2020 ජනවාරි 04 වන සෙනසුරාදා

රනිල්ගෙන් දිගම්බරම්ට දේශපාලන අවවාදයක්!

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 490

► මුරුත්තෙට්ටුවේ හිමි දොස්තර සංගමය සමඟ වාග් සංග්‍රාමයක
►ජනපති ගෝඨභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ගෙන් සුබපැතුම්
►රනිල් හිතවාදී එ.ජා.ප.  ලොක්කන්ගේ අනාගතය ගැන සජිත් පිලෙන් විමසයි
► ජනවාරි 01 දා මහින්දගෙන් එතනෝල් තහනමට නියෝග
► මෛත්‍රී ගෝඨාට සහාය පළ කරද්දී ශ්‍රීලනිප ලොක්කෝ ඡන්ද ලකුණට ගැටෙති
► ආණ්ඩුව ඡන්ද පොරොන්දු කඩන බවට ජ.වි.පෙන් චෝදනා

පසුගිය සතියේ ආන්දෝලනාත්මක පුවත් රැසකට මුල් වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණයෙන් ඇප හිමිවීමත් සමඟ රාජිත සේනාරත්න මහතාගේ සුදු වෑන් මාධ්‍ය හමුව ගැන ගත් නීතිමය ක්‍රියාමාර්ග නව මාවතකට වැටී ඇත. රාජිතට ඇප හිමිවීමට පෙර මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ වූ කරැණු සහ පොලීසිය උසාවියට වාර්තා කළ කරුණු අතර පරස්පරයක් ඇති බව පෙනේ. අධිකරණය ද මේ සම්බන්ධව ගත් නීතිමය පියවර ගැන ප්‍රශ්න ගණනාවක් මතු කරමින් රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දුන්නේය. ඉන් අනතුරුව ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කළේ රාජිතගේ හදවත් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු ඉතා ඉක්මනින් සිංගප්පූරුව බලා ගෙන යාමට අධිකරණයෙන් අවසරය ඉල්ලා සිටින බවකි. ලංකා පෞද්ගලික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක දැන් රාජිත ප්‍රතිකාර ලබමින් සිටී.

රාජිත සේනාරත්න සිද්ධියේදී වඩාත් කතාබහට ලක් වූ විශේෂ කරුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න රාජිත අත්අඩංගුවට ගන්නැයි අධිකරණ වරෙන්තු නිකුත් කර තිබියදී ඔහු සැඟව සිටි ස්ථානය ගැනය. රාජිත එලෙස සැඟව සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ      නිවසේ බව මාධ්‍ය හමු ගණනාවක් සංවිධානය කරමින් භික්ෂු සංවිධාන කිහිපයක් විසින් චෝදනා කර තිබිණි. හිටපු ජනාධිපතිනිය ඒ ගැන ප්‍රතිචාර දක්වා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මඟින් එම චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

