ශ්‍රී ලාංකික දේශපාලන මාවතේ හදිසි තදබදයක් හටගත් සතියක් ගෙවී ගියේය. බොහෝ ආරවුල් පැටලිලි පිළිබඳ අසන්නට ලැබුණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අස්වැසුම ප්‍රතිලාභ නාම ලේඛනය මෙම දේශපාලන කලබගෑනිය ඇතිවීමට මූලික හේතුවිය. පක්ෂ විපක්ෂ අභ්‍යන්තර අර්බුද පවා හට ගත්තේය. දේශපාලන බැණ අඬගසා ගැනීම් කෑ මොරදීම් කොතෙකුත් අසන්නට ලැබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා සවස හතරට හදිසි කැබිනට් හමුවක් කැඳවූයේය. පාර්ලිමේන්තුවට සති අන්තයේ රැගෙන ඒමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අනුමත කර ගැනීම මෙම හමුවේ අපේක්ෂාව විය. විපක්ෂයේ ඇතැමුන් මෙම හදිසි ක්‍රියාවලිය පිළිබඳ සැක සංකා පළකරන්නට වූයෙන් මෙදින ආණ්ඩුවේ කටයුතු පිළිබඳ බොහෝ දෙනෙක් විශේෂ අවධානයක් යොමුකළහ.
මෙම හමුවේදී ජනාධිපති ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ජූනි 28 වැනිදා සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමැතිය හිමිවිය.
කෙසේ වෙතත් මෙදිනම සවස පහයි විස්සට පමණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක්ද කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ දැනුවත් කිරීම මෙහි අරමුණ බව සඳහන් විය. ආරංචි මාර්ග තහවුරු කළ පරිදි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනූ දෙනෙක් පමණ මීට සහභාගී වීම සඳහා කොළඹ පැමිණ සිටියහ. බොහෝ දෙනකු පැමිණ සිටි මෙම රැස්වීමේ අඩුපාඩුවට පෙනෙන්නට තිබුණේ වෙනදාට ප්‍රධාන මේසයට පැමිණ අසුන්ගෙන සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙදින පැමිණ නොසිටීමයි. නාමල් රාජපක්ෂ මහතාද පැමිණ නොසිටි අතර ඊට හේතුව කුමක්ද යන්න අපැහැදිලි විය.
''අපි මේ රැස්වෙලා ඉන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ආණ්ඩුව දැනුවත් කරන්න. ඒ නිසාම ඉස්සෙලම මහ බැංකු අධිපතිතුමාට මම ආරාධනා කරනවා මේ පිළිබඳ පිරිස දැනුවත් කරන්න කියලා.''
සභාවේ කටයුතු ආරම්භ කළ ජනපතිගේ පළමු ඇරුයුම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත ලැබුණි.
ඒ අනුව මහ බැංකු අධිපතිවරයා දීර්ඝ තාක්ෂණික පැහැදිලි කිරීමක් සිදුකරන්නට විය. මෙහි සංකීර්ණ ආර්ථික කාරණාද ඇතුළත් වූ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ. එම නිසාම ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට මෙම පැහැදිලි කිරීම අවබෝධ කර ගැනීමට පවා අපහසු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ හෝ මිනිත්තු පහළොවක විස්සක කතාව අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අදහස් දැක්වීමට සහ කරුණු විමසීමට මහ බැංකු අධිපතිවරයා අවකාශය ලබාදී තිබේ.
''ඔබතුමා ඉදිරිපත් කරපු කතාව බොහොම හොඳයි. නමුත් මෙතන සමහර මන්ත්‍රීවරුන්ටත් අපිටත් සමහර දේවල් තේරෙන්නෙ නෑ. මට මේ සම්බන්ධව ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා කරුණාකරලා සරල පැහැදිලි උත්තරයක් ලබාදෙන්න.'' පළමු ප්‍රශ්නය විමසන්නට ඉදිරිපත් වූයේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ය.
''දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාමාන්‍ය ජනතාවට බලපාන්නෙ මොන විදිහටද? සේවක අර්ථසාධක අරමුදලට මේක බලපානවාද? එහෙම බලපානවා නම් බලපෑම සිද්ධ වෙන්නෙ කොහොමද? කරුණාකරලා මේ ප්‍රශ්න දෙකට ඔබතුමා මට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න.''
