කාර්යබහුල දේශපාලන සතියක් ගෙවී ගියේය. දේශපාලන කරළියේ මාතෘකා රුසක් නිර්මාණය වී තිබිණි. සැබවින්ම ගෙවුණු සතිය දේශපාලන සලාදයක් හා සමවූයේය. 2021 අයවැය, ජනාධිපති පත්වී වසරක් සම්පූර්ණ වීම, මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය, බදියුදීන්ගේ කැළෑ නඩුව, සිල් රෙදි නඩුව, දෙමළ සන්ධානයේ පිපිරීම ආදිය මෙම සලාදයේ අනුපාන විය. කෙසේ නමුත් රසවත් මෙන්ම වැදගත් සිදුවීම් රැසක් සතිය පුරා සිදුවූයේය.
සතිය ඇරඹුමේ සඳුදා දේශපාලන කතාවේ නායකයා වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සමත් විය. මෙදින විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ එළිපෙහෙළි කිරීමෙන් සිදුවූ හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය නියෝග කළේය. ඒ අනුව ඊට වැයවන මුදල මසක් ඇතුළත හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන්ගෙන් අයකර ගන්නා ලෙසටද අභියාචනාධිකරණය නියෝග කර තිබුණි. මෙය කාගේත් අවධානය දිනාගත් තීන්දුවක් වූ අතර සමාජ මාධ්‍ය මෙම තීන්දුවෙන් උණුසුම් විය.
පොදුවේ සඳුදා දිනය සමගි ජන බලවේගයට සුබවූයේ නැත. සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මධූෂ් සහ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ බිරිඳ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රශ්නය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික‍්‍රමරත්න සඳුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවේය. ඔහුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබුණි.
ගෙවුණු සතියේ අඟහරුවාදා දිනය දේශපාලන වශයෙන් වැදගත් දිනයක් විය. 2021 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් වීම ප්‍රමුඛතම සිදුවීම වූ අතර තවත් විශේෂිත සිදුවීම් රුසක් සිදුවූයේය. එය මෙරට ඉතිහාසයේ 75 වැනි අයවැය විය. පාර්ලිමේන්තුව මාධ්‍යයට විවෘත නොවූවෙන් අයවැය පිළිබඳ අතුරු කතා බොහොමයක් යට ගියේය. එහෙත් කැපී පෙනෙන සිදුවීම් කිහිපයක් විය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීම මත කතානායකවරයා විසින් විනාඩි 10ක කාලයක් සඳහා සභාව කල් තැබීම ඉන් එකක් විය. පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් සිටියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය අසුනේ අසුන් ගැනීමට කථානායකවරයාගෙන් අවසර ඉල්ලීම අනෙක් සිදුවීම විය.
සමගි ජනබලවේගයද මෙදින අලුත් වැඩකට අත ගැසුවේය. සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රීවරු %විශේෂ මෙහෙයුම් මැදිරියක්’ ආරම්භ කිරීමට කටයුතු කළහ. කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීමත්, එම ගැටලු පිළිබඳව අදාළ බලධාරීන්ගේ සහ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසඳා ගැනීමට සහාය වීමත් යන අරමුණු කරගෙන මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කළ බව ඔවුහු පැවසූහ. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී විය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවද අඟහරුවාදා (17) දින පැවතියේය. ඒ අනුව අයවැය ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුව, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මන්ත‍්‍රී කණ්ඩායම රුස්විය. එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේම උපන් දිනයන් යෙදී තිබීම සුවිශේෂී විය. ඒ අනුව කේක් ගෙඩි තුනක්ම කපා උපන් දින සැමරීමට පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී සිදුවූයේය. දිනයේ උපන් දින තරු වූයේ ප්‍රේමනාත් දොළවත්ත, වීරසුමන වීරසිංහ සහ ආණ්ඩුට අලුතින් එක්වූ අරවින්ද් කුමාර් යන මන්ත්‍රීවරුන්ය. සමරුව අවසානයේ අරවින්ද් කුමාර් ස්තුති කතාවක්ද කළේය.
