2022 මැයි 22 වන ඉරිදා

අර්බුදය දෙගුණ කළ ඇමැති සංශෝධනය

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 268

  • සුපිරි කාර් වෙනුවට පුංචි කාර්
  • බොරු කොණ්ඩ - කැප් දාගෙන ආපු මන්ත්‍රීවරු
  • නියෝජ්‍ය කතානායක ඡන්දය පසුපස ගේම් එකක්
  • ජනපති හමු වූ අගමැති කළ පැමිණිල්ල
  • ජනපතිගෙන් පොහොට්ටු පිරිසකට දෝස් මුරයක්
  • චමල් රාජපක්ෂගෙන් සැර කතාවක්
  • ස.ජ.බ ටිකක් ගැලවෙයි
  • ජ.වි.පෙට චෝදනා ජ.වි.පෙනුත් චෝදනා

මහා භූ කම්පනවලට පසුව පසු කම්පන තත්ත්වයන් වාර්තා වීම සාමාන්‍ය දෙයකි. එසේම මහා භූ කම්පනය එන්නට පෙර පෙර කම්පන තත්ත්වයන් වාර්තාවීමද සාමාන්‍ය ස්වභාවයකි. දේශපාලනයටද එම න්‍යාය එලෙසම බලපැවැත්වේ. එහෙත් ඉකුත් සතිය තුළ ශ්‍රී ලාංකික දේශපාලන භූමිය තුළ අප දුටුවේ පෙර කම්පන තත්ත්වයක්ද? පසු කම්පන තත්ත්වයක්ද? එය සැබෑවට අවබෝධ කොට ගැනීම දුෂ්කරය. ඒ සම්බන්ධව යම් අවබෝධයක් ලබාගැනීමට දේශපාලන කරළියේ තිරය පිටුපස මෙම කතාන්දර ඔබට උපකාරයක් වනු ඇත.

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුව රුස්වීමට සියලු කටයුතු සූදානම් වී තිබුණි. ඒ දෙස මුළු රටම අවධානයෙන් බලා සිටියේය. කෙසේ වෙතත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ වනවිටත් රුඳී සිටියේ තම නිවාස අත්හැර වෙනත් ආරක්ෂිත ස්ථානවලය. මේ අතර ප්‍රසිද්ධියේ ගමන් බිමන් යෑමද ඔවුහු සීමා කළෝය. සැබවින්ම ඔවුන් තුළ තැතිගැන්මක් වූ බව නොරහසකි.

එම නිසාම මෙදින ඇතැම් මහජන නියෝජිතයන් මහජනයාගෙන් වසන් වී පාර්ලිමේන්තු පැමිණීමට විවිධ උපක්‍රම පාවිච්චි කළ බවට තොරතුරු අනාවරණය විය. සිය සුපිරි මෝටර් රථ අතහැර කුඩා මෝටර් රථවල නැගී ඇතැමෙක් පාර්ලිමේන්තු පැමිණියේය. ඔවුන් අතරෙන් බොහෝ දෙනෙක් මන්ත්‍රී ඇඳුම් වෙනුවට ටී ෂර්ට් කලිසම් ඇඳ පාර්ලිමේන්තු පැමිණ සිටියහ.

ඒ අතරේ සමහරු බොරු කොණ්ඩ, හිස් වැසුම් ආදිය දමාගෙන මුලින්ම තම රෑපය වසං කරගෙන පාර්ලිමේන්තු පැමිණියෝය. කිහිපදෙනකුගේ එම හැසිරීම විසුළු සහගත විය. ආරංචි අනුව මෙලෙස පැමිණි පිරිස් පාර්ලිමේන්තු වාහන නැවතුමේ සහ පාර්ලිමේන්තුව ආසන්න ස්ථානවල සිට නැවත මන්ත්‍රී ඇඳුම් ඇඳ සභා ගර්භයට ඇතුළු වී තිබේ. සැබවින්ම මෙය නාටකීය සිදුවීමක් වූ බව එය දුටුවන් පවසා තිබුණි.

