විලම්භීත දේශපාලනයේ ක්‍රිකට් ජවනිකාවේ අවසානය සනිටුහන් විය. ගහ මරා ගැනීම්, බැණ අඬගසා ගැනීම් කෙළවරකට පොලිස්පති කතාවද පැමිණ තිබුණි. ඒ අනුව ගෙවී ගියේ තීරණාත්මක සතියකි. එහෙත් සියලු ජවනිකා අවසානයේ තවත් ජවනිකාවකට නළුවෝ සැදී පැහැදී සිටියහ.
රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා තනතුරෙන් නෙරපීම පිටුපස සැඟවුණු කතා කිහිපයක් තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු අමාත්‍යවරයා සිය පාර්ලිමේන්තු කතාවේදී ජනාධිපතිවරයාටත් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාත් පිළිබඳ දැක්වූ අදහස් පිළිබඳ උදහස් වීම මේ තීන්දුවට බලපෑ බව කියැවුණි.
''මගේ ජීවිතයටත් අනතුරක් වෙන්න පුළුවන් මේ අයගෙන්....''
මෙම ප්‍රකාශයත් සමඟම රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා තවදුරටත් කැබිනට්ටුවේ තබාගැනීම ගැටලුවක් වූ බව අදාළ පාර්ශ්ව ආරංචි මාර්ග සඳහන් කළේය. රොෂාන් රණසිංහ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව වඩාත් ප්‍රබල ලෙස හඬ නගන්නට වූයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා පසුව මාධ්‍ය නිවේදනයක් පවා මේ පිළිබඳව නිකුත් කළේය.
''රොෂාන් රණසිංහ මහතාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව අප සියලුදෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.''
ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම් වැනි විපක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතද රොෂාන් රණසිංහට සහාය පළකරමින් කතා කළහ.
මේ අතර රොෂාන් රණසිංහ අමාත්‍ය ධූරය දරන සමයේ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමේ අරමුණ සහිතව විපක්ෂනායක කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා සහභාගි වී ඇතැයි ආරංචි මාර්ග වාර්තාකොට තිබුණි.
''අපිට ක්‍රිකට් තහනම ඉවත් කරගන්න. ජේ. ෂාගේ සහයෝගය අරගෙන දෙන්න...''
විපක්ෂ නායකවරයාගේද සහාය ඇතිව ඉන්දීය තානාපති කාර්යාලය අමතා රොෂාන් රණසිංහ පාර්ශ්වයෙන් මෙවන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව ඒ අනුව වාර්තා විය. ඉන්දීය තානාපති කාර්යාලය ඔස්සේම මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇතැයි කියැවේ. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අවසන් වරට සහභාගී වූ කැබිනට් හමුවේදී ජනපති ඔහුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කර ඇතැයි කියැවේ.
''ඔයා මේ වගේ දෙයක් කරන්න ගියාද?''
ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සඳහන් වන්නේ එම ප්‍රශ්නවලට නිසි පිළිතුරු රොෂාන් රණසිංහ ලබාදී නොමැති බවකි. මීට අමතරව විපක්ෂයට සහයෝගය දැක්වීම, වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස සිය හිතවතුන්ට ඥාතීන්ට ඉඩම් ලබාදීම ආදී චෝදනා රොෂාන් රණසිංහ වෙත එල්ල වූ බව කියැවේ. කෙසේ වෙතත් මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමට අප අපොහොසත්ය.
එහෙත් ක්‍රිකට් අර්බුදය හේතුවෙන් මෙරට දැවෙන ප්‍රශ්න වූ ජීවන වියදම, බාල බෙහෙත් වැනි බොහෝ ගැටලු ප්‍රධාන ධාරාවේ සංවාදයෙන් ඉවත් වූ බව නම් දැන් පැහැදිලි වී තිබේ. අවසානයේ ක්‍රිකට් සහ තම කැබිනට් ඇමැති ධුරය අමාත්‍යවරයාට නැතිව ගොස් තිබේ.
රොෂාන් රණසිංහ අමාත්‍යධූරයෙන් නෙරපීම සමඟම ක්‍රීඩා අමාත්‍ය ධූරය හරීන් ප්‍රනාන්දුටත්, වාරිමාර්ග අමාත්‍ය ධූරය පවිත්‍රා වන්නිආරච්චිටත් හිමිවිය. කෙසේ වෙතත් මේ වනවිට පවතින දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනවාරි මාසයේදී මෙම තනතුරුවල වෙනස්කම් සිදුවිය හැකි බවකි. ඒ අනුව අයවැය සම්මත වනතුරු සමගිය පවත්වා ගෙන යා යුතුමයි යන්න ආණ්ඩුව මෙහෙය වන පිරිස් විශ්වාස කරමින් සිටී.
