2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

විපක්ෂ විරෝධය මැද රජය 20 සටන අරඹයි

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

  • ඒකීයභාවය 20න් හැලිලාද? සරත් වීරසේකර අසයි
  • එජාප 75 සංවත්සරයේදී පක්ෂයේ ආදි කර්තෘන්ට උපහාර
  • ප්‍රේමලාල් දිවුරුම් දෙයි: විපක්ෂය කළු සාටක පළඳියි
  • නායකත්ව සටනේ රුවන් ඉදිරියෙන්
  • ඩලස්ගේ විදුලි මාෆියා කතාව ගැන සාගරගෙන් ප්‍රශ්නයක්
  • සෝභිතහිමිගේ පිළිරුවළඟ 20 පරද්දන්න ප්‍රතිඥා දෙයි

විස්සෙන් ඇවිස්සී ගිය දේශපාලන කරළිය සතිය පුරා එකම කතා සාප්පුවක් වී තිබුණි. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රකාශයක් නොකළ දේශපාලනඥයෙක් සොයා ගැනීම පවා පහසු වූයේ නැත. මේ අතර නැවේ ගින්න දෙස පිරිසක් මුව අයා බලා සිටියෝය. ඒ අතර පාර්ලිමේන්තු ගිය රත්නපුරයේ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී දිවුරුම් දුන්නේය. එතන එකම ගාලගෝට්ටියක් වූ අතර ආනවිලුන්දාව රුම්සා තෙත්බිම් විනාශය නිසා ඇමැති සනත් නිශාන්තටද පටි තදකර ගැනීමට සිදුවිය. ගව ඝාතනය තහනම් කිරීමට යෝජනාවක්ද අග්‍රාමාත්‍යවරයා විසින් ගෙන එන ලදී. කෙසේ නමුත් පසුගිය සතිවල නිතර පුවත් මැවූ පක්ෂ අර්බුද, තනතුරැ ආරවුල් කතා තාවකාලිකව යටපත් වී ගියේය.

සතිය මුලදීම ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුව කාගෙත් අවධානයට ලක්වූයේය. 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ රුළියකදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට මරණ දණ්ඩනය නියම වූයේ පසුගිය ජූලි 31 වැනිදාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඔහුට දිවුරුම් දීමට ඇති හැකියාව පිළිබඳ මතුවූ නීති ගැටලුවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව නීතිපති මතය අනුව යමින් එය වළක්වනු ලැබීය. ඒ වනවිට මරණ දඬුවම් තීන්දුව අභියාචනා කර තිබීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර රිට් පෙත්සමක් ගොනු කළේය. එහි තීන්දුව ගෙවුණු සතියේ සඳුදා (7) ප්‍රකාශයට පත්විය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරැ ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරැන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරැ මඩුල්ලේ තීරණය රට තුළ ඇති කළේ ආන්දෝලනයකි. බන්ධනාගාර ගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරැම් දීම අවශ්‍ය පහසුකම් සපයන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබුණි. මේ නියෝගය නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ආණ්ඩුවේ පිරිසක් දිගින් දිගටම මතුකරමින් සිටි විරෝධය ඉදිරියට ගෙනයාමට මහෝපකාරී විය. ඔවුහු මෙම සිදුවීම හේතු කරගෙන ඉහළට කරැණු පැහැදිලි කරමින් සිටියහ.

ඒ අතර තීන්දුව සම්බන්ධව සතුටු නොවුණු විපක්ෂ කණ්ඩායම් මෙය අධිකරණ තීරණයක් නිසාවෙන් කට පරිස්සම් කරගන්නට විය. නමුත් ඊට විරෝධතා මතු නොවූවාද නොවේ. ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරැම් දීමට අවස්ථාව සැලසුණි. පසුගිය බදාදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරැම් දුන්නේය. එය එකම කලබගෑනියක් විය.

