2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

සජිත් කියන එම්.කේ. කුමන්ත්‍රණය

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 301

 

  • ශ්‍රීලනිපයෙත් ඇතුළේ පිපිරීම්
  • ජනපති මුණගැසෙන්න පොහොට්ටුවෙන් පිරිසක් ගිහින්
  • ලංකාවට එන ගෝඨාභයට නව නිල නිවෙසක්
  • සර්ව පාක්ෂික ආණ්ඩුවක් තවම නැතිවීම ගැන නාමල්ගෙන් දෝස්මුරයක්
  • පොහොට්ටුව අත නොහැර විපක්ෂයට ගිය ඩලස්ගේ කට්ටිය
  • කිරිඇල්ලගෙන් මහ බැංකු අධිපතිට විරෝධයක්
  • රාජ්‍ය ඇමැති ධුර ඉල්ලන බලපෑම් වැඩිවෙයි

 

 

 

 

වාද විවාද සපිරි තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. දියවන්නාව අයවැය හේතුවෙන් උණුසුම් වන අතරේ විරෝධතාකරුවෝ නැවත තැන තැන සටනට අවතීර්ණ වූහ. මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුව බාලගිරි දෝෂයට හසුවූවාද? මතුවූයේ සැකයෙකි. තනතුරු වරප්‍රසාද බෙදාගැනීම වෙනුවෙන් දියවන්නාව තරණය කළ ඇතැම් පිරිස් සතිය පුරා තැන තැන රහස් සාකච්ඡා පැවැත්වූහ. හිටපු ජනපතිගේ යළි පැමිණීම පිළිබඳ වූ ආරංචිද සතියේ දේශපාලන කතාබහේ ඉහළ අවධානයක් දිනා ගත්තේය.

සතියේ දේශපාලනයේ තිරය පිටුපස දැවැන්තම ගැටුම නිර්මාණය වී තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ වර්තමාන ආණ්ඩුව අතරයි. හිටපු රාජ්‍ය අමාත්‍යවරු තමන්හට රාජ්‍ය අමාත්‍ය ධූර කඩිනමින් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැඩිව බලපෑම් කරමින් සිටියහ. පක්ෂ අවසරය සහිතව ජනපති හමුවූ අවස්ථාවේදීද රාජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව සාධනීය පිළිතුරක් නොලැබුණෙන් මෙම කණ්ඩායම සිටියේ අවුලකය.

මේ අතර පක්ෂ අභ්‍යන්තර පීඩනය උත්සන්න වීමත් සමග පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේද උපදෙස් සහිතව පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් යම් ප්‍රකාශයක් සිදුකොට තිබුණි. ඔහු කියා තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුව කඩිනමින් පිහිටුවිය යුතු බවයි. එය කල්දැමීමට නොහැකි කරුණක් බවද පොහොට්ටුවේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මේ අතර නාමල් රාජපක්ෂද සිය හඬ අවදි කළේය. නාමල් හිතෛෂි හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් තම ගැටලු නිරන්තරයෙන් ඔහු වෙත ඉදිරිපත් කරමින් පීඩනයක් යෙදීම මෙම හඬ අවදිවීම පිටුපස හේතුවිය. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදුන් නමුත් එය යථාර්ථයක් බවට පත්වන ආකාරයක් පෙනී නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළයුතු බවට යෝජනා කළ පාර්ශ්ව පවා අද ඊට එකඟ නොවන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය තුළ රට දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම තවදුරටත් කල්දැමීමට නොහැකි බවත්, එනිසා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී සහාය දැක්වූ මන්ත්‍රීවරුන් 134 දෙනා සම්බන්ධ කර ගනිමින් හෝ ජනාධිපතිවරයා ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවත් නාමල් රාජපක්ෂ කීය. ආණ්ඩුවක් නිර්මාණය කිරීමත් සමඟ ජනතාව මුහුණදෙමින් සිටින බරපතළ අර්බුදවලට විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කළේය.

පොදු මහජනයාට විෂය නොවුණද රාජ්‍ය අමාත්‍ය අර්බුදය වඩාත් පුළුල්ව පැතිර ගිය එකක් විය. රාජ්‍ය ඇමැතිකම් නොලැබෙන්නේ නම් අයවැය ඡන්දයේදී ගන්නා තීරණය කුමක්ද? ඒ පිළිබඳවත් අභ්‍යන්තර සාකච්ඡා හිටපු රාජ්‍ය අමාත්‍ය කණ්ඩායම තුළ පැවති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කළේය.

