2022 ජුලි 03 වන ඉරිදා

දුරදිග ඇදෙන රාජ්‍ය ඇමැති හුටපටය

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 324

  • ඊළඟ තෙල් නැව එන දිනය කවදාද?
  • මහ බැංකු මහ පුටුව හොල්ලන්න බැරිවෙයි
  • දැවැන්ත ආණ්ඩු විරෝධයකට සජබ සාකච්ඡා
  • තෙල් හොයන්න ඇමැතිවරු පියාඹති
  • ජවිපෙ යළිත් විරෝධයකට සූදානම්
  • ව්‍යවස්ථා සංශෝධනයට කරු ජයසූරියගෙන් සැර පිළිතුරක්
  • රුසියානු ජනපතිට ගෝඨාභයගෙන් ලිපියක්
  • පොහොට්ටුවේ ආණ්ඩුවක් යළි පිහිටුවනවා: බැසිල් කියයි

බලාපොරොත්තු දල්වා ගැනීමට කලාමැදිරි එළියකුදු නොවේ. ගණ අන්ධකාරය පමණි. පෝලිම්වල ජනයා හූල්ලති. උදාවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල අති දුෂ්කරම දින, සතිය. හෙට දිනයේදී විශ්වාසය යනු මායාවක් යැයි දුක්විඳින ජනයා සිතනු ඇත. එතරම්‍ම තත්ත්වය භයානකය. දේශපාලනය සම්බන්ධව ඇති අවධානය වාෂ්පීකරණය වූවා මෙනි. සියල්ලන්ම සිතන්නේ තම තමන්ගේ ජීවිතවල ඊළඟ මොහොත පිළිබඳවය.

සියල්ලට පූර්වයේ වූයේ ඉන්ධන අර්බුදයයි. ඉන්ධන අර්බුදය විසඳීම සම්බන්ධව සාකච්ඡා දුසිම් ගණනින් පවත්වන්නට වුණි. ජනාධිපති කාර්යාලයේද ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදීම වෙනුවෙන් සාකච්ඡා කිහිපයක්ම පැවතියේය. දැනට තිබෙන තොරතුරු අනුව මීළඟ පෙට්‍රල් නැවක් පැමිණෙන්නේ ජූලි මස 22දා බව කියැවුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා (29) පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ඒ බව පැවසීය. ඊට පෙර 10 වැනිදා පමණ වනවිට ඩීසල් නැවක් පැමිණීම පිළිබඳ ආණ්ඩුව බලාපොරොත්තු තබා ඇති බව සාගල රත්නායක මහතා සඳහන් කළේය. මේ සාකච්ඡාව සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද සහභාගි වී සිටියේය. කෙසේවෙතත් ඉන්ධන සම්බන්ධව ආසන්න සති දෙකක කාලයේ තත්ත්වය සුභදායක නොවීය.

මේ අතර විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබුණි. ඔහු සමඟ පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ද කටාර් ගියේය. ඉන්ධන සහ ගෑස් සැපයුම සඳහා ලබාදිය හැකි ණය මාර්ග පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ගමනේ අරමුණ විය. කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරායා, කටාර් බලශක්ති සමාගමේ සභපතිවරයා ඇතුළු කටාර් බලධාරීන් රුසක් හමුවීමට මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස කටයුතු කළහ. ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති ණය පහසුකම සලකා බලන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහාය ලබාදෙන බවත් කටාර් බලධාරීන් මෙහිදී පවසා තිබුණි. මේ අතර ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියානු බලධාරීන්ද ශ්‍රී ලංකාවට දිනයක් දුන්නේය. ඒ අනුව ඉදිරි 10 වැනිදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵල කවරක් වුවද මේ මොහොතේ රට තුළ නිර්මාණය වී ඇති අර්බුදයට ක්ෂණික විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට අවැසි විය. ඒ අනුව මුහුදේ ගමන් කරමින් සිටින ඉන්ධන නෞකාවකින් හදිසි මිලදී ගැනීමක් ලෙස පෙට්‍රල් තොගයක් ලබා ගැනීමට ජනපති සහ අගමැතිවරයා සාකච්ඡා කොට තීරණය කළේය. මෙම ගනුදෙනුව සඳහා කිසියම් මුදල් ප්‍රමාණයක් සොයාගැනීමට දැනට සමත්ව ඇති බව කියැවුණි. බ්‍රහස්පතින්දා වනවිට මේ සම්බන්ධව වැඩිදුරටත් කටයුතු සංවිධානය කරගැනීම වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්විණි. දින පහක් හෝ හයක් ඇතුළත යම් ඉන්ධන ප්‍රමාණයක් කඩිනමින් ලබාගැනීම මෙම සාකච්ඡාවේ අපේක්ෂාව විය.