රාජිත සම්බන්ධ සිද්ධියේ ඊළඟ ආන්දෝලනාත්මක කරුණ වූයේ පොහොට්ටුවේ ප්‍රබල චරිතයක් වන එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත රැඳී සිටි රෝහලට වැඩම කොට ඔහුට පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීමේ සිදුවීමයි. තමන් දිගු කලක සිට දන්නා හිතමිත්‍රයෙක් වන රාජිත හිටපු අමාත්‍යවරයා බැලීමට තමන් පැමිණි වග මුරුත්තෙට්ටුවේ හිමියෝ එහිදී ප්‍රකාශ කළහ. ඔහුට පිරිත් කියා සෙත් පැතූ බවද ‍කීහ. එහෙත් පසුගිය කාලයේ පොහොට්ටුවේ නායකයන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස වෙත ඔවුන් කියන පරිදි පදනම් විරහිත චෝදනා නැගූ රාජිත සේනාරත්න මහතාට මුරුත්තෙට්ටුවේ හිමියන් ආශිර්වාද කිරීම ගැන පොහොට්ටුවේ ලොක්කන් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැනි සංවිධාන ද මුරැත්තෙට්ටුවේ හිමියන්ට කනස්සල්ල පළ කළෝය. මෙම සිද්ධියෙන් වඩාත් අසීරුතාවට පත්ව සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු කනස්සල්ලට පත්වූයේ මුරුත්තෙට්ටුවේ හිමියන් රාජිත බලන්නට ගොස් මේ සියල්ල කළේත් රාජිතට ඇප ලැබුණේත් මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාවට යැයි ඇතැමුන් ප්‍රචාරය කිරීම නිසාය. මේ ගැන දෙසැම්බර් 31දා තංගල්ලේදී ප්‍රකාශයක් කළ මහින්ද මෙම චෝදනා තරයේම ප්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේ වෙතත් මුරුත්තෙට්ටුවේ හිමියන්ට වෛද්‍ය සංගම් ප්‍රධානීන් නැගූ චෝදනාව සම්බන්ධව පසුව උන්වහන්සේ උත්තර දෙමින් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනක්ම කළහ. උන්වහන්සේ කී පරිදි රාජිත සේනාරත්න යනු හොරෙක් හෝ මංකොල්ලකාරයෙක් හෝ මිනීමරැවෙක් නොවේ. “ඔහු මිනීමරුවෙක් වුවත් ඔහු පෝරකයට යන්නට පෙර භික්ෂූන් වහන්සේ නමක් ඔහුට ආගමික ආශිර්වාද පළකරනවා. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මාත් සමඟ මේ දිනවල උරණ වෙලා තමයි ඉන්නේ. ඒකට හේතුව මේ සංගමයේ සභාපති දොස්තර අනුරුද්ධ පාදෙණිය මහත්මයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පදවියට පත් කිරීමට මම විරුද්ධ වීමයි. මම ඒකට විරුද්ධ වුණේ සාධාරණ හේතු මතයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන වෘත්තිය සංගම් 70කින් එක සංගමයක සභාපති මෙහෙම තනතුරකට පත්කිරීම නුසුදුසුයි කියා මම ඒ ගැන විරැද්ධ වුණා. රාජිතට නෙවේ ඕනෑම පුද්ගලයකුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා නම් ඒ ගැන පරික්ෂා කර විභාග කිරීමයි කළ යුත්තේ. මම රාජිත හමුවන්න ගියේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ පණිවුඩයක් අරන් බවටත් සමහරු කියනවා. මම එවැන්නක් කරන්න තරම් බලවතෙක් නෙවේ.” යැයි කියමින් මුරුත්තෙට්ටුවේ හිමියෝ රාජිතගේ ගමන ගැන විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කළහ.
එක්සත් ජාතික පක්ෂයේ තිබෙන අර්බුදකාරී තත්ත්වය තවමත් සමනය වී නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසුව රනිල් සජිත් හමුවක් සිදුවනු ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කල්තබා ප්‍රකාශ කළද එම හමුව මේ සතියේත් අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබී පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවූ අවස්ථාවේ සිදු වූ බව දැනගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය වරින් වර සජිත් පාර්ශ්වයට එවන ලද දේශපාලන පණිවුඩවල පැවති පරස්පර තත්ත්වයන් නිසා සජිත් කණ්ඩායම ද රනිල් හමුව නිශ්ඵල බව තීන්දු කර තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා පවත්නා දේශපාලන තත්ත්වය මත විශ්‍රාම ගතහොත් ඔහු සමඟ සිටින මැති ඇමැති පිරිසගේ අනාගතයට සිදුවන්නේ කුමක්ද යන ප්‍රශ්නයට සජිත් පිලෙන් රනිල් නිශ්චිත පිළිතුරක් අපේක්ෂා කරන බව සඳහන්ය. කරැ ජයසූරිය, වජිර අබේවර්ධන, අකිල විරාජ්, රවි කරුණානායක ආදී ජ්‍යෙෂ්ඨයන් රැසක් මේ අතර වන බව දැනගන්නට ඇත. ඒ අතර සජිත් පිලේ ජ්‍යෙෂ්ඨයන් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ලෙස පත්කළ සියලු දෙනා ඉදිරි මහ මැතිවරණයේදී ආසන තරගකොට ජය ලබා මැතිසබයට පැමිණිය යුතු බවය. දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි දරන ආශු මාරසිංහ, එරාන් වික්‍රමරත්න ආදීන්ට මෙම අභියෝගය භාර ගැනීමට සිදුව තිබේ.

