තනතුරු පත්කිරීම් පිළිබඳ මත ගැටුම් අතරේ ක්‍රම වෙනස් කිරීම් සම්බන්ධ පිඹුරුපත්ද සැකසෙමින් තිබුණි. සියල්ල තීරණාත්මක සංවාද විය. කී කතා නොකී කතා තෝරා බේරාගනු බැරිව බැණ අඬගසා ගැනීම්ද සිදුවුණි. සති කිහිපයක ඇවෑමෙන් කාට කාටත් අල්ලා ගැනීමට කොටි වලිග කිහිපයක්ම වැනෙමින් තිබුණි.
සතියේ අර්බුදකාරී සිදුවීම වූයේ පොලිස්පතිවරයාට නැවත ලැබුණු සේවා දිගුවයි. මෙම සේවා දිගුව සම්බන්ධ විවිධ කතා අර්ථකථන මාධ්‍යයේ සේම මහජනයා අතරද දැකගත හැකි විය. මෙම පත්වීම පිළිබඳව තිරය පිටුපස වූ දීර්ඝ කථාව අප වෙත වාර්තා වූයේ මේ අතරය.
වත්මන් පොලිස්පතිවරයා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ ඉකුත් මාර්තු මාසයේදීය. කෙසේ වෙතත් ජනපති පොලිස්පතිවරයාට අවස්ථා දෙකකදීම සේවා දිගුව ලබාදීමට කටයුතු කළේය. පොලිස්පතිවරයාගේ දෙවැනි සේවා දිගුව ඉකුත්දා අවසන් වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සේම, මහජන ආරක්ෂක අමාත්‍යවරයාද විදෙස් සංචාරයන්වල නිරතව සිටියහ.
මෙම තත්ත්වය යටතේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ පත්කිරීමක් සිදුකරන තුරු, පොලිස්පතිවරයාට නැවතත් සති තුනක සේවා දිගුවක් ලබාදීමට අවශ්‍ය නිර්දේශයන් ව්‍යවස්ථාදයක සභාව වෙත යැවීමට ජනපති කටයුතු කළේය. සතියේ ආන්දෝලනයට තුඩුදුන් ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුවට පාදක වූයේ මෙම නිර්දේශයයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම් පිටුපස තවත් නිධාන කතාවක් වූයේය. පොලිස්පතිවරයාට දෙවැනි සේවා දිගුව ලබාදීමට අදාළ ජනපති නිර්දේශය ව්‍යවස්ථාදායක සභාවට ලැබුණු පසු එහි අභ්‍යන්තරයේ යම් යම් මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
''ඒ නිර්දේශය අපිට අනුමත කරන්න පුළුවන්ද?''
''මේ සම්බන්ධව නීතිමය තත්ත්වය මොකක්ද?''
මීට ෙපර අවස්ථාෙව් නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ව්‍යවස්ථාදායක සභාවට ගෙන්වා කරුණු විමසීමට සාමාජිකයෝ තීරණය කළෝය.
''ජනාධිපතිතුමාට රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන් පත්කර ගැනීමේ අභිමතය තියෙනවා.''
ව්‍යවස්ථාව අනුව නීති තත්ත්වය විග්රහ කරමින් නීතිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට පැහැදිලි කර ඇත්තේ එවැනි අදහසක් බව කියැවේ.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ජනපතිගේ නිර්දේශය අනුමත කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළේය. ඒ අනුමැතිය අතරේම ''නිත්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීම වඩාත් සුදුසුයි'' යන්නද ජනපති වෙත දන්වා යැවීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කොට තිබුණි.
වත්මන් පොලිස්පතිවරයාට තෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදීමට ජනපතිගේ නිර්දේශය මෙවර ව්‍යවස්ථා සභාවට ලැබුණේ එවන් පසුබිමක් තුළයි. මෙම නිර්දේශ සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදයක සභාවේ දැනට පත්කළ ඇති සාමාජිකයන් නව දෙනා අතුරෙන් එක්වූයේ අට දෙනකු පමණි. මෙහි සාමාජිකයකු වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විදෙස් ගතව සිටියේය.
''මේක දිගින් දිගටම සිදු කරන්න බෑ. නිත්‍ය පොලිස්පතිවරයෙක් රටට ඉන්න ඕනෑ. අපි කලින් වතාවෙත් කිව්වා. අපි මේක ප්‍රතික්ෂේප කළ යුතුයි.''
සිවිල් සංවිධාන යටතේ ව්‍යවස්ථාදායක සභාවට පත්වීම් ලද සාමාජිකයන් තිදෙනාගේ විරෝධය කැපී පෙනුණි. විපක්ෂ නායකවරයා ප්රමුඛ කිහිපදෙනෙක්ද මෙම අදහස අනුමත කළෝය.
