2022 දෙසැම්බර් 18 වන ඉරිදා

මැතිවරණ කොමිසමට පහන් පත්තු කරන්නලු

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 211

අය-වැය කලකෝලාහලයෙන් පසුව එතරම් දේශපාලන හැල හොල්මනක් නොමැති සතියක් ගෙවී ගියේය. එහෙත් සුපුරුදු දේශපාලන ගිනියම කරළියේ තිරය පිටුපස දකින්නට ලැබුණි. ලොකු ලොකු තැන්වලට ගිය අමුතු චරිත පිළිබඳවත්, ලොකු ලොකු තැන්වල සිටි ප්‍රසිද්ධ චරිත කළ කී අමුතු වැඩ පිළිබඳවත් විවිධ දේශපාලන ආරංචි අප වෙත ගලා ආවේය.

මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයේ දෙවැනි සංවත්සරය පසුගිය ඉරිදා බොරැල්ල කැම්බල් පිටියේදී සැමරුවේය. මෙම වාර්ෂික සම්මේලනයේ තේමාව වූයේ ‘පෙරළියට සැරසෙන්න - කරළියට ගොඩවන්න' යන්නයි. සමගි ජනබලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ප්‍රබල දේශපාලකයෝ රැසක් මෙම සමුළුවට එක්වූහ.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සජබ නායකයා ලෙස යළි ඒකමතිකව තීරණය කිරීම සුවිශේෂී කරුණක් විය. ඒ අනුව මෙහිදී සමගි ජනබලවේගය තනතුරු ධූරාවලිය විශාල වෙනස්කම්වලින් තොරව නැවත යාවත්කාලීන කිරීම සිදුවිය.

සමගි ජනබලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කරන බව සජිත් ප්‍රේමදාස මහතා සමුළුව අමතමින් පැවසීය. ඊට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පක්ෂ ලේකම්වරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතාත් නැවත පත් කිරීමට පියවර ගෙන තිබුණි.

මෙහිදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය කතාව ආරම්භ කරමින් සිදුකළ ප්‍රකාශයයි. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු බොහෝ දෙනකු කතා කිරීමෙන් පසු රැස්වීමේ අවසාන අදියරේ ඔහුට සම්මේලනය ඇමැතීමට අවකාශ උදා වී තිබුණි.

"ඇත්තටම කතාවක් පවත්වන්න මෙතන සෙනඟකුත් නැහැ. නමුත් පාරෙ වටේ ජනතාව ඉන්න හින්දා මං කතාවක් කරනවා."

මෙම ප්‍රකාශයත් සමඟ සම්මේලනය සංවිධානය කළ එස්.එම්. මරික්කාර් ඇතුළු සජබ බොහෝදෙනෙක් හට ඇතිවූයේ කලකිරීමකි. මෙවන් ප්‍රකාශයක් සිදුකරමින් සම්මේලනයේදී පක්ෂය ලැජ්ජාවට පත් පත්කිරීමක් බව ඇතැම්හු කීහ. එසේම පක්ෂ අභ්‍යන්තරයේ විශාල කැළඹීමක් ඇති වූ බවක් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර තවත් දේශපාලන ආරංචියකට අනුව ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයේ තිරය පිටුපස කතාවද අපට දැනගැනීමට ලැබුණි. සංවිධායකයන් කියූ පරිද්දෙන් ලක්ෂ ගණනක පිරිසක් මෙයට සහභාගී නොවීම පිළිබඳ මුලසිටම ඔහු සිට ඇත්තේ කෝපයෙනි.

එසේම කථික ලැයිස්තුව අනුව අවසානයට කතාකිරීමට සිටි පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් මොහොතේ එම තීරණය වෙනස් කර මැදින් පැමිණ සම්මේලනය ඇමතීම පිළිබඳ ඔහු අසතුටට පත්ව ඇත.