ඉකුත් සතියේ දේශපාලන කරළියේ නාටකීය සිදුවීම් අතරින් පාර්ලිමේන්තුවේදී රඟ දැක්වුණු නියෝජ්‍ය කතානායක තේරීමේ රහස් ඡන්දය සුවිශේෂී විය. නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. ඔහු එම ධුරය සඳහා යෝජනා කිරීම පිළිබඳ කථිකාව මීට සති කිහිපයකට පෙරසිටම පැවතුණි. සියඹලාපිටිය රහස් ඡන්ද නාටකයට පෙරද පොහොට්ටු අභ්‍යන්තරයේ ඔහු පිළිබඳ කථිකාවක් වූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. අවසානයේ මෙවර ඔහුව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා කිරීමට පොහොට්ටු පක්ෂ පාලකයන් එකඟ වී තිබුණි.

මේ අතර අභිනවයෙන් පත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය කතානායක ධුරය සඳහා කාන්තාවක් සුදුසු බවට පක්ෂ නායකයන් වෙත යෝජනා කරමින් සිටියේය. විපක්ෂයේ මෙන්ම පොහොට්ටුවේද ඇතැම් නායකයන්ටද සිය මතය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබූ බව දැනගන්නට ලැබුණි. ඒ අනුව සමගි ජනබලවේගය නියෝජ්‍ය කතානායක ධුරය සඳහා රෝහිණී කවිරත්න මහත්මිය යෝජනා කිරීමට තීරණය කළේය. අග්‍රාමාත්‍යවරයා තුළද එම නම සම්බන්ධයෙන් යම් ප්‍රසාදයක් වූ බව කියැවුණි.

එසේ වුවද ඡන්ද විමසීමට පෙර පැවැති පක්ෂනායක හමුවලදී මෙන්ම ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවලදීද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා එකඟතාවක් නිර්මාණය කර ගැනීමට කිසිවකුට නොහැකි විය. අවසානයේදී අදාළ යෝජනා ද්විත්වයම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පිරිස කටයුතු කළෝය. ඒ අනුව පොහොට්ටුව පාර්ශ්වයෙන් අජිත් රාජපක්ෂ මහතාගේ නමත් සජබ පාර්ශ්වයෙන් රෝහිණී කවිරත්ත මහත්මියගේ නමත් යෝජනා විය.

මේ මොහොතේ පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල්-උදය කණ්ඩායම මෙන්ම ශ්‍රීලනිපයද නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්ද විමසීමක් සිදු නොකළ යුතු බව කීහ. නියෝජ්‍ය කතානායක හබය නිසා මේ වනවිටත් මහජන අප්‍රසාදය පාර්ලිමේන්තුව වෙත යොමුවී ඇති බව ඔවුහු තවදුරටත් කියා සිටියහ. ඒ අනුව ඔවුන් ඡන්දය වර්ජනය කිරීමට සූදානම් වන බවක් පෙනී ගියේය.

තත්ත්වය උණුසුම් වනවිට කතානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවට නම් දෙකක් යෝජනා වී ඇති නිසාවෙන් ඡන්ද විමසීම නතර කිරීමට නම් එක් අයෙක් සිය නම ඉල්ලා අස්කර ගත යුතු බවයි. නැතිනම් ඡන්දයක් කැඳවීමට තමාට සිදුවන බව කතානායකවරයා අවධාරණය කළේය. අනතුරුව ඉල්ලා අස්වීම සම්බන්ධ වාද විවාද ඇතුළුවිය.

කිසිවකු අඩියක් පසුපසට ගැනීමට සූදානම් නොවූයෙන් අවසානයේදී රහස් ඡන්දය පැවැත්වීමට තීරණය කෙරුණි. එහි ප්‍රතිඵලය වූයේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ අජිත් රාජපක්ෂගේ ජයග්‍රහණයයි. කෙසේ වෙතත් නාමයෝජනා ද්විත්වම පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 කගේ කැමැත්ත හිමි නොවුණි. ඊට හේතුව වූයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 23ක් ලෙස කියැවීමයි. සභාවේ පොදු එකඟතාවයක් පළ නොවීම නිසා තම කණ්ඩායමේ මන්ත්‍රීවරු ඡන්දය කටුගා දැමූ බව මෛත්‍රී සහ විමල් පාර්ශ්වය ප්‍රකාශය කර සිටියේය.

