අවුරුදු සැමරූ දේශපාලකයෝ වැඩ අල්ලන්නට පටන්ගත්තේ පසුගිය සතියේය. නතර කළ තැන්වලින්ම වැඩ කටයුතු ආරම්භ කිරීමට බොහෝ දෙනෙක් කටයුතු කළහ. සිංහල අලුත් අවුරුදු සමයේ තරමක් නිහඬ වූ දේශපාලන කතිකාවක් ඝෝෂාකාරී ලෙස නැවත සවන් වැටුණි. තිරය පිටුපස බොහෝ දෑ සිදු විය.
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙහි කටයුතු සංවිධානය විය. ආරාධනා ලැබුවන් අතරින් අති බහුතරය මෙහි පැමිණ සිටියහ.
ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු අමුත්තන් කිහිප දෙනෙකි. මෙම ප්‍රධාන මේසයේම අසුනක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ද වෙන්කර තිබුණි. කෙසේ වෙතත් රාජපක්ෂ මහතා මෙම ස්ථානයට පැමිණියේ තවත් කිහිප දෙනකු කැටුවයි.
තමන්ට පමණක් එම ස්ථානයේ එක් අසුනක් වෙන්ව තිබුණු බැවින්, වෙනත් මේසයක සිය පිරිස සමඟ අසුන් ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බව දැනගැනීමට ලැබුණි. අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම මේසය වෙත පැමිණියේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සම්භාවනීය අමුත්තන් අතරේ දේශපාලන කතාබහ ඇතිවූ බවකි. මේ දිනවල තැන තැන අසන්නට ලැබෙන ජාතික ආණ්ඩු කතාව පිළිබඳව ද මෙහිදී කතාබහට ලක්ව ඇතැයි කියැවේ.
මෙම අවස්ථාවේදී ඉස්ලාමීය පූජකවරු හා බැතිමත්හු සිය ආගමික වතාවත්වල නිරත වූහ. ඒ අතර ජාතික සංහිඳියාව උදෙසා විශේෂ ආශිර්වාදයක් කිරීමට ඔවුහු අමතක නොකළහ. මෙහිදී ආගමික දේශන සිදු කළ මවුලවිතුමන්ලාට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය. මිනිත්තු පහළොවක් විස්සක් පමණ මෙහි රුඳි ජනපති වෙනත් කටයුත්තක් සඳහා පිටත්ව ගිය අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු පිරිස ද මෙහි බොහෝ වේලාවක් නොරුඳුණහ.
කෙසේ වෙතත් දේශපාලන කරළියේ පැතිර ගිය කතාවකට අනුව කියැවුණේ ජනපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෞද්ගලිකව මුණගැසී දීර්ඝ දේශපාලන සාකච්ඡාවක නිරත වූ බවකි. එහෙත් දේශය සිදු කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඉෆ්තාර් උත්සවයේ මුණගැසීමට අමතරව, ජනපති සමඟ වෙනත් පෞද්ගලික දේශපාලන සාකච්ඡාවක නිරත නොවූ බවකි.
මේ අතර ගෙවී ගිය සතියේ දේශපාලන කරළියේ අභ්‍යන්තරය උණුසුම් කළ පුවත වූයේ ජාතික ආණ්ඩු කතිකාවයි. ජාතික ආණ්ඩුවකට සම්බන්ධ වන ලෙසට විපක්ෂය වෙත ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉල්ලීම් ගලා ආවේය. කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෝ මේ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් නොවූහ.
මේ අතර පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම ජාතික ආණ්ඩු කතිකාවත් සමඟ මෙවන් අදහසක් මතු කර ඇතැයි දැනගැනීමට ලැබුණි.
“මෙහෙම ඉන්නවට වඩා හොඳයි විපක්ෂයට ගිහිල්ලා වාඩිවෙන එක."
පසුගිය සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හමුවීමට ද විශාල මැති ඇමැතිවරු පිරිසක් පැමිණ සිටියහ. එසේම මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල නිවෙසේදී හමුවීමටද පොහොට්ටුවේ බොහෝ දෙනකු කටයුතු කර ඇති බව කියැවේ.
“දැන් මොකද අපි ජාතික ආණ්ඩුවකට යනවද?"
