2023 මාර්තු 05 වන ඉරිදා

ඡන්දෙ තියන්න මැතිසබයේ ඡන්දයක්!

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 259

මැතිවරණ කතා අතරේම තවත් සතියක් ගෙවී ගියේය. සියල්ලෝම අඳුරේ අතපත ගෑම මිස කිසිවක් නොකළෝය. පාර්ලිමේන්තු සැණකෙළි සංදර්ශන සුපුරුදු ලෙස දක්නට ලැබුණි. මහජන විරෝධතා, උද්ඝෝෂණවල අඩුවක්ද නොතිබුණි. රුපියල දනිපනි ගා පඩියක් උඩට නැග ගැනීම පිළිබඳ පුවත එකම සුබ ආරංචිය විය.

පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තු කාරක සභාව මාර්තු පළමුවැනිදා පස්වරුවේ රැස්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. සුපුරුදු පරිදි මුල් පුටුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිටි අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, විජිත හේරත්, ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් විපක්ෂය වෙනුවෙන් පැමිණ සිටියෝය.

ආණ්ඩුව වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායමක් මීට සහභාගි වී සිටියහ.

"ජී.එල්. පීරිස් මහත්මයයි, විජිත හේරත් මහත්මයයි මේ රුස්වීමට ආවේ කොහොමද? මේ කණ්ඩායමේ ඒ අය නෑ..."

කාරක සභාවේ කටයුතු ආරම්භයේදීම පොහොට්ටුවේ සාගර කාරියවසම් පාර්ශ්වයෙන් පැනයක් මතුවිය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි නිසි පත්කිරීමකින් තොරව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු කාරක සභාවට පැමිණීම පිළිබඳව මත ගැටුමක් මෙහිදී නිර්මාණය වූ බව කියැවේ.

"අද තලතා අතුකෝරල මන්ත්‍රීතුමිය, මේ රුස්වීමට සහභාගි වෙන්න නෑ. එයා වෙනුවට මෙතැනින් කෙනෙක් ගන්න පුළුවන්."

මෙම ගැටුම ගැන මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය. කෙසේ වෙතත් එම යෝජනාවෙන් ගැටුම සමථයකට පත් නොවුණි.

"අපේ පක්ෂය මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා."

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා එවැන්නක් කී බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් තවදුරටත් මෙම දැනුම්දීම් සහ පත්කිරීම සම්බන්ධව ගැටලුව දුරදිග ගොස් තිබේ.
"එහෙනම් මේ මන්ත්‍රීවරු දෙදෙනාම මගේ නියමය පරිදි පැමිණියා කියලා සටහන් කරගන්න..."

අවසානයේ මන්ත්‍රීවරුන් දෙපළගේ පැමිණීම පිළිබඳ වාර්තාව සැකසීමට කතානායකවරයා එවන් උපදෙසක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටලුව විසඳී ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මැදිහත්වීම මතය.

ආරංචි අනුව කාරක සභාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණයයි. පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා ඇත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.

"පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇතිවීම වැදගත්..."

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම යෝජනාව සම්බන්ධයෙන්ද උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් විවාදයක් ලබාදීමට කැමැති වූ නමුත් විවාදය පවත්වන ආකාරය පිළිබඳ මතභේද  ඇති වී තිබේ.

"විවාදය අවසානයේදී මේ සම්බන්ධව ඡන්දයක් ඕනෑ..." විපක්ෂය පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක්ද ඉදිරිපත් වී ඇත.

"කල්තැබීමේ විවාදයකට කොහොමද ඡන්දයක් ලබාදෙන්නෙ. එහෙම ලබාදෙන්න බෑ..."

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අතීත තොරතුරු ආදිය සියල්ල සැබැඳි මෙම සංවාදයද දුරදිග ගොස් ඇත. කතානායකවරයාද කල්තැබීමේ විවාදයකට ඡන්දයක් ලබාදීමේ නොහැකියාව පිළිබඳ කරුණු දක්වා ඇතැයි කියැවේ.

"එහෙනම් විධිමත් විදියට පාර්ලිමේන්තුවට මෙය හා සම්බන්ධව යෝජනාවක් ගේන්න ඕනෑ. අන්න එතකොට පුළුවන් ඡන්දයක් ඉල්ලන්න."

එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ තම කණ්ඩායම එවන් යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කරමින් සිටින බවයි. 

"දැන් හැමෝම කැමතියිනෙ ඡන්දෙ තියෙනවට. අපි යෝජනාවක් ගේනවා.  හැමෝම එකතුවෙලා සම්මත කරමු."

