ගෝඨාභය හා නයිජීරියා ජනපතිගේ පැරණි සබඳතා ඉන්දියාවේදී හෙළිවෙයි
රන්ජිත් සොයිසාගේමන්ත්‍රී පදවිය පිරවීමඅර්බුදයක් වන ලකුණු
මංගල සමරවීර මහ සඟරුවන සැරට විවේචනය කරයි
විපක්ෂ නායක සජිත්
රාජපක්ෂ ආණ්ඩුව මර්දනය මුදාහරින්නේ යැයි ජ.වි.පෙන් චෝදනා
කන්තෝරු හා වාහන නොමැති ඇමැතින්ගෙන් චෝදනා පත්‍රයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථම රාජ්‍ය නිල සංචාරය සිදුවූයේ ඉන්දියාවටය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පෞද්ගලිකව කරන ලද ආරාධනය පිළිගෙන ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දියාව බලා යන ගමන සැලසුම් කළේය. මෙහිදී ඉන්දීය අගමැති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දන්වා තිබුණේ කුඩා දූත කණ්ඩායමක් සමඟ පැමිණෙන්නේ නම් සතුටු වන බවය. රජයේ ප්‍රධාන වගකීම් දරන නිලධරයන්ගේ සහභාගීත්වය ද ඇත්නම් හොඳ බව ඔවුන් දන්වා තිබිණි.
ඒ අනුව රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම නිලධාරීන් පස් දෙනාගෙන් සිව් දෙනෙක් දූත පිරිසට ඇතුළත් කරනු ලැබූහ. ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මියට ද ඇරැයුම් කර තිබූ නමුත් ජනාධිපතිවරයා අයෝමා රාජපක්ෂ මහත්මිය ද චාරිකාවට එක්කර ගත්තේ නැත. ඔහු පිටත්වන දින සාමාන්‍ය මගීන් සමඟ මගී පර්යන්තයෙන් ඇතුල්ව ගුවන් යානයට පිවිසුණේය. ගමනට පෙරදා සවස ඊට සහභාගි වන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් වන ආචාර්ය ජී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග, එස්.ආර්. ආටිගල සහ රවිනාථ ආරියසිංහ මහත්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ ජනාධිපති රාජපක්ෂ මහතා තමන්ගේ චාරිකාවේ අරමුණ සහ සැලසුම විස්තර කළේය. එහිදී දිනාගත යුතු ඉලක්ක කවරේද යන්න ද පැහැදිලි කරනු ලැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ද ගෝඨාභයගේ චාරිකාව ඉතා වැදගත් කොට සලකා සංවිධානය කළේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පරිවාර අමාත්‍යවරයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තෝරාගත්තේ මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍ය ජෙනරාල් වී.කේ. සිංය. ඊට විශේෂ හේතුවක් තිබිණි. 1973 – 1974 කාලයේ ගෝඨාභය ඉන්දියාවේ වෙලින්ටන්හි පිහිටි ‘ආමි ස්ටාෆ් කොලේජ්’හි උසස් අධ්‍යයන කටයුතු කරද්දී වී.කේ. සිං ගෝඨාගේ සමකාලීන මිතුරෙකි. පසුව ජෙනරාල් සිං ඉන්දීය හමුදාපති වූ අතර ගෝඨා ලංකාවේ ආරක්ෂක ලේකම් විය. දෙදෙනා උතුරේ යුද සමයේ පවා ඉතා සමීපව රාජකාරි කළෝය. එකල වෙලින්ටන් හමුදා විද්‍යාලයේ උගත් නයිජීරියානු හමුදා නිලධරයකු වූ ජෙනරාල් මොහොම්දු බුහාරි මහතා දැන් නයිජීරියා ජනාධිපතිවරයාය. ඔහු ද ජෙනරාල් සිං සහ ගෝඨාභයගේ සමීප මිතුරෙකි.
