිකයන් හෝ සංවිධාන ගණනාවක්ම සිදුකළ ජනමත සමීක්ෂණ වාර්තා දෙකක් ද මේ සතියේ මහින්දට හා ගෝඨාභයට ලැබිණි. ඒවා ගැන දැඩි අවධානයක් යොමුකළ මේ දෙදෙනා ඉදිරි සතිය තුළ ප්රචාරක ව්‍යාපාරයේ කළයුතු වෙනස්කම් දෙකතුනක් ගැනද එකඟ වූ බව දැනගන්නට ඇත. සජිත් ප්‍රේමදාස යෝජනා කරන ලද සනීපාරක්ෂක තුවා සැපයීමේ කතාව ඡන්ද වේදිකාවේ විවේචනය නොකරන ලෙසද මහින්ද සිය හිතවතුන්ට අවවාද කළේය.
ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව ගිය අඟහරුවාදා සන්ධ්‍යාවේ රැස්විය. ඊට පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතා ද එක්විය. රැස්වීමේදී ප්‍රධාන වශයෙන්ම කතාබහ කළේ චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණ අපි ශ්‍රී ලංකා නම් විකල්ප සමුළුව ගැනයි. මෙයට ආසන සංවිධායකයන් කිහිපදෙනකු සහභාගි වූ බව දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා කීය. ඒ අය නියෝජනය කරන ආසනවලට වැඩ බලන ආසන සංවිධාකයන් පත්කරන්නට ජනාධිපතිවරයාගේ අනුමැතිය මත යෝජනා කැරිණි. එහෙත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියගේ පක්ෂ සාමාජිකත්වයෙන් අනුශාසන ධුරය ගැන කිසිවක් සාක්ච්ඡා නොවීය. පොහොට්ටු ශ්‍රීලනිප සංධානයට එරෙහිව චන්ද්‍රිකා මැතිනිය විසින් ලියන ලද ලිපියකට මධ්‍යමකාරක සභාවේ අනුමැතිය මත උත්තර සැපයීමට ද යෝජනා විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා පක්ෂය උපරිම කැපවීමෙන් ක්‍රියාකළ යුතුයැයි පෙන්වාදුන් අතර ඒ සඳහා ජනහමු කිහිපයක් පැවැත්වෙන්නේ යැයි ද කීය. මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එහි ආරම්භක රැලිය ලබන සතියේ නුගේගොඩදී පැවැත්වෙන්නේ යැයිද සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කීය.
රජය විසින් අත්සන් කරන්නට යනවා යැයි කියන මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව සෑම අතින්ම විරෝධතා මතුවී ඇත. මේ සතියේ ගිවිසුම අත්සන් කරන්නට යනවා නම් එය නවත්වන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිඛිතවම දැන්වීය. තවත් පාර්ශ්ව ගණනාවක් ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් පවරා ඇත.
මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මාරාන්තික උපවාසයක යෙදුණු ජනප්‍රිය ධර්මකථික උඩුදුම්බර කාශ්‍යප හිමියෝ නිදහස් මන්දිරයේදී ගිය අඟහරුවාදායින් උපවාසය ආරම්භ කළහ. උන්වහන්සේ වෙත සහාය පළකරන්නට තවත් ප්‍රධාන පෙළේ භික්ෂු සංවිධාන ගණනක නායකයන්ද මාලනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රවීන්ද්‍ර රන්දෙණිය ආදී කලාකරුවන් ද එහි ගොස් තිබිණි. කෙසේ වෙතත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ උපවාසය ගැන ස්වකීය ට්විටර් ගිණුමේ සටහන් තබමින් කීවේ මෙහිදී කුලී උපවාසකරුවන් ලෙමන් පෆ් ගබඩා කරන්නට අවශ්‍ය නැති බවය. උපවාස කරන්නන් ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් යැයිද මංගල සමරවීර කීය.
