2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ඇමැති මාරුවෙන් පොහොට්ටුව ඇවි‍ළෙයි

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 238

කාලගුණයේ ඇත්තෝ එතැයි එතැයි කියූ මහා චණ්ඩ මාරුතයක් සැර බාලකොට සංවහන වැස්සක් සේ ඇදහැලුණු පරිද්දෙන් ඇමැතිකම් මාරුවද ඉකුත් සතියේ සිදු වූයේය. එය කිසිසේත්ම අපේක්ෂා කළ කැබිනට් සංශෝධනය නොවීය. මේ අතර සජබ ලැයිස්තුගත පිරිසක් හොරගල් අහුලමින් සිටියේ හිස්වන්නට යන බව කියන පුටු වෙනුවෙනි. කවරක් වෙතත් ඉකුත් සතියේ ලාංකීය දේශපාලන රසායනයේ සැලකිය යුතු වෙනසක් සිදුවී තිබුණි.

කැබිනට් සංශෝධනය පිළිබඳ කතාබහ පැවැතියේ දීර්ඝ කාලයක සිටය. පොහොට්ටුව ජනපතිට නම් ලැයිස්තුවක් දී තිබුණේ තම ජ්‍යෙෂ්ඨයන්ට ඇමතිකම් ඕනෑ බව පවසමිනි. එහිදී ජනාධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට මැලිවිය. නොයෙක් වර සිදුකර ඉල්ලීම් අවසානයේ බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ ජනපති සමඟ කැබිනට් සංශෝධනය පිළිබඳ කතාබහ කිරීම නවතා දැමූහ.

ඉකුත්දා නසීර් අහමඩ්හට පරිසර අමාත්‍ය ධුරය අහිමි වූයේ මේ අතරය. අමාත්‍ය ධූරයක් හිස්විය. ඒ සඳහාද නව ඇමැතිවරයකු පත් නොකළ ජනපති එම විෂය තමන් වෙතම පවරා ගත්තේය. ඊට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධව මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වයද ජනපතිගේ මූලිකත්වයෙන් කළමනාකරණය කර ගැනීමට හැකිව තිබුණි. කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමැතිකම පිළිබඳ යම් දේශපාලන කසුකුසුවක් නිර්මාණය විය.

මේ අතර වාරයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය භාරව සිටි රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ විෂය කාර්යයක් පිළිබඳ කැබිනට්ටුවේ යම් සංවාදයක්ද ඇති වූයේය.

''ආණ්ඩුවට පවරා ගෙන පෞද්ගලික ආයෝජකයන්ට ලබාදුන්, සීනි කම්හල් නැවත මුල් ආයෝජකයන්ට පවරන්න ඕනෑ.'' ඉදිරිපත් වී තිබුණේ මෙවන් යෝජනාවකි.

''දැන් මේවා හොඳට කරගෙන යනවා. ඒ නිසා මේ පැවරීමට මම විරුද්ධයි.''

මෙම යෝජනාව සම්බන්ධව රමේෂ් පතිරණ අමාත්‍යවරයා දිගින් දිගටම විරෝධය පාමින් සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇතැමුන්ට අවශ්‍ය වී තිබුණේ පැරණි අයිතිකරුවන්ටම මෙම ආයතන නැවත පැවරීමටයි. පැරණි අයිතිකරුවන් අතරේ දයා ගමගේ හැරී ජයවර්ධන ආදීන්ගේද නම් කියැවුණි. මෙවර කැබිනට් සංශෝධනය පිළිබඳ කතාබහ නිර්මාණය වූයේ මේ අතර කාලයේදීය.

''ඔබ වෛද්‍යවරයෙක්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්න. මේ අමාත්‍යංශය ඔබට හොඳින් කරන්න පුළුවන්.''

සෞඛ්‍ය අමාත්‍යාංශය භාර බාරගන්නා ලෙසට නොයෙක්වර ඉල්ලීම් අමාත්‍ය රමේෂ් පතිරණ වෙත ගලා ආවේය.

''මට බෑ ඕක කරන්න. වෛද්‍යවරුත් මාත් එක්ක තරහ වෙයි. මේක පාලනය කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා.'' දිගින් දිගටම තමන් වෙත ඉදිරි වූ මෙවන් ඉල්ලීම් අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

ආණ්ඩුවේ කිසිදු චෝදනාවක් නැති අමාත්‍යවරයකු ලෙස සලකන රමේෂ් පතිරණ මහතාට අවසානයේ ජනාධිපතිවරයාගෙන් බලවත් ඉල්ලීමක් ලැබුණි.

''ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. මේ වගකීම මේ වෙලාවේ වෙන කෙනකුට පවරන්න බෑ. මේ අමාත්‍ය ධූරය බාරගන්න.''

''එහෙනම් ජනාධිපතිතුමා, වැවිලි කර්මාන්ත විෂය මට ඉතුරු කරලා කර්මාන්ත විෂය වෙන කෙනකුට දෙන්න.''

දීර්ඝ සංවාද කෙළවර අවසානයේදී අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගැනීමට එකඟ වූයේය. ගාල්ල දිස්ත්‍රික්කය වැවිලි කර්මාන්තය විශේෂයෙහි වැදගත් දිස්ත්‍රික්කයක් වූයෙන් අමාත්‍යවරයා එම විෂය තමන් සන්තකව පවත්වා ගන්නට තීරණය කොට තිබුණි.

කෙසේ වෙතත් ඇමැති දිවුරුම් දීමට පෙර දා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට ආරංචි වූයේ වැවිලි කර්මාන්ත විෂය මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙත ලබාදීමට සූදානමක් ඇති බවකි. පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ජනාධිපති ලේකම් කාර්යාලය අමතා ඇත්තේ ඒ අනුවයි.

''අපිට මෙහෙම ආරංචියක් ලැබිලා තිබෙනවා. අපි කැමති නෑ අපේ කෙනකුට තියෙන විෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍යවරයකුට පවරනවාට. කරුණාකරලා අපේ කෙනෙක්ට දෙන්න.''

නිශ්චිත පිළිතුරක් නොවූවත් ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකරන සඳහන්ව තිබේ. එහෙත් පසුදා ආරංචිය සැබෑවිය. වැවිලි කර්මාන්ත විෂය මහින්ද අමරවීර අමාත්‍යවරයාට පැවරුණු අතර එහි කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම, රංජිත් සියඹලාපිටිය දිවුරුම් දුන්නේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන බලතුලනය වෙනස්වීම පිළිබඳ කලබලයක්ද මේ අතර ඇතිවිය. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ ඔහුගේ පුත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, රංජිත් සියඹලාපිටියගේ පත්වීම පිළිබඳ කලබල වූහ.
පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වූ කනක හේරත්ට ඉහළින් කැබිනට් නොවන අමාත්‍යවරයකු වන රංජිත් සියඹලාපිටිය ධූරාවලි ගතවීම ඊට හේතුව විය. ආණ්ඩුකාර මහීපාල හේරත් ජනපතිද අමතා කරුණු පැහැදිලි කර ඇතැයි කියැවේ.

''ඇයි ජනාධිපතිතුමා අපට අපට මෙහෙම කරන්නේ..''

''නෑ නෑ එහෙම එකක් නෑ. මේක රාජකාරිමය අවශ්‍යතාවයක් නිසා සිද්ධවුණු දෙයක්..''

ජනපති තත්ත්වය සමනය කළේය. කෙසේ වෙතත් බලතුලනය සම්බන්ධ වෙනස්කම් නිසා පොහොට්ටුව බොහෝ සෙයින් කලකිරීමට පත්ව සිටියේය. පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාර්යවසම් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කීවේ මෙවන් කතාවකි.

''කෙසේ වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව අපි දැනුවත් කළා. මොකද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5දෙනයි ඉන්නේ. නමුත් මෙතැනිනුත් ඇමති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය ඇමති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු නෑ...''
මේ අතර පියවරක් ඉදිරියට තබමින් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද මෙම සංවාදයට එක්විය.

“එතුමා තේරුම් ගත යුතුයි, පරිණත දේශපාලනඥයෙක් විදිහට සන්ධාන දේශපාලනය කරන කොට ඒ සන්ධානය එක්ක සමගියෙන්, සාකච්ඡාවෙන් ගනුදෙනු කරන්න.”

ආණ්ඩුවේ නරක පොදුජන පෙරමුණටත් හොඳ තවත් පාර්ශ්වයකටත් යාම අනුමත කළ නොහැකි බව ඔහු කීවේය.

