2023 ජුනි 10 වන සෙනසුරාදා

රනිල් එක්ක ගමනට සජබ - පොහොට්ටු මන්ත්‍රී පිරිසක් සූදානම්

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 321

පක්ෂ විපක්ෂ ගැටුම්, නඩු හබ, රස කතා පිරුණු තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. අදෘශ්‍යමාන මැතිවරණයක් වෙනුවෙන් දෘශ්‍යමාන සූදානමක් ද නිරීක්ෂණය විය. පැනිලි, කැරකිලි, මාරු පිළිබඳවද බොහෝ කතා කරළියේ වූයේය. පාර්ලිමේන්තුවේද සුපුරුදු බැණ අඬගසා ගැනීම් සුලභ විය.

හදිසි මැතිවරණයකට යාමට රජය කටයුතු කරනු ඇතැයි, ආරංචියක් දේශපාලන කරළියේ පැතිර යන්නට පටන්ගෙන තිබු‍ණේ සතියක දෙකක සිටය. එම මැතිවරණය ජනාධිපතිවරණයක් වනු ඇතැයි ද බොහෝ දෙනා කීහ. දේශය පසුගිය සතිවල අනාවරණය කළ පරිද්දෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ද මැතිවරණයක් සඳහා සූදානම් වන සේයාවක් දක්නට තිබුණි.

ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹ හතේ මළලසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසේ ආරම්භ කෙරුණු ''කාර්යාලය'' පිළිබඳ පුවත සුවිශේෂී එකක් විය. මෙම කාර්යාලයේ වගකීම් දරන්නන් බවට පත්ව සිටියේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය කංචන විජේසේකර සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා යන අයයි. මීට අමතරව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේද සහාය මෙම කාර්යාලය වෙත ලැබෙන බව කියැවිණි.

කෙසේ වෙතත් පොහොට්ටුව නිල වශයෙන් මේ සඳහා කිසිදු සහායක් පළ  නොකළේය. ඉදිරි ජනාධිපතිවරණයකදී තමන් උදව් කරන්නේ කාටදැයි මෙතෙක් පොහොට්ටුවේ නායකයන් පවසා නැත. කෙසේ වෙතත් දේශපාලන කරළියේ තිරය පිටුපස ඇතැමුන් පවසන්නේ ජනපති අසල රුඳුණද, සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුව සූදානම් කරමින් සිටින බවකි. එසේම දැනටමත් නිරීක්ෂණය වන පරිදි පොහොට්ටුව සිය ප්‍රාදේශීය බල මණ්ඩල පිහිටුවමින් දේශපාලන වශයෙන් සක්‍රිය වෙමින් සිටියි.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් වෙනත් ආසන්නම දිස්ත්‍රික්ක වෙත යවමින් පක්ෂ සංවිධාන කටයුතු පුළුල් කිරීමටද පොහොට්ටුව කටයුතු කරමින් සිටින බව දැනගැනීමට ලැබේ. මේ සියල්ල පිටුපස ඇත්තේ අපිට දැනට නොදැනෙන, ලොකු ලොකු තැන්වලට තදින් දැනී ඇති ජනාධිපතිවරණ උණුසුමයි.

ගෙවී ගිය දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් සූදානම් කිරීම සඳහා වන සාකච්ඡා කිහිපයක්ම පන්සල් කේන්ද්‍ර කර කරමින් පැවැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ විහාරස්ථානයේ ජනපතිවරණ අපේක්ෂකයකු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දැනගැනීමට ලැබේ. බොහෝ විට එම අපේක්ෂකයා ජනක රත්නායක විය හැකි බවද තතු දත්තෝ පවසති.

මේ අතර මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ විහාරස්ථානයේද ජනාධිපතිවරණ අපේක්ෂකයකු පිළිබඳ තීරණයකට එළඹීම සඳහා සාකච්ඡාවක් පැවැත්වුණු බව ආරංචි මාර්ග පවසයි.

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිගේ විහාරස්ථානයේද එවන්ම සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව පිළිබඳව අනාවරණය වන කරුණු අනුව සරත් වීරසේකර, අනුරාධා යහම්පත් ඇතුළු ජාතිකවාදී කඳවුර නියෝජනය කරන පිරිසක් මෙහි රුස්ව සාකච්ඡා පවත්වා තිබේ. එහිදී ජනාධිපතිවරණ අපේක්ෂක නාම යෝජනා අතරට සරත් වීරසේකර නාමය ද යෝජනා වූ බව කියැවේ. කෙසේ වෙතත් එම නම තවමත් තහවුරු වී නොමැත.