අමාත්‍ය සමරවීර එසේ කියූවද සජිත් ප්‍රේමදාස ඇතුළු එජාප ප්‍රධානීන්ට මෙය තදින් දැනී තිබිණි. ඒ අනුව සජිත් උඩදුම්බර හිමියන්ට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ මේ ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන බවයි. එයට සම්මත කරන්නේ පාර්ලිමේන්තු අනුමැතියෙන් පසුව බවත් සජිත් ලියූ ලිපියේ සඳහන් විය. ඒ සමඟ මාධ්‍ය හමුවක් තැබූ අමාත්‍ය චම්පික රණවක කීවේ ද ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් නොකරන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිවිසුමට විරුද්ධව පවරා තිබෙන නඩු ආදිය ද හමාරවූ පසු පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව ගිවිසුම අත්සන් කරන්නට යෝජිත යැයි චම්පික පැවසීය. ගිවිසුමට නීතිපති උපදෙස් ලැබී ඇති අතර කඩිමුඩියේ එය අත්සන් කරන්නේ නැතැයි කී චම්පික පොහොට්ටුවේ පිරිස් කියන ලෙස මේ ගිවිසුම රටට අහිත කර නොවේයැයි පෙන්වා දුන්නේය. ජාතික ආර්ථිකයේ සංවර්ධනයට එයින් ලැබෙන මුදල් යොදවන වග ඔහු ප්‍රකාශ කළේය. ඒ සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාද කාශ්‍යප හිමියන්ට ලිපියක් ලියුවේය. එහි සඳහන් වූයේ. වත්මන් පාලකයන් අත්සන් කළ රටට අහිතකර සියලුම ගිවිසුම් නැවත සලකා බලන බවය. ඒ නිසා කිසිම බියක් ඇති කර නොගන්නා ලෙස ඉල්ලු ගෝඨාභය මහතා උපවාසය හමාර කරන ලෙස කාශ්‍යප හිමියන්ගෙන් ඉල්ලීය.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තෝරාගත් නගර ගණනාවක ජනරැලිවලට සහභාගී වෙමින් සිටී. පසුගියදා ගාල්ලේ පවත් වන ලද ජනහමුවකදී අනුර සඳහන් කළේ රට වෙනස් කරන්නට ඔබ වෙනස් විය යුතුය කියායි. ඒ අතරතුර විදේශ ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ඔහු මුණගැසී අනුරට සහය පළකළෝය. අනුර දිසානායක මහතා වෙනුවෙන් මේ සතියේ මාධ්‍ය හමුවක් තැබූ බිමල් රත්නායක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජයගන්නට ඉඩ ඇතිබවයි. එසේම එකී ජයග්රහණයෙන් අනතුරුව එජාපයේ මන්ත්‍රින් පනහක් හැටක් පමණ පොහොට්ටුවට යනු ඇතැයි මාධ්‍ය ඔස්සේ බිමල් කළ ප්‍රකාශයේ දැක්විණි. මේ බව තමන්ට කීවේ එජාපයේ ප්‍රබලම අමාත්‍යවරයෙක් යැයි පැවසූ බිමල් දැනටත් සමහර මන්ත්‍රීන් රඳවාගෙන සිටින්නේ ඔවුන්ට නොයෙක් වරප්‍රසාද ලබාදී යැයි ද කීය. සාමාන්‍යයෙන් ජවිපෙ මන්ත්‍රීන් මැතිවරණ පරිසරයක මෙවන් ප්‍රකාශ කිරීම විරල දෙයකි. කෙසේ නමුත් බිමල්ගේ කතාවට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ ප්‍රතිචාර පළවී තිබිණි.
කෙසේ හෝ අනුර දිසානායක හැරුණුකොට මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ ප්‍රබල ලෙස නිරතවන්නේ මහේෂ් සේනානායක මහතා පමණි. රොහාන් පල්ලේවත්ත මහතාද, සිරිතුංග ජයසූරිය මහතා ද කුඩා හමුවීම් කිහිපයක දක්නට ලැබිණි. කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේ ප්‍රධාන අපේක්ෂකයන්ට මුක්කු ගසන අපේක්ෂකයන් 13 දෙනකු ඡන්ද සටනට එක්ව ඇත කියායි.
හිටපු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන හා පොහොට්ටු මන්ත්‍රි ලොහාන් රත්වත්ත අතර ඇතිවුණ දුරකතන සංවාදයක කතාව සෑහෙන දුරට ප්‍රචාරය වී තිබේ. ඒ කතාවේදී සජිත් ද වාස් කියන්නේ තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් රාජපක්ෂවරුන්ගෙන් තර්ජනයක් ඇවිත් තිබෙන බවයි. තමන් ඒ තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්න සූදානම් බවත් මේ ගැන තවත් හෙළිදරව් කිරීම් කරන බවත් සජින් ලොහාන්ට කීය. කලක් මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වූ සජින් ලොහාන්ගේ ද මිතුරෙකි. ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්දලාගෙන් ඉවත්ව සිටි ඔහු නැවතත් රාජපක්ෂ කඳවුරට එක්වීමට උත්සාහ කොට ඇතත් එය සාර්ථක නොවූ බව මහින්ද පාර්ශ්වය කියයි. අනතුරුව ඔහු එජාප වේදිකාවට ගොඩවිය. කෙසේහෝ සජින් රාජපක්ෂලා වෙත ඉදිරි පත්කළ චෝදනාවලට පිළිතුරු නොදිය යුතු යැයි බොහෝ පිරිස් මහින්දලාට කීහ. එහෙත් මහින්දානන්ද හා රෝහිත අබේගුණවර්ධන මෙයට යම් යම් උත්තර දී තිබූ වග සඳහන්ය.
