2017 ජුනි 17 වන සෙනසුරාදා

විග්නේෂ්වරන් විසිවෙයි!

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 412

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකොට දින ගණනාවක් ගත වුවත් අමාත්‍යංශ විෂය කාර්යයන් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ නොකිරීම නිසා රාජ්‍ය අංශයේ බරපතළ ගැටලු ගණනාවක් උද්ගතව තිබිණි. අලුතෙන් පත් කළ එක්තරා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුට තමන්ගෙ රථ වාහවලට ඉන්ධන ලබා ගැනීමේ වියදම් පියවා ගන්නටද නොහැකි විය. ඊට හේතුව විෂය කාර්යයන් ගැසට් නොකර අදාළ වියදම් අනුමත කළ නොහැකි බව අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා දැනුම්දීම නිසාය. මේ නිසා අපහසුවට පත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වහා ජනාධිපතිවරයා මුණගැසී විෂය කාර්යයන් ගැසට් නොකිරීමෙන් අමාත්‍යංශවල වැඩ අඩාල වන බවට මැසිවිලි නැගීය. පමා වෙමින් තිබූ විෂය කාර්ය ගැසට් පත්‍රය ඉක්මණින් නිකුත් කිරීමට මෙම සිද්ධියත් හේතුවූ බව කියැවේ.

කෙසේ හෝ ගිය සති අන්තයේ විෂය කාර්යයන් බෙදීමේ ගැසට් පත්‍රය නිකුත් ‍කෙරිණි. එහි සඳහන් වූ ප්‍රබලතම වෙනස්කම වූයේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට සංවර්ධන ලොතරැයිය හා ජාතික ලොතරැයි මණ්ඩලය පවරා දීමයි. මෙයට පෙර ඉතිහාසයේ සිදුනොවූ දෙයකි. එහෙත් රවි තමන්ට මේ ආයතනවලට අමතරව ශ්‍රී ලන්කන් එයාර් හා මහපොළ භාරකාර අරමුදලද ඉල්ලා තිබිණි. එහෙත් එම ආයතන ඔහුට පවරා තිබුණේ නැත. රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණාලය, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පවරා තිබේ. රන්ජිත් අපේක්ෂා කළ හිඟුරාන හා සෙවණගල සීනි සමාගම් ඔහුගේ විෂය පථයට ඇතුළත් කර නොතිබිණි. එසේම රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂය කාර්ය පවරාදීමත් සිදුවනු ඇතැයි බොහෝ දෙනා සිතුවද එයද ඉටු වුණේ නැත.

ජාතිවාදයට එරෙහිව නව නීති ගෙනෙන වග අගමැති කියයි

අමාත්‍යංශ විෂය කාර්යයන් වෙන් කිරීම ගැන මෙවර වෙනදාට වඩා දැඩි සමාජ අවධානයක් යොමුව තිබිණි. බොහෝ අය ලොතරැයි මණ්ඩල විදේශ අමාත්‍යංශයට පැවරීම විවේචනය කළහ. මේ ගැන ප්‍රබලම විවේචනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඔහු කීවේ එක් එක් පුද්ගලයන් සතුටු කරන්නට විෂය බෙදීමෙන් රටට පලක් නොවන බවය. දේශපාලනඥයන්ට හම්බ කරගෙන කන්නට විෂය පැවරීමක් සිදුකර ඇතැයිද ඔහු චෝදනා කළේය. ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා කීවේ ලොතරැයි මණ්ඩල විදේශ ඇමැතිට දුන්නේ ඉතිහාසයේ පළමුවරට කියාය. එය ඔහු ලබාගත්තේ රජයට දැඩි බලපෑම් කිරීමේ පසුව බව කී හෙතෙම මේ ආකාරයට බලපෑම්කර අමාත්‍යංශ ලබාගත්තේ කුමටද යන්න ප්‍රශ්න සහගත යැයි සඳහන් කර තිබිණි. අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ මෙය හරියට බුද්ධ ශාසන අමාත්‍යංශයට ධීවර කටයුතු පවරා දීමක් හා සමාන බවය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අමාත්‍ය මණ්ඩල හමුවේදී දැකගන්නට ලැබුණ විශේෂම සිද්ධිය වූයේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට කළ චෝදනාවකි. මංගල සමඟ සිටින ඇතැම් නිලධාරින් තමන් සම්බන්ධව නොයෙක් ආරංචි පතුරවන බවත් ඒවා තමන්ට හානිකර බවත් කියමින් රවි ලොකු දෝස්මුරයක් දමන්නට පටන් ගත්තේය. එහෙත් අමාත්‍යවරයාට පිළිතුරු සපයමින් කීවේ තම තමන්ගේ නිලධාරීන්ට හෝ එබඳු චෝදනා නැඟීම තරයේම ප්‍රතික්ෂේප කරන බවයි. තම නිලධාරීන් වගකීමෙන් රාජකාරිකරන අය බවද මංගල අමාත්‍යවරයා පැහැදිලි කළේය. අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියන ගම්පහ ඉඩමක් හා නිවසක් රජයට පවරාගත යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් විය. එයට චම්පික රණවක අමාත්‍යවරයා විරැද්ධ බව කීය. එයට හේතුව එබඳු පවරා ගැනීමක් කළහොත් රජයෙන් ඊට වන්දිගෙවීමට සිදුවන නියා යැයිද චම්පික පැහැදිලි කර දුන්නේය.

