2022 අගෝස්තු 28 වන ඉරිදා

ස්වාධීන කණ්ඩායමට ආණ්ඩුවත් නෑ : විපක්ෂයත් නෑ

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 269

මහින්ද අමරවීරගේ කතාවට ශ්‍රීලනිපයට මල පනී

''ඇමැතිකම් එපා'' සජිත් රන්ජිත් රනිල්ට කියති

හිටපු ජනපතිට පොහොට්ටුවේ තනතුරක්

ත්‍රස්ත පනතට ජවිපෙන් ලොකු කොක්කක්

කොන්දේසි එක්ක රන්ජන් නිදහස්

පක්ෂ නායක හමුවේ සභාපති සටනක්

විජයදාස සහ සුසිල් බලය බෙදාගන්න කැමැතිලු

රාජ්‍ය ඇමැතිලා ජනපතිට දුක කියති

තර්ජන වර්ජන මර්දන සහ න ක නර්තන සපිරි තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. සර්ව පාක්ෂික ආණ්ඩුව බිහිවන තුරු බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටියහ. ඒ අතරේ ආණ්ඩුව ඇතුළේ ජරමර බොහෝ විය. විපක්ෂයේ ද විවිධ කලබල තිබුණි. මේ අතර අල්ලපු අත්ත සහ පය ගැසූ අත්ත බිඳී ගියෙන්, කතරගම යනු නොහැකිව අතරමං වූවන් පිළිබඳව ද ආරංචි පැතිර ගියේය.

පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට විවිධ ආරංචි පැතිර ගිය ද එම අනාවැකි සඵල නොවුණි. කෙසේ වෙතත් සැප්තැම්බර් පළමු සතියේදී ගෝඨාභය රාජපක්ෂය හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට තොරතුරු අනාවරණය විය. ඒ හා සම්බන්ධව විටින් විට ජාත්‍යන්තර මාධ්‍ය ද තොරතුරු වාර්තා කළේය. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව තායිලන්තයේ රැඳී සිටීම වෙනුවෙන් අධික වියදමක් දැරීමට රාජපක්ෂ මහතාට සිදුව ඇතැයි කියැවුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව දැනගැනීමට ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව තවත් සුවිශේෂී පුවතකි. හිටපු ජනපති මෙරටට පැමිණි පසුව පොහොට්ටුවේ ප්‍රධාන තනතුරක් ඔහු වෙත පිරිනැමීමට කතිකාවක් එම පක්ෂ අභ්‍යන්තරයේ නිර්මාණය වී ඇතැයි ඒ අනුව දැනගත හැකි විය. ජනපති සමයේ දී පොහොට්ටුවේ තනතුරු බාර නොගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තනතුර බාරගනීද නොගනීද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය නොවුණි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව අවධානය යොමු කළේය. ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සහ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අත්සනින් ඔවුහු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළහ. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයකුට නීත්‍යානුකූලව හිමිවන ආරක්ෂාව පිළිබඳව රජයෙන් සහතිකයක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ආපසු පැමිණීමට නොහැකි වී ඇති බවට සඳහන් පැමිණිල්ලක් ලැබී ඇති බව එම ලිපියේ සඳහන්ව තිබුණි.

ඒ අනුව දැනගැනීමට ලැබෙන පරිදි කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් නිසි පියවර ගෙන හිටපු ජනාධිපතිවරයකුට නීත්‍යානුකුලව හිමිවන ආරක්ෂාව ලබා දී ආපසු දිවයිනට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසය. 

මේ අතර පසුගිය සතියේ පාර්ලිමේන්තු කාරක සභාව උණුසුම් විය. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පක්ෂ නායකයෝ රුසක් සහභාගි වී සිටියහ. මෙහිදී කෝප් සභාව සහ කෝපා සභාවලට සභාපතිවරුන් පත් කිරීම සම්බන්ධව සාකච්ඡා විය.

මෙහිදී සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මෙම කාරක සභාවල සභාපතිත්වය විපක්ෂයට අවැසි බවයි. සමගි ජන බලවේගය මෙම ඉල්ලීම සම්බන්ධව කල් ඇතුවම සැලසුම් සකස් කොට තිබුණි. කිරිඇල්ල මහතා සංවාදයට අවතීර්ණ වූයේ ඒ අනුවයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගී වූ සාගර කාරියවසම් මහතා ඊට එකඟ නොවීය.