මැති ඇමැතිවරුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් එලෙස විමසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට ලැබී ඇත්තේ මෙවන් පිළිතුරකි.
“පක්ෂය කියන දේ තමා කරන්න ඕනෑ. පක්ෂයේ මතය තමා මගේ මතය."
මේ අතර ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාගැනීමේ කටයුත්තට ද ආණ්ඩුවේ පිරිසක් උර දෙමින් සිටියහ. හරීන්, මනූෂ, වජිර ඒ අතරින් කැපීපෙනෙන චරිත වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මීට අමතරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත කතා කළ බව කියැවේ.
ආරංචි මාර්ග අනුව තවදුරටත් මෙම ජාතික ආණ්ඩු කතිකාවට විපක්ෂයෙන් පූර්ණ වශයෙන් එකඟව සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පමණි. ඉකුත් දා රූපවාහිනි සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් පවතින තත්ත්වය යටතේ, සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා වීම ඉතා හොඳ විසඳුමක් බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
මේ අතර ආණ්ඩුවට එක්වෙතැයි අපේක්ෂා කරන කිහිප දෙනකුගේ නම් ද අපට දැනගැනීමට ලැබුණි. ඒ.එච්.එම්. ෆවුසි, කුමාර වෙල්ගම, වඩිවේල් සුරේෂ් ආදී මන්ත්‍රීවරුන් හතර පස් දෙනකුගේ නම් ඒ අනුව කියැවේ. කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන්ගේ පාර්ශ්වයෙන් ආණ්ඩුවට එක්වීමේ සූදානම පිළිබඳ පැහැදිලි කිරීමක් තවදුරටත් අසන්නට නොලැබුණි.
මීට අමතරව සමගි ජන බලවේගය සමඟ සන්ධානගතව සිටින දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය පිළිබඳව ද කතිකාවක් නිර්මාණය විය. රවුෆ් හකීම් ජනපති සමඟ සාකච්ඡා කරන බව රාජිත සේනාරත්න පවසා තිබුණි.
එසේම ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව එළැඹෙන 25 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත්, තමන් සහ රවුෆ් හකීම් විසින් එම ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවත් මනෝ ගනේෂන් මහතා කී බව, මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ඊට පසුදා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ලබන 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තමා උපුටා දක්වමින් පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය ප්‍රධාන සන්ධානයේ පක්ෂයක් බැවින් කිසිවිටෙකත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හෝ වෙනත් රජයක කොටස්කරුවකු වීමට තම පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
කෙසේ වෙතත් සජබ ආරංචි මාර්ග සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයෙන් ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් පළ නොවන බවකි. එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ ජාතික ආණ්ඩුවකට කැමැති පිරිස් ඒ සඳහා බලපෑම් කරමින් සිටින බවද දැනගන්නට ලැබේ. පක්ෂය ආරක්ෂා කර ගැනීමට ජාතික ආණ්ඩුවකට යා යුතුය යන අදහස එම පිරිස මතු කරමින් සිටිති.
කෙසේ වෙතත් පක්ෂ නායකයන්ට ආරාධනා කොට, පසුව එම කටයුත්ත නිල වශයෙන් සිදු නොවේ නම් ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් තනි තනිව තමන් වෙත බාගැනීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව උදාවන සතිය දේශපාලන වශයෙන් තීරණාත්මක සතියක් විය හැකිය.
මේ වන විට සමගි ජන බලවේගය බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටින්නේ මැයි දින රුලිය වෙනුවෙන් බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. පොහොට්ටුව කල් ඇතුවම කැම්බල් පිටිය වෙන් කරගත් නිසාවෙන් මැයි දිනය එහි පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටි සමගි ජන බලවේගයට එම අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානය යොමුව තිබුණේ හයිඩ් පිටිය දෙසටයි.
එහෙත් හයිඩ් පිටියේ සෙනඟ පෙන්වීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවට තර්කයක් සමගි ජන බලවේගය අභ්‍යන්තරයෙන්ම මතුව ඇතැයි දැනගැනීමට ලැබුණි. ඒ අනුව මේ වන විට කොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණය සජබ මැයි රුලිය සඳහා යෝජනා වී තිබේ. කෙසේ වෙතත් අප්‍රේල් 24 වැනිදා මැයි දිනය සම්බන්ධව තවත් සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේග ආරංචි මාර්ග පවසයි.
දුර බැහැර ප්‍රදේශවල ආසනවලින් එක් බස් රථයක් සහ, කොළඹට ආසන්න ආසනවලින් බස් රථ දෙකක සෙනඟ මැයි දිනය වෙනුවෙන් රුගෙන ඒමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇතැයි ආරංචියක් ද ලැබී තිබේ. මෙවර මැයි දිනය වෙනුවෙන් සජබෙන් වෙන් වී ආණ්ඩුවට එක්වූ පිරිස්ද නව සැලසුමක් දියත් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවුරුදු නිවාඩුවේදී සෝමාවතිය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරය කළ බවක්ද දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත් ඔහුගේ නැවත පැමිණීමත් සමඟ සමගි ජන බලවේගයේ මෙහෙයුම් කටයුතු මේ වන විට නැවත ආරම්භ වී ඇත. 'සමගි ජන පවුර' නම් වැඩසටහන් පෙළ සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය සහ මහියංගණය ආශ්‍රිත ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙමින් තිබේ.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය, ජාතික ආණ්ඩු කථිකාවත් සමඟ තවදුරටත් යට යනු ඇතැයි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අනාවැකි කියා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අප්‍රේල් මාසයේ අවසානයට පෙර සිදුවනු ඇතැයි ද ආණ්ඩුව පාර්ශ්වයේ ඇතැම්හු පවසති.
මේ අතර පසුගිය සතියේ පොහොට්ටුව සහ මහාචාර්ය ජී.එල්. පීරිස් අතර ගැටුම ද උග්‍ර අතට හැරී ඇති බව පෙනෙන්නට තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 මහා සභා රැස්වීම මෙම සති අන්තයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. කෙසේ වෙතත් දැන ගැනීමට ලැබුණු පරිදි මෙම මහා සභා රැස්වීම පැවැත්වීමට පළමුව කටයුතු යොදා තිබුණේ අප්‍රේල් මස පළමු සති අන්තයේදීය. ඊට පොහොට්ටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාටද පක්ෂය විසින් ආරාධනා කර තිබුණි.
මෙම ආරාධනාව සම්බන්ධයෙන් සිය නීතීඥ සමාගම හරහා පොහොට්ටුවේ මහ ලේකම්වරයාට ලිපියක් එවීමට ජී.එල්. පීරිස් මහතා කටයුතු කළේය.
''ප්‍රමාණවත් දින ගණනක් මට ලැබුණෙත් නැහැ. මහා සභාවේ න්‍යාය පත්‍රය ලැබුණෙත් නැහැ. ඒ නිසා මේ මහා සභා රැස්වීම පවත්වන්න එපා. මේ රැස්වීම් පැවැත්වූවත් මම නීතිමය පියවර ගන්නවා.''
අප ආරංචිමාර්ග සඳහන් කරන පරිදි එම ලිපියේ සඳහන් වූයේ එවන් අදහසකි. කෙසේ තවත් මේ පිළිබඳ වෙනත් ආරංචියක් අප වෙත ලැබුණි. ඒ අනුව පොහොට්ටුව ජී.එල්. පීරිස් මහතාට යෝජනා කර තිබුණේ මහා සභාව රුස්වූ පසුව, ඒ සඳහා සහභාගී වී සභාපති ධුරය සඳහා තරග කරන ලෙසටයි. ඒ අනුව මහා සභා රැස්වීම හරහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම පොහොට්ටුවේ අරමුණ විය.
ඒ අතරතුර දේශපාලන කරළියේ තිරයේ පිටුපස කතාබහට ලක්වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මහ සභාවට කැඳවා සභාපති තරගයේදී පරාජය කොට ඉවත් කිරීම පොහොට්ටුවේ සැලසුම් කරන බවයි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙම ලිපිය යොමු කළේද එම ආරංචිය හේතුවෙන් බව තවත් පිරිසක් සඳහන් කළහ.
කෙසේ හෝ මෙම සිදුවීම් පෙළ හේතුවෙන් අප්‍රේල් පළමු සතියේ පැවැත්වීමට තිබූ පොහොට්ටුවේ මහා සභා රැස්වීම කල් ගියේය. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දෙන් පසුව නැවත මහා සභාව කැඳවීමට පොහොට්ටුවේ නායකයෝ තීරණය කළෝය.
පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර දින දහයකට පෙරාතුව, න්‍යාය පත්‍රයද සමඟ පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට අදාළ දැනුම්දීම් සිදු කළ බවයි. එහෙත් මෙවර දින කිහිපයක් නිහඬව සිටි ජී.එල්. පීරිස් මහතා සිය නීතීඥ සමාගම හරහා පොහොට්ටුවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළේය.
''මේ ලිපියේ මහා සභාව, කියන වචනය අන්තර්ගත වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ව්‍යවස්ථාවේ එවැනි වචනයක් නැහැ. එම නිසා මහා සභාව නමින් රැස්වීම කැඳවීම නීති විරෝධී. එම නිසා මම නීතිමය පියවර ගන්නවා.''
පොහොට්ටුවේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙවර එල් පීරිස් මහතාගේ ලිපියේ අන්තර්ගතව ඇත්තේ එබඳු අදහසකි. කෙසේ වෙතත් මේ වනවිට දැනගැනීමට ලැබෙන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් මහතා සිය නීතිඥවරුන් හරහා මෙම ලිපියට පිළිතුරු ලිපියක් යවා තිබේ.
''මැතිවරණ ආඥා පනතේ දේශපාලන පක්ෂ සම්බන්ධව සඳහන් වෙනවා, හැම පක්ෂයක්ම වසරකට වරක් මහ සභාව කැඳවලා නිලධාරී මණ්ඩලයක් පත්කර ගතයුතු බව. ඒ අනුව තමයි මම මහා සභාව කියන වචනය මේ ලිපියට ඇතුළත් කළේ.''
පොහොට්ටු විසින් යොමු කළ ලිපියේ අන්තර්ගතව ඇත්තේ එන් අදහසකි. ඒ අනුව මෙහි නීතිමය කටයුතු කවරාකාරයකින් විසඳේදැයි පැහැදිලි නැත. සිකුරාද දිනය අවසානයේ මෙය හා සම්බන්ධ පැහැදිලි කිරීමක් ලැබෙතැයි අපේක්ෂා කරමු. තවදුරටත් සතිඅන්තයේ සිදුවන්නේ කුමක්ද යන්න අපැහැදිලිය.
මේ අතර පසුගිය සතියේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා තවත් අවුලක පැටළුණි. අවුරුදු උදාවට දිනක් තිබියදී ආනමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ නිලධාරියා මීට හේතුව විය. මාදම්පේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියකු මෙලෙස ආනමඩුවට පත් කර තිබුණි. මෙම පත් කිරීම සම්බන්ධව උරණ වූ සනත් නිශාන්ත මහතා පොලිස් විෂය භාරව කටයුතු කරන ටිරාන් අලස් රාජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයකු අමතා ඇතැයි කියැවේ.
"මේක මගේ ආසනය. මගේ ආසනයට ඕ.අයි.සී කෙනෙක් දාද්දි අනිවාර්යෙන්ම මගෙන් අහන්න ඕනෑ. ඇයි මෙහෙම දේවල් කරන්නේ. මේවා වෙනස් වුණේ නැත්නම් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පවා ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙයි."
එලෙස සනත් නිශාන්ත මහතා ටිරාන් අලස් පාර්ශ්වයට සිය කනගාටුව පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම සිදුවීම් පෙළ මාධ්‍ය අනාවරණය කිරීමත් සමඟ තත්ත්වය උණුසුම් අතට හැරිණි. ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන් සනත් නිශාන්ත මහතා අමතා "ඕක අනිවාර්යෙන්ම චින්තක මායාදුන්නේ මන්ත්‍රීවරයාගෙ වැඩක් වෙන්න ඇති." යනුවෙන් පවසා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසානයේ මෙය දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන විට මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් විය.
"ඒ සඳහා අලුත් නිලධාරියෙක් පත් කරලා එවලා තියෙනවා. ඔහු මීට පෙර මාදම්පේ පොලිස් ඕ.අයි.සී කරලා ඔහුට අක්‍රමිකතා සහ දූෂණ එල්ල වෙලා ඔහු වැරදිකාරයා වෙලා තමයි පිටත් කළේ. ඔහු මගේ ආසනයට එවපු එකටයි මම විරුද්ධ වුණේ ඒ සම්බන්ධයෙන් මම ලිඛිතව දැනුම් දුන්නා. ස්ථානාධිපති පත් කිරීමේදී අපි බලපෑම් කරන්නේ නැහැ. හැබැයි දූෂිතයන්ට මගේ ආසනයට එන්න දෙන්නේ නැහැ.”
පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දකුණු කොරියාවේ සංචාරයක නිරත විය. දකුණු කොරියාවේ වෙසෙන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ගේ ආරාධනයකට අනුව ඒ මහතා අප්‍රේල් 14 වැනිදා Incheon ගුවන් තොටුපළට ළඟා වී තිබේ. අනුර කුමාර දිසානායක මහතාගේ මෙම සංචාරය අතරතුර සිදු කළ ප්‍රධාන දේශනය අප්‍රේල් 16 වැනිදා දකුණු කොරියාවේ තේගු නගරයේ එක්ස්කො ශාලාවේදී පැවැත්වුණි.
මෙම දේශනය සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වී සිටි අතර, මෙම දේශනය අතරතුරදී අනුර කුමාර දිසානායක මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය.
කැලණිය විශ්විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්යවරුන් ගණන 26 ක් වුවත් දැන් සිටින්නේ හතර දෙනකු බවත්, රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් පමණක් 3800 කට වැඩි පිරිසක් රට අත්හැර ගොස් සිටින බවත් ඔහු අනාවරණය කළේය.
“පසුගිය කාලයේ වාර්තාවීම් ගත්තොත් කැලණිය විශ්වවිද්‍යාලයේ අයි.ටී. ඩිපාට්මන්ට් එකේ මහාචාර්යවරයෙක් කිව්වා ඒ අංශයට සාමාන්‍යයෙන් ආචාර්යවරු 26 ක්වත් අවශ්‍යයි කියලා. නමුත් දැන් සිටින්නේ හතර දෙනයි. පත්තරේක දැන්වීමක් දාලා සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබුණා. නමුත් එවැනි දැනුමක් තිබෙන, හැකියාවක් තිබෙන, කුසලතාවක් තිබෙන වෘත්තීයවේදීන් කවුරුවත් ඇවිත් නැහැ කියලා පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වෙලා තිබුණා."
මේ අතර පසුගිය සතියේ චීනයට රිළව් යැවීම පිළිබඳ කතිකාව ඉහළ අවධානයක් දිනා ගත්තේය. චීන තානාපති කාර්යාලය පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක් සිදු නොවූ බව පවසද්දී, කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටියේ චීනයේ සත්ත්ව උද්‍යාන සම්බන්ධ පෞද්ගලික ආයතනයක් මෙම ඉල්ලීම සිදු කළ බවකි. පරිසර සංවිධාන මේ හා සම්බන්ධව විරෝධය පෑ අතර ගොවි සංවිධාන චීනයට රිළව් යැවීමට පක්ෂ විය. ඒ අතර සමාජ මාධ්‍ය ජාලා මෙම කතා විනෝදයට ගෙන තිබුණි.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ද මෙම සංවාදයට මැදිහත් විය. රිළවුන් තම හේන් ගොවිතැන් විනාශ කරන බවත්, ගෙවල්වලට කඩා පැන පාඩු සිදු කරන බවත් වන්නිලඇත්තෝ සඳහන් කර තිබුණි. රිලවුන් චීනයට පැටවීම ක්‍රියාත්මක කළහොත් මෙම ප්‍රශ්නය ටිකක් හෝ විසඳාගත හැකි බවට ද ඔහු විශ්වාසය පළ කළේය.
නමුත් චීනය ලංකාවේ රිළවුන්ට මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි සොයා බැලිය යුතු බවද ඔහු කියයි. චීනයේ පරිසරයට රිළවුන් යොදාගත්තාට ගැටලුවක් නැති නමුත් රිළවුන්ට කරදරයක් නොකරන බවට පොරොන්දුවක් තිබිය යුතු බවද වන්නිලඇත්තෝ වැඩිදුරටත් පවසා තිබුණි.
I චමිඳු නිසල් ද සිල්වා