එම යෝජනාව පොහොට්ටුවෙන් ද අනුමත කර ඇත.

"එහෙම යෝජනාවක් ගෙනාවොත් අපිටත් පුළුවන් සහාය දක්වන්න. ඒ සම්බන්ධව කතා කරන්න. අපේ අදහසත් අපිට කියන්න පුළුවන්."

මෙම යෝජනාවේ සැලසුමට විරුද්ධ නොවූ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් කියා ඇත්තේ එවැන්නෙකි.

කාරක සභා රැස්වීමේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධවද මෙම සාකච්ඡාවට බඳුන් වී ඇතැයි කියැවෙයි.

"ඒ ලේකම්වරයා කැඳවලා මෙතන ප්‍රශ්න කරල වැඩක් නෑ. මමත් කැමතියි ඡන්දෙ තියනවාට. අපි අපේ බලතල පාවිච්චි කරමු."

පෙන්නුම් කිරීමට ඇති හැකියාව සහ බලතල පිළිබඳ පැහැදිලි කරමින් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා එවන් යෝජනාව සභාව හමුවේ තබා ඇතැයි කියැවේ.

ඊට අමතරව මෙවර අයවැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ලබාදෙන ලෙසට විපක්ෂය කළ ඉල්ලීම සම්බන්ධ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙම හමුවේ දී සංවාදයට බඳුන් වී ඇතැයි දැනගන්නට ලැබේ.

සියලු දේශපාලන කලබැගෑනි අතරේ පසුගිය සතියේ සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ගේද රැස්වීමක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම රැස්වීම පිළිබඳ වාර්තා වන තොරතුරු අනුව කියැවෙන්නේ මැතිවරණය කල්යාම, ජනහමු, විරෝධතා පැවැත්වීම් ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම කැඳවා තිබූ බවකි.

සජබ ආරංචි මාර්ග අනුව මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මුදල් කාරක සභා සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද සහභාගී වී ඇත.

"ඔය ගැන හිතන්න එපා මන්ත්‍රීතුමා. ඔබතුමා ඉතිං මගේ කැබිනට් එකේ ඉන්න කෙනෙක්නේ."

මෙම රැස්වීම අතරවාරයේ විපක්ෂ නායකවරයාට මයන්ත දිසානායක හමු වූ අවස්ථාවක එවන් සැනසිලි කතාවක් පවසා ඇතැයි දේශපාලන මාර්ග කියා සිටී.

මයන්ත දිසානායකට පමණක් නොව, මුදල් කාරක සභාවේ සභාපති හබයට පැටලුණු හර්ෂ ද සිල්වා මහතාටද මෙදින සජබ නායකයන් සැනසුම් බස් කී බවක් අසන්නට ලැබේ.

"හයියෝ මන්ත්‍රිතුමා ඔය සභාපති ධුර ගැන හිතන්න එපා. ඕවත් ප්‍රශ්නද, මට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් නැතිවෙලා, නගරාධිපති ධුරයත් නැතිවෙලා ඉන්නේ."

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හර්ෂ ද සිල්වා මහතා අමතමිනි සිනහා මුසුව කියා ඇත්තේ එවැන්නකි.

මේ අතර පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යළි යෝජනා කළ බව සමගි ජන බලවේගය පසුගියදා කියා සිටියේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, මාර්තු පළමුවැනිදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම යෝජනාව පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කළ බවයි. විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම අදාළ සභාපති ධුරයට යෝජනා වී ඇතැයි සජබ ආරංචි මාර්ග පවසයි.

මේ අතර සමගි ජනබලවේගයේ කීපදෙනකු ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට එකතු වීමට යන බවට වූ කතාවේ දිගුවක් පසුගිය සතියේද අසන්නට ලැබුණි. ජනාධිපතිවරයා සමඟ සමගි ජනබලවේගයේ කිහිප දෙනෙක් සාකච්ඡා කර ඇතැයිද ඒ අනුව කියැවුණි. මේ සමඟම ඉදිරි කැබිනට් සංශෝධනයේදී සජබ මන්ත්‍රීවරු කිහිප දෙනකුට ඇමැතිකම් ලැබීමට නියමිත බවටද නැවතත් කතා පැතිර යන්නට පටන් ගෙන තිබේ.

පසුගිය සතියේ කැබිනට් සංශෝධන තවදුරටත් කල්ගොස් ඇතැයි රාවයක්ද පැතිර ගියේය. අයි.එම්.එෆ්. පාර්ශ්වයෙන් සුබ ආරංචියක් ලැබීමට නියමිත බවත් එය ලැබුණු පසුව සංශෝධනය සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව කැබිනට් සංශෝධනය කල් යාමෙන් පොහොට්ටුවේ පිරිස් බොහෝ සෙයින් කලකිරී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

"අයවැය, නිදහස් දිනය, දැන් හේතු කීයක් කිව්වාද? මේ තනතුරු ටික දෙන්න ගියාම මෙහෙම නම් කරන්නේ. අපිට එකට ගමනක් යන්න බෑ."

පොහොට්ටුවේ ඉහළ පෙළේ නායකයකු තම සමීපතමයන් අමතමිනි මෙලෙස කියා ඇතැයි අපට දැනගන්නට ලැබේ.

මේ අතර ඇමැතිකම් හබයේ තවත් සුවිශේෂී බලාපොරොත්තුව පසුගිය සතියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය. ඒ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතායි.

"සෞඛ්‍ය වගේ ඇමැති ධූරයක් මට තියෙනවා නම්. මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන්, රට ගොඩගන්න කරන්න පුළුවන් උපරිමය මං කරනවා."

සුදුවෑන් බොරු සාක්ෂි නඩුව කැඳවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජිත සේනාරත්න මහතා මෙලෙස ප්‍රකාශ කර තිබුණි. මේ අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය වන්නේ මැතිවරණ නොව ආහාර බවත්, තමන්ට පක්ෂයක් නොමැති බවත් ඔහු පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින් පැමිණියේ තරමක් සුවිශේෂී ආරංචිය. පක්ෂයට පිටුපා ආණ්ඩුවට එක් වූ පිරිස නැවත පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවකට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග ආරංචි මාර්ග අනාවරණය කළේය. පක්ෂ මහලේකම් ධූරය සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුවක් මීට හේතු වී ඇත.

"දයාසිරි හෙලිකොප්ටරයක් එක්ක වැඩ කරනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයට වඩා කැපිලා පේන්න දඟලන්නේ එයා. මහලේකම් ධූරය වෙන කෙනෙක්ට දෙන්න ඕනෑ."

මෙබඳු අදහසක් පෙරදැරිව ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට සැරසෙන බව කියැවේ. දැනට පක්ෂ අභ්‍යන්තරයේ සිටින පිරිසකගේ සහයෝගයෙන් මෙම හමුව සංවිධානය වනු ඇත.
"මාව ඉවත් කරන්න පක්ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කරනවා. මම ඕවා සතපහකට ගණන් ගන්නෙ නෑ..."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය පිරිස් විසින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා තිබේ. දැනටමත් විනය චෝදනා මත පක්ෂයෙන් ඉවත් කරන ලද කණ්ඩායමක් නැවත පක්ෂයට පැමිණෙන්නේ තමන් මහලේකම් ධුරයෙන් ඉවත් කළහොත් පමණක් බව දන්වා ඇතැයිද ඔහු හෙළිකර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නඩු කටයුත්තක්ද පසුගිය සතියේ පැවැත්විණි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතීත්වයෙන් සහ ඔහු දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගන්නා ලද තීරණය, අභියෝගයට ලක් කරමින් කොළඹ පළාත්බද අභියාචනාධිකරණය වෙත නිමල් සිරිපාල ද සිල්වා විසින් ගොනුකළ අභියාචනය විභාගයට ගැනුණි.

ඒ අනුව මාර්තු පළමුවැනිදා  ශ්‍රී.ල.නි.පක්‍ෂයේ දරන ලද පදවිවලින් නිමල් සිරිපාල ද සිල්වා මහත්මා ඉවත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට කොළඹ දිසා අධිකරණය වෙත කොළඹ පළාත්බද මහාධිකරණය නියෝග කළේය.

කලකට පසුව පසුගිය සතියේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා දේශපාලන කරළියේ හඬ අවදි කළේය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති ලෙස නිවේදනයක් නිකුත් කරමින් දේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව සටන් විරාමයකට යොමුවිය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු කතානායක කරු ජයසුරිය මහතා සඳහන් කළේය.

"අද වනවිට රටත් රටේ ජනතාවත් මුහුණදෙමින් සිටින බැරූරුම් ප්‍රශ්න දෙස සලකා බැලීමේදී එහි අවසානයක් දැකිය හැකි තත්ත්වයකට අප තවමත් පැමිණ නැත. එබැවින් ජනතාව තුළ පැන නැඟී ඇති අසහනකාරී තත්ත්වය අබ මල් රේණුවකින් හෝ අප අවතක්සේරුවකට ලක් කරන්නේ නැත. එමෙන්ම මෙම ප්‍රශ්නවලට කල් පවත්නා ස්ථීරසාර විසඳුමක් ලබාගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක යෙදෙන බවක්ද තවමත් පෙනෙන්නට නැත. අර්බුදයේ ගැඹුර හා එහි වපසරිය පිළිබඳව අවබෝධයෙන් යුතුව විමසා බැලීමේදී ඊට සරල හෝ ක්ෂණික විසඳුම් ඇතැයි අප කල්පනා කරන්නේ නම් එයද බලවත් මුලාවක් බව එහිදී අප අමතක නොකළ යුතුය."

මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පසුගිය සතියේ විශේෂ අවධානයක් දිනා ගත්තේය. මේ වනවිට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ නව සාමාජිකත්වය සඳහා පසුගියදා අයදුම්පතක් යොමුකර තිබුණි.

"මම සීමා නිර්ණය කොමිසම සභාවටත් අයදුම්පතක් දැම්මා. මැතිවරණ කොමිෂන් සභාවටත් අයදුම්පතක් දැම්මා. වැඩිය කැමති සීමා නිර්ණය කොමිෂන් සභාවේ ඉන්න."

මේ අතර සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව ලබාදීමට මාර්තු මාස අවසානය දක්වා කල් ඉල්ලීමටද මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කර ඇතැයි කියැවේ. නව සීමා නිර්ණය අනුව පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව හාරදහස් අටසියයක් පමණ දක්වා අඩුවනු ඇතැයි දේශප්‍රිය මහතා පවසා තිබේ.

පසුගිය සතියේ සිකුරාදා වනවිට දේශපාලන කරළියේ පැතිර ගිය ආරංචියක් වූයේ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වන බවයි. ඔහු ඒ සඳහා පක්ෂයක් පවා ලබාගෙන ඇති බව කියැවුණි.

මේ පිළිබඳ සිදුකළ කළ කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වූයේ එම පක්ෂය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා විසින් ආරම්භ කරනු ලැබූ, හේමකුමාර නානායක්කාර මහතා යටතේ පැවති මවුබිම ජනතා පක්ෂයටයි. ඒ අනුව පැවසුණේ එම පක්ෂය මේ වනවිට දිලීත් ජයවීර මහතාගේ පාලනය යටතට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් හේමකුමාර නානායක්කාර මහතා විසින් පක්ෂය ජයවීර මහතා වෙත විකුණූ බවට වන ප්‍රචාර එම පාර්ශ්ව විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. දිලිත් ජයවීර මහතාගේ අවශ්‍යතාවය පරිදි නානායක්කාර මහතා විසින් මෙම පක්ෂය ඔහු වෙත ප්‍රදානය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

දෙරණ සභාපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුව පෙරදැරිව දේශපාලන කටයුතුවලට අතගසා ඇතැයි කතාවක්ද දේශපාලන කරළියේ පැතිරෙමින් තිබේ. එසේ වූ තත්ත්වය පිළිබඳ නිල තොරතුරක් තවමත් වාර්තා වී නොමැත. ජයවීර මහතාගේ සම්මුඛ සාකච්ඡා සහ ඔහු විසින් මෙහෙයවනු ලබන සමාජ සුභසාධන වැඩසටහනක් වන ව්‍යවසායකයන් දිවි නැගීමේ "අරමුණ" වැඩසටහන මෑත කාලීන සමාජ මාධ්‍යයේ ඉහළ අවධානයක් දිනාගෙන ඇත.

පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි රජයට බල කරමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ පසුගිය ඉරිදාය. ප්‍රහාරය අතරතුර තුවාල ලැබූ පුද්ගලයන් 28 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගිය නමුත් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ විය.

අවසානයේ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක 61 වියැති නිමල් අමරසිරි ජාතික රෝහලේදී සිය ජීවිතයට සමු දුන්නේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු බොහෝ පාර්ශ්ව මේ සම්බන්ධව ශෝකය පළ කරනු දක්නට ලැබුණි. විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වූ නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු පළමුවැනිදා නිවිතිගලදී සිදුවිය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා මෙන්ම ජාතික ජන බලවේගයේ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. අනුර කුමාර දිසානායක මහතා අවසන් කටයුතු අතරේ සංවේදී වන අයුරු රැගත් ඡායාරූප සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. 

I චමිඳු නිසල් ද සිල්වා