''ජනාධිපතිතුමා එක්ක ගැටුම් ඇති කරගන්න ඕනේ නෑ. අපි මේක කතාබහ කරන කරගමු.''
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළකළ තිබුණේ එවන් අදහසක් බව කියැවේ. මේ අතර පොහොට්ටුවේ ප්‍රධාන සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද ප්‍රශ්නයක් මතුකොට තිබේ.
''මම නම් මේ සම්බන්ධව මැද තැනක ඉන්නේ. ජනාධිපතිතුමාගේ නිර්දේශ අනුමත කරන්නත් ඕනෑ. නීතියට අනුකූලද කියලා බලන්නත් ඕනෑ. අනිත් කාරණය දැන් අපි මේ නිර්දේශය ප්‍රතික්ෂේප කරනවා නම්, ඇයි කලින් අවස්ථාවල ප්‍රතික්ෂේප නොකළේ. මේකෙ පදනම මොකක්ද? අලුත් පොලිස්පතිවරයා පත්විය යුතුයි කියන කාරණාව මමත් පිළිගන්නවා.''
ආරංචි මාර්ග අනුව නිර්මාණය වී තිබුණේ තරමක් සංකීර්ණ වටපිටාවකි. කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවේ අවසාන තීන්දුව වූයේ පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධව නිර්දේශය අනුමත නොකිරීමයි.
''පොලිස්පති ඉවත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරයි.''
ව්‍යවස්ථාදායක සභාවේ ඉහත තීන්දුවත් සමග මෙවැනි පුවත් මාධ්‍ය වාර්තා කරන්නට විය. මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවිය. ඔහු මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනකුටම පැහැදිලි කිරීම් සිදු කළේය.
''පොලිස්පතිවරයා පත්කිරීම හෝ ඉවත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ කාර්යයක් නොවෙයි. ව්‍යවස්ථාදායක සභාවට තියෙන්නේ නමක් නිර්දේශ කිරීම. පත්කිරීම හෝ නොකිරීම ජනාධිපතිවරයාගේ කටයුත්තක්.
මෙම සිදුවීම් පෙළ අතරේ ජනපති චීන නිල සංචාරයේ නිරත වෙමින් සිටියේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනපති අමතා ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව පිළිබඳව තොරතුරු වාර්තා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. තවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම ජනපතිට කතා කර ඇතැයි කියැවේ.
''සර් හරි වැඩේ, මෙහෙම ගියොත් හෙට ඉඳන් පොලිස්පති කෙනෙක් රටට නැති වෙනවා.''
''එහෙම කරන්නේ කොහොමද? මමනෙ පත් කරන්නෙ.''
වාර්තා වන තොරතුරු අනුව ඔවුනට ජනපතිගෙන් ලැබී ඇත්තේ මෙවන් ප්රතිචාරයකි. එම ප්‍රතිචාර කෙළවර ජනපති ජනාධිපති ලේකම්වරයාට වහාම උපදෙස් දී තිබුණේ පොලිස්පතිවරයාට අදාළ සේවා දිගුව ලබාදෙන ලෙසයි. මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා රුඳී සිට ඇත්තේ නිවෙසේය. ආරංචි මාර්ග පවසන පරිදි ජනපති ඔහුටද ඇමතුමක් ලබාදී තිබේ.
''මොකද ගෙදර කරන්නේ...?''
''ලියුමක් එනකම් බලාගෙන ඉන්නවා සර්.''
''ආ... මම අන්න ඔයාව නැවත පත් කළා. ගිහිල්ලා වැඩ කරගෙන යන්න.''
මෙසේ පවසමින් ජනපති සිනහ සී දුරකථන ඇමතුම නිමාකළ බවක් දේශපාලන ආරංචි අතරේ කියැවේ.
අවසානයේ ජනාධිපතිවරයා හිටපු පොලිස්පතිවරයාට සේවා දිගුව ලබාදීමට කටයුතු කළේය. මේ පිළිබඳ අතුරු කතා රැසක් අසන්නට ලැබුණි. ව්‍යවස්ථාදායක තීන්දුව පිටුපස දේශපාලන හස්තයක් තිබූ බවට කතා පැතිර ගියේය. ඒ සමඟ ඉදිරියේදී පොලීසියේ ඉහළ තනතුරුවල විශාල වෙනස්කම් රැසක් සිදුවීමට නියමිතව ඇතැයිද ආරංචි ලැබෙමින් තිබුණි.
පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයද කැපී පෙනෙන සිදුවීමක් වූයේය. චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට සහභාගි වීමේ අරමුණින් ඉකුත් 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටත්ව ගියේය.
