2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

අරුන්දික අස්වුණාද? අස්කළාද?

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 351

  • ඒයි කටවහනවා මමයි කතා කරන්නේ  
  • සජබ ගොවිබිම්වලට බසියි
  • බිත්තර ප්‍රහාරයෙන් ආණ්ඩුවත් කැළඹෙයි
  • මහමගදී බත්පැකට් කන්න  ෙවච්ච  මන්ත්‍රී පිරිසක්
  • චම්පික සජබයේ බර කිරයි
  • මෛත්‍රීපාලගෙන් අලුත් චෝදනාවක්
  • සරත් ෆොන්සේකාගෙන් සජිත්ට පාඩමක්

 

 

 

 

 

 

 

දහස ලැබී දශක හතකුත් වසර හතරක් ගෙවී ගිය තැන ශ්‍රී ලාංකීය දේශපාලනයේ ස්වභාවය අවබෝධ කරගැනීමට පසුගිය සතියේ දේශපාලන සිදුවීම් නිදසුන් කොට දැක්විය හැකිය. නිදහස සැමරූ සතියේ බිත්තර ගසා ගැනීම් දේශපාලන පුත්‍රයන්ගේ මැරකම් ප්‍රමුඛ මාතෘකා විය. සුපුරුදු සටකපටකම් දිය යට ගිනිකෙළි සේම නොසරුප් වදන්ද නිදහස් සතියේ අප ඇසිදිසි මානයේ වූයේය. එම නිසාම අපි සැබෑ නිදහස පිළිබඳ පැතුමන් සහිතව පසුගිය සතියේ දේශපාලන තතු විත්ති මෙලෙස විමසා බලමු. 

සතියේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් ප්‍රමුඛම සිදුවීම වූයේ රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් සිදුවූ පහරදීමයි. පසුගිය පෙබරවාරි දෙවැනිදා අලුයම රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩාවැදුණු පිරිසක් මෙම පහර දීම සිදුකොට තිබුණි. පහරදීමකින් සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. මෙම සිදුවීමට අදාළව සැකකරුවන් පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක්ද පොලිස් භාරයට පත්විය. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නමද ඒ සමඟම මෙම සිදුවීමට ඈඳුණි. අමාත්‍යවරයාගේ පුත්‍රයාද මෙම සිදුවීමට සම්බන්ධ බවට තොරතුරු ප්‍රචාරය විය.

සිදුවීමට පසුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ සිදුවීම පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබුණි. මෙම පුවත ජනාධිපතිගේ නොසතුටට සේම කෝපයටද හේතුවිය. ඇමතිවරුන්ගේ මෙවන් ක්‍රියා සම්බන්ධව කලකිරී සිටි ජනපති මීට පෙරද අරුන්දික ප්‍රනාන්දු සම්බන්ධ සිදුවීමක් පිළිබඳ නොසතුටින් පසුවිය. එම නිසාවෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙවර ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අමතා අරුන්දිකට දැනුම්දීමක් සිදුකරන ලෙස පවසා සිටියේය. ඒ අනුව මෙම කතාව සත්‍ය නම් වහාම තනතුරින් ඉල්ලා අස්වෙන්න යැයි අරුන්දිකට දැනුම් දෙන ලෙසත් සිදුවීම සම්බන්ධ පොලිස් පරීක්ෂණ සිදුකරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් ඒ වනවිටත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිදුකොට තිබුණේ මෙවන් ප්‍රකාශයකි.

මේ සිද්ධියට මගේ කියලා කවුරු හරි සම්බන්ධවෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් තුළ ඒ අය ගැන විනය තීන්දුවක් ගන්න මං අනිවාර්යයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම කවුරු හරි කියනවා නම් ඒකට මම සම්බන්ධයි කියලා, ඒක ඔප්පු කළොත් මං අනිවාර්යයෙන්ම අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවා.

ප්‍රකාශය එසේ වූ නමුත් මෙම සිදුවීම සම්බන්ධව විමර්ශනය කරන පොලිස් කණ්ඩායම්වලට දැනගන්නට ලැබුණේ අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ සම්බන්ධයක් අදාළ සිදුවීමට ඇති බවකි. එසේ තොරතුරු හෙළිදරව් වනවිට අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් පවසා තිබුණේ මෙය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව පුත්‍රයාගේ හිතුවක්කාරකම හේතුවෙන් වූ සිදුවීමක් කියාය. ඒ අනුව අමාත්‍ය පුත්‍රයා නීතිඥයකු සමග ගොස් පොලීසියට භාර විය. අවසානයේ ඇමැති පුත්‍රයා ඇතුළු සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී පෙබරවාරි 07 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කෙරුණි.

බ්‍රහස්පතින්දා අරුන්දික ප්‍රනාන්දු හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දෙනු ලැබීය. ඔහු ජනාධිපති හමුවට පැමිණෙන විටත් සිදුවීම සම්බන්ධව ජනාධිපති කරුණු සොයාබලා තිබුණි. අදාළ සිදුවීමට තමා සම්බන්ධ නැති බවත් එදින තමන් මහජන රුස්වීම්වල රුඳී සිටි බවත් අරුන්දික ප්‍රනාන්දු ජනපති හමුවේ පවසා තිබුණි. එහෙත් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත්තේ මෙම සිදුවීම ආණ්ඩුවට විශාල කැළලක් බවයි. නවකවධය පිළිබඳ නොව දැන් මෙම සිදුවීම පිළිබඳ සියල්ලෝම කතා කරන බවත් ජනාධිපතිවරයා ඔහුට පැහැදිලි කර තිබේ. එසේම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසද ජනපති ඔහුට එහිදී පවසා ඇත. ඒ අනුව බ්‍රහස්පතින්දා වනවිට අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වීමට තීරණය කළ බව සියලුදෙනාටම දැනගන්නට ලැබුණි.

පසුගිය සතියේ ඉරිදා ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පැවැති කලගෙඩිහේන ප්‍රදේශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන්ගත් මෝටර් රථය ඉලක්ක කරමින් යම් පිරිසක් බිත්තර ප්‍රහාරයක් දියත් කළහ. එම අවස්ථාවේදීම මෙම ප්‍රහාරය සිදුකළ දෙදෙනකු අල්ලා ගැනීමට ජවිපෙ ක්‍රියාකාරීහු සමත්වූහ. අදාළ සැකකරුවන් පොලීසියට බාරදුන් අතර ඔවුන් පෞද්ගලික ආරක්ෂක අංශයකට සම්බන්ධ බව කියැවුණි. ඒ සමඟම ප්‍රහාරය සිදුකළේ කාගේ අනුදැනුම යටතේද යන්න පිළිබඳ විශාල කතිකාවක් රට පුරා නිර්මාණය විය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඉලක්ක කර එල්ල කළ බිත්තර ප‍්‍රහාරය දේශපාලන වුවමනාව මත ප‍්‍රකට ආරක්ෂක ආයතනයක මැර පිරිසක් විසින් එල්ල කළ පහත්, නින්දිත සහ තිරිසන් ප‍්‍රහාරයක් බව එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජනබලවේගය වටා දිනෙන් දින එක්රොක් වන ජනතාව දැක එය දරාගත නොහැකිව සිදු කෙරෙන ප‍්‍රහාරවලින් ආණ්ඩුවට එහි ගමන කිසිසේත්ම නතර කළ නොහැකි බව ඔහු පවසා තිබුණි.

මේ අතර මෙම ප්‍රහාරය අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ අනුදැනුම යටතේ සිදූවූ බවටද කතාවක් දේශපාලන කරළියේ පැතිර ගියේය. ඒ හා සම්බන්ධව ඔහු මෙන්ම ඔහුගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයද බොහෝ සෙයින් කලබල වී සිටි බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි ලියුවේ ඒ අනුවයි. ඊට අමතරව මුහුණු පොතේද සටහනක් තබමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සිද්ධියට තමන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කොට තිබුණි.

වරදාන වරප්‍රසාද සම්බන්ධව කලක පටන් වර්ධනය වෙමින් පැවතුණු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කණස්සල්ල පසුගිය සතිය වනවිට තීව්‍ර විය. පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු 52 කට නිලරථ නොලැබීම මෙම කනස්සල්ලට මූලික හේතුව විය. තමන් මාදිවෙල මන්ත්‍රී නිවාසවලට පැමිණ මහමගදී බත් පැකට් එකක් මිලට ගෙන කන තත්ත්වයට පත්වනු ඇතැයි ඔවුහු කියා සිටියහ. ඒ අනුව මේ සම්බන්ධව ආණ්ඩුවේ ඉහළ පෙළේ රුස්වීම කිහිපයක සාකච්ඡා වී තිබේ.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට මෙම ප්‍රශ්න යොමුකිරීමට නවක මන්ත්‍රීන් සමත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පවසා සාකච්ඡා කර ඇතැයි කියැවේ. එසේම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සමඟත් අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධව සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ලැබේ. ඒ අතර වසර 2කට පසු ආනයනය කළ හැකිවන පරිදි මෝටර් රථ බලපත්‍ර නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම පිළිබඳ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. වසර දෙකකට පසුව වාහන ආනයනයට අවස්ථාව සලසා දීමටත් රජයේ බලාපොරොත්තු වන බැවින් එවන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මෙම යෝජනාවට අනුමැතිය ලැබීමත් මේ දක්වා සිදුව නොමැත.

පසුගිය සතිය වනවිට සමගි ජනබලවේගය වැඩි බරක් ලබාදී තිබුණේ රටපුරා උද්ඝෝෂණ විරෝධතා සංවිධානය කිරීම වෙනුවෙනි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් කාලය පුරාවට විරෝධතා තිහකට පමණ සහභාගි වූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. පොහොර ඉන්ධන ආදී රට තුළ පවතින ප්‍රධාන අර්බුදයක් ඉලක්ක කර ගනිමින් සජබ උද්ඝෝෂණ සංවිධානය වේ. මේ අතර පසුගිය සති අන්තයේදී සමගි ජනබලවේගය ගොවි ප්‍රඥප්තියද එළිදැක්වීම සිදුවිය.

ආණ්ඩු විරෝධය තදින් මතුකරන අතරේම සමගි ජනබලවේගයේ අභ්‍යන්තරයේ පවතින මත ගැටුම්ද ක්‍රමයෙන් වේදිකාගත වීම විශේෂිත විය. පසුගිය සතියේ පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා මහත්වරුන් විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය. &මාගේ සදා ආදරණීය පියාණන්* යැයි සඳහන් කරමින් ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාව දේශපාලන වේදිකාවේදී මතක් කිරීම පිළිබඳ සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාට පාඩමක් කියා දී තිබුණි.

එතුමාට මම බදුල්ලේදී කිව්වා... ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ.”

මේ අතර රටේ වත්මන් අර්බුදයට මුහුණදීමට සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය ප්‍රමාණවත් නැතැයි පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ. හුදු පිල් මාරුවකින් පමණක් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කර ඇත. එසේම 2015දී රට කරවීමට එක්සත් ජාතික පක්ෂයට ලැබුණු අවස්ථාව පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ලෙස සමගි ජනබලවේගය බිහි වී යැයිද රණවක මහතා පෙන්වා දී තිබේ. තමාගේ දේශපාලන ගමන දේශපාලන පවුලකින් හෝ ප්‍රධාන පක්ෂයක කාලයක් තිස්සේ රුඳී සිටීමෙන් නිර්මාණය වූවක් නොවන්නේ යැයිද පවසා ඇති ඔහු තමා ඉදිරියේදී සිටිය යුතු තැන සමාජ දේශපාලන තත්ත්වය විසින් තීරණය කරනු ඇතැයි පවසා තිබේ.

මෙවන් ප්‍රකාශ අතරේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සිදුකළ ප්‍රකාශයක් විපක්ෂයේ අභ්‍යන්තර දේශපාලන දේශපාලනය පිළිබඳ සුවිශේෂී ඉඟියක් ගෙනහැර පෑවේය. ඉකුත් සතියේ දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකළ අතර එක එක කණ්ඩායම්, එක එක පුද්ගලයන්, තමන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සූට් මැසීමක් සිදුවෙමින් පවතින බව ඔහු එහිදී පැවසීය. එසේම එම සූට් මහන, ජනාධිපති සිහින මවන අයට හැකිනම් තමන් සමඟ වැඩ කිරීමට, තරගයට සේවය කිරීමට පැමිණෙන්නැයි ආරාධනා කරන බව ඔහු මෙහිදී සඳහන් කළේය.  

පසුගිය සතියේ උතුරේද විරෝධතාවක් හේතුවෙන් කලබගෑනියක් ඇති විය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විරෝධතාකරුවන් හා සිදුකළ සාකච්ඡාවකදී ඔහු කෝපගෙන කෑගසන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍යයේ සංසරණය විය. සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් අපේ මුහුදේ මත්ස්‍ය සම්පත් ඉන්දියානු ධීවරයන් කොල්ලකෑමට එරෙහිව උතුරේ ධීවර ප්‍රජාව දියත් කර ඇති විරෝධතාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූයේය. විරෝධතාකරුවන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු රජයේ ආයතන ඉදිරිපිට පසුගිය සතියේ දැවැන්ත විරෝධතා මාලාවක් සංවිධානය කර තිබුණි. ඒ පිළිබඳව සොයා බැලීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිවිය.

ඉන්දීය ධීවරයන්ද අපගේ අත්අඩංගුවට පත්වන නිසාවෙන් ඉවසන ලෙස ඔහු ධීවර ප්‍රජාවට සිහිපත් කරන අතරේදී ධීවරයන් ඔහුගේ කතාවට බාධා කිරීම හේතුවෙන් දේවානන්දා මහතා කෝප වූයේය. අසුනෙන් නැගිට දමිළ බසින් ඒයි කටවහනවා මමයි කතා කරන්නේ යනුවෙන් දේවානන්දා මහතාට කෑගසන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි. කෙසේ වෙතත් දේවානන්දා මහතාට එරෙහිව උතුරේ සෙසු දේශපාලන පක්ෂ විසින් ධීවර විරෝධතාවය ශක්තිමත් කරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මේ වනවිටත් දේවානන්දා මහතා උතුරේ ධීවරයන්ට පොරොන්දු වී ඇත්තේ ඉන්දීය ධීවර යාත්‍රා තවදුරටත් උතුරේ ධීවරයන්ට බාධා ඇති කළහොත් ඒවා අත්අඩංගුවට ගෙන උතුරේ ධීවරයන්ට ලබාදෙන බවකි.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ආණ්ඩුව පාර්ශ්වයද විශේෂ වැඩ කටයුත්තකට අත ගැසුවේය. ඒ අනුව අයවැය යෝජනා පරිදි වැඩ ලක්ෂයක් වැඩසටහන ආරම්භ විය. ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩිකර ආදායම් ඉහළ නැංවීම අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ අරමුණ වේ. ඒ අනුව සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් ලබාදෙයි. මෙම කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම කටයුත්තේදී මූලිකත්වය ගෙන කටයුතු කරයි. පසුගිය සතියේදී ඔහු මෙම වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීම් කිහිපයක්ම සිදුකර තිබුණි.

එක අවුරුද්දක කාලයක් තුළ කරන වැඩක්. ප්‍රධානම බලාපොරොත්තුව ජනතා සහභාගීත්වය. ජනතාව විසින් තෝරා ගන්නා ප්‍රදේශයේ, සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කිරීම තමයි මේකේ අදහස. රජය සපයන්නේ අරමුදල් පමණයි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාවට භාරදීලා තියෙන්නේ. ඔවුන් විසින් යෝජනාව ඉදිරිපත් කරනවා. දිස්ත්‍රික්ක 25ට වෙනම මුදල් වෙන් කළා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු තමයි මුල්‍ය බලධාරියා වෙන්නේ. ඒ නිසා මේක වචනයේ පරිසමාප්තියෙන්ම විමධ්‍යගත කරලා තියෙන්නේ මුදලින් කිව්වොත් බිලියන 85ක් ඍජුව ගම සමග පිළිසඳර සඳහා අයවැයෙන් වෙන්කරලා තියෙනවා.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස ආණ්ඩුවේ මහජන නියෝජිතයන් දැනුවත් කර සිටියේය. ඒ අනුව මෙම මස නමවැනිදා සිට දීපව්‍යාප්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට තිබුණි. අනුරාධපුරයෙන් ආරම්භ වන මෙම වැඩසටහන හම්බන්තොට, කළුතර, රත්නපුර, මහනුවර වැනි දිස්ත්‍රික්කවල පළමු අදියරේදී ක්‍රියාත්මක කෙරෙනු ඇත. ආසන සහ දිස්ත්‍රික් සංවිධායක සංවිධායකවරුන්ගේ දායකත්වය යටතේ දැවැන්ත ජන ජනරුලි මාලාවක් සංවිධානය කිරීමටද කිරීමටද ශ්‍රී ලංකා පෙරමුණ සූදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. ආණ්ඩු සම්බන්ධව මතුව ඇති විවේචනවලට පිළිතුරු ලබාදීම එම ජනරුළි මාලාවේ අරමුණ බව කියැවේ.

එක්සත් ජාතික පක්ෂයටද පසුගිය සතිය තරමක් තීරණාත්මක සතියක් බව පැතිරගිය දේශපාලන ආරංචි හරහා දැනගන්නට ලැබුණි. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පක්ෂයේ ඉහළ නායකත්වය සමඟ සමීප ඇසුරක් පවත්වන බවට දේශපාලන කරළියේ කතාවක් පැතිර ගියේය. ඒ සම්බන්ධව සජබ ප්‍රධානීන්ද කලබල වී ඇති බව කියැවුණි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තවදුරටත් ඉදිරියට ඇදෙන බවද දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රවී කරුණානායක විසින් එජාප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධව විවේචනාත්මකව අදහස් දක්වා ඇතැයි ඒ අනුව දැනගන්නට ලැබේ.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින්ද පසුගිය සතියේ ආණ්ඩුව සම්බන්ධ විවේචනාත්මක අදහස් ඉදිරිපත් වෙමින් පැවතුණි. එම විවේචන අතරට ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් චෝදනාවක් එක් කළේය. ආණ්ඩුව මීළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයකට සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බව හෙතෙම කීවේය.
“ජනාධිපති ඡන්දයට අවුරුදු දෙකහමාරක් තියෙනවා. අඩු වශයෙන් අවුරුදු එකහමාරක් තිබෙනවා. දැන් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් ගේනවායි කියලා ඊයෙ පෙරේදා පත්තරවල තිබුණා. මට පෙනෙන විදියට ඊළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න වගේ ආණ්ඩුව හදන්නේ කියලා මට පෙනෙන දෙයක්. ඒ නිසා අපට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝවිට පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන් කියලායි මම හිතන්නෙ.”

සියලු දේශපාලන අර්බුද මෙලෙස දික් ඇදෙමින් තිබූ පසුබිමක පසුගිය සිකුරාදා 74 වල නිදහස් සැමරුම කොළඹ දී සංවිධානය විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සංවිධානය කෙරුණු අතර ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ ආචාර පෙළපාලි සහ ගුවන් නාවුක සංදර්ශන ද මෙවර නිදහස් උත්සවයට එකතුකොට තිබුණි.

නිදහස් උත්සවයේදී ජාතිය ඇමතු ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි ගමන පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේය.

රට හමුවේ ඇති අභියෝගවලට  ඉදිරියේ නායකත්වය ලබාදීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කතාවේදී විශේෂ අවධානයක් යොමු කළේය. ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යාමට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සෙවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අපි කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනම දියුණු කළ යුතු බවද ජනපති පැවසීය.

අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවෙයි. සුබවාදී ප්‍රවේශයකින් අපට මේ ගැටලුවලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩපිළිවෙළ ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුටම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. තම වගකීම නිසි ලෙස ඉටුකිරීමෙන් අපි සියලුදෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබාදෙන්නට උත්සාහ කළ යුතුයි..

 චමිදු නිසල්