2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

දීපාවලී පාටියේදී විපක්ෂ පොදු සන්ධානයකට සාකච්ඡා

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 246

ගැජට් බැජට් පටි තද කරගෙන, එනතුරු බලා සිටි බජට් බබා ආවා නාවා ගාණය. යකා හිතූ තරම් කළු නොවීම ඇතැමුන්ගේ සතුටට ද තවත් පිරිසකගේ සැකයට ද හේතු විය. නඩු තීන්දු ද හෝන්දුමාන්දු ස්වරෑපය අකා මකා දැම්මේය. පාර්ලිමේන්තු කතා සාජ්ජයේ නිමිත්ත අයවැයම විය. ක්‍රිකට් නිසා ඇතිවූ මහා කම්පනයේ පසුකම්පන තත්ත්වයන් වාර්තා වූයේ මාපාංක අගය අඩු කොටය.

දීපාවලි දා විපක්ෂයේ ලොක්කන් පිරිවරා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් එකේ පාටිය දමා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන්ය. දීපාවලි උත්සවය නිමිති කොටගෙන විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සඳහා ජාතික කම්කරු සංගමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් විසින් මෙම සාදය පවත්වා තිබුණි.

මෙම සාදය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, එස්.එම්. මරික්කාර්, චරිත හේරත්, දයාසිරි ජයසේකර, අර්ජුන රණතුංග, රිෂාඩ් බදුයුදීන්, රාවුෆ් හකීම්, උදයකුමාර්, වේලුකුමාර් ආදී දේශපාලන චරිත රැසක් එක්ව සිටියහ. දීපාවලි සාදය වැදගත් වූයේ මෙම ප්‍රබල විපක්ෂ දේශපාලන චරිතවල සහභාගිත්වය හේතුවෙනි.

ඉදිරි දේශපාලන තත්ත්වය සහ මැතිවරණ පිළිබඳ පුළුල් සාකච්ඡාවකට මෙහිදී අවකාශය උදා විය.

“ඉස්සරහට එන්නේ මොන මැතිවරණයද?”

“මොන මැතිවරණය ආවත් අපි ලෑස්ති වෙන්න ඕනෑ."

“අපේ විපක්ෂ පොදු සංවිධානය හරියට හදාගන්න ඕනෑ. ඒ හරහා තමා අපට ජයග්‍රහණය ලබාගන්න පුළුවන්."

මෙවැනි අදහස් හුවමාරු වීමෙන් ඇරඹුණු මෙම සංවාදය විපක්ෂ සන්ධානය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් බවට පත්වූයේ නිරායාසයෙනි. ඒ සඳහා ප්‍රමුඛ වන විපක්ෂ දේශපාලන කඳවුරුවල නායකයන් සියල්ලන්ම පාහේ මෙහි රුඳී සිටීම සුවිශේෂී විය.

“විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත් කරන්න ඕනෑ."

මෙහිදී මෙම යෝජනාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී සන්ධාන අපේක්ෂකයන් තෝරාගැනීමේ යාන්ත්‍රණය පිළිබඳව ද යම් යම් අදහස් මෙහිදී හුවමාරු කර ගැනීමට විපක්ෂ දේශපාලකයන් කටයුතු කර ඇත.

විවිධ තැන්වල විවිධ පාර්ශ්ව සමඟ සිදු කරන සාකච්ඡා එකම තැනකට පැමිණීම සමගි ජන බලවේගයේ ජයග්‍රහණයක් සේ සැලකීය. 

“එහෙනම් අපි ඔක්කොම එකතුවෙලා ඉදිරි දවසක කතා කරමු."

මේ අතර පසුගිය සතියේ නැවතත් ඇමැති සංශෝධනයක් පිළිබඳ කතාවක් දේශපාලන කරළියේ පැතිර ගොස් තිබුණි. වරින් වර පැතිර යන මෙවැනි කතා විශ්වාස කිරීමට අපහසු බව ඇතම්හු කීහ. කෙසේ වෙතත් පොහොට්ටුවේ පස්දෙනකු මෙම නව අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් පෙළගැසී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

“අනිවාර්යයෙන්ම ක්‍රීඩා අමාත්‍ය ධූරය නම් මාරු වෙනවා."

පැතිර ගිය ආරංචිය පිළිබඳව තතු දත්තෝ කැට තබා කීහ. රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුද විෂය මාරුවීම් පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන බව පෙනී ගියේය. වරදාන වරප්‍රසාද සේම ලේකම් ගැටලුව හේතුවෙන් ද රාජ්‍ය ඇමැතිවරු කලකිරී සිටියහ.
පසුගියදා පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහජන චීනය බලා පිටත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට අනුවය. දකුණු ආසියාවේ දේශපාලන පක්ෂවල ප්‍රධානීන් වෙත මෙම ආරාධනාව ලැබී තිබුණේ චීනය පිළිබඳ අධ්‍යයන චාරිකාවක් වෙනුවෙනි. 

