2022 අගෝස්තු 07 වන ඉරිදා

ස්ටාලින්ට කරන දේ ගැන රනිල් කියූ කතාව

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 396

  • තේ පැන් සංග්‍රහයේ රස කතා
  • හර්ෂ ද සිල්වාගෙන් ට්විටර් පණිවුඩයක්
  • මේවා සවුත්තු වැඩ: අපි යන්න ඕනෑ ටී පාටියට
  • ඉතාම මධ්‍යස්ථ කතාවක් - දයාසිරි
  • පොහොට්ටුව ඇතුළේ පට්ටම් සටන්
  • වාසුදේව කියන කරත්තය සමඟ යන හරක්
  • චම්පිකටත් ඇමැති පදවියක්?
  • සර්ව පාක්ෂික කතාබහට පක්ෂ ගණනාවක්

දේශපාලන රංගධරයන් දෙස පෝලිම් ප්‍රේක්ෂකාගාරයට වී මහජනයා බලා සිටියේ කලකිරීමෙනි. තවදුරටත් සටන් කළ නොහැකි ලෙස බොහෝ දෙනෙක් හති වැටී සිටියෝය. තවත් පිරිසක් සම්පූර්ණයෙන්ම තමන්ගේ වැඩක් බලා ගන්නට සිතූහ. අලුත් යමක් පිළිබඳ බලාපොරොත්තු තබා සිටි අය ද සිටියහ. කෙසේ නමුත් තවදුරටත් සටන් කිරීම තෝරාගත් අය මර්දනයට ගොදුරු වූහ.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරය විවෘත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ බදාදා දින සිදු කළේය. නව ජනාධිපතිවරයකු පත්වූ විට සාම්ප්‍රදායික උත්සවශ්‍රීයෙන් සිදුකෙරෙන මෙම කටයුත්ත මෙවර චාම් උත්සවයක් ලෙස සංවිධානය කර තිබීම විශේෂිත විය. ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වුණි. ඒ වෙනුවට පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපතිවරයාට උත්තමාචාරයක් පිරිනැමීය.

වෙනදා මෙන් ජනාධිපති ධජය එසවීමක් සිදු නොවුණු අතර ජාතික ධජය පමණක් එසවීමට සැලසුම් කර තිබුණි. එමෙන්ම සභා ගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දැරූ නමුත් ඔහුගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම ද විශේෂත්වයක් විය. දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස කටයුතු සංවිධානය වී තිබූ බවයි. පාර්ලිමේන්තුව තුළින් තේරී පත්වූ ජනාධිපතිවරයකු වීම හේතුවෙන් මෙම සම්ප්‍රදාය අනුගමනය කරන්නට ඇතැයි දේශපාලන කරළියේ අදහස් පළ විය.

සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.  තමා ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට ඉඩ නොදෙන බවත් අවිහිංසාවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

“රට ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එක්වුණොත් අපට ජාතිය ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා. බෙදී වෙන් වුණොත්, පරිහානියට හා අසරණභාවයට පත්වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නෙවෙයි, මුළු මහත් ජාතියමයි." 

අනතුරුව ඇරඹුණේ රාජාසන කතාවෙන් පසුව සිදුකෙරෙන තේ පැන් සංග්‍රහයයි. ඒ හා සම්බන්ධ පාර්ලිමේන්තුවෙන් ලැබුණු එක්තරා ආරංචියකට අනුව කියැවුණේ මෙම තේ පැන් සංග්‍රහය සඳහා පෞද්ගලිකව මුදල් වැය කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බලධාරීන් වෙත කල් ඇතිව ප්‍රකාශ කර ඇති බවකි. එහෙත් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබාදෙන තේ පැන් සංග්‍රහය සම්ප්‍රදායික කටයුත්තක් බැවින් එම කාර්යය පාර්ලිමේන්තුව මගින් සිදු කරන බව පාර්ලිමේන්තු බලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබුණි.