සාමකාමී මැතිවරණ පරිසරයේ සන්සුන් බව බිඳිමින් ප්‍රකාශ වූ අමුතු ට්විටර් පණ්වුඩයක් ගැන මාධ්‍ය වාර්තා පළවිය. එම ට්ව්ටර් පණිවුඩ ලැබී තිබුණේ එජාපයේ එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ටය. ඒ සමඟ මේ ගැන එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසම වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබිණි. එහි සඳහන් වූයේ එම පණිවුඩය නිකුත් කළ තැනැත්තා වහා ආරක්ෂක මණ්ඩලය කැඳවා මේ ගැන පියවරගන්නා ලෙස ඉල්ලා තිබූ බවය. එබැවින් මේ ගැන විමර්ශනයක් කරන්නයි අමාත්‍ය එරාන් සඳහන් කර ඇත. පාස්කු බෝම්බ ප්රහාරයේදීත් ඒ ගැන සිය පියාට මෙබඳුම ආරංචියක් ලැබුණ බව හරීන් ප්‍රනාන්දු මහතා පසුව මාධ්‍යයට කළ ප්රකාශනයක් මහත් ආන්දෝලනයට ලක්විය.
පක්ෂ මාරු කතාව යටගොස් තිබුණද නැවතත් මේ සතියේ එය කරළියට පැමිණ තිබේ. පළමුව පක්ෂය මාරු කරන්නේ වසන්ත සේනානායක මහතා බව වාර්තා විය. ඔහු පසුගිය සති කිහිපයේම එජාපය සමඟ මත ගැටුමක පැටලී සිටියේය. ඔහු පොළොන්නරුවේ පැවති ජනහමුවේදී පොහොට්ටුව වේදිකාවට එන බව සඳහන් වුණි. ඒ අතර තවත් අමාත්‍යවරුන් දෙතුන් දෙනෙක් ගැනත් කතා පැතිරෙන්නට පටන් ගත්තේ ඡන්දයේ අවසන් සතියට එළඹීමත් සමඟය. යට සඳහන් කරන ලද බිමල් රත්නායක මන්ත්‍රීවරයාගේ කතාවෙන් ද මෙම කතා ප්රචාරයට තල්ලුවක් ලැබිණි. ඒ අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වය වෙනුවෙන් ද පොහොට්ටු මන්ත්‍රීවරයකු දෙන්නකු බාගැනීමේ උත්සාහයක් දියත්කර ඇත. ඒ ගැන සාකච්ඡා කර ඇතැයි ඔවුන් කියන සැබෑ තත්ත්වය කුමක්ද යන්න පැහැදිලි නැත.
සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරු වේදිකාවල දිනකට ඡන්ද රැස්වීම් හය හත අමතමින් වෙහෙසකර මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක යෙදී සිටිති. පසුගිය සතියේ මහනුවර පළාතේ පැවති රැස්වීම් ගණනාවකට මේ දෙදෙනා එක්ව සිටියහ. ඔවුන් රාත්‍රී කාලයේ නවාතැන් ගත්තේ එකම සමාගමකට අයත් එක ළඟ පිහිටි හෝටල් දෙකකය. මේ හෝටල් දෙකම අයිති හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකරටයි. අර්ල්ගේ අර්ල්ස්රිජන්සි හෝටලයේ ගෝඨාභය සහ ආරක්ෂකයන් නතරවූ අතර අර්ල්ට අයත් රිජන්සි හෝටලයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස රුඳී සිටියහ. අර්ල් ගුණසේකර මේ දෙදෙනාටම ඉහළම සත්කාර සම්මාන කරමින් අවශ්‍ය පහසුකම් සැපයූ නමුත් සජිත්ගෙන් ගෝඨා දෙදෙනාම තමන් මේ හෝටල්වල නවාතැන් ගත් බව දැන සිටියේ නැත.
