2022 නොවැම්බර් 13 වන ඉරිදා

කැබිනට් පොරය උග්‍රෙවයි

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, ප.ව. 06:06 228

දේශපාලන කරළියේ පෙරළියක සේයා ඇඳුණු සතියක් ගෙවී ගියේය. කැබිනට් තනතුරු පිළිබඳ හබය තිරය පිටුපස ප්‍රධාන මාතෘකාව විය. ඇනුම්, බැණුම්, ගැටුම් පිළිබඳ රස කතාද දේශපාලන කරළියේ පැතිර ගියේය. නව දේශපාලන සන්ධාන පිළිබඳ කතිකාවද කාගේත් අවධානය දිනා ගත්තේය.

පසුගිය සතියේ කැබිනට් සංශෝධනය පිළිබඳ ආරංචිවලට පියාපත් ලැබුණි. ඒ අනුව ඉතාම නුදුරේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිතව ඇතැයි කතාවක් පැතිර ගියේය. පොහොට්ටුවේ කිහිපදෙනකුට සේම සමගි ජනබලවේගයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනකුටත් ඇමැතිකම් හිමිවන බව කියැවුණි. සතියක පමණ කාලයක් තුළ සංශෝධන කතාව එන්න එන්නම ප්‍රබල විය.

"දැන්නම් මේ ඇමැතිකම් ටික දෙන්නම ඕනෑ. මේක නොදුන්නොත් නම් අයවැයට සහයෝගය දෙන්න බෑ..."

පොහොට්ටුවේ ඇමැතිකම් බලාපොරොත්තු වන පිරිස් පක්ෂ අභ්‍යන්තරයේ නොපැකිලව හඬ අවදි කරමින් සිටියහ. මෙම ප්‍රකාශය යම් ආකාරයක තර්ජනාත්මක ස්වරූපයක් ඉසිලූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ජනපතිද මේ පිළිබඳ තතු නොදැන සිටියා නොවේ. කෙසේ වෙතත් පොහොට්ටුව විසින් නම් කර යැවූ මන්ත්‍රීවරුන් අතරින් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ යන අයට ඇමැතිකම් ලබාදීම සම්බන්ධව ජනපති සිටියේ ගැටලුවකය. නාමල් ඇමැතිකම් භාර නොගන්නා බවට පුවතක් කල් ඇතිවම පැතිර ගොස් තිබුණි.

"නාමල්ට ඇමැතිකම් ඕනෙ නෑ. එයාට වැඩ කටයුතු ටිකක් බාරදීලා තියෙනවා. නාමල් ඒ ටික බලාගෙන ඉඳියි."

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අමතා කියා ඇතැයි දේශපාලන කරළියේ කතාවක් නිර්මාණය විය. නාමල් සම්බන්ධ කරුණ එසේ නමුත් ඇමැතිකම් බලාපොරොත්තුවෙන් සිටි සෙසු පිරිස ජනපති හමුවේ අඩියක් පසුපසට යාමට සූදානම් නොවූහ. පොහොට්ටුව මස් රාත්තලම ඉල්ලන බව ඇතැමෙක් කීය.

සති කිහිපයක සිටම මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ දේශපාලන කරළියේ පැතිර ගියේ තවත් සුවිශේෂී කතාවකි. මහින්ද රාජපක්ෂ නැවත අගමැති වීමට සූදානම් වන බවක් ඒ අනුව කියැවුණි. මේ පිළිබඳ ඇති වූ කුතුහලය නිසාම මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් මාධ්‍යවේදීන් පිරිසක් අගමැති කතාවේ ඇත්ත නැත්ත පිළිබඳ ඔහුගෙන් විමසූහ.

"ඔබතුමා අගමැති වෙන්න සූදානම් වෙනවාද? දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඉවත් වෙනවද? ටික කලකට අගමැති ධුරය හොබවලා ඔබතුමා ගෞරවාන්විත සමුගැනීමකට සූදානම් වෙනවා කියලා කියන කතාව ඇත්තක්ද?"