මේ අතර ඉදිරියේ අයවැය ඡන්ද විමසීම් අතරේදී අමාත්‍යාංශය කිහිපයක වැය ශීර්ෂ සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටීමට පොහොට්ටුව තීරණය කර ඇතැයි ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව අමාත්‍යවරු පස්දෙනෙකුගේ වැය ශීර්ෂ අභියෝගයට ලක්වනු ඇත. කෙසේ වෙතත් ආරක්ෂක, මුදල් ආදී ජනාධිපතිවරයාට අයත් වැයශීර්ෂ ජයග්‍රහණය කරවීමට පොහොට්ටුව දායක වනු ඇත.

මේ අතර පසුගිය සතියේ ඩයනා ගමගේ ගැටුම සම්බන්ධව සොයා බැලීමට පත්කළ කමිටුව පාර්ලිමේන්තුවේදී රුස්වූහ. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ඉමිටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක යන මැති ඇමැතිවරු සහ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න ඇතුළු පිරිසකගෙන් මෙම කණ්ඩායම සමන්විත විය.

ගැටුමේ සීසීටීවී දර්ශන ඇතුළු සියලු වීඩියෝ දසුන් නැරඹූ කමිටුව තීන්දු කළේ මෙහි පළමු සාක්ෂියට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත කැඳවීමටයි. ඒ අනුව එම සාක්ෂිය විමසීමෙන් අනතුරුව ගැටුමට සම්බන්ධ වූ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන අය වෙන වෙනම කැඳවා කමිටුව කරුණු විමසීම සිදුකර තිබේ.

මේ අතර වැලිකඩ සහ මිරිහාන පොලිසිවලටද මෙම සිදුවීමට සම්බන්ධ දෙපාර්ශ්වය වෙන වෙනම පැමිණිලි කොට තිබේ. කතානායකවරයාට එම පොලිස් පරීක්ෂණ ස්වාධීනව පවත්වාගෙන යන ලෙසටත්, මෙම කමිටුවෙන් එම පරීක්ෂණ සඳහා බාධාවක් සිදු නොකරන බවටත් ලිපියක් මගින් දන්වා ඇතැයි කියැවේ.

පාර්ලිමේන්තුවේ ප්‍රතිරෑපයට හානිකරන මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමේ අරමුණෙන්, වරදකරුවන් කවුරුන් වුවද ඔවුනට එරෙහිව දැඩිව ක්‍රියාමාර්ග ගැනීමට මෙම කමිටුව තීරණය කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ මැතිවරණය උණුසුම දැනීමත් සමඟ මෙතෙක් කල් පමාවෙමින් පැවති තීරණාත්මක දේශපාලන සිදුවීමක් පසුගිය බ්‍රහස්පතින්දා කොළඹදී සිදුවිය. වසරකට අධික කාලයක් එක් තැනක හමුනොවූ රාජපක්ෂ සොහොයුරෝ කුඩා කාමරයක රුස්ව රහසිගත සාකච්ඡාවකට එක්වූහ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන අය මෙලෙස හමුවී සාකච්ඡා කොට ඇතැයි කියැවේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය නව නිවෙසක් තනා ගෙට ගෙවැදුනදා මෙම හමුව පවත්වා තිබේ. පැය එකහමාරක පමණ කාලයක් වෙනත් කිසිවකුගේ සහභාගීත්වයෙන් තොරව රාජපක්ෂ සොහොයුරන් සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග තහවුරු කරයි. මෙහිදී දේශපාලනය සාකච්ඡා වී ඇති බව පැහැදිලි නමුත් සාකච්ඡා වූ කරුණු කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

ආණ්ඩුවේ අභ්‍යන්තර සංදර්ශන සැණකෙළි අතරේ විපක්ෂය අභ්‍යන්තරයේද නොයෙක් දෑ සිදුවෙමින් පැවතුණි. තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය සිකුරාදා දක්වා කල්ගියෙන් සජබ අභ්‍යන්තරයේ නොයෙක් කතා නිර්මාණය විය.

ස.ජ.බ මන්ත්‍රීවරුන් වන මනූෂ සහ හරීන්ගේ මන්ත්‍රීධූර අහෝසි වුවහොත් පත්වීම් ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳ කතාබහක් නිර්මාණය වී තිබුණි. දේශපාලන ආරංචි මාර්ග අනුව පැතිර යමින් තිබුණේ මෙවන් කතාවකි.

''මුජිබර් රහුමාන්ට එක ආසනයක් යන එක නම් ෂුවර්.''

කෙසේ වෙතත් එතරම් පහසුවෙන් හරීන්ව සහ මනූෂව ඉවත් කරගත නොහැකි වෙතැයි සජබ ඇතැමෙක් කීය.