මෙදින සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණ සිටියෝය. දිවුරුම්දීම අතරතුර එම පිරිස කෑකෝ ගසමින් මන්ත්‍රීවරැ ඊට විරෝධය පළ කරන්නට වූහ. ප්‍රේමලාල් ජයසේකරට දිවුරුම් දීමට නීතිමය හැකියාවක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කළ අවස්ථාවේදී අධිකරණ නියෝගය උපුටා දක්වමින් කතානායකවරයා කරුණු පැහැදිලි කළේය. අවසානයේදී තමන් පැළඳ සිටි කළු පටි සභා ගැබ මැදට විසි කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉන් පිටව ගියහ. කෙසේ වෙතත් මෙම තීරණය සහ සිදුවීම පිළිබඳ විදෙස් මාධ්‍ය රැසක අවධානය යොමුවී තිබුණි.

සතිය ආරම්භයේදීම පැවති එක්සත් ජාතික පක්ෂ 75 වැනි සංවත්සරයද විශේෂිත විය. ලංකා ඉතිහාසයේ දැවැන්තම සහ ප්‍රබලම දේශපාලන පක්ෂය වූ එජාපය මෙවර සිය සංවත්සරය සැමරැවේ පාර්ලිමේන්තුවේ තමන්ට හිමිවූ එකම නියෝජනය පවා පත්කරගත නොහැකි වූ පසුබිමකය. සැමරැම මාධ්‍යයට පවා තහනම් විය. මාධ්‍යයට ආවරණය කරන්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ආදී කර්තෘන්ගේ පිළිරැවන් සඳහා පුෂ්පෝපහාර දක්වන අවස්ථාව පමණි. මාධ්‍යය සංවත්සරයට වද්දා නොගැනීම පක්ෂයේ ඉහළින්ම ආ තීරණයක් බව කියැවුණි.

සංවත්සරය අවසානයේ එජාප නායකත්වය අපේක්ෂිත කිහිප දෙනෙක්ම මාධ්‍යයට අදහස් දැක්වූහ. කෙසේ වෙතත් නායකත්වයට කරෑ ගෙන ඒමේ සටනට රවී සමඟ අර්ජුන රණතුංග හවුල් වී ඇති බව හෙළිවිය. වජිර සිටින්නේ වෙනස්ම තැනක බව දේශපාලන ආරංචි හරහා කියැවුණි. රැවන් විජයවර්ධන නායකත්වයට ගෙන ඒමට ආශු මාරසිංහ ඇතුළු සැලකිය යුතු පිරිසක් සිය උපරිමය කරමින් සිටින බව පැහැදිලි විය. ඒ අනුව නායකත්ව සටන ජයග්‍රහණය කිරීමේ වැඩිඉඩක් තාමත් රැවන්ට සතුවේ. මේ සියලු සිදුවීම් අතර එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානායක්කාරගේ ප්‍රකාශය විශේෂිත විය. ඊට අනුව කියැවුණේ 2021 ජනවාරි 01 වැනිදා වනතුරැ එජාපයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි. නව නායකයා පත්කිරීම ජනවාරි පළමු වැනිදා සිදුකරන බව එම ප්‍රකාශයට අනුව කියැවුණි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට කුමක්දෝ ග්‍රහ දෝෂයක් බලපා ඇති බවක් පෙනෙන්ට තිබුණි. ඔක්සිජන් කතාවෙන් එතෙරව යතුරැපැදි සවාරි ගැසූ ඔහු මෙවර ආනවිලුන්දාවේ නතර වී සිටියි. පසුගිය සමයේ මෙම ගැටලු ඇතිවන විට ආණ්ඩුවේ ඉහළම තැනකට දුරකතන ඇමතුමක් ගත් හෙතෙම ඉතා කනගාටුවෙන් කතාකර මේ චෝදනා අසත්‍ය බවත් ඒවා සත්‍ය නම් තමන් ඉල්ලා අස්වීමට වුවත් සූදනම් බවත් කියූ බව ආරංචි විය. නමුත් ගෙවුණු සතිය සනත් නිශාන්ත අමාත්‍යවරයාට නැවතත් අසුභ වූයේය.