මේ ආදී ප්‍රශ්න රැසක් තමා වෙත ඉදිරිපත් වනවිට පමාවකින් තොරවම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒවාට පිළිතුරු බැන්දේය.

"දිනේෂ් හොඳට වැඩ කරනවා. ඕවා කවදාවත් වෙන්නැති කතා. මේ කතා ප්‍රචාරය කරන්න අවශ්‍යතාවයකුත් නෑ. ඕක අමූලික බොරුවක්..."

තමා ජනාධිපතිකම් අගමැතිකම් විපක්ෂ නායකකම් සියල්ලම දරා ඇති පුද්ගලයකු බව මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ඔහු හිතවත් මාධ්‍යවේදීන්ට පවසා තිබේ. එමනිසාම දැනට කරගෙන යන දේශපාලනය ඉදිරියටත් සිදුකරනවා හැර නැවතත් තනතුරු නොපතන බව රාජපක්ෂ මහතා පවසා ඇතැයි කියැවේ.

මේ අතර පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් නුවරට ගියේය. 

COP-27 සමුළුවට සමගාමීව ණය කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවකටද ජනපති එක්ව සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා ඇතුළු පිරිසක් ඊට සම්බන්ධ වූහ. මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතරතුරදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක්, ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර්, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුළු තවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමුව සාකච්ඡා කර තිබේ.

ඉකුත් සතියේ රාජිත සේනාරත්න චරිතයද නැවත දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූයේය.

"රාජිත ආණ්ඩුවට යනවාලු. ඇමැතිකමකුත් හම්බවෙයි."

චතුර සේනාරත්න සිදුකරනු ලැබූ දේශපාලන කපුකමක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රාජිත ආණ්ඩුවට එක්වීම පිළිබඳ කතා දේශපාලන කරළියේ පැතිර ගියේය. පසුගිය සතියේ සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව රැස් වූ අවස්ථාවේදී ද රාජිත සේනාරත්න මහතා සම්බන්ධ සිදුවීමක් පිළිබඳ දේශපාලන ආරංචි ලැබී තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු නායකත්වයේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී සුවිශේෂී අවධානයක් යොමුව ඇත්තේ ඉදිරි අයවැය සහ රජයේ බදු වැඩිකිරීම පිළිබඳවයි.

"මේ විදියට බදු ගහන්න දෙන්න බෑ. බදු ඕනෑ තමා ආණ්ඩුවට ඉස්සරහට යන්න. නමුත් මේ විදියට ජනතාව බිත්තියට හේත්තු කරල බෙල්ල මිරිකන්න දෙන්න අපිට බෑ. අපි මේවාට විරුද්ධ වෙන්න ඕනා." පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිසක් රජයේ බදු ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරමින් මෙලෙස කතා කර ඇත.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා, වෙනස්ම මතයක් සමඟ කරළියට පැමිණ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

"බදු වැඩි කරන්නේ නැතුව මේ වගේ වෙලාවක ආණ්ඩුවකට වැඩ කරන්න බෑ." රාජිත සේනාරත්න කෙරෙන් පළවී ඇත්තේ එවන් අදහසක් බව කියැවෙයි. එසේම මැතිවරණ පිළිබඳ කථාවේදී, "ඡන්දයක් වුණත් එකපාර තියන්න බෑ. ඡන්ද වුණත් කල්දාන්න වෙනවා" වැනි ප්‍රකාශය ඔහු සිදුකර ඇතැයි දේශපාලන කරළියේ පැතිර ඇති කතා අනුව කියැවේ. ඒ අනුව පොදුවේ ආණ්ඩුවේ මතයට සමාන මතයක් රාජිත සේනාරත්න තුළින් සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුවේදී ප්‍රකාශයට පත්වූ බව කියැවේ. මෙහිදී සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් රාජිත සේනාරත්නගේ මතවාදයට විරුද්ධව කතා කළ බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

"ඔබතුමා ඔහොම කතා කරන්න එපා. දේශපාලන වශයෙන් විපක්ෂයේ වගකීම තමා ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීම. ආණ්ඩුව මිනිස්සුන්ට බදු ගහලා කරන්න ඕන හැමදේම කරලා. කරුණාකරලා ඔබතුමා විපක්ෂයේ ඉඳන් මේවාට උල්පන්දම් දෙන්න එපා..."

