පිට දීපදේශ අතරේ කිතුගොස නැගුණා වූ සතියක් ගෙවී ගියේය. ජනපති ජර්මානු ගර්ජන අතරේ චීනයේ ආසියානු පදක්කම් පෙළහරද ඊට හේතු විය. ජනපතිගේ ජර්මානු සම්මුඛ සාකච්ඡා පිළිබඳ විවිධාකාර අදහස් පළවෙමින් තිබුණි. මේ අතර සුපුරුදු දේශපාලන නාටකද වේදිකා ගතවිය.
''මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත'' ඒවත් සමාජ මාධ්‍ය වාරණය කිරීමට ආණ්ඩුව රුගෙන ඒමට සැලසෙන පනත පිළිබඳව ගෙවී ගිය සතියේ විශාල ආන්දෝලනයක් ඇති විය. සමගි ජනබලවේගය මෙම පනතට හඬ නැගීමට කල් ඇතිවම තීරණය කළේය. ඒ අනුව පසුගිය සතියේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට සමගි ජනබලවේගය සහ විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව කටයුතු කළේය.
මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පතක් ගෙන ඒම තුළින් රටට බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
''මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පතක් ගෙනල්ලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ. ඇපල්, ඇමසන්, ගූගල්, මෙටා, X, බුකින් ඩොට් කොම් ආදී මේවා අඩංගු ඒෂියා ඉන්ටනෙට් කොලිෂන් එකෙන් බරපතළ විරෝධය පළකරලා තියෙනවා. දැන් ඒවත් එළවාගන්නද හදන්නේ. ඒවා එළවාගෙන පුළුවන්ද රටක විදේශ ආයෝජනය ප්‍රවර්ධනය කරන්න.''
අදාළ පෙත්සම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා, විපක්ෂ විධායක කමිටුවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරුන් සමඟ වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අර්බුදය පිළිබඳවද දේශපාලන කරළියේ තිරය පිටුපස කතා ඇතිවිය. මහලේකම් ධූරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු අතර තරගයක් නිර්මාණය වී ඇති බව ඒ අනුව අසන්නට ලැබිණි. මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණත් එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.
''සමස්ත ලංකා කාරක සභාවක සම්මේලනයක තමයි ඒ නිලධාරීන් පත් කරන්නේ. ඒ අවස්ථාවකදී සභාපතිතුමා සහ නිලධාරීන් එකඟතාවක් ඇති කරගෙන ඒ කටයුත්ත කරයි. ඔය එක එක පුද්ගලයන්ට අදහස්, හීන ඇති.''
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද මෙම අර්බුදය පිළිබඳ කළ විමසීමකදී මෙලෙස පවසා තිබුණි.
මෑතක සිට නැවත පුවත් මවන්නකු බවට පත්ව සිටින ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තවත් අකරතැබ්බයකට මුහුණ දී තිබුණි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව කඩා වැටීමෙන් අනතුරක් හටගත්තේය. පසුගිය බදාදා මෙම සිදුවීම වාර්තා විය.
කෙසේ වෙතත් මීට ඉහත අවස්ථාවකදීද මෙම ගේට්ටුව හිටපු ජනපතිවරයා රුගත් රිය වෙත කඩා වැටී ඇතැයි කියැවේ. ඒ අනුව ප්‍රභූ ආරක්ෂක අංශය මඟින් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කවුන්ටරයේ සිටියේ එකම නිලධාරියෙක්ද? නැතිනම් මෙම සිදුවීම අහඹු සිදුවීමක්ද? යන්න පිළිබඳ සොයා බලන බව ප්‍රභූ ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිදුවීම කුරුණෑගලදීම සිදුවීමද විශේෂත්වයකි.
ගෙවී ගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් සිදුවීමක් වූයේ නාමල් රාජපක්ෂගේ විදුලි බිල රාජ්‍ය ඇමති නිශාන්ත විසින් ගෙවා දැමීමයි. තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලිය වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්‍ෂ 26කට අධික හිඟව තිබූ මුදල ඔහු මෙලෙස ගෙවා දැමුවේය.
''අපේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා සංවර්ධනය කරපු නායකයා. එතුමාට වචනයක් අහන්න දෙන්න බෑ. එහෙම අහන්න දෙනවා නම් අපි මිනිස්සු වෙන්න බෑ. ඒ නිසා මම එතුමාට කිව්වා යම්කිසි ගෙවීමක් කරන්න තියෙනවා නම් මං ඒ පිළිබඳ සොයලා බලලා ගෙවන්නම් කියලා.''
මෙලෙස සඳහන් කරමින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත විදුලි බිල ගෙවා තැබූවද නාමල් රාජපක්ෂ මහතා කීවේ එය තමා හෝ පියා වෙත ඉදිරිපත් වූ බිලක් නොවන බවයි.
“මගේ හෝ මගේ පියාගේ නමට තවමත් ලයිට් බිලක් ලැබිලා නෑ. එහෙත් සනත් නිශාන්ත මට කතා කරලා කිව්වා ලයිට් බිලක් ගෙව්වා කියලා. පස්වැනි ජනාධිපතිගේ ආරක්ෂක අංශයට තමයි ඔය බිල යොමුකරන්න ඇත්තේ. මට ආපු නැති බිලක කොපියක් ගැන අදහසක් මට නෑ. දැන් මෙච්චර දවස් මේ ‘බිල’ අල්ලගෙන මට දෝෂාරෝපණය කළා. දැන් මෙතැනින් පස්සෙ වෙන මොකක් හරි අල්ලගන්න වෙනවා කට්ටියට.''
පසුගිය සතියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ පිළිබඳ පිළිබඳ කතා කළේය. නාමල් රජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමට තවත් වයස තිබෙන බව ඔහු පවසා තිබුණි.
මේ අතර සතියේ දේශපාලනයේ ප්‍රධානතම සිදුවීම් බවට පත්වූයේ ජනපති ජර්මානු මාධ්‍ය ආයතනයක සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් සමඟ ඇතිකරගත් ආරෝවයි. ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ ජනපතිවරයා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය. එම සාකච්ඡාවේ සිංහල පරිවර්තනයෙන් කොටසක් අප මෙසේ උපුටා දක්වමු.
මාධ්‍යවේදියා:-
පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් අවධානයට ලක්වූ මාතෘකාවක් ගැන අප දැන් කතා කරමු. රජයට සම්බන්ධ පිරිස් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කරන ලද කුමන්ත්‍රණයක් බවට අනුමාන කර ඇති, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවේ වාර්තාමය චිත්‍රපට කථාංගය පිළිබද අවධානය යොමු කළහොත්?
ජනපති:-
ඇයි ඔබ චැනල් 4 නාලිකාව ඔය තරම් පූජනීය ලෙස සලකන්නේ? මම එහෙම කරන්නේ නැහැ.
මාධ්‍යවේදියා:-
නැහැ. මම එලෙස හිතන්නේ නැහැ.
ජනපති:-
බ්‍රිතාන්‍යයේද විශාල පිරිසක් ඒ විදිහට සළකන්නේ නැහැ කියා මම විශ්වාස කරනවා.
මාධ්‍යවේදියා:-
ඔබ එය එකහෙළා ප්‍රතික්ෂේප කිරීම සාධාරණද?
ජනපති:-
ඇයි ඔබ චැනල් 4 ගැන පමණක් ප්‍රශ්න කරන්නේ?
මාධ්‍යවේදියා:-
මම චැනල් 4 ගැන අහන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා.
ජනපති:-
මාධ්‍ය විසින් එල්ල කරන චෝදනාව නිසාම ඇයි මම එහෙම කරන්නේ? හොඳයි, මම කියන්නේ... හිටපු නීතිපතිවරයා චෝදනාවක් එල්ල කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා චෝදනාවක් කර තිබෙනවා. ඇයි ඔබ එකක් ගැන විතරක් අහන්නේ. අනිත් ඒවා ගැනත් අහන්න.
මාධ්‍යවේදියා:-
ඇත්තටම චැනල් 4 නාලිකාව පමණක් නොවෙයි, කතෝලික පල්ලිය තමයි පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඇත්තටම ඔබතුමා සේවය කළ හිටපු ජනාධිපතිවරයකුත් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා?
ජනපති:-
මමත් අහන්නේ එයයි. ඔබ මගෙන් එහෙම ඇහුවේ නැහැ. මම ඔබට බල කලවිට පමණයි කිව්වේ හිටපු ජනාධිපතිතුමා පරීක්ෂණයක් ඉල්ලනවා කියලා. ඔබ කතා කළේ චැනල් 4 වාර්තාව පරම සත්‍යය ලෙස තබාගෙනයි.
මාධ්‍යවේදියා:-
නැහැ. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්.
ජනපති:-
නැහැ. මට කතාකර අවසන් කරන්න දෙන්න.
මාධ්‍යවේදියා:-
ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැත්නම් උත්තර අවශ්‍ය නෑ. නමුත් මට අහන්න පුළුවන්.
ජනපති:-
නැහැ. මම කියන්නේ එය ඔබේ මතය පමණයි. මගේ මතය නොවෙයි කියලා.
මාධ්‍යවේදියා:-
කතෝලික පල්ලිය තමයි මේ පිළිබඳව කතා කරන්නේ?
ජනපති:-
එය අමතක කරන්න. මම කතා කරන්නේ කතෝලික පල්ලිය ගැන නොවයි. මම ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි සිදු කරන්නේ. ඒ වගේම මම ගනුදෙනු කරන්නේ රදගුරු සම්මේලනය සමග මිස කාදිනල්තුමා සමඟ නෙවෙයි. කතෝලික සභාවට කොමිසමේ සියලු වාර්තා අවශ්‍ය බව දැනුම් දුන්නා. මම ඒ සියල්ල දුන්නා.
පසුගිය සතියේ ලන්සා - අනුර යාපා සන්ධානය පිළිබඳව ආරංචි කිහිපයක් ලැබුණි. ඒ අනුව පසුගිය සෙනසුරාදා මෙම සන්ධානය මන්ත්‍රී කණ්ඩායම මීගමුවේ වැඩමුළුවක් සංවිධානය කර තිබූ බව කියැවිණි. සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳ සැලසුම් සකස් කර ගැනීම මෙම වැඩමුළුවේ අරමුණ වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පොහොට්ටුවේ වෘත්තීය සමිති රැසකටම සාර්ථකව අත තැබීමට තමන්ට හැකිවූ බව මෙම සන්ධානයේ ක්‍රියාකාරීන් සඳහන් කර තිබුණි. මේ අතර පොහොට්ටුවට විශාල ශක්තියක් වූ පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීන් කිහිප දෙනකුගේම නම් කියැවිණි.
ඒ අනුව නව සන්ධානයේ පෙර පාසල් ගුරු සංගමයේ දිස්ත්‍රික් නියෝජිත හමුවක් ද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ අංක 3 දරන කමිටු කාමරයේ දී පවත්වා ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලන්සා සහ එම සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් ඇතුළු පිරිසක් මීට එක්ව සිටි බව කියැවේ. එළඹෙන අයවැයට යෝජනා ලබාගැනීමක් ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මෙහිදී සිදු කර ඇතැයි කියැවේ.
පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ තනතුරක් පිළිබදව දේශපාලන කරළියේ ඉහළ අවධානයක් යොමු වී තිබුණි. මෙලෙස පුරප්පාඩු වී තිබුණේ පාර්ලිමේන්තුවේ අතිශය වැදගත් තනතුරක් වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් ධූරයයි. අමාත්‍යාංශ ලේකම්වරයකුගේ කාර්යභාරය තරම්ම බරපතළ කාර්යභාරයක් මෙම තනතුරට ද පැවරී ඇති බැවින් මෙතරම් ඉහළ අවධානයක් ඒ සඳහා ලැබුණි.
මෙම පුරප්පාඩුව නිර්මාණය වූයේ එම තනතුරේ කටයුතු කළ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට පත්වීමත් සමඟයි. මෙම තනතුර සඳහා පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ සංවාදයක් නිර්මාණය වූයේ ඉන් අනතුරුවය.
පාර්ලිමේන්තුවේම සේවය කරන ජගත් කුමාර නම් නිලධාරියකුගේ නමක් ඒ සඳහා යෝජනා වූයේය. ඒ අනුව ඔහුට අවශ්‍ය සුදුසුකම් තිබෙන බව සඳහන් කරමින්, අග්‍රාමාත්‍යවරයා නමින් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් විය. සියලු වරප්‍රසාද සහිතව මෙම තනතුර ඉහත නිලධාරියා වෙත ලබාදීමට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනකු ද මැදිහත් වී සිටි බව ආරංචි මාර්ග කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම සිදුවීම් අතරේ පත්කිරීමට අදාළව ඉදිරිපත් වී ඇති සුදුසුකම් සහ ජීව දත්ත පිළිබඳ නිරීක්ෂණ ලබාදීමට මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළේය. අර්බුදය නිර්මාණය වූයේ ඉන් අනතුරුවයි. අදාළ නිරීක්ෂණයන්ට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙම පත්කිරීම පිළිබඳ ප්‍රශ්න කර ඇත. එසේම මුදල් අමාත්‍යංශය ද මෙම නිලධාරියා ඉදිරිපත් කර ඇති සුදුසුකම් පිළිබඳව සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුව වෙත වාර්තා කර තිබේ.
මුදල් අමාත්‍යංශ නිරීක්ෂණ වාර්තාවේ දක්වා ඇති පරිදි ජීව දත්ත පත්‍රිකාවේ සඳහන් කර ඇති තොරතුරුත් අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇති තොරතුරුත් අතර පරස්පරතා ඇති බව කියැවේ. එසේම ඇතැම් තොරතුරු නිවැරදි නොවන බවද එම වාර්තාවන්හි සඳහන්ව ඇත.
මෙම නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ අත්දැකීම් සහිත නිලධාරිනියක පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ සිටින බවත්, මෙම තනතුර දැරීමට නීතිඥයකු ලෙස වසර 10 ක පළපුරුද්දක් අවශ්‍ය නමුත් මෙම නිලධාරියාට එවැනි පළපුරුද්දක් නොමැති බවත් අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වන බව දැනගැනීමට ලැබේ. එසේම නිලධාරියාගේ පළපුරුද්ද වසර 25 ක් බව සඳහන් වුවද පළපුරුද්ද වසර 13 ක් බවද මෙම නිරීක්ෂණ වාර්තාවේ සඳහන් කොට ඇති බව කියැවේ.
මෙම තත්ත්වය යටතේ මේ වන විට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් ධූරයේ පත්කිරීම සම්බන්ධව විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර සේම විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර ද මෙය හා සම්බන්ධ කතාබහක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සතියේ රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ දේශපාලන කරළියේ ඉහළ අවධානයක් දිනාගත් චරිතයක් බවට පත්විය. ඊට හේතු වූයේ ඇය පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට විරුද්ධව එල්ල කළ චෝදනාවයි.
“පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නයක් නගපු වෙලාවේ රංජිත් මද්දුම බණ්ඩාර මට අසභ්‍ය අයුරින් බැන්නා. ඇත්තටම මට ‘බැල්ලි’ කියන වචනේ පාවිච්චි කළා එතුමා. මං ගාව ඒ රොකෝඩ් එක තියෙනවා. ඒක කතානායකට දීලා තියෙනවා. මේ කතා කරන්නේ සමස්ත කාන්තාවන් වෙනුවෙන්. මේක වාචික ලිංගික අතවරයක්. කාන්තාවන් එක්ක ඇරියස් එකක් තියෙන බණ්ඩාරලා සෙට් එකක් ඉන්නවා. මේකට විනය පරීක්ෂණයක් තියන්න. තනියම කාන්තාවක් හැටියට මං සටන් කරනවා. ඔය ඇඳුම ගලවලා පාරට බැහැලා මේ සාරිය දෙන්නම් ඔබතුමාට.”
කෙසේ වෙතත් මෙම චෝදනාව එල්ලවන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ රුඳී නොසිටියේය.
I චමිඳු නිසල් ද සිල්වා