මේ අතර රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම සම්බන්ධව වූ සූදානම දිගින් දිගටම කල් යන බව පෙනී ගියේය. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම කල්යාම සම්බන්ධවද දැනගැනීමට ලැබුණේ සුවිශේෂී තොරතුරකි. &දැන්ම රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්න එපා. එතකොට ආණ්ඩුව තවත් පිරිහේවී. සර්, පොඩ්ඩක් කල් අරගන්න* ආරංචි මාර්ග අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙසේ කියා තිබුණේ වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකි. රාජ්‍ය අමාත්‍යාංශවල වියදම් වරප්‍රසාද ආදිය සම්බන්ධව එල්ලවිය හැකි චෝදනාද සැලකිල්ලට ගනිමින් එම පිරිස ජනාධිපතිවරයාට ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇත.

මේ අතරවාරයේ පසුගිය වකවානුවේ අමාත්‍යධූර සහ රාජ්‍ය අමාත්‍යධූර දැරෑ පිරිසක් රාජ්‍ය අමාත්‍ය ධූර ලෝභයෙන් පසුවූහ. දිගින් දිගටම සිදුවන පමාව හේතුවෙන් ඇතැමෙක් කිපී උන්හ. දේශපාලන කරළියේ ඔවුනොවුන් එකතුව කතාකළ ස්ථානවලදී තරමක් තදින් අදහස් දැක්වූ පිරිස්ද වූහ. දුන් නැත්නම් බලාගන්ට පුළුවන් යන අදහසක සිටින අයද මේ අතර වන බව කියැවුණි. කෙසේ වෙතත් මෙම තත්ත්වය ආණ්ඩුවේ ඉහළ පෙළින් නොසලකා හරිනු ලැබීය. මේ සම්බන්ධව ලැබුණු දේශපාලන ආරංචි අනුව කියැවුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඡන්ද විමසීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම්දීම සිදුවනු ඇති බවකි.

මේ අතර පසුගිය සතියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂනායක සජිත්‌ ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. රට තුළ නිර්මාණය වෙමින් පවතින සංකීර්ණ ආර්ථික වටපිටාව පිළිබඳ මෙහිදී ඔවුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි කියැවේ. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම සාකච්ඡාවේදී සුවිශේෂී තීරණ කිහිපයකටද සමගි ජනබලවේගය එළඹ තිබේ. ඒ අනුව සතියක් ඇතුළත විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වා දැවැන්ත ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම්කොට ඇති බව කියැවේ.

කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග කිසිදු සාකච්ජාවක් නොපැවැත්වීමටද සමගි ජනබලවේගය විශේෂයෙන්ම මෙහිදී තීන්දු කොට තිබේ. මීට අමතරව සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ සිය පක්ෂ සාමාජිකයන්ගේ සහයෝගය සහිතව දැවැන්ත විරෝධතා සංවිධානය කිරීමටද මෙහිදී යෝජනා වී ඇත. බ්‍රහස්පතින්දා දිනයේදී දිවයින පුරා විරෝධතා රැසක් පවත්වන අතරවාරේ කොළඹ නගරයේ පැවැත්වෙන විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් පටන්ගෙන විරෝධතා පෙළපාලියක් ලෙසින් ඉදිරියට ගෙන යාමට ඔවුන් තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර සමගි ජනබලවේගය ජනාධිපති මන්දිරය වැටලීමට සූදානම් වන බවට කටකතාවක් පැතිර ගියේය.