''මේක හිතෙන හිතෙන විදියට කරන්න බෑ. ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න ඕන.''

සාගර කාරියවසම් එසේ පවසන විට ලක්ෂ්මන් කිරිඇල්ල නැවත නැවතත් සිය ඉල්ලීම ඉදිරිපත් කරන්නට විය.

''කතානායකතුමා අපිට පොරොන්දු වෙලා තියෙන්නෙ මේක අපිට දෙනවා කියලා...''

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාපති සටන අත නොහැරියේය. දේශපාලන ආරංචි මාර්ග අනුව අසන්නට ලැබුණේ ඔහුගේ අදහස් දැක්වීමත් සමඟ රැස්වීම තවත් උණුසුම් වූ බවකි.

''කතානායකතුමා දැන් ලංකාවෙ නෑ. එතුමා ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවෙලා ඉන්නේ. එතුමා ආවට පස්සේ එතුමාගෙන් මේක අහල බලන්න යයි කිරිඇල්ල පවසද්දී සාගර නැවතත් කීවේ කොහොම නමුත් ස්ථාවර නියෝගවලට අනුව කතානායකතුමාටත් ඒක කරන්න අමාරුයි. ස්ථාවර නියෝගවල තියෙන්නේ කෝප් සහ කෝපා සභා රැස්වෙලා ඒගොල්ලන්ගෙ බහුතර ඡන්දයෙන් සභාපතිවරු පත්කර ගන්න ඕනෑ කියලා.''

සාගර කාරියවසම්ගේ මේ ප්‍රකාශය සමඟ වාදය තවත් දික් ඇදුණි. ඔහු පවසා සිටියේ මුදල් කාරක සභාව දැනටමත් හර්ෂ ද සිල්වා මහතාට ලබා දී ඇති බවයි. එහි කටයුතු කරගෙන යාමට ඕනෑම සහයෝගයක් ලබාදෙන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල ඊට එකඟ නොවුණු අතර කතාව තවත් දික් ඇදුණි. අවසාන තීරණයක් නොමැතිව එම කරුණ පිළිබඳ සාකච්ඡාව අවසන් කර දැමීමට පිරිසට සිදුවිය. කතානායකවරයා නැවත පැමිණි පසු මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තවත් අවනඩුවක් සභාවට ඉදිරිපත් කළේය. මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන තමන් ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ කතා කිරීම සඳහා කාලය නොලැබෙන බව ඔහු කියා සිටියේය. මෙහිදී දයාසිරි ජයසේකර ආණ්ඩුවෙන් තමන් හට කාලය ලබා දිය යුතු බවත් තමන් ඇතුළු පිරිස පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි බවත් ඔහු සිහිපත් කළේය.

මෙහිදී ඊට විරෝධය පෑවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පාර්ශ්වයේ සිට විපක්ෂයට ගොස් දැන් ආණ්ඩුවෙන් කාලය ඉල්ලා සිටීම අසාධාරණ බව ඔහු කියා සිටියේය.

''ඕගොල්ලො ඇවිල්ල අපිට බණින්න අපෙන් කාලේ ඉල්ලනවා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා ඔය කතාව කියන්න එපා. ස්වාධීන වුණා නම් කරුණාකරලා විපක්ෂයෙන් කාලය ඉල්ලගන්න.''

නැවතත් විපක්ෂය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ මෙම කණ්ඩායමට විපක්ෂයේ කාලය ලබා දිය නොහැකි බවයි. මෙම කණ්ඩායම බොරු විපක්ෂයක් බවත් ඔහු කියා සිටියේය.

මෙහිදී සාගර කාරියවසම්ද නැවත අවධාරණය කළේ ආණ්ඩුවෙන් වෙන්වී ගිය පිරිසට ආණ්ඩුවට දොස් කීමට කාලය ලබාදිය නොහැකි බවයි. මේ අනුව දයාසිරි ජයසේකර පාර්ශ්වයට ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් කාලය නොලැබෙන බව පෙනී ගියේය.