මේ සියල්ල සිදුවෙද්දී එ.ජා.පයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා කියා තිබුණේ එ.ජා.ප මහ සම්මේලනය විසින් රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර දක්වා පක්ෂ නායකත්වයට පත්කර ඇති නිසා ඔහුගේ නායකත්වය කිසිසේත්ම වෙනස් නොවන බවය. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස පාර්ශ්ව අතර ගැටලු සමනය සඳහා උදව් කරන කරැ ජයසූරිය මහතාගෙන් නායකත්වය ගැන විමසූ විට ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිවිටක නායකත්වය ඉල්ලා නැති නමුත් පක්ෂයේ පොදු සම්මුතියකින් නායකත්වය භාරගන්නට ඉල්ලා සිටියහොත් ඒ ගැන සලකා බලන වගයි.

මෙලෙස එ.ජා.ප අර්බුදය විවිධ පැති කරා ව්‍යාප්ත වෙමින් පවතිද්දී ඉන්දීය චාරිකාවෙන් පසු රනිල් හා සජිත් අතර දුරකථන සංවාදයක් සිදුවිය. එහිදී රනිල් විමසා තිබුණේ සජිත් තමන් හමුවන්නේ කවදාද කියායි. ඒ හැර සජිත් පාර්ශ්වයේ ප්‍රබලයන් ගණනාවක් ද අමතා ඇති රනිල් පිලේ ජ්‍යෙෂ්ඨයන් ඔවුන් රනිල් වෙත කැඳවාගෙන යාමට දරන ලද උත්සාහයන් කිසිවක් සාර්ථක වී නැත. සුළු පක්ෂ නායකයකු වන කඳුරට ප්‍රගතිශීලී පෙරමුණේ පී. දිගම්බරම් මන්ත්‍රීවරයා මෙලෙස රනිල් කළ දැනුම්දීමක් අනුව ගොස් පසුගියදා ඔහු හමුවිය. එහිදී ඔහුගෙන් නිල නොවන මට්ටමෙන් විකල්ප නායකත්වයක් ගැන විමසූ බවත් කරු ජයසූරිය මහතා ගැන යම් යම් අදහස් ප්‍රකාශ කළ බවත් ආරංචිය. පවත්නා තත්ත්වය ගැන තමන් විමසිල්ලෙන් බලා සිටින බව දිගම්බරම් රනිල්ට පැවසූ විට රනිල් ඔහුට කියා තිබුණේ දුරදිග බලා වැඩ කරන්න කියාය. එයින් අදහස් වූයේ රනිල්ගේ අණට පිටුපාන අයට ඉදිරි මහ මැතිවරණයේදී සිදුවිය හැකි දේ ගැන ඉඟියක් යැයි දිගම්බරම් සිය හිතවතුන්ට කියා තිබිණි.

රජයේ කැබිනට් අමාත්‍යවරුන් විසින් තම විෂයන් පැවරිය යුතු යැයි නියෝග කරමින් අමාත්‍ය මණ්ඩලය යෝජනාවක් ද සම්මත කළේය. ඉන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා විසින් එම කටයුත්ත සිදු කරන ලෙස විෂය භාර අමාත්‍යවරුන්ට දන්වමින් නැවතත් විශේෂ ලිපියක් යැව්වේ ජනාධිපතිවරයාගේ නියමයෙනි. එහෙත් කිසිදු කැබිනට් අමාත්‍යවරයකු තමන්ට කැබිනට්ටුවෙන්ම නියම කළ පරිදි අමාත්‍ය විෂයන්ගෙන් කොටසක් රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවරීම මෙතෙක් සිදුකර නැත. කැබිනට්ටුව මෙම තීරණය ගෙන සති ගණනක් ගත වූ අතර ජනාධිපති ලේකම්වරයා අදාළ සිහිකැඳවීම සිදුකර තවත් සතියක් පමණ ගතව තිබේ. මේ නිසා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් අසහනයෙන් පසුවන බව දැනගන්නට ඇත. කැබිනට් මණ්ඩලය 15 දෙනකු දක්වා කුඩා කිරීම නිසා එක් අමාත්‍යවරයකුට කැබිනට් විෂයන් තුන හතර බැගින් පවරා තිබේ. එයින් කුඩා කොටසක් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්ව සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට පවරන ලෙස කරන ලද නියමය කැබිනට් අමාත්‍යවරුන් ඉටු නොකිරීම ගැන රාජ්‍ය ඇමැතිවරුන් රජයට පැමිණිලි කරමින් මැසිවිලි නගන්නට පටන්ගෙන ඇත. ඉදිරි සතියේදිත් මෙම තත්ත්වය වෙනස් නොවුණහොත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් විසින් විකල්ප පියවරක් අනුගමනය කිරීම ගැන කරුණු අධ්‍යයනය කරමින් සිටින බව පොලිටිකල් රහස් තීරයට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර ද ආරවුලක් නිර්මාණය වෙමින් තිබේ. ඒ ඉදිරි මහ මැතිවරණය තරග කරන්නේ කවර ලාංඡනය යටතේ ද යන කරුණ සම්බන්ධයෙනි. පක්ෂ මහ ලේකම් දයාසිරි ඇතුළු පිරිසක් ප්‍රකාශ කරන්නේ කළින් ඇතිකරගත් එකඟතාව අනුව පුටුව ලකුණින් මහ මැතිවරණය තරග කළ යුතු බවයි. එහෙත් මහින්ද අමරවීර ඇතුළු පිරිසක් කියා ඇත්තේ දැන් පොහොට්ටුව ලකුණ යටතේ වුවද තරග කළ හැකියි කියාය. මේ නිසා ශ්‍රීලනිපය තුළ අභ්‍යන්තර මත ගැටුමක් ආරම්භ වී ඇතැයි දැනගන්නට තිබේ. ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ලත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනුත් ඉල්ලා තිබේ. ඒ අය ඊට එකඟතාව පළකර ඇත. එයින් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඔහුගේ පක්ෂය සංවිධාන කරමින් ඉදිරි මහ ඡන්දය සඳහා සූදානම් වෙමින් සිටියි. ඔහු ශ්‍රීලනිපයේ ද නායකයා වන නිසා වෙනත් පක්ෂ ලාංඡනයක් යටතේ තරග කිරීම ගැටලු සහගත වන නිසා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා මගින් තීන්දුවක් ගනු ඇතැයි කියැවේ. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්ෂික යැයි කියූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු විවෘතව ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණයේදී තමන් ගෝඨාභය ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාදීමට උපරිමයෙන් කැපන බවයි.