කෙසේ වෙතත් රහස් ඡන්දය විමසීමේදී ඡන්ද 109ක් අජිත් රාජපක්ෂ ලබාගත් අතර විපක්ෂයෙන් යෝජනා වූ රෝහිණි කවිරත්න ලබා තිබුණේ ඡන්ද 78ක් පමණි. ඒ අනුව සියල්ල අවසානයේ සිදුවීම සම්බන්ධයෙන් අජිත් රාජපක්ෂ, රෝහිණී කවිරත්න සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ සිදු කළෝය.

තමා පත්කර ගැනීම පිළිබඳ ස්තුතිය පළකළ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කීවේ මෙම යෝජනාව පෙර සිටම සිය පක්ෂ අභ්‍යන්තරයේ තිබූ බවයි. ඒ අතර රෝහිණී කවිරත්නද ප්‍රකාශයක් කර සිටියාය. මේ තීරණය සමඟම රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ලබන පරාජයන් වැලක ආරම්භය සනිටුහන් වූ බව එහිදී ඇය පැවසුවාය. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේ නිරන්තර බෙදීම් ඇතිකර නොගෙන සියලුදෙනා සම්මුතියෙන් කටයුතු කළ යුතු බවකි. එසේම රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවද ඔහු නැවත නැවත පාර්ලිමේන්තුවට සිහිපත් කළේය.

මෙම සිදුවීම් පෙළින් පසුව එදින හවස අගමැතිවරයා ජනපති හමුවීමට ගියේය. ආණ්ඩුව ආරම්භයේදීම ලබාදුන් නරක පූර්වාදර්ශය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ජනපතිට පැමිණිලි කර සිටියේය. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කාන්තාවක් පත්කර ගැනීමට එකඟතාව නිර්මාණ වී තිබිය දී සිදු වූ බෙදීයෑම සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා සිය බලවත් අප්‍රසාදය පළකළ බව දේශපාලන ආංචි මාර්ග තහවුරු කළේය. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පොහොට්ටුවේ ඉහළ සාමාජිකයන් අමතා දැඩිව අවවාද කර ඇති බවද දැනගන්නට ලැබේ. මේ අතර පැතිර ගිය ආරංචියට අනුව කියැවුණේ පොදුජන පෙරමුණු ප්‍රධානියකුගේ අවශ්‍යතාව අනුව සියල්ල සිදුවූ බවකි.

