දේශපාලන කරළියේ කලබල බොහෝය. කිසිවෙක් සිදුවන්නේ කුමක්ද? සිදු කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැතිව හැසිරෙන සෙයකි. ප්‍රේක්ෂකාගාරය දැනටමත් දැවී යමින් තිබේ. අප ඔබ හමුවේ තබනුයේ කාලවර්ණ වලාකුළක් මිස රිදී රේඛාවක් පෙනෙන තෙක් මානේ නොමැති ශ්‍රී ලාංකික දේශපාලනයේ තවත් අඳුරු සතියක කතාංගයකි.
සිකුරාදා උදෑසන ජනපති හා පැවති සාකච්ඡාවට පක්ෂ එකොළහේ නායකයෝ සහභාගී වූහ. ඒ අනුව කොන්දේසි දමා මුලින් නොයන බව කියූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජනාධිපති හමුවිය. පැය කිහිපයක් ඇදී ගිය සාකච්ඡාව අවසානයේ ජනාධිපති මන්දිරයෙන් පිටතට පැමිණි ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට ජනපති එකඟ වූ බවයි. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීම සියලු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අර්බුද සමයේ උණුසුම් දේශපාලන සතියක දේශපාලන සතියක අවසානය එසේ සටහන් විය. අවසානයේ කෙසේ වෙතත් සතියක ආගිය විත්ති බොහෝය.
පසුගිය අප්‍රේල් 29 වැනි සිකුරාදා ජ්‍යොතිෂයට අනුව වසර 30කට පසුව සිදුවන දැවැන්ත සෙනසුරු මාරුව සිදුවූයේය. පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් තීන්දු තීරණ ගැනීමට කල්මරමින් සිටියේ මෙම සෙනසුරු මාරුවේ ප්‍රතිඵල පිළිබඳ බියෙනි. තතු දත්තෝ කියූ පරිදි සෙනසුරු තමන්ගේ බලවත්ම රාශිය වන මූල ත්‍රිකෝණ සහිත කුම්භ රාශියට පැමිණෙන බැවින් සෙනසුරු අධික ලෙස බලවත් වීම බොහෝ පෙරළිකාර සිදුවීම්වලට හේතුභූත වේ. මහා ජනයාට වඩා ග්‍රහයන් පිළිබඳ විශ්වාසය තබා සිටින සිරිලක දේශපාලකයන් මේ ආදී තොරතුරුවලින් පසුගිය සතිය පුරා සලිතව සිටි බව කියැවුණි.
පසුගිය අඟහරුවාදා ජනාධිපති මන්දිරයේදී රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මෙලෙස හමුවූහ. මේ මොහොතේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩුවට ඉවත්ව යන ලෙස ජනතාව බලකරයි නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයට යාම වඩාත් සුදුසු බව රාජපක්ෂවරුන් අතරින්ම යෝජනා විය.
මම විපක්ෂයට යන්නම්. මට විපක්ෂෙ ඉඳගෙන ආණ්ඩුවේ ඉන්නවට වඩා දෙයක් කරන්න පුළුවන්.* අග්‍රාමාත්‍යවරයා පළකර ඇත්තේ එවැනි අදහසකි. ලද දේශපාලන ආරංචි අනුව ඔහු තවදුරටත් පැහැදිලි කර ඇත්තේ, &හැබැයි ඉතින් මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා. තරුණයෝ ස්මාට් ෆෝන් එකකින් කරන දෙයකින් පන්දාහක් විතර කොළඹට ඇවිල්ලා උද්ඝෝෂණයක් කරාම ආණ්ඩුවක් ඉවත් වෙනවා නම් ඒක හොඳ සම්ප්‍රදායක් නෙවෙයි. මටත් අවුරුද්දක් විතර ගියාට පස්සේ ඔය වැඩේම කරන්න පුළුවන්* යනුවෙනි.
