උද්ඝෝෂණ උත්සව පෝලිම් සියල්ල සපිරි සතියක් ගෙවී ගියේය. දේශපාලන සංදර්ශන නොඅඩුව දක්නට ලැබුණි. අග්‍රාමාත්‍යතුමන්ගේ ජන්ම දිනයද ගෙවුණු සතියට යෙදී තිබුණි. එසේම ජනපති පදවි ප්‍රාප්තියේ දෙවැනි සැමරීමද ගෙවුණු සතියේ සිදුවිය. ඒ අතර ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් බොහෝ දෙනෙක් සපුගස්කන්ද දෙස බලා සිටියහ. සමස්තයක් ලෙස වැහිබර කාලගුණය නොසලකා සතියේ දේශපාලනය උණුසුම් විය.
අඟහරුවාදා (16) ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගයේ විරෝධතාව කොළඹදී පැවැත්වුණි. ශාපලත් ආණ්ඩුවට එරෙහි ජනබලය නමින් සංවිධානය කර තිබූ ආණ්ඩු විරෝධී මෙම පාගමන පිළිබඳ ආරම්භයේ පටන්ම වූයේ ව්‍යාකූල තත්ත්වයකි. ආණ්ඩුව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් විරෝධතාව පැවැත්වීම විටකදී අභියෝගයක් විය. එහෙත් අවසානයේ විරෝධතාව පැවැත්වීමට සජබ නායකත්වය තීරණය කළේය. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීහු මේ පිළිබඳ නොසතුට පල කළෝය. ඒ අනුව එයද හේතුවක් කර ගනිමින් පොලීසිය විරෝධතා වළක්වාලීමට අධිකරණ නියෝග ලබාගැනීමට උත්සාහ කළේය. ඒ අනුව අලුත්කඩේ, කඩුවෙල, මහර, හෝමාගම යන අධිකරණ හරහා වාරණ නියෝග ලබාගැනීමට පොලීසිය සමත්විය. එහෙත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රමුඛව මාළිගාකන්ද, ගංගොඩවිල අධිකරණ විසින් වාරණ නියෝග ලබාදීම ප්‍රතික්ෂේප කෙරිණි.
කෙසේ වෙතත් 16 වැනිදා කොළඹදී පැවැත්වුණු විරෝධතාවට පැමිණුනු සමගි ජනබලවේගයේ පාක්ෂිකයන්ට පොලීසිය බාධා පමුණුවමින් මාර්ග බාධක යෙදුවේය. මේ සමඟ ප්‍රදේශ ගණනාවක සජබ ක්‍රියාකාරීන් සහ පොලීසිය අතර මතගැටුම් හටගත්තේය. මේ අතර ආරම්භයේදී විරෝධය පැවැත්වීමට හයිඩ්පාක් පිටිය වෙන් කරගෙන තිබුණත් පසුව සෞඛ්‍ය බලධාරීන් විසින් එය අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කිරීමට සජබ නායකයෝ තීරණය කළහ. විරෝධතාව ආරම්භ විය. කොළඹ මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණ ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් කෑගැසූහ. අනතුරුව ඔවුහු පිත්තල හන්දිය, ලිබර්ට් වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කළහ.
කෙසේ නමුත් ගමනාන්තය අවසන් මොහොත වෙනතුරුත් රහසක්ව තබා ගැනීමටද ඔවුන් තීරණය කර තිබුණි. විරෝධතාවට සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටියහ. පාගමන අවසානයේදී කොළඹ ගෝල්ෆේස් වටරවුමේදී විපක්ෂ නායකවරයා ඊට සම්බන්ධ වූ පිරිස ඇමතුවේය.
දැන් කොවිඩ් මර්දනය කරන්න නොවෙයි ආණ්ඩුව විපක්‍ෂය මර්දනය කරන්නයි හදන්නේ. පසුගිය කාලයේ විවිධ අය උද්ඝෝෂණ සිදුකළා. ඒ අයට ඒ නිදහස තිබුණා. නමුත් සමගි ජනබලවේගයට එය අහිමි කරලා. ඒත් අපි කියන්න ඕනෑ අපේ හඬ යටපත් කරන්න බෑ. මම අහන්නේ නෑ දැන් සතුටුද කියලා. මේ රටේ සියලු දෙනාගෙන් මම අහන්නේ දැන් සැපය ඇති නේද කියලා. හැත්තෑව, හැත්තෑ හත යුගය වගේ අද පෝලිම් යුගය බිහිවෙලා. ගෑස්, තෙල්, භූමිතෙල්, කිරිපිටි, හාල්, සීනි පෝලීම් මේ රජය බිහි කරලා හමාරයි.