අපේක්ෂක කතාන්දර කෙසේ වෙතත් අප වෙත වාර්තා වන පරිදි ජනාධිපතිවරණය කලින් කැඳවන්නේ නම්, ඊට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතුව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් ලැබෙන ආරංචි මාර්ග අනුව දැනට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සහ නීතිය සම්බන්ධව දැනුමැති නිලධාරිනියන් දෙදෙනෙක් මේ පිළිබඳව යම් අධ්‍යයනයක නිරත වෙමින් සිටිති. අප වෙත වාර්තා වූ මෙම දෙපළ හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරියක වන ප්‍රියානි විජේසේකර සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසි‌ටර් ජෙනරාල්වරියක වන බිම්බා තිලකරත්නයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි මෙම දෙපළ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා කරමින්, අවශ්‍ය උපදෙස් පත්‍රිකා සකස් කරමින් සිටින බව කියැවේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන දිනයක් හෝ රැගෙන එන ක්‍රමයක් පිළිබඳ තවමත් කිසිදු ආරංචියක් ලැබී නැත.

මේ අතර සමගි ජන බලවේගයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව වෙනම ගමනක් යාමට සැරසෙන බවට ද ආරංචි ලැබෙමින් පවතී. මෙය ඇතැම්විට පක්ෂ මාරු කතාවේ දිගුවක් විය හැකිය.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනපති සමඟ එක් වෙතැයි කියැවෙන පුවතට පසුගිය සතියේ නව ජීවයක් ද ලැබුණි. ඊට හේතු වූයේ පසුගිය සමයේ අර්බුදයට හේතු වූ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට ජනපති කටයුතු කිරීමයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂය දැරිය යුතු බවට නිර්දේශ වී තිබුණ ද පසුගිය සමයේ මෙම සභාපති ධූරය පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති විය. පක්ෂයේ මෙම තනතුරට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යෝජනා කර තිබියදී ආණ්ඩුව විසින්ම සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක මෙම තනතුරට පත් කිරීම සමඟ මෙම අර්බුදය ඇරුඹුණි. සජබ ඊට විරෝධය පෑවේය. පසුව ආණ්ඩුවේ වජිර අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි අය තාවකාලිකව මෙම සභාපති ධූරයේ වැඩ බැලූ මුත් විපක්ෂයේ විරෝධය ප්‍රබල විය.

අවසානයේ පසුගිය බදාදා තත්ත්වය කණපිට පෙරළුණි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාම ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 හි පැවැති සාකච්ඡාවකදී මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාව යෝජනා කළේය.

''කාරක සභා සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි. ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම මෙන්ම තව මන්ත්‍රීවරුන්ගේ නම් කිහිපයක් යෝජනා වී තිබුණා. මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මෙහි සභාපති ධූරය සඳහා පත් කළ නමුත් ඔහු ඉවත් වුණා. විපක්ෂය යෝජනා කරනවා නම් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා දිය යුතුයි. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන්. දැන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වන සභාපතිවරයා ද ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතුයි.''

ජනපති සිය යෝජනාව සිදු කළේ, හර්ෂ ද සිල්වා මහතාට උපදෙස් සහ සීමා මායිම් ද පෙන්වා දෙමිනි.

''ලෝක බැංකු ආධාර යටතේ අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් ලැබී තිබෙනවා. එය ඉදිරියට කරගෙන යාමට ඔබගේ සහාය අවශ්‍යයි. කාරක සභා සහ උපදේශක සභාවල සභාපතිවරුන්ට වගේම එහි නියෝජිතයන්ට තමන්ගේ වගකීම් එම සභා තුළින්ම තීරණය කර ලබා දිය යුතුයි.''

ජනපති මෙසේ පවසන විට අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊට පිළිතුරු බැන්දේය.

''ජනාධිපතිතුමනි, ඔබතුමා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස මාව යෝජනා කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වනවා. රාජ්‍ය මුදල් කාරක සභාවේදී අපි ප්‍රශ්න කළේ මේ කටයුතු කඩාකප්පල් කිරීමට නොවෙයි. නිවැරදි මගට ගැනීමට පමණයි. අතුරු අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.''

කෙසේ වෙතත් ඔහු පසුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙවන් කතාවක්ද කියා තිබුණි.

“දැඩි සටනකින් පසුව නැවතත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිත්වය මා හට හිමිවුණා. මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කළ ඍජු ප්‍රශ්න කිරීම් සහ දැඩි මැදිහත්වීම් නිසා යළි ඒ තනතුරට මා පත්වීම වැළැක්වීමට සමහරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. කෙසේ වෙතත්, විපක්ෂය වෙත මේ තනතුර හිමිකර ගැනීමට සමගි ජන බලවේගය දැඩි සටනක් ගෙන ගිය අතර ඒ සඳහා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඍජුවම මැදිහත් වුණා.

