2020 ජුනි 27 වන සෙනසුරාදා

මහින්ද ආයෙමත් සැලුන් දොර අරී

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 496

  • ගෝඨාභයගේ උපන් දින උත්සවයේ වියදම් අතින් ගෙවයි
  • හිටපු ජනපති මෛත්‍රිත් කුරහන් පාටට බසී
  • හරීන් ස්ථාවරය වෙනස් නොකරයි: මංගල හරින්ට සුබ පතයි
  • රනිල්ගෙන් තරුණයන්ට අලුත් ප්‍රතිපත්තියක්
  • අනුර දිසානායක, චම්පික, රාජිතගෙන් ජනපති කොමිසමට විරෝධතා
  • කරුණාගේ කතාවට මහින්දගෙන් උත්තර
  • මාතර මනාප සටන රත්කළ නිපුණ රණවක

මැතිවරණ උණුසුම ටිකෙන් ටික මතුවෙමින් තිබියදී දේශපාලන කරළිය රත්කළ කතා දෙකක් සතිය ආරම්භයේදීම ආන්දෝලනයට ලක්විය. ඉන් පළමුවැන්න විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරැණා අම්මාන් විසින් සිදු කරන ලද්දකි. තමා කොටි යුද සමයේ හමුදා සෙබළුන් දහස් ගණනක් ඝාතනය කළ බවත්, තමන් කොරෝනා වෛරසයටත් වඩා භයානක බවත් අම්පාරේ දෙමළ ගමක දී කරුණා පවසා තිබිණි.

ඔහුගේ මේ කතාව ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නට විය. සමාජයේ සෑම ජනකොටසකගෙන්ම වාගේ කරැණාට දැඩි විරෝධයක් නැගුණි. ආණ්ඩුවට ද මේ කතාව හිසරදයක් විය. එහෙත් කරැණා මෙවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කරන්නේ නැත. පොහොට්ටුව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ කරුණා අම්මාන් තම පක්ෂයෙන් තරග කරන සාමාජිකයකු නොවන බවත් තම කණ්ඩායමට එරෙහිව වෙනත් පක්ෂයකින් අම්පාරට තරග කරන බවත්ය. එම නිසා කරැණාගේ ප්‍රකාශය ගැන වගකීම ඔහුටම පැවරෙන බවද සාගර කාරියවසම් මහතා කීය.

එහෙත් විපක්ෂය ඒ ගැන ඍජුවම ඇඟිල්ල දිගු කරන්නේ ආණ්ඩුවටයි. කරුණා ශ්‍රී.ල.නි.ප. උප සභාපති ධූරයකට පත් කළේ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය දැරූ සමයේ යැයි සමගි ජනබලවේගයේ ප්‍රබලයන් ගණනාවක්ම කියා තිබිණි. එ.ජා.පයේ රුවන් විජයවර්ධන හිටපු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මුලින්ම පවසා තිබුණේ රාජපක්ෂ රජය ජාතිකත්වය සහ දේශමාමකත්වය ගැන කතා කරද්දී ඔවුන්ගේ හවුල්කරුවන් හමුදා සෙබළුන් ඝාතනය කළ බව කියන බවයි. හිටපු අමාත්‍ය චම්පික රණවක මේ ගැන කියා තිබුණේ කරුණා අම්මාන් වහා සිරභාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය කියායි. කරැණා මෙලෙස ප්‍රකාශ කර දෙමළ ජනතාවගේ ඡන්ද ගත්තේ ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කරන්නට යැයි ජ.වි.පෙ. හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කීය. පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන එස්.බී. දිසානායක හිටපු මන්ත්‍රීවරයා කීවේ කරුණා යුද්ධයේදී රජයට උදව් කළ නිසා ඔහුට නීත්‍යානුකූල සමාවක් හිමිවන බවයි. මේ අතර ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ කරුණා වහා අත්අඩංගුවට ගෙන මේ ගැන පරීක්ෂණයක් කළ යුතු වගයි. උන්වහන්සේ ඒ ගැන පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කළහ. කෙසේ හෝ සඳුදා සවස වන විට පොලිස්පතිවරයාට රජය උපදෙස් දී තිබුණේ කරුණා අම්මාන් කළ මෙම ප්‍රකාශය ගැන වහා සී.අයි.ඩිය ලවා පරීක්ෂණයක් කරවිය යුතු බවයි. ඒ අනුව කරුණාට සී.අයි.ඩියෙන් කැඳවීමක් ලැබුණි. ඔහුගේ ප්‍රකාශය ගැන ගතයුතු ඉදිරි පියවර සී.අයි.ඩිය විසින් තීන්දු කරනු ඇත.