මේ අතර එක්සත් ජාතික පක්ෂය නව සන්ධානයක් ගොඩනගමින්, මන්ත්‍රී කණ්ඩායම් එකතු කර ගැනීමේ උත්සාහයක් දියත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍යවරුන් වන හරීන්, මනූෂ ඇතුළු පිරිසක් පෙරටු කරගෙන හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේද සහයෝගය ඇතිව මෙම නව සන්ධානය ගොඩනැගෙනු ඇතැයි කියැවේ. මීට අමතරව මාධ්‍යවේදී වික්ටර් අයිවන් වැනි චරිතද මෙම සන්ධාන කතාවට ඈඳී සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයද නව සංවිධාන ව්‍යුහයක් සහිතව පෙරට පැමිණෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට ආණ්ඩුකාර ධුරයක් හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පුරප්පාඩු වන මහ ලේකම් ධුරය සඳහා රවී කරුණානායක පත්වුණු ඇති බවටද තිරයේ පිටුපස කතා තිබේ.

ගෙවී ගිය සමයේ ආර්ථික ඝාතකයන් පිළිබඳ කතාබහක් පාර්ලිමේන්තුව තුළද ඉන් පිටතද නිර්මාණය වී තිබුණි. රජයේ ඉහළ තනතුරු දැරූ ඇතැමුන් ආර්ථික ඝාතකයන් ලෙස බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලැබූහ. මේ අතර පසුගිය සතියේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් "ආර්ථික ඝාතකයන් මැද" යනුවෙන් කෘතියක් ලියා පළ කළේය. මෙරට ආර්ථික කරුණු සම්බන්ධව සාකච්ඡාවට ඔහුගේ නමද ඈඳී තිබීම හේතුවෙන් මෙම කෘතිය පිළිබඳ දේශපාලන කරළියේ කාගේත් ඉහළ අවධානයක් යොමු විය. 

මේ අතර පොහොට්ටුවේ පිරිසක් විශේෂ වැඩකට අතගැසූහ. ඒ නොවැම්බර් 18 වැනිදාට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙනි. තම පක්ෂ නායකයා වෙනුවෙන් තංගල්ල නිවස ආසන්නයේ ස්ථානයක භික්ෂූන් වහන්සේ දහස් නමක් වඩමවා දානමය පිංකමක් පවත්වා සහ සෙත්පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීමට ඔවුන්ගේ අරමුණ විය.

මෙහි වගකීම කරට ගෙන සිටියේ පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුය. පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු මෙම පිරිස පිංකම සඳහා සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ සියලුම දෙනාට ආරධනා කිරීමට සූදනමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගියදාක පැවති ඩී.ඒ. රාජපක්ෂ ගුණසමරු පිංකමට සහභාගී වීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගමට ගියේය. ඔහු දින තුන හතරක් ගමේ ගතකර තිබුණි. ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව සහ කඩා බිඳ දැමූ සොහොන් කොත ප්‍රතිෂ්ඨාපනය කිරීමට මෙම ගුණසමරුවේදී රාජපක්ෂවරු කටයුතු කළහ. මෙම අවස්ථාවට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් හතළිහකට ආසන්න පිරිසක්ද එක්ව සිටි බව කියැවේ.

