කොටි වලිගය මෙන් ආණ්ඩුව අල්ලාගත් 13 වැනි සංශෝධනයේ කතාව, අනෙකුත් දේශපාලන සටන් පාඨවල සැර බාල කළේය. ජල ගාස්තු ඉහළ යාම පිළිබඳ වූ වාර්තා ද තරමක් යටපත් වූයේ දහතුනේ පිහිටෙනි. මේ අතර විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ගමන් බිමන් ද එල්.පී.එල් ජාතික ගීය ගැයුම ද ඉහළ අවධානයක් දිනා ගත්තේය. ගෙවී ගියේ තවත් උභතෝකෝටික සතියකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවැති රහස් සාකච්ඡාවක් පිළිබඳව වාර්තා කිහිපයක් පළවෙමින් තිබුණි. දේශපාලනයේ අහුමුළු විමසා බලන කාගෙත් උකුසු ඇස ඊට යොමුවිය. අප දේශපාලන ආරංචි මාර්ග ද සඳහන් කළ පරිදි මෙම හමුව ඉතා පෞද්ගලික ලෙස කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ නිවෙසක පවත්වා ඇත. මෙම සාකච්ඡාවට වෙනත් කිසිවකු සම්බන්ධ වී නොමැත. එහෙත් පැය දෙකකට අධික කාලයක් සාකච්ඡාව පැවැති බව කියැවේ. කෙසේවෙතත් සාකච්ඡාව පිළිබඳව නිල සඳහනක් හෝ ප්‍රකාශයක් කිසිදු පාර්ශ්වයක් විසින් එළිදක්වා නොමැත.
කනින් කොණින් ලැබෙන දේශපාලන ආරංචි අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමක් නිමල් ලන්සා සමඟ එකතු වී ජනපති සහායට නිර්මාණය කරන්නට යන දේශපාලන සන්ධානය මෙම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වී තිබේ. මේ සම්බන්ධව පැතිර යන කතාවකට අනුව ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ අමතා මේ සම්බන්ධව කලබල නොවන ලෙස පවසා ඇතැයි කියැවේ.
“පොහොට්ටුව තමයි මට පත්වෙන්න උදව් කළේ. ඒ සම්බන්ධව ගැටලුවක් ඇතිකර ගන්න එපා. මම අදාළ පාර්ශ්ව දැනුවත් කරන්නම්."
තිරයේ පිටුපස සංවාදය අනුව අසන්නට ලැබෙන්නේ මෙවැන්නකි. කෙසේවෙතත් නිල වශයෙන් මෙම සාකච්ඡාවේදී මෙවැන්නක් කියැවුණේදැයි තහවුරු කරගත නොහැක.
පසුගිය කාලයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ පත්වීම් සම්බන්ධව සහ ඉතිරි වසරක කාලය තුළදී ආණ්ඩුව තුළ සමගියෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාවෙහි තහනම් වචනය "කැබිනට් සංශෝධනය" වූ බවද අසන්නට ලැබේ.
“අපි ජනාධිපතිතුමාට නිල වශයෙන් අවස්ථා කිහිපයකදී මේ ගැන කියලා, ලිඛිතවත් දන්වලා තියෙනවා. එතුමාට ඒක කරන්න හැකියාවක් නැත්නම් අපි නැවත බල කරලා වැඩක් නැහැ."
පසුගිය දිනවල පොහොට්ටුවේ ප්‍රධානීන් මෙම ස්ථාවරයේ රුඳී සිටියෙන් කැබිනට් සංශෝධනය මෙම සාකච්ඡාවේ තහනම් වචනය වූ බවට වන ආරංචිය සත්‍ය විය හැකිය.
බැසිල් - රනිල් සාකච්ඡාවෙන් අනතුරුව පසුගිය බ්‍රහස්පතින්දා තවත් තීරණාත්මක රහස් සාකච්ඡාවක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අයත් විජේරාම නිවෙසේදීම පැවැත්වුණි. ආණ්ඩුවේ ඉදිරි ගමන සහ ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇතැයි කියැවේ.
මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළුව ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු පමණක් සහභාගී වී තිබේ.
මෙම සාකච්ඡාවේදී අරගලය පිළිබඳ සංවාදයක් නිර්මාණය වූ බව ද කියැවේ.
“අපි වෙබ්වල දැක්කා ආශු මාරසිංහ කියලා තියෙනවා, අපිත් අරගලයේ කූඩාරම් දාහතක් ගහගෙන හිටියා කියලා."
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ආශු මාරසිංහගේ කතාව එසේ කරළියට ගෙනැවිත් තිබේ.
“එතකොට අපිට තේරෙනවා නේද කවුරුන්ද මේක පිටිපස්සේ හිටියේ කියලා. මේවා පිටිපස්සේ හිටපු කට්ටිය කවුද කියල තේරුම් ගන්න නම්, ඔය ගැන අපි හිතට ගන්න ඕනෑ."
මේ අතර මෙම සභාවේ බොහොමයක් කතා ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
“අපි ආණ්ඩුවේ පාර්ශ්වයක් විදිහට හිටියට, ආණ්ඩුව කරන වැරදි පෙන්වා දෙන්න ඕනෑ."
මෙවන් අදහස් මතුවෙන අතර සුපුරුදු පරිදි නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයේ වාඩිගත යුතුය යන ස්ථාවරයේ පසුවූ බවද දැනගන්නට ලැබේ. කෙසේවෙතත් ඔහුගේ ස්ථාවරයට එතරම් සහයෝගයක් ලැබී නොමැත.
“ඉදිරියේදී එන මැතිවරණය මහ මැතිවරණයක්ද? පළාත් පාලන මැතිවරණයක්ද? ජනාධිපතිවරණයක්ද?”
මෙම පැනය ඉදිරිපත් වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා වෙතයි.
“ඡන්ද ගැන දැන් කතා කරන්න එපා. ඒ ගැන කතා කිරීම අනවශ්‍යයි. ඒ වුණාට අපි ඕනෑම මැතිවරණයකට සූදානම් වෙලා ඉන්න ඕනෑ."
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙය ඉතා රහසිගතව පැවැත්වූ රුස්වීමකි. ආණ්ඩුවේම බොහෝ දෙනෙක්ද මේ පිළිබඳව නොදැන සිටියහ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද කියැවේ. ඒ අතර දේශපාලන පක්ෂ වෙතින් 13 පිළිබඳ මතය විමසා ජනාධිපති ලේකම්වරයා ලිපියක්ද යොමුකර තිබේ. මේ වන විටත් පක්ෂ කිහිපයක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබේ.
මේ අතර පසුගිය සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද රුස්විය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වූ මෙම සභාවට එහි සාමාජිකයන් සියලු දෙනා පාහේ සහභාගී සිටියහ. මෙම හමුවේ අරමුණු කිහිපයක් විය. අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරයකු පත්කිරීම ඉන් එක් අරමුණකි. ඒ සඳහා ජනපති නිර්දේශ එවා තිබුණෙන් සියලු දෙනාගේ කැමැත්තෙන්, එච්.එන්.ජී මොරායස් විනිශ්චකාරවරයා ඒ සඳහා පත්වීම් ලැබීය.
මෙම සභාවේ තීරණාත්මක සාකච්ඡාව වූයේ මැතිවරණ කොමිෂන් සභාවේ හිස්ව ඇති සාමාජික ධූර ද්විත්වය පත් කිරීමයි. එම පත්කිරීම සම්බන්ධව දීර්ඝ විවාදයක් ව්‍යවස්ථාදායක සභාවේ හටගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
යාපනය දිසාපතිවරයකු වූ සුන්දරන් අරුමෙයිනායගම් මහතාගේ නම සභාවට යෝජනා කර ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. මේ අතර තවත් පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය අර්ජුන පරාක්‍රම මහතාගේ නම යෝජනා කර ඇත. ඊට අමතරව අනූෂා සම්මුගනාදන් මහත්මියගේ නමත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම්වරයකු වන සිසිර රත්නායක විනිශ්චකාරවරයාගේ නමත් මේ සමඟ සභාවට යෝජනා වී තිබේ.
කෙසේවෙතත් යෝජනා වූ නම් අතරින් සුදුසු නම් ද්විත්වයක් තෝරාගැනීමට ව්‍යවස්ථාදායක සභාව අපොහොසත්ව ඇත. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එක් නමකට කැමැති පිරිස අනෙක් නමට අකැමැති වීම හේතුවෙන් සභාවේ තර්ක විතර්ක ගොඩනැගී තිබේ. ආරංචි මාර්ග සඳහන් කළේ පොදු එකඟතාවක් ගොඩනැගුණේ අනූෂා සන්මුගනාදන් මහත්මියගේ නම සම්බන්ධව පමණක් බවයි. ඒ අනුව නැවත වරක් රුස්වී මේ හා සම්බන්ධ එකඟතාවක් නිර්මාණය කර ගැනීමට ව්‍යවස්ථා සභාව තීරණය කර ඇතැයි කියැවේ.
රට බංකොලොත් වීම සම්බන්ධව සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුව ද පසුගියදා රුස්විය. එය මෙම කමිටුවේ මංගල සභා වාරය විය. රටේ බංකොලොත්භාවය පිළිබඳ සෙවීමට පත් කළ මෙම කමිටුව හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් හා සමාන බව කියමින් එයින් ඉවත් වූ විපක්ෂ මන්ත්‍රීවරු මෙම අවස්ථාව සඳහා සහභාගී නොවූහ.
පසුගිය සතියේ දේශය හෙළිදරව් කළ පරිදි එම කමිටුවේ මංගල සභා වාරය සඳහා දිවයිනේ සියලු විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි ආර්ථික විද්‍යා අංශවල පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් පිරිසකට මෙහිදී කැඳවීම් ලැබී තිබුණි.
“මේ කමිටුව මොකක්ද කරන්න ඕන, මොනවද හොයන්න ඕන කියන මාර්ග සැලැස්ම හදාගන්න තමා මේ පිරිසට ආරාධනා කළේ."
කමිටුව පාර්ශ්වයෙන් කියැවුණේ එවන් කතාවකි. ඒ අනුව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි ආචාර්ය මහාචාර්යවරුන් විසි නව දෙනෙක් මෙහි පැමිණ සිටියහ. එම පිරිස් අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය සිරිමල් අබේරත්න වැනි චරිත මෙහි පැමිණ සිටි බව කියැවේ.
කමිටු රැස්වීම් අරඹමින් කතා කළේ මෙම කමිටුවේ සභාපති, පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ය.
“මේ කමිටුව පත් කරපු වෙලාවේ චෝදනාවක් ආවා, ප්‍රශ්නය යටපත් කරන්න තමයි මේ කමිටුව පත් කළේ කියලා. මම මෙතැන දේශපාලන පාට කණ්නාඩිය ගලවලා තමයි වැඩ කරන්නෙ. ඔබතුමාලටත් දේශපාලන මත, පක්ෂ ඇති. ඒවා අමතක කරල දේශපාලන පාට කණ්නාඩි ගලවලා අපි මෙතන ඇත්තම කතාව හොයමු."
උදෑසන නමයහමාරට පමණ ආරම්භ වූ මෙම රුස්වීම පැය තුනක පමණ කාලයක් පැවැතිණි. විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු රට බංකොලොත් වීමට හේතු කාරණා පැහැදිලි කරන්නට වූහ.
“මොන ආණ්ඩුව බලයට පත්වුණත් මේ රටේ තියෙන්නේ පැලැස්තර ආර්ථිකයක්. පහුගිය කාලේ අරගලයත් එක්ක පුපුරන්න තිබුණු දේ පුපුරලා ගියා. ලයිට් කැපිල්ල, පොහොර තහනම වගේ දේවල් නිසා ඒක ඉක්මන් වුණා."
මේ ආදී විවිධ අදහස් මෙහිදී ඉදිරිපත්ව තිබේ. වර්තමාන රජයට තවත් ටික කාලයක් ලබා දිය යුතු බවද මොවුන් සඳහන් කළ බව කියැවේ. කෙසේ වුවත් විවිධාකාර මත බංකොලොත්භාවය සෙවීම සඳහා පත් කළ කමිටුව හමුවේ විද්වතුන් ගෙනහැර පා තිබේ.
ගෙවී ගිය සතියේ කැබිනට් රුස්වීමේ සිදුවූ මත ගැටුමක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු අනාවරණය විය. මෙම මත ගැටුම නිර්මාණය වී ඇත්තේ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අය අතරය.
“ජලාශවලින් යම් වතුර ප්‍රමාණයක් නිදහස් කරන්න කුඹුරුවලට. නැත්නම් නියඟයක් ඇතිවෙනවා. ආහාර හිගයක් වුණත් ඇතිවෙන්න පුළුවන්."
ආරංචි මාර්ග පැවසූ පරිදි මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ඉල්ලීම මෙම සංවාදයට නිමිත්ත වී තිබේ. වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ද ඊට එකඟ වී ඇතැයි කියැවේ.
“ඔව්, කුඹුරුවලට වතුර නිදහස් කරන්න මට සිද්ධ වෙනවා."
කෙසේවෙතත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජලාශවලින් ජලය නිදහස් කිරීමට විරෝධය පළ කර ඇතැයි කියැවේ.
“වතුර නිදහස් කළොත් විදුලිය නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. රටම අඳුරට පත්වෙයි. සමහර දිස්ත්‍රික්කවල විදුලි කප්පාදුව සිද්ධ වෙනවා.”
මෙවන් සංවාදයක් සමඟම මෙම මත ගැටුම නිර්මාණ වී ඇතැයි කියැවේ. ඒ අනුව සංවාදය තරමක් දුරදිග ගොස් තිබේ. කෙසේවෙතත් ජලාශවලින් ජලය නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය ගනු ලබන තීරණය කුමක්දැයි තවදුරටත් පැහැදිලි නොමැත.
පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයට වැඩි බරක් දී තිබුණි. එම නිසාම සමගි ජන බලවේගයේ ආගමික සහ දේශපාලන වැඩසටහන් රුසක් අනුරාධපුරය අවට ක්‍රියාත්මක විය. විපක්ෂ නායකවරයා අනුරාධපුර පූජා නගරය වැඳ පුදාගත් අතර මිහිතලයේ ද සංචාරයක නිරත විය.
පසුගිය සඳුදා මිහින්තලේ පුජා භූමියට පැමිණි විපක්ෂ නායකවරයා මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ද බැහැදැක තිබේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත පොසොන් උත්සවය සහ ආලෝක පූජාව සඳහා සමගි ජන බලවේගයේ බෞද්ධ උපදේශන කමිටුව හරහා දායක වීමට කටයුතු යොදන බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව කියැවිණි.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා මිහින්තලේ පුදබිමේ විදුලිය විසන්ධි කිරීමට බලධාරීහු කටයුතු කළහ. ලක්ෂ හතලිහකට අධික බිල්පත් නොගෙවීම මීට හේතුව බව කියැවුණි. මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මේ සම්බන්ධව ප්‍රකාශයක් ද සිදු කළහ.
ආණ්ඩුවේම ස්වාධීන කණ්ඩායම්වල ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව ද පසුගිය සතියේ කතාබහක් ඇති විය. ඩලස් අලහප්පෙරුම සහ පාඨලී චම්පික රණවක යන අයගේ නම් මේ සඳහා යෝජනා වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර සමගි ජන බලවේගය ද මේ හා සම්බන්ධව අවධානයක් යොමු කර ඇතැයි කියැවේ.
පසුගිය දිනවල පැවැති සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමේදී පාඨලී චම්පික රණවක විසින් නිර්මාණය කරන ලද එක්සත් ජනරජ පෙරමුණ සම්බන්ධව කතාබහක් නිර්මාණය වූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
“අපි පාඨලීගේ පක්ෂය අපේ සන්ධානයට එකතු කරගමු."
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයන් තිදෙනකු කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙවන් යෝජනාවක් සිදු කර ඇතැයි කියැවේ. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිචාරය යහපත් වී නොමැත.
“පාඨලීගේ පක්ෂය කියන්නෙත් පක්ෂයක්ද?”
කෙසේවෙතත් එක්සත් ජනරජ පෙරමුණ මේ වන විටත් දිස්ත්‍රික් හතරක සමුළු සංවිධානය කර තිබීම විපක්ෂ කණ්ඩායම් අතර විශාල කතාබහක් නිර්මාණය කර තිබේ. තවද පාඨලී චම්පික රණවක සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අතර පැවැති පෞද්ගලික සාකච්ඡාවක් පිළිබඳව ද දේශපාලන කරළියේ කතාබහක් නිර්මාණය වී ඇත.
පසුගිය සතියේ පාර්ලිමේන්තුව වෙත විශේෂ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් විය. පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
පොලිසියේ “ජාතික අංශය” සහ “පළාත්බද අංශය” යනුවෙන් අංශ දෙකක් නොතිබිය යුතු බවත්, ඒ අනුව යම් ලිඛිත නීතියක පොලිසියේ “ජාතික අංශය” සහ “පළාත්බද අංශය” යනුවෙන් සඳහන් වන්නේ නම් එයින් ශ්‍රී ලංකා පොලිසිය අදහස් විය යුතු බවත් මෙම යෝජනාවේ සඳහන් විය.
ඒ අනුව උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනාවේ සිංහල පිටපත, දෙමළ පිටපත, ඉංග්‍රීසි අනුවාදය හා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව යන ලේඛන 04 ක් වැඩබලන මහලේකම්වරයා වෙත ලැබී ඇතැයි කියැවේ.
I චමිඳු නිසල් ද සිල්වා