පසුගිය සතියේ සිදු වූ තවත් තීරණාත්මක සිදුවීමක් වූයේ මහබැංකු අධිපතිවරයාට නැවත පත්වීම් ලැබීමයි. මෙම පත් කිරීම සම්බන්ධව පසුගිය කාලය පුරාවට විවාදයක් පැවතුණි. පසුගිය 30දායින් මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට නියමිත විය. කෙසේ වෙතත් නව මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය පැවරී තිබුණේ මුදල් අමාත්‍යවරයා වෙතයි. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් අයෙකු මහ බැංකු අධිපති ධූරයට පත්කරනු ඇතැයි සමාජ මාධ්‍ය පවා වාර්තා කර තිබුණි. ඊට අදාළව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුගේ නම්ද සඳහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නැවත එම තනතුරු සඳහා පත්කළ යුතු බව ජනපති දැඩිව විශ්වාස කළ බව දේශපාලන ආරංචි මාර්ග කියැවුණි. වෙනත් රටක සිට පැමිණ මෙම ධූරය බාරගන්නා ලෙසට ඔහුට ආරාධනා කළේ ජනපතිය. එම නිසාම කටයුතු අතරමැද ඔහුව අදාළ තනතුරින් ඉවත් නොකළ යුතු බව ජනපති පවසා තිබුණි. තනතුර සම්බන්ධව විවිධ මත පළවුණද අවසානයේ ජනාධිපතිවරයාගේ මතයට ගරුකරමින් නන්දලාල් වීරසිංහ මහතා නැවත එම තනතුරු සඳහා නිර්දේශ කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් එහි සුවිශේෂී බව වූයේ අවසන් මොහොත වනතුරුම අදාළ නිර්දේශය පමාවීමයි. 30 වැනිදා පත්කිරීම වෙනුවෙන් නිර්දේශය ලැබුණේ 29 වැනිදාය.

පසුගිය සතියේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්වීමයි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතියද හිමිව තිබුණි. ඒ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරියේදී යොමු කිරීමට නියමිතය.

නව සංශෝධනය ගැසට් වන අතරේ 22 යෝජිත ව්‍යවස්ථා සං‍ශෝධන කෙටුම්පත මඟින් රටට හා ජනතාවට සරදම් නොකරන්නැයි හිටපු කතානායක කරු ජයසූරිය වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම්දී තිබේ. ජනාධිපතිවරයා විසින් 19 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලගැන්වීමටත්, විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත් සිය සහයෝගය ලබාදෙන බවට ආගමික නායකත්වයට හා පොදු රටවැසියාට දුන් පොරොන්දුව ඉතිහාසයේ මෙන්ම නැවතත් බොරු පොරොන්දුවක් බවට පත්වෙමින් තිබෙන බවට ඔහු අනතුරු අඟවා ඇත.

මේ වනවිට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගැසට් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මඟින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් තහවුරු කරන ලද යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ඒ ආකාරයට හෝ යළි පවත්වාගෙන යාමට කටයුතු කර නොමැති බව කරු ජයසූරිය මහතා නිවේදනය හරහා පෙන්වා දෙයි. මෙම නව සංශෝධනය 20 වැනි සංශෝධනයට වඩා යහපත් අංග ලක්‍ෂණ කිහිපයකින් සමන්විත වුවද මෙය රටේ ජනතාව දැඩි අරගලයක නිරත වෙමින් අපේක්‍ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ නොවන බව ජයසූරිය මහතා පැහැදිලි කර තිබේ.

රුසියාවෙන් ආධාර උපකාර ලබා ගැනීම සම්බන්ධව පසුගිය සති කිහිපය පුරාවටම ඇති දේශපාලන කරළියේ විශාල කතාබහක් ඇතිව තිබුණි. බොහෝ පාර්ශ්ව රුසියානු තානාපතිවරයාද මුණගැසී තොරතුරු විමසා සිටියහ. ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කිසිදු නිල ඉල්ලීමක් ලැබී නොමැති බව ඒ අනුව ප්‍රකාශයට පත් විය. කෙසේ වෙතත් පසුගිය සතියේ රුසියානු තානාපති යූරි මැටේරි මහතා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර සුවිශේෂී හමුවක් පැවැතියේය. මෙම හමුවේදී ජනපති කළ කී දෑ පිළිබඳව දේශපාලන කරළියේ වූයේ කුතුහලයකි.