කෙසේ වෙතත් අවසානයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජාසන කතාවෙන් පසුව සිදුකෙරෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් හට ආරාධනා කළේය. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සඳහා විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි. විදේශීය තානාපතිවරුන්, සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ධ වූ මෙම තේ පැන් සංග්‍රහය මගහැරීමට සමගි ජන බලවේගයේ බොහෝ දෙනකුට වුවමනා වූයේ නැත. ඒ අනුව මෙම  අවස්ථාවේදී මෙවන් රුස්වීමක් යොදාගැනීම සම්බන්ධව සමගි ජන බලවේගයේ පිරිසක් පසුවූයේ අමනාපයෙනි.

දේශපාලන ආරංචි මාර්ග අනුව තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියම සිය විරෝධය පළකොට තිබේ. "මොනවද මේ කරන වැඩ, මේවා හරි සවුත්තු වැඩ. අපි යන්න ඕන ටී පාටියට" යනුවෙන් ඇය කී බව දේශපාලන කරළියේ අසන්නට ලැබිණි. එසේම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද ජනාධිපතිවරයාගේ තේ පැන් සංග්‍රහය භුක්ති විඳිය යුතු බවට අවධාරණය කර තිබුණි. මෙම අවස්ථාව මගහැරිය නොහැකි බවත් අලුත් ජනාධිපතිවරයකු පත් වී සිටින විට විපක්ෂයක් ලෙස ගොස් කතාබහ කිරීම සිදුවිය යුත්තක් බවත් මද්දුමබණ්ඩාර මහතා පිරිසට පැහැදිලි කර දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ද තේ පැන් සංග්‍රහයට සහභාගී වූහ. මුජිබර් රහුමාන්, බුද්ධික පතිරණ, කාවින්ද ජයවර්ධන, මනෝ ගනේෂන් ඇතුළු සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහදව කතාබහ කළහ. ඔවුන් වික්‍රමසිංහ මහතා සමඟ වැඩිපුර කතාබහ කිරීම සම්බන්ධව ද ඇතැමෙක් විවිධ අදහස් පළ කළහ. විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ජනපතිට මෙහිදී සුබ පැතුම් එක් කිරීමට අමතක නොකළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනු ලැබූ කතාව සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩසටහනට තමන් එකඟ බවත් එය තම දර්ශනය හා සමාන වන බවත් සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් පළ කර තිබුණි. කෙසේ වෙතත් ඒ සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත් මහජනතාව එකඟ කරවා ගැනීම ද කළ යුතු බවත් මන්ත්‍රීවරයා එම පණිවුඩය ඔස්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පවසා තිබුණේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කතාව මහ පොළොවේ යථාර්ථයක් වේ යැයි සිතන බවයි. සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වීමට විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බවත් ප්‍රේමදාස මහතා පවසා තිබුණි. කෙසේ වෙතත් එහිදී ඇමැති කටු සූප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කෙළේය.

මේ අතර ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව ලෙස සිදු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණි. එහෙත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය. ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් මෙම කතාවට එල්ල වී තිබුණේ විවේචනයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම කතාව රනිල් වික්‍රමසිංහට එරෙහිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයක් ලෙස හඳුන්වා දී තිබුණි.

මේ ආදී වූ පාර්ලිමේන්තු කටයුතු අතරේ සතියේ වඩාත්ම වැඩි අවධානයක් දිනා ගත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ වූ දේශපාලන ආරංචියයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සහාය දීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි උනන්දුවෙන් සිටින බව ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. අමාත්‍ය ධුර බාරගැනීමට උනන්දු පිරිස අතරින් ඉදිරි පෙළ මන්ත්‍රීවරයකුට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය ලබාදීමට ද ආණ්ඩුවේ පාර්ශ්වයෙන්ම යෝජනා වී ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ හෙළිදරව් කරගත හැකි විය. කෙසේ නමුත් පසුගිය සිකුරාදා වන විටත් එම මන්ත්‍රීවරයා අදාළ යෝජනාව සම්බන්ධව සිය අවසන් එකඟතාවය පළ කොට නොතිබුණි.