මෙම පැනයට පිළිතුරු බැඳීමට මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් විය.
''පළවෙනි කාරණාව සාමාන්‍ය මහජනතාවට මේක කිසිසේත්ම බලපාන්නෙ නෑ කියලා මට සහතික වෙන්න පුළුවන්. පොදු ජනතාවගේ තැන්පතුවලටවත්, ණයවලටවත් මේකෙන් බලපෑමක් නෑ.''
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මහ බැංකු අධිපතිවරයා මෙලෙස පැහැදිලි කිරීම සිදු කරන විට සාගර කාරියවසම් නැවතත් බාධාකර කර තිබේ.
''එතකොට මහ බැංකු අධිපතිතුමා මගේ දෙවැනි ප්‍රශ්නය ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්.වලට මේක බලපානවාද?''
මහ බැංකු අධිපතිවරයා නැවත පිළිතුරු ලබා දෙන්නට විය.
''ඊ.පී.එෆ්. මුදල් සෑහෙන්න ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙනවා භාණ්ඩාගාර බැඳුම්කරවල. අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ මුදල් කපා ගන්නවා කියන එක සම්පූර්ණ බොරුවක්. නමුත් සාමාන්‍යයෙන් ඊ.පී.එෆ්. සඳහා පොලිය අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ සාමාන්‍යයෙන් පොලී අනුපාතය අඩුවෙනවා. එකට සාපේක්ෂව මෙතනත් පොලිය අඩු වෙන්න පුළුවන්.''
මේ අතර නැගී සිටි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනපති අමතමින් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
''දැන් ජනාධිපතිතුමා, දැන් සියයට දොළහක් පොලිය ගෙවනවා නේද? ඒක කීයකින් විතරද අඩුවෙන්නෙ?''
''නෑ නෑ ඒක වැරදි කතාවක් පොලිය දොළහක් හම්බ වෙන්නේ නෑ. පහුගිය අවුරුදු තුනේම ගෙවලා තියෙන්නේ සියයට නවය ගාණේ. රටේ බැංකු පොලී අනුපාතය කීයට ගියත් මෙතැන ගෙව්වේ සීයට නවයයි.'' මෙලෙස පැහැදිලි කරන්නට වූයේ ජනපති සහ මහ බැංකු අධිපතිවරයා යන දෙදෙනාම එක්වය.
එහෙත් මේ පිළිබඳව සාගර කාරියවසම් ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර යන මන්ත්‍රීවරු පෙරළා ප්‍රශ්න කරන්නට වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
''එතකොට ඒ පොලියට මොකද වෙන්නේ. මහ බැංකු අධිපතිතුමා කිව්වා බැංකු පොලී අනුපාතය අඩු වෙනවා කියලා. එතකොට සියයට නවයක පොලියත් අඩු වෙනවාද?''
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මීට පිළිතුරු ලබා දී තිබේ.
''රටේ බැංකු පොලී අනුපාතය අඩු වුණාම, මේකටත් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් රජය තීරණය කරලා තියෙනවා ලංකාවේ බැංකු පොලී අනුපාතය කීය වුණත් ඊ.පී.එෆ්. සඳහා ගෙවන සීයයට නවයක පොලිය දිගටම ගෙවන්න. රජය විසින් ඉතිරිය දරාගෙන මේ පොලිය ස්ථීරව පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ප්‍රතිලාභීන්ට ගැටලුවක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.''
සුරේන් රාඝවන්, සරත් වීරසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් නැවතත් මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පෞද්ගලික බැංකුවලට බලපාන ආකාරය පිළිබඳවයි.
''පෞද්ගලික බැංකුවලට යම් බලපෑමක් සිද්ධවෙන්න පුළුවන්. ඒක මෙන්න මේ වගේ දෙයක්. ගොඩක් පෞද්ගලික බැංකු භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරලා තියෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිද්ධවෙන්න පුළුවන් දේවල් තමයි ඒ සඳහා ගෙවන පොලී අනුපාතය අඩුවීම, කල් පිරෙන කාලය දීර්ඝ කිරීම වගේ දේවල්. ඒත් දැනට එකඟ වෙලා තියෙන විදියට පොලී අනුපාතය ගෙවනවා. ඉදිරියේදී තමා ඒ අඩු කිරීම් සිද්ධ වෙන්නේ. මේ හරහා සාමාන්‍ය ජනතාවට බලපෑමක් නෑ.''
