වසරේ උණුසුම්ම දේශපාලන සතිය ගෙවී ගියේය. එහෙත් සතිය මුලදී පැවැතියේ දැඩි දේශපාලන නිහැඬියාවකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීම ඊට හේතුව වූයේය. පොදුජන පෙරමුණ මාතර වැලිගමෙන් ද, සමගි ජනබලවේගය කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙන් ද, එක්සත් ජාතික පක්ෂය මරදාන සුදුවැල්ලෙන්ද මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කළෝය. ජාතික ජනතා බලවේගය සිය අවසන් රැලිය පැවැත්වූයේ අලුත්කඩේ ජුම්මා පල්ලිය අසලයි.
සතිය ආරම්භයේදී බැසිල් රාජපක්ෂ මහතා අනාවැකියක් කීවේය. මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සිව්වැනි තැනට වැටෙන බවත් පොදුජන පෙරමුණ ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් අඩක්වත් දෙවැනි තැන ගන්නා පක්ෂයට ගත නොහැකි බවත් ඔහු කීය. එසේම පොදුජන පෙරමුණ ආසන එකසිය තිහත් තිස් පහක් අතර ප්‍රමාණයක් ලබා ගන්නා අතර දෙමළ ජාතික සංධානයට ද දිස්ත්‍රික්ක තුනක් පමණ ජයගත හැකිවනු ඇතැයි ද අනාවැකි පළවිය. වෙනත් කිසිදු පක්ෂයක් එකදු දිස්ත්‍රික්කයක්වත් ජය නොගන්නා බව කියැවිණි. මෙම අනාවැකිය අතරෙම බැසිල් රාජපක්ෂ මහතා විශේෂිත කතාවක් කීවේය. ඒ අනුව කියවුණේ ජනතා විමුක්ති පෙරමුණ ද පාර්ලිමේන්තු ආසන කිහිපයක් ලබා ගන්නවාට තමා කැමති බවයි. බැසිල් රාජපක්ෂ අනාවැකි කීවාට වෙනත් කිසිදු පුද්ගලයෙක් හෝ පක්ෂයක් මෙවන් අනාවැකි කියන්නට ගියේ නැත. එම නිසාම මෙම ප්‍රකාශ සුවිශේෂී විය. පොහොට්ටුවේ අය නිතර කී තුනෙන් දෙකේ කතාවට මෙම ප්‍රකාශයෙන් අගතියක් වී දැයි පිරිසක් අතර කසුකුසුවක් පැතිර ගියේය.
මේ අතර මැතිවරණ කොමිසම ඡන්ද පොළ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට විශාල උත්සාහයක් දරමින් සිටියේය. ඔවුන් හමුවේ පැවති ප්‍රධාන අභියෝග ඡන්ද පොළ ජන්දදායකයා ආකර්ෂණය කර ගැනීමයි. එනිසාම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ එක්වී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා උත්සුක වූයේය. එයින් නොනැවතුණු ඔහු යූටියුබ් මාධ්‍යයේ ප්‍රකට චරිතවලට ද සම්මුඛ වීමේ තීරණයක් ගත්තේය. මෙය තරමක් විශේෂ තීරණයක් විය. අගරදගුරු කාදිනල්තුමන් ද විශේෂ ප්‍රකාශයක් කරමින් ඡන්ද දැමීමට ඡන්ද පොළට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. පුරවැසි යුතුකම මග නොහරින්න යැයි උන්වහන්සේ කීහ.
මැතිවරණ උණුසුම අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගෝස්තු තුන්වැනිදා රැස්වූයේ හිටපු කතානයක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය. නමුත් එහි සාමාජිකයකු වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වූයේ නැත. මෙය අටවැනි පාර්ලිමේන්තුවේ අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා අවසන් රුස්වීම වූ අතර මානව හිමිකම් කොමිසමේ සභාවේ සහාපතිනියගේ ඉල්ලා අස්වීම එහිදී අවධානයට ලක්විය. විශේෂිත සිදුවීම වූයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සාමාජිකයන් සියලුදෙනාම කරැ ජයසූරිය මහතාගේ සේවය අගය කිරීමයි. කරු ජයසූරිය මහතාගේ දේශපාලනයෙන් ඉවත් වීම පිළිබඳව ද මෙහිදී කතාබහක් ඇති විය.