අවසානයේදී තමා පක්ෂය සමඟද කතාබහ කර බලා තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇතැයි කියැවේ. මෙහිදී බැසිල් රාජපක්ෂ දිගින් දිගටම පවසා ඇත්තේ විපක්ෂයට ගොස් වාඩිවීම වඩාත් සුදුසු බවයි. ජනතාව ප්‍රතික්ෂේප කරන විට තවදුරටත් රුඳී සිටීමෙන් පලක් නැති බව ඔහු කියා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සැලකිය යුතු වේලාවක් පැවති මෙම සාකච්ඡාවේදීද රාජපක්ෂවරුන් අතර පූර්ණ එකඟතාවක් නිර්මාණය නොවූ බව වාර්තා විය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අමතා ඉදිරි දේශපාලන තීන්දු පිළිබඳ ඔවුන්ගේ මතයන්ද විමසා ඇතැයි කියැවේ. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු කිහිපදෙනෙකු ඉතා තදින් අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර ඇත්තේ කිසිලෙසකින්වත් අග්‍රාමාත්‍ය ධුරය හැර නොයන ලෙසයි. කෙසේ වෙතත් ඒ අතර අරුන්දික ප්‍රනාන්දු වැනි පොදුජන පෙරමුණ නම් දැරෑ චරිත මේ අවස්ථාවේ අන්තර්වාර පාලනයට අවකාශය සලසමින් ආණ්ඩුව පියවරක් පසුපසට යා යුතු බව අවධාරණය කර ඇතැයි කියවේ.
මේ අතර දෙපැත්තටම පය තබා සිටින මන්ත්‍රීවරුන් පිරිසක් නිසා බහුතරය ඇත්තේ කා හටද යන්න පැහැදිලි නොවන බව පෙනී ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම්දීම්වලට ඔහු හමුවටද පැමිණෙන මෙම පිරිස අනෙක් පසින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟද ගනුදෙනු කරමින් සිටිති. කල් ඇතුව ස්වාධීන වන බව පැවසූ කිහිපදෙනෙක්ද තවදුරටත් ආණ්ඩුව තුළම රුඳී සිටින බව පෙනී යයි. ඔවුන්ගේ දේශපාලන භාවිතයද මේ මොහොතේ පවතින දේශපාලන අර්බුදය බරපතළ වීමට හේතු වී ඇත. වැල යන පැත්තට මැස්ස ගසන්නෝ, සුළං හමන අතට රුවල් බඳින්නෝ වන මෙම පිරිස මෙම අර්බුදයේ අවසානය දැකීමට බාධා කරන්නෝය.
මෙම සියලු අවුල් වියවුල් අතරේ සමගි ජනබලවේගය නුවර සිට කොළඹට “සමගි බල පා ගමන” නමින් පා ගමනක් සංවිධානය කළේය. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමාවීම හේතුවෙන් මෙම පා ගමන පිළිබඳව අරගලයට සම්බන්ධ ඇතැම් පාර්ශව පසුවූයේ නොසතුටිනි. මහින්ද රාජපක්ෂ විපක්ෂයට පැමිණියහොත් විපක්ෂ නායක ධූරය තමන්හට නැති වෙතැයි බියකින් සජිත් ප්‍රේමදාස මහතා පසුවන බව ඔවුන් අතරින් ඇතැමෙක් කීහ. මේ අතර කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සඳහන් කළේය. එය සමගි ජන බලවේගයේ සහ ආණ්ඩුව අතර ඇති එකඟතාවක් අනුව සිදුවන්නක් දැයි ගැටලුවක් මතුවන බව ඔහු ප්‍රකාශ කළේය.