''ඊළඟට එන්නේ මැතිවරණ වසරක්. අවශ්‍යතා මත සුදුසුම අය අමාත්‍ය මණ්ඩලයේ රඳවා ගන්න ඕනෑ. මේ තනතුරුවල යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්නත් ඕනෑ. ඒත් හදිසි වෙලා බෑ...''
මෙම ආරංචි අනුව එළඹෙන ජනවාරියේදී නැවතත් කැබිනට් පුපුරා යාමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය ධූරය හරීන් ප්‍රනාන්දුට ලැබීමත් සමඟ ආණ්ඩුවේ තවත් ප්‍රබල චරිතයක් තරමක අමනාපයෙන් පසුවන බවටද ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු ලෙස එස්.බී. දිසානායකට ක්‍රීඩා අමාත්‍ය ධූරය ලැබෙනු ඇතැයි බලාපොරොත්තුව සිටි බව ඒ අනුව කියැවේ.
''එස්.බී.ට ක්‍රීඩා ඇමැති ධූරය ලැබෙයි කියලා කියල මම බලාගෙන හිටියා. දැන් ලැබුණේ නැති නිසා සමගි ජන බලවේගය එක්ක රහසේ ගිහිල්ලා සාකච්ඡා කරනවා.'' තහවුරු නොකළ මුත් දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණේ මෙවන් ආරංචියකි.
මේ අතර ඩුබායිහි පැවැත්වීමට නියමිත කොප් 28 ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” වෙත ජනපති විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවන බව දැනගැනීමට ලැබුණි.
තොරතුරු වාර්තා වූ පරිදි දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් මෙරට ඇති කිරීම, දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවට පත්වන තුන්වැනි ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් පිහිටුවීම එම යෝජනා ත්‍රිත්වයයි. ශ්‍රී ලංකා ජනාධිපති වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය තුළ කලක සිට දේශගුණ විපර්යාස විෂයෙහි විශාල අවධානයක් දක්වයි. එම නිසාම මෙය සංධිස්ථානීය සිදුවීමක් වනු ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, පාඨලී චම්පික රණවක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ඇතුළු පහළොස් දෙනකුගෙන් පමණ යුතු දූත පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිති.
පසුගිය සතියේ දේශපාලන කරළිය කැළඹූ අනෙක් සිදුවීම වූයේ පොලිස්පති පත්කිරීම සම්බන්ධ සිදුවීම් පෙළයි. මාස හයකට සේවා දිගුවක් පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනපතිවරයා දීමට සූදානමින් සිටි අතර එය පසුගිය මාස 3කට පෙරළිනි. ව්‍යවස්ථාදායක සභාව තුළ මෙන්ම රටේ තවත් විවිධ ආගමික සහ සමාජ සංස්ථා තුළ මෙය ප්‍රබල ගැටලුවක් විය. මෙම අවස්ථාවේදී මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය බාර ටිරාන් අලස් අමාත්‍යවරයා සිටියේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමිනි.
''සර් අපි අවසාන වතාවට එකඟ වුණා නේද, මේක තුන්වැනි සේවා දිගුවෙන් පස්සේ සුදුසු කෙනකුට දෙනවා කියලා....''
ටිරාන් අලස් රාජ්‍ය අමාත්‍යවරයා ජනපති හමුවේ කරුණු දක්වමින් පැහැදිලි කර තිබේ.
''සර්, පුළුවන් නම් මම එනකම් මොකවත් කරන්න එපා...''
ඒ අනුව ජනපති නැවතත් සති තුනකට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාව මේ පිළිබඳ බරපතළ ගණයේ විරෝධයක් ගොඩනගමින් සිටියේය.
මේ අතර ආරංචිමාර්ග සඳහන් කළේ ආණ්ඩුවේ ඉහළම කන්තෝරුවකට ව්‍යවස්ථාදායක සභාවේ ඉහළම චරිතයක් ගෙන්වා ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් විසින් දෝෂාරෝපණය කර ඇති බවකි.
''බලන්න මේ විදියට ගියොත් අපිට මොනවත් කරගන්න බැහැ...''