එහෙත් සමගි ජන බලවේගය අයවැය ඡන්දයෙන් ඉවත්වීමට ඉඩ ඇති බවට වූ ආරංචි හේතුවෙන් සිය තනතුර කේවල් කිරීම පිළිබඳ අදහස මෙම පිරිස අකුලා ගත්හ. නමුත් පක්ෂය වෙත හා ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත බලපෑම් කිරීම ඔවුහු අත් නොහළහ. කොළඹ අවට ස්ථාන කිහිපයකදීම කණ්ඩායම් වශයෙන් එක්වී ඔවුහු සාකච්ඡා පැවැත්වූහ.

මේ අතර ලැබුණු තවත් දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ ජානක වක්කුඹුර, ෂෙහාන් සේමසිංහ ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පෞද්ගලිකව මුණගැසී ඇති බවකි. රාජ්‍ය අමාත්‍යධුර සම්බන්ධ කටයුත්තට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ද එහිදී ප්‍රශ්න කර ඇති බව කියවේ. ඒ අනුව ජනාධිපතිවරයා "ලබන සතියේ රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම සිදුවෙනවා. ඒ නිසා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා" යනුවෙන් පැවසූ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් මේ වනවිට අප වෙත ලැබී ඇති දේශපාලන ආරංචි අනුව රාජ්‍ය අමාත්‍යවරු පත්වන්නේ 25 දෙනෙක් හෝ 30 දෙනෙක්ය. ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය අමාත්‍ය ධූර 40ක් පත්කිරීමට අවකාශය තිබුණද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය එසේ නොකරනු ඇති බව කියැවේ. එසේම විපක්ෂයේ දැනට සිටින කණ්ඩායම් වලින් කිහිප දෙනකුද රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කර ගැනීම ජනපති වික්‍රමසිංහ මහතාගේ දැඩි අවශ්‍යතාවයක් වී ඇතැයි දැනගන්නට ලැබේ.

කෙසේ නමුත් දැනට ලැබෙන ආරංචි අනුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අවසන් වශයෙන් පත්කළ රාජ්‍ය අමාත්‍යවරුන් නොව, ඊට ඉහත අවස්ථාවේදී ඔහු පත්කළ රාජ්‍ය අමාත්‍යවරුන් මෙවර පත්වීම ලබනු ඇතැයි කියැවේ. කෙසේ නමුත් මෙය හා සම්බන්ධව නිරවුල් පැහැදිලි කිරීමක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් ආරංචි ගලා නොයෙන්නේ තවමත් අවසන් අදියරේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති නිසාවෙනි.

කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සම්බන්ධව  පළ කරන අකැමැත්ත ද නව ආණ්ඩුව නිර්මාණය වීමේ ප්‍රමාදයට හේතු වී තිබේ. රාජ්‍ය අමාත්‍යවරු පත් නොකොට නියෝජ්‍ය අමාත්‍යවරු පමණක් පත් කරන ලෙසට කැබිනට් අමාත්‍යවරුන් බලපෑම් කර ඇතැයි කියවේ. ඔවුන් සිය විෂය ක්ෂෙත්‍ර රාජ්‍ය අමාත්‍යවරු හා බෙදා ගැනීමට එතරම් අනුකූලතාවයක් නොදැක්වීමට ඊට හේතුවයි. විපක්ෂයද රාජ්‍ය අමාත්‍ය පත්කිරීම සම්බන්ධව මතු කරනුයේ විරෝධයකි.

මේ අතර අගෝස්තු 31 වැනිදා ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදුන් පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනෙක් විපක්ෂයේ අසුන් ගත්හ. මෙම පිරිස අතරට මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස්. කුමාරසිරි යන අයද එක්වූහ.

අතුරු අයවැය දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය ආරම්භ කිරීමට පෙර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජී.ඇල්. පීරිස් මහතා, තමන් ඇතුළු කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කළේය. ඔහු තම කණ්ඩායම හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම කණ්ඩායමක් ලෙසයි.

පොදුජන පෙරමුණ ප්‍රතිසන්ධාන කණ්ඩායම ලෙසද විටෙක මෙම කණ්ඩායම පෙනී සිටියෝය. ආරම්භයේදී මෙම කණ්ඩායමට දහතුන් දෙනකු ඇතුළත් බව කියැවුණි. කෙසේ වෙතත් අවසන් වටයේදී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මෙලෙස අවසන් මොහොතේදී විපක්ෂට යෑමෙන් වැළකී සිටි පුද්ගලයා බව දේශපාලන කරළියේ කතාබහ ඇසුරේ දැනගත හැකිවිය.