මේ දිනවල කවුරුත් කතාබහ කරන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමද දේශපාලන කරළියේ විවිධ සංවාදයට ලක්විය. මෙම සිදුවීම ඈඳාගනිමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද ප්‍රකාශයක් සිදුකර තිබුණි. "දැක්කනෙ, අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රට නියෝජනය කරලා ක්‍රිකට් ගහන්න යනවා. මම හිතන්නෙ, එයා එයාගෙ පෞද්ගලික සිතැඟි කොයි කොයි වෙලාවේ කරගත්තත් කමක් නෑ. හැබැයි මේ වෙලාවේ එයා රට නියෝජනය කරලා ගියේ. මොකක්ද අපේ රටේ කීර්තිය."

මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩල තරග සඳහා ගිය ක්‍රීඩකයන් අතුරුදන් වීම පිළිබඳවද අනුර කුමාර දිසානායක මහතා කතා කළේය. ඒ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ අපූරු ප්‍රකාශයක් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සිදුකළේය. අනුර කුමාර දිසානායක මහතා දැන් ටිකක් ලස්සන වී ආඩම්බර වී ඇති බව ඔහු කීවේය.

"ඉස්සර නම් අපිට හිනාවෙලා කතා කරනවා. දැන් ටිකක් ආඩම්බර වෙලා. දැන් හිනා වෙන්නෙත් නෑ..." ධනුෂ්ක ගුණතිලක පිළිබඳ පාර්ලිමේන්තු ලොබියේදී ඇති වූ කතාවකදී මන්ත්‍රීවරයකු ධනුෂ්ක ගුණතිලක ඒ සිදුවීමට සම්බන්ධ යැයි පැවසෙන තරුණියගේ ඡායාරූපයක් සෙසු මන්ත්‍රීවරුන්ට පෙන්වමින් කතාබහක නිරතව සිටි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එවිටම එහි පැමිණි විපක්ෂ නායකවරයාට "සර් මේ බලන්න මෙයා තමයි ධනුෂ්ක ගුණතිලකගේ කේස් එකට සම්බන්ධ කෙනා" යනුවෙන් පවසමින් සිය දුරකථනය විපක්ෂ නායකවරයාට පෙන්වීමට උත්සාහ දරා තිබේ.

එහිදී එම ඡායාරූපය බැලීමද ප්‍රතික්ෂේප කර ඇති විපක්ෂනායකවරයා "අපෝ... අපෝ... මම ඕවට නෑ. මට ඕව පෙන්නන්න එපා..." යනුවෙන් පවසමින් පිටව ගිය බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරියද අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට නැගී සිටී රාජ්‍ය ඇමැතිවරිය එම ප්‍රශ්නය වෙනුවට, ඉන්පසුව විපක්ෂ නායකවරයා විසින් විමසීමට නියමිත එතෙක් අසා නොතිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට යෑමට නිසා මෙම තත්ත්වය උද්ගත විය.

මෙහිදී කතානායකවරයා ඇය නිවැරදි කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරීය. එහෙත් එම නිවැරදි කිරීම බාර නොගෙන දිගටම කතා කරගෙන යාමට ගීතා කුමාරසිංහ මහත්මිය කටයුතු කළේය.

"හොල්මන්..."
"වෙන බහුබූත..."

සිය පැහැදිලි කිරීම භාර නොගත් තැන කථානායකවරයාගේ මුවින් පිටවූයේ මෙවන් වචනය. ඒ වනවිටත් ක්‍රියාත්මකව පැවති මයික්‍රොෆෝනය නිසාවෙන් සියලුම දෙනාටම එය ඇසුණි.

ඒ අතර "පැලෙන්න ගහනවා..." යනුවෙන් ගීතා කුමාරසිංහ මහත්මිය සිදුකළ ප්‍රකාශ ද සක්‍රීයව පැවති මයික්‍රෆෝනයෙන් කාටත් ඇසුණි. කෙසේ වෙතත් ඇය මෙසේ කියා ඇත්තේ ඇයට තොරතුරු පැහැදිලි කරදීමට පැමිණි දොලවත්ත මන්ත්‍රීවරයාට බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ආරංචි මාර්ග අනුව සැබෑවටම මෙහිදී සිදුව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ ප්‍රශ්නය මගහැර විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ගීතා කුමාරසිංහ මහත්මිය සූදානමින් සිටීමයි. මිලාන් ජයතිලක මහතාගේ පැනය සමාජ සවිබල ගැන්වීම් විෂයට අදාළ සහනාධාර සම්බන්ධ පැනයක් වූයෙන් එය සිය විෂයට අදාළ නොවන බව ඇය කල් ඇතුවම තීරණය කොට තිබේ. එහෙත් අවසාන මොහොතේදී කුමාරසිංහ මහත්මියට සියල්ල පැටලුණි.

බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය කාගෙත් අවධානය දිනා ගත්තේය.

"සමුළුවේදී මට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය මුණ ගැසීමට. මම එතුමිය සමග සාකච්ඡා කළා. අපිට සහයෝගය ලබාදෙන බව එතුමිය ප්‍රකාශ කළා. කිසිදු බියක් තබාගන්න එපා. අපිට දැන් තිබෙන්නේ ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා සාර්ථක කර ගැනීමට. අපි රටවල් දෙකෙන්ම ඉල්ලා තිබෙන්නේ දෙසැම්බර් මාසය වනවිට මේ සාකච්ඡා අවසන් කරන්න කියලා. මෙම සාකච්ඡා අවසන් වුණහම අපිට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණයි. ලෝක බැංකු සභාපතිවරයා සමඟත් අපි සාකච්ඡා කළා."

මෙලෙස සඳහන් කරමින් ජනපති විෂය ක්ෂේත්‍ර කිහිපයක් යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඒ අතර අයි.එම්.එෆ්. මේ සමග එළැඹී ගිවිසුම අයවැයට පෙර ප්‍රසිද්ධියට පත් කරන ලෙස සමගි ජනබලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනපතිගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් තවත් සංශෝධන සිදුවිය හැකි බැවින් එය සිදුකළ නොහැකි බව ජනපති පවසා සිටියේය.

අරගලයට සම්බන්ධ වූ පිරිස් ගෝල්ෆේස් පිටියේ නැවත විවිධ සැමරුම් සංවිධානය කිරීමට පසුගිය සතියේ උත්සාහ දැරීමද කැපී පෙනුණි. විශාල පිරිසක් සම්බන්ධ නොවීම හේතුවෙන් මෙම විරෝධතා පාලනය කිරීමට කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳ ගැටලුවක් මතුවිය. එහෙත් ඉහළින් උපදෙස් ලැබී තිබුණේ කිසිසේත්ම ගෝල්ෆේස් පිටියේ නැවත විරෝධතා සඳහා අවකාශ ලබා නොදිය යුතු බවයි. ඒ අනුව විශාල ආරක්ෂාවක් ගොල්ෆේස් පිටිය අවට යෙදවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.

මේ අතර පසුගිය අප්‍රේල් මස අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී පැවැත්වීමට ගිය නිහඬ විරෝධතාවට පොලීසියෙන් බාධා එල්ල විය. ඒ අතර සූපවේදීන් පිරිසක් නිල ඇඳුමින්ම එම ස්ථානයට ගොස් විරෝධතාකරුවන්ට දෝෂාරෝපණය කළේ මෙවන් විරෝධතා හේතුවෙන් සංචාරක කර්මාන්තය බරපතල අවුලකට ගමන් කරන බව පවසමිනි.

"යන්තම් සංචාරකයෙක් එන්න පටන් ගත්තා විතරයි. සහරාන්ගෙ බෝම්බවලට මාස නමයයි, වසංගතෙන් අවුරුද්දයි. දැන් අරගලේ. මුන්ව පන්නන්න ඕනෑ. සුද්දෝ හැරිලා ගියා...."

මේ අතර ඉකුත් සතියේදී සමගි ජන බලවේගය ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නා අය අතර සරත් ෆොන්සේකා මහතාගේ නමද කියවීම හේතුවෙන් කලබල වී සිටියේය. ඒ අනුව පක්ෂය හැරදමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව ෆොන්සේකා මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.

I චමිඳු නිසල් ද සිල්වා