2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ජනපතිවරණයට අපේක්ෂක පෙරහරක්

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 351

මුහුද හත්ගව්වක් දුරින් පැවතියද හූවක දුරින් පැවතියද ඒ පිළිබඳ වග විභාගයකින් තොරව නිතර අමුඩය ගසා ගැනීම සහ අමුඩය ගලවා ගැනීම ලාංකීය දේශපාලඥයන්ගේ පුරුද්දකි. පසුගිය සතියේ නිර්මාණය වූ ජනපතිවරණ කතාබහ ඊට කදිම උදාහරණයයි. කවරක් වෙතත් ගෙවී ගියේ තවත් කතා සාද මන්ත්‍රණ කුමන්ත්‍රණ සපිරි සතියකි.

ජනාධිපතිවරණයේ සිය අපේක්ෂයන් නම් කිරීමට ඇතැම් පක්ෂ කටයුතු කරමින් සිටි අතර තවත් පිරිසක් සැබෑවටම අපේක්ෂකයන් වන්නේ කවුරුන්දැයි දැනගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවූහ. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂක සිහිනය දුටු ඇතැමුන් නූල් සූත්තරද ක්‍රියාත්මක කරමින් සිටින බව කියැවුණි.

''අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. ඒක තීරණය කරලා ඉවරයි...''

මෙලෙස කියැවුණේ සමගි ජනබලවේගය පාර්ශ්වයෙනි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා සහ පාඨලී චම්පික රණවකද ජනාධිපති අපේක්ෂක සිහිනය අත්හැර නැතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායම් ගොඩනාගාගත් පිරිස් සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අතර පැවැත්වුණු සාකච්ඡාවලදීද ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා වී ඇතැයි ආරංචි ලැබී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නොමැත. පක්ෂය විවිධ මන්ත්‍රීවරු විවිධ නම් පිළිබඳව විශේෂ අවධානයක් දක්වන බව කියැවේ.

''අකුරු තුනේ නමක් තියෙන කෙනෙක් තමයි අපේ අපේක්ෂකයා...''

පසුගිය දිනවල මෙවන් ප්‍රකාශ අසන්නට ලැබුණ අකුරු තුනේ තරුණ අපේක්ෂකයාගේ නම තවදුරටත් ස්ථිර වී නොමැත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව සඳහන් කරන පිරිස්ද ආණ්ඩුවේ වෙති. මේ අතර ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන පිරිසක් වන බව පෙනී යයි.

''මමත් ජනාධිපති වෙන්න සුදුසුයි...''

පසුගියදා මෙවන් ප්‍රකාශයක් කරළියට ගෙන ආවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු තුළද තවදුරටත් ජනපති වීමේ අදහස ඉතිරි වී ඇතැයි ඒ අනුව පෙනී ගියේය.

''කවුරු හරි  ආරාධනා කළොත් සලකා බලන්න පුළුවන්...''

පසුගිය සතියේ පළවූ වාර්තාවකට අනුව හිටපු කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ මෙවන් අදහසක සිටින බව කියැවේ.

මේ අතර ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකත්වය පිළිබඳවද විවිධාකාර අදහස් පළවෙමින් තිබේ. අනුර කුමාර දිසානායක නොව හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ  ජනාධිපතිවරණ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන බව රාවයක් පැතිර ගොස් තිබුණි. මේ අතර හරිනි අමරසූරිය පවසා තිබුණේ වෙනදාට මෙතරම් අවධානයක් යොමු නොකරන මාතෘකාවක් පිළිබඳ අද සමාජයේ අවධානය යොමු නොකිරීම පිළිබඳ තමා සතුටුවන බවයි.

''තවම අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරලා නෑ. කොහොම වුණත් අපි සතුටු වෙනවා අපේ අපේක්ෂකත්වය පිළිබඳ මේ තරම් කතාබහක් ඇතිවීම පිළිබඳ...''

කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ ලාල්කාන්ත මහතා පවසා තිබුණේ සිය අපේක්ෂක අනුර කුමාර දිසානායක බවයි.

''වනන්න වැනෙන්න මෙතැන මොකක්වත් ඇත්තේ නෑ. ජාතික ජනබලවේගයේ නායකයා කවුද? අනුර කුමාර දිසානායක. අපි අනුර කුමාර දිසානායක සහෝදරයා මේ ජාතික ජන බලවේගය අපේක්ෂකයා බවට පත්කරනවා.''

මේ අතර පසුගිය සතියේ දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගත් සිය ප්‍රචාරණ ව්‍යාපෘතිය බල ගන්වමින් සිටින බව පෙනී ගියේය. %ජන පවුර^ ව්‍යාපාරය නමින් ආරම්භ කරනු ලැබූ වැඩසටහන හරහා දිවයින ජන්ද පොළවල් 12000ක් ඔවුන්ගේ කිරීමට සජබ සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග තහහවුරු කළේය.

පසුගිය සතියේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක උතුර බලා පිටත්ව ගියේය. ඔහු උතුරු පළාතේ %ජන පවුර^ සංවිධානය කටයුතු කර තිබේ.

''උතුරේ දින හයක් ගතකරන අපේ සංවිධානය හදන එක පිළිබඳ සාකච්ඡා කළා. යාපනයේ ඉඳලා මුලතිව්, කිලිනොච්චිය, වැලිඔය දක්වා අපි සංවිධායකයන් පත් කරලා තියෙන්නෙ. අපි පළවෙනි වතාවට පෝලිම් බූත් මට්ටමෙන් ඒ අයට ටාර්ගට් දුන්නා. ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ වැඩක් කරන්න.''

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සිය සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුනට ඒ සඳහා දැන්වීම් පළකරමින් සහ විවිධ වැඩසටහන් දියත් කර ඇති බව කියැවේ.

මේ අතර විටින්විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පසුගිය සතියේ සැලකිය යුතු ප්‍රකාශයක් සිදුකොට තිබුණි. තමන් මැතිවරණවලදී පෙනී සිටියේ පොහොට්ටුවේ ජයග්‍රහණ වෙනුවෙන් මිස තම ජයග්‍රහණය වෙනුවෙන් නොවන බව ඔහු පවසා තිබුණේ පක්ෂ සංවිධාන කටයුතුවලට එකතු වෙමිනි.

''එක ගමකින් සාමාජිකයන් දහදෙනා බැගින් බඳවාගෙන ඒ දහදෙනාට තව දහදෙනක් බඳවා ගන්න කියලා ශාඛා හදලා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෝෂණය කළේ. දැන් කවුරු මොනවා කීවත් 2015දී සංවිධාන කළ නුගේගොඩ වේදිකාවට ගොඩවෙන්න කවුරුවත් හිටියෙ නෑ. පළාත් මහ ඇමැතිවරුන් මහින්ද මහත්තයා දාලා යනකොට මහ ඇමැතිවරයෙක් විදියට මම විතරයි එදා වේදිකාවට නැග්ගෙ. මට ඒ ශක්තිය දුන්නේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්. එදා ඒ කණ්ඩායම හිටියේ නැත්නම් මටත් එහෙම හයියක් එන්නේ නෑ.''

මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය සම්බන්ධවද පසුගිය සතියේ සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබුණි. පසුගිය සතියේ කැබිනට් රුස්වීම් අතරතුරදී සියලු අමාත්‍යවරුන්ට ජනපති විශේෂ දැනුම්දීමක් සිදුකොට තිබේ.

''විශ්වාසභංගය විවාදයේදී සියලු අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. කවුරුවත් විදේශගත වෙන්න බෑ.''

මේ අතර විදුර වික්‍රමනායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් විදේශගත වීමට අවසර ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එය ජනපති ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවේ.

''නෑ... නෑ... කවුරුත් විදේශගතව ගතවෙන්න එපා. ඡන්දය පාවිච්චි කරලා ඉවරවෙලා විදේශගත වෙන්න.''

මේ අතර විශ්වාසභංගයට ආණ්ඩුවේ පිරිස් වෙතින් සහයෝගය ලබාගැනීමට විපක්ෂය ද යම් වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වන විටත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම්වල සාමාජිකයන් සැලකිය යුතු පිරිස් විශ්වාසභංගයට සහාය පළ කරන බවට විපක්ෂ නායකවරයා වෙත දන්වා ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් විශ්වාසභංගය පරාජය කළ හැකි බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධික විශ්වාසයකින් සිටින බවත් ඊට හේතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

“ජනාධිපතිතුමා ඒ ගැන බලාගන්නවා. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ."

මේ අනුව විශ්වාසභංගය පරාජය කිරීමට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලබාගැනීම පිළිබඳ කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන ඇතැයි ද තිරය පිටුපස කතා අතරේ අසන්නට ලැබේ. 

සැප්තැම්බරයේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ විදෙස් සංචාර කිහිපයක් සැලසුම් කර ඇතැයි ද දැනගන්නට ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රුස්වීම ඒ අතරින් ප්‍රධානය. ඊට සමඟාමීව කියුබාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුවෙන් පැවැත්වෙන "ජී සෙවන්ටි සෙවන්" සමුළුවට ද ජනපති සහභාගි වනු ඇත. සංචාරය නිමා කර පැමිණෙන ගමනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සංචාරයක් ද සැලසුම් කර ඇතැයි කියැවේ.

මේ අතර ඉදිරි සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳ සොයා බැලීම මෙම පිරිසේ අරමුණ වන අතර මෙම නියෝජිතයන් ශ්‍රී ලංකාව පිළිබඳ දක්වන අදහස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ තීරණාත්මක වනු ඇත.

මෙම මාසයේදී ජපාන අගමැති ෆුමියෝ කිෂිදා මහතා ද එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරයට පෙර මෙම ජපන් අගමැතිවරයාගේ පැමිණීම සිදුවනු ඇත. මෙම පැමිණීම ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සේම ජපන් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි තීරණාත්මක ලෙසින් බලපානු ඇත.

ලංසා පාර්ශ්වය බිහි කළ නව සන්ධානය ක්‍රමයෙන් දේශපාලන වශයෙන් සක්‍රීය වීමට පටන්ගෙන තිබේ. ආරංචි මාර්ග සඳහන් කළේ නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කර ඇති බවකි.

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති නව සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රුස්වීමේදී මෙම පත්වීම සිදුවී තිබේ. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කිරීම සිදුවූ බව එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හමුව අවසානයේ අනුර ප්‍රියදර්ශන මහතාට සුභ පැතීමට මන්ත්‍රී කණ්ඩායම එක්වී ඇත.

“නව සන්ධානයේ නායකත්වයත් වයඹට ගියා එහෙනං."

එසේ පවසා ඇත්තේ නලින් ප්‍රනාන්දුය. 

“හුඟක් අය මතු කරන්න හදන්නේ අපිත් රාජපක්ෂ කඳවුරේ කියල හංවඩු ගහන්න."

නව සන්ධානය පිළිබඳව එලෙස අදහස් දක්වා ඇත්තේ පියංකර ජයරත්නයි.

“ආයේ කවදාවත් රාජපක්ෂලාට කඩේ යන අය අපේ කණ්ඩායමේ නෑ. අපි මේ හදන්නේ රාජපක්ෂ විරෝධී කඳවුරක්."

එලෙස පවසා ඇත්තේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වූ අනුර ප්‍රියදර්ශන යාපාය. මේ අතර මෙම කණ්ඩායම සිය පළමු දේශපාලන රුලිය 2024 ජනවාරියේදී හැකිතාක් දැවැන්ත ලෙස සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බව කියැවේ.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ ඩලස් ප්‍රමුඛ කණ්ඩායම ද මේ දිනවල විවිධ සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සජබ ගොඩනගන්නට යන පුළුල් සන්ධානයට එකතු වන්නේද යන්න පිළිබඳව මෙම කණ්ඩායම තුළ විශාල සාකච්ඡාවක් නිර්මාණය වී ඇතැයි කියැවේ.

“එතැන ඉන්න දොළොස් දෙනාගෙන් නව දෙනෙක් අපිත් එක්ක එනවා." 

සමගි ජන බලවේගයට ඩලස් ප්‍රමුඛ සන්ධානයේ නම දෙනකු පැමිණෙන බවට ආරංචියක් පැතිර යමින් තිබුණි.

මේ අතර ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබුණි. ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බවත් ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් කියැවුණි.

මෙම සාකච්ඡාව අවසානයේ නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා දක්වා තිබුණේ මෙවන් අදහසකි.

“අද අපේ සාකච්ඡාව ඉතාම සාර්ථකයි කියලා හිතනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාලකයන්ට යම් දේශපාලනික පණිවිඩයක් ලබා දෙන්න මේ එකඟතාවයන් ඇතුළේ අපිට පුළුවන්කම ලැබෙයි."  

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවන් ප්‍රකාශයක් කළේය.

“මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජයට පත්කිරීම සඳහා යම් එකඟතාවයකින් වැඩ කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාවක් අද නිදහස් ජනතා සංවිධානය සහ අපි අතර සිද්ධ වුණා. ඒකෙදි ඉතාමත් සුබදායී ප්‍රතිඵල තිබෙනවා. අපි උත්සාහ කරනවා රනිල් මැතිවරණ කල් දැමීමට දරන උත්සාහය පරාජයට පත්කිරීම සඳහා මෙරට ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ කටයුතු කරන්න."

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී නව සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව ඩලස් පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ යෝජනාව ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇති බවට ද ආරංචියක් දේශපාලන කරළියේ පැතිර ගියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය ද නැවතත් වර්ධනය වෙමින් තිබුණි. හැර ගිය පිරිස් නැවත පක්ෂයට එක්වීමත් සමඟ දයාසිරි ජයසේකර හට පහර පිට පහර වැදෙන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කළේය. මහ ලේකම් ධූරයේ වෙනසක් අත ළඟ බව ඇතැම්හු කීහ.

මේ අතර දයාසිරි ජයසේකර පසුගිය සතියේ ප්‍රසිද්ධියේ තමා වෙත එල්ල වන පීඩනය පිළිබඳ සඳහන් කළේය. තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව ඔහු කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

“මාව තියාගන්න හිටපු ජනාධිපතිතුමා අකැමැති නම්, විධායක සභාව අකැමැති නම් මම යන්න කැමැතියි. යටින් තල්ලු නැහැ. උඩ කට්ටිය තමයි තල්ලු දාන්නේ. ඒකට බය නැහැ. නම් කියන්න බැහැ. ඒ අයට ඕනේ එක්සත් ජාතික පක්ෂයට මේක හේත්තු කරන්න."

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය. මේ සමඟ තවත් දේශපාලන කතිකාවක් ආරම්භ වන ලකුණු පෙනී ගියේය.

I චමිඳු නිසල් ද සිල්වා