කෙසේ වෙතත් පොහොට්ටුවේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තරයේම ප්‍රකාශ කරන්නේ පොහොට්ටුවෙන් මිස වෙනත් ලකුණකින් මහ ඡන්දය තරග නොකරන වගය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි එ.ජා.ප.ය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් විසින් ඉදිරි මාස 2 ½ කාලය තුළ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කිරීමට සැලසුම් කරන වග ඇතැම් එජාප මන්ත්‍රීන් ප්‍රකාශ කර තිබිණි. ජනාධිපති ගෝඨාභයගේ රාජාසන කතාව පරාජය කරන බව ආශු මාරසිංහ හා විජේපාල හෙට්ටිආරච්චි යන එ.ජා.ප මන්ත්‍රීන් කල් තබාම කියා තිබිණි. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් රාජාසන කතාව විවාදයට ලක්කොට ඡන්දයක් විමසීම සඳහා යෝජනාවක් කිරීමට යන බවටත් මාධ්‍ය වාර්තා පළවිය.

මෙම ප්‍රකාශ නිකුත් වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේ තමන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව ගැන විවාදයක් ඉල්ලා නොසිටින බවය. එසේම එ.ජා.පයේ සභා නායක ධූරය දැරූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද කීවේ ඉක්මනින් ජනාධිපතිවරයා මැති සබය විසුරුවන තෙක් ආණ්ඩුව ගෙන එන යහපත් යෝජනාවලට සිය පක්ෂය සහය ලබා දෙන වගයි. ආණ්ඩුව පෙරළා දැමීමේ අදහසක් එ.ජා.පයට නැතැයි ද ඔහු කීය. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා ද පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව අනුමත කර ඇති නිසා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කාරණා ඉටු කිරීම පිණිස පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවලදී තමන් 2/3ක් නොව 5/6ක් හෝ ලබා දෙන්නට සූදානම් බවකි.