කරැණා අම්මාන්ගේ කතාවට සමාජ විරෝධය මතුවෙද්දී තවත් ඒ හා සමානම දේශපාලන බෝම්බයක් පත්තු කළේ සමගි ජනබලවේගයේ හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුය. ඔහු මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයකු ලෙස තරග කරන්නේ නැත. එහෙත් ජාතික ලැයිස්තුවේ හරීන්ගේ නම සඳහන්ය. හරීන් මෙම ආන්දෝලනාත්මක කතාව කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ ඡන්ද රැස්වීමකදීය. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වූයේ කතෝලික ඡන්ද අහිමිවීම නිසා යැයි පැවසූ හරීන් ප්‍රනාන්දු 5% ක් පමණ වන කතෝලික ඡන්ද සුපුරැදු ලෙස එ.ජා.ප. අපේක්ෂකයාට ලැබුණේ නම් ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස දෙදෙනාගේම ඡන්ද සමවන බවත්, දෙවැනි මනාපයේ වාසිය තිබුණේ සජිත්ට බවත් පැවසීය. එහෙත් පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන එම ඡන්ද තම පක්ෂයට ලැබීම වැළැක්වුණේ අගරදගුරු හිමිපාණන් දේශපාලනය කළ නිසා බවත් පැවසූ හරීන් ප්‍රනාන්දු කතෝලිකයකු ලෙස තමන් මේ කතාව කියන්නේ දැඩි හිරිකිතයකින් යුතුව යැයි ද පැවසීය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශය ද ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. දේශපාලන වේදිකාවලින් පමණක් නොව පල්ලියේ ජ්‍යෙෂ්ඨ පියතුමන්ලාත් හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරන්නට වූහ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී කියා තිබුණේ අගරදගුරැ හිමියන්ට හරීන් විසින් කරන ලද චෝදනාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවය. ආගමික නායකයන්ට අපහාස උපහාස කිරීම වැදගත් දේශපාලනයක් නොවන බවද මහින්ද කියා තිබිණි.
හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ කතාවට මෙරට ප්‍රධාන පෙළේ සංඝයා වහන්සේලාත් දැඩි විරෝධයක් දැක්වූහ. අස්ගිරි අනුනායක වේඬරැවේ උපාලි නාහිමි, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි, මාතලේ ධම්මකුසල අනුනාහිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා එම විරෝධය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළහ. කාදිනල් හිමිපාණන් මෙරට ජාතික ආගමික සුහදතාව ඇතිකරන්නට කැපවීමෙන් ක්‍රියා කරන ආගමික නායකයකු බව උන්වහන්සේලා වදාළහ.

එසේම පාස්කු බෝම්බ ප්‍රහාරය හමුවේ රට සන්සුන්ව තබාගන්නට උන්වහන්සේ මහත් මෙහෙවරක් කළ බවද උන්වහන්සේලා පෙන්වා දුන්හ. එවන් ආගමික නායකයකුට දේශපාලනඥයන් මෙලෙස අවමන් නොකළ යුතු යැයි ද පැවසූහ. ඒ සමඟ කතෝලික රදගුරැ සමුළුවේ සභාපති රදගුරැ විනිස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් ද, සිරිල් ගාමිණී ප්‍රනාන්දු, බෙනඩික්ට් ජෝෂප්, කැමිලස් ප්‍රනාන්දු ආදී පල්ලියේ ජ්‍යෙෂ්ඨ පියතුමන්ලාත් හරීන්ගේ ප්‍රකාශය හෙළා දුටු අතර කතෝලික රදගුරැ සම්මේලනය ඒ ගැන විරෝධය දක්වමින් දැඩි ප්‍රකාශයක් ද නිකුත් කර තිබිණි. අනුන්ගේ වස්ත්‍ර ගලවා විලිවසා ගන්නට එපා යැයි රදගුරැ සමුළු සභාපති විනිස්ටන් ප්‍රනාන්දු හිමිපාණෝ හරීන්ට කීහ.