&මම ආණ්ඩු දෙකේම හිටියා. ඉස්සර අපිට උපන් දිනයක් තියෙනවාද කියලාවත් කවුරු දන්නේ නෑ. අගමැති කෙනෙක් අතින් කේක් කෑල්ලක් කන්න දුන්න එක ගැන ඔබතුමාට ස්තූතියි. මේක මට නම් ලොකු භාග්‍යයක්* යනුවෙන් මන්ත්‍රීවරයා ස්තූතිය පළ කළේය. මෙම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවට අරවින්ද් කුමාර්ට අමතරව සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට පැමිණි ඉෂාක් රහුමාන් සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරුද සහභාගී වූහ. අයවැය විවාදයට අදාළ කරුණු සහ කෝවිඩ් සම්බන්ධව තීන්දුව තීරණ පිළිබඳවද මෙදින සාකච්ඡා ඇතිවිය.
මේ අතර අඟහරුවාදා සංවේගට හේතුවූ සිදුවීමක්ද විය. රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමියෝ අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරදීය. අපවත් වනවිට එහිමියන් 98 වැනි වියේ පසුවූහ. රාජ්‍ය නායකත්වය ඇතුළු සියලුදෙනා හිමියන්ගේ අපවත් වීම සම්බන්ධව සිය ශෝකය ප්‍රකාශ කර සිටියහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මාධ්‍ය හමුවකදී අමු මාළු කෑවේය. මෙය සමාජ මාධ්‍යයේ දැඩි ආන්දෝලනයක් ඇතිකළ අතර ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවා සිදුවීම වාර්තාකර තිබුණේ අපකීර්තිමත් අයුරිණි. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් තුළද යම් අප්‍රසාදයක් මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. එහෙත් පසුව තමන් අමු මාළු ආහාරයට ගැනීම නිසා අද රටපුරාම මාළු මිල ඉහළ ගොස් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය. රටේ ජනතාව මාළු කෑමට ඇති වී තිබූ බිය නැති කිරීමට තමන් නැටුවේ තොවිලයක් බවද ඔහු පවසා තිබුණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දින යෙදී තිබුණේ නොවැම්බර් 18 වැනිදාය. ඊට දින දෙකකට ඉහතදී මහින්ද රාජපක්ෂ මහතාට විශේෂිත දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙනි. රාජපක්ෂවරුන් සමඟ පසුගිය සමයේ නොරොක් වූ සිත් ඇතිව සිටි මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මෙම ඇමතුම සුවිශේෂී විය. හිමියන් කීවේ මෙවන් කතාවකි. &මහින්ද මහත්තයෝ ඔබතුමාගේ උපන්දිනේට හැමදාමත් දෙන කිරි අම්මාවරුන්ගේ දානේ මේ වතාවෙත් තියෙනවා නොවරදවාම එන්න ඕනෑ. උදේ පාන්දර එන්න ඕනෑ.
මෙම කිරි දානය වසර ගණනාවක සිට මුරුත්තෙට්ටුවේ හිමියන් විසින් අභයාරාමයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සිදුකරනු ලබන්නකි. නොවැම්බර් 18 වැනිදා කිරිදානයට හිමියන්ට හිතවත් මැති ඇමතිවරුන්ට මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසකටද ඇරුයුම් ලැබුණි.
මේ ඇරුයුම අනුව සිය ජන්ම දිනය යෙදුණු බදාදා දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදෑසනම අවදි විය. පාන්දර හතර පහ වනවිට මහින්ද රාජපක්ෂ මහතා අභයාරාමයට පැමිණ සිටියේය. ඒ වනවිටත් දුරකථන මාර්ග ඔස්සේ සතර අතින් රාජපක්ෂ මහතා වෙත සුභපැතුම් ගලා ඒම ආරම්භ වී තිබිණි. අභයාරාමයට පැමිණි රාජපක්ෂ මහතා කිරිදානයේ වැඩ කටයුතු සඳහා සහභාගී විය. අනතුරුව උදෑසන පටන්ම සුභපතන්නන් රුසක් මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියහ. තානාපතිවරු ප්‍රමුඛ දේශීය විදේශීය ප්‍රභූ චරිත රුසක් පෞද්ගලිකව මුණගැසී අග්‍රාමාත්‍යවරයාට සුභ පැතීමට උත්සුක වූහ. අතොරක් නැතිව ගලා ආ දුරකථන ඇමතුම් අතරේ උදෑසනම රාජපක්ෂන්ගේ අපූරු දේශපාලන මිතුරා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සුභපැතුම සුවිශේෂී විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩාමේ කොළඹ අවට සිටි සැලකිය යුතු පිරිසක් එකතු වී සිය නායකයාට සුභපැතුම් එක කිරීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවට පැමිණෙන විට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසල් උපන් දින කේක් එකක්ද සකසාගෙන ආවේය. නෙළුම් කුළුණේ අනුරුවක් වූ ඒ අපූරු කේක් එක සුභපැතුම් මැද මහින්ද රාජපක්ෂ මහතා කැපුවේය. අනතුරුව අසල සිටි ඇමති සී.බී. රත්නායක ඇතුළු පිරිසට කේක් එක කපන්නැයි මහින්ද රාජපක්ෂ මහතා කීවේය. සී.බී. සීරුවට පොඩියට කේක් කෑලි කපන්නට වූ අතර එය දුටු රාජපක්ෂ මහතා අපූරු කතාවක් කීවේය.
වනජීවි ඇමති වුණාට කමක් නෑ. කැළේ කපනවා වගේ ඕක කපන්න එපා. ටිකක් ලොකුවට මේ අයට ඇතිවෙන්න කපන්න.
මෙම සාදයෙන් පසු අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් සහභාගී වියයුතු උත්සව කිහිපයක් සඳහා පිටත්ව ගියේය. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේ නව පර්යන්තයක් විවෘත කිරීම ඒ අතරින් විශේෂිත විය. එදින දිවා භෝජනය මෙහිදී ලබාගැනීමට කටයුතු සංවිධානය වී තිබුණි. මීට අමතරව මරඳගහමුල නිවාස ව්‍යාපෘතියක් ඇරඹුමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවූයේය. අනතුරුව සවස හුණුපිටිය ගංගාරාමයේ පැවැති විශේෂ පූජාවකි. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා සහභාගී විය. සියලු කටයුතු නිමාවී මහින්ද රාජපක්ෂ මහතා සවස් වරුවේ නිවෙසට පැමිණෙන විට තවත් සුභපතන්නන් රුසක් පැමිණ සිටියහ. කෙසේ නමුත් වෙහෙසට පත්ව සිටි අග්‍රාමාත්‍යවරයා පොදුවේ සියල්ලන්ටම කතාකොට විවේක ගත්තේය.
රාත්‍රිය එළඹෙනවිට රාජපක්ෂ පවුලේ සියලු දෙනා රාත්‍රී භෝජනය සංග්‍රහයක් වෙනුවෙන් සූදානම් වී සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා විවේක ගෙන පහළට එනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇමති චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු සහෝදර සහෝදරියන්ද දරු මුණුපුරන්ද රාජපක්ෂ නිවසට පැමිණ සිටියෝය. ඒ අනුව රාජපක්ෂ පවුලේ සියල්ලන්ගේම සුභපැතුම් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. පිරිස මැදියම් රූ එළඹෙනතුරු රාජපක්ෂ නිවසේ කාලය ගත කළහ. ඔවුන් විසිර යනවිට මහින්ද රාජපක්ෂ මහතාට දිනය පුරා ගලා ආ දුරකථන ඇමතුම් ගංගාවේ ධාරිතාවය දෙදහසක් පමණ වී තිබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වී වසරක් සම්පූර්ණ වීම බදාදා සිදුවූ විශේෂ සිදුවීමක් විය. ඒ නිමිත්තෙන් ජනපති ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. වසරක ධූරකාලය තුළ අභියෝග හමුවේ සිදුකළයුතු කටයුතු පිළිබඳ ජනපති මෙහිදී අදහස් දැක්වීය.
මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණදී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජනවලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්නවලට මුහුණදී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.
හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමටයි. ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ. යනුවෙන් ප්‍රබල ප්‍රකාශයක්ද මෙහිදී ජනාධිපතිවරයා සිදුකළේය.
මේ අතර පසුගිය සතිය වනවිට දෙමළ ජාතික සන්ධානය දැවැන්ත අර්බුදයකට මැදිවෙමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව කියැවෙන්නේ දෙමළ ජාතික සංධානයේ හවුල්කාරීත්වය දරණ පක්ෂ ගණනාවක් ඉන් ඉවත් වී වෙනම සංධාන ගතවීමට යන බවයි. මෙය කාලයක් පුරා තිබූ බල අරගලයක් ප්‍රතිඵලයක් බවත් සම්පන්දන් මහතා අසනීප වීම සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා වෙත ඇති අභ්‍යන්තර විරෝධය මීට හේතුව වී ඇති බව කියැවේ.
ඒ අනුව මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් ඇති ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය සන්ධානයෙන් බිඳී යනු ඇති බව කියැවේ. ඒ අනුව දෙමළ මහා සභාව වැනි නමකින් ගොඩනංවන බව කියැවෙන සන්ධානයේ නායකත්වය සේනාධිරාජා මහතා හට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එසේම විග්නේෂ්වරන්ගේ පක්ෂය මෙන්ම ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්. වැනි කණ්ඩායම්ද එක්වීමට නියමිත බව කියැවේ. තවද හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය නවනීදන්පිල්ලේ වැනි ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගේද සහාය ඔවුන් ලබා ගැනීමට සූදානමින් සිටිති.
මේ සමඟම මහවිරු දිනය හේතු කොටගෙනද උතුරේ යම් ආන්දෝලනයක් ඇතිවී තිබේ. පොලීසිය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් ප්‍රකාරව වව්නියාව සහ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සැමරුම පැවැත්වීම තහනම් කරමින් නියෝග දෙකක් නිකුත් කර ඇත. ඒ අතර මෙම මස 21 හෝ 27 යන දෙදිනෙන් එක් දිනක් මහවිරු දිනය සැමරීම වෙනුවෙන් ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. මහවිරු දිනය සැමරීම උතුරේ ජනතාවගේ අයිතියක් බව ඔහු කියා සිටී.
සතිය පුරා පැවති සංවාද අතරින් අයවැය ප්‍රධාන විය. අයවැය පිළිබඳ විවිධ මත රුසක් පළවූ අතර ජනතා විමුක්ති පෙරමුණ මූලිකව අයවැය පිළිබඳ අවධාන යොමුකර තිබුණි. බදාදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සිය විරෝධය මුදා හැරියේය. මේක කළු සල්ලි සුදුකරන අයවැයක් බවත් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබාදීම වෙනුවට පීඩාව ජනතාව පිටම පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදි ප්‍රකාශ කළේය.
අයවැය යෝජනාවල අවසාන භාගයේදී කළු සල්ලි සුදු කරන්න ක්‍රමයක් යෝජනා කරනවා. අයවැය යෝජනාවලට ආයෝජනය කරන කළු සල්ලිවලින් 1%ක් ආණ්ඩුවට ගෙවලා නිදහස් වෙන්න ක්‍රමයක් ආණ්ඩුව කියාදෙනවා. එතකොට කළු සල්ලි සුදු කරන අයවැයක් මේ ගෙනල්ලා තියෙන්නේ. නීත්‍යානුකූල ක්‍රමවලට ආදායම් හොයන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බව මේකෙන් පේනවා. නීති විරෝධී ලෙස හම්බ කරන අයගේ සල්ලි ආයෝජනය කරන්න මාර්ග අයවැයෙන් කියා දෙනවා* යනුවෙන්ද ඔහු තවත් පැහැදිලි කර තිබුණි.
19 වැනි බ්‍රහස්පතින්දා වැදගත් සිදුවීම් කිහිපයක් කිහිපයක් සිදුවිය. සිල් රෙදි නඩුවේ තීන්දුව විශේෂිත සිදුවීම වූයේය. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව සිල් රෙදි නඩුව පවරා තිබිණි. යහපාලන ආණ්ඩු සමයේ සිල් රෙදි සිදුවිම සම්බන්ධයෙන් ඔවුන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝග නිකුත් කර තිබිණි. නමුත් මෙවර නිකුත් කරන ලද එම නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය 19 වැනිදා නියෝග කරනු ලැබීය. ඒ අනුව ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
රාජපක්ෂ පාලන සමයේදී 2015 වසරේ සිල් බෙදාදීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ මුදල් අවභාවිත කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව මෙම පෙත්සම් ගොනුකර තිබිණි. එහිදී මහාධිකරණය විසින් ඔවුන්ට සිර දඬුවම් නියම කරන ලද අතර ඔවුන් එය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කරනු ලැබීය. එම නඩුවේ තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන ලදී.
කොළොඹ කෝවිඩ් පැතිර යාමේ අවදානම සමඟ කොළඹ මහනගර සභාව දේශපාලන කරළියට පැමිණ සිටියි. පසුගිය සතියේ එය මනාව දැක ගැනීමට තිබූ අතර ආණ්ඩුවේ ඇතැම් තීරණ කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය විසින් විවේචනය කෙරිණි. මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මෙසේ ප්‍රකාශ කළාය.
කොළඹ මහනගර සභා සීමාවේ සියයට 70ක් පමණ මේ වනවිට හුදකලා තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මට්ටක්කුලියයි මෝදරයි හුදෙකලා කරලා තියෙනවා. නමුත් මහවත්ත, අලුත් මාවත, ලුණුපොකුණ හුදෙකලා වෙලා නෑ. හුදෙකලා කරපු අතරමැද්දට හුදෙකලා නොවිච්ච තැන් කිහිපයක් තියෙනවා. වටේම හුදෙකලා කරලා මැද ප්‍රදේශ ඇරියාම ඒකේ කට්ටිය එහාට මෙහාට යනවා. ඒ හේතුව නිසාම සමහර හුදකලා කරපු ප්‍රදේශවලත් නිරෝධායනය කරපු අයත් රුකියාවට යනවා. රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න. මම කැමති නෑ කොවිඩ් හේතු කරගෙන රජය ෆේල් වෙනවට.
ගෙවුණු සතියේ එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් යම් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළේය. බ්‍රහස්පතින්දා (19) එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡාක් පැවැත්විණි. කෙටිම කාලයකින් පිරිහුණු පාලනයක් සහ අයවැය පිළිබඳ කරුණු අනාවරණය කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබූ බව රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කොට තිබුණි. මෙම සාකච්ඡාව සඳහා පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර මහතාද එක්ව සිටියහ. සිරිකොත ක්‍රියාකාරීත්වය සම්බන්ධව මෙය සුවිශේෂී සිදුවීමක් විය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙහිදී ආණ්ඩුව වෙත සිය විරෝධය ගොනු කළේය. සියල්ල දන්නවා කියල හිතාගෙන ඉන්න පාලකයො කොහේවත් නැති බවත් මගේ වචනෙ චක්‍රලේඛ කියා හිතන පාලකයො ඉන්නව නම් ඒ රටට පැවැත්මක් නැති බවත් ඔහු කියා සිටියේය. එසේම මේ රටේ අර්ථිකය කඩා වැටුණේ කොරෝනා නිසා නොව බලයට පත්වුණ ගමන්ම බදු ආදායම අහිමිකර ගැනීමේ ප්‍රතිවිපාක නිසා යැයිද ඒ මහතා පැවසීය.
තවද අයවැය තුළ අර්ථසාධක අරමුදලට අනතුරක් නිර්මාණය වී ඇති බවත් ආණ්ඩුව රටට ඇත්ත කිවයුතු බවත් කී ඒ මහතා ආණ්ඩුවේ ආර්ථික දැක්ම වහා රටට හෙළි කරන්න යැයිද පැවසීය. එසේම එළඹෙන වසරේදී ඇතිවෙන අර්බුදවලට ආණ්ඩුවේ විසඳුම් මොනවද? යන්නද විජේවර්ධන මහතා ප්‍රශ්න කළේය.
මේ අතර යුරෝපා සංගමය ශ්‍රී ලංකාව කෙරෙහි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ආනයන තහනම ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සහ ජිනීවා 30/1 යෝජනා සම්බන්ධව ඔවුන් ප්‍රශ්නය කර තිබුණි. මෙම ලිපියේ යටිපෙළ වූයේ තර්ජනාත්මක බවකි.
&වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජනය වෙතද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණු සාක්ෂාත් කරගැනීමටද එය බාධාවකි.* යනුවෙන් සිය ලිපියේ සඳහන් කර ඇති බවත් යුරෝපා සංගමය ලබාදී ඇති සහන ආධාර සම්බන්ධවද සිහිපත් කොට ඇත. එසේම 30/1 යෝජනා සම්බන්ධව ඔවුන් මතුකර ඇත්තේ මෙවන් අදහසකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයද අවධානයට යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අතර සංහිඳියාව, සාධාරණත්වය හා සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවෙන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ. ඒ බව යුරෝපා සංගමය වෙතද ශ්‍රී ලංකාව තහවුරු කර ඇත. රජය ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටද යුරෝපා සංගමය නිරතුරුව සූදානමින් සිටී.
මෙම ලිපියට ප්‍රතිචාර දැක්වීමට සිකුරාදා වනතුරුත් ආණ්ඩුව කටයුතු කර නොතිබුණි. කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධානීන් සහ විදෙස් ප්‍රතිපත්තීන් පිළිබඳ සලකා බලන ආණ්ඩුවේ හිතවතුන් අතර මෙම ලිපිය සම්බන්ධව අභ්‍යන්තර සංවාදයක් ඇති බව දැනගන්නට ලැබී තිබේ.
චමිඳු නිසල් ද සිල්වා