මේ අතර සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී කටයුතු කරමින් සිටින පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ලබා දිය යුතු බවට ද ආණ්ඩුවේම කිහිප දෙනකු ප්‍රකාශ කොට ඇතැයි දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් වර්තමානයේ අමාත්‍ය ධුරය දරන කංචන විජේසේකර මන්ත්‍රීවරයා සම්බන්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රුසක් තුළ ප්‍රසාදයක් ඇති බව කියැවේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු බහුතරයකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා පමණක් ආණ්ඩුවට සහාය දිය යුතුය යන්නය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ ප්‍රබලයන් කිහිප දෙනකුට නැවතත් අමාත්‍ය ධුර ලැබීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, ඒ අය වනු ඇතැයි දැනට කියැවේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ අමාත්‍ය ධුර බෙදා දීම සම්බන්ධව ද යම් ගැටලුකාරී තත්ත්වයක්  මතුව ඇතැයි  දැනගන්නට ලැබේ. තමන් හට කිසිදු තනතුරක් නොලැබුණහොත් විපක්ෂයේ අසුන් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු එකතු වී සිදුකරනු ලැබූ සාකච්ඡාවක් පිළිබඳවද ඉකුත් සතියේදී දැනගැනීමට ලැබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවමත් සභාපතිත්වයට හිමිකම් කියන මහචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ මෙම මන්ත්‍රීවරුන් සාකච්ඡා කොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. දැනගැනීමට ලැබෙන පරිදි මේ අතර වර්තමාන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සම්බන්ධවද මෙම පිරිස ප්‍රසාදයකින් කතාබහ කොට තිබේ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන් තමන් බලාපොරොත්තු වූ නමුත් නොලැබුණ දෑ අද රනිල් වික්‍රමසිංහ ජනපතිගෙන් සැබෑවටම ඉටුවූ බව මෙම පිරිස අතරින් අයෙක් කී බවටද දේශපාලන ආරංචි සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේදී පැතිර ගිය තවත් කතාවකට අනුව කියැවුණේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බවකි. අප කළ සොයා බැලීමකදී වැඩිදුරටත් දැනගැනීමට ලැබුණේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගිය සතියේදී දුරකථන සාකච්ඡාවක් පැවැති බවකි.

මෙම සාකච්ඡාවේදී තමා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දන්වා තිබේ. ඔහු ඒ පිළිබඳ වර්තමාන ආණ්ඩුවේ අදහසද විමසා ඇතැයි කියැවේ. දේශපාලන ආරංචි අනුව එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ''ඔබතුමා මේ මාසය අවසානය වෙනකන් ඉන්න. අපි ආරක්ෂාව තහවුරු කරලා ඔබතුමාට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්නම්.'' යනුවෙනි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමිවිය යුතු වරප්‍රසාද සහිතව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම මස අවසානයේදී ශ්‍රී ලංකාවට නැවත පැමිණෙනු ඇත. ඔහුට නිල නිවෙසක් පවා සකස් කරදීම වර්තමාන රජයේ වගකීමක් වී තිබේ. කෙසේ වෙතත් ආරංචි මාර්ග අනුව සිංගප්පූරුවේ හෝ වෙනත් රටක ඉදිරි සති කිහිපය ගත කිරීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

මේ අතර පසුගිය සතියේදී ඩලස් අලහප්පෙරුම ඇතුළු පොදුජන පෙරමුණෙන් බිඳී ගිය කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමට ගියේය. සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා වන සාකච්ඡාවක් ලෙස මෙම සාකච්ඡාවද සංවිධානය වී තිබුණි. ඒ අනුව ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රධානව නාලක ගොඩහේවා, චරිත හේරත්, චන්න ජයසුමන ඇතුළු 14 දෙනකුගෙන් යුත් කණ්ඩායම සාකච්ඡාවට එක් වූහ.

මෙහිදී ඩලස් පාර්ශ්වය කියා සිටියේ සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් තම පිරිස බාර නොගන්නා බවකි.