''ජනාධිපතිතුමා වැඩේ ලේසියෙන් අතාරින එකක් නෑ.''

මේ අතර පසුගියදා සමගි ජනබලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමද පැවැත්වුණි. පක්ෂය හැර ගිය පිරිස් පිළිබඳ ගැටලුව එහිදී මතුව ආවේය.

ප්‍රශ්නය නැගුණේ සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙතය.

''හරීන්ටයි මනූෂටයි ඩයනටයි විරුද්ධව දැනට මොනාද අරගෙන තියෙන ක්‍රියාමාර්ග.''

ආරංචි මාර්ග පවසන පරිදි මෙම ප්‍රශ්න හමුවේ ලේකම්වරයා වර්තමාන තත්ත්වය පැහැදිලි කොට තිබේ.

''ඒ තුන්දෙනාටම විරුද්ධව පක්ෂය විනය පරීක්ෂණ පැවැත්වූවා. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා තියෙන්නේ. පක්ෂය ඒ ගැන පාර්ලිමේන්තු ලේකම්ටත්, මැතිවරණ කොමිසමට දන්වලා තියෙනවා.''

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් දැන් අධිකරණය හමුවට ගොස් ඇත්තේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමත් සමඟ සිය මන්ත්‍රී ධුරය අහෝසි වීම වළක්වා ගැනීමටය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීමේදී මහ ලේකම්වරයා වෙත මෙම ගැටලුව පිළිබඳ තවත් ප්‍රශ්නයක් ඉදිරිපත්ව ඇත.

''එතකොට තවත් කට්ටිය ඉන්නවා නේද? ඒ අයට මොකද කරන්නේ...''

''ෆවුසිගෙ පක්ෂ සාමාජිකත්වය දැන් තහනම් කරලා තියෙනවා. අරවින්ද කුමාර් සම්බන්ධව විනය බලතල තියෙන්නෙ ඒ අයගේ පක්ෂයට. දැන් එයාලා විනය ක්‍රියාමාර්ග කරගෙන යනවා. වඩිවේල් සුරේෂ් සම්බන්ධවත් විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කරල තියෙනවා.''

මේ අනුව සමගි ජනබලවේගය ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ තහනමත් සමඟ මෙම පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අභියෝගයකට ලක්වනු ඇති බවයි. සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුවද පසුගිය සතියේ රුස්වුණි. සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සජබ සභාපති ධූරයද දරා සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළිබඳව මෙහිදී කථාබහට ලක්ව ඇතැයි කියැවේ.

''සරත් ෆොන්සේකා මේ එක එක තැන්වල පක්ෂයට විරුද්ධව, නායකයාට විරුද්ධව එක එක දේවල් කතා කරනවා. මේකට මොකද කරන්නේ...''

''එහෙනම් මහ ලේකම්තුමාත් එක්ක ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායමක් ගිහිල්ලා සරත් ෆොන්සේකාත් එක්ක මේ පිළිබඳ කතා කරන්න''

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම උපදෙස් අනුව පසුගිය සතියේ දිනක සමගි ජනබලවේගය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමඟ සාකච්ඡා කොට ඇතැයි කියවේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ සිදුවූ කතාබහ පිළිබඳ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැත.

එහෙත් මේ වනවිට සමගි ජනබලවේගයේ අභ්‍යන්තරය සරත් ෆොන්සේකා මහතා පිළිබඳ දැඩි විවේචන පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

''එයා මේ විදියට කතා කරනවා නම් මොකටද සභාපතිකම තියාගෙන ඉන්නේ. අයින් කරන්න ඕනෑ...''

ඒ අනුව නුදුරේදීම සරත් ෆොන්සේකා මහතා සහ සජබ අතර ප්‍රබල ගැටුමක් ඇතිවිය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් සංශෝධනය පිළිබඳ විපක්ෂයේ සේම ආණ්ඩුවේද විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරමින් සිටියේය. ඒ අතරින් ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ ලංසා ප්‍රමුඛ සන්ධානයයි. කැබිනට් සංශෝධනය කරමින් ජනාධිපතිතුමා නිවැරදි දේ සිදුකළ බවත් එතුමා සමඟ වැඩකිරීමට පොහොට්ටු පාර්ශ්වයට නොහැකි නම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කර මැතිවරණයකට යා හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඉකුත්දා පැවසීය.

''සෞඛ්‍ය අමාත්‍යධූරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ජාවකින් පසුවයි සිදුවෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුණ එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශවලට වැඩ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්.''

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00