එදා ආනවිලුන්දාව පරිසර විනාශය පිළිබඳ පරිසරවේදීන් විසින් අනාවරණය කිරීමෙන් අනතුරැව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත් කෙරිණි. පසුගියදා එහි වාර්තාව කරළියට පැමිණියේය. සී.බී. රත්නායක මහතා එම වාර්තාව පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළේය. ආනවිලුන්දාව රුම්සා තෙත්බිම් ප්‍රදේශය නීතිවිරෝධී ලෙස ඩෝසර් කරමින් ඉස්සන් කොටු ඉදිකිරීමට ක්‍රියාකර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තගේ මෙහෙයවීම මත බව විශේෂඥ කමිටුව හෙළිකර තිබුණි. මේ සමඟ ඔක්සිජන් ඇමති නමින් අන්වර්ථ නාමයක්ද පටබඳිමින් සනත් නිශාන්ත අමාත්‍යවරයාට එරෙහිව දැඩි විරෝධයතාවක් එල්ලවූයේය.

ඒ අනුව රැම්සා තෙත් බිම විනාශ කළේ තමන් බවට ඍජුව චෝදනා එල්ල නොවෙතත් ඒ සම්බන්ධයෙන් නීති කරුණු සොයා බැලීමට තමන් නීතිඥවරුන්ට භාරදී ඇතැයිද ඔහු පැවැසීය. විවිධ ප්‍රචාර මගින් තම කීර්ති නාමයට කිසියම් හෝ හානියක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය. ඒ අතරම පරිසරය සම්බන්ධව කරැණු වලදී නව රජය නිරන්තර අපහසුතාවන්ට පත්වෙන පසුබිමක් වගකිවයුත්තනට අවබෝධ වී තිබුණි. අවසානයේ පරිසර පැමිණිලි වෙනුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්ද කරළියට ආවේය.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පාමින් සමගි ජන බලවේග සිය පළමු ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. ඒ සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 දී පසුගිය 7 වැනිදා රුස්වූහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ විසින් විස්සට එරෙහි වීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ විසින් එය ස්ථීර කෙරිණි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කර එය ඉදිරියට රුගෙන යාම සිය ස්ථාවරය විය යුතු බව සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම මෙහිදී තීන්දු කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව සමගි ජනබල වේගය ඉදිරියේදී නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පැහැදිලි කරන්නට විය.

අනතුරැව අඟහරුවාදා (8) &19න් ඉදිරියට තේමාව කර ගනිමින් ජනතා විරෝධතාවයක් සමගින් ජපන් මිත‍්‍රත්ව මාවතේ පිහිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරැව අසලදී සමගි ජනබලවේගය සිය සටන ඇරඹුවේය. මේ අතර පුවත්කර්තෘවරැන් සහ මාධ්‍යවේදීන් සමඟ හමුවක්ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එදින උදෑසන පවත්වා තිබුණි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබුණේ විස්සට විරෝධය දක්වන අතර 19යේ ඇති සාධනීය කරුණු වඩාත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම තම අවශ්‍යතාව බවයි. 17 වැනි සංශෝධනයෙන් ජනතාව දිනාගත් 18 වැනි සංශෝධනය තුළින් ජනතාවට අහිමි කළ 19 තුළින් නැවත ජනතාවට හිමිකරදුන් අයිතීන් වෙනුවෙන් තම පක්ෂය පෙනී සිටින බව ඔහු කියා තිබුණි. එසේම 13 වැනි සංශෝධනය අහෝසි කිරීමටද තමන් විරැද්ධ බවද ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරැ වශයෙන් සඳහන් කළේය.

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවට රුගෙන ආවේය. එම යෝජනාව ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් සම්මත‍ කෙරිණි. මෙය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රසාදය වඩවඩාත් අග්‍රාමාත්‍යවරයා වෙත ලැබීමට හේතුවූ විශේෂිත තීරණයක් විය. කෙසේ වෙතත් මෙරට තුළ ගවයන් ඝාතනය තහනම් කිරීමේ තීරණය නීතිගත කිරීම තවත් මසකින් පමණ කල් දැමීමට පසුව රජය තීරණය කළේය. කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බ්‍රහස්පතින්දා (10) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

ගව ඝාතන කතාව කරලියේ ප්‍රමුඛ අවධානයක් දිනා ගත්තතද පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 දී අඟහරැවාදා රුස් වූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවේදී තවත් සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුව ආරම්භයේ දීම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර නැගී සිටියේය. ළඟදී අයවැය ඉදිරිපත් වන නිසා අයවැය පිළිබඳ දැනුවත් වීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඔහු අගමැතිවරායාගෙන් ඉල්ලා සිටියේය. ගොවියන් මුහුණ දෙන පොහොර ප්‍රශ්නය පිළිබඳව ද කතාබහක් නිර්මාණය විය. ගොවි ජනතාව බහුලව වෙසෙන දිස්ත්‍රික්කය නියෝජන කරන එච්. නන්දසේන, කුමාරසිරි රත්නායක සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි කර්මාන්ත අමාත්‍ය රොමේෂ් පතිරණ ආදී පිරිස මෙම සංවාදට එකතු වූහ. මෙහිදී ඉදිරි කන්නයේ වී ගොවිතැන සඳහා ආණ්ඩුව පොහොර සපයන බවත් අනෙක් වගාවන් සඳහා රැපියල් 1500 ක සහන මිලකට පොහොර ලබාදීමට සූදානම් බවත් හෙළිවිය

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රශ්න මතු කළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒකීභාවය ආරක්ෂා කිරීම සම්බන්ධව  දිවුරැම ඇති හත්වැනි උප ලේඛනය 20 හරහා ඉවත් වී ඇති බව ඔහු කීවේය. එය විශාල ගැටලුවක් බව වීරසේකර මහතා පෙන්වා දෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත නැගී සිට &හත්වැනි උප ලේඛන සම්බන්ධව අත්වැරදීමක් වෙලාද දැන්නෙ නෑ අපි ඒක බලමු යැයි කිවේය.

මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  හත්වැනි උප ලේඛන ඉවත් වීම කිසිසේත්ම සිදුවිය නොහැකි දෙයක් බව පැහැදිලි කළේය. මම රටට ඒකීයභාවය ගෙනාපු කෙනා. අපි කාටත් ඕනෑ ඒකීයභාවය පිළිබඳ දිවුරුම ඉවත් කරන්න වෙන තැනක ඇති හොයලා බලන්න යනුවෙන් අගමැතිවරයා කීය. මෙහිදී පොදුජන පෙරමුණු මහා ලේකම් සාගර කාරියවසම් හත්වැනි උප ලේඛනය 157 වැනි වගන්තියේ ඇතුළත් වන බව පැහැදිලි කළේය. ඒ පිළිබඳ කලබල වියයුතු නැති බවද කීවේය.
මේ ආදී සිදුවීම් හේතුවෙන් මන්ත්‍රීවරුන් ඇතිකරගන්නා අවුල් දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහචාර්ය ජී. එල්. පීරිස් මහතාට රාජකාරියක් පැවරැවේය. අපේ මන්ත්‍රීවරැන්ට මේකේ තියන මූලික හරය තොරතුරැ ඇතුළත් පොඩි නෝට් එකක් හදලා දෙන්න යැයි රාජපක්ෂ මහතා ජී. එල්. පීරිස්ට පැවසුවේය. චරිත හේරත් ද එය අනුමත කරමින් කතා කළේය. 

විදුලිබල ඇමති ඩලස් කියා තිබූ විදුලි මාෆියාව තියෙන්නේ දියවන්නාවේ යන කතාව පිළිබඳ මන්ත්‍රී සාගර කාරිවසම් ප්‍රශ්නය කරන්නට විය. ජනතාව පාර්ලිමේන්තුව ගැන කලකිරී සිටින විට සියල්ලන්ම ඇතුළත් වන පරිදි එවන් ප්‍රකාශ කිරීම නොසුදුසු බව ඔහු කීවේය. එවැන්නකට සම්බන්ධ කෙනෙක් සිටී නම් ඔහු නම්කළ යුතු යැයිද සාගර සඳහන් කළේය. කෙසේ වෙතත් ඇමති ඩලස් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව නීති සකස් වන නිසා ඇමැති ඩලස් එසේ කියන්නට ඇති බව පැහැදිලි කළේය.