''අපි සර්ව පාක්ෂික සර්වපාක්ෂික මතයට සහයෝගය ලබා දෙන්නම්, නමුත් අපි ඇමැතිකම් භාර ගන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පත්කළොත්, ඒ කාරක සභාවල සේවය කරන්න අපි එකඟ වෙනවා. ඒවා තුළ රැඳෙමින් ආණ්ඩුවට අපි සහයෝගය ලබා දෙන්නම්.''

ලැබුණු ආරංචි අනුව ඩලස් අලහප්පෙරුම පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇත්තේ මෙවන් අදහසකි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට පැමිණ සහයෝගය ලබාදෙන ලෙසය.
''ඒක බොහොම හොඳයි. නමුත් මම කියන්නේ ඔබතුමාලා එන්න, ඇවිල්ලා ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න.''

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එලෙස ආරාධනා කරන අතරේ ඩලස් අලහප්පෙරුම සහ ජී.එල්. පිරිස් තවත් යෝජනාවක් ජනපතිට ඉදිරිපත් කර ඇත.

''අපි කියන්නේ මේ වෙලාවේ රාජ්‍ය ඇමතිවරු වගේ ඇමතිවරු පත්කරලා රාජ්‍ය වියදම වැඩි කරගන්න එපා. ඒකට අපි විරුද්ධයි. මහජන විරෝධය තවදුරටත් වැඩි වේවි.''

රනිල් වික්‍රමසිංහ මෙහී ජනාධිපතිවරයා කියා ඇත්තේ තමා සර්වපාක්ෂික ආණ්ඩුවේ පිරිස් වෙත ඇමැතිකම් ලබාදුන්නද ඇමති වරප්‍රසාද ලබා නොදෙන බවයි.

''බලතල පමණයි. වරප්‍රසාද නැති තනතුරු තමයි මම දෙන්නේ...''

මෙම සාකච්ඡාවේදී ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවද සංවාදයට ගැනුණු බව දැනගන්නට ලැබේ. ඩලස් පාර්ශ්වය පවසා ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව ජනාධිපතිවරයාට විසුරුවා හැරීමට තිබෙන බලතල අහෝසි නොකරන ලෙසයි. ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම මෙම සාකච්ඡාවේදී තවත් සෘජු පැනයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යොමුකොට ඇත.

''ඇයි මේ ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගත්තේ, ඔහු පිළිගත් වෘත්තිය සමිතියක නායකයෙක්..'' ඩලස් ඇතුළු පිරිස මෙසේ විමසන විට ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුපුරුදු සිනහව පා අපූරු පිළිතුරක් ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ.

''ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගත්ත එක පිළිබඳ බයවෙන්න එපා. මම අර රුසියාවේ හිටපු ජෝසෆ් ස්ටාලින් වගේ මෙයාව සයිබීරියාවට යවන්නේ නෑ. පුළුවන් තරම් ඉක්මනට උසාවියට යවනවා.''

මේ අතර සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම සම්බන්ධව ජනපතිගේ ආරාධනයෙන් බොහෝ කණ්ඩායම් සාකච්ඡා සඳහා ඉදිරිපත් විය. මුලදී වික්‍රමසිංහ ජනපතිගේ සර්ව පාක්ෂික ආණ්ඩු කතිකාවට විරෝධය පෑ ජාතික ජනබලවේගය අවසානයේ සාකච්ඡාවකට ඉඩකඩ වෙන් කරගත් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

ඒ අනුව ඔවුන් සාකච්ඡාවට එළඹීමට සූදානම් බව ජනපතිට ලිඛිතව දන්වා යැවූ බව දැනගන්නට ලැබුණි. එහිදී ජනාධිපතිවරයා ඉදිරි සතියේ අඟහරුවාදා දින ජාතික ජනබලවේගයේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වැනි බව පෙරළා ඔවුනට දන්වා යවා ඇතැයි කියැවේ.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී සර්වපාක්ෂික ආණ්ඩුව, දහනම වන සංශෝධනය නැවත බලාත්මක කිරීම, පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා ඇති කිරීම, ජාතික සභාවක් පිහිටුවීම ආදී මූලික කරුණු හතර පිළිබඳ ජාතික ජනබලවේගය සාකච්ඡා කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡාවට මෙයාකාරයෙන් කැමැත්ත පළ කළ බව දැනගැනීමට ලැබුණද ඉකුත් සතියේ අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණේ වෙනත් කතාවකි. නිශ්චිත කාල රාමුවක් නොමැති, අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිවල කොටසක් ලෙස නිර්මාණය වන සර්ව පාක්ෂික ආණ්ඩුවට තම කණ්ඩායම සහයෝගය ලබා නොදෙන බව ඔහු පවසා තිබුණි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නැවත ජනාධිපතිවරයා හමුවී සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධව සාකච්ඡා කර තිබුණි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සම්බන්ධව වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ කිසිදු තනතුරක් පිළිබඳව මෙහිදී සාකච්ඡා නොවූ බවකි. මින් පෙර ඔහු තනතුරු ඉල්ලා සිටි බවට දේශපාලන අනාවරණ ගණනාවක් සිදුව තිබුණි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් දැයි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි විට ''මට එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ'' යනුවෙන් ඔහු පවසා සිටියේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම සාකච්ඡාව පිළිබඳව විමසීමේදී තමා කිසිවිටෙක දූෂිතයන් සිටින කැබිනට් මණ්ඩලයක සාමාජිකයකු නොවන බව කීවේය.

ආරංචි මාර්ග අනුව මෙම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිරිසට අවධාරණය කොට තිබේ. එමඟින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර සිකුරාදා දිනය සෑම අතකින්ම තීරණාත්මක විය. ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල් විමල්-උදය වාසු ඇතුළු පක්ෂ 10 යේ කණ්ඩායමද රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට සූදානමින් සිටියේය. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට පළමුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ තම කණ්ඩායම බව ඔවුහු සිහිපත් කළහ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සම්බන්ධව වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ මෙවන් කතාවකි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහයෝගය ලබාදීමට සූදානම් නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගමන් ගන්නා දිශාව කවරක්දැයි තේරුම් ගැනීම අපහසු බවකි. කරත්තය දක්කන ඕනෑම පැත්තකට තම පිරිස යාමට සූදානම් නොමැති බවත්, එසේ ගමන් කරන්නේ හරක් බවත් ඔහු පවසා තිබුණි.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව සඳහා එක්වන බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේය. තම කණ්ඩායම සාකච්ඡා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව නොව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පිළිබඳව බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. විශේෂයෙන්ම මෙහිදී 19 වැනි සංශෝධනය බලාත්මක කිරීම, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇති කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගය කියා සිටියේය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණේ සිකුරාදා දින පස්වරුවේදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණගැසෙන බවයි. මෙම අවස්ථාවට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා සිය සමගි සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට සහ කළමනාකරණ කමිටුවද ආරාධනා කර ඇති බව දැනගන්නට ලැබුණි. සාකච්ඡා සඳහා යාමට පෙර පූර්ව සාකච්ඡාවක් පැවැත්වීමටද ඔවුන් කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළිදරව් කළේය.

මේ ආදී තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පැවැති සිකුරාදාවේ පස්වරුවේ පහ වනවිට ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා ඉවත්කර ගැනීමට අරගලකරුවන්ට දී තිබූ කාලය අවසන් වනවිට මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බව කොටුව පොලිසිය නිවේදනය කර තිබුණි. මේ අතර ඉදිකිරීම් ඉවත්කර ගැනීම සම්බන්ධව අරගල භූමියේද වාද විවාද ඇතිව තිබූ ඇතිවූ බව අප ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. ඒ අනුව පිරිසක් ඊට කිසිසේත්ම එකඟ නොවන පසුබිමක් නිර්මාණය විය.

මෙම කරුණු සියල්ල සැලකීමේදී අප මෙම සටහන ලියමින් සිටින අගෝස්තු 5 වැනිදා සිකුරාදා හැන්දෑව තීරණාත්මක දේශපාලන හැන්දෑවක් වන බව පෙනෙන්නට තිබිණි. 

 චමිදු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00