ජනතා විමුක්ති පෙරමුණ නැවතත් ක්‍රමක්‍රමයෙන් දේශපාලන කටයුතු සක්‍රීය කරන්නට පටන්ගෙන ඇත. ජනාධිපතිවරණයේදී ලත් අමතක නොවන පරාජයෙන් පසු ඔවුන් දැන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ඡන්දයේදී දුන් පොරොන්දු ඉටු කරවාගැනීම කෙරෙහිය. එහි ගොවි නායක නාමල් කරුණාරත්න මහතා මේ සතියේ විශේෂ මාධ්‍ය හමුවක් තබමින් ඇසුවේ ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි වහා ණය කපාහැරීම හෝ නොමිලයේ පොහොර සහනාධාරය සැපයීම නොකරන්නේ මන්ද කියායි. ජ.වි.පෙ නායක අනුර දිසානායක ද ඔහු තරග කළ ජාතික ජන බලවේගයේ ප්‍රධානීන් සමඟ මාධ්‍ය හමුවක් තබමින් කීවේ ආණ්ඩුව දැන් ක්‍රියා කරන්නේ ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවලට පටහැනි ආකාරයට කියායි. ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට අමෙරිකානු එම්.සී.සී. ගිවිසුම ගැන කිසිදු අවබෝධයක් නැතැයි කී අනුර දිසානායක ඔවුන්ගේ අමෙරිකන් විරෝධය ඡන්ද දිනාගැනීමට පමණක් සීමා වූ බවද පැවසීය. හම්බන්තොට වරාය රජයට ගන්නා බව ඡන්දයට පෙර කිව්වත් දැන් ආණ්ඩුවට ඒ ගිවිසුම හොඳ වී ඇතැයි ජ.වි.පෙ නායකයා පෙන්වා දුන්නේය. එසේම ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිසබයේ විවාදයට ලක්කරන බවත් ප්‍රකාශ කළ හෙතෙම නැවතත් මැති සබය කල් දැමීමට ඉඩ දෙන්නේ නැතැයි ද පැවසීය.

නව වසරේ පළමු පාර්ලිමේන්තු කැඳවීමට පෙර පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැස්වීම කැඳවා තිබූ අතර එහිදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතුවටලත් වඩා අවධානයට ලක්ව තිබුණේ පක්ෂයේ අනාගත නායකත්වය සහ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැනයි. විශේෂයෙන් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවේද යන ප්‍රශ්නය මෙහිදී නිරාකරණය වෙතැයි එ.ජා.ප මන්ත්‍රීවරැ අපේක්ෂාවෙන් සිටියහ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන අවධානය යොමුව තිබුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත් කිරීම ගැනය. මේ ගැන කඹ ඇදීමක් සිදුවෙතැයි කලින් ප්‍රකාශ වී තිබුණත් සජිත් ප්‍රේමදාස මහතා ගයන්ත කරැණාතිලක මහතාගේ නම ඒ සඳහා යෝජනා කළ අතර එය නිතරගයෙන් සම්මත විය. අජිත් පී. පෙරේරා නියෝජ්‍ය සංවිධායක ලෙසත් හෙක්ටර් අප්පුහාමි ඇතුළු කිහිප දෙනෙක් සහකාර සංවිධායකයන් ලෙසත් පත් කරගනු ලැබූහ. එහෙත් එ.ජා.ප. නායකත්වය ගැන හෝ අගමැති අපේක්ෂකත්වය ගැන කිසිම තීන්දුවක් මෙම හමුවේදී ගත් බවක් වාර්තා වී නැත. රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඉතා ඉක්මනින් තමන් මෙම ප්‍රශ්නය විසඳන බව පමණි. සරත් ෆොන්සේකා හිටපු අමාත්‍යවරයා එහිදී කීවේ පක්ෂය නැවතත් ‘රීබ්‍රෑන්ඩ්’ කළ යුතුය කියායි. තරුණ පෙළ ඉදිරියට ගන්නැයිද ඔහු පැවසීය. අජිත් පී. පෙරේරා පැවසුවේ ඡන්දයට තවත් මාස දෙකක් තිබියදී මෙම ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යා යුතු නැති බවයි. හරින් ප්‍රනාන්දු කෙළින්ම කීවේ සජිත්ට නායකත්වය ලබාදෙන හැටියටයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.