මේ අතීත සබඳතා නිසා ජෙනරාල් සිං ගෝඨාගේ චාරිකාවේ පරිවාර ඇමැති විය. අගමැති මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ ඇමැති ජයශංකර් ආදීන් සමඟ ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ ගෝඨාභය දෙරට අතර දේශපාලන සබඳතා තරකර ගන්නා අතර ආර්ථික ගිවිසුම් ගණනාවක් ගැන ද සාකච්ඡා කළේය. විශේෂයෙන්ම 13 වැනි සංශෝධනය අනුව අපට බලය බෙදිය හැකි උපරිම සීමාවන් ගැන ද ඉන්දියාව දැනුවත් කළේය. දෙපක්ෂය අතර හොඳ හිත තරවූ නිසා අමෙරිකානු ඩොලර් මිලියන 440ක ණය ප්‍රදානයක් අනුමත කෙරිණි.
ඉතා සරල චාම් දිවිපෙවෙතක් ගෙන යන නායකයන් දෙදෙනා වෙනුවෙන් චාරිත්‍රානුකූලව සංවිධානය කර තිබූ සියලු භෝජන සංග්‍රහ නිර්මාංශ විය. ඊට හේතුව රාජ්‍ය නායකයන් දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන්නන් නිසාය. මධුසාද කිසිවක් නොතිබිණි. මෙම චාරිකාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැත්තෙන් ජයග්‍රහණ ගණනාවක් අත්පත් කර දුන් බව චාරිකාවෙන් පසුව මාධ්‍යයට වාර්තා විය. ඉන්දීය අගමැති මෝදි මහතාට මෙරටට එන්නැයි ගෝඨාභය ජනාධිපතිවරයා කළ කාරුණික ආරාධනය ද ඔහු විසින් පිළිගනු ලැබීය.
ආණ්ඩුව බලයට පත්ව සතියක් ගතවීමෙන් පසු එල්ලවූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක් පැහැර ගත්තාය කියැවෙන චෝදනාව බරපතළ විය. කොළඹ සිටින ස්විස් තානාපති හෑන්ස් පීටර්ස් මහතාම මෙය එරට රජයටත් ශ්‍රී ලංකා රජයටත් පැමිණිලි කළේ බෙහෙවින් බරසාර කාරණා ගණනාවක් ඇතුළත් කරමිනි. ස්විස් රජය මේ ගැන වහාම නිවේදනයක් නිකුත් කළේය. මැතිවරණ පරාජයෙන් විශාල අවුලකට පත්ව සිටින එ.ජාපයට ද මෙය කදිම පුවතක් විය. ඔවුන් සතුටට පත්ව සිටියේ “පුදනකොටම කාපි යකා” වැනි උද්‍යෝග පාඨ කියමිනි. මාධ්‍ය සාකච්ඡා දෙක තුනක් මේ ගැන පැවැත්වූ එ.ජා.පය සිද්ධිය තරයේ හෙළා දුටුවේය. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද ඒ ගැන නිවේදනයක් නිකුත් කළේ ආණ්ඩුව රට තුළ භීෂණය පතුරවන්නට පටන්ගෙන ඇතැයි කියමිනි. කවදත් දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් පුවත් සොයාගන්නා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කීවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් නිවෙසක රඳවාගෙන කටට පිස්තෝලය ඔබා බියට පත්කොට ඇගෙන් ප්‍රශ්න කළ බවයි.