ඒ අනුව මෙම පිරිස කුන්-මින් පළාතේ බව්ශාන් නම් දිස්ත්‍රික්කයේ චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන නායකයන් සමඟ සංචාරයකට එක්වූහ. මෙම ගමන අතරේදී සාගර කාරියවසම් මහතාගේ උපන්දිනය ද යෙදී තිබුණි. 

“මෙහෙ කවුරුත් ඒක දන්නෙ නෑ. මගේ පාඩුවේ ඉන්නවා."

සිය උපන්දිනය පිළිබඳ අනෙක් පිරිසට ලොකු හැඟීමක් නැති බව දත් මන්ත්‍රීවරයා නිහඬව සුපුරුදු වැඩ රාජකාරි කරමින් සිටියේය.

එහෙත් එදින පැවති සම්මන්ත්‍රණයක් අතරේදී හිටිහැටියේම ශාලාවේ විදුලි පහන් නිවා දැමීමට සංවිධායකයෝ කටයුතු කළහ. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාන්ත ප්‍රධානියා නැවත විදුලි පහන් දල්වන අතරේ ඉදිරියට පැමිණියේ උපන්දින කේක් ගෙඩියක් ද අතැතිවය.

සාගර කාරියවසම් මෙම සිදුවීම පිළිබඳ මවිතයට පත්ව සිටියේය. 

“අද ඔයාගේ උපන්දිනය නේද? අපි කේක් කපමු."

ප්‍රාන්ත නායකයා සාගර කාරියවසම් වෙත යෝජනා කළේය.

“කොහොමද අද මගේ උපන්දිනය කියලා දන්නේ?"
“අපි ඔබතුමාලා පිළිබඳ ඔක්කොම විස්තර දන්නවා."

මෙම සංවාදය අවසානයේ කේක් කැපූ සාගර කාරියවසම් ලංකාවේ පුරුද්දට චීන ජාතිකයන්ට කේක් කැවීමට සූදානම් විය. එහෙත් එය ඔවුනට එතරම් හුරුපුරුදු අත්දැකීමක් නොවුණි. පසුව ලංකාවේ උපන්දින සමරන ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් චීනුන්ට කේක් කවා සාගර කාරියවසම් සිය උපන්දිනය චීනයේදී සැමරුවේය.

තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගොනු කරන ලද පෙත්සම සලකා බැලීම පසුගිය සතියේ සිදුවිය.
මෙහිදී පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඇයගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. තම සේවාදායිකාව නෙරපීමට පෙර ඇයට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු කර නොමැති බවත් එබැවින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා තිබුණි. 

ඒ අනුව මෙම ඉල්ලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා බැලිණි. නීතිඥවරුන් විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත් කරන බව එහිදී දන්වා තිබුණි.

කෙසේ වෙතත් පසුගිය සතියේ කාගේත් අවධානය දිනාගත් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ ප්‍රකාශයට පත්වූ නඩු තීන්දුවයි. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබූ අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ මෙලෙස ප්‍රකාශයට පත්කොට තිබුණි. මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන අය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ  හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී වගඋත්තරකරුවන් මේ සම්බන්ධයෙන් වගකිව යුතු වුවත් ඔවුනට වන්දි මුදල් නියම කිරීම සිදු නොකරන බවද ඒ වෙනුවට පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් නඩු ගාස්තු පමණක් ගෙවීමට නියෝගයක් නිකුත් කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

මේ තීන්දුව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ අදහස මුල් පිටුවේ පළවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මේ පිළිබඳ අදහස් දක්වා තිබුණි. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ප්‍රකාශිත සිද්ධිය ගැඹුරින් සොයාබැලිය හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් බව ඔහු පැවසීය.

''මේ ආර්ථික අර්බුදය ගැන දීර්ඝ වශයෙන් හා ගැඹුරින් සාකච්ඡා කරනවා නම් සුදුසුම තැන වන්නේ, පාර්ලිමේන්තුවයි. මූල්‍ය බලතල නීති සම්පාදනය, නීති පැනවීම හා නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව වන අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මේ ආර්ථික අර්බුදය පිළිබඳව සොයා බැලීමට දැනටමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබෙනවා.''

මේ අතර පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා සංවිධානය විය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය පිළිබඳව සහ අය අයවැය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි.
''මේක විශේෂ සාකච්ඡාවක්. පක්ෂ සමුළුව පිළිබඳව සාකච්ඡා කළා. දෙසැම්බර් පහළොස් වැනිදා අපේ සම්මේලනය පැවැත්වෙනවා.''

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය විමසීමේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එලෙස සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී පොහොට්ටු සම්මේලනය සුවිශේෂී අයුරකින්ම සංවිධානය කළයුතු බවද සාකච්ඡා වී ඇතැයි කියැවේ. ඒ අනුව සිය පක්ෂයේ බලය නැවත රටට පෙන්වීම මෙම සම්මේලනයේ හරහා සිදුවනු ඇතැයි පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කරයි. ආරංචි මාර්ග සඳහන් කර පරිදි අයවැය සම්බන්ධව මධ්‍යස්ථ මත දැක්වීමක් සිදුකළ යුතු බව පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රීවරුන් සඳහන් කොට ඇතැයි කියැවෙයි.