කෙසේවෙතත් දේශපාලන ආරංචි අනුව පොහොට්ටුව පාර්ශ්වයෙන් ජනපතිට දන්වා තිබුණේ රෝහිණී කවිරත්නගේ නම කිසිවෙක් නිල වශයෙන් සිය පක්ෂය වෙත දන්වා නොතිබූ බවයි. විවිධ කතා සංවාද පැවතුණද නිල වශයෙන් පක්ෂයට දැනුම් දීමක් සිදු නොවූ පසුබිමක මෙම තීරණය ගත් බව ඔවුන් අවධාරණය කොට තිබුණි. කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධව ජනපති සහ අගමැති තුළ පැවතියේ දැඩි අප්‍රසාදයක් බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර නව කැබිනට්ටුව පත් කිරීමේ කටයුත්ත සතිය පුරා පමාවෙමින් පැවතුණි. පෙර කැබිනට්ටුව හා එකතු වන බව සඳහන් කළ ඇතැමෙක් තනතුරු ප්‍රතික්ෂේප ක‍ළහ. එහෙත් බලාපොරොත්තු නොවූ පිරිස් කැමැත්ත පළකර තිබුණි. කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, පාඨලී චම්පික රණවක යන සමගි ජනබලවේගයගේ මන්ත්‍රීවරුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමඟ ප්‍රසිද්ධ ලිපි ගනුදෙනුවක නිරතවීම කැපී පෙනුණි. ඔවුන් නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වීමට යන බවට ආරංචි පැතිර ගියේ එබැවිනි. සජබ ජ්‍යෙෂ්ඨයන් හරීන් සහ මනූෂගෙන් මේ පිළිබඳ විමසා සිටින විට ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවක්ද වාර්තා විය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිට යැවූ පණිවිඩය පිළිබඳව එවන් දේශපාලන ආරංචියක් අප වෙත ලැබුණි. එම පණිවිඩයට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත්තේ මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා අයන අයට කැබිනට් ඇමතිකම් ලබාදීම පිළිබඳ නැවත සලකා බලන ලෙසයි. ඒ අනුව ඔහු යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතාට සහ රංජිත් සියඹලාපිටිය මහතාට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙන ලෙසය. මෙම පණිවිඩය පිළිබඳ ආරංචිය පසුගිය දිනවල ශ්‍රිලනිප අභ්‍යන්තරයේ වූ ගැටුම්වල ප්‍රතිඵලයක් බවද පෙනී ගියේය. කෙසේ වෙතත් මේ සම්බන්ධ ජනාධිපතිගේ ප්‍රතිචාර අපැහැදිලි විය.

මේ අතර විමල්-උදය ඇතුළු පක්ෂ දහයේ කණ්ඩායම මුලදී කැබිනට් අමාත්‍ය ධුර භාර නොගන්නා බව පවසා තිබුණි. එහෙත් එම කණ්ඩායම අභ්‍යන්තරයෙන්ද විවිධ යෝජනා මතු වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ඉල්ලීම් ලැබුණි.  පසුව ඒ ඉල්ලීම ඉටුවිය. මීට අමතරව ජීවන් තොන්ඩමන් වැනි අය සමඟද අමාත්‍ය ධූර සම්බන්ධව සාකච්ඡා පැවැත් වී ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. 

පසුගිය සතියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයද කැපී පෙනෙන සිදුවීමක් විය. දේශපාලන ආරංචි මාර්ග අනුව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට කොළඹ රත්මලාන දක්වා මෙම ගමන සිදුවී තිබුණේ මැයි මස 17 වැනි දිනයි. ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ යානාවක් හිටපු අග්‍රාමාත්‍යවරයා භාවිතා කර ඇති ඔහු එම සේවාම ලබාගැනීම වෙනුවෙන් මුදල් ගෙවා ඇති බවද කියැවේ. මේ ගමනයට දොළොස් දෙනෙකුගෙන් යුත් පිරිසක් එක්ව ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ.

මේ අතර ඉකුත් සතියේ පාර්ලිමේන්තු තුළ කැපී පෙනෙන කතා කිහිපයක් පැවැත්වුණි. ඉන් සුවිශේෂීම කතාව වූයේ රමේෂ්ගේ පතිරණ මහතාගේ කතාවයි. පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු සහ පොලිස්පතිවරයා අතර වූ හමුවේදී ආවේගයෙන් අදහස් දක්වා තිබුණු රමේෂ්ගේ පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළේ සැබවින්ම ආන්දෝලනාත්මක කතාවකි. ගාලු මුවදොරට අරගල බිමට මැයි නව වැනිදා එල්ල වූ ප්‍රහාරය වළක්වන්න එපා යැයි ප්‍රකාශ නිකුත් කළේ පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බව ඔහු පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

“හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දන්වලා එතුමාට සුබ පතන්න අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයකගේ අභිලාෂය වුණේ දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අග්‍රමාත්‍යවරයාට ගෞරවය දැක්වීමයි.

මේ රුස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මුග්ධ දේශපාලනඥයින් කිහිප දෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා. ඒක පිළිගන්නට අවශ්‍යයි. ඒ බලපෑමට යටත්වෙලා ආපු පිරිසෙන් සියයට 10ක් විතර ගෝඨාගෝගමට පහර දෙන්න ඕන කියන මානසිකත්වයෙන් ගාලු පාරේ ගමන් කළා. මේ අරගලය මාසයක් තිබුණා. ජනපතිතුමාටත් කාටවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ මේකට ගලක්වත් ගහන්න.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාද ඉකුත්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුර කාල දෙක අවසන් වීමෙන් පසු සමුගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් ඔහු පැවසීය. දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතු බව පැවසූ චමල් රාජපක්ෂ මහතා තනතුරුවලට ලෝභී වුවහොත් මෙවැනි දේවල් විඳීමට සිදුවන බවද ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.

ඔහු මේ බව පවසා සිටියේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තැබීමේ විවාදයේදීය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ රට වෙනුවෙන් වසර 50ක පමණ කාලයක් ලොකු සේවයක් කර ඇතැයිද චමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේය. ඒ අනුව රාජපක්ෂවරුන් වසර අනූවක පමණ කාලයක් රට වෙනුවෙන් සේවය කර ඇති බව පැවසූ චමල් රාජපක්ෂ, රාජපක්ෂවරුන් අදටත් ජනතාව ඉහළින් පිළිගන්නේ අවංකව දේශපාලනය කළ නිසා බවද ප්‍රකාශ කළේ‍ය.

මෙම සියලු ප්‍රකාශ, සිදුවීම් අතරේ පෝලිමේ තදබදය තවදුරටත් වර්ධන වෙමින් පැවතුණි. තෙල් පෝලිම්වල සහ ගෑස් පෝලිම්වල ජනතාවට රැඳී නොසිටින ලෙස බලධාරීගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවද ජනතාව පෝලිම්වල තවදුරටත් රැඳී සිටියහ. මේ අතර ඉහළ පෙළේ ලේකම්වරයෙකුගේ රියැදුරෙක් පැය 19ක් ඉන්ධන පෝලිමක රුඳී සිටි පුවතක්ද වාර්තා විය. අඩු මිලට ඉන්ධන ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බරපතල චෝදනාවක් එල්ල විය. බලශක්ති අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප තිබුණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව වෙත එල්ල වූ පීඩනය හමුවේ මන්ත්‍රීවරුන් පනස් තුන්දෙනෙකු පාර්ලිමේන්තු ආහාර ප්‍රතික්ෂේප කිරීමටද ඉකුත්දා තීරණය කළහ.

මැයි නම වැනිදා කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම චෝදනා එල්ල වන්නට වූයේ ඒ අතරය. ඩී වීරසිංහ, ප්‍රේමනාත් සී. දොලවත්ත වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිවාස වලට පහර දුන්නේ ජවිපෙට සම්බන්ධ පිරිස් යැයි සෘජුව චෝදනා නැගුවේය. කලහකාරී සිදුවීම් සම්බන්ධව අත්අඩංගුවට පත් වූ ඇතැම් අය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය නායකයන් බවද මාධ්‍ය වාර්තා පලවී තිබුණි.

ඒ අනුව පසුගිය මැයි 9 වැනිදා සමස්ත සිදුවීම් දාමය උපයෝගී කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ දඩයම් කිරීම සඳහා ආණ්ඩුව නිර්ලජ්ජිත හා කුමන්ත්‍රණකාරී උත්සාහයක නිරත බව පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය. මේ පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරගැනීම වෙනුවෙන් පොලිස්පතිවරයා හමුවීමට කඩිනමින් දිනයක් හා වේලාවක් ලබාදීමට කටයුතු කරන ලෙසද ජනතා විමුක්ති පෙරමුණ විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර ඇති බව කියැවේ.
සියලු දෙනා බලා සිටි කැබිනට් දිවුරුම් දීමද ඉකුත් සිකුරාදා ආරම්භ විය. ආණ්ඩුවට සම්බන්ධ වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට අයත් ඇමැතිවරුන් 9 දෙනකු මෙසේ පළමුව දිවුරුම් දුන්හ.

 චමිදු නිසල්