මෙම පුවත වාර්තා වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ගැන දැඩි අවධානයක් දැක්වීය. ආණ්ඩුව හරිහමන් ලෙස කැබිනට්ටුව පවා සංවිධානය කොට නොතිබියදී රාජ්‍ය ආයතනවල මුල් පුටු සියල්ලම වාගේ හිස්ව තිබියදී ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීම ගැන අග සිට මුලට සොයන්නට ඔහු තීන්දු කළේය.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් මේ ගැන කෙරෙන පරීක්ෂණවලට පොලිසිය සහාය ඉල්ලුවේය. සී.සී.ටී.වී. දර්ශන ද කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබාගන්නට ද අවසර පැතීය. එම කාන්තාව තානාපති කාර්යාලය තුළ අප්‍රකටව සිටි බැවින් ඇයගේ අනන්‍යතාව ද සොයාගනු නොලැබිණි. ස්විස් තානාපති අංශ නිවේදන නිකුත් කරමින් සහාය දීමෙන් තොරව සිටියදී පොලිස් පරීක්ෂකයන් යොමු වූයේ එම තානාපති කාර්යාලය ආසන්නයේ ඇති ජපාන තානාපති කාර්යාලය හා පෞද්ගලික නිවාස කිහිපයක සී.සී.ටී.වී වෙතයි. ඒ මගින් සිදුවූවා යැයි කියන සිද්ධියට අදාළ දර්ශන ලබාගත් පොලිසිය මුලින්ම තහවුරු කර ගත්තේ ඔය කියන දිනයේ අදාළ කාන්තාව සුදු වෑන් රථයකින් පැහැරගැනීම කෙසේවෙතත් ඇය ගොඩවී ඇත්තේ ‘උබර්’ වාහනයකට බවයි. ඇය කුලියට ගත් ‘උබර්’ වාහනයේ අංකය ඔස්සේ හඹා ගිය පොලිසිය එහි රියැදුරුගෙන් ප්‍රශ්න කළේය. ඔහු පොලිසියට කීවේ එදින අදාළ වාහනයේ ප්‍රැන්සිස් නම් මෙම කාන්තාව ගමන් කළේ බම්බලපිටිය පැල්මයිරා ඇවනිව් වෙත බවයි. එහි නිවෙසක ටික වේලාවක් රැඳී සිට පිටවී ආ බවද ඇය ආ ගිය තැන් ගැන ද රියැදුරා පොලිසියට කරුණු දැන්වීය. ඉන්පසුව සිදුවූ සියලු දේ ගැන තොරතුරු දැන් පොලිසිය සතුය.
පොලිසියට වාර්තා වී තිබූ ආකාරයට ඇය මෙම පැහැර ගැනීමට ලක්වූවා යැයි කී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය පැත්තේ තොරතුරු ද එක්රැස් කොට අවසානයේ එහි පාලක මණ්ඩලයෙන් ස්විස් තානාපති කාර්යාලයේ වැඩ කරන කාන්තාවගේ දරුවා ගැන තොරතුරු ලබාගෙන එම කාන්තාව කවුද? ඇය පදිංචි කොහිද යන්න විමසා බැලීය. එවිට ඇය මාලිගාකන්දේ වාසය කරන බවත් සැමියා බැංකු නිලධරයකු බවත් හඳුනාගනු ලැබීය. ඒ ඔස්සේ තවත් බොහෝ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබිණ. අනතුරැව මේ ගැන අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කර විස්තර ලබාගත යුතු යැයි පොලිසිය ස්විස් තානාපති අංශයට දැන්වීය. ඒ ගැන විදේශ අමාත්‍යංශය ද කරැණු දක්වමින් විශේෂ නිවේදනයක් නිකුත් කළේ තානාපති කාර්යාලය මේ ගැන ලබාදුන් තොරතුරු පරස්පර බව කියමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් මෙම පරීක්ෂණ සඳහා පෞද්ගලිකවම නියෝග නිකුත් කර තිබිණි. ගෝඨාභය ජනාධිපතිවරයා ඒ ගැන නිරන්තරයෙන් වාර්තා ලබා ගත්තේය. ඒ අතර ස්විස් තානාපති අංශය මෙම කාන්තාව ගැන ඇයගේ පවුලේ අය පොලිස් පරීක්ෂණවලට ඉදිරිපත් නොකර විශේෂ ගුවන් යානයකින් ස්විට්සර්ලන්තය බලා පිටත් කිරීමට රජයෙන් අවසර පැතීය. එම ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කළේ නව රජයට මේ නිසා බරපතළ චෝදනාවක් එල්ල වී ඇති බැවින් පරීක්ෂණය හමාර නොකර ඇය විදේශගත නොකරන්නැයි කියමිනි. ඒ අතරතුර රහස් පොලිසිය නීතිපති උපදෙස් ලබාගෙන මහේස්ත්‍රාත් අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කළේය. මහේස්ත්‍රාත් අධිකරණය මෙම කාන්තාවට නියම කළේ වහාම පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසය. ඒ දක්වා ඇය විදේශගත වීමද තහනම් කෙරිණි.