එසේම මෙවර සම්මේලනයේදී  ප්‍රේමදාස මහතාගේ කතාවෙන් පසුව සෙනඟ විසිර යාමත් සමඟ සමහර කථිකයන් කතා කිරීම ප්‍රතික්ෂේප කොට ඇතැයි ද කියැවේ. එම ආරංචි අනුව සරත් ෆොන්සේකා මහතාටද කතා කිරීමට සිදුව ඇත්තේ විසිර යමින් සිටි සෙනඟටය. ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ මෙවන් වටපිටාවක් මත බව කියැවේ.

පසුව විපක්ෂ නායකවරයාට සෘජුවම සිදු වූදේ සම්බන්ධව සරත් ෆොන්සේකා මහතා පැමිණිලි කළ බවද සමගි ජන බලවේගයේ ඇතැම් ආරංචි මාර්ග පවසයි. ඒ අතර සමහර ස.ජ.බ මන්ත්‍රීවරු සරත් ෆොන්සේකා මහතාගේ කතාව නිසා රැස්වීම හෑල්ලු වූ බවටද දැඩි චෝදනා නැගීය. 

මේ අතර පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ හමුවීමට පැමිණි සුවිශේෂී අමුත්තකු පිළිබඳවද කතාවක් ඉකුත් සතියේ දැනගැනීමට ලැබුණි. පොහොට්ටුවේ ආරංචි මාර්ග අනුව මේ අමුත්තා මෙරට ප්‍රකට මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් මහතාය. ප්‍රබල පොහොට්ටු විවේචකයෙක් වන වික්ටර් අයිවන් මහතා පසුගිය දිනක බැසිල් රාජපක්ෂ හමුවීමට අවශ්‍ය බව දන්වා එවා තිබේ.

"මට බැසිල් රාජපක්ෂ හමුවෙන්න අවශ්‍යයි."

වික්ටර් අයිවන් වෙතින් පොහොට්ටුවට ලැබුණ මෙම පණිවිඩය පිළිබඳවද පළමුව බැසිල් ඇතුළු සියලු දෙනාම මවිතයට පත්ව ඇත.

"සාමාන්‍යයෙන් අපට බණින කෙනෙක්. කමක් නෑ එතුමාට එන්න කියන්න."

බැසිල් රාජපක්ෂගේ කැමැත්තත් සමඟ පසුගිය සතියේ දිනක වික්ටර් අයිවන් මහතා තවත් මාධ්‍යවේදියකු සහ සමාජ ක්‍රියාකාරිකයකු සමඟ නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයට පැමිණ ඇත.

මෙම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ මහතාට අමතරව, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, රංජිත් බණ්ඩාර සහ පක්ෂයේ උපදේශකයන් ලෙස කටයුතු කරන ආචාර්ය මහින්ද පතිරණ සහ එරන්ද ගිනිගේ යන අය සහභාගී වී ඇතැයි දැන ගැනීමට ලැබේ.

"ඇයි මේ ඔබතුමා අපිව හමුවෙන්න අදහස් කළේ. මොනවද කතා කරන්න තියෙන්නේ..."

"මම අරගලය ගැන විශේෂ අධ්‍යනයක් කළා. අරගලයට හේතු විදියට විවිධ අය නොයෙක් දේවල් කතා වෙනවා. නමුත් මේකට ඇත්ත හේතුව එළියට ඇවිල්ලා නෑ."

වික්ටර් අයිවන් කියන්නට යන කතාව පිළිබඳ පොහොට්ටුවේ පිරිසට ඇතිවී ඇත්තේ කුතුහලයකි.

"මොකක්ද ඇත්ත හේතුව..."

"මේ සමාජයේ තියෙන කුල පීඩනය තමා මේකට හේතුව..."

නිරන්තර කුල පීඩනය පිළිබඳව ලියමින්, කතා කරමින් සිටින වික්ටර් අයිවන් මහතා මෙවන් පිළිතුරක් ලබාදුන් බව පොහොට්ටුවේ පිරිස් පවසයි.

"මේ අරගලය ඇතිවුණේ සිංහල ගොයිගම කුලයට විරුද්ධව..."