මෙවන් කලබගෑනි රැසක් අතරේ පොලිස්පතිවරයාට ලබාදුන් සති තුනක සේවා දිගුවද ඉකුත් සතියේ අවසන් විය. ඒ අනුව ආරංචි මාර්ග සඳහන් කළේ ජනපතිවරයා සහ ඇමැතිවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි.
''සර් ව්‍යවස්ථාදායක සභාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරද්දී මටත් මේක තවදුරටත් අනුමත කිරීමේ හැකියාවක් නැහැ. ඔබතුමා කැමැති තීරණයක් ගන්න...''
අමාත්‍යවරයා වෙතින් පළව ඇත්තේ ඊට සමාන අදහසක් බව එම තොරතුරු වාර්තා සඳහන් කරයි. මෙම වාතාවරණය යටතේ අවසන් තීරණයක් කරා එළඹීමේ දැඩි අවශ්‍යතාවය ජනපති විෂයෙහි පැන නැගී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයා අමතා සඳහන් කොට තිබුණේ වෙනත් කතාවකි.
''ඊළඟට ඔයාට නැවතත් සේවා දිගුවක් ලැබෙනවා. ඒ නිසා සේවය කරන්න සූදානමින් ඉන්න...''
කෙසේ වෙතත් අමාත්‍යවරයා හා ජනපති අතර පැවති සංවාදයෙන් පසු තත්ත්වය වෙනස් විය.
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි ඉහත සාකච්ඡාවෙන් පසු, ජනාධිපති ලේකම් සමන් ඒකනායක නැවත පොලිස්පතිවරයා අමතා මෙවන් දැනුම් දීමක් සිදුකර ඇතැයි කියැවේ.
“ඔබතුමාට කොච්චර කල් අවශ්‍යද සේවයෙන් සමුගන්න. ආචාර පෙළපාලි වගේ කටයුතු රැසක් තියෙනවා."
පොලිස්පතිවරයකුගේ සමුගැනීමේ සම්ප්‍රදාය අනුව සිදුකළ කටයුතු රැසක් වේ. ඒ අනුව ඊට සාමාන්‍ය ක්‍රමය යටතේ යම් කාලයක් වැය වෙයි.
“මට මේ වෙලාවේ ආචාර පෙළපාලි අවශ්‍ය නැහැ. පොලිසිය බොහොම අමාරුවෙන් දුවන්නෙ. දුෂ්කරතා රැසක් තියෙනවා. මේ වෙලාවේ මිනිස්සු ගෙන්නලා, වියදම් කරලා ආචාර පෙළපාලි පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ. ඒකට මම පෞද්ගලිකවම කැමැති නෑ."
අප තොරතුරු වාර්තා අනුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ මෙවන් කතාවකි. කෙසේ වෙතත් මෙහිදී ඔහු ජනාධිපති ලේකම්වරයාගෙන් එක් ඉල්ලීමක් සිදුකොට තිබේ.
“මට ඔය දේවල් නම් එපා. අවශ්‍ය නම් මම අදම ඉවත් වෙන්නම්. පුළුවන් නම් ජනාධිපතිතුමා පෞද්ගලිකව මුණගැහෙන්න වෙලාවක් යොදලා දෙන්න."
පසුව ජනාධිපති ලේකම්වරයා විසින් ජනපති සහ පොලිස්පති අතර මිනිත්තු පහළොවක පමණ සාකච්ඡාවක් සංවිධානය කොට තිබුණි. පොලිසියේ වර්තමාන තත්ත්වය, සිදු කළ යුතු වෙනස්කම් සහ චන්දන වික්‍රමරත්න මහතාගේ අනාගත භූමිකාව පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇතැයි සැලකේ. කෙසේ වෙතත් මෙම පෞද්ගලික සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිත හෙළිදරව්වක් සිදුව නොමැත.
කෙසේ වෙතත් මේ වන විට පැතිර යන ආරංචි අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් ස්ථාපිත කොට එම තනතුර චන්දන වික්‍රමරත්න මහතා හට ලබාදීමට ජනපති සූදානම් වන බව කියැවේ. එහෙත් තවත් ආරංචියකට අනුව කියැවෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ජනාධිපතිගේ අභිමතය පරිදි ඔහුට ලැබෙනු ඇති බවයි.
පසුගිය දිනවල නිමල් ලංසා කණ්ඩායම ද සාකච්ඡා රැසක් පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔවුන් පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද හමුවී ඇතැයි කියැවේ. වර්තමාන දේශපාලන ආර්ථික තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පිටුපස ඇති දේශපාලන වටපිටාව පිළිබඳව ද විවිධ ආරංචි පැතිර යමින් තිබේ.