සංචාරය අතරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතර සිකුරාදා බීජිං නුවරදී ද්විපාර්ශික සාකච්ඡා සිදුවිය. වාර්තා වූ පරිදි ශ්‍රී ලංකාවට කොන්දේසිවලින් තොරව සහාය දෙන බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනපතිවරයා පවසා ඇත.
මෙම සංචාරය අතරතුරදී තවත් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමුවීමට ජනපති කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ චීන ආයෝජන ආදී පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇතැයි කියැවේ. මීට අමතර සංචාරයත් අතරේදී සුප්‍රකට හුවාවි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකටද ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.
මේ අතර පසුගිය සතියේ තවත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ පවතින පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමය පිළිබඳ ගෙන ඒමට නියමිත සංශෝධනයයි. ආණ්ඩුව පක්ෂ රුස්වීමේදී සේම පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීමේදීද මේ සම්බන්ධ කතාව නිර්මාණය වූ බව ආරංචි මාර්ග තහවුරු කළේය.
මේ අතර ජනාධිපතිවරයා විදිහට ගතවීමට පෙර අග්‍රාමාත්‍යවරයාට උපදෙසක් ලබා දී තිබුණි.
''පක්ෂ නායකයෝ කැඳවල මේ පක්ෂවල එකඟතාවය හෝ අදහස් උදහස් ගන්න. මේක අපට තනියම කරන්න බෑ. මේක කරන්න පාර්ලිමේන්තුවේ 150ක් ඡන්ද ඕනෑ.''
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළේය. කෙසේ වෙතත් මෙය හා සම්බන්ධ සාකච්ඡාවට සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගය නොපැමිණි බව වාර්තා විය.
මැතිවරණ ක්රමයේ සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවේ පළමුව කරුණු දැක්වීම සිදුකළේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාය. ඒ අනුව කොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය මිශ්‍ර යෝජිත මැතිවරණ ක්‍රමය පිළිබඳ ඔහු පැහැදිලි කළේය.
අනතුරුව මෙහි පැමිණ සිටි පක්ෂ නායකයෝද සිය අදහස් දැක්වීම් සිදුකළහ. උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මැතිවරණ ක්රමයේ වෙනස්කම් පිළිබඳ සාධනීය ප්රවේශයකින් කතා කළේය.
''අපි මීට පක්ෂව අදහස් පළකරනවා. ඇත්තටම මේ ක්‍රමය නොගැලපෙන ක්‍රමයක්. මේක වෙනස් විය යුතුයි.''
මේ අතර නිදහස ලංකා සභාගය නියෝජනය කරමින් මෙහි පැමිණ සිටි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද අදහස් දැක්වූයේය.
''මේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධව අපි අනන්තවත් කතාකරලා තියෙනවා. ඒ නිසා අපිත් මීට පක්ෂයි.''
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මේ ආදී වශයෙන් සිදුවූ අදහස් දැක්වීම් අතරේ, පොහොට්ටු වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම්ද වෙනත් අදහසක් මතු කළේය.
''මේ යෝජනාවට පක්ෂවවත් විපක්ෂවවත් අදහස් පළකරන්න නෙවෙයි මම ආවේ. මේ වගේ යෝජනාවක් ඉදිරිපත් වෙනකොට රටේ ජනතාව සැක කරනවා ඉදිරි මැතිවරණය කල් දැමීමේ වැඩපිළිවෙළක්ද මේ කියලා. මීට කලින් පළාත් සභා ඡන්දයටත් ඕකම වුණා. ඒ නිසා මේක කරනවා නම් මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ.''
''මොකක්ද ඒ වැඩපිළිවෙළ'' අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පිරිස පෙරළා ප්‍රශ්න කළෝය.
''මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළ සලකා බැලීම යම් හෙයකින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මාස තුනකට අවසන් කිරීමට නොහැකි වුණොත්, පැවති පැරණි ඡන්ද ක්‍රමයට මැතිවරණය පවත්වන බවට ව්‍යවස්ථාවට අන්තර්කාලීන විධිවිධානයක් එක් කරන්න ඕනෑ. ඒ ආකාරයෙන් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන වැඩපිළිවෙළක් නැතුව අපිට මේක සලකා බලන්න බෑ.''
මෙය ඉතා හොඳ යෝජනාවක් බව අධිකරණ අමාත්‍යවරයාද පිළිගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
''ඒක හොඳ අදහසක්. ඒ හරහා ඡන්ද කල්දාන්න යනවා කියලා මිනිස්සුන්ට තියෙන සැක බිය දුරු වෙනවා.''