අවසානයේ ජනාධිපතිවරයා විසින්ම ඒ තනතුර සඳහා යළි මගේ නම යෝජනා කළා. මා කෙරෙහි විශ්වාසය තැබූ සැම දෙනාටම මා ස්තූතිවන්ත වන අතර ඉදිරියටත් රට වෙනුවෙන් ඍජුව සහ අවංකව මාගේ සේවය මෙම කාරක සභාවේදී ලබාදීමට මා කැපවෙනවා.”

පසුගිය සතියේ දැනගැනීමට ලැබුණු තවත් දේශපාලන ආරංචියක් වූයේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයක් සඳහා සූදානම් වන බවයි. පසුගිය සමයේ වැඩ කටයුතු හේතුවෙන් කල්ගිය මෙම සංචාරය, ශ්‍රී ලංකාව කෙරෙහි ආර්ථික සහ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් සංචාරයක් වනු ඇතැයි කියැවේ.

පසුගිය සතියේ සමගි ජන බලවේගයට එල්ල වූයේ බරපතළ චෝදනාවකි. සජබ කූඨ ලේඛන සෑදූ බවට වූ එම චෝදනා ඉදිරිපත් කළේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියයි. ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදීය. ඩයනා සජබ ගැටුම තවදුරටත් උග්‍ර අතට පෙරළුණි.

“මම කිසි දිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ. මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? මගේ අත්සන ගැහුවෙ කවුද? මෙය බරපතළ වරදක්. මම අදටත් සමගි ජන බලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනකුට එය අයින් කරන්න බැහැ.”

තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූඨ ලේඛනයක් ලබා දී ඇතැයිද ඇය මෙහිදී පැවසුවාය. ඒ සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව කී ඇය, කූඨ ලේඛන හදා ඇත්තේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද සඳහන් කළාය.

මෙම චෝදනා හමුවේ සමගි ජන බලවේගය ද නිහඬව සිටියේ නැත. පාර්ලිමේන්තුවේදීම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ඩයනාගේ පැනයට පිළිතුරු දීමට ඉදිරිපත් විය.

“මම පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවේ මගේ නම කියලා අසත්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය. එතුමිය කියලා තියෙනවා අපි කූඨ ලේඛනයක් ඉදිරිපත් කළා කියලා. මම පැහැදිලිව කියනවා අපි ළඟ තියෙනවා ඒ ලේඛනයේ ඔරිජිනල් එක. මම රජයේ රස පරීක්ෂකගෙන් ඉල්ලා සිටිනවා, ඒ වගේම සී.අයි.ඩී. එකෙන් දාලා මේකේ එයාගෙ අත්සන නැවත පරීක්ෂා කරන්න කියලා.”

එසේම සමගි ජන බලවේගයේ උප ලේකම් ධූරයෙන් ඩයනා ගමගේ මහත්මිය ඉවත් කර ඇතැයි එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා තවදුරටත් තහවුරු කර සිටියේය.

ගෙවී ගිය සතියේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද පසුගිය සඳුදා රුස්වූහ. සඳුදා සවස පහට පමණ ජනාධිපති කාර්යාලයේ ඇරඹි මෙම රුස්වීමේ මුලසුන දැරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙහි පැමිණ සිටියේය. එම පිරිසද සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැත්තෑපස් දෙනෙක් පමණ වූහ.

සාකච්ඡාව ආරම්භයේදීම ඉහත සතියකදී ජනපති ජාතිය අමතා සිදු කළ ප්‍රකාශය අගයමින් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ කතා කරන්නට විය.

“ඔබතුමාගෙ කතාව බොහොම හොඳයි. ඔබතුමා හරවත් වැදගත් කතාවක් ද කළා. අපි  ඒ සම්බන්ධව ස්තූතිවන්ත වෙනවා."

මෙම ස්තුතිය බාරගනිමින් ජනපති ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයේ කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් පැහැදිලි කර තිබේ. කෙසේ වෙතත් ආරංචි මාර්ග පැවසූ පරිදි මෙම සංවාදය එතරම් දුරදිග ගොස් නොමැත.
මේ අතර නැව් ගාස්තු සම්බන්ධ කරුණක් මතු කර ඇත්තේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාය.