ගෙවුණු සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් වෙනස්කම් කිහිපයක් අසන්නට දක්නට ලැබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවට සුවිශේෂී විය. මෙම යෝජනා හමුවේ දුමින්ද දිසානායක මහතා රුස්ව සිටි පිරිසට ලබා දී තිබුණේ මෙවන් පිළිතුරකි. වෙනම තරග කරන්න අවශ්‍යයි කියනවා නම් අපි ආසන සංවිධායකවරුන් දැනුම්වත් කරනවා, ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කරන්න කැමැත්තෙන් කට්ටිය ඉන්නවා නම් ඒ අය සුදුසුද නැද්ද කියලා බලලා ඒ අයට මාව මුණ ගස්වන්න.* මෙම සිදුවීම ශ්‍රීලනිප අනාගතය සම්බන්ධ ඉඟිකරන සිදුවීමක් බව තිරය පිටුපස සංවාදයට ලක්විය.
මේ අතර අයවැයෙන් යෝජනා වූ හිටපු ජනපති විශ්‍රාම වැටුප් කප්පාදුව තදින් දැනී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය. අයවැයෙන් හිටපු ජනාධිපතිගේ ධූර කාලය පිළිබඳව සලකා විශ්‍රාම වැටුප් කප්පාදුවක් කරන්න යෝජනා කරලා තිබෙනවා. ඇත්තටම ඒකේ ගැටලුවක් නැහැ. මොකද අපි පත්කරලා තියෙන්නේ ජනතාව. ඉතින් ජනතාවට සහන දෙන්න මගේ විශ්‍රාම වැටුප කපනවා නම්, මම තරම් ඒ ගැන සතුටු වෙන කෙනෙක් වෙන නැහැ. අයවැයට සහාය දෙනවාද නැත්ද කියන එක මගේ තනි තීන්දුවට ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාව දාලා සාකාච්ඡා කරලා තමයි අයවැයට දෙන ඡන්දය පිළිබඳව තීරණය කරන්නේ. මොකද අපි බොහෝම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් 12 දෙනකු සඳහා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙවුණු සතියේ තීරණය කර තිබුණි.
අයවැයත් සමඟ හිටපු ජනපති සේම හිටපු අගමැතිද කරළියට පැමිණියෝය. 2022 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ තුන්වැනි දිනයවූ අඟහරුවාදා (16) එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළේය. ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගන්නා ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය. රටේ මධ්‍යම පන්තිය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටද හිටපු අගමැතිවරයා කීවේය. කෙසේ වෙතත් එජාපයේ තවත් අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. අවසන් වතාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය රුස්වූ විට සිදුවූ සිදුවීමක් හේතුවෙන් අර්බුද වර්ධනය වන බවක්ද කියැවුණි. මෙම ගැටලු පිළිබඳ සජබ කණ්ඩායම්ද අවධානයෙන් පසුවන බව දැනගන්නට ලැබුණි.
රනිල් වික්‍රමසිංහ මහතා අය-වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ කතාවට පිළිවදන් දුන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. &අපි IMF එකත් එක්ක අපේ ආර්ථිකය ගොඩ ගන්න වැඩ කළා නම් අපිට ඔවුන්ගේ කොන්දේසි සියල්ලටම යටත් වෙන්න වෙනවා. ඔබතුමා කියන්නෙ අපිට අපේ රටේ මිනිස්සු පැත්තකට දාන්න කියලද? අපේ රටේ අහිංසක ජනතාවගේ රස්සා නැති කරන්න කියලද? අපේ මිනිස්සුන්ගෙ ස්වාධීනත්වය නැති කරලා ඒ මිනිස්සු මේ වෙලාවෙ වැටිලා ඉන්න තත්වෙන් තවත් ආගාධයට ඇදලා දාන්න කියලද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කළා නම් අපිට වෙන්නෙ ආර්ථිකය රකින්න මිනිස්සු අමාරුවේ දාන්නයි.*
මෙම සංවාද අවසානයේ පාර්ලිමේන්තු සභා ගර්භයෙන් එළියට පැමිණවිට රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති බන්දුලව ලොබියේදී එකිනෙකා හමුවූහ. එහිදී ඇතිවූ පිළිසඳරේදී බන්දුල ගුණවර්ධන මහතා සුපුරුදු ලෙස දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි &ඒක තමයි. මේ වෙලාවෙ අපි එකිනෙකාට චෝදනා කරගෙන ගහමරා ගන්න එක නෙවෙයි කරන්න ඕනෙ. අපේ මිනිස්සු හැමෝම වෙනුවෙන් එකතුවෙලා නිවැරදි තීන්දු තීරණ ගන්න ඕනෙ. හැබැයි ඒ තීන්දු තීරණ වලින් මොන දේ රුකුණත් අපේ මිනිස්සු අමාරුවෙ වැටෙනවා නම් අපිට ඒ තීරණ ගන්න බෑ. අපි එහෙම තීරණ ගන්නෙත් නෑ.*
දේශපාලන ආරංචි අනුව මෙම සංවාදය අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා තිබුණි. &ඔව්. ඒක ඇත්ත ඇමතිතුමා. අපිට පුළුවන් අහිතකර කොන්දේසි ඉවත් කරලා අපිට ගන්න පුළුවන් සහයෝගයක් තියෙනවද බලන්න.* මෙම ගැටලුව විසඳීම සඳහා පක්ෂ නායක හමුවක් කැඳවීම පිළිබඳවද දෙදෙනා සාකච්ඡා කර ඇති බව කියවුණි.
සෑම වසරකම නොවැම්බර් 21 දා සිට උතුරු නැගෙනහිර පුරා සතියක් තිස්සේ පවත්වනු ලබන මහවිරු සැමරුම් පිළිබඳ මෙවරද ආරක්ෂක අංශ අවධානයෙන් පසුවන බව පෙනී ගියේය. ඒ අනුව &මහවිරු සමරුව* පුදුකුඩිඉරිප්පු පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වීම තහනම් කරන මෙන් පොලීසිය තවත් ඉල්ලීමක්ද කර ඇතැයි වාර්තා විය. පොලීසියේ ඉල්ලීමට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ වාරණ නියෝග පනවා තිබුණි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ මියගිය සාමාජිකයන් සිහිකර එම සංවිධානයට අයත් කොඩි එසවීමට, මියගිය අයගේ ඡායාරෑප ප්‍රදදර්ශනය කිරීම, එම සංවිධානයේ ගීත ගායනා කිරීම හා එම සංවිධානයට අයත් වර්ණ සහිත කොඩි එසවීම හා තහනම් කරන ලද සංවිධානයේ ජාතික පුෂ්පය වන නියඟලා මල ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇතැයි වාර්තා විය.
කෙසේ වෙතත් උතුරේ බල අරගලය මෙම මහවිරු සමරුව හරහා ප්‍රදර්ශනය වූයේය. දෙමළ සංධානයේ මීළඟ නායකත්වය වෙනුවෙන් කිහිප දෙනෙක්ම වෙහෙසෙන බව වාර්තා විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් කටයුතු කරන දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) විසින් මෙවර උතුරු නැගෙනහිර පුරා 21දා සිට 27 දක්වා මහවිරු උළෙලක් සංවිධාන කිරීමට උත්සහා කරමින් සිටියේය. ඒ අනුව දෙමළ නිජබිම ආරක්ෂා කිරීමට ගොස් ජීවිතය පූජා කළ මිනිසුන් මිහිදන් කොට ඇති සුසාන භූමි වෙත ගොස් 27 වැනිදා පහන්, ඉටිපන්දම් දල්වා මල් පූජා කරන ලෙසට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඉල්ලා තිබුණි.
ආණ්ඩු පාර්ශ්වයට ගෙවුණු සතියේ සුවිශේෂීම දිනය වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයයි. එදිනට ඉල් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරු සියල්ලෝම පාහේ අනුරාධපුරය බලා පිටත්ව ගොස් සිටියහ. සඳහිරු සෑය සඟ සතුකොට පූජා කිරීම මෙදිනට යෙදී තිබුණි. ජනපති කල් ඇතිවම අනුරාධපුරය බලා ගොස් තිබුණි. බදාදා පස්වරුවේ ඇමැති එස්.එම්. චන්ද්‍රසේන සමඟ එක්ව ජනපති තවත් විශේෂිත ගමනක් ගියේය. එස්.එම්. චන්ද්‍රසේනද කැටුව ජනපති ගියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමටයි. නිෂ්පාදිත පොහොරවල තත්ත්වය විමර්ශනය කිරීමට පිරිස කටයුතු කළහ.
සඳහිරු සෑය විවෘත කිරීමේ කටයුත්තේ ප්‍රමුඛත්වය ලැබී තිබුණේ ආමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙතයි. සඳහිරු සෑයේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භ වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි. ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය මීට දායකත්වය සැපයූහ.
පොහෝදා (18) චෛත්‍ය රාජයාණන් වහන්සේ සඟ සතුකොට පූජා කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, අඹුදරුවන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය මෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය මෙදිනටම යෙදී තිබීම සුවිශේෂී කරුණක් විය. ඒ හේතුවෙන් ජනපතිට සහ අගමැතිට දස අතින් සුබපැතුම් ගලා එන්නට විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපූරු සංවේදී සුබපැතුමක් ජනමාධ්‍ය වෙත එක්කර තිබුණි. එය කාගේත් අවධානයට ලක්විය. &කුඩා කල සිට ම ඔබ ඇසුරෙහි හැදී වැඩුණු අපට ඔබේ මානව හිතවාදී ඇවතුම් පැවතුම් අරුමයක් නොවේ. එදා මෙදාතුර සුවහසක් ජනයාගේ සාතිශය ගෞරවාදරයට පත්ව ඇත්තේ ඔබ තුළ ඇති ජනහිතකාමීත්වය නිසා යැයි කීම අතිශයෝක්තියක්ද නොවේ. එවන් යුග පුරුෂයෙකුගේ ගුරුහරුකම් ලැබීමද මා ලද භාග්‍යයකි. ලාංකේය දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාණෙනි, සටන්කාමියාණෙනි, මගේ දයාබර සොයුරාණෙනි, ඔබට සුබ ජන්ම දිනයක් වේවා!*
මේ අතර පාර්ලිමේන්තුව තවත් අමුතු වැඩකට සූදානම් විය. &මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ඉන්දීයාවේ ගෞරවය දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සූදානම් විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම උළෙල අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.
දැනට සැලසුම් කර ඇති පරිදි යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේදී කතානායක ගැලරියටද කැඳවා ඒමට නියමිතය. එසේම කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත අතර සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනමනු ඇත. අනතුරුව විශේෂ උත්සවයක් පවත්වා එයට උපහාර පිදීමටද සැලසුම් කර ඇති බව කියැවේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණද දැවැන්ත විරෝධතාවයකට සූදානම් වන බව දේශපාලන කරළියේ කතාබහට ලක්විය. ගමෙන් පටන්ගමු නමින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය ගෙවුණු සතියේ ඇති ප්‍රදේශ කිහිපයකදී සංවිධාන කර තිබුණි. වර්තමාන දේශපාලනයේ දේශපාලනය සම්බන්ධයෙන් කලකිරී සිටින පිරිස් ජවිපෙය වෙත ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක්ද ඔවුන් සකසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතුරු අයවැය සම්බන්ධ පුළුල්ව විමසා බැලීම භාරවී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතාටය. ඒ අනුව ඔහු ඉකුත් සතියේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය. මෙවර අයවැය තුළින් රට පත් වී ඇති අර්බුදය හා අර්බුදයට පිළිතුරු සොයන ආකාරය පිළිබඳව පිළිබිඹු නොවූ බව ඔහු කීය. මෙවර අයවැය හිඟය රුපියල් කෝටි තුන් ලක්ෂ පහළොස් දහස් නවසියක් වන බව කියා සිටි ඔහු, මෙම හිඟය පියවීමට ආණ්ඩුව විසින් විදෙස් ණය මුදල් ලබා ගැනීමට අපේක්ෂා කළද, ආණ්ඩුව සඳහා ණය ලබාදීමට කිසිවකු සූදානම් නැති බවද කියා සිටියේය.
චමිඳු නිසල්