පොදුජන පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයේදී සෑම ආසනයකට එකවරක් පමණක් ජනපති සහ අගමැති පැමිණීමට නියමිතව තිබුණි. ජනපති ඒ අනුව සෑම ආසනයකටම එකවරක් පමණක් ගියේය. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකම ආසනයකට දෙවරක් පැමිණියේය. ඒ මාතර වැලිගම ආසනයටයි. එහි සංවිධායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. මෙය සුවිශේෂී සිදුවීමක් විය. රාජපක්ෂ මහතාගේ නැගණියකගේ පුතකු වූ නිපුණ රණවක මාතර තරග බිමට පිවිසීම මේ ගමනට ප්‍රමුඛ හේතුවක් වූ අතර මහින්ද රාජපක්ෂ මහතා උපන් මාතර පාලටුව මව් පාර්ශවයේ නිවස ද පිහිටා තිබුණේ මේ ප්‍රදේශයේය.
මෙම ගමනේදී මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරැම මහතාට දුරකථන ඇමතුමක් ගත්තේය. තමන් වැලිගම එන බවත් එහි පැමිණෙන ලෙසත් ඩලස්ට දැන්වීය. නමුත් අලහප්පෙරැම මහතා කීවේ තමාට යොදාගත් රැස්වීම් ඇති බැවින් එහි පැමිණිය නොහැකි බවයි. මේ අතර කංචන විජේසේකර ද අගමැති හමුව මගහැරියේය. මහින්ද යාපා මහතා පමණක් අගමැති බැහැදැක්කේය. මෙය මාතර මනාප පොරයේ එක්තරා පිළිබිඹුවක් වූ බව තතු දත්තෝ කියන්නට වූහ.
නිහඬ කාලයේ මැතිවරණ ප්‍රචාරණය රහසේ කරන්නට සියලු අපේක්ෂකයෝ සූදානම් වූහ. මෙහිදී සමාජ ජාල භාවිතය කැපී පෙනිණි. ප්‍රවර්ධන දැන්වීම් දැමූ මුහුණු පොතේ පිටු කිහිපයක් හදිසියේම තාවකාලිකව තහනම් විය. කෙසේ නමුත් සිය හිතවතුන් මුණගැසීමට බොහෝ අපේක්ෂකයන් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් තිබුණි. පෝදා පන්සල් ගිය අපේක්ෂකයෝ ද වූහ.
සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමා කළ පසු තරමක් වෙනස් වැඩ කිහිපයක් කර තිබෙණු නිරීක්ෂණය විය. සජිත් ප්‍රේමදාස මහතා ඡන්දයට පෙර දා උදෑසන කලාශූරී ලතා වල්පොල හමුවීමට ඇගේ නිවසට පැමිණියේය. ඇයගේ සුවදුක් විමසූ ඔහු ඇය සමඟ එක්ව ගීතයක් ද ගායනා කළේය. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා දිවයිනේ ප්‍රමුඛතම සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් කණ්ඩායම සමඟ කාලය ගෙව්වේය. ලීඩ් ගිටාරය, බේස් ගිටාරය, ඩ්‍රම්ස් මෙන්ම ඕගනය ද වයමින් ඔහු සැහැල්ලුවෙන් කාලය ගත කළ බව මුහුණු පොතේ සටහනක් ද තැබුවේය.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කරමින් එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණි. තමන්ට "ඩීල්" එකක් ඇත්තේ රටේ මහජනතාව සමඟ පමණක් බවත් තමන්ගේ ඩීල් එක රටේ අභියෝගවලට මුහුණ දීම සඳහා ජනතාවට සහය දීම බවත් ඔහු කියා තිබුණි. ඒ මුදල් බෙදීම වැනි සිල්ලර විසඳුම්වලින් නොව නිසි ආර්ථික කළමනාකරණය මගින් ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ අතර නිහඬ කලයේදී ද යම් පිරිසකගේ පහර කෑමකට ලක්ව තුවාල ලැබූ සහ රෝහල් ගත කළ පක්ෂයේ ආධාරකරැවන් බැලීමට රනිල් වික්රමසිංහ මහතා රෝහලට ගොස් තිබුණි.
මැතිවරණ දිනයේ ද විශේෂිත සිදුවීම් කිහිපයක් සිදුවිය. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොළඹදී සිය ඡන්දය භාවිතා කිරීම ඉන් සුවිශේෂී විය. ඔහු කීවේ කොරෝනා මධ්‍යයේ වැඩිහිටි ජනතාව ඡන්දය දැමීමට උනන්දු කිරීමක් ලෙස තමා ඡන්දය ප්රකාශ කළ බවයි.
මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ පැඟිරිවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය ප්රකාශ කළ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ඡන්දය භාවිත කළේ කොළඹ විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේදීය. සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වීරවිල සුරනිමල කණිෂ්ඨ විද්‍යාලයේදී ඡන්දයේ අවසන් පැයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කළේය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්තේදී සිය ඡන්දය භාවිත කළේය.
මැතිවරණ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ වීමේ උනන්දුව පැවතියේ ඉතාම අවම මට්ටමකය. මේ හේතුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිටියේ කලබලයකිනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට රැඳී සිටියේ තංගල්ලේය. ජොන්ස්ටන් මහින්ද රාජපක්ෂ මහතා අමතා සර් ඡන්දේ වැටෙනවා අඩුයි මේ පැත්තට එන්න යැයි කීවේය. මහින්ද රාජපක්ෂ මහතා ඒ අනුව කුරුණෑගල බලා පිටත් විය. කුරුණෑගල ප්‍රදේශ කිහිපයක සංචාරක නිරත විය. ජනතාව ඔහු දැක ගැනීමට ඇතැම් ස්ථානවල පොදි කෑහ. කැෆේ සංවිධානය මේ සම්බන්ධව ක්ෂණිකව මැතිවරණ කොමිසමට පැමිණිලි කළේය.
ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙත ඇමතුමක් ගත්තේය. සභාපතිවරයා කීවේ වෙනස්ම කතාවකි. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටපු ජනාධිපති කෙනෙක්. අගමැති කෙනෙක්. එතුමා මොකටද මෙහෙම ඇවිදින්නෙ. එතුමාට ගෙදරට වෙලා ඉන්න කියන්න. යැයි ඔහු කීය. පසුව ආරක්ෂක නිලධාරියා මේ ඇමතුම ගැන මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා කීවේ එහෙනම් අපි යමු එතුමා කියනවනම් හැරි නෑනේ කියාය. ඒ අනුව ඡන්දය දා අග්‍රාමාත්‍යවරයාගේ කුරුණෑගල සංචාරය අතරමගදීම නිමාවිය.
මැතිවරණය අතරේම කුරැණෑගල රාජසභා මණ්ඩපයේ කතාව නැවත දිග හැරැණේය. නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුවිය. අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන කුරැණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස එහි සඳහන් විය. මෙම ඓතිහාසික ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම පසුගිය සමයේ ඇතිකරනු ලැබුවේ දැඩි දේශපාලන ආන්දෝලනයකි. කෙසේ නමුත් කුරැණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවම වීම පිටුපස මේ හා සම්බන්ධ කලකිරීම් වූ බවට සංවාදයක් හටගෙන තිබුණි.
මැතිවරණ දින රාත්‍රිය වෙනදා මෙන් මෙවර දේශපාලනඥයන් හට කාර්යබහුල නොවීය. ඊට හේතුව ඡන්ද ගණන් කිරීම පසුදාට යොදා තිබීමයි. ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ පසු අගෝස්තු හයවැනිදා උදෑසන පටන් ක්‍රමයෙන් දේශපාලන කරලිය උණුසුම් වන්නට විය. මුලින්ම ප්‍රතිඵල ලබාදීමට සමත් වූයේ ගාල්ල දිස්ත්‍රික්කයයි. ගාල්ලේ ඡන්ද ගණන් කිරීම යොදා සිටි නිලධාරීන් බහුතරයක් තරුණ පිරිස් විය. පූර්ව වැඩමුළුවලදී දිවයිනේ පළමුවෙන්ම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දිස්ත්‍රික්කය ගාල්ල විය යුතු යැයි ඔවුන්ට ඉලක්කයක් ලබාදී තිබුණි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රිකයේ ඡන්ද ගණන් කිරීම තරගයක මුහුණුවරක් ගෙන තිබුණි. කෙසේ නමුත් අවසානයේ ඔවුහු සිය අරමුණ මුදුන් පමුණුවා ගැනීමට සමත්වූහ.
මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීම පටන් ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ පසුබෑම කාගේත් අවධානය දිනා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ මහත් බලාපොරොත්තුව වූයේ කොළඹ දිස්ත්‍රික්කයයි. එජාප නායක රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු යැවීමට හැකිවෙතැයි පක්ෂයේ බොහෝ දෙනෙක් අවසානය තෙක්ම සිතා සිටියහ. ඒ පිළිබඳ සංවාද ද ඇතිවිය. මෙය සමගි ජනබලවේගයට ආරංචි වූ අතර ඔවුහු විශේෂ නිවේදනයක් නිකුත් කළහ. ඊට අනුව කියැවුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය 5%කට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිටියදී එම පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා හොර පාරෙන් පාර්ලිමේන්තු ඒම සඳහා කුමන්ත්‍රණය කරමින් සිටින බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිචාර දැක්වීමට ගියේ නැත. එසේම වික්‍රමසිංහ මහතාට කොළඹින් පාර්ලිමේන්තු යාමට අවස්ථාවක්ද නොලැබුණි.
මේ අතර වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීය. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වී ඇති මේ අවස්ථාවේ පරාජය, ජයග්‍රහණයේ මාවත කරගැනීමට කටයුතු කරන බව ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති සංවිධානය කිරීමට මේ අවස්ථාවේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කීවේය. පක්ෂයකට දැඩි විනයක් තිබිය යුතු බවත් ඉදිරියේ දී පක්ෂයේ විනය පිළිබඳව දැඩි තීරණ ගනු ලබන බවත් ඔහු පැවසීය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය සජිත් ප්‍රේමදාස මහතා ඇමතූ බවද දැනගන්නට ලැබුණි. පක්ෂ නායත්වය භාරගන්න ලෙස ඔවුන් ඔහුට කියා තිබේ.
ආරම්භයේ සිටම පොදුජන පෙරමුණ දැවැන්ත ඉදිරියක් ලබාගත්තේය. පක්ෂ ක්‍රියාකාරීන් බොහෝදෙනකු පවා මවිතයට පත්කළ මෙම ප්‍රතිඵල මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේ සිට නැරඹුවේය. අනතුරැව ප්‍රතිඵල නිකුත්වන අතරේම ඔහු කොළඹ පැමිණියේය. අරලියහ මන්දිරයේ විශේෂ මැතිවරණ මැතිවරණ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබුණි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාය. ජනපති මැතිවරණ ප්‍රතිඵල නැරඹුවේ මිරිහාන නිවසේ සිටයි. ජනපතිද මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර තිබුණි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ ජනපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාය. අනාගත කැබිනට්ටුව සම්බන්ධ තීන්දු තීරණ රැසක්ද මෙම රාත්‍රියේදී ජනපති විසින් ගනු ලැබුවේය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට පටන්ගන්නා විට ජතික ජන බලවේගය එජාපයට වඩා ඉදිරියෙන් සිටීම පිළිබඳවද කාගේත් අවධනය යොමුවිය. ජනතා විමුක්ති පෙරමුණ තුළ ද වැඩි ආසන සංඛ්‍යාවක් පිළිබඳ අපේක්ෂා දැල්වී තිබුණි. මාතර සුනිල් හඳුන්නෙත්ති සම්බන්ධ විශාල අවධානයක් විය. ඔහු ජයගනු ඇතැයි අවසන් මොහොත දක්වා වූ බලාපොරොත්තුව අවසානයේ බිඳී ගියේය. සියයට තුන ඉක්මවීමට ජාතික ජන බලවේගයට හැකි විය.
තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට අවසානයේ ජනපති ඉල්ලූ ජනවරම ඔහුට ලැබුණි. පසුගිය ජනාධිපතිවරණයේදී තමා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම නැවත වරක් ජනබලයෙන් බලාත්මක කරමින් මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විජයග්‍රහණයක් අත්කර දුන් සියලුදෙනාට මාගේ හදපිරි ප්‍රණාමය පුදන බව ජනාධිපති නිවේදනයක් නිකුත් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සුබ දිනයක්ද කල් ඇතුවම සූදානම් කරගෙන තිබුණි. ඒ අනුව අද (09) ඉරිදා දින කැලණිය රජමහා විහාරයේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිව්රුම් දෙනු ඇත. කැබිනට්ටුව දිවුරුම් දීමටද නැකතක් බලා තිබුණි. කොළඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ස්වාමීවහන්සේ නමක් විසින් එම නැකැත් සාදා තිබිණි. අගෝස්තු 11,14 සහ 15 දිනවල නැකත් තිබුණු අතර දිනයක් තෝරාගැනීම තරමක් ගැටලුකාරී විය. නමුත් අවසානයේ දී තීරණය කෙරුණේ අභිනව කැබිනට් මණ්ඩලය මහනුවර මඟුල් මඩුවේදී අගෝස්තු 14 වන දින දිවුරුම් දීමටයි.
චමිඳු නිසල්