රවී කරුණානායක විදේශ අමාත්‍යවරයා විසින් සකස් කරන ලද විශේෂ පත්‍රිකාවක් අමාත්‍යවරුන් අතර බෙදා දීමට කටයුතු කළේ ඉන් පසුවය. විදේශ අමාත්‍යවරයා සැකසූ එම පත්‍රිකාව මෙරට මුස්ලිම් ජනයාට සිදුවෙතැයි කියන යම් යම් කරදර ගැන තොරතුරු සහිත වූවක් බවද කියැවිණි. එම පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවකට ලබාදුන් නමුත් ඒ ගැන වැඩිදුර කතාබහක් ඇතිවූයේ නැත.

රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපාගේ කාමර ප්‍රශ්නය විස‍ඳෙයි

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැනද අමාත්‍ය මණ්ඩල අවධානය යොමුවිය. මෙහිදී වැඩිපුරම කතාබහට ලක්වූයේ දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලන්කන් එයාර් ආයතනය ගැනය. එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම පමාවීමත් දිගින් දිගටම එහි ණය බර ඉහළ යාමත් ගැන තර්ක විතර්ක ගණනාවක්ම මතුවිය. රජය අපේක්ෂා කළ කිසිවක්ම ශ්‍රී ලන්කන් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශය විසින් සිදුකර නැති බවද ඇමැතිවරු පෙන්වා දුන්හ. පසුගිය වසර 2 ½ තුළ නව සේවකයන් 1250 පාඩු ලබන ගුවන් සේවයට බඳවාගෙන ඇතැයි විෂය භාර  ඇමැතිවරයාම කීය. මේ බඳවාගැනීම් තමන් නොදැන සිදුවූ බවද ඔහු පැවසීය. 

එබඳු අකාර්යක්ෂම රාජ්‍ය ආයතනවලට තවදුරටත් රජයෙන් මුදල් ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු අවධාරණය කළෝය. අසීමිත සේවක බඳවා ගැනීම් නිසා පාඩු ලබන ආයතන ගණනාවක් තවමත් පීඩාවට පත්වෙමින් තිබෙන වගද සඳහන්විය.