රටේ සෙසු කුලවල පිරිස් පිරිස ගොයිගම කුලයට එරෙහිව දියත් කළ කැරැල්ලක් ලෙස වික්ටර් අයිවන් අරගලය අර්ථකථනය කළ බවටද වැඩිදුරටත් පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී සාගර කාරියවසම් තවදුරටත් අයිවන් මහතාගෙන් තොරතුරු විමසා ඇත. සමාජය තුළ පවතින කුල පීඩනය පිළිබඳ පැහැදිලි කරමින් එය සමාජයෙන් තුරන් කළ යුතු බව එහිදී වික්ටර් අයිවන් මහතා පිරිසට අවධාරණය කර තිබේ. කුලය හේතුවෙන් සිදුවන සමාජ අසාධාරණය තුරන් කිරීමට දේශපාලන පක්ෂ මැදිහත් විය යුතු බවද මෙහිදී අයිවන් මහතා පිරිසට පැහැදිලි කර දී තිබේ.

පසුගිය සතියේ ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉතාලියේ ලාංකිකයන් පිරිසක් හරසරින් පිළිගෙන තිබුණි. මෙම සංචාරය අතරේදී රෝම, නාපෝලි, කතානියා, ෆිරෙන්සි හා මිලානෝහි ජනහමු කීපයකට අනුර කුමාර මහතා සහභාගී ඇත. කෙසේ වෙතත් ජනහමුවලදී ශ්‍රී ලාංකික තරුණයන් ඔහුව දේශපාලනිකව ප්‍රශ්න කරනු දැකගත හැකිවිය.

පසුගිය සඳුදා ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ජන හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ගැටුමක් ඇතිකර ගැනීම බව අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.

"ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා ප්‍රශ්නෙ විසඳලා අපේ දේශපාලනය අහෝසි කරන්න බෑ ඒගොල්ලන්ට. මොකද ප්‍රශ්නෙ විසඳන්නෙ නැති නිසා. දැන් එයාල කියනවානෙ එයා හිට්ලර් වගේ කියලා. එයා කැමැති ප්‍රචණ්ඩත්වයක් ඇති කරගන්න. ගැටුමක් ඇති කරගන්න. ඒ නිසා තමයි පාරට බැස්සොත් බලාගෙනයි, ආවොත් බලාගෙනයි කිය කියා අපිව කැඳවනවා. අපි ඒකට අහුවෙන්නෙ නෑ. අපි යන්නෙ නෑ එයාත් එක්ක කඩු හරඹෙට. එයාට ඕක කරකවා කරකවා ඉඳලා බඩ කපාගන්න පුළුවන් තව ටික දවසකින්."

පසුගියදා පැවති පොහොට්ටුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් පිළිබඳවද අපූරු ආරංචියක් ලැබුණි. මෙම රැස්වීම් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විෂය භාර අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙහිදී අපූරු සංවාද කිහිපයක්ම සිදුව ඇතැයි කියැවේ.

"මේ වෙලාවේ රටේ තියෙන ආර්ථික සමාජ වාතාවරණය ඡන්දයකට එච්චර සුදුසු නැහැ."

පොහොට්ටුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සිය මතය ආරම්භයේ පටන් දිගින් දිගටම ඉදිරිපත් ඇත. ඒ අතරේ රැස්වීමේ ප්‍රධානත්වය ගත් ජනපති ඇතුළු පිරිස "ඇයි ඔබතුමාලා එහෙම කියන්නේ" යනුවෙන් විමසා තිබේ.

"දැන් ජනවාරිවල ලයිට් බිල වැඩි කරනවා. පොහොර ප්‍රශ්නයෙන් දුක් විඳපු ගොවි ජනතාවට තාම අස්වැන්නවත් ලැබිලා නෑ. පොහොර ටික හම්බ වුණාම ඊළඟ කන්නේ තමයි හරි අස්වැන්නක් ලැබෙන්නෙ. ජීවන වියදමත් වැඩී. මේක හරිම ප්‍රශ්නයක්."
මේ අතර තවත් පිරිසක් "ඔව්, ඡන්ද වැඩවලට වියදම් කරන්න අපිටත් සල්ලි නැහැ." යනුවෙන් පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙසේ සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියා ඇත්තේ මෙවන් කතාවකි.