ඒ අතර ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමේ අවදානමක් පිළිබඳවද කතා පැතිර ගියේය. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ස්වාධීනව කටයුතු කරන අතර විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු කණ්ඩායමද විපක්ෂයේ අසුන්ගෙන සිටිති. 
එසේම රාජ්‍ය අමාත්‍යධුර නොලැබුණහොත් පිරිසක් මෙම ස්වාධීන කණ්ඩායම් සමඟ එකතු විය හැකි බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. මෙම තත්ත්වය මත ආණ්ඩු පක්ෂය සතු මන්ත්‍රී ආසන ප්‍රමාණය 105 කට ආසන්න වීමටද යම් ඉඩක් පවතී. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ සිටින පිරිසකගේ සහයෝගය ඇතිව ආණ්ඩුව පවත්වාගෙන යාමේ හැකියාවක් ඇතැයි දැනට පවතින තොරතුරු අනුව පෙනී යයි. කෙසේ වෙතත් අනාගතය අවිනිශ්චිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන්ද පසුගිය සතියේ විවිධ කටකතා පැතිර ගියේය. ඒ අතරින් කාගේත් අවධානය දිනාගත් කතාව වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට වූ කතාවයි. ඊට අනුව හිටපු ජනාධිපතිවරයකුගේ ආශිර්වාදය සහිතව මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කර දකුණු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයකු පක්ෂ නායකත්වය සඳහා පත්කිරීමට සූදානමක් ඇතැයි කියැවුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වනවිටත් බෙදීමක් සිදු වී ඇති බැවින් මෙම කතා පිළිබඳ දේශපාලන කරළියේ ඉහළ අවධානයක් යොමු වූයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කිහිපයක් මත ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි පිරිසක් කීහ. පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයකු රාජ්‍ය නායකයා ලෙස පත් වුවහොත් ඔහු පක්ෂ නායකයා වන බැවින්, රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ පසු පක්ෂ නායකත්වය සඳහා ව්‍යවස්ථානුකූලව යළිත් අයෙක් තෝරා පත්කර ගැනීම සිදුවිය යුතුය යන තර්කය මත පිහිටා මෙම සැලසුම ක්‍රියාත්මක බව කියැවේ. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ නිරවද්‍ය තොරතුරු තවමත් අනාවරණය වී නොමැත. ඒ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධයට ගෙන ආ යෝජනාකට නිමල් සිරිපාල ඇතුලු පක්ෂ ජ්‍යේෂ්ඨයින් දැඩි විරෝධය පල කිරීමද කැපී පෙනුනි.

පසුගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබුණේ අයවැය විවාදය දෙසටයි. ඒ අනුව 2022 වසරට අදාළව සම්මත කරගත් අයවැය විසර්ජන පනත සංශෝධනය කරමින් සකස් කළ සංශෝධිත අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඉකුත් දා සිදුවිය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධිත අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයේ ගැඹුර පිළිබඳව බොහෝ දෙනකුට නිසි අවබෝධයක් නොමැති බව කියා සිටියේය.

මෙහිදී සුබසාධන ආර්ථිකය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය අනිවාර්ය කරුණක් බවද සඳහන් කළේය. ජනාධිපතිවරයා අයවැය කතාවේදී බොහෝ විෂය කොටස් ආවරණය කළේය. ඒ අනුව අයවැය කතාව සම්බන්ධව ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයේද සාධනීය ප්‍රතිචාර ලැබෙන බව පෙනී ගියේය.

සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයවැය යෝජනා ගැන අදහස් දැක්වූ අතර, ජනපතිගේ අතුරු අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති නමුත් එය ක්‍රියාත්මක කරගන්න හැකි වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව කියා සිටියේය. කෙසේ වෙතත් සිකුරාදා වනවිට සමගි ජන බලවේගය අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව නිවේදනය කළේය.

ඒ අතර හැම වෙලාවෙම සෘණාත්මක නොවී ධනාත්මකව සිතමු යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා අය-වැය විවාදයේදී සමගි ජන බලවේගයට පවසා තිබුණි. එදා අගමැතිකම බාර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට පැය බාගයක් තිස්සේ පැවසූ නමුත් එයින් පලක් නොවූ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අයවැය විවාදයේදී සිහිපත් කළේය.