බොදු බල සේනාවේ ප්‍රධානි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනා අධිකරණයේ පවත්නා නඩුවක් සඳහා උන්වහන්සේ ඉදිරිපත් නොවීම නිසා අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. මේ සතියේ නඩුව කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් නියම කළේ නඩු විභාගය සඳහා උන්වහන්සේ ඉදිරිපත් නොවුණහොත් අධිකරණ වරෙන්තුවක් නිකුත් කිරීමට සිදුවන බවය. එහෙත් ඥානසාර හිමියන් තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැත. මේ සිද්ධිය ගැන මාධ්‍යයේ ආන්දෝලනාත්මක පුවත් පළ වන්නට පටන් ගන්නේ ඉන් පසුවය. රජයේ අමාත්‍යවරැන් වෙත උන්වහන්සේ සඟවාගෙන සිටින බවට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල විය. ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ අමාත්‍ය චම්පික රණවක විසින් ඥානසාර හිමියන් සඟවාගෙන සිටින බවය. එනිසා ඥානසාර හිමියන් සොයාගැනීමේ මෙහෙයුම පොලිසිය විසින් කරන්නේ නම් ජාතික හෙළ උරුමය තුළින් ඒ පරීක්ෂණ ආරම්භ කළ හැකි යැයිද මහචාර්ය විතාරණ සඳහන් කර තිබිණි. ඊට කඩිනමින් පිළිතුරැ දුන් අමාත්‍ය චම්පික රණවක කීවේ දැන් වලපල්ලේ සිටින දේශපාලන අනාථයන්ට උත්තර දීමට තමන් සූදානම් නැති බවයි. මේ ගැන විමසිය යුත්තේ තමන්ගෙන් නොව බොදුබල සේනාව හදන්නට මුල් වූ ඊට ඔවුන්ට කිරි පොවන ලද අයගෙන් බවද අමාත්‍ය රණවක අවධාරණය කළේය. පසුගිය ජනාධිපතිවරණ කාලයේ තිස්ස විතාරණලා සිටියේ ඔය කියන දේශපාලන නඩය සමඟ යැයිද රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. 
අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ ඔහුගේ අමාත්‍යංශයට පත්කරන ලද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතර නිල කාමර සම්බන්ධයෙන් හටගෙන තිබූ අර්බුදය සමථයකට පත්විය. අමාත්‍ය ලක්ෂ්මන් යාපා හෙට (සඳුදා) දහවල් සිය අමාත්‍යංශයේදි වැඩ භාරගැනීමට නියමිතය. මෙම ප්‍රශ්නය අර්බුදයක් බවට පත් කරගන්නේ නැතිව ඉක්මණින් හමාර කරගන්නා ලෙස අමාත්‍ය කබීර්ට ආණ්ඩුවේ ඉහළින් උපදෙස් ලැබී තිබුණි. ඒ අනුව විදේශ සංචාරයකින් පසුගිය අඟහරුවාදා කාර්යාලයට පැමිණි අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය රාජ්‍ය ඇමැතිවරයාගේ කාමර ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාට උපදෙස් දුන්නේය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේම ඉහළ මාලයක කාර්යාල පරිශ්‍රයක් අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා වෙනුවෙන් වෙන්කර දෙන්නට අමාත්‍යංශ ලේකම්වරයා තීන්දු කළේ ඉන්පසුවය. ලක්ෂ්මන් යාපා මහතා වෙනුවෙන් එම ගොඩනැගිල්ලේ 23 වැනි මහල ලබාගැනීමට අදාළව විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද සකස් කළ අතර එය ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතය. ඉන්පසුව අමාත්‍ය හෂීම් සිටින මහලේ දැනට රාජ්‍ය අමාත්‍යවරයාට වෙන්කර ඇති කාමර තුනත් 23 මහලත් රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කෙරෙයි. 

ඇමැති හමුවේදි රවි මංගල මත ගැටුමක්

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට නියමිත වේලාවට සහභාගි නොවීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන්නට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. එහෙත් ඉන් පසුදාම ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා සමඟ අධිකරණයට පැමිණි ඔසඳ යාපා මහතා තමන් අතින් පෙරදිනයේ සිදුවූ අතපසුවීම ගැන තොරතුරැ අධිකරණයට දැනුම්දී අධිකරණය නියමකරන ඕනෑම මොහොතක උසාවියට ඉදිරිපත් වන බව කියා ඔහුගේ ප්‍රශ්නය සමථයකට පත්කරගත් බව වාර්තා වෙයි. 

උතුරු පළාත් සභාවේ විශාල අර්බුදයක් හටගෙන තිබේ. පළාත් අමාත්‍යවරුන් ගණනාවකට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මේ අය සම්බන්ධව වහා පියවරක් ගැනීමට දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා මහ ඇමැති විග්නේෂ්වරන්ට නියම කළේය. ඒ අතර චෝදනා එල්ල වූ එක් අමාත්‍යවරයෙක් තනතුරින් ඉල්ලා අස්විය. මෙම අර්බුදකාරී තත්ත්වය නිසා උතුරේ ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට පළාත් ආණ්ඩුවේම මන්ත්‍රීන් පිරිසක් සැලැසුම්කරමින් සිටින බවද උතුරෙන් වාර්තා විය. බොහෝවිට උතුරේ මහ ඇමැතිවරයා තනතුරින් ඉවත් කරන්නට එම විශ්වාසභංගය හේතුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. 