කෙසේවෙතත් ඉන් දින දෙකකට පසු හරීන් ප්‍රනාන්දු බදුල්ලේ දී දේශපාලන රුස්වීමක් අමතමින් තමන් කළ ප්‍රකාශයේ හා ස්ථාවරයේ රැඳී සිටින බව නැවතත් කීය. සජිත් ප්‍රේමදාස මහතාට පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද අහිමි වූ ආකාරය ගැන විස්තර කළ හරීන් තමන් දරන එම මතයේ තවදුරටත් රැඳී සිටින නමුත් අගරදගුරු යන්න හැඳින්වීමේදී අදරදරගුරු ආදී වශයෙන් කියැවීම ගැන පමණක් සමාව අයදින බව කීය. එ.ජා.පයේ රනිල් හිතවාදී ජ්‍යෙෂ්ඨයෝ හරීන් ප්‍රනාන්දුගේ කතාව දැඩි ලෙස හෙළා දකිමින් කතා කළ අතර විවෘතවම විරෝධය දැක්වූහ.

මේ අතරතුර සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර, චම්පික රණවක ආදීහු සජිත් ප්‍රේමදාස මහතා අමතා හරීන්ගේ ප්‍රකාශය නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බැවින් මේ ගැන වහා කුමක් හෝ පියවරක් ගන්නැයි දන්වා සිටියහ. ඒ වන විටත් සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරු හිමියන්ට සිදුවූ අපහසුතාව ගැන තමන් පක්ෂය වෙනුවෙන් සමාව අයදින බවට ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. එහෙත් මේ ගැන කිසියම් විනය පියවරක් ගත යුතුය යන්න පක්ෂ බහුතර මතය විය. පසුව සජිත් හරීන් අමතා දැඩි ලෙස දෝෂාරෝපණය කළ නමුත් ඒ ගැන කිසිවක් කළේ නැත. හරීන් සිය දෙවැනි ප්‍රකාශය කළේ ඉන් පසුවය. ඒ අතර පොහොට්ටුවේ නායකයන් ගණනාවක් කියා තිබුණේ සජිත් නොව හරීන් මේ ගැන අගරදගුරු හිමියන්ගෙන් පූර්ණ සමාවක් ගත යුතුය කියායි. එහෙත් හරීන්ගේ කතාව හරි යැයි කියමින් හිටපු ඇමැති මංගල සමරවීර හරීන්ට සුබ පැතීය. හරීන්ට ඒ දේ කියන්නට කොන්දක් තිබීම අගයන බවද මංගල කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වැනි ජන්ම දිනය පසුගිය 20දාට යෙදී තිබිණි. එහිදී සුපුරැදු ලෙස අනුරාධපුරයේ දී ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් ගණනාවක් සංවිධානය කළේ ගෝඨාභය මහතාගේ පවුලේ අය හා හිතවතුන් විසිනි. රුවන්වැලි සෑය හා අටමස්ථානයේ පන්සල් ගණනාවක චාම් ආගමික උත්සව හා පින්කම් සංවිධානය විය. දාන, බෝධිපූජා, කප්රැක් පූජා ගණනාවක් විය. පින්කම් හමාර කළ දිනයේ අගමැතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ අයටත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රමුඛ පිරිසටත් දිවා භෝජනය පිරිනැමුවේ මිරිසවැටිය රජමහා විහාරාධිපති හිමියන් විසිනි. කෙසේවෙතත් මෙම පින්කම සංවිධානයේ දී ජනාධිපතිවරයා ඒ ගැන සොයා බලමින් සංවිධාන කටයුතු කළ ලලිත් වීරතුංග මහතාට කියා තිබුණේ තමන්ගේ උපන්දින පින්කම රජයේ නිල උත්සවයක් නොවන බැවින් ඒ ගැන දරන සියලු වියදම් තම පෞද්ගලික වියදමින් සිදුකරන බැවින් කිසිදු බිල්පතක් රජයෙන් නොගෙවිය යුතු වගයි. ඒ අනුව පින්කම අවසානයේ ඒ ගැන සොයා බැලූ ජනාධිපතිවරයා පින්කමේ සියලු වියදම් තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවා දැමුවේ සෙසු දේශපාලනඥයන්ට ද රාජ්‍ය සම්පත් භාවිතය ගැන පාඩමක් කියා දෙමිනි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් කරන ලද හෙළිදරව්වක් නිසා යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරැන් ගණනාවකටත් ජ.වි.පෙ. නායක අනුර දිසානායකටත් කොමිසමෙන් සිතාසියක් එවා තිබුණේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි. ඊට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද කොමිසම හමුවට කැඳවා තිබිණි. එහෙත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොමිසමේ තීරණය පිළිනොගෙන තම නිලධාරීන් ජනාධිපති කොමිසම වෙත එවීමට නීතිමය පදනමක් හෝ ප්‍රතිපාදන නැතැයි දැනුම් දුන්නේය. එහෙත් පසුව කොමිසම ප්‍රකාශ කළේ නීතිපතිවරයා කොමිසමට බාධා නොකර සහාය විය යුතු බවයි. ඊට කොමිසමට බලය ඇති බවද කොමිසම කීය.