අයවැයට පූර්ණ වශයෙන් ආවැඩීම සිදුනොකළ යුතු බව පොහොට්ටුව ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා නිර්මාණය වී තිබුණු බවද දේශපාලන ආරංචි අනුව කියැවේ. කෙසේ වෙතත් පසුගිය සතියේ පාර්ලිමේන්තුව උණුසුම් වූයේ අයවැය විවාදයත් සමගිනි. ඒ අනුව අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවර අයවැය වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූලව නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක් බවත් සවිමත් අනාගතයක පෙරවදනක් බවත්ය. මැතිවරණ ජයග්‍රහණයට වඩා තමාට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණය බවත් මේ අයවැය රටේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අයවැයක් බවත් ජනපති මෙහිදී සඳහන් කළේය.

මේ අනුව පසුගිය පාර්ලිමේන්තු සතියේදී අයවැය පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු විවිධාකාර අදහස් ඉදිරිපත් කළෝය.

ඒ අනුව ආණ්ඩුව 2023 වසරේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ඉටුකිරීම අන්ත දුර්වල තත්ත්වයක පවතින බවත් අයවැය යෝජනා අධීක්ෂණය සඳහා කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරන බවට ප්‍රකාශ කළද එය මෙතෙක් ඉටු වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

''බදු පරිපාලනය මීට වැඩිය කාර්යක්ෂම විය යුතුයි. බදු පැහැර හැරීම කරන කණ්ඩායම බදු දැලට ගේන්න අවශ්‍යයි. අහිංසක ජනතාව මත හැමදාම බදු වැඩි කරන්න හොඳ නැහැ. මේවා කියන්න අපි බයවෙන්නේ නැහැ. මේවා තමයි තිත්ත ඇත්ත. බදු සහන ලබාදීම පිළිබඳ මීට වඩා රටට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ලබාදිය යුතුයි. මේ ආණ්ඩුවට ඇත්තටම ආර්ථික විද්‍යාව ගැන නම් දැනුමක් නැහැ.''

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අයවැය පිළිබඳ ප්‍රකාශයද කැපී පෙනුණි. අයවැය සම්බන්ධව ඔහු තරම්ම විවේචනාත්මක අදහස් පළ කිරීමට දෙතුන් විටක්ම කටයුතු කළේය.

''බැලූ බැල්මට බොහෝ කාරණා එතුමා ගියවර අයවැය තුළිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නැති බවක් පේනවා. ඉතින් නැවත වතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද? නැද්ද? කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සීමාවෙන අයවැය ප්‍රකාශනයක්ද කියන කාරණය.''

අයවැය විවාදය අතරේදී පාර්ලිමේන්තු ලොබිය තුළදී සිදුවූ අපූරු සිදුවීමක්ද පාර්ලිමේන්තු ආරංචි  ඔස්සේ දැනගැනීමට ලැබුණි. අයවැය විවාදය අතරේදී ජනපති විපක්ෂ ලොබියට පැමිණ සිටියේය. විපක්ෂ මන්ත්‍රීවරුන් සමග කතාබහක නිරත වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටින අතරේ, ඒ අතරින් ගමන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතායි.

''ආ.... සර්, කොහොමද සර්?''

අතරමග නැවතී හෙක්ටර් අප්පුහාමි ජනපති සමඟ කෙටි සංවාදයක නිරත විය. මේ අතර ඔහු අපූරු කතාවක් කීවේය.

''ඔබතුමා ඉතින් විපක්ෂයටම තමා කැමති නේද?''

මේ ඇසූ ජනපති මහ හඬින් සිනහ සී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපතිගේ විපක්ෂයට ඇති කැමැත්ත පිළිබඳ අපූරු කතාබහක් මෙහිදී නිර්මාණය වී ඇතැයි කියැවේ.

මේ දිනවල පාර්ලිමේන්තුවේ තරුවක් බවට පත්ව සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තමන්ට හමුවන සියලු මන්ත්‍රීවරුන් සමඟ කුළුපග කතාබහක නිරත වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කතාබහ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර කසුකුසුවක් නිර්මාණය වී තිබේ.

''එතුමාට රාජ යෝගයක් තියනවාලු නේද?''

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ දිනවල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය එනතුරු බලාසිටින බව කියැවේ. එසේම අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුවට පැනවූ අතුරු තහනම් කාලයද මේ වන විට අවසන් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අතුරු කමිටුව පණ ගැන්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා උත්සාහ නොදරන බව කියැවේ. කෙසේ වෙතත් ක්‍රිකට් ගැටලුව මධ්‍යස්ථ තැනකට පැමිණ විසඳාගත යුතු බව ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන් සියලු පාර්ශ්ව වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ග තහවුරු කරයි.

I චමිඳු නිසල් ද සිල්වා