“පාඨලී දැන් අනුර සමඟ අනෙක් අයට සටන් කරන්න බැරි බව පෙන්නලා, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගන්න උත්සාහ කරනවා."
“ලන්සාගේ ටීම් එක, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් අසරණ වෙනවා. ඒකයි ඔය පාඨලීලත් එක්ක කතා කරන්නෙ."
සැබෑවටම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවනු ඇති බවට අදහසක් දේශපාලන කරළියේ සමහරුන් අතර පැතිර යමින් තිබේ. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස මතු කළේය.
“හූනා කිව්ව වගේ කියන්නම්. රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ආයෙ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. කවුරුහරි හිතාගෙන ඉන්නව නම් එයි කියලා, අනේ පව් කියලා තමා මට කියන්න වෙන්න. එතුමා බලයි මොකක් හරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න."
මේ අතර රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් නෙරපීම සම්බන්ධව පොහොට්ටුව පෙනී නොසිටීම පිළිබඳව ද ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ විශේෂ කතාබහක් නිර්මාණය වී තිබේ.
“පක්ෂයේ කෙනකුට මෙහෙම වුණාම ඇයි පක්ෂය පෙනී ඉන්නෙ නැත්තේ?"
පාර්ලිමේන්තු ලොබියේ දී පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පොහොට්ටු ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගෙන් ප්‍රශ්න කොට ඇත.
“අපි දූෂණයට විරුද්ධයි. ඒකේ ගැටලුවක් නෑ. ක්‍රිකට්වල නෙවෙයි ඕනෑම තැනක වැරුද්දකට විරුද්ධව අපි පෙනී යනවා. රොෂාන් අපේ පක්ෂයෙන් පත්වුණු එක ඇත්ත. ඒත් පහුගිය අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ පක්ෂ මූලස්ථානයටවත් ඇවිල්ල නෑ. පහුගිය දවස්වල පිරිත තියෙන වෙලාවේ පිරිකර වගයක් යවලා තිබුණා. එච්චරයි."
ඒ අනුව සාගර කාරියවසම් සිහිපත් කොට ඇත්තේ පසුගිය කාලයේ රොෂාන් රණසිංහ රාජපක්ෂවරුන් විවේචනය කිරීම, පක්ෂ මැයි දිනයට පරිබාහිරව පොළොන්නරුවේ මැයි දිනයක් සංවිධානය කිරීම, ජනපති තේරීම සඳහා වූ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී වෙනත් කණ්ඩායමක් සකසා ගැනීම ආදී කටයුතු රැසක් සිදු කළ බවකි.
“එයා පාර්ලිමේන්තුවේ ස්වාධීනව ඉන්නවා කියලත් කියල තියෙනවා. මෙහෙම කරපු කෙනෙක් පක්ෂයේ කෙනෙක් විදියට අපි සලකන්නෙ කොහොමද?”
කෙසේ වෙතත් මේ වන විට රොෂාන් රණසිංහ සමගි ජන බලවේගය සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇතිකොටගෙන තිබේ. රට පුරා දූෂණ විරෝධී ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට ඔහු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමඟ එක්ව වැඩ කරන බවද කියැවේ.
ජනපති සිහිනයක් රොෂාන් රණසිංහ හට ඇතැයි කතා ද පැතිර යයි. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අසතුටට හේතු වී ඇත්තේ පැතිර යමින් පවතින සජිත් - ජනපති, රොෂාන් - අගමැති කතාවය.
පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවක් පවත්වා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයක් නොමැතිවය. එහි මුලසුන දරා ඇත්තේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරයි. මේ සඳහා සහභාගී වී ඇත්තේද දහඅට දෙනකුගෙන් පමණ යුතු සුළු පිරිසකි.
“මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය පිළිබඳව නම් සෑහීමකට පත්වෙන්න බැහැ."
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙවන් කතාවක් කියා ඇත්තේ මහ ලේකම්වරයාය. ඉන්පසු පක්ෂ නායකයා නොමැති සභාවේ මන්ත්‍රී කණ්ඩායම සිය කලකිරීම් එළිපිට කියන්නට පටන්ගෙන ඇතැයි කියැවේ.