මේ ගැන ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් මාධ්‍ය හමු පවත්වමින් කියා තිබුණේ ස්විස් තානාපති අංශ කාන්තාව පැහැරගැනීම නිර්මාණාත්මක ප්‍රබන්ධයක් බවය. ඒ අතරතුර මෙම සිද්ධිය නිර්මාණය කළ තැනැත්තන් ගැන ද රජය තොරතුරු සොයාගෙන තිබිණි. ඊට සම්බන්ධ යැයි කියන උදවිය ගැන මෙම සටහන ලියන විටත් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි වාර්තා විය.
අලුත් ආණ්ඩුව බලයට පත්ව සති දෙකක් ගතව තිබේ. මේ දිනවල රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමට අයැදුම්පත් කැඳවා ඇත. එතෙක් ආයතන පවත්වාගෙන යාමට මූලික කටයුතු සංවිධානය වෙමින් පවතී. නමුත් අලුතින් පත්වූ මැති ඇමැතින්ගෙන් ඇතැමුන්ට කාර්යාල සහ වාහන සපයා ගැනීමේදී ප්‍රශ්න මතුවී ඇත. විශේෂයෙන් ඇතැම් කැබිනට් ඇමැතිවරුන් මස් රාත්තලම ඉල්ලා සිටින තත්ත්වයකට පත්ව ඇතැයි සඳහන්ය. අමාත්‍යංශ කිහිපයක් භාරව සිටින අමාත්‍යවරු ඒ සෑම අමාත්‍යංශයක් වෙනුවෙන්ම වෙන වෙනම වාහන කාර්ය මණ්ඩල හා පහසුකම් ලබා ගනිති. ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන්ට වාහන හෝ කාර්යාල ලබා දීමටවත් ඔවුන් කාරුණික වී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වූ ජ්‍යෙෂ්ඨයන්ට පවා මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුව ඇති බව කියැවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන දෙක තුනක් පමණක් භාවිත කරමින් ලබාදුන් ආදර්ශය අමාත්‍යවරුන් විසින් ලබා දී නැති බවට චෝදනා නැගෙයි.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ඉදිරියටම පවතින බව වාර්තා විය. විපක්ෂ නායක හා පක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා පළ විය. රනිල් නායකත්වයෙන් නොයන්නේ නම් වෙනත් පක්ෂයක් නිර්මාණය කොට එමගින් මහ මැතිවරණ සටන දියත් කළ යුතු යැයි ප්‍රකාශ වී තිබිණි. එහෙත් සජිත් ප්‍රේමදාස ඇතුළු ජ්‍යෙෂ්ඨයන් එයට සතුට පළ කළේ නැත. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමු වූ රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ ප්‍රකාශ කළේ පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම අහෝසි වූයේ ආණ්ඩුවේ ඇතැමුන් බුදු දහමට එරෙහිව ක්‍රියා කළ නිසා බවය. ඒ නිසා ඉදිරි කාලයේ මැතිවරණවලදී රන්ජන් රාමනායක හා මංගල සමරවීර වැනි අයට නාමයෝජනා නොලැබෙන බවට රනිල් ඉඟි කළේය. ඉන්පසු රන්ජන් මාධ්‍යයට කියා තිබුණේ එසේ සිදුවන්නේ නම් තමන් ස්වාධීන වන බවකි. කෙසේ හෝ රන්ජන් ස්වාමින් වහන්සේලා සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කළ විට ඔහු ගැන පරීක්ෂණයක් පැවැත්වූ රන්ජිත් මද්දුමබණ්ඩාර හා තිලක් මාරපන යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් මාස ගණනකට පෙර නිර්දේශ කළේ රන්ජන් පක්ෂයෙන් ඉවත් කළ යුතුය කියාය. එහෙත් පක්ෂය එම තීන්දුව ගත්තේ නැති බව එම කමිටුවේ සිටි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී තිබිණි.