මේ අතර ජාතික ජනබලවේගය පාර්ශ්වයෙන් වැඩිමනක් ඉදිරිපත් වූයේ අයවැය සම්බන්ධව විවේචනාත්මක අදහස්ය. ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. මේ අතර අයවැය කතාව බයිලාවකින් අවසන කිරීම සම්බන්ධවද ඇය අදහස් දක්වා තිබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බව කල් ඇතිවම දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. පසුගිය සතිය පුරා ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටියේ තායිලන්තයේ හෝටල් පරිශ්‍රයක දැඩි ආරක්ෂක රැකවල් සහිතවය. දැන ගැනීමට ලැබුණු පරිදි ඔහු පිටතට යාම සිදුවූයේ ඉතා අල්ප වශයෙනි. බොහෝ විට ඔහුගේ ආරක්ෂකයන් හා සමීපතමයන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවශ්‍යතා වෙනුවෙන් හෝටල් පරිශ්‍රයෙන් පිටතට ගමන් කළෝය.

මේ අතරතුර හිටපු ජනපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ද තායිලන්තයට ගොස් තිබුණේ රාජපක්ෂ මහතාගේ නැවත පැමිණීමට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කිරීමේ අරමුණිනි. ඒ අතරේ මෙරට තුළද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැවත පැමිණීම සම්බන්ධව කටයුතු සිදුවෙමින් පැවතුණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි පසුව ඔහුගේ නවාතැන පිළිබඳ ගැටලු විසඳීමට පිරිසක් කටයුතු කරමින් සිටියහ. අවසානයේ කොළඹ බෞද්ධාලෝක මාවතේ නිල නිවසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කිරීමට එම පිරිස කටයුතු කළෝය. 

කෙසේ වෙතත් මෙය තාවකාලික නිල නිවෙසක් වූ අතර ටික දිනකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවෙසට යාබදව පිහිටි නිවෙසක් නිල නිවෙස ලෙස ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණි. සිය නිල නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එය තාවකාලික නිල නිවෙස ලෙස භාවිත කිරීම ඊට හේතුව බව ආරංචි මාර්ග තහවුරු කළේය. මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් නොදුරේදීම පිටවයාමෙන් පසු එම නිවෙස සිය නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයා පරිහරණය කරනු ඇතැයි කියැවේ.

මේ අතරේ අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට දිගින් දිගටම දේශපාලනයට සම්බන්ධ වන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් දැන ගැනීමට ලැබෙන පරිදි මේ වනතුරුත් ඔහු එම ඉල්ලීම් සඳහා ඔහු ප්‍රතිචාර දක්වා නොමැත.

සර්වපාක්ෂික ආණ්ඩුව නිර්මාණය කරගැනීම සඳහා වන කතිකාවේදී සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ආණ්ඩුවට එක්වන්නේ යැයි නිරන්තර ආරංචි පැතිර ගියේය. සමගි ජන ජනබලවේගයේ පිරිස් සමඟ රහසේ ආණ්ඩුවේ ඇතැමුන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය. මේ සමගම පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් පිළිබඳව හදිසියේම තොරතුරක් අනාවරණය කළේය.

ඒ අනුව ඉකුත් පළමුවැනිදා සමගි ජන බලවේගය දෙකඩ කිරීමට මැලේසියාවේ හා මහනුවර සිට එම්.කේ. කුමන්ත්‍රණයක් සිදුවන බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. එම්.කේ. ක්‍රමන්ත්‍රණය කුමක්ද යන්න පිළිබඳ පසුව හෙළිදරව් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

"ඇමැතිකම් දී සමගි ජන සංවිධානය කඩන්න නම් හදන්න එපා. මුදලට වරප්‍රසාදවලට විකිණෙන අය මෙහෙ නෑ. සමගි ජන බලවේගය දෙකඩ කරන කුමන්ත්‍රණවලට අප අසුවන්නේ නැහැ."

විපක්ෂ නායකවරයා ප්‍රසිද්ධියේ පැවසීමට තරම් සුවිශේෂී එම්.කේ. ක්‍රමන්ත්‍රණය යනු කවරක්ද යන්න පිළිබද දේශපාලන කරළියේ විවිධ අදහස් පළවී තිබුණි. ඇතැමුන් මහනුවර ප්‍රකට දේශපාලනඥයන්ගේ නම්ද මීට අදාළ කරගනු දැක ගත්තද හැකි විය.
සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව දැනගැනීමට ලැබුණේ මෙම කුමන්ත්‍රණය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගන්නා අවස්ථාවේ සිදු වී ඇති බවයි. මෙරට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් එක් අයකුට රුපියල් මිලියන විස්ස බැගින් මුදල් ලබා දීමට පොරොන්දු වී ඇතැයි කියැවිනි. ඉන් මිලියන දහයක මුදලක් මැලේසියාවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත එවා ඇති බව ස.ජ.බ ප්‍රධානීහු පවසති. නමුත් මෙම තොරතුරු කටකතා සහ ආරංචි පමණය. කිසිවකු ඒවා තහවුරු කර නැත. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්ද ඉකුත් සතියේ පවත්වා ඇති බවත් දේශපාලන ආරංචි ඔස්සේ දැන ගැනීමට ලැබුණි. නව ආණ්ඩුව නිර්මාණය කිරීම සම්බන්ධව එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කර ඇතැයි කියැවේ. කිසිසේත්ම රාජ්‍ය අමාත්‍යවරුන් උපරිමය පත් නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තවත් පිරිසකට පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බවද පවසා ඇතැයි දැන ගැනීමට ලැබේ.

පසුගිය සතියේ බදාදා දින පාර්ලිමේන්තුවේ පැවති තවත් විශේෂ සාකච්ඡාවකදී සිදු වූ අලකලංචියක් පිළිබඳවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු අනාවරණය වූයේය. මෙය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකි. මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගි වීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව දැනුවත් කිරීම මෙහි අරමුණ වූ බව කියැවුණි.

"ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මග" මැයෙන් නම් කොට තිබූ මෙම වැඩමුළුවට බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද සහභාගී විය. දේශපාලන ආරංචි අනුව මෙහිදී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ මහ බැංකු අධිපතිවරයා අතර නිර්මාණය වී ඇත්තේ උණුසුම් තත්ත්වයකි. ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බංකොලොත් රටක් ලෙස මහ බැංකුව ප්‍රකාශ කළේ කුමන පදනමින් දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කිරීමත් සමඟ මෙම මත ගැටුම නිර්මාණය වූ බව කියවේ.

මෙහිදී සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සේම ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාද මෙහිදී මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්න කොට ඇත. තොරතුරු අනාවරණය වන පරිදි එහිදී කල් ඇතිවම සමගි ජනබලවේගය ආර්ථික අවදානම පිළිබඳ අනතුරු හැඟවූ බවට හර්ෂ ද සිල්වා කළ ප්‍රකාශයක් සම්බන්ධව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිපී ඇත.

එහිදී ආණ්ඩුවේ පිරිස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම්වලට බාධා කළ බවද කියැවේ. ඒ අනුව ඇතිවූ උණුසුම් වචන හුවමාරු අතරේ, ජනාධිපතිවරයා කෙලෙස ආරාධනා කළද මෙවන් පිරිස් සමඟ එක්ව වැඩකළ නොහැකි බව පවසමින් සමගි ජනබලවේගය පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ගෙවී ගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේද සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායකවරුන් පක්ෂ කාර්යාලයට කැඳවා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ සාකච්ඡාව ඒ අතරින් විශේෂිතය. ඔහු මෙම සාකච්ඡාවේදී එළඹෙන වසරේ මාර්තු මාසේ දී පළාත් පාලන මැතිවරණයකට සූදානම් වන ලෙසට සංවිධායකවරුන්ට දන්වා තිබේ. කෙසේ වෙතත් සංවිධායකවරුන් බහුතරයකගේ අදහස වී ඇත්තේ මැතිවරණ තවදුරටත් කල් දැමිය යුතු බවයි. ගම් බිම්වලට ගොස් ජනතාව සමඟ මුහුවීම තවදුරටත් අපහසු බව මෙම පිරිස බැසිල් රාජපක්ෂ හට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් පවත්නා නීතිය අනුව එය එලෙස සිදුකළ නොහැකි බව බැසිල් රාජපක්ෂ ඔවුනට පෙන්වා දී ඇත. ගමට ගිය පසු ජනතාව පළමුව විවිධ ප්‍රශ්න මතු කළද ඔවුන් සමඟ කතාබහ කිරීමෙන් තත්ත්වය කළමනාකරණය කරගත හැකි බව ඔහු සංවිධායකවරුන්ට පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් ඒ හා සම්බන්ධව සංවිධායකවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව පොහොට්ටු කාර්යාලයේ දී තවත් ප්‍රධාන හමුවක් මහින්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇතැයි දැනගන්නට ලැබේ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණහි ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇත.

ඒ සඳහා සහභාගී වී ඇත්තේ  හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිත කණ්ඩායමකි. ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ ඩී.වී. චානක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණහි මහලේකම් සාගර කාරියවසම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මෙම අවස්ථාවට සහභාගී වී ඇත. මෙහි සුවිශේෂී බව වී ඇත්තේ කලකට පසුව මහින්ද රාජපක්ෂ මහතා මුලසුනේ සිට කටයුතු මෙහෙය වීමයි.

 

 

I චමිදු නිසල් ද සිල්වා