“කරන්න දෙයක් නෑ ලේකම්තුමා. හැමදාම ගෲප් මීටින් තිබ්බත් කතා කරන්නෙ එකම ටික. ඒකත් ලොක්කා විතරයි. අපි අහගෙන ඉඳල ඉඳලා නැගිටල යනවා."
මාධ්‍ය වාර්තා ද සඳහන් කරන පරිදි එම විරෝධය ගොනු වී ඇත්තේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙනි.
“ගෲප් එකේ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුව පටන්ගත්ත වෙලාවේ ඉඳලා කතා කරන්නේ නායකතුමා විතරයි. දැන් මේක අනෙක් අයට විහිළුවක් වෙලා."
මේ ආදී ප්‍රශ්න මතුවන විට ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ද සඳහන් කර ඇත්තේ නායකතුමා මේ පිළිබඳව දැනුවත් කළ බවකි. එහෙත් ඉන් ප්‍රතිඵලයක් නොවූ බව ඔවුන් සඳහන් කොට තිබේ. වාර්තා වන පරිදි මෙම සංවාදය තරමක් දීර්ඝව පවත්වා තිබේ.
පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වීම, අනවශ්‍ය මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායකවරයා පැටලීම, තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් නොලැබීම ආදී ගැටලු රැසක් මෙහිදී කරළියට පැමිණ තිබේ. කෙසේ වෙතත් කිහිප දෙනකු විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමටද උත්සාහ දරා ඇති බව කියැවේ.
දේශපාලන කරළියේ සඳහන් වන පරිදි සියල්ල අසා සිටි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හට තත්ත්වය බරපතළ වන බව පෙනී ගොස් තිබේ.
“හරි හරි මේ සියල්ල ගැනම මම නායකතුමාව දැනුවත් කරන්නම්."
ඒ අනුව මෙවර සජබ කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ අලුත් අර්බුද රුසකට පාර කපමිනි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ ඇති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයට ගන්නා අතරතුර සිදුවූ සිදුවීමක් පිළිබඳ ආරංචි ලැබී තිබේ.
විවාදය අතර විවේක කාලයේදී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේ මාධ්‍යවේදීන් සමඟ කලකින් සතුටු සාමීචියේ යෙදී තිබේ.
“අගමැතිතුමනි, ඔබතුමාට දුරකථනයෙන් කතා කරන්න උත්සාහ කළා. සම්බන්ධ කරගන්න බැරි වුණා."
මෙහිදී මාධ්‍යවේදියකු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමේ අපහසුතාව පිළිබඳ යම් විමසීමක් කර තිබේ.
“වෙලාවක් දෙකක් තියෙනවා කතා කරන්න පුළුවන්."
යනුවෙන් සඳහන් කරමින් මාධ්‍යවේදීන් තවත් ළඟට කැඳවා අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් තමාට කතා කළ හැකි දවසේ විශේෂ වේලාවන් දෙකක් ගැන සඳහන් කර ඇත්තේ රහසක් කියන අයුරිනි.
“සර්, අගමැති කාර්යාලයේ වියදම 46% කින් අඩු කරපු එක නම් ලොකු ආදර්ශයක්.”
පැමිණ සිටි, විදේශ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු අග්‍රාමාත්‍යවරයා හට පවසා තිබේ.
“ආදර්ශ දෙන්න ඕනෑ ඉහළින්ම නේ, මේ ගැන මම ලේකම්වරු ඇතුළු නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා."
ඒ අනුව ආණ්ඩුවේ බොහෝ දෙනා අග්‍රාමාත්‍යවරයාගේ වියදම් අඩුවීම පිළිබඳ ප්‍රසාදයකින් කතා කළ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දිනවලදී දැඩි ආන්දෝලනයකට හේතු වූ ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර ගැටුම පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුව සිය තීරණය කතානායකවරයා වෙත දැනුම් දී ඇතැයි කියැවේ.
ඒ අනුව බරපතළ විනය කඩකිරීමක් සමඟ පාර්ලිමේන්තුව අප්‍රසාදයට පත් කිරීමට හේතු වූ මෙම සිදුවීමට අදාළ මන්ත්‍රීවරුන්ට මාසයක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. කතානායකවරයා ද පසුගිය සතියේ දේශයට සඳහන් කොට තිබුණේ පාර්ලිමේන්තුව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා අතර, මන්ත්‍රීවරුන්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධව අධිකරණයට වුවද ක්‍රියාමාර්ග ගැනීමට අවකාශය සලසන බවයි.
I චමිඳු නිසල් ද සිල්වා