මෙම හමුවට සමගාමීව එ.ජා. පෙරමුණේ නායක හමුවක්ද සංවිධානය කර තිබිණි. එය සංවිධානය කළේ මනෝ ගනේෂන්ය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ට කීවේ තමන්ගෙන් කරූගෙන් හා සජිත්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් හෝ සාමාජිකයන් 5ක් හෝ 7ක් වන නායකත්ව මණ්ඩලයක් මගින් මහ ඡන්දය මෙහෙයවන්නට සැලසුම් කර ඇත කියායි. එවිට නවීන් දිසානායක දුන්නේ කරෑ ජයසූරිය මහතා ඊට සතුටු නැත යන පිළිතුරයි. රන්ජිත් මද්දුමබණ්ඩාරද කතා කළේය. ඔහු සඳහන් කර තිබුණේ නායකත්ව මණ්ඩල කතා හරියන්නේ නැති බවත් නායකතුමා තීන්දු නොගන්නේ නම් තමන්ටත් තීන්දුවක් ගන්නට සිදුවන බවකි. තලතා අතුකෝරළ මහත්මිය අනතුරුව කතා කළාය. “සර් අපි ගම්වලට ගියාම තේරෙනවා ගම්වල පාක්ෂිකයො දැන් සර් ඉල්ලන්නෙ නැහැ. ඉල්ලන්නෙ සජිත්. රවී, රාජිත නායකයන් එපා කියනවා...” කියායි. ඊට පිළිතුරු දුන් රවී පැවසුවේ තමන් ආසන පරාද නැති බවත් ජනතාව එහෙම කියනවා යැයි පැවසීම අමූලික බොරැවක් බවත්ය. එවිට තලතා කීවේ එ.ජා.පය සුළු ජාතීන් බහුතරව සිටින ආසන සියල්ල දිනූ නිසා රවීත් උතුරු කොළඹ ජයගත්තා කියායි.

චම්පික රණවක හිටපු අමාත්‍යවරයාද අවධාරණය කළේ තරැණ පරපුරට පක්ෂය භාරදෙන්න ඕනෑ බවය. මන්ත්‍රී කණ්ඩායමත් කෘත්‍යාධිකාරියත් කැඳවා නායකත්වය ගැන තීන්දුවක් ගත යුතු යැයි ඔහු කී විට රනිල් කීවේ එහෙම කරන්නට ගියහොත් පක්ෂය බෙදෙන්නට පිළිවන් බවකි. ඒ නිසා එම යෝජනාව රනිල් පිළිගත්තේ නැත. මේ ආකාරයට වාද විවාද මැද එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම හා පක්ෂ නායකයන් අතර හමු දෙක අවසන් වුවද ප්‍රධාන ප්‍රශ්නය විසඳුණේ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ පසුගිය සිකුරාදා උදෑසන 10.00ටයි. එම උත්සවය ඉතා චාම් ලෙස සංවිධානය කර තිබූ අතර උත්තමාචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාළි ආදී ආටෝපයන්ගෙන් තොර උත්සවයක් ලෙස මෙය සිදුවිය යුතු යැයි ජනාධිපතිවරයා කල් තබාම උපදෙස් දී තිබිණි.

මිනිත්තු 38ක සීමාවූ ජනාධිපතිවරයාෙග් ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා හමාරකිරීෙමන් පසුව තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. එහිදී  ෙපාෙහාට්ටුෙව් මෙන්ම විපක්ෂ පක්ෂ නිෙයා්ජනය කරන මැතිඅැමැතිවරුන් ගණනාවක්ම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව සුබපැතුම් එක් කළෝය. විපක්ෂයේ තරුණ මන්ත්‍රීන් ගණනාවක්ම ඒ ගැන සුබපැතීම විශේෂ කරුණකි.

මෙයට සතියකට පමණ පෙර සිට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඇතුළු පිරිසකගේ ද උපදේශකත්වය ඇතිව ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කළේය. එය මැතිසබයේදී විවාදයට ලක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කියා තිබිණි. එහෙත් සම්ප්‍රදායානුකූලව ඊට ඡන්දය විමසීමක් සිදු කෙරෙන්නේ නැත. එ.ජා.පයේ ලක්ෂ්මන් කිරිඇල්ල, හර්ෂණ රාජකරුණා, එස්.එම්. මරික්කාර් ඇතුළු මන්ත්‍රීන් රැසක්ම කියා තිබුණේ ජනාධිපති ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දෙන වගයි. එසේම සජිත් ප්‍රේමදාසද ඒ ගැන සහාය පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේ විදේශීය තානාපතින් ඇතුළු අමුත්තන් 400කට පමණ පාර්ලිමේන්තුවට ඇරියුම් කර තිබිණි. මෙම මංගල රැස්වීම දිනයේ මැතිසබයේ අසුන් පැනවීමද වෙනස් කර තිබූ අතර මෙතෙක් විපක්ෂ නායක මහින්ද අසුන්ගෙන සිටි පුටුවේ එ.ජා.පයේ නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසුන් ගත්තේය. ඔහුට යාබද අසුන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට වෙන් විය. අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ අසුන්ගත් අතර ආණ්ඩුවේ සභානායක දිනේෂ් ගුණවර්ධනද අසුන්ගෙන සිටියේය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර