2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

මහින්ද සහ බැසිල්ගේ තුනෙන් දෙකේ ගේම් ප්ලෑන

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 973

  • හිටපු ජනපති මෛත්‍රීපාල අසීරුවට පත්කළ සාක්ෂිය
  • නාමල්ගේ පුතාගැන ආණ්ඩුපක්ෂ රැස්වීමේදී ඇදුන කතාව
  • අගමැති මහින්දගෙන් හරීන්ට අපූරු පිළිතුරක්
  • සමගි ජන බලවේගයෙන් 20ට එරෙහි කළු විරෝධයක්
  • විමල් - උදය - වාසුදේව විස්සේ දොස් දක්වති
  • විජයදාස රාජපක්ෂ ගන්න යන තීන්දුව?

 

 

විස්ස විෂ වූ විපක්ෂයේ කියුම් කෙරුම් හේතුවෙන්  පාර්ලිමේන්තුව උණුසුම් වනවිට විස්සේ දොස් නිදොස් කරන්නට සැරසුණු ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරැ නිසාවෙන් ආණ්ඩුවද රත් විය. ඒ අනුව කලකට පසුව ගෙවී ගියේ දේශපාලන කරළියේ නේක රැඟුම් සපිරි සතියකි. කැබිනට් කතා, උසාවි කතා කොමිෂන් හමුවට කැඳවූ ලොකු ලොක්කන්ගේ කතා සතියක පුරා අසන්නට දකින්නට ලැබුණි.

වෙනදාට බදාදා රැස්වෙන කැබිනට් මණ්ඩලය මෙවර රැස්වූයේ පසුගිය සඳුදාය. මෙම දින මාරුවට හේතුව වූයේ මැති ඇමතිවරැන්ගේ මහජන දිනය සඳුදා බවට පත්කිරීමේ තීරණයි. ඒ අනුව මහජන දිනය වෙනුවෙන් කොළඹ පැමිණි සියලු ඇමතිවරැ සඳුදා සවස්වරැවේ කැබිනට්ටුවට රුස්වූහ. විස්ස පිළිබඳ කතාව මෙදිනද කැබිනට්ටුව උණුසුම් කළේය. පෙරදීද විස්සේ දොස් දුටු විමල්, උදය, වාසුදේව යන ඇමතිවරු සුපුරුදු කතාවම කියන්නට වූහ.

අපි ආණ්ඩුව රුකගන්නයි කටයුතු කරන්නේ. අපි ආණ්ඩුවට විරුද්ධ නෑ. ඒ නිසා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණ, කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව, විගණන කොමිසම, හදිසි අණපනත් ගෙන ඒම පිළිබඳ වගන්තිය ආදී දේවල් සංශෝධනය වෙන්න ඕනෑ. එහෙම නැත්නම් මේ කටයුත්ත හරහා ආණ්ඩුවට කළු පැල්ලමක් එකතු වෙන්න පුළුවන්* යනුවෙන් ඔවුහු කීහ.

කෙසේ නමුත් මෙවන් අදහස් මතුවන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් ප්‍රකාශ කරන්නට උත්සුක වූයේ නැත. නමුත් සියලු තර්ක විතර්ක අසා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරමක් දැඩි මතයක සිට කතා කළේය. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා කියන කාරණාව මගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුක් වුණා! ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණ වේදිකාවේත් අපි ඒක කිව්වා. ඒ පොරොන්දු ඉටුකරන්න තමා මම මේ සංශෝධනය ගෙනාවේ. සංශෝධනයේ පීත_භාවය ප්‍රශ්නය කරන්න දෙයක් නෑ. කවුරු හරි ඇහුවොත් මේ සංශෝධනයේ පියා කවුද කියලා ජනාධිපති තමා මේකේ නිර්මාතෘ කියලා කියන්න. 19 අහෝසි කිරීම තමා මෙතැන ප්‍රමුඛ අරමුණ. අරක මේක වෙනස් කරන්න ගියොත් තව කාලයක් මේකට ගත වෙනවා. ඒකට වෙලාවක් නෑ. 19 තිබෙන හොඳ ලක්ෂණත් අරගෙන හොඳ ව්‍යවස්ථාවක් හදලා නිශ්චිත කාලයකින් ඉවර කරමු. මතක තියාගන්න මට දුන්න අවුරුදු පහෙන් අවුරුද්දක් දැන් ඉවරයි. යූ.එන්.පී. ආණ්ඩුවයි, කොවිඩ් එක්කයි කාලේ ගතවුණා. ඉදිරි අවුරැදු හතරේවත් ජනතාවට පොරොන්දු වුණු වැඩ ටික කරන්න දහනවයෙන්, තිබෙන බාධාව ඉවත් කරලා දෙන එකට තමුන්නාන්සේලා උදව් කරන්න.

නැවත කතාබහ අතරේ වාසුදේව අමාත්‍යවරයා පුරවැසිභාවය පිළිබඳ කතා කරන්නට වූයේය. එවිට ජනාධිපතිවරයා පුරවැසි අයිතිවාසිකම් රටේ සියලුම දෙනාට තිබිය යුතු බව කීවේය. ද්විත්ව පුරවැසිභාවය නිසා රටේ පුරවැසියකුට කිසිවක් අහිමි නොවිය යුතු යැයිද කීවේය. එවිට අමාත්‍ය උදය ගම්මන්පිල සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව වගේ රටවල නම් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ මෙවන් කරැණ සිතීමටවත් නොහැකි බව කීවේය. මේ කතාබහ අතරේ ජනාධිපතිවරයා නැවත කරුණු පැහැදිලි කළේය.ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා වැනි අයත් තමන් වෙත මේ හා සම්බන්ධ ලිපි යොමුකර ඇති බවත් තමන්ට මේ කිසිවක් සම්බන්ධ දැඩි මතයක් හෝ පෞද්ගලික මතයක් නොමැති නමුත් පොරොන්දු වූ පරිදි 19 ඉවත් කළ යුතු බවත් ජනපති කීවේය. ඊළඟට එන ව්‍යවස්ථාව ඔයගොල්ලන් කෙටුම්පත් කරලා ඕනෑ එකක් දාගන්න යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ව දැනුවත් කරන වැඩමුළුවක් සැප්තැම්බර් 21දා පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා අංක දෙකේදී පැවැත්විණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි අන්තර්ගතය රටට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිකරනු ලබන අහිතකර තත්ත්වය පිළිබඳව මෙම වැඩමුළුවේදී සාකච්ඡා විය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩමුළුවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම විද්වතුන් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.

ආණ්ඩුව විසින් ගෙන එන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගනු ලබන ස්ථාවරය මෙන්ම 19+ යෝජනාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය. එසේම 20 වැනි සංශෝධනය පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියාස් බාකීර් මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල, හර්ෂ ද සිල්වා, නීතීඥ සුරේන් ප්‍රනාන්දු, නීතීඥ ශිරාල් ලක්තිලක යන පිරිස මෙම කමිටුවට පත්වූහ.

කැබිනට්ටුව රුස්වීමට කලියෙන් එදිනම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද පවත්වා තිබුණි. ඊට ජනාධිපති අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරු සහභාගී වූහ. එහිදීද ජනාධිපති කියා තිබුණේ සංශෝධන වේ නම් ඊළඟ අවස්ථාවේදී සිදුකර ගැනීමට හැකි බවයි. ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතුයි යන පොදු තීන්දුවට ආණ්ඩුව පැමිණියේය. මෙහිදීද අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩි මත දැක්වීමක් සිදුකළේ නැත. මෙදින රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපන්දිනයද වූයෙන් කණ්ඩායම් රුස්වීමේදී උපන්දින සාදයක්ද විය. රෝහිත අබේගුණවර්ධන කේක් කැපූ අතර සියල්ලෝම ඔහුට සුභපැතූහ.

මෙම කණ්ඩායම් හමුවේදී සිදුවූ රසකතාද දේශපාලන ආරංචි මාර්ග අතර විය. මෙම රසකතාවට මුල්වූයේ විමල් වීරවංශ අමාත්‍යවරයා මතුකළ ප්‍රශ්නයකි. ඇයි මේ ජනාධිපති ධූරයට තරග කිරීමේදී තිබුණු අවුරුදු 35 සීමාව අවුරුදු 30 කළේ. දැන් ඉතින් නාමල් මන්ත්‍රීතුමාටත් වයස අවුරුදු 35ක් නේ. විමල් විරවංශ එසේ කියන විට ඈතක සිට කෑගැසුවේ චාමර සම්පත් මන්ත්‍රීවරයායි. නෑ නෑ වයස අඩුකළේ ජීවන් තොණ්ඩමන් හින්දා ඔහු කීවේය. කාටත් සිනහා පහළවන අතරේ ප්‍රසන්න රණතුංග මහතා කතාවට පොහොර දැමීමට සිතා තවත් කතාවක් කීවේය. නෑ එහෙම නෙවෙයි, අපේ නාමල් මන්ත්‍රීතුමාගේ පුතාට අවස්ථාවක් දෙන්න ඕක කළේ. අවසානයේ ජ්‍යෙෂ්ඨයෙක් මැදිහත් වී කරැණු කාරණා පැහැදිලි කළේය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේත් ජනාධිපති ධූරය දැරිය හැකි වයස් සීමා ලෙස දක්වා තිබුණේද වයස අවුරුදු 30 බවත් කී හෙතෙම මෙම වෙනසට හේතුව පැහැදිලි කළේය.

විස්ස සම්මත කරගැනීමේදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තීන්දුව කුමක් වේද යන්න පිළිබඳ තවමත් අවිනිශ්චිතය. ආණ්ඩුවටද ඒ හා සම්බන්ධව තොරතුරැ නැති බව දැනගන්නට ලැබේ. ඒ කෙසේ වෙතත් තුනෙන් දෙකක බහුතරය නිර්මාණය කර ගැනීමේ කටයුත්ත බැසිල් රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු සැලසුම් කරමින් සිටිති. ආරංචි මාර්ග අනුව විපක්ෂ මන්ත්‍රීවරු 12ක් අවශ්‍ය වුවහොත් 20ත් සහාය දක්වන බවට ප්‍රතිඥා දී ඇති බව කියැවේ. මුල් අදියරේදී එයින් පස් දෙනකු පමණ එකතුකර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවටද තොරතුරු ඇත. එම මන්ත්‍රීවරු තමන් සිටින පක්ෂයේ සිටම එම සහයෝගය ලබාදීමට වැඩි ඉඩක් ඇති අතර පක්ෂ මාරැවක් පිළිබඳ අවසන් තීන්දුව ඔවුන් තවමත් අරගෙන නොමැත. සුළු ජාතික පක්ෂ මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරැ කිහිපදෙනෙක්ද මේ අතර සිටින බව කියැවේ.

සැප්තැම්බර් 22 අඟහරුවාදා සතියේ දේශපාලනයේ තීරණාත්මක දිනයක් විය. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ සමඟම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඊට දැඩි විරෝධයක් පළ කිරීමට පියවර ගත්තේය. කළු පටි පැළඳ විරෝධතා පුවරු ඔසවමින් මෙම විරෝධය පළ කිරීමට ඔවුහු පියවර ගත්හ. මෙය එක්තරා දේශපාලන අලකලංචියක් විය. මේ අපූරු සිදුවීම් කිහිපයක්ම සිදුවිණි.

විරෝධය උණුසුම් වනවිට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වූ හරීන් ප්‍රනාන්දු, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් මහත්වරු ආණ්ඩුව පැත්තට විත් විවිධ දෑ කියන්නට වූහ. අපි මේ සටන ගෙනියන්නේ මහින්ද මහත්තයා බේරගන්න යනුවෙන්ද ඔවුහු කියන්නට වූහ. මේ අතර අගමැතිතුමා තරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෝකයේ කොහේවත් නෑ යනුවෙන්ද කියැවුණු අතර මේක හරහා එතුමාගේ බලතල කප්පාදු කරනවා කියාද කතාවක් කියැවුණි. මෙම කතා අසා සිනහාසෙන අතර රාජපක්ෂ මහතා අපූරැ කතාවක් කීවේය.

ඔව්...ඔව්... හොඳයි හොඳයි ඉතිහාසයේ පළවෙනි වතාවට තමා මට මේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා කියන්නේ විපක්ෂයෙන්. ඒක හොඳ සහතිකයක්. අගමැතිවරයා එසේ කීවේ තමා අවට සිටින මන්ත්‍රීවරුන්ටයි. කෙසේ නමුත් විපක්ෂයේ විරෝධය ආණ්ඩුවට විනෝදයක් වූවාක් මෙන් විය. විරෝධය අතරේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතා අසලට පැමිණ තිබේ. එයත් අපූරැ සංවාදයක් වී තිබුණි. සර් අපි මේක නවත්තන්නද තව ගෙනියන්නද? හරීන් අසා ඇත්තේ එසේය. සර් සභාව කල් තියන්න. එතකොට මේක ඉවරයිනේ යනුවෙන් ඔහු පවසා ඇත. විරෝධය හමුවේ සභාව කල් තැබුවහොත් එය විපක්ෂයේ ජයග්‍රහණයකට සමානය. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතමයා වූ මහින්ද රාජපක්ෂ මහතා එය හොඳින් දනියි. එම නිසා සිනහාසෙමින්ම ඔහු හරීන්ට ලබාදී ඇත්තේ අපූරැ පිළිතුරකි. උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්නේ. ඉතින් ඔයගොල්ලෝ ඇතිවෙනකම් කරගෙන යන්න. අපි අපේ වැඩ ටික කරගෙන යන්නම්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවුණු සතිය සුභ නොවුණි. ඊට හේතුව වූයේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා  සහ  හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා නිකුත්කර තිබූ මාධ්‍ය නිවේදනයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වැනිදා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණි. ඊට විරෝධය පළ කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නිවේදනය නිසා තම සේවාදායකයා තැති ගැන්මකට හා බියට පත්ව සිටින බවයි.

ඒ අනුව 24දා පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම නොතීසි නිකුත් කළේය. අවසානයේ කොමිසම මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට මේ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අවවාද කළහ. නැවත මෙවන් මාධ්‍ය නිවේදන නිකුත් නොකරන ලෙසද හිටපු ජනාධිපතිවරයාට කොමිසම දැනුම් දී ඇත. ඒ අනුව තවදුරටත් කොමිසම ප්‍රකාශකර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාද නුදුරු දිනකදී සාක්ෂි විමසීම සඳහා කොමිසමට කැඳවන බව ඔහුට දන්වා යවා තිබියදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ මෛත්‍රීපාල සිරිසේන සහ සමීර ද සිල්වා මහත්වරුන් එවැනි නිවේදනයක් නිකුත් නොකළ යුතුව තිබුණු බවයි. මේ අතර 23 වැනිදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම නැරඹීමටද හිටපු ජනාධිපතිවරයා සහභාගි විය. කෙසේ වෙතත් එම සාක්ෂිද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සැනසුමට හේතුවූවාද යන්න සැක සහිතය.

මේ අතර විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් උසාවි ගියේය. ඒ අනුව සමගි ජනබලවේගය පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කළේය. එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමට අනුව 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියැවුණි. එසේම එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබුණි.

සමගි ජන බලවේගයට අමතරව 20 වැනි සංශෝධනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන තිබේ. දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ වනවිට 20ට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්ව තිබේ. ඒ අනුව ඉදිරියේදී මෙම පෙත්සම් විභාග වනවාද නැද්ද යන්න පිළිබඳ දැනගත හැකිවනු ඇත.

මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා දැඩි ලෙස රෝගාතුරව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අසූහත් වියැති ඒ මහතා කලකට පසුව සිය නිල නිවෙසේ රැඳී සිටින බවත් නිවසෙන් පිටතට නොයන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවත් කියැවේ. මීට අමතරව උතුරෙන් ජනපතිට ලිපියක් යොමුකර ඇති බවද අසන්නට ලැබේ. දේශපාලන ආරංචි අනුව වසර 30ක පමණ කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගල කළ සටන්කාමීන් සිහිකිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් මෙන්ම අයිතියක් බවත් පවසමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ලිපිය යවා තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන්ද මේ සතියේ තරමක වෙනස් පුවතක් අසන්නට ලැබුණි. සත්‍යය අසත්‍යය තහවුරැ වී නැතත් ඊට අනුව කියැවුණේ පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බවයි. එසේම අමරතුංග මහතා ඉදිරි සති 2 තුළ මෙම දිවුරැම් දීම සිදුකරනු ඇතැයිද මේ සමඟම කියැවුණි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමුව නම සඳහන් කළ පුද්ගලයා ජෝන් අමරතුංග මහතාය. එනිසාම මෑතකදී ඔහු කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බවය. එජාප මෙම තීරණය පිළිබඳ නිල නිවේදනයක් තවම නිකුත් කර නොමැත. එහෙත් ඉදිරි සති 2 තුළ දැනට හිස්ව ඇති පක්ෂයේ සභාපති, උප සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරැද නායකත්වය විසින් පිරවීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂ නායකයන්ගේ අයිතීන් කප්පාදු කිරීමට කතානායකවරයා ගත් තීරණයක් මුල්කොට ගෙන අනුර කුමාර මන්ත්‍රීවරයා සැප්තැම්බර් 24 පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ අවස්ථාවේදී විශේෂ සිදුවීමක් සිදුවිය. පාර්ලිමේන්තු සභා ගැබේ දකුණු පැත්තේ ආණ්ඩුවත් වම් පැත්තේ විපක්ෂයත් ඒ දෙක හරි මැදින් කතානායක පුටුව තිබුණාට කතානායකවරයා වන ඔබ බරව සිටින්නේ දකුණට බරව බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කතානායකවරයා අමතා ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේදී කතානායකවරයා පුටුවේ හරි මැද වාඩිවීමට උත්සාහ ගන්නා ආකාරයද දක්නට ලැබිණි. මෙය සුළු සිදුවීමක් වුවද මාධ්‍යයේ උකුසු ඇස මීට යොමුවිය.

අනුර කුමාර මහතා පිළිබඳ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවේදීද සාකච්ඡා වී තිබුණි. ඔහු ආණ්ඩුව දැඩිව විවේචනය කරන බවත් එය තවත් ඉවසා නොසිටිය යුතු බවත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කියා තිබේ. ඒ අනුව අනුර කුමාර මහතා පිළිබඳ තමන් සතු සියලු තොරතුරු එළියට දමන බව මන්ත්‍රීවරුන් පිරිසක් කියා ඇත.

 චමිදු නිසල් 

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00