ඉන්පසුදා කොමිසම හමුවට ඉදිරිපත් වූ චම්පික රණවක, රාජිත සේනාරත්න, අනුර දිසානායක, අර්ජුන රණතුංග ඇතුළු හිටපු අමාත්‍යවරු ද නීතිපතිගේ මතයම අනුව යමින් තමන් මෙම කොමිසමට කැඳවන්නට නීතිමය පදනමක් නැතැයි මූලික විරෝධයක් දැක්වූහ. කොමිසමේ විෂය පථයට නොවැටෙන කාරණා ගැන තමන්ලාගෙන් ප්‍රශ්න කිරීම ගැන එකඟ නොවන බවත් ඊට විරෝධය පළ කරන බවත් ඔවුහු සඳහන් කළහ. ඉන්පසුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ හිටපු අමාත්‍ය චම්පික රණවක කීවේ මෙය දේශපාලන දඩයමක් යැයි තමන් කල්පනා කරන බවය.

මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රත්වෙද්දී මනාප ආරවුල් පටන්ගෙන ඇත. එයින් ප්‍රබලම ආරවුල ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේය. මහනුවර හා පොළොන්නරැවේ ද මෙබඳුම තත්ත්වයක් දක්නට ඇත. මාතර මනාප ආරවුල දුරදිග ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ සහෝදරයන්ගේ නැගණියක වූ ගාන්ධිනී රාජපක්ෂ මහත්මියගේ පුත් නිපුණ රණවක මාතර ඡන්ද සටනට අවතීර්ණ වීමත් සමඟය. ඔහු ඡන්දයට ඉදිරිපත් වනවාට දිස්ත්‍රික්කයේ ප්‍රබල චරිත විරැද්ධ වූ අතර නිපුණ වෙනුවට වැලිගම ප්‍රදේශයේ වෙනත් අපේක්ෂකයකු ලැයිස්තුවට දමන ලෙස ද යෝජනා කර තිබිණි. නමුත් නාමයෝජනා ලැබුණේ නිපුණටය. දැන් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිස්ත්‍රික්කය පුරා සරැවට කරගෙන යයි. ඒ සමඟ දිස්ත්‍රික්කයේ ප්‍රබලයන් නිපුණට හිරිහැර කරමින් ඔහුගේ මනාප කඩන බවට නිපුණ හිතවාදීහු කියති. එහෙත් නිපුණ විරෝධීන් කියන්නේ පොහොට්ටුවේ ප්‍රබලයන් නිපුණ මනාප ලැයිස්තුවේ ඉහළ තැනකට ගෙන ඒමට ක්‍රියා කරමින් තමන්ට බරපතළ අසාධාරණයක් කරන බවය. මාතර මනාප ලැයිස්තුවේ මෙතෙක් ඉහළ තැන්වල සිටි අය ඒ නිසා බියට පත්ව සිටින බව වාර්තා වෙයි. ඇතැමෙක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අමතා කියා ඇත්තේ තම අපේක්ෂකයන් කිහිප දෙනකු ඡන්දයට පෙර ඉල්ලා අස්වීමට පවා සූදානම්ය කියාය.