දෙමළ ප්රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාද මෙහි පැමිණ සිටියේය. ඔහු යෝජනාවට විරෝධ පෑවේය.
''මේකට අපි විරුද්ධයි. මේකෙන් සුළු ජාතීන්ගෙ ඡන්ද අයිතිය නැති වෙනවා. ඒ නිසා අපි මේකට විරුද්ධයි.''
මේ අතර එහි පැමිණ සිටි සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද මෙම යෝජනාවට විරෝධය පෑවේය.
''අපි මේකට විරුද්ධයි. මේ හරහා සුළු ජාතීන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා.''
මේ ආදී වශයෙන් මෙහි පැමිණි සිටි පිරිස් අදහස් දක්වා අවසානයේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ මෙම යෝජනාවට විරෝධය පළ නොකොට, මේ පිළිබඳව තම පක්ෂවල අදහස් සහ යෝජනා ආණ්ඩුව වෙත භාරදීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර විපක්ෂ නායකවරයාද මෙම රුස්වීමට පැමිණ මැතිවරණ ක්‍රම සංශෝධන යෝජනාවට පක්ෂ වූ බවට පුවත් කිහිපයක් පැතිර ගොස් තිබුණි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සමගි ජන බලවේගයද මේ පිළිබඳව කිපුණි. තම කණ්ඩායම හිතාමතා මෙම කටයුත්ත වර්ජනය කොට තිබියදී මෙවන් කතාවක් පැතිර යාම පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඔවුහු දැඩි විවේචනයක් සිදු කළහ.
ඒ අනුව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී විපක්ෂ නායකවරයා ලෙස තමාද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමැත්ත පළ කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් රජය විසින් මාධ්‍ය හරහා ගෙන යන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
''මම එතනින් ඉවත්වෙලා ගියා. ඊටපස්සේ මාධ්‍යවල පොල්ගෙඩි අකුරෙන් යනවා අපිත් සහභාගි වුණ රුස්වීම්වල එකඟ වුණාලු මැතිවරණය අහෝසි කරන්න. බොහොම අසික්කිතයි. සම්පූර්ණ බොරුවක්.''
එවැනි කිසිදු තීරණයකට විපක්ෂ නායකවරයා ලෙස තමා එකඟ නොවූ බවත් අගමැතිවරයා ප්රමුඛ රජය ටොම් පච කියමින් මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලිය දිගටම සිදුකරමින් යන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් කීය.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ජාතික ජනබලවේගය තරමක සුවිශේෂී හමුවක නිරත විය. ඒ අනුව විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් පැවැත්විණි.
මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම හේතුවෙන් සිදුවෙමින් පවතින මානුෂීය ව්‍යසනය වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කඩිනමින් මැදිහත්වීමේ අවශ්‍යතාව ජාතික ජන බලවේගය එක්සත් ජනපද තානාපතිනියගේ අවධානයට ලක්කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමුකොට තිබේ.
පසුගිය සතියේ පැවැති අපූරු ජනාධිපතිවරණ සමීක්ෂණයක් පිළිබඳවද ආරංචියක් අප වෙත ලැබුණි. පොහොට්ටුවෙන් නිල නොවන අපේක්ෂකයා වී සිටින ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම සමීක්ෂණය මෙහෙයවා ඇතැයි කියැවේ. ඉලක්කම් සමඟ ගනුදෙනුව ප්‍රියකරන ධම්මික පෙරේරා පොහොට්ටුවේ කිහිප කිහිපදෙනකුද හවුල් කොටගෙන මෙම සමීක්ෂණය පවත්වා ඇත.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ අදහස් විමසීමක් සිදුකිරීමට ඔවුන් මෙහිදී කටයුතු කර ඇත.
එය ඔවුන් සිදුකර ඇත්තේ අපූරු ක්රමයකටය, සමීක්ෂකයන් ලෙස තෝරාගත් පිරිසක් කොළඹ විවිධ ප්‍රදේශවලට ඔවුන් පිටත්කර තිබේ. පිරිසක් විවිධ ප්‍රදේශවලින් ත්‍රීරෝද රථවලට ගොඩ වී ගමන් බිමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ අදහස් විමසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරණයට නව චරිතයක් අවශ්‍ය බවට බොහෝ දෙනකු කී නිසාවෙන් ධම්මික ඇතුළු පිරිස සිටියේ සමීක්ෂණය පිළිබඳ සතුටිනි. කෙසේ වෙතත් පිරිසක් අලුත් චරිතයක අවශ්‍යතාවය පැහැදිලිකරන අතරේ ඇතැමුන් සජබ සහ ජාජබ පිළිබඳවද කතාකොට තිබුණි.
I චමිඳු නිසල් ද සිල්වා