කෙසේ හෝ මුලින් රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ මේ මස පාර්ලිමේන්තුව කල් දමා ඇති බැවින් විපක්ෂ නායක ධූරය හෝ පක්ෂ නායක ධූරය ගැන නැවත මැතිසබය රැස්වන තෙක් තීන්දුවක් ගැනීම අනවශ්‍ය බවය. තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේද, එය පවරන්නේ කාටද? යන්න ගැන මහා සංඝරත්නයෙන් විමසා තීන්දු කරන්නේ යැයි ද පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගිය සඳුදා කීය. ඒ අනුව අඟහරුවාදා ඔහු තනිවම මහනුවර බලා පිටත්ව ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසුණේය.
එම සාකච්ඡාවේ ප්‍රතිඵල කුමක්දැයි නිල වශයෙන් අනාවරණය වී නැතත් මහ නාහිමිවරුන්ගේ මතය වී තිබුණේ සජිත්ටත් පක්ෂය තුළ යම් තැනක් ලැබිය යුතු බවකි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. පසුව ඔහු ප්‍රකාශ කර තිබුණේ පක්ෂයේ බෞද්ධ පදනම රැකගත හැකිවන ලෙස ප්‍රතිසංවිධානය කරන බවකි. එසේම සජිත් පක්ෂය දිනවන ප්‍රායෝගික වැඩසටහනකට අවතීර්ණ වන තෙක් තවත් කාලයක් තමන් නායකත්වය දරන වගට ද ඔහු ව්‍යංගයෙන් පැවසූ බව සඳහන්ය. බෞද්ධ නායකයකු ලෙස කරු ජයසූරිය මහතාට පක්ෂයේ ඉහළම තැනක් ලැබෙන වග ද රනිල් කියූ බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි.
කෙසේ හෝ රනිල් මහනුවරට ගියදාට පසුදා කතානායක කරු ජයසූරිය මහතා මහනුවරට ගොස් මහ නාහිමි දෙනම මුණගැසුණේය. ඔහු කළ සාකච්ඡා ගැන තොරතුරු නැතත් තමන් කතානායක ලෙස පක්ෂයේ අනාගතය උදෙසා මධ්‍යස්ථ වැඩපිළිවෙළකට සහාය දෙන්නේ යැයි කියා තිබිණි. මේ ප්‍රශ්න මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක හා පක්ෂ නායක පදවි ගැන තීන්දුවක් ගන්නට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 76 දෙනාගේ විශේෂ රැස්වීමක් ගිය බ්‍රහස්පතින්දා කැඳවීය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී වික්‍රමසිංහ මහතා ආරම්භක කතාව කරමින් පැවසුවේ පක්ෂයේ පරාජයට හේතුව බෞද්ධ ඡන්ද පදනම දුර්වල වීම බවයි. එනිසා ඊළඟ මැතිවරණයේදී පක්ෂය ශක්තිමත් කරන්නට නව ගමනක් යා යුතු යැයි ද ඔහු පෙන්වා දුන්නේය. තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කළ බවත් එහිදී සජිත් විපක්ෂ නායක ධූරය අපේක්ෂා කරන බව පැවසූ වගත් සඳහන් කළේය. ඒ අනුව තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ නම එම තනතුරට යෝජනා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා කීය. සියල්ලෝම එම යෝජනාව අනුමත කළ අතර ඉතිරි