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ගැන ඔහු දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව දේශයට වාර්තා වෙයි. මෙම හමුවේදී විග්නේෂ්වරන් මහතා ඉල්ලා ඇත්තේ තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය නැවත සලකා බලන ලෙසයි. එය ඉල්ලා අස්කරගන්නා ලෙස යෝජනාව ඉදිරිපත් කළ පළාත් සභා මන්ත්‍රීවරැන්ට කියන්නැයි ඔහු සම්පන්දන් මහතාට කියා ඇත. ඒ ගැන සම්පන්දන් මහතා මධ්‍යස්ථ ප්‍රතිචාරයක් දක්වා ඇතත් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් නායකයන් ඊට එකඟ වී නැතැයි කියැවේ. 

කෙසේ හෝ මෙම සති අන්තයේදී උතුරේ මහ ඇමැතිවරයාගේ විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙන යනවාද ඉවත් කරගන්නවාද යන්න ගැන දෙමළ ජාතික සන්ධානය තීන්දු කරනු ඇතැයි දැනගන්නට තිබේ. පක්ෂ නායකයාගේ අනුකම්පාව මත විග්නේෂ්වරන් මහතාට තවත් එක් අවස්ථාවක් ලැබීමටද ඉඩ ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

ඒ අතර විග්නේෂ්වරන් මහතාට හිතවත් දෙමළ සංවිධානගත ඔහු විසින් නිර්මාණය කළ දෙමළ ජාතික සංසදයේ මෙහෙයවීමෙන් පසුගිය සිකුරාදා යාපනයේදී මහ ඇමැතිවරයාට පක්ෂව හර්තාලයක් දියත් කළේය. එය සාර්ථක වූ බව දැනගන්නට තිබේ. පසුගිය කාලයේ මහ ඇමැති විග්නේෂ්වරන්ට එරෙහිව සිටි දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ ගණනාවක්ද අවසන් මොහොතේ විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාට සහාය පළ කර තිබේ. ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් ඒ අතර වෙති. මේ ආකූල ව්‍යාකූල තත්ත්වය නිසා මහ ඇමැති විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැට උඩ තිබෙන තත්ත්වයකට පත් වී ඇත. කෙසේ හෝ මෙම අර්බුදය උග්‍ර වුවහොත් එය දෙමළ ජාතික සන්ධානයේ බෙදීමක් දක්වා වර්ධනය විය හැකි බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඥානසාර හිමියන් ගැන මැති ඇමැති වාග් සටන්

එලෙස උතුරු පළාත් සභාවේ දේශපාලන අර්බුදය මෝරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යාපනයේ සංචාරයක යෙදුණේය. උතුරේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ජනපතිවරයා මෙම චාරිකාවේදී අපේක්ෂා කළේය. ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, දුමින්ද දිසානායක හා පළාත් ආණ්ඩුකාර රෙජිනෝඩ් කුරේ යන මහත්වරැද රාජ්‍ය නිලධාරිහුද රැස්වීමට පැමිණ සිටියහ. උතුරේ සංවර්ධනයට බලපාන ප්‍රශ්න රාශියක් ගැන මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම උතුරේ දියුණුවට වෙන්කර තිබෙන මුදල ගැන සාකච්ඡා කැරිණි. මෙහිදී සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන ගල් වැලි ලබාගැනීමේ දුෂ්කරතාව ගැන මෙන්ම රෝහල්වල හෙද සේවක සේවිකාවන්ගේ ඌණතා ගැනද කරුණු ඉදිරිපත් විය. පරිසරයට හානි නොවන ලෙස ගල්වැලි ලබාගන්නා ලෙස ජනපතිවරයා ආණ්ඩුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. යුද සමයේ අතුරුදන් වූ තරුණ පිරිස් සොයාදෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි මාපියන් පියෙක්ද ඔහු මුණගැසුණ බව වාර්තා විය. මේ අයගේ ඉල්ලීම් හැකිතාක් ඉටුකරන්නට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍යවරයාට ජනපතිවරයා උපදෙස් දුන්නේ ඒ අවස්ථාවේය. 

පසුගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී බස්නාහිර පළාතේ කුණු ප්‍රශ්නය ගැන අමාත්‍යවරුන් ගණනාවක්ම පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාට චෝදනා කරන්නට වූහ. පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරැ ප්‍රධාන අමාත්‍ය ඉසුර පළාතේ හා අගනුවර පිරිසිදුකම ගන අවශ්‍ය පියවර නොගන්නා බවට චෝදනා නැඟූහ. පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති මොහොතක පළාතේ පවිත්‍රතාව රැක ගැනීමට නිසි පියවර නොගන්නා බව මෙම අමාත්‍යවරයා දිගින් දිගටම සඳහන් කළේය. කොළඹ, කෝට්ටේ ජයවර්ධනපුර, දෙහිවල, ගල්කිස්ස, කඩුවෙල ආදී නගර සභාවලින් කැළි කසළ බැහැර කිරීම විධිමත් ලෙස සිදුනොවීම නිසා කොළඹ හා තදාසන්න නගරවල කුණු ගොඩගැසී ඇත. ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඊට විසඳුමක් ලැබී නැත. පළාත් පාලන ආයතන බලධරයන් පවසන්නේ කුණු ඉවත් කිරීමට සුදුසු ස්ථාන නොමැතිකමත් නගරාශ්‍රිතව කුණු කඳු ගොඩ ගැසෙන වගයි. 

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මන්දගාමී තත්ත්වයට පත්ව තිබේ. මේ ගැන දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක්ද සිය කනස්සල්ල පළ කර තිබිණි. මේ නිසා ශ්‍රී.ල.නි.පයේ මැති ඇමැතින් කොළඹට කැඳවා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ශ්‍රී.ල.නි.පය සකස්කළ යෝජනා සාකච්ඡා කිරීමට ජනපතිවරයා තීන්දු කළේය. ඒ අතර ලබන අගෝස්තු මාසයෙන් පසු සම්මුතිවාදී රජය තවදුරටත් ඉදිරියට ගෙනයෑම ගැනද ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කිරීමට ජනපතිවරයා තීන්දු කර තිබිණි. මේ සාකච්ඡාව සඳහා ශ්‍රී.ල.නි.ප මැති ඇමැතිවරැන් පසුගිය බ්‍රහස්පතින්දා ජනපති නිවසට කැඳවීය. 

ඇමැති වාහනවලට තෙල් ගහන්න එකවුන්ටන් බෑ කියයි

ආණ්ඩු පක්ෂයේ ශ්‍රී.ල.නි.ප. මැති ඇමැති කණ්ඩායම් රැස්වීමේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. අමාත්‍යංශ විෂය බෙදීම් ගැන මෙන්ම ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාගේ නිල කාමර ප්‍රශ්නයද කතාබහට ලක්විය. නව ව්‍යවස්ථාව සම්පාදනයේදී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ඉඩ නොදිය යුතු බව ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක්ම යෝජනා කළෝය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වාර්ගික ප්‍රචණ්ඩත්වය පතුරවන්නට එරෙහිව තදින් ක්‍රියාකරන බව පසුගියදා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කළේය. පසුගිය සති කිහිපයක් තිස්සේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන විවිධ අසහනකාරී ක්‍රියා සිදුවූ බවට මුස්ලිම් දේශපාලන නායකයෝ ජනපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ නිසා වාර්ගික ප්‍රචණ්ඩත්වය අවුළුවන්නන්ට එරෙහිව අලුතින් නීතිරීති සම්පාදනයට පියවර ගන්නා බව අගමැතිවරයා මාධ්‍යයටද ප්‍රකාශ කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී රටේ වාර්ගික සාමය සහ ආගමික නිදහස තහවුරු කරන බවට වත්මන් රජය ප්‍රතිඥාදුන් බැවින් ඒ පොරොන්දුව ඉටුකළ යුතු බව පෙන්වාදුන් හෙතෙම පවතින නීතිරීති ඊට ප්‍රමාණවත් මදිනම් අලුතින් නීති හඳුන්වා දෙන්නට පසුබට නොවන බවද පැවසීය.

රටේ සහෝදර ජන වර්ගවලට එරෙහිව ක්‍රියාකරන්නට ගියහොත් එයින් රටේ කීර්ති නාමයටද හානි සිදුවන බව පෙන්වාදුන් අගමැතිවරයා ඒ ගැන රජයක් ලෙස පියවර ගන්නට සිදුවන බව පැවසීය.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00