හමුව සම්බන්ධව ලැබුණ දේශපාලන ආරංචි කියවුණේ රුසියානු ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් තානාපතිවරයාට ලබාදී ඇති බවකි. ඉන්ධන පොහොර, ගෑස්, ගල් අඟුරු ඇතුළු සැපයුම් ලබාගැනීම සඳහා මෙම ලිපියෙන් උපකාර ඉල්ලා ඇතැයි දේශපාලන කරළියේ කතාබහට ලක්වේ. කෙසේවෙතත් මෙම ලිපි ගනුදෙනුව පිළිබඳ නිල වශයෙන් කිසිවක් හෙළිදරව් වී නොමැත. මේ සම්බන්ධව නිල නොවන මට්ටමේ වාර්තා දේශපාලන කරළියේ සංසරණය වෙමින් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේද දැක්වුණේ දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිතුමා කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී මෙන්ම අවැසි සෑමවිටම රුසියාවෙන් ලැබෙන සහාය පැසසුමට ලක්කළ බවයි. තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිතුමා සහ රුසියානු තානාපතිවරයා සාකච්ඡා සිදු වූ බවද එහි වැඩිදුරටත් සඳහන් වූයේය.

රුසියානු තානාපති මුණගැසී දින දෙකක් ගත වනවිට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම විශේෂිත විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබාදෙන බව තානාපතිවරිය සහ එරටින් පැමිණි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනපති හමුවේ සඳහන් කර තිබේ. මේ අතර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීමට පියවර ගෙන ගෙන තිබීම විශේෂිත විය. කෙසේ වෙතත් ඇමෙරිකාව ආධාර ලබාදෙන්නේ පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය කරමින්යැයි ඔවුන් නිවේදනය කොට තිබුණි.

මේ අතර ඉකුත් සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සිය පක්ෂයේ මෙහෙයුම් කටයුතු නැවත සක්‍රීය ලෙස ආරම්භ කිරීමට පියවර ගත්තේය. පොහොට්ටුවේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම් කටයුතු ආරම්භ විය. අනුව පසුගිය ජූනි 29 වැනිදා බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙහි පළමු සාකච්ඡාව පැවැත්වූයේය. පළමු සාකච්ඡාවේදීම නැවතත් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බව බැසිල් රාජපක්ෂ පැමිණ සිටි පිරිසට කියූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම පළාත් පාලන මැතිවරණය හෝ ඕනෑම මැතිවරණයක් සඳහා තරග කිරීමට සූදානමින් සිටිය යුතු බවද ඔහු පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන්ට පවසා ඇතැයි කියැවේ. තවද මීළඟ පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරි මාසයට කලින් පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන ලෙසත් ඔහු පවසා තිබේ. එසේම කවර තත්ත්වයක් මත වුවද මීළඟ පළාත් පාලන මැතිවරණයෙන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි බව ඔහු පිරිසට පෙන්වා දී ඇත.

මෙම සාකච්ජා වට කිහිපයක් ඔස්සේ ඉදිරියට ඇදෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කාන්තා හා තරුණ සංවිධාන, වෘත්තීය සමිති, පළාත් පාලන සංසදයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා කැඳවනු ඇත. එසේම දිස්ත්‍රික් මට්ටමින් එම පක්ෂයේ සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට කැඳවා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ උපදෙස් ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව කියැවේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් කටයුතු කරන මහජන නියෝජිතයන්ට නැවත සක්‍රීය දේශපාලන කටයුතු අරඹන ලෙසද පක්ෂය විසින් උපදෙස් ලබාදී ඇතැයි දැනගන්නට ලැබේ. කෙසේවෙතත් ඇතැම් මහජන නියෝජිතයන් ප්‍රසිද්ධ මහජන හමු සංවිධානය කිරීමට මැලිකමක් දක්වන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සිය නිවාස කේන්ද්‍ර කරගනිමින් කුඩා ජනහමු සහ සමාජ සත්කාර සිදුකිරීමට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු උනන්දුවක් දක්වති.