මෙම දීර්ඝ සාකච්ඡාව කෙළවර ජනපති නැවතත් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න ඇතිදැයි විමසා තිබේ.
''මිනිස්සුන්ට බලපෑමක් නැත්නම්, බැංකුවලට බලපෑමක් නැත්නම්, මූල්‍ය ආයතන කඩා වැටෙන්නේ නැත්නම් ගැටලුවක් නෑ. ඔහු තුමා මේ සම්බන්ධව සහතික වන නිසා, අපි මේ දිහා බලාගෙන ඉන්නවා.''
සභාවේ සිටි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මෙම අදහස මතු කරන්නට වූහ.
''ඔව්. ඔබතුමාලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ යෝජනාවක්ම නෙවෙයි. අපි ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කරපු යෝජනාවක්. මේ අර්බුදයෙන් ගොඩ එන්න අපිට මේ දේවල් කරන්නම වෙනවා. නැත්නම් ගොඩ ඒමක් නෑ.''
මේ අතර සභාවේ අවධානය වෙනත් පසෙකට රැගෙන ගියේ අමාත්‍ය කංචන විජේසේකරය.
''ජනාධිපතිතුමා පොඩ්ඩක් බලන්න, මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයා රජයේ නිලධාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවෘත ආරාධනාවක් දීලා කැඳවලා තියෙනවා හෙටයි අනිද්දායි. ඒ අයගෙන් තොරතුරු ඉල්ලලා තියෙනවා. මේ විමසීමෙන් මොකක් කරන්න යනවද දන්නේ නෑ.''
ආරංචි මාර්ග පවසා සිටියේ ජනපති එය ඒ තරම් නොතැකූ බවකි.
''මොනවද ඕකේ දවස් දෙකක් කතා කරන්න තියෙන්නේ. එක දවසින් කතා කරලා ඕක ඉවර කරන්න පුළුවන් මුදල් කමිටුවට. මොනවා වුණත් කමක් නෑ. මමත් හෙට ඕගොල්ලෝ දැනුවත් කරන්න මීටින් එකක් දාල තියෙනවා. හර්ෂගෙ මීටිම කීයට තිබුණත් මගේ එකටත් එන්න ඕනෑ.''
මේ අතර සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනකු පිළිබඳවද දේශපාලන කරළියේ කතාවක් පැතිර යන්නට විය. මෙම තිදෙනා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට එකඟවීම හේතුවෙන් සමගි ජනබලවේගයේ අභ්‍යන්තරයේ ගැටුමක් නිර්මාණය වී ඇති බව ඒ අනුව කියැවුණි.
මේ අතර පසුගිය අඟහරුවාදා පැවැති සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවද දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවකින් උණුසුම් වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධව පැතිර ගිය ආරංචියකට අනුව දැනගැනීමට ලැබුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කර ඇති බවකි.
''ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොර රහසේම පාර්ලිමේන්තුවට රැගෙන එන්න යන්නෙ. එතැනදී දේශීය ණය කපා හැරීමක් සහ EPF – ETF අරමුදල්වලට හානියක් සිදුවෙනවා නේද?''
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊට ලබා දී ඇත්තේ මෙවන් අදහසක් ගැබ්ව ඇති පිළිතුරකි.
''මමත් හරියටම දන්නේ නෑ. ආරංචි විදිහට නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ. හැබැයි මටත් ඒ ගැන සහතිකයක් දෙන්න බෑ...''
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් බහුතරය දේශීය ණය ප්‍රතිව්‍යුහග කිරීම කෙරෙහි විරෝධාකල්පයකින් පසුවන බව කියැවේ. ඒ අනුව මෙම යෝජනාවට යම් පක්ෂපාතීත්වයක් පෙන්නුම් කරන සජබ ප්‍රබලයන් තිදෙනාගෙන් දෙදනකු මුනිවත රකින බවත්, එක් අයෙක් පමණක් යම් පමණින් වූ හඬ අවදි කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සතියේදී පොලීස්පති පත්කිරීම පිළිබඳ කතාබහක් ද දේශපාලන කරළියේ නැවත නිර්මාණය වෙමින් තිබුණි. තවදුරටත් සේවා දිගුවක් සිදු නොකිරීම හේතුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිල කාලය පසුගිය සඳුදා අවසන් විය. මේ අතර වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා සහගතව බලා සිටියහ. හිටපු පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දෙනු ඇතැයි තවත් පිරිසක් අනාවැකි කීහ. එහෙත් සතියක් ගෙවී ගියේ රටේ පොලිස්පතිවරයකු නැතිවය.
මේ අතර ඇතැම් තැනක කියැවුණේ පොලිස්පති ධූරය අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙම තනතුර පතා බාරහාර ආගමික වතාවත් සහ යාග හෝම පවා සිදු කරමින් සිටින බවකි. මේ අතර බදාදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ද පොලිස්පති පත්කිරීම පිළිබඳ සංවාදයක් නිර්මාණය වූ අයුරක් දකින්නට ලැබුණු බව අප ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්න මෙම ගැටලුව සභාවට රැගෙනවිත් තිබේ.
“ජනාධිපතිතුමා දැන් ඉන්න පොලිස්පතිතුමාටම සේවා දීර්ඝ කිරීමක් ලබා දෙනවද? නැත්නම් නව පොලිස්පතිවරයෙක් පත් කරනවද? මොකක්ද ඉස්සරහට සිද්ධ වෙන්නේ?"
පොලිස්පති ධූරය පිළිබඳ අදහස් දක්වමින් මෙවන් ප්‍රශ්න කිරීමකට ඔහු සූදානම් වූ බව දැනගැනීමට ලැබේ. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කතාබහට බාධා කරමින් වෙනත් කතාබහකට සභාව රැගෙනවිත් ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
“අපි දැන් කතා කරන්න ආවෙ ‘අස්වැසුම’ ගැන. පොලිස්පති ධූරය ගැන නෙවෙයි. පොලිස්පති ගැන කතා කරන්න ඕනෑ නම් මම ඒකට වෙනම වෙලාවක් දෙන්නම්. අපි ඕක දැනට නවත්තල, මේක ගැන කතා කරමු."
ඒ අනුව මෙදින පොලිස්පති පිළිබඳ දීර්ඝ කතාබහක් ඇතිවීම ජනාධිපතිවරයා විසින් වළක්වා ඇතැයි ආණ්ඩුවේම ආරංචි මාර්ග කියා සිටියි.
කෙසේවෙතත් බදාදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී “අස්වැසුම ප්‍රතිලාභී ලේඛනය" පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙම කතාව සභාවට රැගෙනවිත් තිබුණේ සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු වන, වත්මන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතා විසිනි.
“හරිම වැරදි විදියට ‘අස්වැසුම’ පිරිස තෝරාගෙන තියෙන්නෙ. මම මේක ඇතුළේ දිගටම හිටපු කෙනෙක්. ඒ නිසා මම මේ ගැන දන්නවා. සමෘද්ධිලාභීන් 70෴ කගේ විතර නම් කපල දාලා. එක එක බලවේගවල අයට ඕන නම් දාගෙන. සමෘද්ධිලාභීන් අන්ත අසරණ කරල දාලා. මේ වගේ වැඩ නම් කරන්න හදන්න එපා."
ජනපති සහ ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවේ මිනිත්තු 10 ක් පමණ දීර්ඝ ආවේගශීලී කතාවක් ජගත් කුමාර මන්ත්‍රීවරයා විසින් සිදු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේවෙතත් ආණ්ඩුවේ බහුතර මන්ත්‍රී පිරිසක් මෙම කතාවට හූමිටි තියමින් සහාය පළ කරන්නට වූ බවද දැනගැනීමට ලැබෙයි.
පසුගිය සතියේ වාර්තා වූ පරිද්දෙන් බොහෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය ආසන තුළ මෙම ගැටලුව නිසාවෙන් පීඩාවට පත් වී සිටීම ඊට හේතුව බව පැහැදිලිය. මෙම ගැටලුව පිළිබඳ පෙරළා පිළිතුරු දීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවා එතරම් උනන්දුවක් නොදැක්වූ බව ආණ්ඩුවේ ආරංචි මාර්ග ඔස්සේම දැනගැනීමට ලැබේ.
කෙසේවෙතත් මුනිවත බිඳිමින් සභාවේ මෙම ගැටලුව සම්බන්ධව පැහැදිලි කිරීමට ඉදිරිපත් වී තිබුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාය.
“ඔයා මොනවද මේ කියන්නේ. හිතට එන එක එක දේවල් කියලා මිනිස්සුන්ව නොමග අරින්න හදන්න එපා."
ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධව අසතුටින් ඔහු එලෙස අදහස් දක්වන්නට පටන්ගෙන තිබේ.
“මම නෙවෙයි ඔයා මොනවද කියන්නෙ. ඔය කියන්නෙත් ඇත්ත නෙවෙයිනෙ."
ජගත් කුමාර පාර්ශ්වයෙන් පෙරළා ප්‍රතිචාර ලැබෙන විට මෙම කතාබහ ආරවුලක ස්වරෑපය උසුලා තිබේ.
මෙදින ප්‍රධාන මේසයේ රුඳී සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මෙම කතාබහට මැදිහත්ව තිබිණි.
“මට ආරංචි විදියට මේ සමෘද්ධි කට්ටිය තමා මේ ආරවුල් ඇති කරන්නේ. ඇත්තටම ඒක හොඳ නෑ."
මෙහිදී ජගත් කුමාර පාර්ශ්වය නැවත නැවත පෙරළා පිළිතුරු බැඳ ඇතැයි කියැවේ.
“මෙතන එහෙම එකක් නෑ. සමෘද්ධි නිලධාරීන් කතා කරන්නේ මෙතන අසාධාරණයක් වෙලා තියෙන නිසා. ඒ මිනිස්සුන්ගේ ඇඟේ අමාරුවට නෙවෙයි. දැන් බලන්න මේ අස්වැසුමට තෝරාගත්ත විදිහ. ගෙදර ටොයිලට් එකක් තියෙනව නම්, ලයිට් තියෙනව නම්, වතුර තියෙනව නම් ඒ මිනිස්සුන්ට මේක දීලා නෑ. මෙතන හරි අසාධාරණ විදිහට තෝරාගැනීම සිද්ධ වෙලා තියෙන්නේ."
මේ අතර ජගත් කුමාර මහතා වෙත ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියන් වන මංජුලා දිසානායක, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රශාන්ති යන අය සහාය පළ කරමින් කතා කරන්නට පටන්ගෙන තිබේ.
“නෑ නෑ මේ කියන කතාව හරි. ඇමැතිතුමා කියන කතාව වැරදියි. අපේ ආසනවල අපිටත් පාරට බහින්න බැරි තත්ත්වයක් මේ නිසා උදාවෙලා තියෙන්නෙ."
මේ සමඟම ආණ්ඩු පක්ෂ නවක මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සිය හඬ අවදි කරමින් ‘අස්වැසුම’ අසාධාරණය පිළිබඳ හඬ නගන්නට පටන්ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය යටතේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම සංවාදයට මැදිහත්ව තිබේ.
“දැන් අපි අභියාචනා යොමු කරන්න කාල වේලාව වෙන් කරලා තියෙනවා. ඉදිරි දවස් කිහිපය තුළ අභියාචනා ඉදිරිපත් වුණාම මේකට කරන්න පුළුවන් මොකක්ද කියලා හොයලා බලමු. මේවා සලකා බලලා සාධාරණයක් කරමු."
කෙසේවෙතත් මෙම සැනසුම් බස්වලට කන් දී "අස්වැසුම" ක්‍රියාවලියට විරෝධය පෑ පිරිස නිහඬ වී නොමැත.
“අභියාචනා දාන්න කියලා තියෙනවා වෙබ් අඩවිවලින්. ස්මාර්ට් ෆෝන් එකෙන්. මේ අයැදුම්පත්‍රය මහාචාර්යවරයකුටවත් පුරවන්න බැරි එකක්. මේ වගේ දේවල් කොහොමද අහිංසක දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව පුරවන්නෙ. අනිත් එක සමෘද්ධිලාභීන් හැමෝම ළඟ ස්මාර්ට් ෆෝන් තියෙනවද? මේ වගේ දේවල් කරන්න එපා. මේවා හරි විහිළු වැඩ."
නැවතත් ජගත් කුමාර මන්ත්‍රීවරයා ආවේගයෙන් එලෙස අදහස් දක්වන්නට පටන්ගෙන තිබේ.
මේ අතර මෙම ගැටලුවට පිළිතුරු බැඳීමට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නැවත නැවත උත්සාහ දරා ඇති බවද කියැවේ. කෙසේවෙතත් ඔහුගේ කතාව සභාවට නොඇසී යන තරම්ම තත්ත්වය උණුසුම් වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගැටුම මෙලෙස ක්‍රමයෙන් උග්‍රවන අතරේ මුහුණේ දෑත රුවාගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මේසයට වී බලා සිටි බව මෙහි සිටි ඇතැම්හු පවසති. එහෙත් අවසානයේ තත්ත්වය සමනය කිරීමට ජනාධිපතිවරයාම මැදිහත්ව තිබේ.
“අස්වැසුමට වඩා වැදගත් වැඩක් තියෙනවා අද මට මෙතැන කරන්න. අද අපේ ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යතුමාගේ උපන් දිනය. මම කේක් එකක් අරගෙන ආවා. එහෙනම් අපි ඔක්කොම එකතුවෙලා මේක කපල කේක් කමු."
ජනපතිගේ උපක්‍රමශීලී කතාවෙන් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉදිරියට පැමිණ සිය උපන්දින කේක් ගෙඩිය කපා තිබේ. ආරවුල යටපත්ව ගොස් ඇත. එහිදී පළමු කේක් කෑල්ල ජනපතිට කවන්නට ශෂීන්ද්‍ර රාජපක්ෂ සූදානම් වූ විට ජනාධිපතිවරයා විහිළුවක් ද කර තිබේ.
“ඔයා මට මුලින්ම දෙන්නෙ. මෙතන ඔයාගේ තාත්තා ඉන්නවනෙ. කෝ එන්න එන්න අපේ චමල් රාජපක්ෂ ඇමැතිතුමා."
අනතුරුව ජනපති අගමැති ඇතුළු සියලු දෙනා එක්ව උපන්දින සාදය සමරා ඇතැයි කියැවේ. ඒ අනුව සියලු ගැටුම් සමනය වී තිබිණි.
මෙහිදී ශෂීන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයාගේ ආසනයේ ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාට ද කේක් කෑල්ලක් කවන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට විහිළු කර තිබේ. ඔවුන් දෙදෙනා යම් යම් දේශපාලන කරුණු හේතුවෙන් තරමක අමනාපයෙන් පසුවීම ඊට හේතුවයි.
මේ අතර පසුගිය සතියේදී ජාතික ජන බලවේගය ද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ දැවැන්ත විරෝධයක් මතු කළේය. දින පහේ බැංකු නිවාඩුව ඔවුන් දැඩිව විවේචනයට ලක් කරන්නට විය.
“දින තුනක් වගේ තමා උපරිම බැංකු නිවාඩුවක් තියෙන්න පුළුවන්. මොකද දින පහක් කියන්නේ විශාල කාලයක්. 1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජයේ කාලේ මේ වගේ දීර්ඝ නිවාඩුවක් ලබාගන්න එක නතර කරලා තියෙනවා. මේක ජාත්‍යන්තර වෙළෙඳාමට බලපානවා. අපි විතරක් නෙවෙයි, බැංකු හරහා ගනුදෙනු කරන්නෙ. විශාල ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රජාවක් ඉන්නවා අපි එක්ක ගනුදෙනු කරන. මේ අය සියලු දෙනා අපහසුතාවයට ලක්වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ සම්ප්‍රදායක් බැංකු අනුගමනය කරන්නේ නෑ."
මේ අතර ජාතික ජන බලවේගයට බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබුණේ ඔවුන්ගේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඔස්ට්‍රේලියානු සංචාරය හේතුවෙනි. ඔස්ට්‍රේලියාවේ බොහෝ නගරවලදී සැලකිය යුතු පාක්ෂිකයන් පිරිසක් හමුවේ සාකච්ඡා කිරීමට ඔහුට අවකාශය උදා වූ බව සමාජ මාධ්‍යයේ වර්තා පළ විය.
මේ අතර අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික ජන බලවේගය විසින් ඔස්ට්‍රේලියාවේදී පවත්වන ලද සංවාදශීලී ජන හමුවකදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විශේෂ කාරණාවක් සඳහන් කර තිබුණි. ඒ අනුව ගාලු මුවදොර අරගලය හරහා බලය ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් තිබූ බවට පළවන මත ප්‍රතික්ෂේප කරන බව ඔහු පවසා ඇතැයි වාර්තා විය. ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය අල්ලාගෙන සිටිය ද එය බලය ප්‍රතිස්ථාපනය කිරීමක් නොවන බවද ඔහු කියා තිබිණි.
සන්නද්ධ ව්‍යාපාරයක් හරහා බලය ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රියාමාර්ගයක තම පක්ෂය නොමැති බවද, තම පක්ෂයේ අදහස වන්නේ බලය ප්‍රතිස්ථාපනය කළ යුත්තේ ජනතාවගේ ජනවරමක් හරහා යැයි ද ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කැඳවීමෙන් මුදල් කමිටුව බ්‍රහස්පතින්දා රැස්විය. මේ සඳහා කල් ඇතිව විපක්ෂ නායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පැමිණෙන්නට සැලසුම් කර ඇති බව ආණ්ඩුව පක්ෂ මන්ත්‍රීවරුන්ට ආරංචි වී තිබුණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ද මේ සම්බන්ධ අනතුරු ඇඟවීමක් සිදුවූයේ එබැවිනි.
ආණ්ඩුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබුණේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැති මුදල් කමිටු රැස්වීම්වලට සහභාගී වී ඒ සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීමටයි. මෙය දැනගැනීමට ලැබීමත් සමඟ කමිටු රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුවේ නියෝජිතයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා සහ සුරේන් රාඝවන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබිණි. විපක්ෂ නායකවරයා මුදල් කමිටු සාමාජිකයකු නොවන බැවින් ඊට සහභාගී වීමට ද ඉඩ දිය නොහැකි බව ඔවුන් සඳහන් කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අප ආරංචි මාර්ග සඳහන් කරන පරිදි විපක්ෂ මන්ත්‍රීවරුන් මීට විරෝධය පළ කිරීමත් සමඟ මුදල් කමිටුවේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ. ඒ අනුව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා හට ඡන්ද විමසීමක් පවා පැවැත්වීමට සිදුව තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවිය යුතු බවට ඡන්ද 10 ක්ද ඊට විරුද්ධව ඡන්ද 6 ක්ද ලැබී ඇති බව දැනගන්නට තිබේ. කෙසේවෙතත් පසුව සාකච්ඡා කිරීමෙන් පසුව විපක්ෂ නායකවරයාට සහ කමිටුවේ සාමාජිකයන් නොවන මන්ත්‍රීවරුන්ට මීට සහභාගි විය හැකි නමුත්, කැඳවනු ලබන පාර්ශ්ව වෙතින් ප්‍රශ්න කළ නොහැකි බවට එකඟතාවක් ගොඩනැගී තිබේ.
ඒ අනුව බ්‍රහස්පතින්දා මහ බැංකු අධිපතිවරයා, මුදල් මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල, සේවා භාරකාර අරමුදල සහ බැංකුකරුවන් මුදල් කමිටුව වෙත ගෙන්වා මුදල් කමිටු සාමාජිකයන් විසින් ප්‍රශ්න කර තිබේ. මෙම අතර සිකුරාදා තවත් පාර්ශ්ව කිහිපයක් ගෙන්වා මුදල් කමිටුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විමසා තිබිණි. ඔවුන් අවසන් අනුමැතිය ලබා දීමට නියමිව ඇත්තේ මෙම සාකච්ඡාවලින් අනතුරුවය.
කෙසේවෙතත් සමගි ජන බලවේගය, ඊ.ටී.එෆ් සහ ඊ.පී.එෆ් අරමුදල්වලට මෙම ප්‍රතිව්‍යුහගතකරණය සමඟ විශාල බලපෑමක් සිදුවන බව දිගින් දිගටම සඳහන් කරමින් සිටියි. ලක්ෂ 22 ක්වූ මෙම අරමුදල්වල ගිණුම් හිමියන් අසාධාරණයට ලක්වන බව ඔවුහු කියා සිටිති. ඒ අනුව සෙනසුරාදා ගෙන ඒමට නියමිත යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ තීරණය කිරීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේදීම කණ්ඩායම් රැස්වීම් දෙකක් පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
I චමිඳු නිසල් ද සිල්වා