මහින්ද රාජපක්ෂ මහතාට ද මෙය දැනගන්නට ලැබිණි. එවිට මහින්ද කීවේ අපේ පක්ෂයේ සැලුන් දොර හැමදාම යන්නත් එන්නත් විවෘතය කියා පමණි. කෙසේ හෝ මාතර පොහොට්ටු අපේක්ෂක පිරිස දැන් දෙකට බෙදී සිටින බව පැහැදිලිව පෙනේ. ඩලස්, කාංචන විජේසේකර ඇතුළු පිරිසක් වෙනමත්, මහින්ද යාපා, ලක්ෂ්මන් යාපා, නිපුණ රණවක ඇතුළු පිරිසක් වෙනමත් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙති. මෙය දකුණේ දේශපාලනය රත්කළ පුවතක් බවට පත්ව තිබේ. මහනුවරත් පොළොන්නරුවේත් මේ ආකාරයටම මනාප ඡන්ද සටන් පවතී. මහනුවර මහින්දානන්ද ප්‍රමුඛ පිරිස, කෙහෙළිය ප්‍රමුඛ පිරිස තරගයකය. පොළොන්නරුවේ හිටපු ජනාධිපති මෛත්‍රී හා පොහොට්ටුවේ රොෂාන් රණසිංහලා තරගයකය. මෙතෙක් නිල් පැහැ ඇඳුමින් සැරසී සිටි හිටපු ජනාධිපති මෛත්‍රී ද කවුරුත් නොසිතූ ලෙස කුරහන් පැහැයෙන් යුත් කමිස හැඳ ඡන්ද ව්‍යාපාරය කරන්නේ පොහොට්ටුවේ ප්‍රබලයකු ලෙසිනි. හිටපු ජනාධිපතිවරයාගේ වේදිකාවේ මුල් දිනවල දක්නට නොසිටි චතුරිකා සිරිසේන සහ දහම් සිරිසේන යන දූ පුතුන් ද දැන් ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටිති. එහෙත් හැමදාමත් මෛත්‍රීගේ ඡන්ද සටන රත්කරන ඩඩ්ලි සිරිසේන දක්නට නැත.

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරන රත්නජීවන් හූල් ආචාර්යවරයා මේ රටට ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. එක්තරා පෞද්ගලික රෑපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හූල් මහතා මෙම ප්‍රකාශය කළේ මේ සතියේය. ෆෙඩරල් ක්‍රමය දෙමළ ජනයාගේ එකම අපේක්ෂාව බවත්, ඒකීය රාජ්‍ය සංකල්පයට ඇති විකල්පය ෆෙඩරල් ක්‍රමය බවත් ඔහු පැවසීය. උතුරට ෆෙඩරල් පාලනයක් ලබාදීම සිංහල ජනතාවටත් හොඳ යැයි ඔහු වැඩිදුරටත් කියා තිබිණි. රත්නජීවන් හූල් මහතා මෙයට පෙර අතීතයේදීත් උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍ය යැයි කියා තිබිණි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔහු ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස සිටිමින් ෆෙඩරල් පාලන කතා මාධ්‍යයට ප්‍රකාශ කිරීමය.

රජයේ සංස්ථා හා මණ්ඩලවලට ප්‍රධානීන් පත්කරද්දී ඔවුන්ට වසරක කාලයක් හා ඉලක්ක ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. දැන් එම පළමු වසරේ මාස 6කට වැඩි කාලයක් ගෙවී ගොසිනි. ඒ සමඟ ජනාධිපතිවරයා විටින් විට රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩල කැඳවා ප්‍රගති සමාලෝචනය පටන්ගෙන ඇත. ගුවන්විදුලි සංස්ථාව, අයි.ටී.එන්. ආයතනය මුලින්ම කැඳවූ ආයතනයි. මේ සතියේ දිගටම පාඩු ලබන ලුණු සංස්ථා පාලක මණ්ඩලය කැඳවා තිබිණි. ලුණු සංස්ථාව පාඩු ලබද්දී එහි නව සභාපතිවරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ජංගම දුරකතනයක් මිලට ගත් බවට පසුගිය සතියේ චෝදනා එල්ල විය. ඒ සමඟ ලුණු සංස්ථා සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවූ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ රජය යටතේ ලාභ ලැබූ මෙම සංස්ථාව 2016 – 2017 වසරවල සිට ලාභය අඩුවී ගොස් ගිය වසර වන විට රැපියල් දෙකෝටියක අලාභය මත පවත්වාගෙන යයි. සංස්ථා ප්‍රධානීන් කැඳවා ලුණු සංස්ථාව ලාභදායී තත්ත්වයට පත්කළ යුතු ආකාරය ගැන ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ලුණු පිටරටින් ගෙන්වා අලෙවිය රජය නතර කරන බැවින් වහා සංස්ථාව ලාභදායී තත්ත්වය පත් කරන්නැයි කීය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ මාධ්‍යයට වීඩියෝවක් මුදාහරිමින් මහ මැතිවරණය ගැන ප්‍රකාශයක් කර තිබිණි. එමගින් රනිල් කියා තිබුණේ තරැණ පරපුර පැරණි සම්ප්‍රදායික දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන බවය. තරැණයන් හොයන විකල්පය ඇත්තේ එ.ජා.පය සතුව බව පැවසූ රනිල් ඊට ගැලපෙන ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දෙන්නේ යැයි කීය. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම දියවන්නාවට තල්ලු කළ යුතු යැයි සිතන සමාජයක් බිහිවී ඇති බැවින් එ.ජා.පය ඊට විකල්ප සපයන එකම පක්ෂය යැයි සිය ප්‍රකාශය මගින් පැහැදිලි කළේය.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට යෝජනා කරන ලද එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට මේ සතියේ අමාත්‍ය මණ්ඩලය තීන්දු කළහ. ඒ සම්බන්ධයෙන් රජය තුළින්ම විරෝධතා එල්ල විය. අමාත්‍ය විමල් වීරවංශ කීවේ මෙය අත්සන් කළහොත් මොහොතක් හෝ ආණ්ඩුවේ රැඳී නොසිටින බවයි. උදය ගම්මන්පිල, විජයදාස රාජපක්ෂ ඇතුළු තවත් පාර්ශ්ව ගණනාවක් ගිවිසුමට විරෝධය දක්වා තිබිණි. ඒ අනුව අගමැතිවරයා මේ ගැන සොයන්නට පත් කළ විශේෂ විමර්ශන කමිටුවේ වාර්තාව මේ සතියේ ජනාධිපතිවරයාට බාරදුන්නේ එහි සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් විසිනි. එය බාරදෙමින් ආචාර්ය ගුණරැවන් කියා සිටියේ මෙම ගිවිසුම මගින් රටේ නීතිය මෙන්ම ජනතා පරමාධිපත්‍යය ද උල්ලංඝනය වන බවය. එසේම අමෙරිකාව කියනා ආකාරයට ගිවිසුම අනුව මුදල් ලැබීම ද සැකසහිත යැයි ඔහු කීය.

එවිට මේ ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා මේ ගැන රටටත් ජනතාවටත් කරුණු දක්වන්නැයි පැමිණ සිටි විද්වතුන්ට කීය. මෙය උසාවියට පවා වග නොකියන ගිවිසුමක් බැවින් ඊට අත්සන් නොකිරීම යෝග්‍ය යැයි කමිටු වාර්තාව මගින් කියද්දී ජනාධිපතිවරයා ද එය පිළිගෙන කැබිනට්ටුව මගින් තීන්දුවක් ගන්නා බව පැවසීය.

කලක් රජය සමඟ සුහදව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිටපු මන්ත්‍රී හිමියන් රජය සහ ජනාධිපතිවරයා මේ සතියේ දැඩි විවේචනයට ලක් කළහ. ජනතාව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා කියන තැනට පත්ව ඇතැයි පැවසූ රතන හිමියෝ ජනාධිපතිවරයා කාලේ ගල්අඟුරැ බලාගාර, රසායන පොහොර ආදියට විරැද්ධ ප්‍රතිපත්ති වත්මන් රජයේ නායකයන් පිළිගත්තත් දැන් ඒ ප්‍රතිපත්තිය උල්ලංඝනය කර ඇතැයි චෝදනා නැගීය. මෙම පොරොන්දු කඩකිරීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතු යැයි ද උන්වහන්සේ කීහ.

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් ඇමැතීය. කොරෝනා රෝගය මර්දනය සඳහා ජනාධිපතිවරයා කළ කැපවීම අගය කළ පාකිස්ථාන නායකයා මෙතරම් ඉක්මනට රෝගය පාලනය කිරීමේ ගෞරවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව පැවසීය. කලාපීය ආර්ථිකය නැවතත් නගාසිටුවීම සඳහා ද ජනාධිපති ගෝඨාභය මහතාට ඉන්දියාවේ ද සහාය ලබාගෙන පෙරමුණ ගන්නා ලෙස ඉම්රාන් ඛාන් මහතා ආරාධනා කළේය.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර