2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

චීන නැව ගැන ඉන්දීය විදේශ ඇමැතිට රනිල්ගෙන් ’ඩිප්ලොමැටික්’ උත්තරයක්

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 261

මේ දිනවල අහස සේ සතියේ දේශපාලනයද අපැහැදිලිව වළාකුලින් බරව පැවතුණි. ත්‍රාසය, භීතිය, ශෝකය සේම කුතුහලය සපිරි සතියක් ගෙවී ගියේය. තනතුරු අහිමිවීම් පිළිබඳ අවදානමද, ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳ කුතුහලයද දේශපාලන කරළිය පුරා දැකගත හැකිවිය. 

දේශය පුවත්පත පසුගිය සතියේ වාර්තා කළ ''ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනපති සටනට'' යන පුවත් සමඟ දේශපාලනය කරළියේ යම් කැළඹීමක් ඇතිවූයේය.

''ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂය ද?''

''කවුද ධම්මික පෙරේරට සහාය දක්වන්නෙ ?''

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝද මෙම ගැටලුවට මැදිවූහ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ නායකත්වයෙන් මේ පුවතේ ගැඹුර පිළිබඳව විමසන්නට බොහෝදෙනකු කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

''කවුද ඔබතුමාලගේ ඇත්තම අපේක්ෂකයා ?''

''අපි යථා කාලයේදී අපි අපේක්ෂකයා කවුද කියලා දැනුම් දෙනවා.''

පොහොට්ටුවෙන් ලැබී ඇත්තේ මෙවන් පිළිතුරකි. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ධම්මික පෙරේරාගේ ආගමනය ප්‍රතික්ෂේප කිරීමක් ඔවුන් සිදුකර නොමැති බවය.

මේ අතර ධම්මික පෙරේරාගෙන්ද දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් මේ පුවත පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසා ඇතැයි කියැවුණි.

''ඇත්තටම ඔයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද?''

''ඔව්. මම එනවා. මට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා.''

මේ අතර ධම්මික පෙරේරා ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයක් නියෝජනය කරමින්ද යන්න පිළිබඳවද ප්‍රශ්නයක් විය.

''මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. මට අවස්ථාවක් ලැබෙයි කියල මම හිතනවා. එහෙම වුණොත් මං පොදුජන පෙරමුණෙන් තමා ඉදිරිපත් වෙන්නෙ.''

මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වේදැයි යන්න පිළිබඳවද ගැටලු නිර්මාණය වී තිබුණි. එහෙත් ඇතැම් ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට නොව පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරක් දැරීමට නාමල් කැමැත්තෙන් පසුවන බවකි. ඇතැමෙක් කීවේ නාමල් මෙය තම අවස්ථාව නොවන සිතන බවකි.

ධම්මික පෙරේරා පිළිබඳ නිර්මාණය වූ කතාබහ අතරේම පසුගිය ඔක්තෝබර් 11 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ ඔහුගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත උත්සවයක් සංවිධානය කොට තිබුණි. DP Education ආසියාවේ හොඳම ඩිජිටල් වේදිකාව බවට පත්වීම සහ මෙම ව්‍යාපෘතියට සිව් වසරක් සැපිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය විය. කෙසේ වෙතත් මෙය ධම්මික පෙරේරාගේ ප්‍රතිපත්තිය රටට කීමට උදාකරගත් අවස්ථාවකි.

''ඇනලොග් යුගයෙන් ඩිජිටල් යුගයට අපි යන්න ඕනේ. අනිත් රටවල් ඒ දේවල්වලට දැන් ගිහිල්ලා ඉවරයි. දැන් මේ වෙනකොට මේවා ඉවර වෙන්නත් කලින් ළමයින්ව රස්සාවලට ඉල්ලනවා. අපිට පුළුවන් මාස හතක පුහුණුවක් ලැබූ ළමයකුට රස්සාවක් දෙන්න, ඒ කියන්නේ පැය නමසිය හැට ඉගෙන ගත්ත දරුවෙකුට. 2025 වෙනකොට මුලු ලෝකෙම ඩිජිටල් වෙලා ඉවරයි. තව මාස 15 කින් මුළු ලෝකෙටම ඉන්ටනෙට් ලැබෙනවා.''

මෙහිදී තාක්ෂණික පංච මහා බලවේගයක් පිළිබඳවද ධම්මික පෙරේරා සඳහන් කළේය. එහිදී ඔහු පැවසුවේ පංච මහා බලවේගය තමන් සක්‍රීය කරන බවකි. මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රකට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විද්වතුන් ප්‍රභූන් රුසක් එක්ව සිටියහ.
මේ අතර පසුගිය සතියේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ අතර විශේෂිත හමුවක් හදිසියේම පැවැත්වුණි. පසුගිය කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මෙම හමුව පැවති බව වාර්තා වේ. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ ''නසීර් අහමඩ්'' නඩු තීන්දුවෙන් පසු දේශපාලනයේ සිදුවූ වෙනස්කම් පිළිබඳවය. කෙසේ වෙතත් මෙහිදී නඩු තීන්දුවෙන් පසු සිදුකළ යුතු දෑ පිළිබඳ අවසන් තීන්දුවට එළඹ නැතැයි කියැවේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් තවත් සුවිශේෂී පැනයක් ජනපති වෙත යොමුකර ඇති බවයි.

''දැන් හැමතැනම ආරංචි පැතිර යනවා මමත් මැදිහත් වෙලා, ඔබතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න යනවා කියලා. මොකක්ද මේ කතාව. මම එහෙම දෙයක් කියලත් නෑ. දන්නෙත් නෑ.''

මෙහිදී ජනාධිපතිවරයා ටිකක් කල්පනා කොට බලා ''අපේ පැත්තෙන් නම් එහෙම දෙයක් කිව්වේ නෑ'' යනුවෙන් සඳහන් කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

''මේක මාර ප්‍රශ්නයක් ජනාධිපතිතුමා. එහෙනම් මේ ගැන මම ඔබතුමාගෙන් ඇහුවා කියලා, එහෙම දෙයක් නැහැයි කියලා ඔබතුමා කිව්වා කියල, අපි  මාධ්‍යයට කියන්නම්.''

කෙසේ හෝ මෙම සාකච්ඡාව අවසානයේ ජනපති මෙවන් කතාවක්ද කියා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

''කොහොම වුණත් ඒ යෝජනාව නම් සලකා බැලිය යුතු තත්ත්වයක්...''

මේ අතර පසුගිය සතියේදී විධායක ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට සමාජ ජාල තුළ තොරතුරු හුවමාරු වෙමින් තිබුණි. ජනපති නිල කාලය අවසානයේදී ජනාධිපතිවරණයක් නොපවත්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇතැයි ඒ අනුව කියැවුණි.

''නසීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳ ලැබුණු තීන්දුවත් සමග දේශපාලනඥයන් කිහිපදෙනකුම කලබල වී සිටිනවා.'' යැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

''පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු, ශ්‍රී.ල.නි.ප., ස.ජ.බ., රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂය ඇතුළු කණ්ඩායම් රුසක මන්ත්‍රීවරු පක්ෂ මාරුකරලා ඉන්නෙ. ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි වෙයි ද?''

මේ අතර දේශපාලන කරළියේ පැතිර ගිය තවත් ආරංචියකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට මෙම ඉරණම අත්වනු ඇතැයි කියැවුණි. එම නිසාම මේ හා සම්බන්ධ කැළඹීම දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතුණි.

මේ අතර සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුද අධිකරණ වෙත ගියහ.

පසුගිය සතියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. ඔක්තෝබර් 10 වැනිදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ දූත පිරිස මෙරට පැමිණියේ දින දෙකහමාරක පමණ කාලයක් මෙරට ගතකිරීමේ සැලසුම පෙරදැරිවයි. එහෙත් මේ ගමනේ ප්‍රධාන අරමුණ ලෙස කියැවුණේ මෙරට ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) සමුළුවයි. මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවති අතර ඒ සඳහා තවත් රටවල් කිහිපයකම රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණ සිටියෝය.

කෙසේ වෙතත් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරය පිටුපස ආර්ථික දේශපාලන අරමුණ රුසක් විය. ඒ අනුව පළමුව එස්. ජයශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූයේය. දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට එළැඹීමට මෙහිදී දෙපාර්ශ්වය කටයුතු කර තිබුණි. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වැනි අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීමද මෙහිදී සිදුවිය.

මේ අතර ජනපති සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර ''වන් ටූ වන්'' සාකච්ඡාවක්ද පැවතියේය. මේ සාකච්ඡා පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ කරුණු කිහිපයක් අප වෙත වාර්තා විය.

''චීනයට අයත් 'SHIYAN 6' පර් යේෂණ නෞකාව ලංකාවට පැමිණීම පිළිබඳ අපේ විරෝධතාව පළකරනවා.''

මෙම සාකච්ඡාවේදී ආන්දෝලනාත්මක චීන නැව පිළිබඳ මෙලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉන්දියාව සිය විරෝධය ගොනුකර ඇතැයි කියැවේ. ආරංචි මාර්ග පවසන පරිදි ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ විරෝධතා හමුවේ ජනපති ලබාදී ඇත්තේ මෙවන් පිළිතුරකි.

''මේක අපිට ගැටලුසහගත තත්ත්වයක්. මම ළඟදී චීනයට යනවා. මම එහිදී රාජ්‍ය තාන්ත්‍රිකව කතා කරලා මේක සමථයකට පත්කරගන්න බලන්නම්...''

මේ වනවිට වාර්තා වන පරිදි චීනයට අයත් 'SHIYAN 6' පර් යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආසන්නයට පැමිණ ඇතැයි කියැවේ. එම නෞකාවට එක් දිනක් තුළ කොළඹට ළඟාවීමේ හැකියාව පවතී. එහෙත් ශ්‍රී ලංකාව උපදෙස් ලබා දී ඇත්තේ නෞකාවට නොවැම්බර් 25 වැනිදා මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ලෙසය.

''නොවැම්බර් 25 වෙනකල් ඉන්න අපිට බෑ. නොවැම්බර් මුල් සතියේ අපිට ලංකාවට එන්න ඕනෑ...''

මෙම සංකීර්ණ තත්ත්වය යටතේ චීන බලධාරීන්ද මෙවන් ඉල්ලීමක් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර තිබේ. ඉන්දීය මාධ්‍යයද මෙම නෞකාව පිළිබඳ දිගින් දිගටම තොරතුරු වාර්තා කරමින් සිටින අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීනයට ඇතුළු වූ විගස නෞකාව කොළඹ වරායට සේන්දු වනු ඇතැයි ඔවුන් පවසයි. කෙසේ වෙතත් වාර්තාවන තොරතුරු අනුව මෙම නෞකාව මුහුදු පතුළ නිරීක්ෂණ කිරීමට අමතරව සබ්මැරීන සඟවා තැබීමට සුදුසු ස්ථාන නිරීක්ෂණ කරනු ඇතැයි බියෙන් ඉන්දීය ආරක්ෂක අංශ පසුවේ. මෙම විරෝධයට හේතුව එයයි. 

පසුගිය සතියේ සමගි ජනබලවේගයේ නව ව්‍යාපෘතියක් අරඹා තිබුණි. විවිධ ක්ෂේත්‍රවල පවතින වංචා දූෂණ පිළිබඳ පිළිවෙළින් අනාවරණය කිරීම එහි අරමුණ විය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි ප්‍රධානත්වය ගත්තේය. ඒ අනුව පළමු අත තබා තිබුණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටයි.

''රටට බාල ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරම පිළිබඳ පාර්ලිමේන්තුවේ දින තුනක් විවාද කළත් 113ක් නැගිට්ටා ඖෂධ මාෆියාව වෙනුවෙන්. දැන් මේ IVIG කියන ඖෂධය ප්‍රමිතියෙන් තොරව ලියාපදිංචියෙන් තොරව හොර පාරෙන් රටට ගෙන්නලා. මේ ඖෂධය ගිලන් වෙච්ච රෝගීන්ට ලබාදීලා තියෙනවා. මේක ඉතාම සංකීර්ණ ඖෂධයක්. කෙළින්ම ශිරාවට ඇතුළු කරන්නෙ.''

මීට අමතරව රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීම් අපේක්ෂාවෙන් සිටින රෝගීන්ට ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඖෂධවල හිඟයක් මතුව ඇති බවත් Basiliximab, Antithymocytic Globulin යනාදී ඖෂධ හා එන්නත් වර්ග රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීමට අතශ්‍යවශ්‍යම වුවත් ඒවා මේ වනවිට රට තුළ නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉකුත් බදාදා සහ  බ්‍රහස්පතින්දා මෙම හෙළිදරව් ද්විත්වය විපක්ෂ නායකවරයා විසින් සිදුකොට තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය පිළිබඳවද විවිධ ආරංචි ලැබෙමින් තිබුණි. ඉන් එක් ආරංචියකට අනුව කියැවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම දැනට ආණ්ඩුවට සහාය ලබාදෙන මැති ඇමතිවරුන් අතරේ බෙදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සංවිධානගත නොවන බවට පසුගියදා මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පසුගියදා පැවැති රෑපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ජනපතිට, අගමැතිට සහ කැබිනට්ටුවට මෙරට පාලනය කළ නොහැකි බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

''මේ ආණ්ඩුවේ මතවාදය එක පැත්තකින් නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය ලෝකයේ ධනවත් රටවල පවා දැන් කඩා වැටිල තියෙන්නෙ. ඒ නිසා අපි පළමුවෙන්ම ස්වදේශික චින්තනය අරගන්න ඕනෑ. මේ යන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදියි.''
ශ්‍රීලනිප ප්‍රධානීන් ආණ්ඩුවට සමීපවෙමින් ඇති පසුබිමක මෙම ප්‍රකාශය දේශපාලන උභතෝකෝටිකයක් විය.

මේ අතර ජාතික ජන බලවේගයද විශේෂිත වැඩසටහනකට අත ගැසුවේය. මව්බිමට ජවයක් - ගෞරවණීය පුරවැසියෙක් යන තේමා යටතේ හැටන් ප්‍රකාශනය නමින් ප්‍රකාශනයක් එළිදැක්වීමට ඔවුන් සූදානම් වෙමින් සිටියේය. ඔක්තෝබර් පහළොස් වැනිදා (අද) ඔවුන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රකාශ විය.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දිගින් දිගටම දැඩිව විවේචනය කරන්නට විය. පසුගිය සතියේ පැවැති වැඩසටහනකදී ඔහු පවසා සිටියේ රට ඉතාමත් තීරණාත්මක මාස කිහිපයක් ගතකරමින් සිටින බවකි.
''දැන් අපේ රට ඉතාමත් තීරණාත්මක මාස කිහිපයක් ගත කරමින් සිටින්නේ. රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුවල හැමදාමත් ප්‍රතිපත්තිය බවට පත්වෙලා තිබුණෙ ණය ගැනීම් සහ දේපළ විකිණීමයි. කර්මාන්තශාලා වික්කා, වතු වික්කා. විකුණුවාම ආර්ථිකය ගොඩ යනවා නම් දැන් ඇති තරම් වික්කානෙ....''

පසුගිය සතියේ ජාතික ජන බලවේගය දිවයිනෙන් පිටත විවිධ උත්සව ක්‍රියාකාරකම් සංවිධානය කරමින් සිටින බව පෙනී ගියේය. ඒ අනුව ලන්ඩනයේදී ''චේ ගුවේරා'' ස්මරණය කරමින් පාපැදි සවාරියක් සංවිධානය කිරීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු කර තිබුණි.

මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉකුත් බ්‍රහස්පතින්දා ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර සිටි බව කියැවුණි. එසේම දේශපාලන සාකච්ඡා රුසකටද ඔහු සහභාගි වීමට නියමිත විය. එහෙත් ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විදේශ අමාත්‍යවරයාට හදිසි පණිවිඩයක් ලැබුණි.

''ඊශ්‍රායලයේ සැලකිය යුතු තරම් ඉන්දීය ජාතිකයන් පිරිසක් ජීවත් වෙනවා. මේ අර්බුදය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අප කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධ අවශ්‍ය සැලසුම් සකස් කිරීමට නැවත ඉක්මණින් ඉන්දියාවට පැමිණෙන්න...''
මෙම පණිවිඩයත් සමඟ සියලු සාකච්ඡා අහෝසි කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා කටයුතු කළේය. ත්‍රිකුණාමලය සංචාරයෙන් අනතුරුව ත්‍රිකුණාමලය ගුවන් තොටුපොළින්ම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් එම සංචාරය අවලංගු කිරීමට ඔහු කටයුතු කළේය.

කෙසේ වෙතත් ජනපති සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව, හදිසියේම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇමතුවේය.

''අපේ විදේශ ඇමැතිතුමාට ඔබතුමා හමුවෙන්න ඕනෑ කියලා කියනවා. අපි ඇවිල්ලා හම්බවෙන්නද?''

''හරි එහෙනම්, මම පැයක් ඇතුළත සූදානම් වෙන්නම්.''

හදිසියේම මෙම පණිවිඩය ලැබුණු හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා කාලය වෙන් කළේය. මෙම සාකච්ඡාවට සහභාගි වීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ටද ආරාධනා කළේය. මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්විය.

''විශේෂයෙන්ම ඔබතුමාට අපේ අගමැතිතුමා සුබපැතුම් පිරිනමන්නැයි කියලා කිව්වා. ඒ සුභපැතුම පිළිගන්න.'' විදේශ අමාත්‍යවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කරමින් සාකච්ඡාව ඇරඹූ බව අප ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ වැඩි අවධානයක් ලබාදී ඇතැයි කියැවේ. බලශක්ති අර්බුදය විසඳාගැනීම, ඉන්ධන මිල ගැටලුවේදී ලංකාවට සහාය දැක්වීම දෙරට අතර ආහාර සැපයුම් සිදුකිරීම ආදිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

පැය එකහමාරකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳවද සාකච්ඡා වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැත.

I චමිඳු නිසල් ද සිල්වා