"ආණ්ඩුවටත් සල්ලි නෑ. අපිට තිබෙන ලොකුම ප්‍රශ්නෙත් වියදම. රුපියල් බිලියන 10ක් විතර යනවා මේ ඡන්දයට. වියදම් කියන එක ආණ්ඩුවටත් ලොකු ගැටලුවක් තමයි." තම දුක කියන්නට ගොස් ආණ්ඩුවේ දුක අසාගත් පළාත් පාලන ආයතන නායකයෝ අවසානයේ ජනාධිපතිට කර ඇත්තේ මෙවන් යෝජනාවකි.

"එහෙනම් සර් මාස හයකින්වත් ඡන්දෙ කල් දාන්න" ජනපති ඊටද ලබාදී ඇත්තේ අපූරු පිළිතුරකි.

"මේ ඡන්දය පවත්වන එක නොපවත්වන එක මැතිවරණ කොමිසමේ වැඩක්. නීති අංශවල වැඩක්. ඕගොල්ලෝ ඔය වගේ ඉල්ලීමක් කරනවා නම්, කරුණාකරලා මැතිවරණ කොමිසමට පහනක් පත්තු කරලා ඉල්ලීමක් කරන්න." මැතිවරණ කොමිසමට පහනක් පත්තු කිරීම පිළිබඳ කතා දේශපාලන ආරංචි අනුව තරමක් සුවිශේෂීය.

"රටේ තිබෙන ආර්ථික සමාජ ප්‍රශ්න ගැන හිතලා තීන්දුවක් ගන්න කියලා. කොමිසම පැත්තට පහනක් පත්තු කරලා ඉල්ලීමක් කරන්න." 

පළාත් පාලන ඡන්දය පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණි පළාත් පාලන ආයතන නායකයන්ගේ හමුව මෙලෙස අවසන් විය. මැතිවරණ සහ පළාත් පාලන ආයතන සම්බන්ධ බොහෝ දෑ මෙම රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් කළ බව කියැවෙයි.

ඒ අතර පොහොට්ටුව සහ සජබ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂක අයදුම්පත් කැඳවීම ආරම්භ කිරීමද ඉකුත් සතියේ කැපී පෙනෙන සිදුවීමක් විය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළාත් පාලන ආයතන අපේක්ෂකත්වයට කැමති පිරිස් වලට ඊ-මේල් මඟින් අයදුම් කළ ඒ බව කියා සිටියේය. තවද තරුණ ප්‍රජාව, වෘත්තීයවේදීන්, සමාජ පිළිගැනීමට ලක්වූ පිරිස් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය අපේක්ෂකත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබුණි.

මේ අතර සිය අයදුම්පත් කැඳවීම මැතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන්නන්ගෙන් අභිලාෂ කැඳවීම ලෙස නම්කොට තිබුණි. වංචාවෙන් දූෂණයෙන් තොර අයට මෙවර පොහොට්ටුවේ ප්‍රමුඛතාවය ලබාදෙන බවද කියැවුණි. මේ අතර පොහොට්ටුවෙන් තරග කළ තවදුරටත් ආණ්ඩුවට සහාය දක්වන සියලුදෙනාට නැවතත් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්වය පොහොට්ටු විසින් ලබාදෙන බවටද රාවයක් පැතිර බිම් මට්ටමිනි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධාන ගතව තරඟ කිරීම සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසා තිබුණි.

"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ පොහොර ගැටලුව ඇති කළ නිසා රටේ ප්‍රශ්න ඇතිවුණා. එසේ නොවන්නට පක්ෂයක් හැටියට රටට කිසිදු අසාධාරණයක් සිදුකර නෑ. පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගමට යා නොහැකි බවට නැඟෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා."

පුංචි ඡන්ද කතා පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ ඉකුත්  සතියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරීම සුවිශේෂී විය.

සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්.ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරු විසිනි. මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යවරයා නම්කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජෙෂ්ඨ මහාචාර්ය හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට පහරදීම සම්බන්ධව ඇතිවූයේ ආන්දෝලනාත්මක තත්ත්වකි. දේශපාලන කරළියේ ඒ පිළිබඳ කතා බොහෝ විය.

"පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි හිටපු කුලපතිවරයකුද වන මහාචාර්ය අතුල සේනාරත්න හා පවුලේ සාමාජිකයන්ට පහරදී අලාභහානි කිරීම අරගලයේ අතුරු ප්‍රතිඵලයක්." මෙලෙස කියා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාරය. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව තිරය පිටුපසද අපූරු කතා අසන්නට ලැබුණි. සිදුවීමත් සමඟ මහාචාර්යවරයාට රටේ නමගිය විවිධ පුද්ගලයන් දුරකථන ඇමතුම් ලබාදෙමින් සුවදුක් විමසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේද නම කියැවේ. දේශපාලන ආරංචි අනුව පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට දුරකතන ඇමතුමක් ලබාදී තිබේ.

"ඇත්තටම මොකද වුණේ. ඔබතුමා සුවෙන්ද...?" ආදී කරුණු විමසා ඇති මහින්ද රාජපක්ෂ මහතා, "මම මේක හෙළාදකිනවා. උගන්වන ගුරුවරුන්ට ළමයි මෙහෙම ගහන්න ගියොත් පුදුම වැඩක් වෙන්නෙ. මේක ගැන පියවර ගන්න ඕනෑ..."
මෙහිදී සරසවි සිසුන් සමාජය ගැන අවදියෙන් සිටිමින් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කළ යුතු බුද්ධිමත් කොටසක් බවත් එවැනි පිරිසක් තමන්ට ඉගැන් වූ ආචාර්යවරුන්ට මෙලෙස සැලකීම තමා කිසිසේත්ම අනුමත නොකරන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවට වාර්තා පළ වේ.

මේ අතර අරගලයේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රසිද්ධ හඬ නළුවෙකු වන ඩිලාන් සේනානායකට පහර දී පිහි ඇනුමක් සිදු කිරීමද ඉකුත් සතියේ විශේෂ අවධානයකට ලක්වූ පුවතක් විය. ත්‍රිරෝද රථයකින් පැමිණි මුහුණු ආවරණ සහිත පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ මෙම පහරදීමෙන් ඩිලාන් සේනානායකට ඇති වූ ගැඹුරු කැපුම් තුවාල නිසා සැත්කමක්ද සිදුකර ඇතැයි කියැවේ.

මෙම සිදුවීම අරගලය සහ දේශපාලන හේතූන් මත සිදුවූවක් බව අරගලයට සම්බන්ධ බොහෝ පාර්ශ්ව විසින් ප්‍රකාශ කරනු දැකගත හැකිවිය. ඒ අතරින් ඇතැමෙක් කියා සිටියේ අරගල භූමියට පහරදීම සම්බන්ධ සිදුවීමට අදාළ බරපතල සාක්ෂි ඩිලාන් සතුව ඇති බැවින් මෙම සිදුවීම පිළිබඳ පැහැදිලි සැකයක් මතුවන බවයි.

ගෙවී ගිය සතියේ මේ වසරේ පාර්ලිමේන්තු කටයුතු අවසාන වීමද විශේෂත්වයක් විය. ඒ අනුව මැති ඇමැතිවරුන් ගම්බිම් බලා යෑම සිදුවූයේය. ඇතැමුන් නිවාඩුවට විදෙස් ගතවන බවද තිරය පිටුපස කතා අතරේ අසන්නට ලැබුණි. කෙසේ වෙතත් නැවත පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබුණේ ජනවාරි 17 වැනිදාය. එහෙත් පසුව දැන ගැනීමට ජනවාරි පස්වැනිදා නැවත පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවටය.

2023 වසරේ පාර්ලිමේන්තුව කල් ඇතිවම රුස් වන්නේ පළාත් පාලන ඡන්දය කල් දැමීමේ යම් සැලසුමකින් යුතුව බව විපක්ෂයේ ඇතැමුන් අතර කතාබහක් නිර්මාණය වී තිබේ. 

I චමිඳු නිසල් ද සිල්වා