අවසානයේ දයාසිරි ජයසේකර දෙපාර්ශ්වයෙන්ම කාලය ටික ටික තම පාර්ශ්වයට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් ආණ්ඩු පාර්ශ්වයෙන් කීවේ ආණ්ඩුව හැරදා ගියා නම් විපක්ෂයෙන් කාලය ඉල්ලා ගතයුතු බවයි. ඒ අනුව එම සාකච්ඡාවද එකඟතාවයකින් තොරව අවසන් විය.
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩු ක්‍රියාවලිය සම්බන්ධවද තවදුරටත් තැන තැන ආරවුල් ඇතිවන බව පසුගිය සතිය පුරා පෙනී ගියේය. මහින්ද අමරවීර මහතා රෑපවාහිනී වැඩසටහනකදී තමන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත්තේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් බවට ප්‍රකාශයක් කොට තිබුණි.

මෙය දුටු ශ්‍රීලනිප කණ්ඩායමක් තරමක් කෝපයට පත්වූ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම්වරයා නිවේදනයක් පවා නිකුත් කළේය.

මහින්ද අමරවීර මහතා ඇතුළු කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය මත අමාත්‍ය ධුර ලබාගත් බවට සිදුකළ ප්‍රකාශය ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයක් බව තරයේ ප්‍රකාශ කරන අතර එය ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මිස කිසිවිටකත් පක්ෂයේ තීරණයක් නොවන බව එම පක්ෂ නිවේදනයේ සඳහන් විය.

ඉහත සතියකදී නෙළුම් මාවතේ දී එක්වී කතාබහ කරගත් අයුරින් පොහොට්ටුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරු පසුගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ගියහ. අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධයෙන් වූ කනස්සල්ල නිසාම බැසිල් රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කළ මෙම පිරිස අවසානයේ දී ජනපති හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබුණු බව දේශපාලන තොරතුරුවලින් දැනගන්නට ලැබිණි.

රාජ්‍ය අමාත්‍ය ධුර බෙදා දීම සම්බන්ධව පවතින ගැටලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ පවසා ඇතැයි කියැවේ. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය අමාත්‍ය ධුර විශාල සංඛ්‍යාවක් බෙදා දීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රසාදයක් නැති බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළ බව දේශපාලන  ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි.

මීට අමතරව කැබිනට් අමාත්‍යවරුන් සිය විෂයන් රාජ්‍ය අමාත්‍යවරුන් වෙත බෙදා දීම සම්බන්ධව අප්‍රසාදය පළ කර ඇතැයි මෙහිදී ඍජුවම ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට පවසා ඇති බවට ද තොරතුරු අනාවරණය වේ. එම නිසාම නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් වැඩිදුරටත් තොරතුරු දැනගැනීමට ලැබෙන පරිදි මෙම සාකච්ඡාවට සහභාගි වූ ඇතැම් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් එම තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළ කර ඇත. මෙහිදී ජනපති පැහැදිලි කර ඇත්තේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන වැඩ කරන්නේ නම් වර්තමාන ආණ්ඩුව තුළ සිටින පිරිස්වලට අමතරව පිටතින් පැමිණෙන පිරිසට ද අමාත්‍ය ධුර ලබාදීමට සිදුවන බවයි.

සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ වැනි හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී හඬ නගා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.කෙසේ වෙතත් තනතුරු කෙරෙහි දැඩි ආශාවකින් පසුවන මෙම හිටපු රාජ්‍ය අමාත්‍ය කණ්ඩායම ඉදිරියේදී ආණ්ඩුවට සියුම්ව පහර දීමට ඉඩ ඇතැයි දේශපාලන කරළියේ කතාබහට ලක්වේ. මේ අතර සුසිල් ප්‍රේමජයන්ත සහ විජයදාස රාජපක්ෂ යන කැබිනට් අමාත්‍යවරුන් සිය බලතල අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ බෙදාගැනීමට සූදානම් බව ජනපතිට දන්වා ඇතැයිද දැනගන්නට ලැබේ. රාජ්‍ය අමාත්‍ය කණ්ඩායම සහ පොහොට්ටුවේ සෙසු පිරිස් පෙරදී මෙම අමාත්‍යවරුන් වෙත විරෝධය ගොනු කර තිබුණු බව සිහිපත් වෙයි.

මේ දිනවල සමාජ මාධ්‍යයේ ඉතා ප්‍රකට චරිතයක් වී සිටින සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාද පසුගිය සතියේ අකරතැබ්බයකට මුහුණ දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයට බලපෑමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇතැයි ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පසුගිය බදාදා අධිකරණයේදී ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ එම ප්‍රකාශය හරහා අධිකරණ කටයුතුවලට සහභාගි වන නීතිඥවරුන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑමක් සිදුවන බවකි. 

ඒ අනුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය අඩංගු මුල් වීඩියෝ පටය අදාළ මාධ්‍ය ආයතනවලින් කැඳවා ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. මේ අතර සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට  ලක්වීම සම්බන්ධයෙන් දේශපාලන කරළියේ විශාල කතාබහක් ඇතිව තිබේ. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල් පුටුවෙන් හදියේම සනත් නිශාන්ත අමතා "පාර්ලිමේන්තුවේ කියන්න ඕන කතා තැන් තැන්වල කියන්න යන්න එපා." යනුවෙන් තරවටුවක් කළ බව දේශපාලන කරළියේ කතා අතර අසන්නට ලැබේ.

මේ අතර පසුගිය මැයි 9 වැනිදා ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම ජංගම දුරකතන භාර නොදීම සම්බන්ධ ගැටලුවක් ද පසුගිය බදාදා මහේස්ත්‍රාත් අධිකරණයේදී මතු විය.  

ඒ අනුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා බදාදා පස්වරුවේ නියෝග කළේ, ජංගම දුරකතන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන තෙක් සැකකරුවන් අධිකරණ භාරයේ රඳවා තබාගන්නා ලෙසය. අධිකරණ නියෝග කඩ කරන්නේ නම් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බව මහේස්ත්‍රාත්වරයා දන්වා තිබුණි. ඒ අනුව අවසානයේ මන්ත්‍රීවරු දෙදෙනා සිය ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළහ.

සමගි ජන බලවේගය පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව සමඟ එක් නොවීමට තීරණය කළ ද සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව ආණ්ඩුව සමඟ එක්වීමට තීරණය කර ඇතැයි දැනගැනීමට ලැබුණි. ඒ අනුව මනෝ ගනේෂන් මහතාගේ දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියත වශයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වනු ඇතැයි දේශපාලන කරළියේ බොහෝ දෙනකු අතරේ කතාබහට ලක් වෙයි.

ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය  වැනි පක්ෂ ද ආණ්ඩුවට එක්වීමට අවස්ථාව ඇතැයි දැනගැනීමට ලැබේ. එහෙත් එම පක්ෂ මේ වන විටත් ආණ්ඩුව විවේචනය කරමින් සමගි ජන බලවේගය සමඟ කටයුතු කරමින් සිටියි. ඔවුන්ගේ වර්තමාන ගනුදෙනුව කෙසේ වුවද නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට්ටුවේ අසුන් ගන්නා පිරිස කවුද යන කරුණ මත මෙම පක්ෂ සහ සෙසු කණ්ඩායම් සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේද නොදෙන්නේ ද යන තීරණයට එළඹෙනු ඇතැයි කියැවේ.

මේ අතර සමගි ජන බලවේගය නැවතත් පසුගිය සතියේ සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගැනීම සම්බන්ධව ඉල්ලීම ඉවත දැමුවේය. පසුගිය සඳුදා දහවල් කාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් දී අමාත්‍ය ධුර ලබාගැනීමේ යෝජනාව මෙලෙස විපක්ෂ නායකවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. 

මෙම සාකච්ඡාවේදී අමාත්‍ය ධුර ලබාගනිමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපතිවරයා යළිත් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි බව කියැවේ. එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට දැනුම් දී  ඇත්තේ සිය පක්ෂය අමාත්‍ය ධුර ලබා නොගෙන සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා සහාය ලබා දෙන බවයි. 

ජාතික ජන බලවේගයේ වැඩි අවධානයක් පසුගිය සතියේ දී යොමුව තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳවයි. අගමැතිකමවත් හරියට කරන්න බැරි පුද්ගලයකුට ජනාධිපතිකම ලැබුණාම ‘අශ්වයන්ට අං ආවා වගේ’ වී ඇතැයි ඔවුහු කීහ. මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් අරගල කරන අවස්ථාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බිය වැද්දීමෙන් එම අරගල නතර කළ නොහැකි බවත් ජනතාවගේ සහයෝගයවත් නැති ටෙම්පරියක් අදින ජනාධිපතිවරයා මේ දේවල් කිරීමෙන් රටට ඉතිහාසයේ නරකම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එක්ව සිටියහ. ලංකාව බංකොළොත් රාජ්‍යයක් හැටියට සහ  මානව හිමිකම් ආරක්ෂා නොකරන රාජ්‍යයක් ලෙසත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් තිබෙන රටක් ලෙසත් ජාත්‍යන්තරය හඳුන්වන්නේ අරගලකරුවන්ගේ හැසිරීම හෝ පුරවැසියන්ගේ හැසිරීම නිසා නොවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙහිදී කියා සිටියාය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක්වීමට හේතුව අවනීතිය තුළ කටයුතු කරන වර්තමාන ආණ්ඩුව බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

සතිය අවසන් වන විට එක්සත් ජාතික පක්ෂය සිය 76 වැනි සංවත්සරය සඳහා පිඹුරුපත් සකසමින් සිටියේය. ඉදිරි සැප්තැම්බර් 6 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණයේදී දැවැන්ත සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසෙන බවට දේශපාලන ආරංචි ලැබුණි. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන ජනතාවක් එකතු කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව බව කියැවේ.

රංජන්ගේ නිදහස ගෙවුණු සිකුරාදා සියලුදෙනාගේම ප්‍රමුඛ අවධානය දිනාගත් සිදුවීම විය. රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති නිදහස ලබාදීම සඳහා වන ලිපිය සිකුරාදා මද්දහන වනවිට ලැබෙනු ඇති බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කල් ඇතුවම සිය මුහුණු පොතට ඔස්සේ ප්‍රකාශ කොට තිබුණි. ඒ අනුව රාමනායක මහතා නිදහස වීම පිළිබඳ විශාලම අවධානයක් දේශපාලන කරළියේ මෙන්ම සමාජ මාධ්‍යය තුළද සිකුරාදා දැකගත හැකි විය.

මේ අතර සිකුරාදා පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද රන්ජන් රාමනායක මහතා බැලීමට බන්ධනාගාරයට යෑමද සුවිශේෂී සිදුවීමක් වූයේය. බන්ධනාගාරයට ගොස් රාමනායක මහතා බැහැදැක ඉන් පිටතට පැමිණි විපක්ෂ නායකවරයා කියා සිටියේ රන්ජන් රාමනායක මහතාට අද දවස තුළ නිදහස ලැබේ යැයි බලාපොරොත්තුවක් පවතින බවයි. එසේම සිවිල් දේශපාලන අයිතීන් සහිතව රංජන් රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබෙතැයි තමා අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

අනතුරුව සිකුරාදා දහවල් වනවිට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන්ජන් රාමනායක මහතාට කොන්දේසි සහිත සමාවක් පිරිනැමීම සඳහා වන ලිපියට අත්සන් තැබූ බවයි. අධිකරණයට අපහාස වන කිසිවක් ප්‍රකාශ නොකිරීමේ කොන්දේසිය මත මෙම නිදහස ඔහුහට පිරිනැමීට ජනාධිපතිවරයා කටයුතු කොට තිබුණි. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සඳහා වන සෙසු කටයුතු බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් සිදුවනු ඇති බවද එහි සඳහන් විය.

ජනාධිපති සමාව ලබාගැනීම උදෙසා දිවුරුම් ප්‍රකාශයක් මගින් රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලා සිටියේය. තමන් සිදුකළ ප්‍රකාශ වැරදි බවත්, එම ප්‍රකාශ හේතුවෙන් අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් වීම සම්බන්ධව සමාව ඉල්ලා සිටින බවත් දිවුරුම් ප්‍රකාශය හරහා රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කොට තිබුණි.

මේ අතර සිකුරාදා උදෑසන රංජන් රාමනායක මහතාට හිමි ෆේස්බුක් පිටුව මධ්‍යහ්න 12ට රංජන් රාන්ජන් රාමනායක මහතාට නිදහස ලැබෙන බවත් රටට ආදරය කරන සියලුදෙනා එම ස්ථානයට පැමිණෙන ලෙසත් සටහනක් යොදා තිබුණි. ඒ අනුව මාධ්‍යවේදීන් කලාකරුවන් ඔහුගේ දේශපාලන ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටියහ. අවසානයේ සවස 2.45ට පමණ රංජන් රාමනායක නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

 චමිදු නිසල් ද සිල්වා