මේ අතර ඉකුත් සතියේ බැසිල් රාජපක්ෂ විරෝධීන් වන උදය විමල් ඇතුළු කණ්ඩායම නව දේශපාලන පිම්මක් සඳහා පිඹුරුපත් සකසා අවසන් කළේය. ඒ අනුව පක්ෂ නවයකින් යුත් සන්ධානයක් මේ මාසය තුළ බිහි කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සන්ධානයේ නායකත්වය සහ සන්ධානයට ලබාදෙන නම පිළිබඳව මේතාක් කිසිවක් ප්‍රකාශ වී නොමැත. කෙසේ වෙතත් මෙම නව දේශපාලන සන්ධානයේ ව්‍යවස්ථාව පවා මේ වනවිට සකසා අවසන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉතාම නුදුරේදීම මෙම නව සන්ධානය කරළියට පැමිණෙනු ඇත. ඉදිරි මැතිවරණවලදී මේ නව සන්ධානය හරහා ජනතාව ඉදිරියට පැමිණීමටද මෙම කණ්ඩායම බලාපොරොත්තුවේ.

ජූලි 9 වැනිදා රටම අකර්මණ්‍ය කර දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු විරෝධී අරගලකරුවන් සැලසුම් කරමින් සිටින බව ඉකුත් සතියේ දැනගැනීමට ලැබුණි. කෙසේ වෙතත් මෙම හර්තාලයට පෙරාතුව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් කිහිපයක් දැවැන්ත විරෝධතා සංවිධානය කරන බවද කියවේ. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සිය දැවැන්ත විරෝධතාවය පවත්වන දිනය තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. &එළියට බහින්න ඕන දිනයේ ජනතාවට අපි කියනවා* යනුවෙන් ඔවුහු ජනරුලි කිහිපයකදීම ප්‍රකාශ කළහ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දැවැන්ත විරෝධතා සංවිධානය කරනු ඇතැයි එම පක්ෂය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හර්තාලය දින නියම කිරීම සම්බන්ධව පසුගිය සතියේ සර්වපාක්ෂික අරගලකරුවන් සහ දේශපාලන පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවේදීද සාකච්ඡා වී ඇතැයි කියැවේ. එහෙත් මෙවන් විරෝධතාවයක් සඳහා නව වැනිදා වනතුරු කල් මැරීම අවශ්‍ය නොවන බව පිරිසක් පවසා ඇතැයි දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් නම වැනිදා හර්තාලය සම්බන්ධව බොහෝ පිරිසක් පොදු එකඟතාවක සිටින බව කියැවේ.

සර්ව පාක්ෂික අරගලකරුවන් සහ දේශපාලන පක්ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවද ඉකුත් සතියේ සුවිශේෂී අවධානයක් දිනා ගත්තේය. මීට පෙර සමගි ජන ජනබලවේගය සහ අරගලකරුවන් අතර පැවති සාකච්ඡාවකදී සියලුම දේශපාලන පක්ෂ එකතු කරගනිමින් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව අරගලකරුවන් යෝජනා කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡාව කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණි. අරගලකරුවන් නියෝජනය කරමින් 23 දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙම සාකච්ඡාවට අවතීර්ණ වී ඇත. දේශපාලඥයන් රුසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

තිස්ස අත්තනායක, මනෝ ගනේෂන්, දිගම්බරන්, පාඨලී චම්පික රණවක, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, බුද්ධික පතිරණ, සුමන්තිරන්, රාධක්‍රිෂ්ණන්, රිෂාඩ් බදියුදීන් ආදී විවිධ කඳවුරු නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කළ යුතුය යන පොදු පදනම මත හිඳ මෙම සාකච්ඡා සිදු වූ බව කියැවේ. රට තුළ පවතින වර්තමාන අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

ඒ අතර පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය දින තුනක් පමණක් පැවැත්වීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 30 වැනිදා තීරණය කළේය. ඒ අනුව ඉදිරි සතියේ 4,5 සහ 6 යන තෙදින පමණක් පාර්ලිමේන්තුව රුස්වීමට නියමිතය. මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිල රථ කිහිපයක්ද ඉන්ධන පෝලිමක දිනක් ගතකළ පුවතක් දේශපාලන කරළියේ කතාබහට ලක්වුණි. අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සමඟ මෙම පමාව සිදුව තිබේ. උදෑසන පෝලිමට පැමිණි මෙම රථ කිහිපයට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී තිබේ. අනතුරුව රියැදුරකු විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් අදාළ ලියකියවිලි සාදාගෙන නැවත පැමිණ ඉන්ධන ලබාගෙන ඇත්තේ රාත්‍රියේදීය.

 චමිදු නිසල් ද සිල්වා