ජනාධිපති මැතිවරණ පසුබිමේ තවත් කදිම සිද්ධියක් වාර්තා විය. ඒ මැදමුලනෙනි. මහින්ද ගෝඨා ඇතුළු රාජපක්ෂවරුන්ගේ පියා සහ මව සිහිවීම සඳහා වාර්ෂිකව සිදු කරන පිරිත් සහ දානමය පින්කම 53 වැනි වරටත් පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා මැදමුලන රාජපක්ෂවරුන්ගේ මහගෙදර දී පවත්වන්නට සියල්ල සැලසුම් කර තිබිණි. මහින්ද - චමල් - බැසිල් - ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ සහෝදර සහෝදරියන් ද ඊට එක්වීමට නියමිතව සිටියහ. එහෙත් පින්කමට පැය කිහිපයකට පෙර හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා මැදමුලන නිවෙසට දන්වා තිබුණේ මෙම පින්කම දේශපාලන ප්‍රවර්ධන කටයුත්තක් විය හැකි බැවින් එය නතර කරන හැටියටයි. පණිවුඩය ලැබී තිබුණේ මැදමුලන නිවෙසේ ප්‍රධානියා වන චමල් රාජපක්ෂ මහතාටයි.
අනතුරැව මේ ගැන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කෙරිණි. මේ නියෝගය ගැන මහින්දට හොඳටම කේන්ති ගිය අතර ඔහු වහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අමතා කීවේ මෙය සාධාරණ නියෝගයක් නොවන බවයි. වසර පනස් ගණනක් තම මව්පියන් වෙනුවෙන් පැවැත්වූ පිරිත් සහ දානමය පින්කම කිසිසේත්ම දේශපාලන කටයුත්තක් නොවන බවත් එය පවුලේ පෞද්ගලික ආගමික කටයුත්තක් බවත් කීය. තමන්ට දැන් එය නතර කරන්නට කීම කිසිම නීතියකට එකඟ නැතැයි ද ඔහු දැඩි ලෙස කීය. එවිට මඳ වේලාවක් ඉල්ලාගත් මැතිවරණ ප්‍රධානියා එම නියෝගය ඉවත් කරන බව විපක්ෂ නායකවරයාට දැන්වූ අතර එය හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ද පැවසීය.
එස්.බී. දිසානායක හිටපු අමාත්‍යවරයාගේ ගමනක් ගිනිගත්හේනේ දී අවහිර කළ පිරිසකට ආරක්ෂකයන් විසින් වෙඩි තැබීම ආන්දෝලනාත්මක සිද්ධියක් විය. මෙය දැනගත් වහාම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගැන සැබෑ තොරතුරැ විමසා බැලූ අතර වහාම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නැයි සඳහන් කරමින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය. මේ ගැන මහින්ද රාජපක්ෂ මහතා ද එස්.බී. ට දොස් නැගූ අතර ඉන් පසු මාධ්‍ය හමුවක් කැඳවූ එස්.බී. දිසානායක තමන්ගේ ආරක්ෂක නිලධාරීන් අතින් වූ සිද්ධිය ගැන දැඩි ලෙස කනගාටු වන බවත් එම නිලධාරින් ගැන නීතිය ක්‍රියාත්මක කරන වගත් පැවසීය.
එ.ජා.ප. ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති ධූරයට පත් වුවහොත් අගමැතිවරයා තෝරාගන්නා අන්දම පැහැදිලි කළේය. ඒ අනුව මැතිසබයේ බහුතරය දිනාගන්නා තැනැත්තා අගමැති ලෙස පත් කරන බව සජිත් කීය. සජිත්ගේ ප්‍රකාශයෙන් පසු පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ දැනටමත් පක්ෂ මන්ත්‍රී බහුතරය අගමැති රනිල් සතු බවත් ඒ අනුව අගමැති තේරීම ප්‍රශ්නයක් නොවන වගත්ය. කෙසේ වෙතත් එ.ජා.ප. හිතවාදී වෙබ්අඩවි ගණනාවක් වාර්තා කර තිබුණේ සජිත් ජනපති වුවහොත් අගමැති ධූරයට චම්පික රණවක මහතා පත්වීමට ද ඉඩ ඇති බවයි. ඒ අනුව දැන් සජිත් සිය අගමැතිවරයා තෝරාගන්නා අන්දම ද ආරක්ෂක ඇමැති ලෙස සරත් ෆොන්සේකා තෝරාගන්නා අන්දම ද කියා ඇත. පොහොට්ටුව ජයගත හොත් මහින්ද රාජපක්ෂ අගමැති කරන්නේ යැයි කල් තබාම කීය.
ජනාධිපතිවරණයේ අවසන් සතියට එලැඹීමත් සමඟ ජනාධිපති මෛත්‍රී සිය ධූරයෙන් සමුගැනීමට සැරසෙයි. ඒ වෙනුවෙන් ලබන 14දා ජනාධිපති මන්දිරයේ උත්සවයක් පැවැත්වෙන අතර එහිදී සිය කාර්ය මණ්ඩලයට දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමේ. ඔහුගේ අවසන් කැබිනට් හමුව මෙම බදාදා පැවැත්වෙනු ඇති බවද වාර්තා විය.
► ප්‍රකාශ ඉරුගල් බණ්ඩාර