“මාලදිවයිනේ නාවික අංශවලට බලපාන නැව් ගාස්තු සංශෝධනයක් කරන්න යනවා. ඒක කරන්න එපා."

ඔහු එසේ පවසන විට වරාය සහ නාවික විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ''  නැහැ අපි එහෙම කරන්නේ නෑ." යැයි පවසමින් එම නැව් ගාස්තු සංශෝධනය සිදු නොවන බවට තහවුරු කර තිබේ.

සාකච්ඡාවේදී යම් වාදයක් හටගත්තේ, පවිත්‍රා වන්නිආරච්චි සහ ඩයනා ගමගේ අතරයි. උඩවලවේ පිහිටා ඇති සංචාරක අමාත්‍යංශයට අයත් මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිළිබඳව මෙම වාදය හටගෙන ඇතැයි කියැවේ.

“මේ ගොඩනැගිල්ල හදලා තියාගෙන ඉන්න. එපා ඉක්මනට මේවා විවෘත කරන්න, වැඩක් ගන්න."

පවිත්‍රා වන්නිආරච්චිගේ චෝදනාවත් සමඟ ඩයනා ගමගේ ඊට පිළිතුරු බැඳීමට යාම නිසා මෙම වාදය හටගෙන ඇතැයි කියැවේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂය ගැන තවත් විශේෂ ප්‍රකාශයක් සිදු කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“විපක්ෂයට පණිවිඩයක් අරින්න ඕනෑ, වගකීම් සහගතව වැඩ කරන්න කියලා." 

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කර තිබුණේ, සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිතව බවයි. 

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ වාර්තාවක් දෙන්න ඕනෑ. සැප්තැම්බර් මාසයේදී සියලු එකඟතා සම්පූර්ණ කර ගන්න ඕනෑ. ඊටපස්සේ තමයි අපිට ඉතුරු ණය වාරික ලැබෙන්නෙ."

මෙම වටපිටාව යටතේ විපක්ෂය වගකීම් සහගතව වැඩ කිරීම ද වැදගත් බව පැහැදිලි විය. ඒ අනුව අදාළ පණිවිඩය විපක්ෂය වෙත යොමු කරන ලෙස ජනපති වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවේදී සංජීව එදිරිමාන්න, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරු තවත් විශේෂ යෝජනාවක් සිදු කළහ.

“අපේ පළාත් පාලන ආයතන තුළ ඉන්නවා වසර ගණනාවක් සේවය කරල තවමත් ස්ථිර නොවුණු පිරිස්. ඒ අයව ස්ථිර කරන්න."

“බහුකාර්ය සංවර්ධන බලකායෙන් මෙය ආයතනවලට සේවකයෝ දාලා තියෙනවා. ඒ නිසාම ඒ ස්ථීර කිරීම් සිදු කරන්න අපහසුයි. මෙතන අසාධාරණයක් සිද්ධ වෙනවා."

කිසිවකුට කරදරයක් නොවන ලෙස රුකියාව ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙස මෙහිදී ජනපති බලධාරීන් වෙත පවසා තිබේ.

කොළඹ කළුතර රෝහල්වල ඖෂධ හිඟයක් සහ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව කියා සිටියේද සංජීව එදිරිමාන්න, මධුර විතානගේ සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන්ය. කුරුණෑගල රෝහලේ ද එවන් තත්ත්වයක් නිරීක්ෂණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මෙහිදී කියා සිටියේය. මීට පිළිතුරු බැන්දේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයි.

“බෙහෙත් හිඟයක් නෑ. නමුත් දොස්තරලා විශ්‍රාම යාම නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මේක සම්බන්ධයෙන් උසාවියේ නඩුවකුත් තියෙනවා. නඩු තීන්දුවෙන් පස්සේ තමයි කරන්න පුළුවන් මොකක්ද කියලා කියන්න වෙන්නේ."

මේ අතර ගාමිණී ලොකුගේ සහ ඩයනා ගමගේ සෞඛ්‍ය ඇමැති වෙත තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළහ.

“දැන් ජයවර්ධනපුර රෝහලේ බිල්පත් පෞද්ගලිකව රෝහලකටත් වඩා වැඩියි. සමහරක් අයට ලක්ෂ ගණන් බිල් දෙනවා. මිනිස්සු ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් නිසා මෙතැනට යන්නෙ. දැන් එහෙම යන අය අමාරුවේ වැටෙනවා."

ජයවර්ධනපුර රෝහලේ පෞද්ගලික අංශය අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පාලනය වන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැහැදිලි කර තිබේ. මෙහිදී ඖෂධ මිල සම්බන්ධව ද ප්‍රශ්න ඇතිව තිබිණි. ඉදිරියේදී ඖෂධ රුසක මිල අඩුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා තහවුරු කර තිබේ.

ඩී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යවරයා ජූලි 9 අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට සහ දේපළවලට හානි කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රතිඵල විමසා ඇත.

“පහුගිය කාලේ මේ සම්බන්ධව නඩු දැම්මා. දැන් ඒ නඩුත් ඉල්ලා අස් කරගෙන තියෙනවා. පරීක්ෂණයක් කරනවයි කියලා කිව්වා. දැන් ඒකත් කෙරෙන්නෙ නෑ වගේ."

මෙම සංවාදයට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් ද මැදිහත් විය.

“නීතිපතිතුමා උසාවියේදී කිව්වා, ඒ ගැන පරීක්ෂණයක් කරනවා කියලා. මේවට නඩු යන්න ඕනේ නෑ වගේ අදහසක් තිබුණු නිසා තමයි, නඩුව ඉල්ලා අස්කර ගත්තෙ. නමුත් ඒ පරීක්ෂණය තවම සිද්ධ වෙන්නෙ නැහැයි කියලා අපිට ආරංචියි. ඒ ගැන සොයා බලන්න."

මේ පිළිබඳ සොයා බැලීමේ වගකීම පැවරුණේ අමාත්‍ය ටිරාන් අලස් වෙතයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන්ද තරමක සුවිශේෂී ආරංචියක් ලැබුණි. හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව ආසනය අතහැර දැමීමට යන බවකි. ඔහු පොළොන්නරුව අතහැර සිය උපන් දිස්ත්‍රික්කය වන ගම්පහට පැමිණීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

එම තොරතුරුවලට අනුව බොහෝ විට පොළොන්නරුවේ වගකීම ඔහුගේ පුත් දහම් සිරිසේන වෙත පැවරෙනු ඇත. මෙම කටයුතු සංවිධානය කර ගැනීම සඳහා දයාසිරි ජයසේකර මහතාගේ සහාය මෛත්‍රී පවුලට ලැබෙන බවද කියැවේ.

ජාතික ජන බලවේගය පසුගිය සතියේ ඉතා සැලසුම් සහගතව සංවිධානය කරමින් සිටි විරෝධතාවක් වළකාලීමට ආණ්ඩුවට හැකි විය. පසුගිය බ්‍රහස්පතින්දා පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බල කරමින් ජාතික ජන බලවේගය දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කිරීමට සූදානම් වූයේ මැතිවරණ කොමිසම ඉදිරිපිටය. විශාල ප්‍රචාරයක් මෙම උද්ඝෝෂණය සඳහා ලබා දී තිබූ අතර, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවා පසුගිය සමයේ පැවැති ජන හමුවලදී මීට සහභාගි වන ලෙස පාක්ෂිකයන්ට ආරාධනා කර සිටියේය.

කෙසේ වෙතත් අවසානයේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන කෝට්ටේ පාර, කොටා පාර සහ සරණ පාර යන මාර්ගවල මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ වාරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය සමත් විය. පොලිසිය කරන ලද ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිවය.
එහෙත් මෙම උද්ඝෝෂණය මුළුමනින්ම නවතා දැමීමට ජාතික ජන බලවේගය සූදානම් වූයේ නැත. එම පක්ෂයෙන් පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාරදුන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් පස්වරුවේ මැතිවරණ කොමිසම ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ. මෙම ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවද  දක්නට ලැබුණි. පැයක් පමණ මෙම උද්ඝෝෂණය පැවැති නමුත් මේ සඳහා අනුර කුමාර දිසානායක මහතා සහභාගි නොවුණි. අධිකරණ නියෝගයට අනුව ඔහු මේ සඳහා සහභාගි නොවුණේ පක්ෂයේ නීති අංශවලින් ලැබුණු උපදෙස් මත යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය බදාදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබුණි. පසුගිය සමයේ ඉල්ලා අස්වන ලෙසට ජනපති නියම කළ ආණ්ඩුකාරවරුන් අතරෙන් ඔහුද එක් අයෙක් විය. කෙසේ වෙතත් ඉකුත් දිනවල පෞද්ගලික කටයුත්තක් සඳහා කොබ්බෑකඩුව මහතා  විදේශගත වී සිටියේය.

නැවත පැමිණීමෙන් පසු ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කර තිබේ. ජූනි 10 වැනිදා සිට ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත. තමන් විදේශගතව සිටි බැවින් ඉල්ලා අස්වීම පමා වූ බවද ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබේ.

I චමිඳු නිසල් ද සිල්වා