ප්‍රතිසංවිධාන සඳහා කමිටුවක් පත් කරන්නේ යැයි රනිල් වැඩිදුරටත් කීය. අනතුරුව කතා කළ රන්ජිත් මද්දුමබණ්ඩාර හා තලතා අතුකෝරළ මහත්ම මහත්මීන් කීවේ ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරිය කැඳවා මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා නම් කරන ලෙසය. ඒ සියලු තීන්දු යට කී කමිටුවෙන් ගත හැකි බව ඊට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ජනාධිපතිවරණයෙන් ඇපය පවා අහිමි කරගත් ජනතා විමුක්ති පෙරමුණ නව ආණ්ඩුව පත්වීමෙන් පසු ටික දිනක් නිහඬව සිටියේය. එහෙත් ගිය බදාදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ජ.වි.පෙ. වෙනුවෙන් කැඳවූයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතාය. එහිදී රජයට චෝදනා කළ ටිල්වින් සිල්වා රජය විරුද්ධවාදීන් බිය වද්දමින් දේශපාලන දඩයම පටන්ගෙන ඇතැයි චෝදනා නැගීය. ගැසට්ටුවක් මගින් හමුදාවට පොලිස් බලතල පැවරීම, විකල්ප මාධ්‍ය මර්දනය හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය ද උදාහරණයට ගනිමින් ටිල්වින් කීවේ රජය ඡන්දයේදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට කළ ප්‍රකාශ මිත්‍යාවක් බවට පත් කර ඇති වගය. මෙලෙස ඔහු රජය දැඩිව විවේචනය කළේය. එහෙත් මෙම විශේෂ මාධ්‍ය හමුවට ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක හෝ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිසිවකු පැමිණ සිටියේ නැත.
හිටපු අමාත්‍ය මංගල සමරවීර තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කර අන්තර්ජාලයට මුදාහැර තිබේ. එමගින් මෙරට මහා සංඝරත්නය නැවතත් ඔහු විසින් තරයේම විවේචනය කොට ඇත. මෙරට නායකයන් රටට හොඳ දේ කරන්නට යද්දී ගෝත්‍රික ලෙස හැසිරෙන චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්ද බව මංගල එහිදී සඳහන් කළේය. මෙරට සිංහල බෞද්ධ රටක් නොවන බව තමන් නැවතත් කියන්නේ යැයි පවසන මංගල බොහෝ චීවරධාරීන් කුඩා කල ශාසනයට ඇතුළත් කරන්නේ කේන්දරයේ ඇති කුමක් හෝ අඩුපාඩුවක් නිසා යැයි ද කියා තිබිණි. උන්වහන්සේලා සිවුරු දරාගත් රස්තියාදුකාරයන් පිරිසක් ලෙස කටයුතු කරන්නේ යැයි ද මංගල සමරවීර එම වීඩියෝ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. මෙම ආන්දෝලනාත්මක වීඩියෝ සාකච්ඡාව ගැන බොහෝ පාර්ශ්වවල විරෝධය පළ වී ඇත. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා නැවතත් මැතිවරණවලට ඉදිරිපත් නොවන බවට ද දැන් ආරංචි පැතිර යමින් තිබේ.