ඊළඟට බහුකාර්ය රුකියා බලකාය පිළිබඳ ප්‍රශ්නයක් මතුකරනු ලැබුවේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. පසුව එය විශාල සංවාදයක් විය. අරුන්දික ප්‍රනාන්දු කිවේ තම කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ පවුල් 10 ක් පමණ තේරීමට ග්‍රම නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි. මෙම රුකියා පිළිබඳ  ගැටලු මතුවීම යහපත් චේතනාවෙන් වැඩ කරන ජනාධිපතිවරයාට හොඳ නැති බව ඔවුහු අවසානයේ කීහ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමඟ මේ පිළිබඳ කතා බස් කරන බව කියා පිරිස සන්සුන් කළේය.

ජාතික ජන බලවේගය ද විස්සට එරෙහිව සටනට සැරසෙමින් සිටී. ඒ අතර පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් සමඟ ගැටු‍ණේය. එය කාගෙත් අවධානය දිනාගත් සිදුවීමක් විය. පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් රුසකට අනුරකුමාර චරිත සහතික ලබාදුන්නේය.

කිහිපවිටකම අදාළ මාතෘකාවට පිටින් යමින් මරණීය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස  දිවුරැම්දීම සම්බන්ධයෙන් කතා පැවැත්විණි. කතානයකවරයා මේ කතා මාතෘකාවෙන් පිට පනින බව සිහිපත් කළේය. ඊට ආණ්ඩු පක්ෂයෙන් විටින් විට බාධා එල්ල විය. ඇමති ජොන්ස්ටන් මේ විරෝධයේ ප්‍රමුඛයා විය. විරෝධය දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සියල්ලන්ගේම වංචා දූෂණ මතක් කර දීමට අනුර කුමාර මහතා අමතක නොකළේය.
රාජ්‍ය අමාත්‍යවරැන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවැති රුස්වීමේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සාකච්ඡවකට එක්විය. මෙහිදී  ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මුල්කොටගෙන විපක්ෂය නගන චෝදනා ගැන අවධානය යොමුකළ ජනාධිපති තමා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකළ බව අවධාරණය කළේය.

‘බලපෑම් කරනවා නම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදු වූයේ නැහැ. මෙවර අධිකරණ තීන්දුව දුන් අභියාචනාධිකරණ විනිසුරැවරයා පත්කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරු ජයසූරිය, සජිත් පේමදාස, තලතා අතුකෝරළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි අනෙක නරකයි’ ජනාධිපතිවරයා විග‍්‍රහ කළේය.

විපක්ෂය මේ ගැන කරන ප්‍රචාර අසත්‍යබවද ජනාධිපතිවරයා කීය.

මේ අතර විස්ස තුළ ඇති ඇතැම් කරැණු පිළිබඳ ආණ්ඩුව තුළ සිටින විවිධ පක්ෂ මතුකරන විරෝධතා අග්‍රාමාත්‍යවරයා විසින් සැලකිල්ලට ගෙන තිබුණි.  බ්‍රහස්පතින්දා ආණ්ඩුවේ පක්ෂ නායකයන් රුස්වූ විට මේ සම්බන්ධව කතා බහක් ඇති විය. එහි දී ඔයගොල්ලොම කණ්ඩායමක් හැදිලා ඔය අඩුපාඩු ගැන මටයි ජනාධිපතිතුමාටයි වාර්තාවක් දෙන්න දින හතක් ඇතුළත යැයි මහින්ද රාජපක්ෂ මහතා කීවේය. ඒ සඳහා කණ්ඩායමක් ද පත්කෙරිණි. ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අලි සබ්‍රි, සුසිල් ප්‍රේමජයන්ත, එස්. වියලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් දොළවත්ත යන මැති ඇමැතිවරැ ඊට අතුළත් වූහ.

චමිඳු නිසල්