වාසුගේ මෙම ප්‍රකාශ සමඟ සමගි ජනබලවේගය තුළ යම් කැළඹීමක් ඇති වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව ඉකුත් සතියේ පැවති සමගි ජන ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමකදී වාසුදේවට පක්ෂයේ ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළ යුතු බවද එම මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට දැනුම් දී ඇතැයි කියවේ. ඒ අනුව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යනු රාජපක්ෂ පවුලේ එදා සිටම සිටි සුරතලකු බවත්, ඔහු රාජපක්ෂවරුන් විසින් විපක්ෂය කඩා බිඳ දැමීමට එවනු ලැබූ පිල්ලියක් බවත් පිරිසක් මෙම රුස්වීමේදී පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී මතු වූ අදහස් සිතට ගත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුදා “සමගි බල පා ගමන” අතරේදී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රකාශය ඉලක්ක කර වාග් ප්‍රහාරයක් දියත් කළේය. &බැසිල්ගේ සෙරෙප්පු සුප් බීපු ඩීල්කාරයෝ අපිට චෝදනා කරනවා* යනුවෙන් පවසමින් මාවනැල්ලේදී ඔහු මෙම ප්‍රකාශය සිදුකළේය. මෙය තරමක් තද වාග් ප්‍රහාරයක් විය. &හොර කපුටගෙන් පෝෂණය වුණු, පංගුව ගත්තු බැසිල් රාජපක්ෂයේ සෙරෙප්පු සුප් බීපු කණ්ඩායම් තමන්ට සහ සමගි ජනබලවේගයට එරෙහිව හොර හැත්තත් එක්ක ඩීල් දානවා* යැයි චෝදනා කරන බව ඔහු කීය. රට කාපු හොර හැත්තත් සමඟ සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය හෝ සජිත් ප්‍රේමදාස ඩීල් දමන්නේ නැති යැයි ඔහු තවදුරටත් පැවසීය.
සති දෙකකට පෙර අන්තර්වාර පාලනයකට යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් භාර දුන් පසුපෙළ මන්ත්‍රී පිරිසක් පසුගිය සතියේ වෙනස්ම කතාවක් පවසමින් සිටියහ. මෙම මන්ත්‍රීවරු අතරින් කිහිප දෙනෙක් අග්‍රාමාත්‍යවරයා හමුවී කියා සිටියේ තමන් යෝජනා කළේ අග්‍රාමාත්‍යවරයා ඉවත්කොට අන්තර්වාර පාලනයක් පිළිබඳ නොවන බවයි. එවැනි යමක් සිය යෝජනාව තුළ අන්තර්ගත නොවූ බවයි. කෙසේ වෙතත් අග්‍රමාත්‍යවරයාට සිය තනතුරෙන් ඉවත් වී අන්තර්වාර පාලනයට ඉඩ සලසන ලෙස මහානායක හිමිවරුන් ප්‍රමුඛ පාර්ශ්ව රුසක් ඉල්ලීම් ඉදිරිපත් කොට තිබුණි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා මෙයට දක්වා තිබුණේ මිශ්‍ර ප්‍රතිචාරයකි. අන්තර්වාර පාලනයක් ගෙන එන්නේ නම් එය සිදුවන්නේ තමාගේ ප්‍රධානත්වයෙන් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබුණි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පළාත් සභා සංසදය අතර අරලිය ගහ මන්දිරයේ හමුවක් පැවැත්වුණි. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව හෝ ඉල්ලා අස්විය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය. දේශපාලන ආරංචි මාර්ග අනුව ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පවසා ඇත. “නැහැ මම අස්වෙන්නේ නැහැ. බයවෙන්න එපා”
මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා ඉවත් නොකරන්න යැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් බාර දී තිබුණි. සම්පත් අතුකෝරාළ, යූ.කේ. සුමිත් උඩුකුඹුර ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු යුතු මෙම පිරිස ඉකුත් 26දා පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. වත්මන් ආණ්ඩුවට පැහැදිලිවම 113ක බලයක් තිබියදී විපක්ෂයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලට නොරුවටී හදිසි තිරණ නොගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි කියවේ. අග්‍රමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීම සිදු වුවහොත් තමන් ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන්ද විපක්ෂයේ අසුන් ගන්නා බව ඔවුන් පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ජනාධිපතිවරයාට 113 සම්බන්ධව සැකයක් ඇත්නම් පක්ෂ නායකයන් සහ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මන්දිරයට කැඳවා විමසීමක් සිදුකරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි කියවේ. ඒ අනුව ඉකුත් සිකුරාදා වනවිට එවන් හමුවක් පැවැත්වීමට ජනාධිපතිවරයා ඇතුළු ඇතුළු ආණ්ඩුවේ නායකයන් කටයුතු කරමින් සිටි බව කියවුණි.
මේ අතර ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමද අර්බුදය තවදුරටත් පවත්වාගෙන නොයා යුතු බව තීරණය කළෝය. යම් දේශපාලන අරගලයක් දීර්ඝකාලීනව පවත්වාගෙන ගියහොත් එය දියවී යන බව ඔවුනොවුන් අතර සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසාම පසුගිය සතියේ කඩිනම් විසඳුමකට පැමිණීමේ අපේක්ෂාවෙන් යුතුව මෙම පිරිස සමගි ජන බලවේගය සමඟ සාකච්ඡාවකට පිවිසියේය. සඳුදා දහවල් කාලයේදී දෙපිරිස අතර පළමු සාකච්ඡාව ටිරාන් අලස් මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී පැවති බව අනාවරණය වේ.
දේශපාලන ආරංචි මාර්ග අනුව සමගි ජනබලවේගය නියෝජනය කරමින්, සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරුද ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල දයාසිරි ජයසේකර සහ ටිරාන් අලස් ඇතුළු මන්ත්‍රී පිරිසක්ද ඊට සහභාගී වූහ.
විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් එකසිය පහළොවක් පමණ ලැබී ඇතැයි මෙම සාකච්ඡාවේදී ප්‍රකාශය වූ බව තිරය පිටුපස කතා අතර අසන්නට ලැබේ. කෙසේ වෙතත් තමන්හට බහුතරය ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා මැයි මස සිව්වැනිදා නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාව යොදාගැනීම ඔවුන්ගේ සැලසුම විය. ඒ අනුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් අයක් ඊට ඉදිරිපත් කොට ඡන්ද විමසීමකට යාම සම්බන්ධ සාකච්ඡා වී ඇතැයි දැන ගන්නට ලැබේ. ඊට අමතරව අන්තර්කාලීන ආණ්ඩුවේ ව්‍යූහය, අමාත්‍යවරුන් පත්කිරීම, පක්ෂ නායකයන්ගෙන් සමන්විතය විධායක සභාවක් නිර්මාණය කිරීම ආදිය කරුණු රුසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇතැයි කියවේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දුන්නේය. එම වැඩපිළිවෙළ පිළිබඳ අදියර දෙකක් යටතේ ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වන බවද කියවුණි. ඒ අනුව ආණ්ඩුවේ හිටපු පක්ෂ නායකයන් සමඟ සිකුරාදා සාකච්ඡා කිරීමට ජනපති තීරණය කළේය.
එම සාකච්ඡා සඳහා ජනපති සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැක්වූයේ වෙනස්ම ප්‍රතිචාරයකි. අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැඳවා ඇති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වන්නේ තම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී රාජ්‍ය අමාත්‍ය ධුර භාරගත් සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර යන අය එම තනතුරුවලින් ඉවත් කළහොත් පමණක් බව ඔවුහු නිවේදනයක කළහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූ බවත් එහෙත් එම පළමු සාකච්ඡාව අවසන් කිරීමෙන් පසු පක්ෂයෙන්ද නොඅසා සාමාජිකයන් දෙදෙනකුහට රාජ්‍ය ඇමැති ධුර දීමට කටයුතු කිරීමෙන් ජනාධිපතිවරයා පිළිබඳ තිබූ විශ්වාසය බිඳවැටුණු බවත් ශ්‍රීලනිපය පවසා තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සියලු යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බව ඉකුත් සතියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ එවැනි කිසිදු යෝජනාවකට පක්ෂය කිසිසේත් එකඟ නොවන බවයි. ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතා බලය යෙදවිය යුතු බවද ඔහු සඳහන් කර තිබුණි. මේ අනුව මැතිවරණයක් පවත්වා ජනතා පරමාධිපත්‍ය උරගා බැලිය යුතු බව ජවිපය දිගින් දිගටම සඳහන් කරමින් සිටියේය.
බ්‍රහස්පතින්දා තීරණාත්මක දිනයක් වූ අතර එදින දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කෙරුණි. ඊට ජනතා විමුක්ති පෙරමුණට, සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ව්‍යාපාර සෘජුව දායකත්වය සැපයුවේය. ස්වාධීන වෘත්තීය කණ්ඩායම්ද මේ සඳහා සහාය පළකර තිබුණි. බොහෝ රාජ්‍ය ආයතන තුළ කටයුතු අඩාල වූ අතර මෙදින කොළඹ නගරය පාළුවට ගොස් තිබුණි.
මේ අතර බ්‍රහස්පතින්දා තවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණි. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්වූයේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමයි. පළමුවෙන්ම ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳ සාමාන්‍ය සාකච්ඡාවටක් ඇතිවූ නමුත් අනතුරුව ඇරඹි අන්තර්වාර ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා ඉතා උණුසුම් විය. මෙම සාකච්ඡාව සම්බන්ධව වූ තිරය පිටුපස කතා බොහෝය.
අන්තර්වාර ආණ්ඩුව පිළිබදව ප්‍රථමයෙන්ම අදහස් දැක්වීම ආරම්භ කර තිබුණේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාය. ඔහුගේ ප්‍රකාශය තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා දැඩිව විවේනය කර තිබුණි. ජනතාව ජනවරම දුන්නේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, පොහොට්ටුවට ආණ්ඩු කිරීමට බවත් තිස්ස කුට්ටිආරච්චි පවසා ඇතැයි කියැවේ. එසේම අගමැතිකම ගැනීමට ඩලස් අලහප්පෙරුම කුමන්ත්‍රණය කරන බවක්ද ඔහු මෙහිදී පවසා ඇත. දේශපාලන ආරංචි අනුව මෙහිදී ඇති වෙද්දී උණුසුම් තත්වයකි. කුට්ටිආරච්චිගේ දැඩි වග් ප්‍රහාරය හමුවේ ඩලස් අලහප්පෙරුම තමන් ශරීරයෙන් මිටි වුවද කන්දක් මෙන් ශක්තිමත් පුද්ගලයකු බවත්, තමන් අගමැතිකම ලබා ගැනීමට කුමන්ත්‍රණය නොකරන බවත් කෝපයෙන් යුතුව සඳහන් කර ඇතැයි කියවේ.
ආරංචි මාර්ග අනුව මෙම සාකච්ඡාවේදී අරුන්දික ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ අතරද වාදයක් ඇතිවී ඇතැයි තිබේ. මෙම ප්‍රශ්නය පවුලේ ප්‍රශ්නයක් බවත්, එය පවුල තුළම විසඳාගත යුතු බවත් අරුන්දික ප්‍රනාන්දු සඳහන් කිරීම සමඟ නාමල් රාජපක්ෂ ඊට ප්‍රතිචාර දක්වා ඇත. පවුල් කතා අනවශ්‍ය බවත්, අරුන්දික තමන් සමඟ එකක් පවසා මෙතැන ඇවිත් තවත් එකක් කියන බවත් නාමල් රාජපක්ෂ කියා තිබේ. මේ අතර එස්.බී. දිසානායක පවසා ඇත්තේ අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදිය යුතුව ඇති බවයි. ජනතාව තුළ නිර්මාණය වෙමින් පවතින විරෝධතා මෙන්ම තරුණයන් තුළ වර්ධනය වී ඇති විරෝධයද රට්ට එතරම් යහපත් නොවන බව ඔහු පෙන්වා දී තිබේ.
ඩලස් අලහප්පෙරුම මින් පෙර නිකුත් කළ ලිපිය සහ ඔහුව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා කළ බවට ආරංචිද ඩලස් සම්බන්ධ විශේෂ අවධානයක් යොමුවීමට හේතුවිය. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ඩලස් අලහප්පෙරුම සම්බන්ධව මෙවන් ප්‍රකාශයක් කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
&ඩලස් කියන්නේ මම එදා ඉඳන්ම දන්න කෙනෙක්. එයා අපිට එහෙම කරන කෙනෙක් නෙමෙයි. මමයි ඩලස්ව දේශපාලනයට අරගෙන ආවේ. ඒ හින්දා ඩලස් කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින කෙනෙක් කියලා මම හිතන්නේ නෑ...*
ආණ්ඩුවේම ආරංචි මාර්ග අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු කණ්ඩායමක් අන්තර්වාර ආණ්ඩුවට එරෙහිව මෙහිදී දැඩිව අදහස් දක්වා තිබේ. තවදුරටත් ආණ්ඩුවට 113 ඇතැයි පවසමින් ඇය සිදු සිදුකළ කතාව අතරේ දී ජනපති ඊට බාධා කරමින් පවසා ඇත්තේ ඉලක්කම්වලින් තමන්ට ප්‍රයෝජනයක් නොමැති බවයි. මෙම පිරිස් තමන්ට එකක් කියා අගමැතිවරයාට තව එකක් කියන බවද ජනපති මෙහිදී පවසා ඇතැයි කියැවේ. එසේම තමන් කිසිවිටෙක අගමැතිවරයාට තනතුරින් ඉවත්වන ලෙස දැනුම් දී නොමැති බවද ජනපති තවදුරටත් අවධාරණ කොට තිබේ.
&113 ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් 113 අරන් එන ඕන කෙනකුට අගමැතිකම දෙන්න මට සිද්ධ වෙනවා...
ඒ අනුව අගමැතිවරයා මෙහිදී තමන්ට 113ක මන්ත්‍රී බහුතරයක් ඇතැයි පවසා ඇති කියූ බවක්ද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් මෙහිදී මන්ත්‍රී කණ්ඩායම අතර එකඟතාවක් නිර්මාණය නොවූ බව පැහැදිලිය.මන්ත්‍රීවරුන් තමන්ගේ පෞද්ගලික අදහස් දැක්වීමට යාමත් සමඟ කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. වාර්තා වන පරිදි ඒ අනුව අගමැතිවරයා මැදිහත්ව සාකච්ජාව අවසන් කිරීමට පියවර ගෙන ඇත.
මේ ආදී සාකච්ඡා වාද විවාද මැද පසුගිය සතිය ගෙවී ගියේය. අන්තර්වාර කතා, පාර්ලිමේන්තු බහුතර ගැටලු, ව්‍යවස්ථා සංශෝධන යෝජනා, අගමැති හරඹ, පක්ෂ පා ගමන් ආදී වූ දේශපාලන සැණකෙළි සංදර්ශන බොහෝ විය. කිසිදු දේශපාලනඥයෙක් ජනතා ප්‍රශ්න කෙරේ සංවේදී වන බවක් නොපෙනුණි. ආර්ථික අර්බුදය අගාධයෙන් අගාධයට ගමන් කරන බව පෙනී ගිය අතර විසඳුම් බොහෝ දුර විය. ජීවන වියදම තවදුරටත් දරාගත නොහැකිව ජනතාව තවදුරටත් පීඩාවෙන් පීඩාවට පත්වෙමින් සිටියෝය. ඒ අනුව ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත හෙළි වන තවත් සතියක් ගෙවී ගියේය.
චමිදු නිසල්