පොහොට්ටුවේ මැතිවරණ ජයග්‍රහණයට විශාල සේවයක් කළ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රන්ජිත් සොයිසා මහතා හදිසියේම රෝගී තත්ත්වයට පත්ව සිංගප්පූරු රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඔහු සෑහෙන කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සබරගමුවේ පොහොට්ටු නායකයෙකි. සොයිසා මහතාගේ අභාවය ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි ශෝකය පළ කර තිබිණි. ඒ අතරතුර ඔහුගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා රත්නපුරය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී පදවි නොලැබූ අයගේ ලැයිස්තුවේ ඉහළින්ම නම සඳහන් වන වරුණ ලියනගේ මහතා සුදුසුකම් ලබා ඇත. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී හීන් මහත්මයා ලියනගේ මහතාගේ පුත්‍රයෙකි. එහෙත් ඔහු පසුගිය කාලයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (2015 තරග කළේ එම පක්ෂයෙනි.) අතහැර එ.ජා.ප. සාමාජිකත්වය ලබා ගත්තේය. එබැවින් වරුණ ලියනගේ මහතාට මන්ත්‍රී පදවිය පැවරීම එ.ජ.නි.ස.යට මෙන්ම මැතිවරණ කොමිසමට ද බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ පක්ෂ නායක හමුව මේ සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙසේදී පැවැත්විණි. ඒ සඳහා පක්ෂ නායකයන් රුසක්ම සහභාගි වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද එක්වූහ. රැස්වීම ආරම්භයේදීම පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය හා රාජාසන කතාව ගැන මුලින්ම විස්තර ඉදිරිපත් කෙරිණි. දේශපාලන පළිගැනීම්වලට ලක්ව පසුගිය වසර 5ක කාලය තුළ පීඩාවට පත් පාක්ෂිකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. එහි ලේකම් ධූරයට නීතිඥ සුමිත් විජේසිංහ නම් කරනු ලැබීය. අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා යෝජනා කළේ මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා දැරූ එ.ජ.නි.ස. සන්ධානයේ සභාපති ධූරය හිටපු ජනපති මෛත්‍රීපාල මහතාට ලබා දී දි.මු. ජයරත්න මහතාගේ අභාවයෙන් හිස්වූ එහි ලේකම් ධූරය මහින්ද මහතා නම යෝජනා කරන කෙනකුට දිය හැකි බවය.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ප්‍රසන්න රණතුංග මහතා ද එයට එකඟ නොවී අදහස් දැක්වූහ. මහින්ද මහතා නිමල්ට කීවේ “සභාපති ධූරය මමම දරන්නම්. පුරප්පාඩු ලේකම් පදවියට ඔයාල කෙනෙක් දාගන්න” කියායි. බැසිල් රාජපක්ෂ මහතා ඊළඟට කතා කළේ ඊළඟ මහ ඡන්දය ඉල්ලන ලකුණ ගැනය. “අපි පුටුවෙන්ම ඉල්ලනව කියල ගිවිසුම් ගහල නැහැ. පක්ෂයේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට වෙනස් කරන්නත් පුළුවනි. මොකද කරන්නේ?” යැයි බැසිල් සභාවෙන් ප්‍රශ්න කළේය. එහිදී ප්‍රසන්න රණතුංග, මහින්ද යාපා, ගාමිණී ලොකුගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන ආදී බහුතරය කීවේ “ජනතාවට හුරුපුරුදු පොහොට්ටුවෙන් ඉල්ලමු” කියායි. මහින්ද රාජපක්ෂ මහතා ද එම මතය දැරීය. නමුත් වාසුදේව, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ආදීන් පුටුව ලකුණෙන් යන්නට කළින් කතා කරගත් නිසා එලෙස කරමු යැයි කීහ. ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යස්ථව සිටි නමුත් මහින්ද බැසිල් හා බහුතරය කීවේ ජනතාවට අමතක ලකුණකින් සටනට යාම අයෝග්‍ය බවයි. මහින්දානන්ද ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් කීවේ “එන්නේ අපේ ඡන්දය. ඒක අපි දිනාගන්න ඕන. ඒ නිසා පොහොට්ටුව හොඳයි” කියායි. ඒ අනුව පොහොට්ටුවෙන් තරග කරන්නටත් ශ්‍රීලනිපය සමඟ කතා කොට තිබෙන ප්‍රායෝගික ගැටලුවක් වෙයි නම් විසඳාගන්නටත් තීන්දු විය.
► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර